මෙරට සිනමාවේ නළු නිළියන් බොරු කොණ්ඩාවලින් සැරැසී රඟපෑ අවස්ථා අතීතයේ පටන්ම දැක ගැනීමට තිබුණා. ඒ අතරින් ඇන්තනී සී. පෙරේරා, ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ මෙසේ රඟපෑ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකියි. නමුත් මෙරට සිනමාවේ ප්‍රමුඛතම නළුවන් දෙදෙනා වන ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග හැත්තෑව දශකයෙහි වැඩි අවස්ථා ගණනක් මෙසේ තම සුපුරුදු ස්වරූපයෙන් මිදී බොරු කොණ්ඩයෙන් රඟපෑ අයුරු අමතක නොවනවා වගේම ප්‍රේක්‍ෂකයන් ඔවුන්ගේ එවන් රඟපෑම් ආදරයෙන් වැලඳ ගත්තා.
ගාමිණී – මාලිනී ප්‍රධාන චරිත රඟපෑ 1974 තිරයට පැමිණි සේන සමරසිංහගේ මුල්ම අධ්‍යක්‍ෂණය වූ ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ අපි දැක්කේ අමුතුම ගාමිණී ෆොන්සේකා කෙනෙක්. ඒ කාලේ හැටියට තමන්ගේ වයසට වඩා තරුණ ගාමිණි කෙනෙක් තමයි අපි ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයෙන් දැක්කේ. ඒකට හේතු ගාමිණී බොරු කොණ්ඩයකින් සැරැසී ඒ චිත්‍රපටයේ රඟපෑම. හැබැයි ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ ඔහු තමාගේ නියම කොණ්ඩයෙනුත් රඟපෑ අවස්ථා තිබූ බව කිව යුතුයි. ඒ වගේම 1974 අවුරුද්දේ අන්තිමට තිරගත වුණු ‘සැණකෙළිය’ චිත්‍රපටයත් ගාමිණී බොරු කොණ්ඩයෙන් රඟපෑ තවත් චිත්‍රපටයක්. මෙහිදී අපිට තවත් විශේෂත්වයක් දැකගන්නට ලැබෙනවා. ඒ තමයි බොරු කොණ්ඩයෙන් රඟන ගාමිණී වෙනුවෙන් මිල්ටන් මල්ලවආරච්චි පසුබිම් ගී ගයන ආකාරය. මීට කලින් ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටයේ එන ‘මගේ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකි’ නමැති ගීතය මිල්ටන්, ගාමිණී වෙනුවෙන් ගයා තිබුණත් ඒ ගාමිණී තම සැබෑ කොණ්ඩයෙන් රඟපෑ අවස්ථාවක් සඳහායි. ‘සැණකෙළිය’ චිත්‍රපටයෙන් පස්සේ ගාමිණීගේ බොරු කොණ්ඩය හා මිල්ටන් සුසංයෝගය වැඩිදුරකට රැගෙන යනවා සේන සමරසිංහ. ඔහුගේ ‘නිල්ල සොයා, ආශා දෑසින්’ වැනි චිත්‍රපට සඳහා මිල්ටන් මල්ලවාරච්චි බොරු කොණ්ඩයෙන් සැරැසී රඟපෑ ගාමිණී වෙනුවෙන් ගීත ගායනා කළා. සාමාන්‍යයෙන් ගාමිණීට වඩාත් ගැළපුණු ගායකයා ජෝතිපාල වුණත් මිල්ටන්ගේ කටහඬ බොරු කොණ්ඩයෙන් රඟපෑ ගාමිණීට අල්ලලා ගියා කිව්වොත් නිවැරැදියි.
ගාමිණී වගේම විජය කුමාරතුංගත් පසු කලෙක බොරු කොණ්ඩයක් පැලඳ ගෙන රඟපෑ යුගයක් තිබුණා. විශේෂයෙන්ම හැත්තෑව දශකයේ මැද පමණ එනම් 1976 සිට විජයත් වැඩි වශයෙන්ම දැක ගැනීමට ලැබුණේ බොරු කොණ්ඩයෙන්. හැබැයි ගාමිණීගේ බොරු කොණ්ඩය බොහෝ දුරට සේන සමරසිංහගේ චිත්‍රපටවලට වගේම තවත් චිත්‍රපට කිහිපයකට සීමා වුණත් විජය දිගු කලක් එනම් 1980 – 81 පමණ වනතුරු බොරු කොණ්ඩයෙන් යුතුව රඟපෑ බව දැක ගන්නට පුළුවන්. මේ විදියට බලනකොට 1976 අවුරුද්ද විශේෂයි. ඒ අවුරුද්දේ තිරයට පැමිණි ‘ප්‍රදීපේ මා වේවා, දියමන්ති, උන්නත් දාහයි මළත් දාහයි, ආදරෙයි මං ආදරෙයි යන චිත්‍රපටවල අපි දැක්කේ අමුතුම විජය කුමාරතුංග කෙනෙක්. නමුත් එම වසරේම ඔහු තම සැබෑ ස්වරූපයෙන් රඟපෑ ගංගා, වාසනා වගේ චිත්‍රපටත් තිරගත වුණා. තවත් අමතක නොවන කරුණත් තමයි මෙම ඉහත සඳහන් කළ 1976 වසරේ ඔහු රඟපෑ චිත්‍රපටවල ප්‍රධාන නිළිය මාලිනී වීම. ඒ වගේම ඉන්පසු අවුරුදුවල තිරයට එන සකුන්තලා, හිතුවොත් හිතුවමයි, පෙම්බර මධු, මරුවා සමඟ වාසේ, සෙලීනාගේ වලව්ව, සැලී, බඹරු ඇවිත්, අනූපමා, කුමර කුමරියෝ, ගැහැනියක්, මොනර තැන්න, පාර දිගේ, ටක් ටික් ටුක් වගේ චිත්‍රපටවලත් තවත් චිත්‍රපට රැසකත් අපි විජය දකින්නේ බොරු කොණ්ඩයෙන්. හැබැයි ඒ අතරට ඔහු තම සැබෑ ස්වරූපයෙන් පෙනී සිටි හරියනකොට ඔහොම තමයි, සඳවට රන් තරු, විස්මය වගේ චිත්‍රපට එකක් දෙකක් කලාතුරකින් දැකගන්නට ලැබුණා. ඔහු මෙසේ රඟපෑ චිත්‍රපට වැඩි ගණනකම ප්‍රධාන චරිතය මාලිනී ෆොන්සේකා සමඟ රඟපෑ අතර, විජය-මාලිනී යුගයට අයත් චිත්‍රපට වැඩි ගණනකම ඔහු මෙසේ බොරු කොණ්ඩයෙන් රඟපා තිබීමත් විශේෂයි. මාලිනීට අමතරව ගීතා කුමාරසිංහ, ස්විනීතා වීරසිංහ, ඉන්දිරා අබේසේන, සෝනියා දිසා, ජෙනීටා සමරවීර, කුසුම් පෙරේරා මෙම අවස්ථාවන්හිදී ඔහු සමඟ සහාය නිළියන් වශයෙන් එක්වුණු අය අතරින් කිහිප දෙනෙකි.
අනිල් වීරසිංහ











