විදුලි දුම්රියේ
චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත්
අතරින්
මිහිරක් මතුවිය
සැලෙන සඳේ
අදටත් අසන්නට ලැබෙන මේ ගී පද සමඟ මතකයට නැඟෙන ලක්ෂ්මන් රුද්‍රිගෝ ගැන අටුවා ටීකා කීමට අවශ්‍ය නැත. ඒ හඬ අනාගතයටත් ජීවමාන වන සොඳුරු හඬක්. කාලෙකට පස්සේ ඒ සොඳුරු හඬ අවදි කරන්නට අප උත්සාහ ගත්තා.
කොහොමද ඔබේ හඬ කරළියට එන්නේ?
1968 තමයි මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. මගේ පවුලේ වැඩිමල් සහෝදරයොත් සංගීතයට ළැදියි. ඉතින් අපේ ගෙදරත් සර්පිනාවක් තියෙනවා. අයියලා එය වාදනය කරන දිහා බලාගෙන ඉඳලා මමත් පුරුදු වුණා. පසුකාලීනව මම ‘සුවඳට මල මෙන්’ ගීතය ගායනා කළා. රූපා ඉන්දුමතී සමඟ රත්නලංකා අබේවික්‍රම තමයි එහි පද රචනය කළේ. ගුවන්විදුලියේ මුල්වරට ඒ ගීතය ගායනා කරලා තමයි මම මේ ක්ෂේත්රයට ආවේ.
පසුකාලීනව ඔබේ ගීත අතිශය ජනප්‍රිය වුණා නේද?
විදුලි දුම්රියේ, දේශයෙන් දේශේ බලා, කඳුළු පිරුණු දෑසේ, කුරුල්ලනේ පැණි කුරුල්ලනේ, ආවේ කාගේ කවුදෝ ඇතුළු මම ගායනා කරපු ගීත ගණනාවක් අදටත් ජනප්‍රියයි. එය ගැන මම සතුටු වෙනවා. මොකද ප්‍රසංග වේදිකාවට නැග්ගත් මට අලුත් සින්දුවක් ගායනා කරන්න බැහැ. ඔවුන් ඉල්ලන්නෙම පරණ ගීතමයි.
‘විදුලි දුම්රිය’ ගීත හැදුණු හැටි පැවසුවොත්?
ඒක පුදුම කතාවක්. අපේ ගෙදර මගේ දරුවන්ට ටියුෂන් කරන්න ගුරුවරයෙක් ආවා. ඔහු දයානන්ද කුමාරසිරි. කවදාවත් ඔහු ගීත ලියලා නැහැ. නමුත් මගෙන් ඇහුවා ලියපු සින්දු ටිකක් ලියලා දෙන්නද කියා. මම ඉතින් හා කියලා ගෙනත් දෙන්න කියලා කිව්වා. මම එයින් සින්දු දෙකයි තෝරා ගත්තේ. ‘එක කුඩය යටින් සරසවි පාරේ’ සහ ‘විදුලි දුම්රිය’ ගීත දෙක තමයි මම තෝරා ගත්තේ. ඔය විදියට තමයි විදුලි දුම්රිය මට ලැබුණේ.
90 දශකයේ කැසට්වලට හොඳ ඉල්ලුමක් තිබුණා නේද?
ඒ තිබුණු ස්වර්ණමය යුගය දැන් කෝ. එදා මේ වගේ විශාල තාක්ෂණ පහසුකම් තිබුණේ නැහැ. මං ‘චාරුලතා’, ලක්ෂ්මන් ගී 16, විදුලි දුම්රිය කියන කැසට් පට නිර්මාණය කළා. පසුකාලීනව සංයුක්ත තැටි ආවත් එක්කම කැසට් පට කුණු කූඩෙට වැටුණා. සුවිශේෂී හඬවල් නිහඬ වුණා. මොකද මහන්සිවෙලා නිර්මාණ කළාට අවසානේ ප්‍රතිඵලයක් නැති වුණා. ඉතින් අපේ පැරැණි ගීත අප ප්‍රසංගවල ගායනා කරනවා.
ප්‍රවීණ ගායනා ශිල්පී ජෝතිපාල සමඟ ඔබගේ ළඟින් ලොකු සමීප මිතුදමක් තිබුණාද?
ආයේ මොනව අහනවද අපි හොඳම යාළුවෝ. පුළුවන් හැම වෙලාවකම ඉතින් අපි එකට තමයි කාලය ගත කරන්නේ. ඔය ඉන්න ගමන් දෙන්න එකතුවෙලා යාළුවො එක්ක අඩියක් ගහනවා. මගේ ලොකු ආශාවක් තිබුණා ඔහු සමඟ ගීතයක් ගායනා කරන්න.
ඉතින් සිහිනය සැබෑ වුණාද?
‘වස්තුව’ චිත්‍රපටයේ මම ජෝතිපාල සමඟ එකට ගායනා කළා. මම ටෝනි රණසිංහ වෙනුවෙන් ගායනා කරන කොට ජෝතිපාල මහතා වොලි නානායක්කාරට ගායනා කළා. 1982 වගේ තමයි ඔය චිත්‍රපට ගීය අපි දෙන්නාට එකට ගායනා කරන්න ලැබුණේ. ‘දහදිය වගුරලා’ ගීතය තමයි මම ඔහු සමඟ ගායනා කළේ.
ඉදිරියේදී අලුත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
අදහසක් නැතුවා නෙවේ. ඉස්සර අපි සින්දුවක් කළාම ගුවන්විදුලියෙන් එන්න කියලා එය ප්‍රචාරය කරනවා. ඒ විතරක් නෙවේ අපට ගෙවීමක් කරනවා. ඒත් දැන් සින්දුවක් කරලා ප්‍රචාරය කරගන්න අමාරුයි. ඉතින් ඒ මදිවට දැන් සින්දුවක් කරන්න හිතුවොත් ලක්ෂ 5ක්වත් වැය කරන්න සිදුවෙනවා. ඉතින් එහෙම ලොකු පිරිවැයක් දරන්න අපට අමාරුයි.
අනෙක දැන් හොඳ ගීත රචකයො අහිමි වීමත් මෙයට බලපානවා නේද?
ඔව්. ඒකත් විශේෂයෙන් බලපානවා. ඉස්සර වගේ හොඳ පද රචකයෝ දැන් නැහැ. තනු නිර්මාණ ශිල්පීන් නැහැ. අදටත් ඒ ගීතවල ඉල්ලුම තියෙන්නේ එහි තිබුණු ගූණාත්මකභාවය නිසයි. අද අලුත් සින්දුවක් ගායනා කළොත් දවසින්, දෙකෙන් ඉවරයි.
අද ගීතවල තනුවක් හදන්නේ ගිටාර්වලින්. අතීතයේ ස්ර්පිනාව, එහෙමත් නැතිනම් කීබෝඞ් එකෙන්. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන්නේ. අනෙක දැන් හැදෙන ගීතයක් පවුලේ සැමට එකට ඉඳගෙන රසවිඳින්නවත්, බලන්නවත් බැහැ. විකාර රූප රචනා හරහා ගීතය විෂුවල් කරලා. මෙය ලංකාවේ විතරක් නෙවේ භාරත සංගීත කලාවටත් අත්වුණු ඉරණමක්.
ගීතයක් ජනප්‍රිය කරවීම රූප රචනාවම අවශ්‍යමද?
ඉස්සර ඔය විෂුවල් කලාව තිබුණේ නැහැනේ. දැන් සින්දුවල 80%ක් රූප රචනාව බලනවා. ඉතුරු 20% තමයි ගායනයයි, තනුවයි බලන්නේ. ඒ දෙකත් හරියට ගැළපුණොත් 100% හොඳයි කියලා හිතලා තමයි ජනතාව වැලඳ ගන්නේ.
ඔබේ විරුද්ධත්වයක් තිබෙනවාද මතු පරපුර ඔබේ ගීත ගායනා කරනවාට?
අපෝ කවදාවත්ම නැහැ. මම කැමැති මතු පරපුර මගේ ගීත ගායනා කරනවාට හැබැයි විකෘති නොකර. පසුගිය දවසක උරේෂ රවිහාරි රූපවාහිනියේ මගේ ගීතයක් ගායනා කළා. මට දුරකතන ඇමැතුම් එනවා නඩු දාන්න කියලා. ඇයි මම එහෙම කරන්නේ. ඇය ගායනා කළේ එය මගේ ගීතයක් කියලා මුලින් සඳහන් කරලයි. ඉතින් එහෙම ගෞරවාන්විතව අපේ ගීතවලට අපිට සැලකිල්ලක් කරද්දී ඇයි මම නඩු දාන්නේ.
වසන්ත විතාරණගේ











