දරුවකු මෙලොව උපත ලබා හඬන මොහොතේදී අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් භ්‍රමණ රටා වියමනට අනුකූලව එකී කිරණ ශක්ති කැටිකොට ජන්ම පත්‍රයක් (කේන්දරයක්) සකස් කළ හැකිය. කේන්දරයේ කොටු 12 හරහා දැන ගත යුතු කරුණු අති විශාලය. එක් කොටුවකින් කරුණු 40කටත් වඩා ගැබ් වී තිබෙන බැව් ජ්‍යොතිෂ විද්‍යාවේ එක්තරා මූලාශ්‍රීය පදනමකි. මේ බව මිනිස් සිරුරේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉතාම පහසුවෙන් නිරීක්ෂණය කිරීමේදී හෙළි වේ.
දරුවාගේ ශාරීරික වැඩීම රෝගී හෝ නිරෝගී බව, අධ්‍යාපනයට, ඉගෙනීමට දක්ෂ ද උදාසීනද, උසස් අධ්‍යාපනයක් ලබා උසස් මට්ටමේ රැකියාවක් හෝ වෙළෙඳ ව්‍යාපාර කටයුත්තක නියැළේද, විදේශ සබඳතා හෝ විදේශ ගත රැකියාවකට සබඳතා ගොඩ නැඟේද, ආර්ථිකමය මූල්‍ය සම්පත්වල දුබලතා හෝ වර්ධන වේගයක් තිබේද, පෙම් සබඳතා සාර්ථක වේද, විවාහවීම හෝ අවිවාහක ග්‍රහයෝග තිබේද යන්නත්, යුගදිවිය දිවි ඇති තෙක්ම සාර්ථකත්වයෙන් ගෙන යෑමට වාසනාව ඇද්ද, රෝගාබාධ හට ගැනීමෙන්ම නිදන්ගත හෝ ජානමය ව්‍යාධිවලට ලක්වේද, ඉඩකඩම් දේපොළ මෙන්ම භෞතිකමය සැප සම්පත් හිමිවේද, නැත්නම් දුගී බවෙන් පෙළෙන්නේද කායික හා මානසිකමය සංවර්ධිත සතුට සැනැසුම ළඟාවේද, නීතිමය ගැටලු හා රහස් සතුරු පීඩාවලට ලක්වේද, යන ජීවිතයට බලපාන සුවිශේෂී දහසක් කරුණු ගැන නිරීක්ෂණය කර ගැනීමට ඔහුගේ හෝ ඇයගේ කේන්දරයෙන් හැකිවේද? යන්න අප සැමට ඇති ගැටලුවකි. පිළිතුර නම් උගත් දක්ෂ අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදියකුට පුද්ගලයකුගේ කේන්දරය පරීක්ෂා කර බැලීමෙන් වටහා ගැනීමට හැකි වන්නේය යන්නයි. මිනිත්තු කිහිපයකින් කේන්දරයක් පරීක්ෂා කිරීමට නොහැකිය. එයට සෑහෙන කාලයක් මිඩංගු වේ.
පරිගණකයේ දත්තවල කිසියම් සීමාවක් තිබේ. එහෙත් පළපුරුද්ද අත්දැකීම් හා තර්ක විතර්ක ඥාන සම්භාරය පොතට පමණක් සීමානොවී බොහෝ ඇසූ පිරූ තැන් පරිදි ජීවිත කතාවෙන් අනාවරණය කරගැනීම ඉතාමත්ම නිවැරැදි පිළිවෙතයි.
වෛද්‍ය අංශයෙන් පවා සොයාගත නොහැකි කරුණු කේන්දරයේ කොටුවලින් පැහැදිලි වන බැව් ඇත්තකි. අල්ප දැනුමකින් මෙය කළ නොහැකිය. ජ්‍යොතිෂවේදියෙක් යනු සෑම මොහොතකම ඉගෙන ගන්නා අයෙකි. මෙහි කෙළවරක් නැත. මහා සාගරය බඳුය.
සේවාදායකයෙක් ජ්‍යොතිෂවේදියකු වෙත පැමිණි විට ක්ෂණික පිළිතුරු සැපයීම එතරම් යෝග්‍ය නොවේ.
ගැඹුරින් පරීක්ෂා කර සේවාදායකයාගේ මානසික හැසිරීම මැනැවින් හඳුනාගෙන උපදෙස්දීම තැනට සුදුසු වන්නේය. කේන්දරය බලා මේ දරුවාට ඉගෙන ගන්න බැහැ. ඉගෙන ගත්තත් වැඩක් නැහැ. රක්ෂාවක් කරන්නවත් බැහැ. මහා ග්‍රහ අපලයක් තිබෙන්නේ යැයි මව්පියන්ට පැවැසීම යුක්තිසහගතද? මේ කේන්දරවල හැටියට විවාහය කඩා වැටෙනවා. දෙන්නා අතර ගැටුම් වගේම දික්කසාද වන බැව් පැවැසීමෙන් වන්නේ කුමක්ද?
කුජ, ශනි, රාහු 7 සිටි පළියට එහෙම වෙයිද? පොරොන්දම් ලකුණු මදි. ලකුණු 36ම තියෙන්න ඕනෑ යැයි පැවැසීමට මුළාකිරීමක් නොවේද?
විවාහ වුණත් දරුඵල නැහැ. ගබ්සාවීම් සිදුවේවි යන බියකරු ප්‍රකාශවලින් වන්නේ යුගදිවියට කණකොකා හැඬීමකි. අද වන විට එවැනි ප්‍රකාශන ඕනෑතරම් සමාජයෙහි දෝලනය වෙයි. (ප්‍රසව හා නාරිවේද වෛද්‍යමය කරුණු අතිවිශාලය.)
විවාහ වෙන්නට ඉඩනොදී අනපේක්ෂිත අන්දමට බිය ගැන්වීමත්, දරුඵල නොමැති බවත්, දෙදෙනා අතර කායික මානසික ගැටුම් ඇති වන වගත්, කල් තියා ප්‍රකාශ කිරීමෙන් වන යහපත කුමක්ද?
අඟල් 03ක දිවකින් අඩි 06ක කෙනකු මරා දැමිය හැකිය. මොළය උඩ වාඩි වී සිට කරන මේ ප්‍රකාශ අතිශයින්ම විනාශකාරී නොවන්නේද?
ජ්‍යොතිෂවේදියකුගෙන් ඉටුවිය යුතු පරම සේවය වනුයේ ඔහුට අවශ්‍ය දෙය නොව සේවා දායකයාට අවශ්‍ය වන දෙයට නිවැරැදි පිළිතුරු හා උපදෙස් සැපයීමයි.
කෙනකු කේන්දරයක් රැගෙන එන්නේ අන්ත අසරණ තත්ත්වයට වැටුණ විටයි. එවන් මොහොතක ජ්‍යොතිෂ හෝ ගුප්තවේදියා කළ යුත්තේ මනස දැන හඳුනාගෙන ජ්‍යොතිෂමය හෝ ගුප්ත විද්‍යාත්මක ප්‍රතිකාර කිරීමය.
එසේ නැතිව මොනර කොළ දඩයමේ යන්න සැරසුණහොත් සේවාදායකයා කබලෙන් ළිපට වැටෙනු නියතයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











