සිංහලයාගේ ශිෂ්ටාචාරය වැඩෙත්ම කලා ශිල්පයද පෝෂණය විය. සිංහල වංශය අනුව සිංහලයාගේ පැවැත්මේ ආරම්භය විජයගෙන් පසුව ඇති වුණු බව කියැවේ. එහෙත් ඊට පෙරත් මෙහි විසූවන් වූ බව සාක්ෂ්‍ය අපමණය. කෙසේ වෙතත් බුදුදහම ලක්දිවට ගෙන ඒමත් සමඟම අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය වැඩී ශිෂ්ටාචාරය පෝෂණය වීම පටන් ගත්තේය. වැඩෙමින් පැවති ශිෂ්ටාචාරය පෝෂණය කර ඔප නැංවීමට චිත්‍ර ශිල්පය උපයෝගි කරගන්නා ලදී. පළමුව බෞද්ධ වෙහෙර විහාරවල වංශකතා පිළිබිඹු කර සිත්තම් කිරීමට වෙහෙසුණු අපේ සිත්තරුන් හුදෙක් එදිනෙදා ජීවිතයේ විනෝදය සඳහාත් තම දක්ෂතා හුවා දැක්වීමටත් මෙසේ සිත්තම් කරන්නට වූ බව පැහැදිලිය. සිංහලයාගේ ආගම බෞද්ධාගම විය. බෞද්ධාගම පිළිනොගත් සිංහලයෙක් නොවීය. එබැවින් බොදුනුවෝ ආගම කෙරෙහි දැඩි භක්තියක් දැක්වූවෝ වූහ. භක්තිය වැඩිවත්ම සිතුවම් වැඩි වන්නටත් අනගි බව වැඩි දියුණු වන්නටත් විය.
අපේ සිත්තම් කොටස් කිහිපයක් යටතේ වර්ග කර දැක්විය හැකිය.
ලෙන් තුළ ඇඳි සිතුවම්
විහාර දේවාලවල බිත්ති මත ඇඳි සිතුවම්
ලීවල ඇඳි සිතුවම් (සිවිලිම් දොර යනාදියෙහි)
මැටි බඳුන් යනාදියෙහි ඇඳි සිතුවම්
රෙදි ඇතිරිලි යනාදියෙහි ඇඳි සිතුවම්
එදිනෙදා පැවති උත්සව සඳහා ඇඳි සිතුවම්
කර්මාන්ත භාණ්ඩවල ඇඳි සිතුවම්
ආදී ලෙසිනි.
ලෙන් තුළ කළ සිතුවම්
ආදි පැරැන්නන් ලෙන් තුළ සිතුවම් කළ බව අදටත් සාක්ෂ්‍ය පවතී. අව්වැස්සෙන් ආරක්ෂිත ස්ථාන ඒ සඳහා යොදා ගන්නා ලදී. ලෙන මත බදාම ගා ඒ මත චිත්‍ර ඇඳීම ඔවුහු කළහ. චිත්‍ර ජරාවට පත්වීම වැළැක්වීම උදෙසා කටාරම් කෙටූහ. කටාරමින් දිය ඇද හැලෙන බැවින් දිය සිරාවෙන් තරමක් දුරට චිත්‍ර ආරක්ෂා විය. දඹුල්ල, සිතුල්පව්ව, වෙස්සගිරිය යනාදී ස්ථානවල මේ ගණයට අයත් චිත්‍ර තිබේ. ඇතැම් විටෙක ලෙනක් තුළ කිසියම් ක්‍රමයකට සකස් කර නොගත් බදාමක් නොමැතිව සිත්තම් කළ අවස්ථාව එමටය. එවැනි සිතුවම් රඳා පැවැත්ම තාවකාලික නමුදු චිත්‍රය සඳහා යොදාගත් සායමේ ස්ථිරත්වය මත චිත්‍රය රඳා පැවැත්ම සිදුවිය.
වෙස්සගිරියේ මෙවැනි අන්දමේ චිත්‍ර දැක්මට පුළුවන. රතු පස් විශේෂයෙන් හුඹස් මැටි, දහයියා සහ කෙඳි වර්ග කැටිකර ගත් බදාමත් සමඟ යෙදීමෙන් බදාම ගල මත රැඳී පවතී. මෙම බදාම මත හුනු සහ වැලි මිශ්‍රිත දෙවැනි බදාමක් ගල්වා එය සිනිඳු වන සේ සකස් කොට ඒ මත අගනා චිත්‍ර සිත්තරුවෝ කළහ. සීගිරියේ ඇඳි චිත්‍ර මෙයට කදිම නිදසුනකි. ඇතැම් විටෙක එක් බදාමක් මත පමණක් එනම් හුනු සහ වැලි මිශ්‍රිත බදාම මත පමණක් චිත්‍ර කළහ. මෙහි බදාම බොහෝ කලක් පවතින අතර චිත්‍රවල රඳා පැවැත්ම චිත්‍රයට යොදනු ලබන සායම්වල ස්ථිරත්වය උඩ පැවතිණි. ඇතැම් විටෙක කලක් ගතවීමෙන් පසු රතු මැටි කැටි කර සකස් කර යොදා ඇති පළමු බදාම ගැලවීයෑම නිසා ජරාවට පත්වීමෙන් සිතුවම් විනාශයට පත්විය.
වෙනත් ස්ථානවල වෙනත් චිත්‍ර
වෙහෙර විහාරස්ථානවල සිවිලිම් තට්ටුවල චිත්‍ර සිතුවම් කර තිබේ. ඇතැම් ලෙන් විහාරවල බෙයඳෙහි සීලිමෙහි සකස් කරගත් බදාමක් මත චිත්‍ර කර ඇති අතර මෙම සිතුවම් බොහෝ වශයෙන් බෞද්ධ ජාතක කථා ආශ්‍රයෙන් කර ඇත. ලී සීලින් මත කර තිබෙන චිත්‍ර ද එසේමය. දොර ජනේලවල බහුල වශයෙන් දක්නට ලැබෙනුයේ මෝස්තරයකි. හංස පූට්ටුව හෝ දියවැල එයින් ප්‍රධාන තැනක් ගනී. පුස්කොළ පොත, සැරයටි, හෙල්ල, කැත්ත යනාදියෙහිද වැඩි වශයෙන් ඇඳ තිබෙන්නේ රටාවකි. පලාපෙත්තකින් හෝ මල් වර්ගයකින් යුතු රටාව මෙහි විශේෂ තැනක් ගනී. මේ සඳහා යොදාගන්නා සායම් කලක් පැවතිය යුතු වුවද බදාමක් මත අඳිනු ලබන සිතුවමක් තරම් බලවත් සායමක් මේ සඳහා යොදා නොගනී. මැටි බඳුන් කැඩී යනසුලු නිසා ඒ සඳහා ද කලක් පැවතිය යුතු බලවත් සායම් පාවිච්චි නොකරන ලදී. ඇතිරිලි, වියන් යනාදියට ද එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර කොඩිය තම පළාත හෝ රට හෝ නියෝජනය කිරීමට ගන්නා වූ දෙයක් නිසා සායම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ බව සිතිය හැකිය.
බලිතොරන් යනාදියෙහි කළ චිත්‍ර එතරම් කලක් පැවතිය යුතු චිත්‍ර නොවන නිසා ඒ ගැන එතරම් සැලකිල්ලක් දැක්වූ බව නොපෙනේ. කෙසේ වෙතත් මේ සඳහා ඉතා වර්ණවත් සායම් පාවිච්චි කරන ලදී. විශේෂයෙන්ම ‘පච්ච’ පාට මේ සඳහා යොදා ගත්හ.
සීගිරි චිත්‍ර
සීගිරි චිත්‍ර ලෝප්‍රකට සිතුවම් සමුදායකි. අපේ පුරාණ වෙහෙර විහාරවල දක්නට ලැබෙන ආගමික චිත්‍රවලට හුදෙක් වෙනස් මුහුණුවරක් දක්වන සීගිරි චිත්‍ර කලාත්මකය. සීගිරි ගල පාමුල ලෙන් තුළ ඇති චිත්‍ර බුදුමැඳුරුවල දක්නට ලැබෙන කලාවන්ගෙන් සමන්විතය. මෙම ලෙන් තුළ බදාම තට්ටු හැමෙකක්ම මත චිත්‍ර ඇති බැවින් ඒ ඒ කාලවලද මෙම ලෙන් තුළ බොදු මැඳුරු වූ බවට හොඳම සාක්ෂ්‍යයකි. සීගිරි චිත්‍ර ඉන්දීය ස්වර්ණ යුගයක් වන ගුප්ත යුගයට අයත් නිසා එම සමයට අයත් අජන්තා චිත්‍රවල ආභාසයක ප්‍රතිඵලයක් බව බොහෝ දෙනාගේ මතයයි. ඉඟින් ඉහළ අඩරුව පමණක් ඇඳි මෙම චිත්‍ර ස්ත්‍රී රූ වන අතර ඇතැම් රූ අඩ නිරුවතින් නිම වී ඇත. උතුරු දෙසට මුහුණ ලා ඇති මෙම අඟනුන්ගෙන් ඇතැම් රුවක් රන්වන් පැහැය දක්වන අතර තවෙකක් නිල්වන් පැහැය ගනී. නාට්‍යාංගනාවන්ගේ විලාසය දක්වන මෙම චිත්‍ර කුමක් අරබයා අඳිනු ලැබූයේද කුමන සංයෝගයකින් සායම් පිළියෙල කර ගත්තේද යන්න තවමත් තිර වශයෙන් කිය නොහැකි වුවද බොහෝ වියතුන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මත ප්‍රකාශ කර ඇත.
බිතු සිතුවම්
බිතු සිතුවම් යනු බිත්තියක් මත ඇඳි චිත්‍ර සමූහයයි. බිතු සිතුවමක් සායමකින් හෝ තෙල් සායමකින් කළ හැකිය. සකස් කරගත් බදාමක් මත බදාම වියළී යෑමට පෙර කටු සැලැස්මකින් පසු බදාමෙහි තෙතමනය මත චිත්‍ර කිරීමෙන් සායම ඊට උරා ගනී. වියළි බදාමක් මත චිත්‍ර කිරීමෙන් චිත්‍රයේ සායම වියළී ගොස් කලකදී තට්ටු වශයෙන් ගැලවී යෑමෙන් චිත්‍රය විනාශ වී යයි. සීගිරියේ එක් ස්ත්‍රී රූපයක අත් තුනක් තිබෙන බව පෙනේ. එයට හේතුව සිත්තරා විසින් තෙත බදාම මත අතක් ඇඳීම සඳහා කළ කටු සැලසුම පසුව ඒ දෙසට නොව වෙන දෙසකට යෙදිය යුතු බව සිතුණෙන් එසේ කර ඇත. චිත්‍රය අවසන් වී පෙර ඇඳි කටු සටහන (අත) මකා දැමීමට උත්සාහ දැරූ නමුත් එවිට එම සටහන වියළී ගොසිනි. එබැවින් විශාල ප්‍රමාණයේ චිත්‍රයක් සිත්තම් කිරීම එක් වරකටම නොහැකි වූ අතර තෙත් බදාම වරින් වර සකස් කර ගත යුතුව ඇත.
ඇතැම් විටෙක සිතුවම් ඇඳි බිත්තිය මතද නොයෙක් වර සකස් කර ඇති බවට සලකුණු දක්නට ලැබේ. නියම බිතු සිතුවමකට මෙම ගුණාංග අඩංගු විය යුතුය.
සායම් පිළියෙල කරගත් අයුරු
අපේ පැරණි සිත්තරුන් සිත්තම් සඳහා යොදාගත් සායම් වර්ග කිහිපයකි. ඒ නිසා ඇතැම් අවස්ථාවල චිත්‍රය මැනවින් ඔපවත් වූ බවක් හෝ ස්වාභාවික වර්ණයෙන් හීන වීමක් දැකිය හැකිය. මෙයට හේතුව කල් පැවැත්ම සඳහා සොයා ගෙන ඇති වර්ණ සීමාසහිත වීමය. කෙසේ හෝ යම් යම් අවස්ථාවල දී එක් වර්ණයක් තවත් වර්ණයක් හා සමඟ මිශ්‍ර කිරීමෙන් තමාට අවශ්‍ය වර්ණය සකස් කර ගන්නා ලදී.
කහපාට- සිරියල් නමැති ගල් වර්ගය කුඩුකරගෙන කහපාට සකස් කරගන්නා ලදී. ගොකටු පොතු අඹරා කහ පාට සකස් කර ගත්හ. මෙම දෙවර්ගයෙන් සාදාගත් සායම විශේෂයෙන්ම පාවිච්චි කර ඇත්තේ කර්මාන්තයන් වශයෙන් කළ ලීබඩු සහ මැටි බඳුන්වලය. ගොකටු පොතු සායම් සකස් කරගැනීම දුෂ්කර වූයෙන් සිරියල් ගල් බහුලව පාවිච්චි විය.
රතුපාට- සාදිලිංගම් නමැති ගල්වලින් සහ ගුරු ගලින් රත් සායම සකස් කරගන්නා ලදී.
ගුරුගලින් යොදා ගත් සායම නියම රතු පැහැය ගෙන නොදුන්නේය. එය රතු මිශ්‍ර දුඹුරු පැහැය ගත්තේය. මෙම ගල් වර්ගවලින් සකස් කරගත් සායම කලක් නොපැවති නිසා බොහෝ කලක් නොපැවතෙන දේවල් සායම් කිරීම සඳහා යොදාගන්නා ලදී.
නිල්පාට- සුදු පාටත් කළු පාටත් මිශ්‍ර කිරීමෙන් නිල් පැහැය සාදා ගත් නමුත් එයින් නියම නිල් පැහැයක් ඇති නොවිණි. අඳුරු අළු පාටට හුරු පෙනුමක් ඇති විය. ඇවරිය කොළ යුෂින්ද නිල් සායම් පිළියෙල කරගත් නමුදු එහි පැහැය පලාවන් නිල් පැහැය ගති.
පච්ච පාට- නිල් සහ සහ සායම් මිශ්‍ර කිරීමෙන් මෙය සාදා ගන්නා ලදී. පච්ච විශේෂයෙන්ම භාවිත කරනු ලැබූයේ ඉතා තද වර්ණ අවශ්‍ය වන බලි යාග හෝම යනාදියට අවශ්‍ය චිත්‍ර කිරීමටය.
කළු පාට- රෙදි කඩමලු කොස් කිරි, හල්දුම්මල යනාදිය කැකුණ තෙල් දමා පිලිස්සීමෙන් ලබාගත් සායම කළු පැහැයෙන් යුක්තය. මෙයට කළු අඳුන යන නමද ව්‍යවහාර කරනු ලැබේ.
සුදුපාට- මකුළු නම් වූ මැටි වර්ගයෙන් සුදු සායම සකස් කරගත් බව කියැවේ.
පතෙහි පොවන්නට මොනවද ගන්නේ
හීන් බුහුටි සහ අහුමල් ගන්නේ
පතගි සමඟ කොර කහ කොළ ගන්නේ
පස්වා රත්නට පතගි පොවන්නේ
ඉහතින් දැක්වෙන කවියෙන් කියැවෙන්නේ පතගි සායම් කළ පිළිවෙළයි. හැවැන්, ගල්ලැහැ, වැටකේ යනාදිය පතගි පොවා සායම් කරගන්නා ලදී.
සායම් පිළියෙල කර ගැනීමට ගන්නා ලද ද්‍රව්‍ය සිහින් ලෙස අඹරා, එය ඇලවෙන ස්වභාවයක් ගෙන දීම පිණිස ලාටු සමඟ මිශ්‍ර කරන ලදී. දිවුල් සහ කජු ලාටු බොහෝ වශයෙන් පාවිච්චි කර ඇත. පින්සල්වලට තෙලි නොහොත් තාලිකා කියනු ලැබේ. තාලිකා සාදාගනු ලැබුවේ වැටකේ මුල් තළා ගෙනය. සිහින් තාලිකාවක් අවශ්‍ය වූ විටෙක ලේනුන්ගේ ලෝම සහ බළලුන්ගේ ලෝම භාවිත කරන ලදී. ඇතැම් චිත්‍රවල මාත්‍රයන් දැක්වීම සිතුවම් කිරීමට තෙලිතණවලින් තෙලිකූරු නමැති කූරක් සාදා ගන්නා ලදී. අපේ බොහෝ වෙහෙර විහාරවල බොහෝමයක් චිත්‍ර කර ඇත්තේ දිය සායමින්ය. එසේ නොමැති නම් දොරණ තෙලින් සායම් කර ඇත. වර්ණ චිත්‍ර සායම් කිරීමෙන් පසුව දීප්තිය සඳහා වාර්නිස් වැනි දේ ගැල්වෙයි. මෙම ක්‍රමයට වර්ණ කිරීමෙන්ද කලක් පවතින බව පෙනේ. ලීයෙන් කළ දේවල චිත්‍ර කිරීමේදී ඛනිජ ද්‍රව්‍යවලින් පිළියෙල කරගත් සායම් දොරණතෙල් සමඟ මිශ්‍ර කිරීමෙන් චිත්‍ර කළහ. මෙම චිත්‍ර බොහෝ කලක් රඳා පැවැත්ම උදෙසා කැප්පෙටිය, ලාකඩින් සකස් කළ ලාක්ෂා නමැති වලිච්චිය ආලේප කරන ලදී.
අප ශිල්පීන් විසින් කැටයම් කිරීම සහ චිත්‍ර සිතුවම් කිරීම සඳහා යොදාගත් ප්‍රධාන කොළ වර්ග, පලා වර්ග සහ මල් වර්ග කිහිපයකි.
ප්‍රධාන කොළ වර්ග – ලියපත්, වකුටු, ගැට, දැති, ගැට සහිත දැති කොළය යනාදියයි.
ප්‍රධාන මල් වර්ග – ඕළු, නෙළුම්, මානෙල්, ස්වස්තික මල, කතිරි, කතුරු, සීනි, සපු, ගැටපිච්ච, සමන්පිච්ච, වැටකේ, ගැටපෙති, අන්නාසි, කඩුපුල්, බෙරලිය, ඇසළ ආදී මල් වර්ගයි.
අපටම ඇබ්බැහි වූ සම්මත සැරසිලි කිහිපයකි. අරිම්බුව, පනාව, ලණුව, වැල් ඉරුව, පතුරු දියරැල්ල, ගල් බින්දුව, රැලි ඉරුව, සුළිවැල, හවඩිය, මල, කොළය, සළුපට යනාදිය ඒවායින් ප්‍රධානය. මෝස්තර සහ කැටයම්වල අලංකාරය සඳහා එහි වාටි සැරසීමට අරිම්බුව යොදා ගන්නා ලදී. එය බින්දු වැල වශයෙන්ද හඳුන්වති. ලාක්ෂා වැඩවල වාටි සැරසීම සඳහා පනාව (දැති මෙන් දැක්වෙන) යොදා ගන්නා ලදී. තනිපට හා දෙපට යනුවෙන් ලණුවෙහි මෝස්තර දෙකකි. මෙය ගෙත්තමක් හෝ වියමනකට යොදා ගන්නා ලදී. වැල් ඉරුව, රැලි, ඉරුව, පතුරු දියරැල්ල යනාදිය රෙදි සහ පතුරු යනාදියට යොදාගන්නා ලද මෝස්තර වේ. ගල්බින්දුව නමින් යුතු කුඩා ඉරිවලින් යුතු මෙය ගල් කැටයමක හෝ රෙදි වාටියක හෝ අලංකාරය පිණිස යොදා ගන්නා ලදී. හවඩිය මැහුම් සහ ගෙතුම් සඳහා යොදාගන්නා ලදී. මල සහ කොළය, රන් රිදී සහ වෙනත් ලෝහ භාණ්ඩ සැරසීමම සඳහා යොදා ගන්නා ලදී.
දැනුදු උඩරට චිත්‍ර ශිල්පීන් විසින් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා නිම කෙරෙන කැටයම් වැඩවල මෙම මෝස්තර රටා දක්නට ලැබේ. මෙම කලාවන්ගේ උපත කෙසේ සිදුවී දැයි දැක්වීමට නුපුළුවන් වීම කනගාටුදායකය. ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ, ප්‍රංශ ජාතික පිකැසෝ යන්නවුන් ගැන ඉතිහාසයේ දැක්වෙන නමුදු අපගේ දස්කම් පෑ සිත්තරුන්ගේ නාමයන් නොරැඳී තිබීමට හේතුව වූයේ එදා මෙම වෘත්තියේ යෙදී සිටියවුන් කුල හීනයන් වශයෙන් සැලකුණු බැවිනැයි සිතිය හැකිය.
පදියතලාවේ ඥාණවිමල හිමි











