මේ වන විට රටට දැඩි බලපෑමක් එල්ල කර ඇති කොරෝනා වෛරසය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රටවැසියන්ට සෙත් පතා මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ අදහසකට අනුව මිරිසවැටිය චෛත්‍යරාජයා අභියස 500ක් භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වෙන්නේ පසුගිය 14 වෙනිදා සවස් යාමයේදීය. ජනාධිපති අගමැති මෙන්ම ඔවුන්ගේ ආර්යාවන්ද මැති ඇමතිවරන්ද සහභාගිවූ එම සෙත් පිරිත් සජ්ජායනාව පැවැත්වෙන්නේ කොවිඞ් 19 සෞඛ්‍ය උපදෙස්ද පිළිපදිමිනි. රටේ සතර දිග්භාගයෙන්ම වැඩම කළ භික්ෂූන් වහන්සේලා අතර අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ යන නිකායන්ගේ නායක හිමිවරුන්ද සිටීමි විශේෂිතය. සෙත් පිරිත් සජ්ජායනයට වැඩම කළ එම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගිලන්පස සූදානම් කර තිබුණේ මිරිසවැටිය විහාරස්ථාන දාන ශාලාවේය. එකවර භික්ෂූන් වහන්සේ විශාල පිරිසකට අසුන් ගැනීමේ පහසුකම් ඇති එම දාන ශාලාවේදී ගිලන්පස වළඳන භික්ෂූන් වහන්සේ අනතුරුව වැඩම කරන්නේ චෛත්‍යරාජයාණන් අභියස ඉදිකර ඇති මණ්ඩපය වෙතය. වැසි සහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල පැවැති බැවින් එම මණ්ඩපය ඉදිකර තිබුණේ වැසි ආවරණද සහිතවය.
දුටුගැමුණු ජයකොන්තයට පුෂ්පෝපහාර
පන්සීය නමක් වූ භික්ෂූන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ කරන්නේ හරියටම සවස 6.00ටය. ඊට පෙර ජනාධිපති සහ අගමැති අතින් සිදුවන්නේ සුවිශේෂි කටයුත්තකි. එනම් මිරිසවැටි චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ඇති දුටුගැමුණු පිළිරුවට මල්මාල පැළඳ පුෂ්පෝපාහර දැක්වීමය. අනතුරුව අගමැති සහ ජනාධිපති ඇතුළු පිරිසගේ වන්දනාමානයට ලක්වන්නේ ජයකොන්තය. සෙත් පිරිත් සජ්ජායනය පැවැත්වෙන්නේ අනතුරුවය.
පැයකට ආසන්න කාලයක් පැවති සෙත් පිරිත් සජ්ජායනයෙන් පසුව ඊට සහභාගිවූ භික්ෂූන් වහන්සේ තමන් වහන්සේලා පැමිණි රථවල නැගී පිටත්ව යන විට මිරිසවැටි විහාරාධිපති ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගෙන් ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට පිටව යාමට අවසර හිමි වූයේ නැත. අතින් අල්ලාගෙන ඒ අයව රැගෙන යන්නේ විහාරස්ථාන දාන ශාලාව වෙතටය. ඒ විහාරාධිපතිහිමියන් විසින් ජනපති හා අගමැති ඇතුළු පිරිසට සූදානම් කර තිබුණු තේපැන් සංග්‍රහය වෙනුවෙනි.
අගමැතිට හදන විශේෂ කැවුම්
අගමැති මහින්ද රාජපක්ෂට නම් මේ තැන එතරම් ආගන්තුක තැනක් නොවන බව දන්නෝ දනිති. ශ්‍රී මහා බෝධින් වහන්සේත්, රුවන් වැලි සෑරදුන් ඇතුළු අටමස්ථාන වන්දනාවේ පැමිණෙන සෑම අවස්ථාවකදීම අගමැතිවරයාගේ ගිමන් නිවන ස්ථානයක් බවට පත්වන්නේ මෙතැනය. ඒ සෑම අවස්ථාවකදීම විහාරාධිපතිහිමියන් උන් වහන්සේගේ දෝතින්ම අගමැතිවරයාට සංග්‍රහ කරන්නට අමතක නොකරයි. අගමැතිවරයා අනුරාධපුරයට පැමිණෙන්නේ නම් ඒ බව මිරිසවැටිය විහාරාධිපති හිමියන් දැනුවත් කරන්නටද අමතක නොකරයි. ඒ උන්වහන්සේත් අගමැතිවරයාත් අතර ඇති හිතෛෂීවන්තකම නිසාය. අගමැතිවරයා වෙනුවෙන් කෙරන සංග්‍රහයේදී සුවිශේෂි රස කැවිල්ලක් තැබීමට විහාරාධිපති හිමියෝ අමතක නොකරති. ඒ සිය මවගේ දෑතින් සකස් කෙරෙන කැවුම්ය. එම කැවුම් වෙනත් කැවුම්වලට වඩා විශේෂිතය. එම කැවුම්වල මදයේ ඇත්තේ පැණි පොල්ය. අගමැතිවරයා එම කැවුම් කන්නේ ආශාවෙනි. ඇතැම් විට අනුරාධපුරයට පැමිණිමට පෙර අගමැතිවරයා තමාගේ පැමිණීම කල් ඇතිව විහාරාධිපති හිමියන්ට දැනුම් දෙන්නේ එම කැවුම්වලට වහ වැටී ඇති නිසාද විය හැකිය.
මිරිසවැටි හාමුදුරුවන්ගේ හැටි
මිරිසවැටිය විහාරාධිපති හිමියන් මේ ආකාරයට බත බුලතින් සංග්‍රහ කරන්නේ රටේ ජනාධිපති අගමැති ඇතුළු ප්‍රභූන්වරුන්ට පමණක් නොවේ. උන්වහන්සේ මුණ ගැසීමට විහාරස්ථානයට පැමිණෙන සෑම අයෙකුටම උන් වහන්සේ සංග්‍රහ කරන්නේ ලෝභකමක් නැතිවය. තමන් වහන්සේට ළඳදන්නට ඇති දානය පවා උන් වහන්සේ පරිත්‍යාග කරති. ඒ උන්වහන්සේගේ හැටිය.
එදා පිංකමට පැමිණෙන භික්ෂූන් වහන්සේ සහ ප්‍රභුවරුන් වෙනුවෙන් තේපැන් සංග්‍රහය සංවිධානය කෙරන්නේ අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක් වන නිහාල් ජයවර්ධන විසිනි. ඒ විහාරාධිපති හිමියන්ගේ උපදෙස් අනුවය. භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගිලන්පසද ප්‍රභූන් ඇතුළු සෙසු පිරිස් වෙනුවෙන් තේපැන් සහ කැවිලිද සකස්කර තිබෙන්නේ දාන ශාලාවේය. ජනාධිපති, අගමැති, ඔවුන්ගේ ආර්යාවන් මෙන්ම අනුරාධපුරයේ දේශපාලන බලවතා වූ ඇමති චන්ද්‍රසේනද තේපැන් සංග්‍රහය භුක්ති විඳීමට අසුන් ගත්තේ එකම පේළියකටය. කැවිලි වර්ගවලින් ඔවුන් අසුන් ඉදිරියේ ඇති මේසය පිරී තිබුණේය. විහාරාධිපති හිමියන් ඒ එක් එක් රසකැවිලි පෙන්වමින් ජනාධිපති අගමැති ප්‍රමුඛ කණ්ඩායමට ඒවා ආහාරයට ගැනීමට උනන්දු කරන්නට වූහ.
ෆොටෝ එක ගැහුවේ කව්ද?
අගමැති, අගමැති ඇතුළු ප්‍රභූන් තේ පැන් සංග්‍රහය භුක්තිවිඳ පිටව යාමත් සමග එම තේ මේසය විවෘත වන්නේ උත්සවයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන් වෙනුවෙනි. විහාරාධිපතිහිමියන් ඒ අයටත් තමන් වහන්සේ අතින්ම සංග්‍රහ කරන්නේ ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රභුවරුන්ට සංග්‍රහ කළ අයුරින්මය.
මෙම පිංකමින් දිනක් දෙකක් ගෙවී යන විට සමාජ මාධ්‍ය අතර දැවැන්ත කතිකාවතක් ගොඩ නැගෙන්නේ ජනාධිපති, අගමැති සහ ඒ අයගේ ආර්යාවන් මෙන්ම ඇමති චන්ද්‍රසේන දාන ශාලවේ සිට තේ පැන් සංග්‍රහය භුක්ති විඳින ඡායාරූපයක් ප්‍රසිද්ධ වීම හේතුවෙනි. ඇතැම් පිරිස් එය අර්ථකථනය කරන්නට උත්සහ දරා තිබුණේ භික්ෂූන් වහන්සේලා අසුන් ගන්නා ස්ථානයක ඔවුන් අසුන් ගෙන භික්ෂූන් වහන්සේගේ දානය ඒ අය ආහාරයට ගන්නා ලෙසටය.
සී.අයි.ඩී. පරීක්ෂණ ඇරඹේ
මේ ජායාරූපය සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරි පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම උත්සාහ දරන්නට ඇත්තේ යම් මඩක් ගසන්නටය. එහෙත් පන්සල ඇසුරු කරන භික්ෂූන් වහන්සේ සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බෞද්ධයන්ට නම් මේ ඡායාරූපය අරුමයක් නම් නොවීය. ඒ අපේ රටේ විහාරස්ථානවල පැවැත්වෙන පිංකම් අවසානයේදී භික්ෂූන් වහන්සේ වෙතින් මෙවැනි සංග්‍රහයන් දායකයන්ට ලැබෙන බැවිනි. ඒ ගැනවත් නිසි අවබෝධයක් නොමැතිව හුදු මඩක් වෙනුවෙන් මෙම ඡායාරූපය නිකුත් කළ පුද්ගලයා හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් පවා සිදු කරන්නට දැන් සිදුව තිබේ. ඒ එදා පිංකම අවසානයේ පැවැති තේ පැන් සංග්‍රහයේදී ඡායාරූප ගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැතිව තිබියදී හොර රහසේ එම ඡායාරූපය ගෙන වැරදි අර්ථකථනයක් සමග ප්‍රසිද්ධ කළ අය හඳුනා ගන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ මෙහෙයැවීමෙන් එකී විමර්ශනය සිදුවන්නේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසිනි. මේ වන විටත් ෆේස්බුක් ගිණුම් රැසක් සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව හමාරය. හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ මහරගම නගර සභාවේ මන්ත්‍රී ධනුෂ්ක රාමනායකව පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉකුත් 17 වෙනිදා කැඳවන්නේ ඒ අනුවය. ධනුෂ්ක කර තිබුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුමට වෙනත් පාර්ශ්වයක් විසින් අමුණා තිබුණු එම ජායාරූපය තමාගේ ෆේස්බුක් මිතුරන් වෙත හුවමාරු කිරීම පමණි.
බොරු ෆොටෝ එක හැදුවේ කවුද
එහෙත් එම ඡායාරූපය සම්බන්ධයෙන් ඊට එහා ගිය තවත් යමක් සිදුවී තිබුණි. රටේ වැඩිදෙනා මේ ඡායාරූප ගැන යොමු වන්නේ ඒත් එක්කමය. එනම් ජනාධිපති, අගමැති ඇතුළු පිරිස මිරිස වැටිය විහාරස්ථාන දාන ශාලාවේ තේපැන් සංග්‍රහයක් භුක්කි විදින ඡායාරූපය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බව සඳහන් කරමින් සැබෑ ඡායාරූපය බව සඳහන් වෙනත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට වූ බැවිනි. එම ඡායාරූපයේ ඇත්තේ භික්ෂූන් වහන්සේ ගිලන් පිරිසක් එහි අසුන් ගෙන සිටින බවකි. සැබෑ ඡායාරූපය ව්‍යාජ එකක් බවට ඒත්තු ගන්වන්නට එම ඡායාරූපය සංස්කරණය කළ අයට භික්ෂූන් වහන්සේ පිටුපස සිටින ප්‍රභූ ආරක්ෂකයන් ඉවත් කිරීමට අමතක වී තිබුණි. එම ප්‍රභු ආරක්ෂකයන් භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂකයන් නොවන බවත්, ඒ අය ජනාධිපති සඳහ අගමැතිවරයාගේ සමීපත ශරීරාක්ෂකයන් බවත් දන්නෝ දනිති. මෙම ඡායාරූප දෙකෙහි ඇත්ත නැත්ත නොදන්නා ඇතැම් දේශපාලනඥයන් සැබෑ ඡායාරූපය ව්‍යාජ බව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල කියන්නට ගොස් මේ ඡායාරූපය තුළ ඇති සැබෑව යට ගැසීම නිසා ඒ තුළින් ජනතාව තුළ ගොඩ නැගෙන්නට වූයේද වැරදි චිත්‍රයකි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට භික්ෂූන් වහන්සේ යොදාගෙන කළ ව්‍යාජ ඡායාරූපය මෙතෙක් යොමු වී නැත. ඒ අය සොයන්නේ අදාළ ඡායාරූපය ෆේස්බුක් වෙත යොමු කරමින් රට අවුලුවන්නට උත්සහ දැරූවන් සොයාය. එදා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක්වුණු ධනුෂ්ක රාමනායක මාධ්‍ය හමුවේ සඳහන් කරනු ලැබුවේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැබෑ ඡායාරූපය ව්‍යාජ එකක් ලෙස පිළි නොගත් බවත් තමා හුවමාරුකර ඇත්තේ සැබෑ ඡායාරූපය බව පිළිගත් බවත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් එහිදී ඉල්ලා සිටියේ යැයි කියන්නේ එම ඡායාරූපය තමාගේ ෆේස්බුක් ගිණුමෙන් ඉවත්කර ගන්නා ලෙස බවද ධනුෂ්ක මාධ්‍ය ඉදිරියේ කීවේය.
ආරක්ෂාව මැද ෆොටෝ ගැහුවේ කවුද
මෙම ඡායාරූප සෙල්ලම ගැන සයිබර් අපරාධ විමර්ශන ඒකකය සයිබර් අවකාශය තුළ කරගෙන යන විමර්ශනයට අමතරව තවත් කණ්ඩායමක් එම ඡායාරූපය එම ස්ථානයේදී ගත්තේ කවුරුන්දැයි මේ වන විට සොයා බලන්නේ බුද්ධි අංශවලද සහය ඇතිවය. මූලික විමර්ශනයෙන් පෙනී ගොස් ඇත්තේ බොහෝ විට එම ඡායාරූපය ජංගම දුරකතනයකින් ලබාගත් එකක් බවටය. එසේම එම ඡායාරූපය එතරම් ඈතක සිට ලබාගත් එකක් නොවන බව ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් වූ විශේෂඥ මතය වී තිබේ. එදා එම සංග්‍රහය පැවැති අවස්ථාවේදී දාන ශාලාව තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබී ඇත්තේ සීමිත පිරිසකට පමණි. ඒ අය අතර වැඩි දෙනෙක් අගමැති සහ ජනාධිපති සමීපයට ගමන් කළ හැකි උදවියයි. ඒ හැරුණු කොට එහි රැඳී සිට ඇත්තේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් පමණි. උන් වහන්සේලාට ජනාධිපති සහ අගමැති ඇතුළු ප්‍රභුන්වරුන් තේ පැන් භුක්ති විඳින ඡායාරූපයක් හොර රහසේ ගන්නට උවමනාවක් ඇතැයි සිතන්නට බැරිය. එසේනම් එම ඡායාරූපය ගත්තේ කවුරුන්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව සොයා ගැනීම එතරම් අපහසු වන්නේ නැත. ඒ විහාරස්ථානයේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණ කිරීමෙන් සහ වෙනත් විමර්ශන ඔස්සේ ඒ මොහොතේ දාන ශාලවේ රැඳී සිටි සීමිත පිරිස හඳුනාගෙන දුරකතන ඔස්සේ තාක්ෂණික විමර්ශනයක් කිරීමෙනි.
සී.අයි.ඩී.යේ පිරිස්වල හිඟයක්
ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් බලය ප්‍රමාණවත් ලෙස තිබේදැයි ඇත්තේ ගැටලුවකි. ඊට හේතු දෙකක් මේ වන විට බලපා ඇත්තේය. එයින් පළමු වැන්න කොවිඞ් 19 වෛරසයේ බලපෑම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද එල්ල වී ඇති බැවිනි. ඒ හේතුව නිසාම නිලධාරීන් රැසක්ම සිටින්නේ සිය නිවෙස්වලට වී නිරෝධායනය වෙමිනි. එය බරපතළ ගැටලුවක් නොවූවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් තරමින් හෝ ගැටලුවක් ගෙන දී ඇත්තේ එහි සේවයේ නිරතව සිටින අධිකාරී ශ්‍රේණියේ නිලධාරීන් ඉවත්ව යාමත් ඉවත්ව ගිය නිලධාරීන් වෙනුවෙන් නම් කරන නිලධාරීන් සේවයට පැමිණීමට මැලිකමක් දැක්වීමත්ය.
දේශපාලනික වශයෙන් සිදුවුණු බල පෙරළියෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටු වෙනසකට ලක්විය. ගෙවී ගිය වසර තුළ පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයට පත්වූ නිලධාරීන් ගණන තුනකි. යහපාලන ආණ්ඩුව සමයේ සිටි අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකරව ඉවත්කර අලුතින් පත් කළ අධ්‍යක්ෂකවරයා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. අනතුරුව ඒ තැනට පත්වන්නේ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්ය. මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාය. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධික්ෂණ නිලධාරීන් රැසකටම ස්ථාන මාරු ලැබුණේය. ඒ අය අතර කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වද සැත්කම් විමර්ශනය සිදුකළ පොලිස් අධිකාරී බී.එස්. තිසේරාද සිටියේය. ඔහු ඇතුළු පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් රැසක්ම ස්ථාන මාරුවීම් ලැබුවා මෙන්ම ඒ හිඩැස් පිරවීමට තවත් නිලධාරීන් රැසක්ම එක් විය. ඒ අනුව අලුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීම් ලැබී පැමිණි නිලධාරීන් කිහිප දෙනෙක්ම ස්ථාන මාරුවීම් ඉල්ලාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ගියේය. ඒ අතර ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ විමර්ශන භාරගත් අලුත් නිලධාරියාද සිටියේය. පොලිස් අධිකාරීවරයෙක් වූ ඔහු අගමැති ආරක්ෂක අංශයේ සේවයට ගියේ සිය කැමැත්තෙන් එතැන ඉල්ලාගෙනය. එසේම මෑතකදී රිෂාඞ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් අධිකාරීවරයාද ස්ථාන මාරුවීමක් ලැබ සංචාරක පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස ගියේය. සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියද ස්ථාන මාරුවක් ලැබ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස ගියාය. මෙයට දසකයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණිමට සාමාන්‍ය පොලිස් රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් අතර ඇත්තේ දැඩි උනන්දුවකි. තරගකාරීත්වයකි. එහෙත් ඒ තත්වය දැන් වෙනසකට ලක්ව ඇති ආකාරය පැහැදිලි වන්නේ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් වෙනුවට මේ වන විට පත්කර ඇති පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක්ම ඔවුන් දැනට සේවයේ නිරතව සිටින ස්ථාන අතහැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ භාර ගැනීම මග හරමින් සිටීමෙනි.
පොලිසියට අලුත් ඇමැති කෙනෙක්
මෙසේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හැර සිටීමට හිටිහැටියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසකට ලබාදුන් ස්ථාන මාරුවීම්ද බලපා තිබේ. එම ස්ථාන මාරුවීම් සාධාරණය කිරීමට විවිධ පාර්ශ්ව විවිධ හේතූන් දැක්වූවත් එය දේශපාලන කැළඹීමකට පවා මේ වන විට ලක්ව හමාරය. ඒ අනුව ඉදිරියේදී පොලීසීය භාරව අභ්‍යන්තර ආරක්ෂක ඇමති නමින් අලුත් රාජ්‍ය ඇමතිවරයෙක් පවා පත්වීමට නියමිතය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් හේතුවෙන් දැනට පොලීසිය භාර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන චමල් රාජපක්ෂ ඇමතිවරයා යම් අමනාපයකින් සිටින බැවිනි. ඒ අනුව වැඩි කලක් නොගොස් එම වෙනස සිදුවෙමින් එම අලුත් අමාත්‍යාංශය බොහෝ දුරට රියර් අද්මිරාල් සරත් වීරසේකරට පැවරෙනු ඇත. එම අමාත්‍යාංශයට නව ලේක්ම්වරයෙක්ද පත්වනු ඇත. බොහෝ විට එම ලේකම්වරයා විශ්‍රාමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.
කුරුඳුවත්තේ කාර් සේල් එක කුඩුකළ පොලිස් දියණිය
ගෙවී ගිය සතියේ අපේ රටේ වඩාත් අවධානයට ලක්වුණු රිය අනතුරු දෙකකි. ඒ ඒ අතරින් වඩාත් කථාබහකට ලක්වූයේ කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ සිදුවූ රිය අනතුරය. සුඛෝපභෝගී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි වාහන ප්‍රදර්ශනාගාරයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි. අනතුරට ලක්වුණු ජිප් රථය රුපියල් කෝටියකට අධිකය. වාහන ප්‍රදර්ශනාගාරයටද එම අනතුරින් දැඩි හානි සිදුවන අතර ප්‍රදර්ශනයේ තිබුණු සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන කිහිපයකටම හානි වී තිබුණේය. ගණනය කිරීම්වලට අනුව හානිය රුපියල් කෝටි 05කට අධිකය. මෙම අනතුර සමාජය තුළ දැඩි අවධානයට ලක්වන්නට වූයේ අනතුර සිදුවීමත් සමග යම් පුද්ගලයෙක් එම අනතුර ඡායාරූපයට ගෙන සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙනි. එකී ජිප් රථය පදවන ලද්දේ සුරූපී තරුණියක් විසින් බවත්, එහි තරුණයින් දෙදෙනෙක් සිටි බවත් සදහන් වූ බැවින් එම අනතුර කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමු වන්නට විය. ඒත් එක්කම එම තරුණිය කවුරුන්දැයි කොයි කවුරුත් විපරම් කරන්නට ගත්තේය. තරුණිය පොලිසීයේ ඉහළ නිලධාරියෙක්ගේ දියණියක් බව හෙළිවන්නේ එවිටය. එම පොලිස් නිලධාරියා නුගේගොඩ කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නායකය. මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනත් පොලිස් නිලධාරීන් මෙන් නොව, නීතියට හිස නමන අයෙකි. එබැවින් ඔහු පොලිස් විමර්ශනවලට බලපෑම් කරන්නට ගියේ නැත. මන්ද යත් එය සාමාන්‍ය රිය අනතුරක් වූවත් 19 හැවිරදි සිය දියණියට රියදුරු බලපත්‍ර නොමැති බව දන්නා බැවිනි. එසේ රියදුරු බලපත්‍රයක් නොමැති ඇයට මිල අධික ජීප් රථයක් පදවන්නට අවසර දුන්නේ කවුරුන්දැයි බොහෝ අය අතර කුකුසක් ඇති වන්නට විය. පොලිස් නිලධාරියෙකුගේ දියණියකට භාවිතා කරන්නට රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයක් කෙසේ ලැබුණේදැයි සමාජය හමුවේ කතිකාවතක්ද ඇති වන්නට විය. ඒ ගැන මව් රට කළ සොයා බැලීමකදී හෙළිවන්නේ එම වාහනය වාහන කුලී ආයතනයකට අයත් එකක් බවකි. රාජගිරියේ පිහිටි එම වාහන කුලී ආයතනය මුස්ලිම් ජාතිකයෙකුට අයත් එකකි. අනතුර වන විට එම රථයේ ඇයත් සමග සිටි දෙදෙනාගෙන් අයෙක් වන්නේ එම වාහන කුලී ආයතනයේ හිමිකරුගේ දරුවෙකි. එම අවස්ථාවේදී ඔහු පොලීසියට පවසා ඇත්තේ වාහනය පැදවීමට ඇයට ලබාදුන්නේ තමන් බවය. රියදුරු බලපත්‍රයක් නොමැති ඇයට වාහනය පැදවීමට ලබාදීම තුළින් ඔහු කර ඇත්තේ නීතියට අනුව වැරැද්දකි. ඒ අනුව ඔහුටද නීතියෙන් ගැලවෙන්නට ඉඩක් නැති තරම්ය. මෙහිදී ඔහුත් ඇයත් වාසනාවන්ත වන්නේ අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු නොවීම නිසාය. එසේ වී නම් තතත්වය මෙයට වඩා බරපතළ වනු ඇත.
තාත්තා වැඩ කරපු හැටි
ඒ බව ඇය මෙන්ම ඇගේ පියාද හොඳාකාරව දන්නා කරුණකි. ඒ ඉකුත් වසරේ පෙබරවාරි 24 වෙනිදා එවකට බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍රව කොල්ලුපිටියේදී මහ මග යටකර මරා දමන මාරක ඩිෆෙන්ඩරයේ රියදුරු වන්නේ ඇගේ සහෝදරයා වන බැවිනි. එකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සේවයේ නිරතව සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේය. විශේෂ රාජකාරියකට පොලිස් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඔහුව ඩිෆෙන්ඩරයෙන් යටකර දැමුවා පමණක් නොව අඩුම තරමින් රෝහල් ගත කිරීමට තරම්වත් රියදුරා වූ පොලිස් පුත්‍රයාත් එම මෝටර් රථයේ සිටි කිසිවෙකුත් කාරුණික වූයේ නැත. ඩිෆෙන්ඩරය ගමන් කරන්නේද පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟ උඩින්මය. රාත්‍රී සමාජ ශාලාවක සිය මිතුරන් සමග විනෝද වී නිවෙස් බලා ගමන් කරමින් සිටියදී සිදුවන මෙම අනතුර මහත් ආන්දෝලනයට තුඩුදුන්නක් විය. ඒ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේම දරුවන් අනතුර සිදුවූ ඩිෆෙන්ඩරයේ ගමන් කරමින් සිටි බැවිනි. එදා එම අනතුරින් පසු පලාගිය සිය දරුවාව පොලීසියට රැගෙන විත් භාර දෙන්නේද මෙම ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි. ඒ කිසිදු බලපෑමකින් තොරවය. එම අනතුර මිනිස් ඝාතනයක් සේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය රියදුරු වූ පොලිස් පුත්‍රයාට නඩු පැවරීමට පියවර ගන්නේ ද බලපෑම් එල්ල නොවීම නිසාය. මෙවරද ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා හැසුරුණේ එසේමය. ඒ ප්‍රබල මැති ඇමතිකම් දරන පාසල් මිතුරන් කිහිප දෙනෙක්ම ඔහුට සිටියදීමය.
රුවන් වෙඩිවර්ධන