ශ්‍රී ලාංකේය ගිහි බෞද්ධයාගේ වැඳුම් පිදුම්වලට ලක්වෙන ලක්දිව ඇති පූජනීයම වස්තුව මහනුවර වැඩවසන ශ්‍රී දළදා වහන්සේ බව රහසක් නොවේ. එදා කිත්සිරි මෙවන් රජ දවස කාලිංග දේශයේ සිට එය ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ආවේ හේමමාලා සහ දන්ත කුමරුන් විසිනි. එවකට මෙරට සිටි සිංහල බෞද්ධ රජවරුන්ගේ රාජ්‍යත්වයේ සංකේතය වූයේද මෙම දළදා වහන්සේය. එනිසා රාජ්‍යත්වය සඳහා තමන්ට නිල උරුමය ගෙනදුන් දළදා වහන්සේට රජවරු උදේ සවස පුද සත්කාර කළ බව පැවසෙයි. විශේෂයෙන්ම ඒ සඳහා එවකට වෙනම නිලධාරීන් පිරිසක් පත්කර සිටි අතර එදා සිට අද දක්වාම ඔවුන් තම පරපුරෙන් පරපුරට අබණ්ඩව තමන්ගේ රාජකාරිය කරනු ලබයි.
දළදා වහන්සේ වෙනුවෙන් කරනු ලබන තේවාව රාජකාරියයි. එය කරනු ලබන්නේ රාජකාරිකාරයායි. අතීතයේ ඊට භික්ෂුන් වහන්සේලා පත්කොට සිටියද පසුකාලීනව ඊට ගිහි නිලධාරීන් පිරිසක් පත් කෙරිණි. දැන් මෙය පාරම්පරික කාර්යයකි. මේ අතර මෙම දළදා මාළිගාවේ පුද පූජා පවත්වන නිලධාරීන්ද දෙපිරිසක් සිටියි. එනම් ඇතුල් කට්ටලේ හා පිට කට්ටලේය. මෙහි ඇතුල් කට්ටලේ නිලධාරීන් ප්‍රධාන දළදා මන්දිරයෙහි රාජකාරිය කරන අතර පිට කට්ටලේ නිලධාරීන් ඉන් පිටත රාජකාරිය සිදුකරයි. මෙහිදී ඇතුල් කට්ටලේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන් මෙහෙයවන අතර පිට කට්ටලේ දැනටත් මෙහෙයවන්නේ දියවඩන නිලමේතුමන් විසිනි. දළදා තේවාව භාරව කටයුතු කරන්නේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හි භික්ෂුන් වහන්සේලාය. මේ අතර දළදා තේවාව සිදුකරනු ලබන සියලු නිලධාරීන්ගේ ඒ ඒ රාජකාරීන් පහත පරිදි වෙයි.
(01) දියවඩන නිලමේතුමා
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කටයුතු පරිපාලනය කිරීම භාර ප්‍රධාන ගිහියා වන්නේ දියවඩන නිලමේය. දළදා කරඬුව විවෘත කිරීමේ යතුරු තුනෙන් එකක්ද මෙතුමා සතුය. දියවඩන යන්නෙහි අර්ථය “වඩනවා” යන්නයි. ඒ අනුව පැහැදිලි වන්නේ එදා රජවරුන් පැන් සතපා ගන්නට සූදානම් වූ පසුව ඒ පැන් ලබාදීමේ සිට සළුපිළි සකස්කර දීමත් හිසේ තෙල්ගෑමත් හිස පීරීම ආදිය පැවරුණේ මෙම දියවඩන නිලමේට බවයි. තවද නියං සමයේදී වැසි වැස්සවීමේ අපූරු ශක්තියක් දළදා වහන්සේට ඇති බව ගැමියන්ගේ විශ්වාසයයි. එනිසා එය බාර නිලධාරියාට “දියවඩන නිලමේතුමා” ලෙසින් නම් යෙදුණු බවද විශ්වාස කළ හැකිය. දළදා මාළිගයේ මුල්ම දියවඩන නිලමේ කපුවත්තේ අධිකාරම්ය. ඔහු වසර දහයක් පුරාවට එහි කටයුතු කළ අතර ඒ වර්ෂ 1814 සිටය. සැබෑවටම දළදා වහන්සේ ආරක්ෂා කිරීම වගකීම් සහිත ප්‍රධාන රාජකාරියකි. එසේම මහනුවර ඇසළ පෙරහැර මෙතුමාගේ අනුදැනුම මත පවත්වන අතරම එය අපූර්ව සංස්කෘතික මංගල්‍යයකි. උඩරට නිලමේවරුන්ට ආවේණික සළුපිළිවලින් සැරසී සිටින මෙතුමා ලක්දිව ප්‍රධානම ගිහි බෞද්ධයාය. දැනට එම තනතුර දරන්නේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාය.
(02) කාරියකරවන රාල
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සියලුම රාජකාරීන් නිසිපරිදි සිදුවේදැයි සොයා බලන්නේ කාරියකරවන රාලයි. ඔහුට “කාරියකෝරාළ” යැයිද විටෙක පවසනු ලැබෙයි. විශේෂයෙන්ම පුදපෙත්වල පාලනය ඇත්තේ ඔහු සතුවය. ඊට අවශ්‍ය බඩු භාණ්ඩ සපයාදීම මෙන්ම මාළිගාවේ වටිනා භාණ්ඩ සුරක්ෂිත කරගැනීමද ඔහු අතින්ම සිදුවෙයි. කාරියකරවන රාල මෙම තනතුරට පත්කරන්නේ දියවඩන නිලමේතුමා විසිනි. දැනට දළදා මාළිගයේ දියවඩන නිලමේට පසුව සිටින ප්‍රධානියාද වන්නේ කාරියකරවන රාලයි.
(03) වට්ටෝරු රාල
දළදා තේවාව සඳහා උදව් උපකාර කරන ප්‍රධාන නිලධාරියා වන්නේ මෙම වට්ටෝරු රාලයි. මේ අතර මෙම වට්ටෝරු යන වචනය බිඳී ආවේ “වට්ටක්කාර” යන පාලි වචනය මඟිනි. සිංහල අර්ථයෙන් “වතාවත්කාරයා” යන්න එහි අදහසයි. එනම් “තේවාවට උදව් වෙන්නා” යන්නයි. වට්ටෝරු රාල ගඳකිළියේ තේවාව කරන භික්ෂූන් වහන්සේලාට තේවා කටයුතු සඳහා සහාය වෙයි. අද දළදා මන්දිරය විවෘත කිරීම මෙන්ම ආපසු වැසීම යන අවස්ථාවලදී දළදා මාළිගයේ යතුරු පයිංඩ කිරීම වට්ටෝරු රාලගේ ප්‍රධානම රාජකාරියකි.
(04) ගෙපරාල
ගෙපරාල යනු දළදා මන්දිරයේ ඉහළ මාලය තුළ තැන්පත් කර තිබෙන දේවල් ආරක්ෂා කිරීම මෙන්ම තේවාව කරන අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය බොලපැන් පයිණ්ඩ කිරීමෙන් සහ ඒවා භාජනවලට පිරවීමෙන් භික්ෂූන්ට සහාය වෙන්නාය. එකල මෙම ගෙපරාල තනතුර “කඩුව දරන්නා” යන අර්ථයෙන් හඳුන්වාදී ඇති අතර එය තවදුරටත් සරල කිරීමේදී එහි සැබෑ අර්ථය ධාතුන් ආරක්ෂා කරන්නාය. මෙකල ගෙපරාල යනු නුවර දළදා මාළිගාව ආරක්ෂා කරන්නාය. මෙම ගෙපරාල යන අපූර්ව වචනය සෑදී ඇත්තේ “ගේ බලන රාල” යන වචනයෙනි.
(05) කත්තියන රාල
කත්තියන රාල යනු උඩුමාලට මුළුතැන්ගෙයි සිට දානය රැගෙන යන්නාය. මෙම කත්තියන රාල යන නම තුළ ඇති කත්තියන යන වචනය කද හා බැඳුණු අපූරු වචනයකි. හේමකද නම් කදකින් බුද්ධ පූජාව රැගෙන පැමිණීමත් එම හේමකද නියමිත ස්ථානයේ තැන්පත් කිරීමත් කත්තියන රාල සතු ප්‍රධාන රාජකාරියකි. දළදා මාළිගාවේ රාජකාරියේ යෙදී සිටින ප්‍රධානතම අයෙක් ලෙස කත්තියන රාල හඳුන්වාදිය හැකිය.
(06) හක්ගෙඩි රාල
එදා දළදා මාළිගයේ දිනපතා තේවාව පැවැත්වෙන වේලාවට හක්ගෙඩිය පිඹින්නේ හක්ගෙඩි රාල විසිනි. ඔහු දළදා මාළිගයේ තේවාවට සුදුසු වේලාව එලෙසින් අඟවන්නේ හක්ගෙඩිය පිඹිමිනි. එහෙත් අද වෙනවිට එය අඟවන්නේ ඝණ්ටාරය නාද කරමිනි. තවද තේවාව අවස්ථාවේදී දුම්මල ආදිය ලබා දෙන්නේද හක්ගෙඩි රාල විසිනි. හක්ගෙඩි රාල හක්ගෙඩිඅප්පු යන නමින්ද හැඳින්වෙයි.
(07) ආලත්ති අම්මාවරු
එදා පටන් අද දක්වාම දළදා මාළිගයේ රාජකාරීන් කරනා ඇතුළත කට්ටලේට කාන්තාවන් දෙදෙනෙක් ඇතුළත්ය. ඒ ආලත්ති අම්මාවරුන්ය. බදාදා හා නානුමුර මංගල්‍යය දිනවල ඔවුන් තම රාජකාරීන් කරන අතර එසේ ඔවුන් කරනු ලබන ශාන්තිකර්මය ආලත්ති බෑම යනුවෙන් හඳුන්වයි. පහන් දල්වාගෙන අත දරා එක්තරා රිද්මයකට එම පහන් චලනය කරමින් ඔවුන් ආලත්ති ගායනය සිදුකරයි. ආලත්ති යනු දෙමළ භාෂාවෙන් බිඳී ආ වචනයකි. ඊට හේතුව හින්දු කෝවිල්වල සිදුකරන ආලත්ති නම් වූ ශාන්තිකර්මයයි.
(08) දොරකඩ ආරච්චි
දොරකඩ ආරච්චි යනු දළදා මාළිගාවෙහි අරමුදල් ඇතුළුව පහත මාලයේ ඇති වටිනාකමින් ඉහළ බඩු භාණ්ඩ ආරක්ෂා කරන තැනැත්තාය. එමෙන්ම දළදා වහන්සේ වැඩවසන දළදා මන්දිරයද ඇතුළුව දළදා මාළිගයේ සියලුම දොරවල් මුරකිරීම දොරකඩ ආරච්චි සතු ප්‍රධාන රාජකාරියයි.
(09) නැකැත් මොහොට්ටාල
දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යයත් අලුත් අවුරුදු මංගල්‍යයත් ඇසළ පෙරහැර මංගල්‍යයත් සහ කාර්තික මංගල්‍යයත් යන සතර මහා මංගල්‍යයන් පැවැත්වීම සඳහා සුබ මුහුර්ත මෙන්ම සුබ නැකැත් ප්‍රකාශ කිරීම නැකැත් මොහොට්ටාල සතු ප්‍රධානතම රාජකාරියකි. එම නිසා නැකැත් මොහොට්ටාල යනු දළදා මාළිගයේ සිටින ප්‍රධාන පුද්ගලයකු ලෙස දැන් හැඳින්විය හැකිය.
(10) උඩුමාලේ මොහොට්ටාල
මොහොට්ටාල යනු දළදා මාළිගයේ ඇති ලේකම් තනතුරකි. ඒ සඳහා අද කීපදෙනෙක්ම මාළිගාව තුළ සිටියි. දළදා මාළිගයේ බඩු භාණ්ඩ නඩත්තු කිරීම හා එහි එන බැතිමතුන් පූජා කරන වටිනා බඩු භාණ්ඩ ආදිය ලේඛනගත කිරීම උඩුමාලේ මොහොට්ටාලගේ ප්‍රධාන රාජකාරියයි.
(11) මුළුතැන්රාල
මුළුතැන්රාල යනු අද දළදා මාළිගාවට අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. ඊට හේතුව ඔහුගේ ඒ රාජකාරියයි. ඉතා නිහඬ රාජකාරී කරන්නකු වන ඔහු දළදා වහන්සේ උදෙසා දිනපතා බුද්ධ පූජාවත් දහවල් පූජාවත් සහ ගිලන්පස සකස් කරයි. එදා බුදු රජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සංකේතවත් කිරීමට දහවල් පූජාවක් වෙනුවෙන් හාල් සේරු මෙන්ම ව්‍යංජන 32ක් ඇතුළත් දහවල් පූජාව සකසා ඇත්තේ මුළුතැන්රාලයි.
(12) හඳුන් කපුරාල
හඳුන් කපුරාල යනු දළදා මාළිගාවේ සිටින තවත් විශේෂ පුද්ගලයෙකි. ඔහුට නියමිත ඔහුගේ නියමිත රාජකාරිය වන්නේ තේවාවට අවශ්‍ය හඳුන් ගල ගා සූදානම් කිරීමයි. හඳුන් කපුරාල සතු එකම රාජකාරිය වන්නේ එයයි.
(13) කවිකාර මඩුව
කවිකාර මඩුව යනු දළදා මාළිගයේ සිටිනා කලා ශිල්පීන් පිරිසකි. ඊට පස්දෙනෙකු ඇතුළත්ය. කෙම්මුර දිනයක් වන බදාදාට සහ පසළොස්වක පෝයදාට දළදා වහන්සේ මහජනයාට ප්‍රදර්ශනය වෙන අතර එදින මෙම කවිකාර මඩුව රැස්වෙයි. ඔවුන් ඇසළ පෙරහැර තුළද ගමන් කරන අතර ඔවුන්ගේ රාජකාරිය වන්නේ දළදා වහන්සේ අසල සිට බුදු ගුණ ගායනා කිරීමයි. අද බුදු ගුණ ගැයුවද එදා ඔවුන් ගයා ඇත්තේ රජුගේ ගුණ බව පැවසෙන අතර එවකට ඔවුන් හඳුන්වා ඇත්තේ වන්දි භට්ටයෝ යන නමිනි.
(14) විදානේ
දළදා මාළිගයට අයත් ගම් දහයක් තිබේ. ඔවුන් මාළිගයට අයත් ප්‍රවේණි ඉඩම් භුක්ති විඳිමින් එහි යම් යම් සේවා ඉටුකරනු ලබයි. එම එක් එක් ගම්වල ප්‍රධානියා වන්නේ විදානේය. ඔහු ඉඩම් භුක්ති විඳින අයගෙන් ඒ ඒ ප්‍රමාණයෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළුව බදු එකතු කර පසුව ඒවා මාළිගය වෙත බාරදෙයි.
(15) වෙනත් නිලධාරීන්
දළදා මාළිගයේ දෛනික සේවාවන් සඳහා සෘජුව සම්බන්ධ නොවුණද සතර මංගල්‍යයන්ට සම්බන්ධ තවත් පිරිස් සිටියි. ඔවුන් මාළිගයට අයත් ඉඩම් සුද්ධ කර පුද පූජා හා උත්සවවලට අදාළ මල් මෙන්ම තෙල් සපයමින් මාලිගා භූමිය පිරිසුදු කර සරසයි. පෙරහැර සමයේදී අලි ඇතුන් සැරසීම සහ පන්දම් ඔසවාගෙන යන්නේ එම පුද්ගලයන්ය.
රුවන් එස්. සෙනවිරත්න











