ප්‍රධාන පක්ෂ තුන ඇතුළෙම අර්බුුුද පිට අර්බුද
මේ වන විට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ දින වකවානු ප්‍රකාශයට පත්කර අවසානය. ඒ අනුව ඉකුත් බදාදා රාත්‍රියේ නිකුත් වූ විශේෂ ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කොට ඇත. ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 07 වැනිදා සිට සිදුකිරීමට නියමිත අතර ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය මුල්කරගෙන පක්ෂ භේදයකින් තොරව එක්සත් ජාතික පක්ෂය ඇතුළේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේත් නිර්මාණය වී තිබූ මතභේදවල නම් තවමත් නිමාවක් වී ඇති ආකාරයක් දැකගන්නට නැත. අප එසේ කියන්නේ ඉකුත් සිකුරාදා දිනය වන විටත් මෙම පක්ෂ තුන ඇතුළේම විවිධ අර්බුද විටින් විට මතුවෙමින් පැවතීම නිසාය. පොදුජන පෙරමුණ කෙසේ වෙතත් එජාපය සහ ශ්‍රීලනිපය ඇතුළේ මෙම මතභේද උග්‍ර අතට හැරී තිබීම නිසා පසුගිය සතිය පුරාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ඊට සම්බන්ධ විවිධ පර්ශ්වයනුත් දිවා රාත්‍රි නොබලා තැන් තැන්වල සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට තිබිණ. වැඩි හරියක් මෙම සාකච්ඡා පැවැත්වුණේ එජාපය මුල්කරගෙනය.
රනිල් සජිත්ට අභියෝගයක් භාරදෙයි
ඒ අනුව පසුගිය සතිඅන්තයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය පැවැත්වූ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා ඔවුන්ට දැනුම්දී තිබුණේ ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරගන්නා ලෙසත්, ඒ සඳහා සියලුම සුළු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට පළමුව ඔවුන්ගේ සහාය සජිත්ට ලබාගන්නා ලෙසත්ය. එසේ නොමැතිව එජාප ඡන්දවලින් පමණක් කිසිසේත්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව රනිල් සජිත්ගේ පාර්ශ්වයට අවධාරණය කොට තිබිණ. මේ නිසාම පසුගිය සතියේම සජිත් ප්‍රමුඛ සජිත්ගේ කණ්ඩායම මුළු ශක්තියම යොදා තිබුණේ සුළු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සහාය තමන්ට ලබාගැනීම සඳහාය.
කෙසේ වෙතත් රනිල් සමග පැවැති සාකච්ඡාව කිසිදු එකඟතාවයකින් තොරව නිමාවීමත් සමඟ සජිත් පිල තමන්ට සුපුරුදු මාධ්‍ය උපක්‍රම භාවිතා කරමින් එම සාකච්ඡාව ඉතා සාර්ථක වූ බවත්, අගමැතිවරයා සජිත්ට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දැක්වූ බවක්ද කියමින් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයෑමට කටයුතු කළේය. විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු මහතාත්, මංගල සමරවීර මහතාත් තමන්ට හිතවත් වෙබ් අඩවි උපයෝගි කරගෙන සහ තම තමන්ගේ ට්විටර් ගිණුම්වල පණිවුඩ තබමින් විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබිණ. එම මාධ්‍ය වාර්තාවලට අනුව බොහෝ දෙනා අදාළ සාකච්ඡාව ඉතා සාර්ථක බව සිතා සිටියද ඇත්තටම එම සාකච්ඡා කිසිදු විසඳුමකින් තොරව අවසන් වූ ඒවා විය. මේ බව අපද තහවුරු කර සිටි අතර පසුව සජිත්ගේ පාර්ශ්වයද ඒ බව රටට තහවුරු කළේ රනිල් දුන් අභියෝගය ජයගැනීම සඳහා සුළුජාතික පක්ෂ නායකයන් හමුවීමට සූදානම් වීමත් සමඟය.
මංගලගේ ගෙදර තවත් රෑ කෑමක්: TNA එන්න බෑ කියයි
ඒ අනුව පළමු සාකච්ඡාව පැවැත්වුණේ මංගලගේ නිවසේදීය. එම සාකච්ඡාවට සජිත් පිළ නියෝජනය කරමින් කබීර්, මලික්, මංගල, සජිත් සහභාගිව සිටි අතර පක්ෂ නායකයන් ලෙස චම්පික, රිෂාඞ්, හකීම්, මනෝ, දිගම්බරම් එක්ව සිටියහ. මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙසට දෙමළ ජාතික සන්ධානයටද විශේෂ ආරාධනයක් කර සිටි නමුත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී සජිත් ඇතුළු එම පාර්ශ්වය කෙළින්ම කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී සජිත්ට අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා සහාය දක්වන ලෙසත්, ඒ බව අගමැතිවරයාට දැනුම්දීම සඳහා කණ්ඩායමක් ලෙස එක්වී කටයුතු කිරීමට එකඟතාවය පළකරන ලෙසත්ය. සජිත් පාර්ශ්වයේ මෙම ඉල්ලීමට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා කෙළින්ම සහාය පළකිරීම විශේෂ සිදුවීමක් විය. එසේ හකීම් සජිත්ට සහාය පළකලා පමණක් නොව රනිල්ට එරෙහිව දැඩිව අදහස් දැක්වීමද විශේෂ සිදුවීමක් විය. එජාපයෙන් සජිත් හැර වෙන කිසිවකු පැමිණියහොත් සහාය නොදක්වන බව එහිදී කියා සිටි හකීම් කොටින්ම ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රනිල්ව අගමැතිවරයා ලෙස පත්කිරීමට පවා තමන් සූදානම් නැති බව සඳහන් කර සිටියේය.
හකීම් සජිත්ට: රිෂාඩ් නිහඩයි: චම්පිකගෙන් අමුතු ප්‍රශ්නයක්
හකීම් මෙවැනි ස්ථාවරයක් දැරුවද අනෙකුත් කිසිදු පක්ෂ නායකයකු එවැනි දැඩි ස්ථාවරයක සිටින බවක් එහිදී දැකගන්නට නොලැබිණ. විශේෂයෙන්ම රිෂාඞ් දැඩි නිහඬ බවකින් යුතුව සාකච්ඡාවට සම්බන්ධ වී සිටි අතර චම්පික මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් දක්වනු දැකගත හැකි විය.
“අපි මේ විදිහට ගහගෙන මරාගෙන ගිහිල්ල කාටවත් ජනාධිපතිවරණය දිනන්න බෑ. මේක අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පක්ෂය ඇතුළෙ බේරගන්න ඕනෙ. ඒක ඡන්දෙකින් කරනවා හරි, රහස් ඡන්දෙකින් කරනව නම් හරි කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අන්තිමේදී කවුරු ආවත් අපි එකට ජනාධිපති වේදිකාවට නඟින්න ඕනෙ. ඒ වෙද්දි එක එක්කෙනා අතර ප්‍රශ්න තියාගත්තොත් මේ ගමන අපිට යන්න බෑ. සජිත් හරි වෙන කවුරුහරි ආවත් ඔක්කොමත් එක්ක සුහදව යන්න ඕනෙ.” යනුවෙන් කී චම්පික සජිත්ගෙන් තවත් එක් ප්‍රශ්නයක් ඍජුවම ඇසීමට කටයුතු කළේය. ඒ යම් හෙයකින් එජාපයේ අපේක්ෂකත්වය නොලැබුණහොත් සජිත් කරන්නේ කුමක්ද යන්න කියාය.
“දැන් සජිත් ඔයා රැස්වීම්වලදී විවිධ ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන්ම ඔයා ජනාධිපතිවරණයට එනව කියනවා. මිලිමීටරයක්වත් අඩිය පස්සට ගන්නෙ නෑ කියල කියනව. හැබැයි ඔයා ඔහොම කියල නිකමට හරි ඔයාට යූ.ඇන්.පී. එකෙන් ඉල්ලන්න ලැබුණෙ නැත්නම් ඔයා පක්ෂයෙන් එළියට ගිහිල්ල ඉල්ලනවද” යනුවෙන් කියමින් චම්පික සජිත්ගෙන් ප්‍රශ්න කරද්දී සජිත් වෙනුවට ඊට මුලින්ම පිළිතුරු දුන්නේ මංගලත්, කබීරුත්ය. දෙදෙනාම අදහස් දැක්වූයේ එසේ අපේක්ෂකත්වය නොලැබුණහොත් පක්ෂයෙන් එළියට ගොස් හෝ සජිත් තරග කරන ස්ථාවරයේ සිටය. නමුත් සජිත් කියා සිටියේ තමන් එජාපයෙන් තරග වදින බවත්, ඉන් මෙපිටට අඩියක් හෝ පිටුපස්සට තැබීමට තමන් සූදානම් නැති බවත් කියාය. චම්පික ඇසූ ප්‍රශ්නයට පිළිතුර එය නොවූ නිසා යළිත් චම්පික සජිත්ගෙන් විමසා සිටියේ “මම අහන්නෙ ඔයාට ටිකට් එක ලැබුණෙ නැත්නම් ඔයා පක්ෂයෙන් එළියට ගිහිල්ල හරි ඉල්ලනවද කියලයි” යනුවෙනි. නමුත් එවරද සජිත් එම ප්‍රශ්නයෙන් ලිස්සා යමින් කියා සිටියේ තමන් එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි කියාය.
පක්ෂයෙන් එන කෙනාට සහාය දෙන තීන්දුවක
ඉන් අනතුරුව සියල්ලගේම අවධානය යොමුවූයේ මෙතෙක් වේලා නිහඬව සිටි තවත් තීරණාත්මක බලවේගයක් වූ රිෂාඞ් දෙසටය. මංගල ඇතුළු කණ්ඩායම තම ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසට කළ දැඩි බලකිරීම හේතුවෙන් රිෂාඞ් කියා සිටියේ තමන්ට සජිත් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් හෝ විරෝධයක් නැති වුවත්, තමන්ද එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානගතව සිටින නිසා එක්සත් ජාතික පක්ෂය අවසාන වශයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දක්වන ස්ථාවරයක සිටිනවා යැයි කියාය. දිගම්බරම්ද සිටියේ එම ස්ථාවරයේමය. ඔහුද කියා සිටියේ සජිත්ට බිම් මට්ටමේ ජනතාවගෙන් විශාල සහායක් තිබෙන බව දන්නා නමුත්, එජාපය ගන්නා අවසන් තීන්දුව සමඟ තම පක්ෂයද සිටින බවය. නමුත් හකීම් මෙන්ම මනෝ ගනේෂන්ද සිටියේ සජිත් එජාපයෙන් ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහාය පළකරන ස්ථාවරයකය.
කෙසේ වෙතත් මෙහිදී සියලු දෙනාම සජිත් පාර්ශ්වයෙන් විමසා සිටි ප්‍රශ්නයක් විය. ඒ එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා නොකළේ මන්ද යැයි කියාය. එවිට මංගල කියා සිටියේ ඔවුන්ට ආරාධනා කළ බවත්, අද දිනයේ ඔවුන්ට මෙම සාකච්ඡාවට සම්බන්ධ වීමට නොහැකි බව දැනුම් දුන් බවත්, හෙට දිනයේදී තමන් සහ සජිත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් සහ සුමන්තිරන් යන මන්ත්‍රිවරුන් මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවත්ය.
සාකච්ජාව එකගතාවක් නැතිවම අවසන්
ඒ අනුව අවසානයේදී මංගල පැමිණ සිටි සියලු දෙනාගෙන්ම විමසා සිටියේ මෙම සාකච්ඡාව සාර්ථක බැවින් සියලු දෙනාම එකට ගොස් සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට රනිල්ගෙන් ඉල්ලීමක් කරන්න යැයි කියාය. ඊට හකීම් සහ මනෝ කෙළින්ම එකඟතාව පලකරද්දී චම්පික, රිෂාඞ් සහ දිගම්බරම් දුන්නේ ලිස්සා යන ආකාරයේ උත්තරයන්ය.
නමුත් සාකච්ඡාව අවසාන වීමෙන් පසුව සජිත් පාර්ශ්වයේ සුපුරුදු මාධ්‍ය සෙල්ලම ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, වෙබ් අඩවි බොහොමයක් මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල පලවූ පුවත්වලින් කියැවුණේ සියලුම සුළු පක්ෂ නායකයන් සජිත්ට සහාය පළකිරීමට එකඟ වූවා යැයි කියාය. නමුත් තත්ත්වය එසේ නොවුණු අතර කිසිදු සුළු පක්ෂ නායකයකු ගොස් රනිල්ව මුණගැසුණු ආකාරයක්ද දැකගන්නට ලැබුණේ නැත.
සජිත් දෙමළ සන්ධානය හමුවෙයි: සම්බන්දන්ගේ ප්‍රශ්නෙට සජිත්ට උත්තර නෑ
මෙම සාකච්ඡාවෙන් පසුව එදින රාත්‍රියේදීම මංගල සම්බන්ධන්ට කතා කොට දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවකට කාලවේලාව වෙන්කර ගත්තේය. එම සාකච්ඡාවට මංගල සහ සජිත් එක්ව සිටි අතර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සම්බන්ධන් සහ සුමන්තිරන් එක්ව සිටිනු දැකගන්නට ලැබිණ. මෙහිදී මංගල සාකච්ඡාව ආරම්භයේදීම කියා සිටියේ ඊයේ රාත්‍රි සුළු පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ සියලු දෙනාම සජිත්ට සහාය ලබාදීමට එකඟතාව පළකළා යැයි කියාය. නමුත් මෙහිදී සම්බන්ධන්, සුමන්තිරනුත් දෙදෙනාම කියා සිටියේ මේ වන විට උතුරේ ජනතාව දකුණේ නායකයන් කෙරෙහි විශාල කලකිරීමකින් සිටින බවත්, විධායකය අහෝසි කරන බව කියමින් දකුණේ නායකයන් උතුරේ දෙමළ ජනතාව රැවටීමට කටයුතු කර ඇති බවත්ය.
“අනෙක් සුළු ජාතික පක්ෂ නායකයන් සජිත්ට සහාය පලකරපු එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උතුරෙ ජනතාවට දකුණෙ නායකයන් ගැන දැන් කිසිම විශ්වාසයක් නෑ. ඒ අයට දකුණෙ ආණ්ඩු එපාවෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම 2015දි මේ ආණ්ඩුව බලයට ආවෙ උතුරෙ ප්‍රශ්නයට විසඳුම් දෙනව කියල, විධායකය අහෝසි කරනව කියල. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. හැබැයි ආණ්ඩුව මේ කිසිම දෙයක් කළේ නෑ. ඒ නිසා අපේ ජනතාවට ආණ්ඩුව ගැන තියෙන්නෙ කලකිරීමක්. ඒක නැතිවෙන්න නම් අපි දෙමළ ජනතාවට විශ්වාසය තියන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරන්න ඕනෙ. අපි එදා යාපනේ තිබ්බ සාකච්ඡාවේදීත් සජිත්ගෙන් ඇහුවෙ මොකක්ද ඔබතුමා දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ඉදිරිපත් කරන විසඳුම කියලයි. ඒකට අපිට එදා හරි උත්තරයක් හම්බවුණේ නෑ. ඒ හින්ද අපි අදත් අහනවා උතුරට දෙන දේශපාලන විසඳුම ගැන ඔබතුමාගෙ ස්ථාවරය මොකක්ද?” යනුවෙන් සම්බන්ධන් සජිත්ගෙන් කෙළින්ම විමසද්දී සජිත් කියා සිටියේ දැනට ඒ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරමින් යන බවකි.
දෙමළ සන්ධානය සජිත්ට දුන් උත්තරේ මෙන්න
සජිත්ගේ ඒ ප්‍රකාශය සම්බන්ධන්ට තරමක් කේන්ති යන ආකාරයක් දැකගත හැකි විය.
“එහෙම කොහොමද කියන්නෙ. ජාතික නායකයෙක් වුණාම ඕනෑම ප්‍රශ්නයකට දෙන්න පුළුවන් විසඳුම තමන්ගෙ ඔළුවෙ තියෙන්න ඕනෙ. ඔබතුමා අපිට ඒ ස්ථාවරය කියනව නම් අපිට පුළුවන් ඒක උතුරෙ ජනතාවට කියල ඒ අයගෙ විශ්වාසය දිනාගන්න. ඔබතුමාගෙ බලය බෙදීමේ ප්‍රතිපත්තිය මොකක්ද, මානව හිමිකම් ගැන ඔබතුමාගෙ ප්‍රතිපත්තිය මොකක්ද, උතුරෙ ප්‍රශ්නෙට දෙන දේශපාලන විසඳුම මොකක්ද කියල ඔබතුමා අපිට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන්න ඕනෙ. අපි ඒක බලල එහෙනම් අපේ ස්ථාවරය කියන්නම්.” යනුවෙන් කී සම්බන්ධන් සහ සුමන්තිරන් රනිල් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ කරුණක් මතක් කිරීමට කටයුතු කළේය.
“මොන ප්‍රශ්න ආවත් අගමැතිතුමා එදා ඉඳන්ම උතුරෙ ප්‍රශ්නය ගැන හිටියෙ එකම ස්ථාවරයක. දකුණෙ ජාතිවාදී පක්ෂ කොච්චර එතුමට ගැහුවත් කවදාවත් එතුමා ඒ ස්ථාවරය වෙනස් කළේ නෑ. ඒ හින්ද අදටත් අපි අගමැතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට විතරක් නෙමෙයි උතුරෙ ජනතාවටත් අගමැතිතුමාගෙ ස්ථාවරය ගැන පැහැදීමක් තියෙනවා. ඒ හින්ද අපි කියන්නෙ ජනාධිපතිකම කවුරු ගත්තත් අනිවාර්යෙන්ම අගමැති තනතුරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න ඕනෙ කියලයි.” යනුවෙන් සම්බන්ධන් කියා සිටියේ රවුෆ් හකීම් මහතා රනිල් සම්බන්ධයෙන් අප පෙර කී ආකාරයේ ස්ථාවරයක් දරන පසුබිමකදී වීම විශේෂ සිදුවීමකි. ඒ අනුව මෙම සාකච්ඡාවද අවසන් වූයේ කිසිදු එකඟතාවයකින් තොරවය.
සජිත්ගේ පාර්ශ්වය ගහපු මාධ්‍ය ගේම
කෙසේවෙතත් මෙම සාකච්ඡාවෙන් පසුවද සජිත් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක වූ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවලින් කියැවුණේ එම සාකච්ඡාව සම්පූර්ණයෙන් සාර්ථක යැයි කියාය. ඒ අනුව බොහෝදෙනා සිතා සිටියේද සජිත්ට දෙමළ සන්ධානයේ ලක්ෂ 10ක් වූ ඡන්ද ප්‍රමාණය ගෙඩි පිටින්ම ලැබී ඇතැයි කියාය. නමුත් දෙමළ සන්ධානය පාර්ශ්වයෙන් ඒ පිළිබඳු නිල ප්‍රකාශයක් හෝ නිල නොවන ප්‍රකාශයක් නිකුත් නොවීමද විශේෂ සිදුවීමක් විය.
අර්බුද මැද සිවිල් සංවිධාන රනිල් හමුවෙයි
මේ ආකාරයට සජිත්ගේ පාර්ශ්වය සුළු ජාතික පක්ෂ නායකයන් හමුවෙද්දී විවිධ පාර්ශ්වයන් රනිල්වද මුණගැසී පසුගිය සතියේදී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහි ප්‍රධාන සංවිධාන දෙක වූයේ පුරවැසි බලයත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයත්ය. පසුගිය ඉරිදා (15දා) දිනයේදී පුරවැසි බලය නියෝජනය කරමින් ගාමිණී වියන්ගොඩ, ජනරංජන, බි්‍රටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහ සාධාරණ සමාජය නියෝජනය කරමින් සරත් විජේසූරිය ඇතුළු කණ්ඩායමක් මෙම හමුවීම සඳහා සහභාගි වී තිබිණ. එහිදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ ප්‍රධාන ඉල්ලීමක් වූයේ දැන්වත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කර 2015 දී ජනතාවට දුන් පොරොන්දුව ඉෂ්ඨ කරන ලෙසටය. විශේෂයෙන්ම පුරවැසි බලය සංවිධානය මෙම කටයුත්ත ප්‍රමාද කිරීම හේතුවෙන් රනිල්ට දොස් පවරන ආකාරයක්ද දැකගත හැකි විය. එහිදී ඔවුන් රනිල්ට කියා සිටියේ අවම වශයෙන් මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ නොහැකි නම් එම පොදු සටන් පාඨය යටතේ සියලු සංවිධාන සහ බලවේග එක් කළ හැකි අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙසටය. ඊට රනිල්ගෙන් ලැබුණේ ඉතාම යහපත් ප්‍රතිචාරයකි.
මංගලත් සිවිල් සංවිධාන කැදවයි
ඉන් අනතුරුව මෙම පිරිසට මංගලගෙන්ද ආරාධනාවක් ලැබී තිබුණේ අඟහරුවාදා දින තමන්ගේ නිවසේ පැවැත්වෙන රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වන ලෙසටය. එහි අරමුණ වූයේ මෙම සිවිල් සංවිධානවල සහාය සජිත්ට ලබාගැනීමටය. ඊට සිවිල් සමාජය නියෝජනය කරමින් දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ජනරංජන, චන්ද්‍රගුප්ත තේනුවර, බි්‍රටෝ ප්‍රනාන්දු, පිලිප් දිසානායක ආදීහු සහභාගි වී සිටියහ. සජිත් පිල නියෝජනය කරමින් රංජිත්, මලික්, කබීර්, සුජීව, හර්ෂ, එරාන් ඊට සහභාගිව සිටි අතර සජිත් පිලේ ප්‍රබලයන් වූ හරීන් ප්‍රනාන්දු සහ අජිත් ඊට සහභාගිවී නොසිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම සිවිල් සංවිධාන නියෝජිත පිරිස කියා සිටියේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නායකත්වය ලබාදුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන තනි සටන් පාඨය මත 2015 දී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඔවුන් ගත් වෙහෙස පිළිබඳවය. එය යම්දුරකට සාර්ථක කරමින් 19 වැනි සංශෝධනය ගෙන ඒමට හැකි වුවත් විධායකය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට නොහැකි වූ බවත්, අවම වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම පවා අසාර්ථක වූ බවත් ඔව්හු එහිදී කියා සිටියහ. ඔවුන්ගේ ස්ථාවරය වූයේ අවම වශයෙන් මෙවර වත් එම වෑයම ඉටුකරගත යුතු බවය. එමෙන්ම හොරු ඇල්ලීමට නොහැකි වූ බවට බරපතළ චෝදනාවක් එල්ල කළ පිරිස මෙවරද විධායකය අහෝසි කිරීම මුල්කරගෙන සැමට පිළිගත හැකි පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කියා සිටියහ.
සජිත් දුන් උත්තරවලට කට්ටියටම යකා නැගලා
කෙසේ වෙතත් මෙහිදී සජිත් ඊට පිළිතුරු දෙමින් කළේ කවුරුත් බලාපොරොත්තු නොවූ කතාවකි. සජිත් කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම තවදුරටත් රටේ ප්‍රමුඛතාවයක් නොවන බවකි. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ප්‍රධානම ප්‍රශ්නය රටේ ජාතික ආරක්ෂාව සහ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය බවද සජිත් එහිදී කියා සිටියේය.
සජිත්ගේ මෙම පිළිතුරත් සමග පිරිස සජිත්ගේ ස්ථාවරයට එරෙහිව අදහස් ඉදිරිපත් කළ අතර, ඒ හරහා මංගලද කරකියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වන ආකාරයක් දැකගන්නට තිබිණි. මංගල අවස්ථා කිහිපයකදීම සජිත්ගේ එම අදහස් දැක්වීම නැවැත්වීමට උත්සාහ කළත්, සජිත් දිගින් දිගටම එකම අදහස කියා සිටීම නිසා සිවිල් සංවිධාන නියෝජිතයන්ට සජිත් සම්බන්ධයෙන් තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම ගිලිහී ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී විශාලම චෝදනාව එල්ලවූයේ බ්‍රිටෝ ප්‍රනාන්දුගෙනි.
“අපි හිතුවෙ නෑ ඔබතුමා ඔය වගේ ස්ථාවරයක ඉන්න පුද්ගලයෙක් කියල. අනෙක ඔබතුමා කවදාවත් සිවිල් සංවිධානවල සාමාජිකයෙක් වෙලා හිටියෙ නෑ. අපි කරපු අරගලවලටවත් ඔබතුමා කවදාවත් අවෙ නෑ. අපි එදා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පාරට බැහැල අරගල කරද්දි ඔබතුමා කවදාවත් ඒවට සම්බන්ධ වුණේ නෑ. ඒ හින්ද අපිට ඔබතුමාට කිසිම වෙලාවක සහයෝගය දෙන්න බෑ. අඩුම තරමෙ එදා අපි මෛත්‍රිට සහයෝගය දුන්නෙ රනිල් අපිට කියපු හින්දයි. රනිල් හැමදාම අපිත් එක්ක අපේ ප්‍රශ්නවලට පාරට බැස්ස. අපිත් එක්ක වැඩ කළා. මෛත්‍රිපාලවත් අපිත් එක්ක එහෙම හිටියෙ නෑ. ඉතින් අපි මෛත්‍රිපාලට උදව් කළේ රනිල් අපිට කියපු හින්දයි.” යනුවෙන් කියමින් බි්‍රටෝ සජිත්ට එරෙහිව විශාල ප්‍රහාරයක් දියත් කරද්දී අනෙකුත් පිරිසද සජිත්ට එරෙහිව අදහස් දක්වන්නට වීම නිසා එම සාකච්ඡාව එකම ගාලගෝට්ටියක් බවට පත්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම සජිත් සිවිල් සංවිධාන නියෝජිතයන්ට කිසිදු ගරුසරුවකින් තොරව ඔවුන්ගේ ස්ථාවරයන් හෑල්ලු කරමින් ආවාට ගියාට උත්තර දෙන විලාසය දුටු සියලුම දෙනා සජිත්ට එරෙහිව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කබීර් මංගලට කියපු දෙයින් සරත් විජේසූරිය ආවේශ වෙයි
මේ ආකාරයට එකවර හතර වටෙන්ම සජිත්ට ප්‍රහාර එල්ලවීමත් සමඟ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි නිසා කබීර් කළේ මංගල දෙස බලා හීන්සීරුවේ “මෙන්න මේ කට්ටියව යවල දාලා මේක ඉවරයක් කරන්න” යැයි කියාය. අවාසනාවට මෙන් කබීර්ගේ මේ කතාව සරත් විජේසූරියගේ කනට වැටිණ. ඒත් සමඟම සරත්ට යකා වැහෙනු දැකගන්නට ලැබිණ.
“මට ඇහුණ ඔබතුමා දැන් කියපු එක. ඔබතුමාල හිතන්නෙ අපිව මෙතැන්ට ගෙන්නල ඔබතුමාල කියන කියන එකට අපි අත උස්සනව කියල නම් ඔබතුමාලට වැරැදිලා. අපි සූදානම් නෑ මෙහෙම ස්ථාවරයන් තියෙන ඔබතුමාලත් එක්ක එකට වැඩ කරන්න” යනුවෙන් කියමින් සරත් උස් හඬින් කියද්දී, කබීර් කීවේ තමන් එවැන්නක් ප්‍රකාශ කළේ නැතැයි කියාය.
“නැත්තෙ මොකද. මට ඇහුන ඔබතුමා මංගල ඇමැතිතුමාට අපිව යවල දාන්න කියල කියපු එක. ඔබතුමාල මේ පොඩි ගිනිපෙට්ටි වගේ ගෙවල් හදල, ස්ටේජ් නැඟල කතා කරනකොට යූ.ඇන්.පී.කාරයො අප්පුඩි ගැහුවට හිතන්න එපා ඒකෙන් විතරක් දිනන්න පුළුවන් කියල. එහෙම නම් කරල බලමු. ඕගොල්ලන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ. බලය බෙදීම ගැන ප්‍රතිපත්තියක් නෑ. විධායකය අහෝසි කරන එක ගැන ප්‍රතිපත්තියක් නෑ. හොරු අල්ලන වැඩපිළිවෙළ ගැන ප්‍රතිපත්තියක් නෑ. රටේ උගත් ජනතාව වෙනුවෙන් කිසිම ප්‍රතිපත්තියක් නෑ. රටේ ආර්ථිකය ගැන කිසිම ප්‍රතිපත්තියක් නෑ. ඒව ඇහුවම වෙන වෙන දේවල් කියන්නෙ” යනුවෙන් කියමින් සරත් විජේසූරිය දැඩි ප්‍රහාරයක් එල්ලකිරීම නිසා සාකච්ඡාව එකම ගාලගෝට්ටියක් වී අවසන් වූ අතර, අවසානයේදී කබීර්ට තමන් කළ ප්‍රකාශය ගැන පිරිසගෙන් සමාව ගැනීමටද සිදුවිය. එමෙන්ම සරත් සිය කතාව අවසන් කළේද “ඔබතුමාල අපිට සලකන්නෙ ඔය විදිහට නම් ඉල්ලල බලමු” යැයි කියමිනි.
මංගලට වටකරගෙන ගහයි: සජිත් ආපු නැති එකටත් මංගල තරහින්
මේ අතරවාරයේ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී එජාපයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණ. මෙහිදී සජිත් කණ්ඩායම රැස්වීමට සහභාගි වීමට පෙර තියාම සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබුණේ එම රැස්වීමේදී සජිත්ට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් රනිල්ට දැඩිව කරුණු දැක්වීමටය. ඒ අනුව සාකච්ඡාව ආරම්භ වී මොහොතක් යෑමට මත්තෙන් මාතෘකාව එළියට ගත්තේ මංගලය. ඒ අනුව මංගල සජිත් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමත් සමඟ වෙන වෙන ආකාරයෙන් මංගලට එරෙහිව හතර වටෙන්ම ප්‍රහාර එල්ලවන ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී පළමුවෙන්ම මංගලට එරෙහිව අදහස් දැක්වූයේ දයා ගමගේය. සමෘද්ධි නිවාස ඉදිකිරීම සඳහා මුදල් ලබාදීම ප්‍රමාද කරන බවට කියමින් මංගලට එරෙහිව දයා විශාල චෝදනාවක් නඟද්දී මංගලට තමන් සජිත් ගැන කරමින් සිටින කතාව පසෙක තබා දයාට උත්තර දීමට සිදුවිය. මෙහිදී දයා තම කතාව අතරතුරදී පාරවල්වල හන්දි ගානේ ජනපති අපේක්ෂකයන් තෝරන්න බැරි බව කියමින් සජිත්ටත්, මංගලටත් පොඩි ටොක්කක් දීමටද කටයුතු කළේය.
ඉන් අනතුරුව නැවත සජිත් පිළිබඳව කතා කරද්දී මංගලට ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් වූයේ කාවිංග ජයවර්ධනගෙනි. කාවිංග මන්ත්‍රිවරුන්ගේ පඩි ප්‍රශ්නයක් පිළිබඳව මංගලට චෝදනා එල්ල කරද්දී නැවතත් සිය කතාව පසෙක තබා කාවිංගට උත්තර දීමට මංගලට සිදුවිය. ඉන් අනතුරුව නැවැතත් සජිත් ගැන මංගල කතා කරද්දී ප්‍රශ්නයක් එල්ලවුණේ පොළොන්නරුවේ සිඞ්නි ජයරත්නගෙනි. ඔහුද මන්ත්‍රි දීමනා සම්බන්ධයෙන් මංගලට දෝෂාරෝපණය කරද්දී සජිත් ගැන කතාව නවත්වා ඊට පිළිතුරු දීමට මංගලට සිදුවිය. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් තමන් කණ්ඩායම් රැස්වීම තුළ තනිවී ඇති ආකාරයක් මංගලටද දැකගන්නට ලැබුණේ කිසිවකු හෝ මංගලගේ සහායට ඉදිරිපත් නොවීම නිසාය. අවම වශයෙන් සජිත් හෝ එදින කණ්ඩායම් රැස්වීමේ නොසිටි අතර සජිත් සිටියේ හම්බන්තොට විවෘත කිරීමකට සහභාගි වෙමින්ය. ඒ පිළිබඳවද මංගලට තිබුණේ දැඩි කෝපයකි. ඒ අනුව රැස්වීම අවසන් වූ වහා තමන්ට හිතවත් මන්ත්‍රිවරුන් සමඟ මංගල සජිත්ට එරෙහිව දැඩි විරෝධයක් පලකරමින් කියා සිටියේ අවම වශයෙන් මෙවැනි තීරණාත්මක අවස්ථාවක හෝ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සටන් කිරීමට සජිත් කොළඹ සිටිය යුතු යැයි කියාය. කොටින්ම කියනවා නම් එහිදී මංගල කතා කළේ සජිත්ව එපාවී තිබූ ආකාරයටය.
කිලී මහරාජාගෙන් සජිත්ට දොස්: වහාම කොළඹට කැදවයි
මොහොතක් යෑමට මත්තෙන් මංගලගේ මේ සජිත් සම්බන්ධ වූ කලකිරීම කනින් කොණින් ගොස් සිරසේ හිමිකරුවා වූ කිලී මහරාජාගේ කනටද වැටිණ. කිලී මහරාජා යනු පසුගිය කාලය පුරාම සජිත් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි මාධ්‍ය හිමිකරුවාය. මේ නිසා කිලී සජිත්ට පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා රනිල්ට දැඩි ප්‍රහාරයක් සිය නාලිකාව ඔස්සේ සිදුකරගෙන ගියේය. කෙසේ වෙතත් කණ්ඩායම් රැස්වීමේ සජිත් නොසිටීම නිසා මංගල දැඩි කෝපයට පත්ව සිටින බවක් වාර්තා වීමත් සමඟ කිලීද දැඩි කෝපයට පත්ව සිටි බවක් වාර්තා වී තිබිණ. ඒ අනුව ගිය කටකතාවලින් කියැවුණේ කිලී වහාම දුරකතන ඇමැතුමක් ගෙන සජිත්ට දිගට හරහට බැනගෙන බැනගෙන ගිය බවකි. වහාම හම්බන්තොට කරන සියලු කටයුතු නතරකොට කොළඹ පැමිණ මංගල සමග සාකච්ඡා කොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලෙසද එහිදී කිලී සජිත්ට දැනුම්දී සිටි බවද වාර්තා විය. කිලීගේ කීමට අනුව සජිත් එදින රාත්‍රියේම කොළඹ බලා පැමිණ වහාම මංගලව මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත් බවත්, අඟහරුවාදා උදේ 7.00ට මංගලගේ නිවෙසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දු කළ බවත් ඒ අනුව කියැවිණ. මීට පෙර මෑත කාලයේදී මේ ආකාරයට උදෑසන 7.00ට කිසිදු දේශපාලන නායකයකු පුවත්පත් සාකච්ඡාවක් කැඳවා නොමැති පසුබිමක කිලී මහරාජා එවැනි පසුබිමක් සකස් කොට එය සිය සිරස මාධ්‍ය නාළිකාව ඔස්සේ සජීවීව විකාශය කළ බවද දේශපාලන ක්ෂේත්‍රයේ ගිය මම කටවතාවලින් වැඩිදුරටත් කියැවිණ. ඒ අනුව උදේ 7.00 පුවත්පත් සාකච්ඡාවට වාඩිවූ සජිත් නැවැතත් කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බවකි.
කරුගෙනුත් හදිසි නිවේදනයක්
කෙසේ වෙතත් මංගලගේ නිවෙසේ පැවැති මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වී පැය දෙකක් ඉක්ම යෑමට මත්තෙන් තවත් විශේෂ නිවේදනයක් නිකුත් විය. ඒ වෙන කාගෙන්වත් නොව කතානායක කරු ජයසූරිය මහතාගෙන් වීම විශේෂ සිදුවීමක් විය. සිය නිවේදනය මඟින් කතානායකවරයා කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ප්‍රබල පාර්ශ්වයන්ගෙන් තමන්ට දිගින් දිගටම ආරාධනා ලැබෙන බවත්, පක්ෂයේ බහුතරය තමන්ට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නේ නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවත්ය. එමෙන්ම ඉතා කෙටි කලකට පමණක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම් බව එහිදී අවධාරණය කර සිටි කතානායකවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමාගේ එකම ඉලක්කය බවත් ඒ හරහා පෙන්වා දී සිටියේය.
මෛත්‍රී අන්තිම තුරුම්පුව ගහන්න සෙට් වෙච්ච හැටි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව යළි කරළියට ගෙන එමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අන්තිම දේශපාලන තුරුම්පුව ගැසීමට කටයුතු කරමින් සිටින බවට අප මීට සති තුනකට ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණය කළේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් සමඟ ජනාධිපතිවරයා කළ සාකච්ඡා වට කීපයක් හෙළිදරව් කරමිනි. ඒ අනුව පළමුවෙන්ම අගමැතිවරයාව සිය නිල නිවෙසට කැඳවා සිටි ජනාධිපතිවරයා රනිල්ගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසද්දී රනිල් දැනුම්දී තිබුණේ එය 2015දී ජනාධිපතිවරයා විසින්ම රටට දුන් පොරොන්දුවක් බවත්, එය ඉටුකිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවත්ය. එසේ නමුත් මේ සම්බන්ධයෙන් විපක්ෂය සමඟද සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවද මෙහිදී රනිල් මෛත්‍රිට දැනුම්දී තිබිණ. විපක්ෂයද කැමැති නම් තමාගේද අකමැත්තන් නොමැති බවද එහිදී රනිල් මෛත්‍රිට වැඩිදුරටත් කියා තිබිණ.
ඒ අනුව එදිනම රාත්‍රි 7.30ට මහින්දවද සිය නිල නිවෙසට කැඳවීමටද මෛත්‍රි පියවර ගෙන තිබිණ. ඒ අනුව විධායකය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව මහින්දට දැනුම් දෙද්දී මහින්ද කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට තනිවම තීන්දුවක් ගත නොහැකි බවත්, විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත්ය. කෙසේ වෙතත් එවැන්නක් මේ මොහොතේ කළ හැකි බවට තමන් විශ්වාස නොකරන බවද මහින්ද මෙහිදී මෛත්‍රිට දැනුම්දී සිටියේය.
එදා කරපු සාකච්ජාව බිද වැටෙයි: එජාපයටත් ප්‍රසිද්ධියේම ගහයි
ඒ අනුව මේ සාකච්ඡා බිඳවැටීමත් සමඟ මෛත්‍රි කළේ ඊට පසුවදාම එජාපයට ප්‍රසිද්ධියේ බැනවැදීමය. එජාපය නිසා විධායකය අහෝසි කිරීමට නොහැකි වූ බවත්, එජාපය උතුරේ ජනතාව රැවටූ බවත් කියමින් මෛත්‍රි එහිදී එජාපයට විශාල දෝෂාරෝපණයක් කිරීමට කටයුතු කළේය. ඒ අනුව විධායකය අහෝසි කිරීමේ සාකච්ඡාව යට යන ආකරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් නැවැතත් මේ සාකච්ඡාව කරළියට පැමිණියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ දින තීන්දුවට පත්කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟය. එහිදී මෛත්‍රි වැඩිමනත්ම කලබලයට පත්ව තිබුණේ නොවැම්බර් 16 වැනි දිනට ජනපතිවරණය තීන්දු කිරීම නිසාය. මන්දයත් ඊට පෙර පක්ෂ මහලේකම් දයාසිරි හරහා මෛත්‍රි මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබුණේ තමන්ගේ ධුර කාලයේ අවසන් දිනය වූ ජනවාරි 07 වැනි දිනට ආසන්න දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට දිනය නියම කරන ලෙසටය.
මෛත්‍රී වහාම සුමන්තිරන් කැදවා රනිල්ට යවපු පණිවුඩය මෙන්න
නමුත් ඊට මාස කිහිපයක් මෙපිටට තබා ජනපතිවරණයට දින තීන්දු වීමත් සමඟ දැඩි කලබලයට පත්වූ මෛත්‍රි වහාම කළේ රනිල්ට පණිවුඩයක් යැවීමය. මෛත්‍රි එය යැව්වේද විශේෂ පුද්ගලයකු අතේය. ඒ වෙන කවුරුවත් නොව දෙමළ සන්ධානයේ ප්‍රබලයකු වූ සුමන්තිරන් අතේය. මුලින්ම සුමන්තිරන් ජනපති මන්දිරයට කැඳවූ මෛත්‍රි ඔහුත් සමඟ විධායකය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. එය යෝජනාවක් ලෙස දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති නිසා මෛත්‍රි කියා සිටියේ එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බවත්, ඉන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කෙළින්ම ඡන්දය විමසීමේ අවස්ථාවකට යා හැකි යැයි කියාය. ඉන් අනතුරුව ජනමත විචාරණයක් හරහා විධායක අහෝසි කළ හැකි බවද මෛත්‍රි සුමන්තිරන්ට දැනුම්දී සිටියේය. එම පණිවුඩය රනිල්ට දැනුම්දෙන ලෙසත්, තමන් මහින්ද සහ ජවිපෙ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, මෛත්‍රි මෙහිදී සුමන්තිරන්ට කියා සිටියේය.
ජවිපෙත් කොළ එළිය දල්වයි
ඒ අනුව සුමන්තිරන් මෙම මෛත්‍රිගේ පණිවුඩය රනිල්ට දැනුම්දුන් අතර මෛත්‍රි කළේ අනෙක් පැත්තෙන් ජවිපෙටද ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් යැවීමය. එම පණිවුඩයෙන් මෛත්‍රි ජවිපෙට කියා තිබුණේ ඔවුන් ගෙනා යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් ලෙස නැවැත ඉදිරිපත්කොට සම්මත කිරීම හරහා විධායකය අහෝසි කළ හැකි යැයි කියාය. ඒ අනුව මෛත්‍රිගේ සැලැසුම වී තිබුණේ රනිල්ගේ යෝජනාවක් ලෙස අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මෙය ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමය. එමෙන්ම ජවිපෙන් රනිල්ට සුබවාදී පණිවුඩයක් ලැබෙනු ඇති බවද, ඒ සමඟම මෛත්‍රි රනිල්ගේ පාර්ශ්වයට දැනුම්දීමක් කර තිබිණ.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට රනිල්ගේ එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වූයේ නැත. පසුව ඊට හේතු පිළිබඳ සොයා බලද්දී තමන්ට ජවිපෙන් මෙසේ පණීවුඩයක් නොලැබුණු බවත්, ජවිපෙන් පණිවුඩයක් ලැබෙන තෙක් තමන්ද බලා සිටි බවක් රනිල් කියා සිටියේය. නමුත් පසුව රනිල් ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට කතා කොට ඒ පිළිබඳව එකඟතාවකට පැමිණෙද්දී අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම නිමාවට පත්ව තිබිණ. ඒ අනුව විධායකය අහෝසි කිරීමේ යෝජනාවට ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානය එකඟතාවය පළකරන බවට වූ පණිවුඩය රනිල්ගේ පාර්ශ්වයට ලැබුණේ බදාදා දිනයේදීය. එවිට ප්‍රශ්නය වූයේ එම යෝජනාව සම්මත කිරීම සඳහා අවශ්‍ය 2/3 බහුතර බලය ලබාදීමට මහින්ද එකඟවනු ඇතැයිද කියාය.
මහින්ද රෑ 9.55ට මෛත්‍රිගේ ගෙදරට යයි
ඒ අනුව වහාම මෛත්‍රි මහින්දට පණිවුඩයක් යවමින් කියා සිටියේ බදාදා රාත්‍රියේ තමන්ව මුණගැසෙන ලෙසටය. එම පණිවුඩයට අනුව මහින්ද පැජට් පාරේ මෛත්‍රිගේ නිල නිවෙසට ආවේ රාත්‍රි 9.55ටය. ආගිය තොරතුරු පිළිබඳව කතා කිරීමෙන් අනතුරුව මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ අලුතෙන් ගොඩනඟන සන්ධානය ගැනය. නමුත් මෙහිදී මෛත්‍රි කෙළින්ම කියා සිටියේ පොහොට්ටුව යටතේ ශ්‍රීලනිපයට එක්විය නොහැකි බවත්, වෙනත් සලකුණක් යටතේ එක්වීම පිළිබඳව සලකා බැලිය හැකි බවත්ය. නමුත් මහින්දගෙන් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. මහින්ද කීවේ කිසිසේත්ම පොහොට්ටුව සලකුණ වෙනස් කිරීමට දැන් පවතින තත්ත්වය යටතේ නොහැකි යැයි කියාය. පොහොට්ටුව ලකුණ යටතේ සන්ධානගත වීමට ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රිවරුන් අකැමැති බව එහිදී මෛත්‍රි කීවත් මහින්දගෙන් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබෙන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
රනිල්ට උදෙන්ම මෛත්‍රිගෙන් දුරකතන ඇමතුමක්
කෙසේ වෙතත් එම සාකච්ඡාව බිඳවැටීමෙන් පසු මෛත්‍රි ආවේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ මාතෘකාවටය. මේ වන විට රනිල්, ජවිපෙ, ටී.එන්.ඒ. වැනි පක්ෂ සියල්ලම ඊට එකඟතාව පළකර ඇති බව කියා සිටි මෛත්‍රි මහින්දගේ සහාය ඊට ලැබෙන්නේ නම් ඒකමතිකව විධායකය අහෝසි කළ හැකි බව මහින්දට කියා සිටියේය. එහිදී මහින්ද කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත්, ආණ්ඩුවේ සියලු ඡන්ද ඊට ලබාගත හැකි බව තමන්ට පෙන්වුවහොත් තමන් සමඟ සිටින මන්ත්‍රිවරුන්ගේ සහාය ඊට ලබාදීමට තමන් සූදානම් බවත්ය. ඒ අනුව මෛත්‍රි තමන්ට යොමුකළ පන්දුව නැවැතත් මෛත්‍රි පැත්තටම යොමු කිරීමට මහින්ද කටයුතු කළත්, මෛත්‍රි සිතා සිටියේ මහින්ද තමන්ගේ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දැක්වූවා යැයි කියාය. ඒ අනුව බ්‍රහස්පතින්දා උදෑසනම රනිල්ට දුරකතන ඇමැතුමක් දුන් මෛත්‍රි පෙරදින රාත්‍රියේ මහින්ද සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බවත්, ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වහාම පියවර ගත යුතු බවත් රනිල්ට දැනුම්දී සිටියේය. රනිල් ඊට එකගතාවය පළ කළේ මෛත්‍රිගේ මේ කීමට අනුවය.
සජිත් බලෙන්ම මන්ත්‍රී කණ්ඩායම කැදවයි: 76න් 22ක් ඇවිත්
මේ අතරවාරයේ බ්‍රහස්පතින්දා උදෑසන වන විට සජිත් තවත් පියවරක් ඉදිරියට තබමින් තමන්ට ඇති බලතල ඉක්මවා ගොස් පාර්ලිමේන්තුවේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය. ඒ අනුව මන්ත්‍රිවරුන් කැඳවීමේ වගකීම භාරගත්තේ මංගලය. බදාදා රාත්‍රිය වන විටම මේ සම්බන්ධයෙන් වූ තොරතුරු රනිල්ගේ කනටද වැටී තිබූ නිසා රනිල් කළේ තමන්ට හිතවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටම ඊට සහභාගී වන ලෙස දැනුම්දී සිටීමය. තමන්ට බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන කළුතර ආගමික උත්සවයකට සහභාගි වීමට ඇති නිසා සජිත්ගේ රැස්වීමේ සියලු තොරතුරු තමන්ට වාර්තා කරන ලෙසටද රනිල් එහිදී මන්ත්‍රිවරුන්ට දැනුම්දී සිටියේය. කළුතර රැස්වීම දහවල් 11.00ට නිමාකළ රනිල් විටින් විට කොළඹට කතා කරමින් සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායමේ තොරතුරුද විමසා බැලුවේය. ඒ අනුව රනිල්ට දැනගන්නට ලැබුණේ එජාප මන්ත්‍රිවරුන් 76 දෙනාගෙන් ඊට 22ක් සහභාගි වී සිට ඇති බවකි. එමෙන්ම චම්පික, රිෂාඞ්, හකීම් ඇතුළු සුළු පක්ෂ ඇමැති ඇමැතිවරුන් සමඟ සියලුම පිරිස 42ක් වූ බව එහිදී රනිල්ට කරුණු වාර්තා විය.
මෛත්‍රි හදිසි කැබ්නට්ටුව 3ට කැදවයි: රහස සුමන්තිරන්ගෙන් එළියට
ඒ වන විටත් විශේෂ කැබිනට් රැස්වීමක් බ්‍රහස්පතින්දා සවස 3.00ට පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබීම නිසා එදින පාර්ලිමේන්තුවේ හැම තැනම කසුකුසු ගාන්නට පටන් ගත්තේ මෙම හදිසි කැබිනට් රැස්වීම කුමක් නිසා පවත්වන්නේද යන්න කියාය. එම රහස පළමුවෙන්ම එළියට පැන්නේ වෙන කාගෙන්වත් නොව සුමන්තිරන්ගෙන්ය. බ්‍රහස්පතින්දා උදෑසන සුමන්තිරන් පාර්ලිමේන්තුවේ ලොබියේ සිටියදී ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම ඔහුගෙන් විමසා සිටියේ මෙම විශේෂ විශේෂ කැබිනට් රැස්වීම කුමක් නිසා පවත්වන්නේද කියාය.
“මේක තියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව සම්මත කරන්න. මුලින්ම ජනාධිපතිතුමා අපිට කතා කරල මේ පණිවුඩය දුන්නා. රනිල් එක්කත් ගිහිල්ල කතා කරන්න කිව්වා එතුම ජේ.වී.පී. එකයි මහින්දයි ඒකට එකඟ කරගන්නම් කියලා. ජනාධිපතිතුමා තමයි මේ වැඬේ පටන්ගත්තෙ. ඉතින් අපිත් 2015 ඉඳන්ම මේ යෝජනාව කරන නිසා මේ වෙලාව හරි මේක කරන එක හොඳයි කියල අපිත් හිතනවා. ඉතින් ඒකයි අපිත් මේකට මැදිහත් වුණේ. එතුම සූදානම් නාමික ජනාධිපතිවරයෙක් විදිහට ඉඳගෙන සියලු බලතල පාර්ලිමේන්තුවට පවරන්න. මමත් මේක ගිහින් අගමැතිතුමාට කිව්වා. පස්සෙ ජනාධිපතිතුමා මහින්ද එක්තත් කතා කරලා. අද උදේ අගමැතිතුමා එක්කත් කතා කළාම තමයි අගමැතිතුමා ඒකට කැමැත්ත දීල තියෙන්නෙ” යනුවෙන් සුමන්තිරන් පැහැදිලි කරද්දී පිරිසට වෙන්න යන්නේ කුමක්ද කියා පැහැදිලි විය.
ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයා මෛත්‍රිට සුබ පතයි
ඒ අනුව වහාම එහි සිටි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු මෛත්‍රිට දුරකතන ඇමැතුමක් ලබාදීමට කටයුතු කළේය. එසේ දුරකතන ඇමැතුමක් ලබාදුන් එම ජ්‍යෙෂ්ඨයා මෛත්‍රිට සුබපතමින් කියා සිටියේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමට යෑම සම්බන්ධයෙන් සතුටු වෙනවා යැයි කියාය. ඊට මෛත්‍රි දුන්නේ අමුතුම තාලේ පිළිතුරකි.
“දැන් ඕගොල්ලන්ට කිසිම බයක් වෙන්න දෙයක් නෑනෙ. ඕගොල්ලන්ට තිබ්බෙ අනාගතේ මොනා වෙයිද කියල බයක්නෙ. මම ඔන්න ඕගොල්ලන්ට හොඳ වැඩක් කළා. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරනෙ” යන්න මෛත්‍රි දුන් පිළිතුර විය.
සජිත් පාර්ශවය වැඩේ කඩාකප්පල් කිරීමේ තීන්දුවක
කෙසේ වෙතත් සුමන්තිරන් හරහා මේ කතාව එළියට පැමිණීමත් සමඟ එජාපයේ පිරිසකටද මේ කතාව දැනගන්නට ලැබිණ. ඒ අනුව සජිත්ට හිතවත් මන්ත්‍රි කණ්ඩායම වහාම සාකච්ඡාවක නිරතවූ අතර ඔවුන් තීන්දු කළේ කැබිනට්ටුවේදීම එම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමටය. ඊට පෙර සවස 2ට එජාප කැබිනට් ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් “ප්‍රී කැබිනට්” හෙවත් පෙර කැබිනට් රැස්වීම කැඳවා තිබූ නිසා එහිදී මෙම යෝජනාවට සම්පූර්ණයෙන් විරෝධය පළකිරීමටද එහිදී තීන්දු විය. ඊට එරෙහි පළමු වෙඩිමුරය එල්ලකිරීම හකීම්ට භාරදීමටද පිරිස කටයුතු කළේය. ඒ අනුව සවස 2ට අරලියගහ මැදුරේ රනිල්ගේ ප්‍රධානනතවයෙන් ආරම්භ වුණු පූර්ව කැබිනට් රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්වීමට මොහොතක්වත් ගතවූයේ නැත. එකඟවූ ආකාරයටම මුලින්ම ප්‍රහාරය එල්ල කිරීමට පටන්ගත් හකීම් දිගට හරහට ඉතා පහත් භාෂාවෙන් රනිල්ට පහරදෙන ආකාරයක් දැකගන්නට ලැබිණ.
හකීම් පහත් විදිහට රනිල්ට ගහන්න පටන් ගනී
“මේක මහ තක්කඩි වැඩක්. කැත වැඩක්. ඔබතුමාට ඡන්දයක් දිනන්නත් බෑ. මේ කරන්නෙ ඔබතුමාල සජිත් එක එක වළක්වන්න. මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. අනෙක් එක ඔබතුමා මේ වගේ දෙයක් කරද්දි අපෙන් නිකමටවත් ඇහුවෙ නෑ. ඒක නිසා අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ වගේ දෙයක් සම්මත කරන්න අපි කීයටවත් ඉඩදෙන්නෑ. ඔබතුමා හරි කැත මිනිහෙක්” යනුවෙන් කියමින් හකීම් කෑගසද්දී සුපුරුදු සිනහවෙන් යුතුව රනිල් සිය නිකටට අත තබාගෙන නිහඬවම ඒ දෙස බලා සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.
හකීම්ගෙන් අනතුරුව පටන්ගත්තේ මංගලය. මංගලද හකීම් මෙන්ම “මේව මහ කැත වැඩ. පහත් වැඩ. මෙච්චර මහජන රැල්ලක් සජිත්ට රටෙන්ම එද්දි ඒක බ්ලොක් කරන්නයි ඔබතුමා මේ හදන්නෙ. මේක කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ වෙලාවෙ විධායකය අහෝසි කරන යෝජනාවට අපි විරුද්ධයි” යනුවෙන් කියමින් කෑගසද්දී පළමුවරට මංගලට එරෙහිව කතා කළේ රාජිතය.
මංගලගේ කතාවට රාජිතට යකා නගී
“මංගල ඔයා කොහොමද එහෙම කියන්නෙ. අද අපි ඔක්කොම මෙතැන ඉන්නෙ විධායකය අහෝසි කරන යෝජනාව නිසා. අපි ඒක තමයි 2015 රට වටේ කිය කිය ගියේ. ඔබතුමත් එදා හිටියෙ එතැන. ඉතින් අද කොහොමද ඔබතුමා මෙහෙම වෙනස් වෙන්නෙ” යනුවෙන් රාජිත කියද්දී මංගල කීවේ “ඔබතුමා මේ එක එක වෙලාවට එක එක දේවල් කියනවනෙ” යැයි කියාය. මංගලගේ මේ කතාවට රාජිතට යකා නැග්ගේය.
“ඔබතුමා දැනගන්න ඔබතුමා වගේ ප්‍රතිපත්ති පාවාදෙන කෙනෙක් නෙමෙයි මම. මම හැමදාමත් ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරපු කෙනෙක්. මම කවදාවත් මගේ ප්‍රතිපත්ති පාවලදීල නෑ. ඔබතුමා අනුරත් එක්ක ගිහිල්ල මැතිනියගෙන් පක්ෂ සාමාජිකත්වය අරගෙන පස්සෙ අනුරව විනාශ කළා. අනුරව විනාශ කරල චන්ද්‍රිකාත් එක්ක එකතු වුණා. පස්සෙ චන්ද්‍රිකා එක්ක ඉඳල, චන්ද්‍රිකාගෙ අන්තිම කාලෙ එතුමියව අතහැරල මහින්ද එක්ක එකතු වුණා. ඊට පස්සෙ මහින්ද පන්නන්න වැඩ කරල දණගාගෙන ඇවිත් රනිල් ගාව වැටුණ. පස්සෙ ඔබතුමාව බේරගත්තෙ රනිල්. 2014දි අයෙමත් මහින්ද ගාවට යන්න හැදුවම අපියි කතා කරල නවත්තගත්තෙ.” යනුවෙන් රාජිත කෑගසද්දී මංගල කියා සිටියේ “තමුන්නාන්සෙටත් එක එක වෙලාවට මහින්ද හොඳනෙ” යැයි කියාය. නමුත් රාජිත ඊටද පිළිතුරු දුන්නේය.
කිරිඇල්ල හකීම්ගේ රෙදි ගලවයි
“මොකා ආවත් අපිට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෙ. දැන් ඔබතුමා මේ සජිත්ගෙ කරේ එල්ලිලා ෂෝට්කට් හොයන්න යනවා. ඔබතුමා දැන් ඔක්කොම ප්‍රතිපත්ති පැත්තකින් තියල තියෙන්නෙ. හැබැයි අපිට එහෙම කරන්න බෑ.” යනුවෙන් රාජිත කියද්දී කතාවට එක්වූයේ හකීම්ය. හකීම් කියා සිටියේ 2015 ජනාධිපතිවරණය පිළිබඳව අපෙනුත් අහන්න ඕනෑ යැයි කියාය. හකීම්ගේ ඒ කතාව යකා නැග්ගේ කිරිඇල්ලටය.
“මමත් මෙච්චර වෙලා මේ ඔබතුමා කතා කරන එක දිහා බලාගෙන තමයි හිටියෙ. ඔබතුමා සම්පූර්ණයෙන් වැරැදියි. මම එකක් කියන්නම්. 2015 ඔබතුමා හිටියෙ අපිත් එක්ක නෙමෙයි. ඔබතුමා හිටියෙ මහින්දත් එක්ක. තැපැල් ඡන්ද දිනද්දි තමයි ඔබතුමා අපිත් එක්ක ආවෙ. මට කියන්න ඔබතුමා මොන වේදිකාවෙද අපිත් එක්ක හිටියෙ කියල. දැන් මේ විදිහට කතා කරන්න එන්න එපා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරල විසදගන්න” යනුවෙන් කිරිඇල්ල කියද්දී හකීම් කට වසාගනු දැකගන්නට ලැබිණ.
සියල්ලලම දෙස නිහඬව බලා සිටි රනිල් කතා කරන්නට පටන්ගත්තේ ඉන් අනතුරුවය. රනිල්ද උත්තර දුන්නේ හකීම්ටය.
රනිලුුුුත් හකීම්ට දෙහි කපයි
“රවුෆ් ඔයා එකක් හිතේ තියාගන්න. මම කතා කළේ යූ.ඇන්.පී. ප්‍රතිපත්ති ගැන. ඔයා යූ.ඇන්.පී. නෙමෙයි. අපේ පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මෙච්චර කාලයක් ඒක වුණේ නැත්තෙ අපේ වරදින් නෙමෙයි. ජනාධිපතිතුමාගෙ වරදින්. එතුම තමයි එක එක දේවල් කරමින් ඒක කල්දදා හිටියෙ. එතුම දැන් ඒක කරන්න සූදානම් නම් අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒක නිසා නොදන්න දේවල්වලට කතා නොකර ඔබතුමා ඔබතුමාගෙ පක්ෂය ගැන කතා කරන්න.” යනුවෙන් රනිල් කියද්දීද හකීම් සිටියේ කට වසාගෙනය.
ඉන් අනතුරුව සජිත්ගේ කණ්ඩායම වෙනුවෙන් හරීන් කතා කොට විධායකය අහෝසි කිරීමේ යෝජනාවට විරෝධය පලකරමින් කියා සිටියේ එය කැබිනට්ටුවේ සම්මත වීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැතැයි කියාය. මෙම පසුබිම මත සවස 3ට ආරම්භ වීමට නියමිතව තිබූ හදිසි කැබිනට් රැස්වීමට යන විටත් එම යෝජනාව සම්මත නොවන ලකුණු පහළකොට තිබිණ. එමෙන්ම මෙම කැබිනට් රැස්වීම කඩාකප්පල් කරන ලකුණුද පහළවී තිබිණ.
හදිසි කැබිනට්ටුවට යෝජනා නෑ: මෛත්‍රී පුරුදු විදිහටම පාට මාරු කරයි
ඒ අනුව සවස 3ට කැබිනට් රැස්වීම ආරම්භ වුවද ඊට කිසිදු යෝජනාවක් හෝ පත්‍රිකාවක් ඉදිරිපත් වූයේ නැත. විධායකය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට රනිල් කලින් එකඟතාවය පළකර තිබුණත් පවතින තත්ත්වය හමුවේ රනිල් එවැන්නක් ඉදිරිපත් කළේ නැත. ඒ අනුව හදිසි කැබිනට් රැස්වීම පටන්ගත්තේද හකීම් පත්තුකළ බෝම්බයත් සමඟය. ‘ප්‍රී’ කැබිනට් රැස්වීමේදී මෙන්ම මෙහිදීද සිය දැඩි විරෝධය පළකර කතා කළ හකීම් ඉතාම ආවේගශීලී ලෙස අදහස් දක්වනු දැකගත හැකි විය. ඉන් අනතුරුව කතා කළේ මංගලය. පෙර පරිදිම මංගලද ඊට විරෝධය පලකරමින් කියා සිටියේ මෙම යෝජනාව පරාජය කිරීමට තම කණ්ඩායම කටයුතු කරනවා යැයි කියාය. ඒ අනුව මෛත්‍රි මුලින් සියල්ල සැලැසුම් කරගෙන පැමිණියද මෙම සිදුවීමත් සමඟ එනපොට හොඳ නැති බව පෙනිණ. තමාට සුපුරුදු පාට වෙනස් කිරීමේ න්‍යායට මෛත්‍රි අවතීර්ණ වූයේ ඒ අනුවය. අප මීට පෙර අවස්ථා ගණනාවකදීම මෛත්‍රිගේ මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් ස්වරූපය රටට හෙළිදරව් කළ අතර, මේ කියන්නට යන්නේද ඒ ආකාරයේම රාත්‍රි ගත් ස්ථාවරය දහවල් වෙනස් කළ සිදුවීමට උදාහරණයක්ය.
යෝජනාව මෛත්‍රිගේ බව රනිල් කියයි
ඒ අනුව පිරිසගේ විරෝධය වැඩි වීමත් සමඟ මෛත්‍රිද සිය ස්ථාවරය වහාම වෙනස් කරමින් කියා සිටියේ “නෑ. නෑ. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕගොල්ලන්ගෙ පක්ෂය ඇතුළෙ වැඩක්. මගේ මේකට කිසිම සම්බන්ධයක් නෑ” යැයි කියාය. මෛත්‍රි එසේ කීවා පමණක් නොව වහාම කැබිනට් රැස්වීම අවසන් කරමින් එතැනින් නැඟිට යෑමටද එහිදී කටයුතු කළේය. මෛත්‍රිගේ මේ වෙනස් වීමත් සමඟ රනිල්ටද යකා නැග්ග ආකාරයක් දැකගන්නට ලැබිණ.
“මේක මගේ යෝජනාවක් නෙමෙයි. මේ යෝජනාව ජනාධිපතිතුමාගෙ. විධායකය අහෝසි කරන ජනවරම ලැබුණෙ එතුමට. ඒ නිසා මේ යෝජනාව ආවෙ එතුමගෙන්. ඒක අපේ වැඩක් නෙමෙයි. ඒ නිසා රවුෆ් ඔයා මෙතැන බොරුවට පෞද්ගලික ප්‍රශ්න ඉස්සරහට දාගෙන කෑගහන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙන් කියමින් රනිල්ද වහාම සාකච්ඡාව අවසන් කොට ඉවත්ව යන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව එම හදිසි කැබිනට් රැස්වීම අවසන් වූයේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වීමෙන් හෝ කිසිදු යෝජනාවක් පරාජයට පත්වීමකින් තොරවය.
මෛත්‍රි එයි: කතාව නොකරයි: සජිත් වැඩේ බාරගනී
මෙම රැස්වීමෙන් පසුව මෛත්‍රි සහභාගි වූයේ අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීම නිමිති කරගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකටය. ඊට මෛත්‍රි මේ පැත්තෙන් සහභාගි වද්දී අනෙක් පැත්තෙන් ඊට සහභාගි වීමට පැමිණ සිටියේ සජිත් සහ කබීර්ය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ උත්සවයේ මෛත්‍රිට කතාවක් පැවැතී තිබුණද මෛත්‍රි එම කතාව නොකර හදිසියේම උත්සවයෙන් නැඟිට යෑමය. ඒ අනුව අවසානයේදී මෛත්‍රි වෙනුවට එම කතාව කිරීමට භාරවූයේ සජිත්ටය.
සජිත්‌ගේ වැඩ ගැන TNA එක කලකිරෙයි: වහාම පණිවුඩයක් එවයි: ජන්ද ලක්ෂ 10ක් නැතිවෙයි
කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ ජනාධිපතිවරණය මුල්කරගෙන දැකගන්නට ලැබුණු ප්‍රබලම සිදුවීම සිදුවූයේ යටකී ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් රැස්වීම කඩාකප්පල් වීමෙන් අනතුරුවය. ඒ දෙමළ ජාතික සන්ධානය ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය දෙස බලන විටය. පසුගිය සති කිහිපය පුරාම සියලු දෙනාම බලා සිටියේ දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී කාට සහාය පළකරනු ඇතැයිද කියාය. එසේත් නැතහොත් දෙමළ ජාතික සන්ධානය සතුව උතුරේ පවතින ලක්ෂ 10ක අතිදැවැන්ත ඡන්ද මල්ල දකුණේ කුමන අපේක්ෂකයාට හිමිවේද යන්න කියාය. මේ ඡන්ද මල්ල ඩැහැ ගැනීමේ අටියෙන් සජිත් අවස්ථා ගණනාවකදීම යාපනයේදීත්, මංගලගේ නිවෙසේදීත්, පාර්ලිමේන්තුවේදීත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූයේ එහි වටිනාකම දන්නා නිසාය. නමුත් දුරදිග නොබලා කාගෙන් හෝ ලැබුණු මෝඩ උපදෙසක් මත 2015දී ලැබුණු ජනවරමට පිටුපා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කඩාකප්පල් කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස සජිත් මෙන්ම සජිත්ට හිතවත් මැති ඇමැතිවරුන්ද, සජිත්ව කරේ තියාගෙන යන සිරස ඇතුළු මාධ්‍ය නාලිකා ප්‍රචාරය කිරීමේ ප්‍රතිඵලය එදින රාත්‍රී 9.30 පමණ වන විට සජිත්ගේ පාර්ශ්වයට දැකගන්නට ලැබිණ. ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්ගේ විශේෂ පණිවුඩයක් සජිත්ට ලැබීමත් සමඟය. ඒ පණිවුඩයෙන් සම්බන්ධන් කියා තිබුණේ මෙම ක්‍රියාවත් සමඟ සජිත් සම්බන්ධයෙන් පැවැති විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවූවා යැයි කියාය. ඒ අනුව තමන් තීන්දුවක් ගත් බවත්, සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් උතුරේ ඡන්ද ලක්ෂ 10 කිසිසේත්ම සජිත්ට ලබානොදෙන බවත් එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවිණ. තම පක්ෂය ප්‍රතිපත්ති මත කටයුතු කරන පක්ෂයක් බැවින් මෙවැනි ප්‍රතිපත්තියක්, දැක්මක් නැති සජිත් වැනි පුද්ගලයන් සමඟ කටයුතු කරනවාට වඩා සජිත්ට එරෙහි ප්‍රතිපත්තිගරුක වෙනත් පාර්ශ්වයක් සමඟ ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කිරීමට තමන් සූදානම් බවද සම්බන්ධන් එම පණිවුඩයෙන් සජිත්ට දැනුම්දී තිබිණ.
සුමන්තිරන් තිබ්බ ට්විටර් පණිවුඩය
එපමණක් නොව බ්‍රහස්පතින්දා රාත්‍රියේම සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සුමන්තිරන්ද කියා සිටියේ “විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වන යහපාලනය පිළිබඳව අපි කනගාටුවට පත්වෙමු. අවස්ථාවාදී සහ ආත්මාර්ථයේ උපරිමය. වසර 25ක් පුරාවට පොරොන්දු කඩකිරීම සහ ජනතා වරමට පිටුපෑම. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝග්‍යතාව මත නොව ප්‍රතිපත්ති මත දෙමළ ජාතික සන්ධානය ඕනෑම වෙලාවක සහයෝගය දක්වමු.” යන්න කියාය.
මීට අමතරව ඊයේ රාත්‍රියේදීම දෙමළ ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණෙන් විශේෂ පණිවුඩයක් ලැබිණි. ඒ සජිත්ගේ පාවාදීමත් සමඟ ජවිපෙ දෙමළ ජාතික සන්ධානය සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟතාවකට පැමිණීමට සූදානම් යැයි කියාය. ඒ අනුව බොහෝදුරට ඉදිරි ජනාධිපතිවරණයේදී අපට ජවිපෙ, ටී.එන්.ඒ. සන්ධානයක් දැකගැනීමට හැකිවනු ඇත.
සජිත් ගැන රනිල් හෙළිකරපු රහස
එමෙන්ම මෙම අර්බුදකාරී කැබිනට් රැස්වීමෙන් පසුව අරලියගහ මන්දිරයට පැමිණි රනිල් හතරගාතේ වැටී ඇති බවක් බොහෝ දෙනා සිතා සිටියද ඇත්තෙන්ම සිදුව තිබුණේ එහි අනෙක් පැත්තය. ඒ අනුව රනිල්ගේ තත්ත්වය දැකබලා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගිය ජ්‍යෙෂ්ඨයන් බොහෝදෙනකුට දැකගන්නට ලැබුණේ රනිල් ඉතා සිනාමුසු මුහුණින් සිටින ආකාරයය.
“ඔබතුමා මෙතැන හිනා වෙවී ඉන්නව. අපේ කට්ටියයි, ටීවී චැනල් ටිකයි ඔක්කොම ඔබතුමා වටකරගෙන ගහනවා” යනුවෙන් ජ්‍යෙෂ්ඨයන් රනිල්ගෙන් විමසද්දී රනිල් ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
“මම නම් ඉවර වුණේ නෑ. හැබැයි සජිත් නම් මේ වැඩෙන් එයාවම විනාශ කරගත්තා. ඒ විතරක් නෙමෙයි එයා පක්ෂයත් විනාශ කළා. 2015 මේ ඔක්කොම බලවේග හිටියෙ අපිත් එක්ක. සිවිල් සංවිධාන අපිත් එක්ක හිටිය. හැබැයි සජිත් කරපු වැඩෙන් අපිත් එක්ක ඒ 2015 හිටපු හුඟදෙනෙක් අද අයින් වෙලා ගිහින්. දැන් අපිට තියෙන ලොකුම අභියෝගය සජිත් හින්ද අයින් වෙච්ච මේ සංවිධාන ඔක්කොම එකතු කරගන්න එකයි. ඒකට මං ගාව සැලැසුමක් තියෙනවා. ඒ හින්ද අඟහරුවාදා වෙද්දි ලෑස්ති වෙන්න අපේ ජනාධිපති අපේක්ෂකයව එළියට ගේන්න” යනුවෙන් කියමින් රනිල් කතාව අවසන් කළේය. ඒ අනුව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන අඟහරුවාදා වන විට සියල්ලන්ටම දැකබලා ගැනීමට හැකි වනු ඇත.