බුදුන් වහන්සේගේ ජීවන චරිතයටද නුග ගස බෙහෙවින් සම්බන්ධය. නුග ගස බෞද්ධයන්ගේ වන්දනීය බෝධි වෘක්ෂයකි. පූජනීය වෘක්ෂයක් ලෙස මෙන්ම ඖෂධ සපිරි වෘක්ෂයක් ලෙසද බෝගස සලකනු ලබයි.
අජපල් නුග, ඇසතු නුග, කිරිපලු නුග බුද්ධ චරිතය සමඟ සැබැඳුණු විශේෂිත වෘක්ෂයන්ය. මේ අතරට බිංනුග නම් වර්ගයක්ද එක් වෙයි.
නුග ආයුර්වේදයේ න්‍යග්‍රෝධ නමින් හැඳින්වෙයි. වනස්පති වෘක්ෂ ගණයට වැටෙන මෙම ශාකය අඩි 30-40ක් පමණ උසට වැඩෙයි. නුග පත්‍රවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් නම් පත්‍රයේ අග දැඩිව සිහින් නොවීමයි. පත්‍රයේ මූලයේ සිට අග්‍රය දක්වා එකම පළල් ස්වභාවයක් දැකිය හැකිය. තද කොළ පැහැති මෙම පත්‍ර මතුපිට සිනිඳු මෙන්ම නාරටියේ කැපී පෙනෙන රටාවක්ද ඇත. රතු පැහැති ගෙඩිද කඳේ ඉහළ සිට පහතට ඇදහැලෙන මුල්ද නුග ගස්වලට ආවේණික ලක්ෂණ මතු කරයි.
කැඩුම් බිඳුම් හෙළ වෙදකමේදී ප්‍රතිකාරක රටාවනට නුග ශාකයද විවිධ අයුරින් එක්කර ගැනෙයි.
නුගපොතු අධික කසට රසයෙන් යුක්තය. ලේ වහනය වැළැක්වීමේ ගුණයත්, අස්ථි සන්ධානය කිරීමේ ගුණයත් නොමඳව පවතියි. කැඩුම් බිඳුම් වෙදකමේදී අස්ථි බිඳුණු අවස්ථාවලදී ප්‍රතිකාර කිරීම සඳහා නුගපොතු බහුලව යොදා ගැනෙයි. සමේ රෝග අවස්ථාවලදී නුගපොතු තම්බාගත් වතුරෙන් සේදීම ගුණදායකය.
වැඩිහිටියන්ගේ වාත වේදනා අවස්ථාවලදී නුගපොතු, නුගගෙඩි අඹරා ආලේපයද සාර්ථක ප්‍රතිකාරයකි.
උකුල් ඇටය පැනීම් වැනි වේදනාකාරී අවස්ථාවලදී හෙළ වෙදකමේ අරුමය මැනැවින් කැපී පෙනෙයි.
ඇහැළ, අට්ටික්කා, කරඳ, බෝ සමඟ නුග පොතුද සමව ගෙන කහ, ලුණු ලා කොටා පස්තෙලෙන් මලවා බැඳීමද යහපත්ය.
දත් කැක්කුම වර්තමානයේ බාල, තරුණ, මහලු සියල්ලන්ටම දැනෙන පීඩාවකි. බටහිර බෙහෙතට ගැති වූ ඇත්තන් හට පිහිට අල්පය. වැයවීම ඉහළය. දත් කැක්කුම් අවස්ථාවලදී නුග පොතු තම්බාගත් වතුරෙන් මුව සේදීම නියත සුවයට මඟකි. මධුමේහයටද නුගපොතු ගුණදායකය. රක්ත අතීසාර, රත්පිත මෙන්ම කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග රැසකට නුග බෙහෙවින් යොදා ගනු ලබයි.
ගෙවත්තට, මඟ දෙපසට සෙවණ ලබාදෙන ලංකාවේ සෑම ප්‍රදේශයකම වැඩෙන නුග ගසේ ප්‍රයෝජන රැසකි. මෙහි මුල්, පොතු, නුගඅර`ඵ, කිරි, ගෙඩි ඖෂධ සඳහා යොදා ගැනෙයි. නුග වෘක්ෂය සරු භාවයේ සංකේතයක් ලෙස හින්දු කාන්තාවන් විසින් සලකනු ලැබෙයි. නුග වෘක්ෂයට වන්දනාමාන කිරීමෙන් දරුපල ලබාගත හැකි බවට විශ්වාසයක් වේ.
ජ්‍යොතිෂයේදී සෙනසුරු අපලයෙන් මිදීමට කළ යුතු වත්පිළිවෙත් හා සම්බන්ධ වෘක්ෂයක් වශයෙන් නුග ගස වැදගත් වෙයි.
සිතු පැතූ සම්පත් ලබාදෙන කප්රුකක් ලෙසද මෙය හින්දු පොතපතෙහි හැඳින්වෙයි. බෞද්ධ සාහිත්‍යයේද හත්ථිපාල ජාතකයේ සඳහන් පරිදි දරුවන් නැති කාන්තාවන් නුග වෘක්ෂ දේවතාවනට කන්නලව් කිරීමෙන් දරුවන් හත්දෙනකු ලබාගැනීමට සමත් වූ බව කියැවෙයි. අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකැතට නුගපත් යුෂ හෝ හිසට නුගපත් තබා හිසතෙල් ගා ස්නානය මැනැවැයි ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර බුදු බව ලද කාශ්‍යප බුදු හිමියන් හට බුද්ධත්වය සඳහා සෙවණ වූයේද නුග වෘක්ෂයයි.
මෙවන් පූජනීය වෘක්ෂයක ඔසු ගුණය නිසි ලෙස වර්තමානිකයා වටහා ගන්නේ නම් රෝග රැසක නිවාරණයට එයම මහත් වූ පිටිවහලක් වනු නිසැකය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











