• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පුරවැසිකම ඉවත්කර ගැනීමෙන් ‌ගෝඨා පාස්ද? ‌‌පේල්ද?

August 21, 2019
in Politics
Reading Time: 4 mins read
A A
පුරවැසිකම ඉවත්කර ගැනීමෙන් ‌ගෝඨා පාස්ද? ‌‌පේල්ද?
Share on WhatsAppShare on Facebook


ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ‘ජනාධිපති සිහින’ කතාන්දරයේ තවත් පරිච්ඡේද රැසක්ම ආයෙත් අලුතෙන්ම උදාවෙලා. කරුණු කාරණා කොහොම වුණත් දැන් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙලත් ඉවරයි. ඉතින් ඊට පස්සේ තමයි මේ අලුත්ම කතාවක තවත් පිටු පෙරළෙන්නේ. මොකක්ද මේ හුටපටය?
මීට දින කිහිපයකට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යම් චෝදනාවකට පොලිස් පැමිණිලි දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුවී ඇති අක්‍රමිකතාවක් ගැන තමයි මේ පැමිණිලි දෙක ඉදිරිපත් වෙන්නේ.
‘පුරවැසි බලය’ සංවිධානයේ ප්‍රධාන කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සහ ප්‍රකට විද්වතකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන දෙදෙනා තමයි මෙම පැමිණිලි දෙක කොළඹ පොලිස් මූලස්ථානයේ ගොනුකර ඇත්තේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර සහ මැතිවරණ සඳහා ලියාපදිංචි වීම යන කරුණු ආශ්‍රය කරගනිමින් මෙම පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. මෙම විද්වතුන් දෙදෙනා ප්‍රකාශ කර සිටින්නේ ඉහත කරුණු ඉතාමත් වංචනික අයුරින් ගෝඨාභය රාජපක්ෂ සිදුකරගෙන ඇති බවත්, එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයට ඔහුගේ අපේක්ෂකත්වය ඔවුන් අභියෝගයට ලක්කරන බවත්ය.
පොලිස් මූලස්ථානයේ ගොනුකරන ලද පැමිණිලි මඟින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙසටය. එහි වැඩිදුරටත් විස්තර කෙරෙන පරිදි 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ හට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම, එම කාලයේදීම ඇමෙරිකානු පුරවැසියකු ලෙස සිටියදීම ශ්‍රී ලංකා මැතිවරණ කටයුතුවලට සහභාගිවීම ආදී කරුණු චෝදනා ලෙස ඉදිරිපත් කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා පුරවැසි පනත යටතේ මෙලෙස නීති විරෝධී අයුරින් කටයුතු කර ඇතිදැයි දැනගැනීම සඳහා මේ වන විට පොලිස් පරීක්ෂණයක් සිදුකිරීමේ කටයුතු අරඹා ඇත. 2005 ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර එවකට අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා නැඟී තිබුණේ ‘හෙල්පින් හම්බන්තොට’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 60ක මුදල් ඔහුගේ සහෝදරයකුගේ බැංකු ගිණුමකට වංචනික අයුරින් තන්පත් කිරීමේ සිදුවීමක් පිළිබඳය. සුනාමි ආධාර යටතේ මෙම මුදල් ලබාදී තිබුණු අතර මෙම චෝදනා හේතු කරගෙන එකල 2005 ජනාධිපතිවරණයට අදාළ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයටද අවාසිදායක තත්ත්වයක් උදාවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින විටදී එකල අගවිනිසුරු සරත් එන්. සිල්වා එම කටයුතුවලට මැදිහත්වී අතුරු තහනම් නියෝගයක් පනවමින් අදාළ පරීක්ෂණ වහාම නැවැත්වීමට කටයුතු කළේය. මෙය සම්පූර්ණයෙන්ම පාක්ෂිකව සිදුකරන ලද නීති විරෝධී ක්‍රියාවලියකි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය දිනාගැනීමෙන් පසුව එවකට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ තවදුරටත් සැකකරුවකු නොවන බවත්, අදාළ නඩුව ඉවත දැමිය යුතු බවත්ය. අවසානයේදී නඩුව ඉවත දැමුනු අතර පාලිත ප්‍රනාන්දු, මහින්ද රාජපක්ෂ විසින් නීතිපති ලෙස පත්කරනු ලැබීය. අවසානයේදී ‘හෙල්පින් හම්බන්තොට’ මහා වංචාවේ කතාන්දරය හම්බන්තොට වැලි කඳු අතරේම සැඟවී ගියේය. දැන් නැවතත් අලුත් කතාවක් ආරම්භ වී ඇත. එය ‘හෙල්පින් ගෝඨාභය’ ලෙසට නම් කළ හැකි යැයි තතු දන්නෝ පවසා සිටිති.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 සැප්තැම්බර් 04 වැනිදාය. ඔහු ඒ වන විට ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවූ අතර, තමාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි කරගෙන (අවසන් කර) තිබුණේ 2003 ජනවාරි 31 වැනිදාය. එදින සිට ඔහු ඇමෙරිකාවේ පුරවැසියකු වූ අතර ඇමෙරිකාවට පක්ෂ පුරවැසියකු ලෙසද දිවුරුම්දී තිබිණි. ඇමෙරිකාවේ පුරවැසිභාවය ලැබීමට පෙර සිට ගෝඨාභය කිහිප වතාවක්ම ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේය. එහෙත් ඔහු ඒ කිසිදු විටෙක ද්විත්ව පුරවැසිභාවයක් (ශ්‍රී ලංකා – ඇමෙරිකා) සඳහා අයැදුම් කරනු ලැබුවේ නැත. එසේ සිදුකළේ නම් ඔහු ඇමෙරිකානු පුරවැසියකුව සිටියදී ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ වරප්‍රසාදද හිමිකරගනු ඇත. එහෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔහුට සංචාරක වීසා ලබාගැනීමට සිදුවිය. ඒ අනුව අව්‍යාජ සංචාරකයන්ට ශ්‍රී ලංකාවෙන් පිරිනමනු ලබන දින 30ක වීසා බලපත්‍රයක් ගෝඨාභයට හිමිවිය. ඒ අනුව 2005 සැප්තැම්බර් 04 වැනිදා ගෝඨාභය ශ්‍රී ලංකාවට ඇතුළු වූයේය. කෙසේ හෝ පසු කාලයකදී, එනම් 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය විවිධ චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
“මා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියේ මාගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කිරීමටයි. මා ඇමෙරිකාවේ සිට පැමිණියේ එම ජනාධිපතිවරණයේ කටයුතු සඳහා මාගේ සහෝදරයාට සහාය දීමටයි” යනුවෙන් දිවුරුම් පෙත්සම මඟින් ප්‍රකාශ කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා රජය ලබාදී ඇති දින 30ක සංචාරක වීසා බලපත්‍රයේ කොන්දේසි ඉතාමත් සවිස්තරාත්මකව සහ පැහැදලිව ඇත. සංචාරක කටයුතුවලට අමතරව වෙනත් කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා වෙනත් විශේෂිත වීසා බලපත්‍රයක් අයැදුම් කළ යුතුය. ඒ සඳහා අදාළ විදේශ රටවල ඇති තානාපති කාර්යාල මඟින් අයැදුම් කළ හැකිය. එහෙත් දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් මඟින් ශ්‍රී ලංකාව තුළදී වෙනත් විවිධ කටයුතු සඳහා සහභාගි වීම නීති විරෝධීය. යම් අයකු එසේ සිදුකරන්නේ නම් එය ශ්‍රී ලංකා ආගමන විගමන පනතේ 45 වැනි ඡේදයේ, 01 වැනි වගන්ති ප්‍රකාරව නීති විරෝධී ක්‍රියාවකි. එවැනි අවස්ථාවකදී නීතියෙන් වැරැදිකරු වුවහොත් වසර 01 සිට 05 දක්වා සිර දඬුවමකට හෝ යටත්විය හැකිය.
මේ අතර මහජන ක්‍රියාකාරීන් වන වියන්ගොඩ සහ මහාචාර්ය තේනුවර යන පැමිණිලිකරුවන් තමන්ගේ පැමිණිල්ලෙහි තවත් සාධක කිහිපයක්ම පැහැදිලිව පෙන්වාදී ඇත. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසියකු නොවී සිටියදී 2005 ජනාධිපතිවරණයේ ඡන්දදායක ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත්වී තිබීමද, එම ලැයිස්තුව පිළියෙළ කර ඇත්තේ 2004 වසරේදී බැව්ද පෙන්වාදී ඇත. 2005 මැතිවරණ නාම ලේඛනය බැලීමේදී පෙනීගොස් ඇත්තේ ඔහුගේ නම එම ලැයිස්තුවේ ඇති බවත්, ඒ වන විට ඔහු ඇමෙරිකාවේ පුරවැසියකු පමණක් බවත්ය.
මෙම තත්ත්වය යටතේ ඉතා පැහැදිලිව පෙනීගොස් ඇත්තේ ගෝඨාභය 2005 මැතිවරණ ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීමට කටයුතු කිරීම නීති විරෝධී බැව්ය. ඔහු මේ සඳහා භාවිත කර ඇත්තේ තම පවුලේ උදවියගේ මැදමුලන නිවෙසේ ලිපිනය බැව්ද හෙළිවී ඇත. එහෙත් මේ වන තෙක්ම ඔහුගේ නම එසේ මැතිවරණ ඡන්දදායක ලැයිස්තුවට ඇතුළත් කිරීම නීති විරෝධී කාර්යයක් ලෙස හෙළිවී නොමැත. ඉන් පසුව ඔහු තමාගේ දින 30ක සංචාරක වීසා බලපත්‍රය යටතේ තම සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මහත් සේ වෙහෙසී කටයුතු කළේය. දින 30ක වීසා කාලය ඉක්මවන විටදීම එනම් 2005 ඔක්තෝබර් 04 වැනිදා ඔහු වහාම ඉන්දියාවට ගොස් එක් දිනක් එහි ගතකර නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. එනම් ඔක්තෝබර් 06 වැනිදා ඔහු නැවත දිවයිනට පැමිණි අතර, ඔක්තෝබර් 07 වැනිදා තම සහෝදරයා වන මහින්ද රාජපක්ෂගේ නාමයෝජනා භාරදීම සිදුකෙරිණි. අවසානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනා 2005 නොවැම්බර් 18 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක්ම එම මාස කිහිපය තුළදී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයට ඉල්ලුම් කළේ නැත. ඔහු එම ඉල්ලීම සිදුකළේ තම සහෝදරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය. ඉන් පසුව ඔහු ශ්‍රී ලංකා – ඇමෙරිකා ද්විත්ව පුරවැසිභාවය සඳහා අයැදුම් කරන ලදී. ඔහු අදාළ ලිපි ලේඛන සමඟ මුදලින් රුපියල් 200,000ක නියමිත ගෙවීම්ද සමඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට තම අයැදුම්පත ඉදිරිපත් කරන ලදී. 2005 නොවැම්බර් 21 වැනිදා ගෝඨාභයගේ ද්විත්ප පුරවැසි අයැදුම්පත භාරගන්නා ලදී. දීර්ඝ ක්‍රියාපටිපාටියකින් පසුව ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට රජය තීරණය කරන ලදී. මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලැබුණු අතර, මෙයින් ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ ජනාධිපතිවරණයට ඔහු ඡන්දදායකයකු ලෙස පෙනී සිටින විටදී ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවය. එනම් ඔහු ඉදිරිපත්ව සිට ඇත්තේ ඇමෙරිකානු පුරවැසියකු ලෙසය. මෙම තත්ත්වය ශ්‍රී ලංකා පුරවැසි පනත යටතේ බලවත් නීති විරෝධී කටයුත්තකි.
කෙසේ හෝ පසුගියදා එක්තරා මාධ්‍ය පාර්ශ්වයක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම සිදුවීම් පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත. එහෙත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීම ගැන තොරතුරු කිසිවක් මේ වන විට දෙපාර්තමේන්තුවේ නොමැති බවය. එහිදී අතිශය පුදුමසහගත කරුණ වී ඇත්තේ ඔහුගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ පුරවැසි තොරතුරු එහි ඇතත් ගෝඨාභයගේ තොරතුරු කිසිවක්ම එහි නොමැති වීමය. වෙනත් විවිධ පුද්ගලයන්ගේ තොරතුරුද එහි ඇත. මෙහිදී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉහළ අමාත්‍යාංශ මට්ටමකින් සිදුවී ඇති ක්‍රියාපටිපාටියක් නිසා ඒ ගැන තොරතුරු සොයාගැනීම අපහසු බැව්ය. සාමාන්‍ය ලිපි ලේඛන සහ පරිගණක පද්ධතිවලද මෙම තොරතුරු කිසිවක් මේ වන විට නැති අතර ඒවා සියල්ල ඉතා පුදුමාකාර ලෙස අතුරුදන්ව ඇත. දැනගන්නට ඇති එකම කරුණ වන්නේ ගෝඨාභය අයැදුම්පත භාරදුන් දිනය 2005 නොවැම්බර් 21 වැනිදා බව පමණි.
මෙම තත්ත්වය ගැන විමර්ශන කරන එක්තරා පාර්ශ්වයකට දැනගන්නට සහ දැකගන්නට ලැබී ඇති කරුණු ඉතාමත් පුදමසහගතවී ඇත. එනම් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ විස්තර ඇති ලේඛනයේ ඊට අදාළ පිටු විකෘති කර ඇති ආකාරයයි. ඔහුගේ උපන්දිනය සඳහන් කොටුවෙහි අකුරු මකාදමා ඇති ආකාරයත්, සමහර විස්තර ඇති කොටු හිස්ව ඇති ආකාරයත් දක්නට හැකිවී ඇත. ඔහුගේ අයැදුම්පත් අංකය ඇති කොටුව මත තිබෙන අකුරු මත වෙනත් පෑනකින් ලියා ඇති ආකාරයත් පැහැදිලිව පෙනෙන්නට ඇත. දැනට තිබෙන මෙම තත්ත්වයෙහි පැහැදිලි විමර්ශනයක් සිදුකළ හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණකි. කෙසේ හෝ අවසානයේදී 2005 නොවැම්බර් 24 වැනිදා ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ලබාදුන් අතර, ඒ සැණින්ම ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලදී. නීතිය හා සාමයද මෙම අමාත්‍යාංශය යටතේ වූ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙම අමාත්‍යාංශය යටතට ගැනිණි.
එතැනින්ද නොනැවතුණු ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ යටතේම වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් 2005 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික විශේෂ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේය. එය ලබාගත්තේද ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවයද සඳහන් කරමිනි. මෙම අතිවිශේෂ ගමන් බලපත්‍රය සඳහා ද්විත්ව පුරවැසිභාවයේ සහතික පතක්ද ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එවැන්නක් ඉදිරිපත් කළ බවක් දක්නට නැත. 2005 එම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය කල් ඉකුත්වනව විටම ඔහු නැවතත් 2009 වසරේදී තවත් එවැනිම ගමන් බලපත්‍රයක් ලබාගත්තේය. මෙවැනි විශේෂ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඉතා උසස් පුද්ගලයන්ගෙන් ලබාගත් චරිත සහතික ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවද ගෝඨාභය ඒ කිසිවක් ඉදිරිපත් කර නැති බවද පැවැසෙයි. එවක ආගමන විගමන පාලකවරයා වූ පී.බී. අබේකෝන්ම එම චරිත සහතික සඳහා අස්සන් තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වසර 06ක සිට හොඳින් හඳුනන බැව් ප්‍රකාශ කරමිනි.
මෙම කතාන්දරවල තවත් අපූරු පිටුවක්ද මේ වන විට පෙරළෙමින් ඇත. එනම් මෙම අක්‍රමිකතා ගැන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විට මූලික පරීක්ෂණ අරඹා ඇත. එහෙත් පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසුව මෙම විමර්ශකයන් මහත් තැතිගැන්මකට ලක්වී ඇත. එනම් ඔවුන් තමන්ගේ විමර්ශනවල තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔවුන් මේ දක්වා එම ක්‍රියාවලියෙහි නිරත වීමට මැළිකමක් දක්වන බවද පැවැසෙයි. එම එක් විමර්ශන නිලධාරියකු පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි වාතාවරණයක් යටතේ තමන්ට සහ තමන්ගේ පවුල්වලට ඉදිරියේදී විවිධ තර්ජන ඇතිවීමට ඉඩ ඇති බවය.


පසුගියදා පොලිස් මූලස්ථානයේ පැමිණිලි ගොනු කළ ගාමිණී වියන්ගොඩ මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අදහස් විටෙක තිගැස්සෙන සුළුය. ඔහු ගෝඨාභය රාජපක්ෂගේ වගතුග ගැන මෙසේ කියා සිටියි.
“ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති වීමට බලා සිටිනවා. ඔහු නීති විරෝධී ලෙස ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ලබාගෙන තිබෙනවා කියලා අද වාර්තා වෙනවා. මේ ආකාරයේ විශ්වාසයක් නැති කෙනකු ඉදිරියේදී රටේ ජනාධිපති වුණාම ඇතිවන තත්ත්වය කුමක්ද? ඔහු ජනතාවට වගකියන්නේ කෙසේද? ගෝඨාභයට එරෙහිව තිබෙන චෝදනා අනන්තයි. මහින්ද රාජපක්ෂට වඩා ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් සිය ගුණයකින් වැඩියි. ඔහු අද ශ්‍රේෂ්ඨාධිකරණය මඟහැර සිටීමට පවා විවිධ උපක්‍රම භාවිත කරනවා. ඉදිරියට තිබෙන්නේ රටේ අනාගතය. ඒ ගැන අපි හිතන්නට ඕනෑ”
අද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නැඟී සිටින චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන විද්වතුන් තමන්ගේ මුහුණු පොතේ (ෆේස්බුක්) පිටුවල ලියා ඇති අපූරු කතා මෙසේය.
“මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනකු ඉල්ලා සිටීම” – ගාමිණී වියන්ගොඩ
“රට අතහැර ගියවුන්, ගිය රටත් අතහැරියා නම්, උන්ව කිසි විටෙක විශ්වාස නොකරන්න” – චන්ද්‍රගුප්ත තේනුවර
ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම් දැක්වෙන 2019 වසරේ දෙවැනි කාර්තුවට අදාළව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේනුව විසින් නිකුත් කරන ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නැත.
කාර්තුවකට වරක්, එසේත් නැත්නම් මාස 03කට වරක් මෙම නාම ලේඛනය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන අතර ඊළඟ වාර්තාව නිකුත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසයේදීය.
ඒ වන විට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවා අවසන් වීමට නියමිත අතර එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා භාරදෙනු ලබන්නේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගැනීමේ අවසන් ලියැවිල්ල නොමැතිවය.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශ්වයන් අවධාරණය කර සිටින්නේ ද්විත්ව පුරවැසිභාවය අවසන් කරගැනීමට අවශ්‍ය සියලු ලියකියවිලි දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව පවතින බවටයි.

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරන බවට පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳ තොරතුරු සෙවීම කොළඹ අපරාධ කොට්ඨාසයට යොමුකර ඇත.

CIDය පරීක්ෂණ අරඹයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා අදාළ පැමිණිල්ල පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට පෙර පරීක්ෂණයක් කිරීමට තරම් හේතු සාධක තිබේද යන්න ගැන තොරතුරු සෙවීමට එය කොළඹ අපරාධ කොට්ඨාසයට යොමුකර ඇති බවයි.

SendShareShare
Previous Post

ගෝඨාව රටෙන්ම ගැලවෙයි

Next Post

තරු කැකුළ එනතුරා මඟ බලන තරු කුමරා

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.