90 දශකයේ ඇසුණු සමුගෙන යන්න කලින්, මලක් වී ඔබ කිමද පිපුණේ, ගත බබළයි, දුරස් වන්නට ඇතුළු ජනප්‍රිය දහරාවේ ගීත අදටත් අමතක කළ නොහැකිය. ඒ සොඳුරු ගීත ඔබට තිළිණ කළ සුවිශේෂී ගී තරුවක් තමයි ඉන්ද්‍රජිත් දොලමුල්ල කියන්නෙ. ඉතින් ඔවුන්ගේ ඒ ස්වර්ණමය යුගයේ ගීත ගැන අලුත් රහසක් රටට කියන්න ප්‍රවීණ ගායක ඉන්ද්‍රජිත් දොලමුල්ල අප සමඟ කතාබහ කළා.
ඔබ අලුත් වැඩකට සූදානම් වෙන බව දැනගන්න ලැබුණා?
ඔව්. 90 සුන්දර වින්දන ගී නමින් ප්‍රසංගයක් මාර්තු මස 14 වැනි දින මහරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අපි කටයුතු සූදානම් කරගෙන යනවා. සීරියස් සංගීත කණ්ඩායම තමයි පසුබිම් සංගීතය සපයන්නේ. 90 දශකයේ බිහිවුණු ජනප්‍රියම ගායක ගායිකාවන් 25 දෙනකු මෙයට සම්බන්ධ වෙනවා. අතුල ශ්‍රී ගමගේ, කුමාරසිරි පතිරණ සහ මම තමයි මේ ප්‍රසංගය පැවැත්වීමට මූලික වුණේ.
90 දශකයේ ගී තරු පොකුරක් එකම වේදිකාවට ගෙන ඒමට අදහස් කළේ ඇයි?
පළමු වතාවට තමයි අපි මෙවැනි ප්‍රසංගයක් කිරීමට කටයුතු කරන්නේ. මෙයට කලිනුත් මේ ප්‍රසංගය කරන්න අදහසක් තිබුණා.
ඒත් කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධානම හේතුව අලුත් පරම්පරාව 90 දශකයේ ගීත හඳුනන්නේ නැහැ. එහෙමත් නැතිනම් මේ ගීත ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. දැන් මාධ්‍යවලින්වත් ඔවුන්ට අතහිත දීමකුත් නැහැ. අනෙක් එක ලස්සන ගීත මැකී යන්නට දෙන්නත් බැහැනේ. ඒ නිසා තමයි අපි කතා කරලා මේ තීරණයට ආවේ.
දිගින් දිගටම මේ ප්‍රසංගය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවාද?
අනිවාර්යයෙන්ම මේ ප්‍රසංගයට තිබෙන ප්‍රතිචාරත් එක්ක අපි හිතාගෙන ඉන්නේ ඉදිරියටත් රටපුරා සහ විදේශීය රටවලටත් මෙය රැගෙන යන්න.
මේ ප්‍රසංගයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් ඉදිරියට මොනවගේ දෙයක්ද කරන්න අදහස?
එහෙම මුදල් උපයන අදහසින් අපි මේ ප්‍රසංගය කරනවා නෙවේ. නමුත් මේ ප්‍රසංගයට ගීත ගායනා කරන ප්‍රවීණ ශිල්පීන්ට අපි ගෙවීමක් කළ යුතුයි. ඔවුන්ගේ වටිනාකම මිල කරන්න බැහැ අපට. ඒ වගේම ගායක ගායිකාවන්ට ලෙඩක්, දුකක් හැදුණාම ඔවුන් වෙනුවෙන් අපිටත් මැදිහත් වෙලා යමක්කමක් කරන්න පුළුවන් වෙයි.
කාලෙකින් ඔබගේ අලුත් සින්දුවක් අහන්නට ලැබුණේ නැහැ?
අලුත් සින්දු ගොඩාක් තිබෙනවා. ඒ කිසිම දෙයකට මාධ්‍යවලින් කිසිම සහායක් නැහැ. මාධ්‍යවලින් කරන්නේ පරණ සින්දුම ප්‍රචාරය කරන එක තමයි. ඉතින් ඒ නිසා මම ‘යූ-ටියුබ්’ හරහා තමයි එකිනෙක සින්දු එළියට දමන්නේ.
90 දශකයේ ඔබේ ගීතවලට ලොකු ඉල්ලුමක් තිබුණා නේද?
මගේ විතරක් නෙවේ මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන සියලුම ශිල්පීන්ගේ ගීතවලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ ගීත ඇතුළත් කැසට්පටවලටත් ලොකු ඉල්ලුමක් තිබුණා. අදටත් ඒ තිබුණු ජනප්‍රියතාව ප්‍රසංගවල නැතුවා නොවේ. ඔවුන් ඉල්ලන්නේ ඒ 90 දශකයේ ගායනා කරපු පරණ සින්දු තමයි.
ඔබට මේ ගමන එන්න අභියෝග තිබුණද?
මම එහෙම ලොකු කට්ටක් කාපු කෙනෙක් නෙවේ. මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම සරලව චාම් ජීවිතයක් ගතකළා. හැබැයි පොඩි කාලේ ඉඳලා මගේ ලොකු ආශාවක් තිබුණා ගායකයකු වන්නට. ඒ අරමුණ එක්ක තමයි මම ජීවත් වුණේ.
අද මේ වර්තමානය දෙස බලන විට නව පරපුර ගැන මොකද හිතෙන්නේ?
සතුටට වගේම තවත් පැත්තකින් දුකකුත් තියෙනවා. ඔවුන් නිර්මාණ කළත් ඒවා ටික කාලයයි තියෙන්නේ. දක්‍ෂ දරු පිරිසක් දැන් බිහිවෙලා ඉන්නවා. ඒත් ඔවුන් යායුතු ක්‍රමවේදය හදාගෙන නැහැ. මම කියන්නේ කාටවත් ඊර්ෂ්‍යා නොකර මේ ගමන යන්න කියලයි.
ඔබගේ දරුවන් ඔබෙන් පසු මේ ගීත ඉදිරියට රැගෙන යන්න සූදානම්ද?
ඇත්තටම එය ගැන කනගාටුයි. මගේ දුවලා දෙන්නා සංගීතයට ප්‍රිය කළත් මගේ ගීත ඉදිරියට ගෙනියන්න ඔවුන්ගේ තවම අදහසක් නැහැ. සමහරවිට මගෙන් පසු මේ ගීත ඉදිරියට රැගෙන යන්න කවුරුත් නැති වේවි.
වසන්ත විතාරණගේ











