පසුගිය කාලේ හඬපට සිද්ධීන් නිසා ‘ද ගේම්’ චිත්‍රපටය අතරමඟ නතර වෙලා. එයට හේතුව එහි ප්‍රධාන චරිත රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක බන්ධනාගාරගතව සිටීම බවයි අපට ආරංචි වුණේ. මෙහි ඇත්ත සොයන්න ‘ද ගේම්’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සුරංග ද අල්විස්ට අප කතා කළා.
සුරංග මේ දවස්වල ඇඟිලි ගනිමින් ඉන්න බව අපට ආරංචි වුණා. මොකද කාටහරි ගේමක් දෙන්නද ලෑස්තිය?
ඇඟිලි ගණන් කරලා තියෙන තරමට දැන් අතේ ඇඟිලි මදි. හැබැයි කාටවත් ගේමක් දෙන්න නම් නෙවේ. ‘ද ගේම්’ චිත්‍රපටයේ ඩබින් ඉවර කරගන්න තමයි සැලසුම.
රන්ජන් රාමනායකගේ ප්‍රශ්නය ‘ද ගේම්’ චිත්‍රපටයට බලපාන්නෙ කොහොමද?
‘ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු දැන් ඉවරයි. සංස්කරණ කටයුතු තමයි සිදුකරන්නේ. රන්ජන් 29දා එළියට එයි කියලා මම බලාගෙන හිටියා. ඒත් එය නැවැත කල්ගිහින් 12 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා. 12 රන්ජන් එළියට ආවොත් 14 අපි ඩබින් පටන්ගන්නවා. මේ අවුරුද්ද ඇතුළත චිත්‍රපටය තිරගත කිරීමට තමයි මගේ සැලසුම.
හඬපට හුටපටයක් නිසා ‘ද ගේම්’ චිත්‍රපටයටත් එය බලපෑවාද?
මෙය මට විතරක් නෙවේ. මේ ප්‍රශ්නය රටටම බලපෑවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
ඔබේ මේ ‘ද ගේම්’ චිත්‍රපටයට රන්ජන් තෝරාගත්තේ ඇයි?
රන්ජන් මම සමඟ ‘රජ හොරු’ චිත්‍රපටයේ වැඩ කළා. රන්ජන් එක්ක නැවැත චිත්‍රපටයක් කරන්න ලොකු ආශාවක් තියෙනවා. මොකද ලංකාවේ සුපිරිම තරුවක් නිසා. 2019 සැප්තැම්බර් 2 ‘ද ගේම්’ චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තා. චිත්‍රපටය පටන් ගනිද්දි රන්ජන් ඇමැතිවරයෙක්. දෙවැනි අදියරේ ඔහු මන්ත්‍රිවරයෙක්. තුන් වැනි අදියරේදී ඔහු චූදිතයකු බවට පත්වෙලා.
‘ද ගේම්’ චිත්‍රපටයෙන් ඔබ කතා කිරීමට අදහස් කළේ කුමක්ද?
පසුගිය කාලෙ සීමාවේ රටේ ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී බලපෑමේ ත්‍රස්තවාදීන්ට මඟහැරුණු එක පැත්තක් තමයි අපි කතා කරන්නේ. තවත් පැති කිහිපයකින් හිතලයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ.
රන්ජන් ‘ද ගේම්’ චිත්‍රපටයට සම්බන්ධකර ගැනීම නිසා ලොකු වදයක් වුණා කියලත් ආරංචියි?
ඇත්තටම ඔව්. ඔහු සම්බන්ධ කරගැනීම නිසා රූපගත කිරීම්වලදී ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වුණා. මොකද ඒ තරම් ජනගංගාවක් හිටියා ඔහුව වටකරගෙන. ජාතිභේද නොතකා ප්‍රතිචාර ලැබුණා. ඔහු අපිට සම්පතක්. ඒත් වුණු දේ ගැන දුකයි. මම කලා නළුවෝ පස් හයදෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් මේ තරම් කරදරයක් වුණේ නැහැ. රන්ජන් සමඟ පිටකොටුවේදී රූපගත කිරීම් කරන විට නම් ලොකු වදයක් වුණා අපට.
හැබැයි එක පැත්තකින් ඔහු ඔබට වදයක් වෙද්දී තවත් පැත්තකින් ශක්තියක් වුණා නේද?
ඇත්තටම ‘ද ගේම්’ චිත්‍රපටයට ඔහු රඟපෑමට විතරක් නෙවේ බාහිරවත් උදවු කළා මට. චිත්‍රපටයේ දර්ශන තල සොයා ගැනීමේදී ඔහු නොසිටියා නම් අපිට දර්ශන තලවලට ලොකු මුදලක් වැය කරන්න සිදුවෙනවා. ඒත් ඔහු කතා කරලා අපේ වැඩකටයුතු කරගෙන යෑමට නිරවුල් වාතාවරණයක් හදලා දුන්නා.
වසන්ත විතාරණගේ











