ගාමිණී හත්තොට්ටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායම හරහා කරළියට පැමිණි ඇය නමින් දීපානි සිල්වා. ඇයට ප්‍රේක්‍ෂක ජනතාව අසීමිතව ආදරය කරන්නටත් ගන්නේ සෙනෙහෙවන්තයෝ ටෙලිනාට්‍යයේ සිල්පිනාගේ චරිතය හරහායි. එයින් ලද දෙස් – විදෙස් ප්‍රේක්‍ෂක ආදරය අදටත් ඇයට හිමි වෙයි. එවැනි විශිෂ්ට චරිත රැසක් නිරූපණය කළ දීපානි සිල්වා කලා ශිල්පිනියගේ අලුත්ම තොරතුරු සොයන්නට අපි ඇයට කතා කළා.
දීපානි කාලයක් පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වුණා. ඒත් අද නිහඬවෙලා ඇයි?
කාලෙන් කාලයට හැමදේම වෙනස් වෙනවානෙ. දැන් නම් වැඩක් කරන්නෙම නැහැ වගේ තමයි.
මේ තත්ත්වයට හේතුව මොකද්ද?
කාලෙකින් නම් ටෙලිනාට්‍යවලට කතා කළේම නැහැ. සමහර ටෙලිනාට්‍යවලට කතා කළත් දින, වකවානු වෙන්කරගෙන හැමදේම කතා කරගෙන යනවා. ඒත් පස්සේ මම කතා කළාම කියනවා ඒ ටෙලිනාට්‍ය කරන්නේ නැහැ වෙන නාට්‍යයක් කරන්නේ කියලා.
සමහරවිට රූපවාහිනී නාළිකා හරහා ප්‍රතික්‍ෂේප කරනවා වෙන්නත් පුළුවන් නේද?
ඔව්. එයත් බලපානවා වෙන්න පුළුවන්. අද ශිල්පීන් තෝරන්නේ නාළිකා හරහා. මම සමාජ සේවා කටයුතු කරනවා. ඒ වෙනුවෙන් කතා කරනවා. සමහරවිට ඒ නිසා මාව නොගන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මම ඒ දේවල් කරන්නේ රට වෙනුවෙන්. සමහර අවස්ථාවල දේශපාලනය චැනල්වලට බලපානවා. නළු නිළියන් නිර්මාණවලට තෝරා ගැනීමේදී ඔය හේතුන් මත ශිල්පීන්ව මඟ හැරෙනවා වෙන්නත් පුළුවන්.
දීපානි පූර්ණකාලීනව නිර්මාණවල නැති වුණත් වරින්වර ඉඳහිට පුංචි තිරයට ඇවිත් යනවා නම් අපි දකිනවා?
පසුගිය කාලේ ක්වීන් ටෙලිනාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවා. මේ දවස්වල ජාතික රූපවාහිනියේ රාත්‍රි 8.30ට දිනපතා ‘සඳගල තැන්න’ විකාශය වෙනවා. ඒ වෙනුවෙන් නැවැත ප්‍රතිචාර ලැබෙනවා. මමත් ආශාවෙන් ටෙලිනාට්‍ය බලනවා. හැබැයි එදා හිතපු දේවල් නෙවේ අද නාට්‍ය බලන විට හිතට දැනෙන්නේ.
ඔබ ටෙලි නාට්‍ය දහස් ගණනක රඟපෑවත් තාමත් සිල්පිනා ගැන තමයි හැමෝම කතා කරන්නේ?
මඟතොට ගියත් අදටත් කතා කරන්නේ අන්න සිල්පිනා කියලා. මොකද ඒ තරමට ප්‍රේක්‍ෂකයා සෙනෙහෙවන්තයෝ වැලඳ ගත්තා. ඒ වගේ ම දූදරුවෝ ටෙලිනාට්‍යයේ සහ නෑදෑයෝ ටෙලිනාට්‍යයේත් මම සුවිශේෂී චරිත නිරූපණය කළා. නමුත් සිල්පිනා චරිතය තවමත් නොමැකී පවතිනවා. ඒ චරිතය මට දේව ආභරණයක් හා සමානයි.
සිල්පිනා චරිතය වෙනුවෙන් ඔබ වෙනස්ම රංග විලාසිතාවක් උකහා ගත්තා නේද?
සෝමවීර සේනානායක, සෙනෙහෙවන්තයෝ තිර රචනා කරනකොට මාව ඔළුවෙ තියාගෙන තමයි ඒ චරිතය ලියලා තියෙන්නේ. පසුව නාලන් මෙන්ඩිස්, සන්ධ්‍යා මෙන්ඩිස් සියලුම දෙනා සමඟ කතා කරලා මට ඒ චරිතය ලබා දුන්නා. ඔවුන් පැවසුවෙත් මේ චරිතයට විශේෂ රංග විලාසිතාවන් එකතු කරන්න කියලා තමයි. පසුව මම රෙද්ද හැට්ටය ඇඳල අත පිටිපස්සට ගස්සලා මුණ ගස්සන රංගනයක් එකතු කළා. ඒ චරිත ලක්‍ෂණම ලීලසේන සත්පුර වැසියෝ හරහා විටින් විට නිරූපණය කළා.
එවැනි නාට්‍ය දැන් බිහිනොවන්නේ ඇයි?
හොඳ පිටපත් රචකයන් තවමත් ඉන්නවා. වර්තමානයේ දක්‍ෂ තරුණ අයත් ඉන්නවා ලිවීමට දක්‍ෂ. ඒ නාට්‍යවල ආදරය, වැඩිහිටි ප්‍රශ්න, සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, හාස්‍ය ඒ සියල්ල තිබුණා. දැන් නිර්මාණවලත් ඒ සියල්ල තිබෙනවා. නමුත් ලියන අයත් පවතින එකම රැල්ලට යනකොට කොහොමද හොඳ නිර්මාණ බිහිවන්නේ. අතරින්පතර එකක් දෙකක් බිහිවන බව නම් පේන්න තියෙනවා.
වර්තමානයේ අපි දකින නිර්මාණ පැටලුණු නූල් බෝල වගේ. මොකද්ද මේ නිර්මාණවලට වෙලා තියෙන්නේ?
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ජපන්, චීන, කොරියන්, නාට්‍ය වැහි වැහැලා. අපේ නිර්මාණ කරන අයත් ඒවා අනුකරණය කරමින් නිර්මාණය කරනවා. මොකද රූපවාහිනී නාළිකාවලින් ඉල්ලන්නේ එවැනි නිර්මාණ. මේ හේතු නිසා අපිත් ප්‍රපාතයකට වැටිලා. දක්‍ෂතා ඔපමට්ටම් කරගන්න විදියක් නැහැ. මේ දේවල් කාට පැවසුවත් වැඩක් නැහැ.
පසුගිය කාලේ ඔබ කටයුතු කළේ දේශපාලනයට එන්න හිතාගෙන නෙවේද?
කොහෙත්ම නැහැ. මම හඬක් අවදි කළේ රට වෙනුවෙන්. රටේ අරගල වෙනුවෙන්, ගොවි අරගල, මාධ්‍ය අරගල, ශිෂ්‍ය අරගල, අසාධාරණය වෙනුවෙන්. සමාජ සේවිකාවක් විදියට මා කටයුතු කළා. මම ඒ වෙනුවෙන් ගුටිබැට කෑවේ නැති වුණාට, කඳුළු ගෑස්, වතුර පහරවල් හොඳට කෑවා.
මාධ්‍ය අරගලය වෙනුවෙන් ඔබ කතා කළා කිව්වාට ඔබට මාධ්‍යයෙන් සහනයක් ලැබුණු බවක් අපි දැක්කෙ නැහැ?
ඔව්. හරිවැරැද්දක් නොදැන සුළු මොහොතින් මට මඩ ගැහුවා. පසුගිය කාලේ සිදුවුණු රිය අනතුරත් එයට බලපෑවා. ඉන්පසු කිසි කෙනෙක් මම සමඟ කතා කළේ නැහැ. දැනුත් මේ ක්‍ෂේත්‍රයේ එවැනි දේවල් වෙනවා. ඒත් කවුද ඒ දේවල් ගැන කතා කරන්නේ. කිසිකෙනෙක් නැහැ. එහෙම මාධ්‍ය ගැන මට විශ්වාසයක් නැහැ.
වසන්ත විතාරණගේ











