ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු මෙම විරෝධතා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මේ අතර ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අද දිනයේ එම පක්ෂය විසින් රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට අදාලවයි.
විරෝධතාවයේදී මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
විජිත හේරත්, කේඩී ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට මෙම වාරණ නියෝගය අදාළ වෙයි.
කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර, මැතිවරණ කාර්යාලය ප්‍රවේශ මාර්ගය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය යන ප්‍රදේශයන්හි විරෝධතා පැවැත්වීම හා මාර්ග අවහිර කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
වැලිකඩ පොලිසිය විසින් අධිකරණයෙන්ම ඉල්ලීමක් කර තිබුණේ මෙම විරෝධතා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බව සඳහන් කරමිනි.
JVP local government elections Election Commission