• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?

February 2, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අන්තිම රජ්ජුරුවො කවුද? “අයියෝ ඕකවත් දන්නෙ නැද්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොනේ. ඕක නොදන්න කෙනෙක් මේ රටේ ඉන්න බෑ” අපේ රටේ අන්තිම රජු පිළිබඳ විමසන ඕනෑම අයකුට ලැබෙනුයේ එවැනි පිළිතුරකි. ඇයි එහෙම නැද්ද? අවම වශයෙන් එවැනි පැනයක් නැඟීමට හෝ අප දන්නා ඉතිහාස කතාවෙහි අවස්ථාවක් නොලැබේ. අපේ රටේ අන්තිම සිංහල රජ්ජුරුවො කවුද? එම ප්‍රශ්නයට නම් ඉතිහාසය පිළිබඳ ඒ තරම් උනන්දු නොවන අයකුට පිළිතුරු දීම අපහසු විය හැකිය. “ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා නේද?” සරල ප්‍රශ්න ලෙස පෙනුණද මේ ප්‍රශ්න මෙරට ඉතිහාසය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇතිකළ හැකි ප්‍රශ්න දෙකකි. මෙරට අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලෙස සහ අවසන් සිංහල රජතුමා ලෙස ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සැලකුවද ඒ පිළිබඳව සැබැවින්ම පවතින්නේ එකිනෙකට වෙනස් කරුණු සහිත සංවාදයකි.

වසර දහස් ගණනක රාජවංශයක අවසාන සිංහල රජු ලෙස සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707 – 1739) රජු නැටුම් – ගැයුම් – වැයුම්, ස්ත්‍රිය – සුරාව – සූදුව ප්‍රිය කළ කෙළිලොල් රජකු ලෙස සඳහන් වේ. මේ නිසා ජන කවියා පවා මෙම රජු හඳුන්වා ඇත්තේ “සෙල්ලම් නිරිඳු” නමිනි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දක්වාම මෙරට රාජ්‍යත්වය රජතුමාගෙන් අග බිසවගේ පුත්‍රයා හට හිමිවීමේ සම්ප්‍රදාය පැවතුණු අතර එසේ නොවන අවස්ථාවලදී රජුගේ සහෝදරයාට හෝ රජුගේ සහෝදරියගේ පුත්‍රයාට රජකම හිමිවිය. අගබිසවගේ නොවන පුතුන් රාජ්‍යත්වය ලබා ගත් අවස්ථා තිබුණද එම කුමාරවරු රජුගේම දරුවන් වූහ. මෙරට රජවරුන් සූර්ය වංශිකයන් යැයි පිළිගැනුණු අතර මෙම සම්ප්‍රදාය නිසා මෙරට රජ පරපුර සූර්ය වංශිකයන් අතම පැවතිණි.

එසේ වුවද නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු රාජ්‍යත්වය සඳහා උරුමකම් කීමට ඔහුට දරුවන් නොසිටි බැවින් නරේන්ද්‍රසිංහ රජු මියයෑමත් සමඟ රජුගේ බිසවගේ සහෝදරයා වූ නායක්කර් වංශික “ශ්‍රී විජය රාජසිංහ” කුමරු හට රජකම හිමිවිය. මේ වනවිට මෙරට ව්‍යාප්තව සිටි නායක්කර් වංශිකයන් සහ ඇතැම් උඩරට සිංහල ප්‍රධානීන්ගේ ද සහාය ඇතිව වඩුගයන් හට මෙරට රාජ්‍ය බලය හිමිවූ අතර එය මෙරට නව රාජ වංශයක් ආරම්භය විය. එතැන් සිට මෙරට අවසාන රජු ලෙස පොදුවේ පිළිගන්නා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම මෙරට රාජ්‍යත්වය නායක්කර් වංශිකයන් සතුව පැවතිණි. ඒ අනුව නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජු ලෙස සැලකුණු අතර නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බි්‍රතාන්‍යයන්ට යටත් වීමත් මෙරට රාජ්‍යත්වය අවසාන වූයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරට අවසන් රජු ලෙස පිළිගැනීම සිදුවිය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායක්කර් වංශිකයෙක් ලෙස සාමාන්‍යයෙන් පිළිගැනුණද ඔහුගේ ජාතිය පිළිබඳ පවතින්නේ අවිනිශ්චිතතාවයකි. ඒ පිළිබඳව ඇති බොහෝ තොරතුරු අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, පිළිමතලව්වේ මහ නිලමේගේ පුත්‍රයෙකි. රාජාධි රාජසිංහ රජුට නායක්කර් වංශයට අයත් බිසෝවරු පස්දෙනෙක් සිටිය මුත් ඒ එකම බිසවකගෙන් හෝ ඔහුට දරුවන් නොසිටියේය. මේ නිසා ඔහුගෙන් පසුව රජකමට උරුමකම් කීමට කිසිවකු නොවීය. රජුගේ බිසෝවරුන් අතරින් උපේන්ද්‍ර අම්මා නමැති දෙවැනි බිසවට සිරියම්මාලු නම් සහෝදරියක් සිටි අතර “සිරියම්මාලු” කුමරිය මල්වත්තේ වාසල නම් මාලිගයෙහි වාසය කළාය. පසුව රාජාධි රාජසිංහ රජු හා සිරියම්මාලු කුමරිය අතර රහස් සබඳතාවක් ඇතිවූ අතර ඇය රජුගේ අනියම් බිසවක් බවට පත් විය. එවකට පළමු අධිකාරම්වරයා ලෙස සේවය කළ පිළිමතලව්වේ මහ නිලමේටද මල්වත්තේ වාසලේ රාජකාරි පැවරී තිබුණු අතර ඔහුද නිරතුරුව රාජකාරි සඳහා එහි යෑම නිසා සිරියම්මාලු කුමරිය සහ ඔහු අතර ද රහස් සබඳතාවක් ඇතිවිණි. පසුකාලීනව සිරියම්මාලු කුමරිය පුත්‍රයකු බිහිකළ අතර ඔහුට කන්නසාමි ලෙස නම් තබන ලදී. මේ කන්නසාමි කුමාරයා තමාගේ පුත්‍රයකු ලෙස රජතුමා සැලකූ අතර පිළිමතලව්වේ නිලමේද ඔහු තම පුත්‍රයකු ලෙස සලකන ලදී.

රජුගේ අනියම් බිරියක වූ සිරියම්මාලු කුමරිය මහලු වියේ පසු වූ රජුට වඩා තරුණ වියේ පසුවූ පිළිමතලව්වේ වෙත නැඹුරුවක් දක්වන්නට ඇති අතර බිසෝවරුන් පස්දෙනෙකු සිටියද එකම දරුවකුවත් නොසිටීම නිසා සිරියම්මාලු කුමරිය ලැබූ දරුවාගේ පියා පිළිමතලව්වේ නිලමේ විය හැකි බව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ නිලමේගේ පුත්‍රයකු බව ප්‍රකාශ කරන්නන්ගේ අදහසයි. කෙසේ නමුත් රාජාධි රාජසිංහ රජුගේ මරණයෙන් පසුව සිහසුනට උරුමක්කරුවකු නොමැති වූ බැවින් නායක්කර් සම්ප්‍රදාය අනුව එය රජුගේ බිසවගේ සහෝදරයාට හිමිවිය යුතුවිය. නමුත් රජුගේ මරණයෙන් පසුව එවකට ළාබාල වියේ සිටි කන්නසාමි කුමරුට සිහසුන උරුම කරදී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් අභිෂේක කිරීමට පිළිමතලව්වේ නිලමේට හැකියාව ලැබිණි. කන්නසාමි කුමරු රජ බිසවගේ සහෝදරියකගේ දරුවකු වීම නිසා දැඩි විරෝධයක් මේ පත්වීමට එල්ල නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට සිහසුන හිමිකර දීමේ සියලු කාර්යයන් පිටුපස පිළිමතලව්වේ නිලමේ සිටි අතර කන්නසාමි කුමාරයා තම පුත්‍රයා යැයි විශ්වාස කළ නිසා ඔහුට රජකම ලබා දීමට පිළිමතලව්වේ නිලමේ කටයුතු කළ බව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ නිලමේගේ පුත්‍රයකු බව ප්‍රකාශ කරන්නන්ගේ මතයයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සැබෑ පියා පිළිමතලව්වේ නිලමේ නම් මෙරට අවසාන සිංහල රජු වන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා නොව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. එය එසේ වුවද, නොවුවද මෙරට රාජ්‍යත්වය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් අවසාන වූ බව සලකන නිසා රජ පෙළපතට තම නාමය ඇතුළත් කර ගැනීමට තරම්වත් වාසනාවක් නොලද රට ජාතිය වෙනුවෙන් අනුපමේය සේවයක් කළ රජවරුන් දෙදෙනකු ඉතිහාස කතාවෙහි නිහඬවම සැඟවී සිටී.

රාජ්‍යත්වය පරපුරෙන් උරුම වුවද, බලහත්කාරයෙන් ලබා ගත්තද සිහසුන හිමිකරගන්නා පුද්ගලයා මෙරට රජු ලෙස පිළිගැනීමට නම් ජනතා ආශීර්වාදය අත්‍යවශ්‍ය විය. ඒ නිසාම සිහසුන උරුම කර ගන්නා තැනැන්තා හට රාජකීය උරුමය තිබිය යුතු අතර මහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවීමද වැදගත් විය. රජු අභිෂේක උත්සවයක් පවත්වා එය නිල වශයෙන් දැනුම් දීමද අවශ්‍ය විය. මේ සියල්ලටමත් වඩා මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය රජු යටතේ තිබීම අනිවාර්ය විය. එසේ නොවන පුද්ගලයන් රජු ලෙස නොසැලකුණු අතර ඔවුන් ආක්‍රමණිකයන් පමණක් විය. ඒ අනුව මෙරට රාජ උරුමය නායක්කර් වංශිකයන් අතට පත්වුවද ඔවුන් රාජ්‍යත්වය සඳහා අවශ්‍ය නිල සුදුසුකම් ලබා තිබිණි. දළදා වහන්සේ ඔවුන් සතුවූ අතර දළදා වහන්සේට නිසි පුද සත්කාර හා ගෞරව ලබා දීම ඔවුන් සිදුකරන ලදී. මේ නිසා ඔවුන්ගේ රාජ්‍යත්වය පිළිබඳ බරපතල ගැටලු ඇති නොවීය. රජකම ලබා ගැනීම නීත්‍යනුකූලව සිදු විය යුතු නිසා පිළිමතලව්වේ නිලමේ මෙරට අග රජු වීමට උත්සාහ කළද රජකම ලැබීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි. ඉංග්‍රීසින්ට උඩරට යටත්වූ පසුව මෙරට ජනතාව තම රජු ලෙස එංගලන්ත රජතුමා සැලකූ අතර ඔවුන් දළදා වහන්සේගේ භාරකාරත්වය තබා ගනිමින් රාජ්‍ය පාලනය ගෙන යන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් පසු මෙරට සම්පූර්ණයෙන්ම එංගලන්ත රජුගේ පාලනයට යටත්වූ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කිරීමෙන් පසු වෙල්ලෝරයේදී අවසන් හුස්ම හෙළන ලදී. රජුගෙන් පසු පාලනය භාරගත් බි්‍රතාන්‍යයන් මෙරට පාලනය කිරීමට උඩරට ප්‍රභූන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලදි. නමුත් කාලය ගතවත්ම ඉංග්‍රීසින් ගිවිසුම නොකතා ක්‍රියාකරන්නට වූ අතර මෙරට ජනතාවට, බුදුදහමට හා මෙරට ප්‍රභූන්හට තිබූ ස්ථානය ක්‍රමයෙන් අහිමි වීම ආරම්භ විය. තමන් නොදකින රජකු යටතේ විසීමට සිදුවීමත්, බි්‍රතාන්‍යයන්ගේ නොමනා හැසිරීමත් නිසා මෙරට ජනයා ඉංග්‍රීසින් පිළිබඳව විරෝධාකල්පයක් ගොඩනැඟෙමින් පැවති අතර බි්‍රතාන්‍යයන්ගේ හැසිරීම එම විරෝධය වඩාත් වර්ධනය කිරීමට සමත් විය.

මේ පසුබිම මත මෙරට බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස් කරගැනීමට ජනතාවට අවශ්‍ය වූ අතර ඒ සඳහා නායකත්වය දීමට රජතුමකුද අවශ්‍ය විය. මේ නිසා සිංහල ප්‍රධානීන් නව රජතුමකු සෙවීමේ කාර්යයෙහි නිරතවූ අතර ඒ වනවිට රජකමට උරුමකම් කිව හැකි රාජවංශිකයන් වූයේ නායක්කර් වංශික පරපුරට අයත් වූවන්ය. නමුත් නායක්කර් වංශිකයන්ගෙන් ගිලිහුණු සිහසුන යළි නායක්කර් වංශිකයන්ට හිමි කරදීමේ වුවමනාවත් උඩරට ප්‍රධානීන්ට නොතිබිණි.

මේ වන විට බි්‍රතාන්‍යයන්ට එරෙහිව විරෝධාකල්පයද වේගයෙන් වර්ධනය වෙමින් පැවති අතර එහි උච්චතම අවස්ථාව වූයේ උසස් නිලතල සිංහල පවුල්වලට ලබාදීමේ සම්ප්‍රදායට පටහැනිව වෙල්ලස්සට “හජ්ජි මරික්කාර්” නමැති මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීමය. මෙම පත්වීමෙන් කෝපයට පත් උඩරැටියන් ඉංග්‍රීසීන් මෙරටින් එළවා දැමීමට මූලික අඩිතාලම දැමූ අතර උඩරට ප්‍රභූන්ගේ ආශීර්වාදයද මේ සඳහා ලැබිණි. මෙම හජ්ජි මරික්කාර්ගේ පත්කිරීමත් සමඟ තව දුරටත් ඉංග්‍රීසින් සමඟ කටයුතු කළ නොහැකි බව තේරුම් ගත් සිංහලයන් බූටෑවේ රටේරාල, කිව්ලේ ගෙදර මොහොට්ටාල, ගලගෙදර මොහොට්ටාල, කොහු කුඹුරේ රටේරාල වැනි සිංහල නායකයන්ගේ මූලිකත්වය යටතේ ඉංග්‍රීසින්ගෙන් රට මුදාගැනීමේ පළමු නිදහස් සටනට මූලික අඩිතාලම දමනු ලැබිණි.

1817 සැප්තැම්බර් මාසයේදී බූටාවේ රටේරාල ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වෙල්ලස්සේ අයබදු එකතු කිරීම සඳහා පත් කොට එවූ හජ්ජි මුහන්දිරම් අත්අඩංගුවට ගත් අතර මේ පිළිබඳව දැනගත් බදුල්ල ඉංග්‍රීසි ඒජන්ත ඩග්ලස් විල්සන් ප්‍රමුඛ හමුදා සේනාංකයක් හජ්ජි මුහන්දිරම් මුදාගැනීමට පැමිණි අතර ඩග්ලස් විල්සන් සහ ඔහුගේ සේනාංකයට බූටාවේ රටේ රාලගේ නායකත්වයෙන් යුතු පිරිස විසින් පහරදී බදුල්ල ඉංග්‍රීසි ඒජන්ත ඩග්ලස් විල්සන්ද අත්අඩංගුවට ගන්නා ලදි. මේත් සමගින් වෙල්ලස්ස ප්‍රදේශයෙහි ඉංග්‍රීසීන්ට එරෙහිව විරෝධය නිදහස් සටනක් ලෙස ව්‍යාප්ත වන්නට විය.

කාලාන්තරයක් තිස්සේ උඩරට රාජධානියේ උසස් නිලතල රැසක් හොබවන ලද පරපුරක ප්‍රකට නායකයකු වූ මොනරවිල කැප්පෙටිපොළ නිලමේ මේ වන විට බි්‍රතාන්‍ය ආණ්ඩුවේ දිසාවේවරයකු ලෙස කටයුතු කළ අතර මෙම සටන මැඬ පැවැත්වීමට සුදුසුම පුද්ගලයා කැප්පෙටිපොළ දිසාව බව කල්පනා කළ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා සටන මැඬ පැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවක් සමඟ කැප්පෙටිපොළ දිසාව වෙල්ලස්සට යවන ලදි. ඉතා දක්ෂ දිසාවේවරයකු වූ කැප්පෙටිපොළ දිසාව මෙම සටන මැඬ පවත්වනු ඇති බව ඉංග්‍රීසීන් දැඩි සේ විශ්වාස කළ නමුත් සිදුවූයේ අනෙකකි. බි්‍රතාන්‍ය හමුදා සේනාංකය අතහැර සිංහල හමුදා සමඟ එක්වූ කැප්පෙටිපොළ නිලමේ අවසානයේ නිදහස් අරගලයේ නියමුවා බවට පත්වීම සිදුවිය. කැප්පෙටිපොළ නිලමේ නිදහස් සටනට එක්වීමත් සමඟ සිංහලයන්ගේ ධෛර්ය ඉහළ ගිය අතර ඉන් පසුව සිංහලයන්ගේ අරමුණ වූයේ කුමන්ත්‍රණයක් මගින් උඩරට රජය අල්ලාගෙන ශ්‍රී ලංකාද්වීපයම පෙළන බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුව මෙරටින් අතුගා දැමීමයි. කැප්පෙටිපොළ නිලමේ නිදහස් සටනට එක්වීමත් සමඟ ඉංග්‍රීසින් බියපත්වන තවත් පුවතක් පැතිර ගියේය. එනම් “දොරේසාමි” නම් රාජ උරුමය සහිත කුමාරයකු සිරිලක අග රජු ලෙස කිරුළ පලඳවන ලද බවයි.

ඉංග්‍රීසින් උඩරට බලය තහවුරු කරගෙන ඉතා කෙටිකාලයකින් සිංහලයන්ට හට ඉංග්‍රීසින්ගෙන් මිදීමේ අවශ්‍යතාව ඇතිවිය. නමුත් මේ සඳහා පැවති ප්‍රබලම අඩුපාඩුව වූයේ ඉංග්‍රීසින් එළවා දැමීමට අවශ්‍ය නායකත්වය දීමට රජකු නොමැති වීමයි. මේ නිසා භික්ෂූන් වහන්සේලා හා උඩරට ප්‍රධානීහු විසින් රජකරවීම සඳහා සුදුසු රජ පෙළපතකින් පැවත එන රජ කුමරකු සෙවීමෙහි නිරත වෙමින් සිටියහ. මහා ජනකායක් ඉදිරියේ පැවැත්වූ රාජසභාවේදී සිංහාසනයේ හිඳුවා තුන් සිංහලයේ ප්‍රධානීන් හා පැවිදි උතුමන්ගේ මූලිකත්වයෙන් කළ අභිෂේක මංගල්‍යයේ ශුභ මුහුර්තියෙන් නම් තබා නළලපට බැඳ “වීරවික්‍රම ශ්‍රී කීර්ති” නමින් මෙරට අභිනව අග රජු ලෙස ඔටුනු පලන් “දොරේසාමි” කුමරු එහි ප්‍රතිඵලයකි.

ඉපැරණි සිංහල රාජ පරම්පරාවකින් පැවත ආ මෙම කුමරු නායක්කර් රජ පෙළපතට අයත් රාජකීය නාමයක් වූ “දොරේසාමි” නමින් ප්‍රකට වුවද ඔහු නායක්කර් පෙළපතේ අයකු නොවේ. ඔහුට එම ලැබීමට හේතු වූයේ උඩරට සිහසුනෙහි අවසාන උරුමකරුවන් නායක්කර් වංශිකයන් වීම නිසාය. “දොරේසාමි” නමින් ප්‍රකට වීමෙන් ඔහු සිහසුනට උරුමකම් කිව හැකි රාජ උරුමය ඇත්තකු ලෙස ප්‍රචලිත වීමට හා පිළිගැනීමට ලක්වීම වඩා පහසුවිය. “දොරේසාමි” නමින් ප්‍රකටවූ මෙම කුමරුගේ සැබෑ නාමය “මුදියන්සේ විල්බාවේ” වූ අතර ඔහු කුරුණෑගල විල්බාව පුරාණ වලව්වේ උපන්නෙකි. උඩරට නිදහස් සටනට එක්ව කිරුළ දැරීමට පෙර අප්‍රකටව පැවිදි දිවියක් ගත කළ ඔහු භික්ෂූන් වහන්සේලාගේ සහ සිංහල නායකයන්ගේ ඉල්ලීම පරිදි සිවුරු හැරදමා රජකම භාර ගැනීමට කැමැතිවූ බව සඳහන් වේ. සිංහල ප්‍රධානීන් සොයාගත් අභිනව රජු මෙරට අග රජු බවට නිල වශයෙන් පත්වීමත් සමඟ ලංකාව ඉංග්‍රීසින්ගෙන් මුදා ගැනීමේ සටනට අවශ්‍ය නායකත්වය ලැබුණු අතර ඉංග්‍රීසින් හැරදමා නිදහස් සටනට එක්වූ මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ අභිනව රජුගේ මහාදිකාරම් ලෙස පත්විය.
ඉතිරි කොටස ලබන සතියේ…
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

අතිප්‍රභල බුදුගුණ යන්ත්‍රය

Next Post

‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා ශ්‍රී ලංකාවට එයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.