මානෙල් මලක් වන් සුරූපී මුව මඬලක් හිමි මානෙල් වානගුරු සිනමාවට පැමිණියේ සිය පියා වූ ඩඞ්ලි වානගුරුගේ අඩි පාරේ පියමං කරමිනි.
සිනමාව මෙන්ම වේදිකාව තුළද නොමැකෙන මතක සටහන් තැබූ මානෙල් ආලින්දයේ සිනමාව තුළින්ද ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියාය.
ඈ ආනන්ද වික්‍රමගේ නම් දක්‍ෂ රංගවේදියාගේ සුන්දර බිරිඳය. ජනිත් සහ සංකේත් යන තරුණ ටෙලි නළු දෙපළගේ ආදරණීය අම්මාය.
ඒ නිසා කතා කරන්නට බොහෝ දේ ඇත.
එහෙත්,
මේ මොහොත තුළ අපට ඕනෑ වූයේ මානෙල් වානගුරුගේ නම් කලාකාරියගේ හදවත කොනක තැන්පත්ව ඇති ඈ පිළිබඳවම වූ අතීතයේ රසමුසු තැන් ගැන මතකය ඇවිස්සීමටය.
ආරාධනා කළා සේම මානෙල් ඒ සඳහා සූදානම්ව අප සමඟ දොඩමලු වූයේ මෙසේය.
තරංගා තුළින් අප කතාබහට මුලපුරමු, ඒ ඔබේ පළමු චිත්‍රපටය නේද?
අපොයි නැහැ, මගේ පළමු චිත්‍රපටය ‘වහලිය’යි. මම එහි රඟපෑවේ පාසල් දැරියකව සිටි අවධියේ එහිදී මට ලැබුණේ වයස අවුරුදු 8ක පමණ දැරියකගේ චරිතයක්.
ඒ සඳහා පසුබිම සැකැසුණේ පාසල තුළින්ද?
පාසලේදීත් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් වනලිය චිත්‍රපටයෙහි රඟපාන්නට අවස්ථාව උදාකර දුන්නේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයයි.
මගේ තාත්තා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයගේ චිත්‍රපට රැසක රඟපාලා තිබුණා. රූගතකිරීම්වලට යනකොට තාත්තා මාව එක්කගෙන යනවා. ඒ යනකොට අම්ම මාව හරි ලස්සනට අන්දවලා හැඩ කරවනවා. ආඩම්බරේකට කියනවා එහෙම නෙවෙයි. මම බෝනික්කියක් වාගේ කියලා හැමෝම මගේ පිරුණු කම්මුල් මිරිකනවා.
ඉතින් තාත්තා එක්ක යන එන අතරේ ජයමාන්න මහත්තයා දවසක් ඇහුවා. ඩඞ්ලි මේ ලස්සන දරුව වගේ අලුත්ම චිත්‍රපටයට දෙන්න පුළුවන්ද කියලා. තාත්තත් එකපාරම ‘හා’ කියලා කිව්වා. ඉන්පස්සෙ ජයමාන්න මහත්තයා මට සින්දුවක් කියලා පෙන්නන්නය කිව්වා. ඒ වෙලාවේ මගේ මතකයට ආවේ ‘පෙම් කැකුළ පිපී’ සින්දුව. මම ඒක ගායනා කළා. ඇත්තටම හරිම අපූරුවට ගායනා කළා. ජයමාන්න මහත්තයාට ‘හරිම සැටිස්’ මගේ ඔළුව අතගාලා කිව්වා.
ඊළඟට මම කරන චිත්‍රපටයේ ප්‍රධාන පුංචි නිළි කැකුළ ඔයා තමයි මානෙල් කියලා කිව්වා. අන්න ඒ විදියටයි මම ‘වනලිය’ චිත්‍රපටයට ආවේ.
වනලිය අතිශයින් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්ම නේද?
කුතුහලය පිරුණු ලස්සන කතාවක්. මම හරිම ආසාවෙන් රඟපෑවා. පුදුම විදියට එය ජනප්‍රිය වුණා.
චිත්‍රපටය නරඹන මොහොතේ මට හිතාගන්නට බැරි වුණා. ඒ රඟපාන්නේ මමද කියලා, ඇත්තෙන්ම ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි.
ඔබ වේදිකාවට ආවෙත් කුඩා කෙල්ලක කාලේමයි නේද?
ඔව්… ‘සසර දුක්’ නාට්‍යයෙන් මම ඒ දවස්වලම වේදිකාවටත් ආවා. පෝලියෝ රෝගයෙන් පෙළුණු දැරියක ලෙස මා කළ චරිතයට මම එදා වගේම අදත් ආසයි.
‘සසර දුක’ පෝලියෝ දැරිය ගැන ඒ කාලේ බොහෝ දෙනා කතා කළාලු නේද මානෙල්?
මොනවා කියනවද? බලන අයගේ ඇස්වලට කඳුළු උනන්නයි මම ඒ චරිතය කළේ.
කොයිතරම් සාර්ථකව එය කළාදැයි කියනව නම්, අපේ අම්මා කියනවා ඒ දවස්වල මට හරියට ‘ඇස්වහ’ වැදුණාලු. මගේ කකුල් පුරාම ඇස්වහ බිබිළි දැම්මා.
ඉන්දියාවේ යන්නට වරම් ලැබුණේ ඒ අතර ගෙවී යන කාලයේදීද?
එතකොට මම නව යොවුන් පාසල් දැරියක්. මගේ දක්‍ෂතාවය නිසාම රඟපෑම වැඩිදියුණු කරගැනීමට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබුණා.
නමුත් ඒ වාසනාව දෝතට ගන්න ලැබුණෙ නැහැ. මොකද, මම ඉගෙන ගත්තේ කොන්වන්ට් එකක නිසා මට විදේශ ගතවීමට අවශ්‍ය අවසරය ලැබුණේ නැහැ.
එම සිදුවීමෙන් පසු රඟපෑමට තිත තැබුව නේද?
ඔව්… මම හොඳින් ඉගෙන ගත්තා. ඉන්පස්සේ මහරාජා ආයතනයේ හොඳ නිලයක් සහිත රැකියාවක් ලැබුණා.
සේන සමරසිංහගේ ඇසට ඔබව හසුවුණේ එතැනදීද?
හරියට හරි. සේන සමරසිංහ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට ගාමිණී – මාලනී සමඟ රඟපාන්න අලුත් කෙල්ලකගේ මුහුණත් හොයන අතර මාව දැකලා තිබුණා.
එවෙලේම ළඟට ඇවිත් ඇහුවා, ‘සදහටම ඔබ මගේ’ ෆිල්ම් එකේ ජෝ අබේවික්‍රමගේ පෙම්වතියට රඟපාන්න කැමැතිද? කියලා. මම ගත් කටටම කිව්වා අම්මගෙන් අහන්න ඕනෑ කියලා. අම්මගේ අවසරය ලැබුණ ගමන් මම චිත්‍රපටයට ගිවිසුම් අස්සන් කළා.
ඒ රඟපෑමෙන් පසුව චිත්‍රපට ගලාගෙන එන්න ගත්තා. කොයි එකද තෝර ගන්නේ, කොයි එකද රිජෙක්ට් කරන්නේ කියන තරමට චිත්‍රපට පිරිලා. ‘තරංගා’ චිත්‍රපටයට ආරාධනා ලැබුණෙත් ඒ කාලෙමයි. රවීන්ද්‍ර රන්දෙණිය සමඟ රඟපෑ ‘තරංගා’ චිත්‍රපටයද හරිම ජනප්‍රිය වුණා. රඟපාන්න විශාල ඇල්මක් දැනෙන කොට, මට තීරණය කරන්න වුණා රස්සාවද? රංගනයද? තෝරා ගන්නේ කියලා. අන්තිමේදී ලොකු වැටුපක් හම්බවුණු රැකියාව අතෑරලා රඟපෑම තෝරාගත්තා.
‘නිල්ල සොයා’ චිත්‍රපටය ගැන කතා නොකර බැහැ නේද?
කොහොමටවත් අමතක කරන්නට බැරි හරිම සුන්දර චිත්‍රපටයක්. නිල්ල සොයා කියන්නෙ මගේ සිනමා ජීවිතයේ සුවිශේෂීම එක් අවස්ථාවක්.
එකක් මම එහි රඟපෑවේ, සිනමා සක්විති ගාමිණී සමඟ අනෙක් කාරණය එහි මම කළ ත්‍රිත්ව චරිත රංගනය,
එය ආත්ම ගණනක කතාවක්, ගාමිණී දුන් සහයෝගය ගැන කියන්න වචන නැහැ. ඔහු මට එම චරිත තුන කරන්න අවශ්‍ය පසුබිම ගැන හොඳින් කියා දුන්නා.
නිල්ල සොයා බොක්ස් වාර්තා තබන විට මගේ ජනප්‍රියත්වයට එය තවත් රුකුලක් වුණා. අදටත් ප්‍රේක්‍ෂකයන් නිල්ල සොයා ගැන කතා කරනවා. එහි ගීත වුණත් තවමත් හරිම ජනප්‍රියයි.
ඇත්තෙන්ම සිංහල සිනමාවට මල් වරුසාවක් කැන්ද වූ ඒ අලංකාර යුගය හරිම අඳුරුයි.
‘වැනීසියේ වෙළෙන්දා’ තුළින් ඔබ වේදිකාවක් හෙල්ලුවා. එහෙම නේද මානෙල්?
මොනවද අනේ මේ කියන්නේ. ඒ ගැන කියන්න තියෙන කතා කොයිතරම්ද? ‘වැනීසියේ වෙළෙන්දා’ ගැන කතා කරන්න දවසකුත් මදියි ඇත්තටම වේදිකාවට වසන්තය ගෙන ආ ඒ අපූරු නිර්මාණයෙහි ‘පෝෂියා’ වීම මට ආඩම්බරයක්.
වැනීසියේ වෙළෙන්දා කොට 1,500ක් පමණ අප රඟදැක්වූවා. ප්‍රේක්‍ෂකයන් දොරවල්, ජනෙල් කඩාගෙන ඇතුළට එන්න දඟලන තරමට ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයට වැල නොකැඩී සෙනඟ ආවා.
මේ සියල්ල ලැබුණේ ඔබ ලස්සන කෙල්ලක වූ නිසාද?
අනේ මන්දා, ඒකට දෙන්න ඕනෑ උත්තරය මොකක්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මම බෝනික්කියක් වාගේ කියලා හැමෝම මට ඒ කාලේ කියනවා.
ඒ කාලේ නෙවෙයි, අදටත් මඟතොටදී හමුවුණු මගේ පෑන්ස්ලා මට කියනවා. ඔයාගේ පෙනුම ඒ දවස්වල හින්දි නිළියක් වාගේ නේදැයි කියලා.
හැබැයි මෙහෙමයි,
හැමදේම රූ සපුව නිසා ලැබුණා කියලම කියන්න බැහැ. මෙවැනි වාසනාවන්ත දේ සඳහා දේවාශීර්වාදයද අවශ්‍යයි.
මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේද මේ සියල්ල තුළ මා සමඟ සිටිනවා කියා. වාසනාව, දක්‍ෂතාවය වගේම අපට ලැබෙන වටිනාකමට දෙවියන්ගේ ආශීර්වාදයද අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ නිසා එම ඇදහීමද මා තුළ තිබෙනවා.
ටෙලි නිර්මාණ සඳහාද ඔබ පසුකලෙක දායක වුණා?
ඔව්… ටෙලි චරිත සඳහා නොකඩවාම මට ආරාධනා ලැබුණා. රංගනයෙන් සහාය වුණා. නමුත් මෑතක සිට මට ඒ තරම් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැතැයි කීවොත් හරි මං හිතන්නේ.
එයට හේතුව සුදුසු චරිත නොලැබීමද?
එහෙමමත් නෙවෙයි. යම් කලකිරීම් වැනි දෑ එයට හේතු වුණා මම හිතන්නේ.
ඔබ එළිදරව් නොකරන කාරණය පුද්ගලික දෙයක්ද මානෙල්?
මෙහෙමයි. කිසිවකුට දොස් පැවරීම මම අනුමත කරන්නේ නැහැ. නමුත් රංගනය වෙනුවෙන් අප කරන කැපකිරීම සහ වෙහෙස මහන්සිය කිසිවකු නොතකන්නේ නම් එයට සුදුසු අගය වටිනාකම නොදෙන්නේ නම් එය හරිම අසාධාරණයි.
අන්න එතැනදී කලාකරුවා දැඩි වේදනාවකට පත්වෙනවා. මම කෙළින්ම ඔබට කියන්නේ නැති කාරණාවට පසුබිම් වන්නේද එවැනි කනගාටුදායක සිදුවීමක් තමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











