1947 ජනවාරි 21 වැනි දින ප්‍රථම කතා නාද සිංහල සිනමාපටය වන ‘කඩවුණු පොරොන්දුව’ රිදී තිරය මත දිගහැරීමත් සමඟ මෙරට සිංහල චිත්‍රපට පෙන්වීම ආරම්භ කළ බව සඳහන් වුණිද, එයට පෙර එනම් 1925 වර්ෂයේ ‘රාජකීය වික්‍රමය’ හෙවත් ‘ශාන්තා’ නමින් සිනමා පටයක් නිපදවා ඇතත්, එය ඉන්දියාවේ ඇති වූ ගින්නට හසුවී දැවී ගිය බව සඳහන් වෙයි.
ඉන්පසුව 1933-05-19 දින කොළඹ ෆයිඞ් සිනමාහලේ ‘පළිගැනීම’ නමින් තවත් සිනමාපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා තිබූ බවත් සඳහන් වෙයි. එය කෙසේ වෙතත් දකුණු ඉන්දීය ආභාසයෙන් පටන්ගත් සිංහල චිත්‍රපට කර්මාන්තයේ ආරම්භක චිත්‍රපටය ලෙස කැටයම් වී ඇත්තේ ‘කඩවුණු පොරොන්දුවයි.
එය ආරම්භ කර වසර 25කට පසුව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවන ලදී. ඒ 1972 ජනවාරි 21 වැනි දිනදීය. සංස්ථාව පිහිටුවීමට පෙර සිනමාශාලා වෙත චිත්‍රපට බෙදා හැර ඇත්තේ සමාගම් කිහිපයකිනි. ඒවා නම් කොළඹ චිත්‍රපට සමාගම, සීමාසහිත සිලෝන් තියටර්ස්, සම්මුග චිත්‍රපට සමාගම, සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් සහ සිනමාස් සමාගම වැනි ආයතන මඟින්ය.
1946 සිට 1972 වර්ෂය දක්වා ඉහත සඳහන් සමාගම් මඟින් සිනමාශාලා වෙත ප්‍රදර්ශනය සඳහා සිංහල චිත්‍රපට 235ක් පමණ බෙදා දී ඇත. මෙම කාලවකවානුව තුළ ද්‍රවිඩ මෙන්ම සිංහල අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකයන් රැසකගේ දායකත්වය මත සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය බව කිව හැකිය. ඒ වගේම සිංහල සිනමාවේ මහා බලපරාක්‍රම අධ්‍යක්‍ෂවරුන්ගේ රාජධානියක් ලෙස එකල පැවැති බවට සාධක ඇත.
විවිධාංගී-කරණය වූ චරිත රංගන එදා සිනමා සිත්තම හරහා බොහෝමයක් අප දුටුවෙමු. මෙහිදී ජනප්‍රිය ධාරාවේ මුලපිරුම ලෙස හැඳින්විය හැක්කේ 1953 ජුනි 26 වැනි දින තිරයට පැමිණි ‘සුජාතා’ චිත්‍රපටය බවයි මාගේ විශ්වාසය. එය තිරයට පැමිණියාට පසුව සිනමා ප්‍රේක්‍ෂක සිත් අපූර්ව රසවින්දනයකට ගෙන ගියා මෙන්ම බොක්ස් ඔෆීස් කතාවක් ඔවුන් අතරට කාන්දු වන්නට ඇතැයි සිතමි. එම බොක්ස් ඔෆීස් වාර්තා යන ක්‍රමය සිනමා ශාලාවල 1972 වර්ෂයේ චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන තුරාම අඛණ්ඩව පැවැතී ආ බව කිව හැකිය.
72 වර්ෂයෙන් පසුවද ‘බොක්ස් ඔෆීස්’ වාර්තා පිහිටුවූවාය. එම වාර්තා බිඳහෙළුවාය.’ යන්න සිනමා සඟරා මෙන්ම පුවත්පත්වලද එකල සඳහන්ව තිබිණි. මා කුඩා කල වැඩිහිටියන් සමඟ චිත්‍රපට නැරැඹීමට ගිය විට සිනමාශාලා තුළ ලීයෙන් නිමා කරන ලද පෙට්ටියක් තිබූ බව මතකයේ ඇත. එය කුමක් දැයි ඇසූ විට දැනගන්නට ලැබුණේ එම පෙට්ටියෙන් කෙරෙන කාර්ය පිළිබඳව දීර්ඝ විස්තරයකි. මාගේ මතකයේ හැටියට එම කාලවකවානුව වන්නේ 1971, 1972, 1973, 1974 යන වර්ෂයන් විය හැකිය.
මට එම කාලයේ එක්තරා උණක් තිබුණා. ඒකයි චිත්‍රපට නැරැඹීමට වගේම සිනමා සඟරා, පුවත්පත් කියැවීමට උනන්දුවක් දැක්වූයේ. එම කාලයේ තිබුණා සිංහල සිනමා ප්‍රදීපය, චිත්‍රපට විමසුම, කලා, නව සිනමාව, සුරතුර, සිනෙසින්, රිදීතිරය, සකුරා නමින් පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය සඟරා සහ පුවත්පත් කිහිපයක්. එවැනි සඟරාවලින් හා පුවත්පත් කියැවීමෙන් මම සිනමාව පිළිබඳව යම් දැනුමක් ලබා ගත්තෙමි.
වර්තමානයේ එවැනි සඟරා එළිදැක්වෙන්නේ නැත. සිනමා රසික රසිකාවන්ට බොක්ස් ඔෆීස් වාර්තාවන් දැනගන්නට හැකි වන්නේ විවිධ නාළිකාවන් ඔස්සේය. එහෙත් ලංකාවේ කිසිම සිනමා ශාලාවක එවැනි බොක්ස් එකක් පෙනෙන්නටවත් නැතිව බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළන්නේ කෙසේද?
‘හතර දෙනාම සූරයෝ, අබිරහස, කේසර සිංහයෝ, එදත් සූරයා අදත් සූරයා, මේ දෑස කුමටද, සුහද පැතුම, තුෂාරා වාණිජ අතින් අතිසාර්ථක වූ චිත්‍රපට ගොන්න බොක්ස් ඔෆීස් නමින් වැජඹුණු බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ වගේම 70 දශකයේ චිත්‍රපට එකම සිනමා ශාලාවේ දින සියය ඉක්මවා තිරගතවීම වගේම චිත්‍රපට දෙකක් අතර විශාල තරගයන්ද තිබූ බව අමතක කළ නොහැකි කරුණකි.
මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අතීතයේ ප්‍රචාරය වූත්, වර්තමානයේ ප්‍රචාරය වන්නාවූත් බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළුවාය යන කතාව 70 දශකය ආවර්ජනය කිරීමක්ද? නැතිනම් එම දශකයේ දෝංකාරයක්ද? යන්න දැනගැනීමටය.
ගාමිණී වර්ණපුර











