තවත් කෙනෙක් වෙනුවෙන් හඬක් නඟන්නට ඔවුන් වෙනුවෙන් චරිත ජීවමාන කරමින් දෙස් විදෙස් ආදර ගෞරව සම්මාන හිමිකර ගැනීමට ඔහු දක්ෂයකු විය. සිනමාවේ විතරක් නොව තවත් විටදී මංමාවත් ඔස්සේ පියනඟමින් විවිධ ඉසව් කරා පියනඟන මොහොතක ඔහුට නැවැත දරු සුරතල් බලන්නටත් කාලය උදාවෙලා. මේ කරුණු කාරණා අතර ඔහු ලද විවේකය තුළ අප සමඟ සංවාදයට එකතු වුණේ මේ විදියට.
ජෙහාන් නැවැතත් පිය පදවිය ලබනවා නේද?
ඒ ගැන ආශාවෙන් තමයි ඉන්නේ. දරුවො අපට සම්පතක්. මම දුවලා දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. තුන්වැනි දරුවත් මගේ සුරතට ලැබෙන්න වැඩි කාලයක් නැහැ ඉතින්.
ජෙහාන් රඟපානවාට අමතර අලුත් වැඩකට අතගහන්න වගේ සූදානම?
ඔව් ඉතින් හැමදාම මෙහෙම ඉන්න බෑනේ. අපි දන්න කියන දේ අලුත් පරපුරත් සමඟ බෙදාහදා ගත්තාම අපේ දැනුම තවත් වැඩි වෙනවා. ඉතින් විධිමත් මණ්ඩලයක් යටතේ අලුත් පිරිසක් වෙනුවෙන් ඩ්‍රාමා පාඨමාලාවක් ආරම්භ කළා. මෙය වෙනස්ම විදිහේ හරයක් ඇති දැනුමක් ඇති පාඨමාලාවක් වෙයි.
මෙහෙම පාඨමාලා ක්ෂේත්‍රයේ ගොඩදෙනෙක් පවත්වාගෙන යනවා. ඒ ඇතිවුණ රැල්ලට වෙනසක් කරන්නද ඔබේ සූදානම?
අනිවාර්යයෙන් දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියනවානේ. විධිමත් ක්‍රමවේදයක් යටතේ හැදෑරීමක් ඇතිව මේ ක්ෂේත්‍රයට පිවිසුණොත් ඔහුට වරදින්න විදියක් නැහැ. නිකම් නළුවෙක් වෙනවාට නළුවෙක් වෙලා වැඩක් නැහැ. ඔහු තුළ දැනුම, ප්‍රඥාවක් නැතිනම් හිස් මිනිසෙක් විතරයි.
ඔබ එක පැත්තකින් ඩ්‍රාමා පාඨමාලාවක් ආරම්භ කළා. තවත් පැත්තකින් ඩ්‍රාමා සඟරාවක් මේ දවස්වල කරගෙන යනවා නේද?
ඔව්. දැනටමත් ඩ්‍රාමා සඟරාව රටපුරා අලෙවි වෙනවා. මාසෙකට දෙපාරක් තමයි එහි මුද්‍රණ පිටපත් කටයුතු සිදුකරන්නේ. හොඳ ප්‍රතිචාර වගේම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඩ්‍රාමා සඟරාව හරහා කලාව ගැන නොදන්න බොහෝ කරුණු කාරණා ගැන දැනුමක් ලබාගන්න පුළුවන්.
මේ දවස්වල ගොඩදෙනෙක් කතා වෙන්නේ රුක්මල් ගැන තමයි නේද?
‘ලංසුපතිනියෝ’ ට මම හිතුවාට වඩා වෙනස්ම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ‘රුක්මල්’ව ගොඩදෙනෙක් වැලඳගෙන තිබෙනවා. එය සතුටක්. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම සාධාරණයක් කර ඇති බව වැටහෙනවා. එයට අමතරව ‘හතේ කල්ලිය’, ‘සිඳු’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා.
හැබැයි සමහර අවස්ථාවල ජෙහාන් රසිකයන්ට ලොකු අසාධාරණයක් කරනවා නේද නිර්මාණ තුළින්?
ඔබ ඔය කියන්නේ ‘නිරාවරණය’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. එතැනදි මම විතරක් නෙමේ රංගන ශිල්පීන් කිහිපදෙනකු නිෂ්පාදන හේතූන් මත ඉවත් වුණා. නැතුව මම කාටවත් අසාධාරණයක් කළේ නැහැ. මෙයට කලින් එහෙම වෙලත් නැහැ. ප්‍රශ්න තියෙන නිර්මාණ අතර මම වැඩ කරන්න කැමැති නැහැ. එවෙලේ මම ගතයුතු තීරණය ගත්තා.
‘සයපෙති කුසුම’ චිත්‍රපටය හරහා විශේෂ රංගනයක් අපි දුටුවා. ඔබට දෝෂාරෝපණයක් ඇති වෙන්න ඇති?
තිරපිටපත ගොඩක් හොඳයි කියලා මම හිතුවා. ඒ වෙනුවෙන් මම ඒ අභියෝගය භාරගත්තා. ඔවුන් වෙනුවෙන් කතා කළ යුතුයි කියලා මම හිතුවා. දෝෂාරෝපණය නැතුවා නෙවෙයි. හැබැයි දෙස් විදෙස් ඇගැයීමට පාවා මාව ලක්වුණා. එය ගැන මට සතුටුයි.
වසන්ත විතාරණගේ











