ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වුණු ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
ආබාධිතතාව මේ වනවිට රටේ ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. දැනට පවතින දත්ත අනුව දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු පමණ(එනම් 20%ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙයි. කෙසේ වුවද කල්තබා හඳුනාගත හොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන්ව වඩාත් ඵලදායී ලෙස සමාජ ගත කළ හැකි වෙයි. මේ ගැටලුවට විසඳුමක් සැපැයීම සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් ඇති කර ගත යුතුව පැවැතිණි. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉඩමක් සහ වෛද්‍ය සේවාවන් ලබාදීමට ඉදිරිපත් වූ අතර, මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාර දෙකක් වන Hemas Holdings සහ MAS Holdings සමාගම් ප්‍රධාන අරමුදල් දායකයන් ලෙස ඉදිරිපත් විය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාස 13ක් තරම් කෙටි කාලයක් තුළ ආයති මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නොමිලයේ ඉටුකර දෙන ලදී. ශ්‍රව්‍ය උපකරණ සඳහා රොටරි සමාජයේ දායකත්වය ලැබුණු අතර “රොෂාන් විජේරාම පවුල් පදනම” තවත් එක් ප්‍රධාන අරමුදල් දායකයකු ලෙස ඉදිරිපත් විය. මෙලෙස විවෘත වූ ආයති මධ්‍යස්ථානයේ සේවාවන් සියලු ශ්‍රී ලාංකේය ආබාධිත දරුවන් හට නොමිලයේ ලබා දෙනු ඇත.
ආයති මධ්‍යස්ථානය තුළ සෑම සතියේ දිනෙකම විවිධ අංශයන් සඳහා සායනික සේවාවන් පැවැත්වීමට සැලසුම් කර ඇත. සියලුම කායික සහ මානසික ආබාධ සඳහා මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුඵව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුඵ පුඵල් සේවාවන් රාශියක් මෙමගින් ආවරණය වනු ඇත. ඉහළම ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කර ඇති ආයති මධ්‍යස්ථානය නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයකින් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුඵව පහසුකම් රාශියකින් සමන්විත වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන් විසින් මෙහි සායන පවත්වනු ඇත. ආයති මධ්‍යස්ථානය ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් සේවාවන් ලබාදීම සහතික කරනු වස් සේවාවන් ලබාගැනීමේදී කල් තබා වේලාවන් වෙන් කරවා ගැනීම අනිවාර්ය වෙයි. සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ 0115960050 අංකය ඇමැතීමෙන් වෙලාවන් වෙන් කරවා ගැනීම සිදුකළ හැකිය.
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැයවුණු මුදල රු. මිලියන 550කි. මෙහි සේවාවන් නොමිලයේ සපයනු ලබන බැවින් මෙහි මෙහෙයුම් තිරසාරාත්මකව හා අඛණ්ඩ ලෙස සිදුකර ගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම ආයති භාරකාරත්වය මගින් සිදුකරමින් පවතියි.
මේ වනවිට ආයති මධ්‍යස්ථානය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘත වී තිබේ. ආබාධ සම්බන්ධයෙන් මෙතෙක් මෙරට ජනතාවට පහසුවෙන් ලබාගත නොහැකිව තිබූ සේවාවන් රාශියක් මෙම මධ්‍යස්ථානය මගින් ලබාදෙනු ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී රට පුරා වෙසෙන, මෙබඳු සේවාවන් අවශ්‍ය එහෙත් ඒවා සඳහා වැය වන වියදම් දරාගැනීමට නොහැකි ජනතාවට සේවාවන් සැලසීමට හැකිවන අයුරින් මෙම මෙහෙවර තවදුරටත් පු`ඵල් කිරීමට ආයති භාරය බලාපොරොත්තු වෙයි.
ආයති භාරය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර එය භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වෙයි. වැඩි විස්තර සඳහා (www.ayati.lk) වෙත පිවිසෙන්න.
ආයති භාරයේ ගිණුම් අංකය 84904435 (ලංකා බැංකුව – (Personal Branch)
ඩයලොග් දුරකතන මගින් දායකවීම සඳහා (රු.2500/- දක්වා) Donate (හිස්තැනක්) Ayati (හිස්තැනක්) මුදල සඳහන් කර 366ට SMS පණිවිඩයක් යොමුකරන්න.











