දිලිත් ජයවීර යන නම පොදු ජනතාව හඳුනන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවා ලෙසින්ය. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි යෝධ සෙවණැල්ලක් වූයේද දෙරණ මාධ්‍ය ජාලයය. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ දින සිට මේ දක්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ බලවේගයේ ප්‍රධාන මාධ්‍ය සහකරුවා වූයේද දෙරණ මාධ්‍ය ජාලය බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් එහි හිමිකරු වන දිලිත් ජයවීර මහතා පවසන්නේ දෙරණ මාධ්‍ය ආයතනයේ කිසිදු කටයුත්තක් සඳහා තමා පෞද්ගලිකව මැදිහත් නොවන බවය. තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවද ජයවීර මහතාගේ අදහසය.
දිලිත් ජයවීර මහතා මේ කරුණු හෙළිදරව් කළේ පසුගිය දිනෙක ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා සමඟ පැවැති සංවාදයකදීය. ජනාධිපතිවරණයට දිනකට පෙර පැවැති මේ සංවාදයේදී ඊට අමතරව හෙළිදරවු වූ තවත් කරුණු රාශියක් ඇත. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව එහිදී ජයවීර මහතා පවසන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය. ඉරාජ් වීරරත්න සහ දිලිත් ජයවීර අතර ජනාධිපතිවරණයට දිනකට පෙර පැවැති එම සංවාදය “මවුරට” හරහා ඔබ වෙත ගෙන ඒමට අප අදහස් කළේ ඒ හරහා හෙළිදරව් වූ ඇතැම් කරුණු ඉතාම සුවිශේෂී වන නිසාමය.
දෙරණේ අයිතිකාරය විදියට තමයි රටම දිලිත් ජයවීරව දන්නේ. ඒ විදියට හඳුන්වන එකටද ඔබතුමාත් කැමැති?
නැහැ. දෙරණේ අයිතිකාරයා කියනවට වඩා කැමැති මගේ නිර්මාණාත්මක කටයුතුත් එකක් මාව අඳුරගන්නවා නම් තමයි. මට චෝදනා එල්ල වෙනවනේ දෙරණ කඬේ යනවා කියලා. හැබැයි මම ඒකට සම්බන්ධ නැහැ. මම ඒක විග්‍රහ කරන්නේ මෙහෙමයි. දෙරණට මම ආයෝජනයක් කරලා තියෙනවා. ඒ වගේම මම ආයෝජනය කරපු තවත් සමාගම් 39ක් තියෙනවා. ඒ හැම ආයතනයකටම වෙන වෙනම පරිපාලනයක් ඉන්නවා. ඒ කිසිම එකක අභ්‍යන්තර කටයුතු සඳහා මම එදිනෙදා සම්බන්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දෙරණේ කාලීන සහ ප්‍රවෘත්ති සඳහා මම ප්‍රතිපත්තියක් විදියට මැදිහත් වෙන්නේ නැහැ. මේක අවංකවම කියන දෙයක්. එතැන 360 දෙනෙක් වැඩ කරනවා. ඒ ගොල්ලෝ ඔක්කොම ඒක දන්නවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මම පෞද්ගලිකව ව්‍යාපාරයක් විදියට වැඩිම සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ මේ ක්‍රියේටිව් ෆීල්ඞ් ඒකේ. ඒ කියන්නේ දැන්වීම් නිෂ්පාදනායතනයේ. දිලිත් ජයවීර කියන චරිතය ඒ හරහා අඳුරගන්න එක හොඳයි කියලා මම කියන්නේ ඒකයි.
ඒත් ඔබ වැඩිපුරම සල්ලි හොයන්නේ දෙරණ ටී.වී. එකෙන් නේද?
ඒක වෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මොකද මා සතු තවත් විශාල සමාගම් තියෙනවා. නමුත් මම මෙතැනින් තමයි ආස්වාදය ලබන්නේ. මම ලියන්න ආසයි. සංගීතයට ආසයි. යූ ටියුබ් වීඩියෝස්වලට ආසයි. ඒ හැම දේම මට මෙතැනදි පුළුවන්. ඉතිං අනෙක් හැම දේටම පරිපාලකයෙක් විදියට සම්බන්ධ වෙන මම දැන්වීම් නිෂ්පාදනායතනයට ක්‍රියාකාරීව මැදිහත් වෙනවා.
ඔබ කොහොමද දැන්වීම් නිෂ්පාදනයට යොමු වෙන්නේ?
ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ගොඩක් පෝස්ටර් ඇන්දා. යාළුවොත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණාත්මක පරීක්ෂණ කළා. ඒ හරහා මට ටී.එන්.එල්. නාළිකාව සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව උදාවුණා. ඒ හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. එතැනින් පටන් ගත්ත ගමන තමයි මේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙරණ නාළිකාව එක පැත්තකට යනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. හැබැයි දෙපැත්තෙන්ම චැනල් එකට ලොකු ගාණක් හම්බ වෙනවා නේද?
ඔව්. දැන්වීම් පැත්තෙන් නම් දෙපැත්තෙන්ම ලොකු මුදලක් හම්බ වෙනවා තමයි.
ඒ කියන්නේ කවුරු දිනුවත් දිලිත් ජයවීර දිනුම්. එහෙමද?
නැහැ. එහෙම නැහැ. රට දිනුවොත් තමයි දිලිත් ජයවීර දිනන්නේ. ඒක මගේ විශ්වාසය. මගේ දේශපාලන භාවිතාව තුළ මම ජාතිකවාදී දේශපාලනයේ රටට ආදරය කරන රටත් එක්ක ඉස්සරහ යන කෙනෙක්. ජාතිකත්වය මත පදනම් වුණු ප්‍රවේශයක් අද මේ රටට අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. අපේ දේශීය ගුණයක් අගය කරන, දේශීය ව්‍යවසායකයා රැක ගන්න, දේශීය ධනය ගැන හිතන කෙනෙක් දිනුවොත් තමයි දිලිත් ජයවීර දිනන්නේ කියලයි මං හිතන්නේ. ඒ හින්දා හැමෝම දිනුවට දිලිත් ජයවීර දිනන්නේ නැහැ.
පහුගිය අවුරුදු පහේ ඒ දේවල් සිද්ධ වුණේ නැහැ කියන එකද ඒ කියන්නේ?
මම ඒ පිළිබඳව විවෘතව කතා කරන පුද්ගලයෙක්. පහුගිය අවුරුදු පහේ ඒකේ අනිත් පැත්ත වුණා කියලයි මම හිතන්නේ.
ඒ කියන්නේ ආණ්ඩුවේ කිසිම ටෙන්ඩර් එකක් අරන් නැහැ?
මම අද වෙනකම් සම්බන්ධ වෙලා නැහැ. කිසිම ටෙන්ඩර් එකක් අරන් නැහැ. මම ඇත්තටම රජයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක වැරැදි දෙයක්, නරක දෙයක් විධියට දකින්නේ නැහැ. මොකද රජය තමයි ලංකාවේ ඉන්න ලොකුම ගැනුම්කරු. හැබැයි පැවැති රජය එක්ක මම ගනුදෙනු කරලා නැහැ.
ඔබ තුමා හිතන විදියට ඉදිරියේ එන ජනාධිපතිවරණය දිනලා මොන වගේ කෙනෙක්ද මේ රට පාලනය කරන්න ඕනේ?
මම මේක විවෘතව කතා කරන්නේ. මගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක දවසක් තමයි මේ උදා වෙන්නේ කියලයි මම හිතන්නේ. මේ තියෙන සම්පත් එක්ක, විශේෂයෙන් මේ තියෙන සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළ මීට වඩා දියුණු රටක් වෙන්න අපට අවස්ථාව තියෙන බව මම හැමදාම විශ්වාස කළා. ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. වෙන රටවල් පස්සේ ගිහින් ඒවා කොපි කරන එක වෙනුවට අලුතෙන් හිතලා අලුත් ගමනක් යන්න පුළුවන් කියලා මම හිතුවා. මම 2005දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරය කළා. ඒ මැතිවරණ ව්‍යාපාරයේ උපාය මාර්ගික කටයුතු සියල්ලේ සිද්ධ කළේ මගේ මූලිකත්වයෙන්. ඒ ව්‍යාපාරයේ තේමා පාඨය වුණේ අලුත් ශ්‍රී ලංකාවක් කියන එක. ඔය දැන් තියෙන නෙළුම් පොහොට්ටුව ඒ වෙලාවේ මගේ අතින් ඇන්ද එකක්. අලුත් ශ්‍රී ලංකාවක් බිහි වෙයි කියන අපේක්ෂාව මගේ ඇඟේම තිබුණා. සුබ අනාගතයක් කියන එක තේමා පාඨය විදියට අරගෙන 2010දි ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් සිදු කරපු මැතිවරණ ව්‍යාපාරයටත් මම සෘජුව සම්බන්ධ වුණා. මොකද මම ඒ වෙලාවේ ලොකු තර්ජනයක් දැක්කා. විදේශීය වුවමනාකම් අනුව භූගෝලීය දේශපාලනය ක්‍රියාත්මක වෙන ආකාරය මම දැක්කා. ඒ අවස්ථාවෙත් අපි ජය ගත්තා. නමුත් 2014 මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මට සෘජුව සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ නැහැ. නමුත් අපි පුළුවන් විදියට උදවු කළා.
එතකොට මේ පාර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කොහොමද ඔබතුමාගේ දායකත්වය?
මේ පාර ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. අපේ සාම්ප්‍රාදායික මාධ්‍ය මෙහෙයුමේදී යම්කිසි පාලනයක් තුළ ජනතාව අතරට අපිට අවශ්‍ය ආකල්පය ගෙන යන්න අවස්ථාවක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
දැන් ඔබ තුමාට දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් තියෙනවා. එක පාර්ශ්වයක් ඇවිත් ඔබතුමාට ඒ පැත්තේ මැතිවරණ ව්‍යාපාරය බාර දෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඇවිත් ලොකු මුදලක් දීල ඒ පැත්තේ මැතිවරණ ව්‍යාපාරයත් බාර දෙන්න හදනවා. එහෙම වුණොත් ඔබතුමා මොකද කරන්නේ. ඒ වගේ කැම්පේන් දෙකක් එක තැනකින් කරන්න පුළුවන්ද?
ඇත්තටම කරන්න බැහැ. දැන් අපේ ප්‍රචාරණ ආයතනය අවුරුදු 25ක් පරණයි. මේ අවුරුදු 25 තුළම අපි කවදාකවත් බහුජාතික සන්නාම නාම ප්‍රවර්ධනය කරලා නැහැ. ඒක අපේ ව්‍යාපාරික ප්‍රතිපත්තියක්. ීඍෂ ඛ්භණ් ක්‍්භ කියන එක තමයි අපේ සමාගමේ තේමා පාඨය. දේශීය සන්නාම ඉදිරියට ගෙන යන්න තමයි අපිට ඕනේ. අද තියෙන ජාතිකවාදී දේශපාලනය ප්‍රවර්ධනය කිරීමේදී ඒ පිටුපස්සේ හිට ගත්ත නිර්මාණකරුවන් අපියි කිව්වොත් ඒක නිවැරැදියි. මෙතැනදි ජාතිකවාදී කියන්නේ ජාතිවාදී කියන පටු ආකල්පය නෙවෙයි. ජාතිකවාදී කියන එක හරි පුළුල් අදහසක්. ඉතින් ඒ ප්‍රවාහයට විරුද්ධව දැන්වීම් කරනවා කියන එක අපිට හරි අමාරු වැඩක්.
ඒත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයත් සිදු කළේ ඔබතුමා කියලා කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා නේද?
නැහැ. අනිත් පාර්ශ්වයේ දැන්වීම්කරණයට මම කවමදාවත් සම්බන්ධ වෙලා නැහැ. මම සම්බන්ධ වෙනවා නම් මම ඒකට පෞද්ගලිකවම තමයි සම්බන්ධ වෙන්නේ. ලංකාවේ දේශීය සන්නාම ගොඩක් මම ඉස්සරහට ගෙනාවේ මගේම දේවල් විදියට සලකලා. ඒව ව්‍යාපාර විදියට නෙවෙයි මම සැලකුවේ. ඒ වගේ තත්ත්වයක ඒ පාර්ශ්වයේ මැතිවරණය කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
හොඳයි. ඔබතුමා හදවතින්ම කැප වෙලා කරපු හොඳම ප්‍රචාරණ පහක් ගැන අපිට කියන්න පුළුවන්ද?
මම හොඳටම කැපවුණු ප්‍රචාරණ ව්‍යාපෘතිය තමයි අපි වෙනුවෙන් අපි. ඒක අපි ශත පහකවත් ලාභයක් අරගෙන කරපු දෙයක් නෙවෙයි. රණවිරුවන් වෙනුවෙන් තමයි ඒක කළේ. ඊට අමතරව දේශීය සමාගම් රැසක් ප්‍රවර්ධනය කිරීම පිටුපස්සේ අපි ඉඳලා තියෙනවා.
මම කෙළින්ම මෙහෙම ඇහුවොත්. ඊළඟ ජනාධිපතිවරණයෙන් කවුද දිනන්න ඕනේ?
ඊළඟ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවා. දිනන්න ඕනේ නෙවෙයි. දිනනවා.
කොහොමද හරියටම එහෙම කියන්නේ?
මම හිතනවා නිදහසින් අවුරුදු 70කට පස්සේ පළමු වරට වෙනස් දේශපාලන ප්‍රවේශයක් මේ ජනාධිපතිවරණයේදී අපිට දකින්න ලැබෙනවා. ඒක මේ තාරුණ්‍යය පවා ඉතාම හොඳින් වැලඳගෙන තියෙන බව මට හොඳින් පේනවා. නමුත් අනෙක් පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙන දේශපාලන ආඛ්‍යානය හරිම පසුගාමී අපි කලින් දැකපු එකක් කියන දේත් මට පේනවා. ඉතින් ගණිතමය පැත්තෙන් ගත්තත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මේ ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් කියලා මම හිතනවා. මම ඒ. සී. කාමරයක ඉඳන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම පාරෙ බැහැලා, ඇවිදලා, මිනිස්සු එක්ක කතා කරලා වැඩ කරන කෙනෙක්. ඒ වෙනස මිනිසුන්ට දැනිලා කියන එක අපිට ඒ වෙලාවට හොඳටම පේනවා. ඒ වගේ ආව රැල්ලක් නවත්තන එක හරි අමාරුයි. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවා කියන එක මට සක්සුදක් සේ පැහැදිලියි. නමුත් එතුමාගේ අතිශය පෞද්ගලික මිත්‍රයෙක් විදියට එතුමාට වාර්තාගත ජයක් ලබා ගන්න පුළුවන් වෙන්න කියන එකයි මගේ ප්‍රාර්ථනය. පුද්ගලයෙක් විදියට එතුමා සතු නිරහංකාර බව, දූරදර්ශීබව, උපාය මාර්ගික හැකියාව, විනය අපේ රටේ ජනතාව නිවැරැදිව හඳුනා ගත්තා නම් එතුමාට අනිවාර්යයෙන්ම වාර්තාගත ජයග්‍රහණයක් ලබා දෙනවා. නිවැරැදි මාර්ගයේ මේ රටට යන්න පුළුවන් කියලා එතකොට අපිටත් හිතෙනවා. අනෙක් පාර්ශ්වයට කිසිම මඩක් නැතුව මැතිවරණ ව්‍යාපාරය කරන්න ඕනේ කියලයි එතුමා අපි එක්ක මුලදිම කිව්වේ. එතුමාත් එක්ක තරගයට ඉන්න අනෙක් අපේක්ෂකයා එක්ක එතුමා අවුරුදු 20ක් විතර වයසින් වැඩියි තමයි. නමුත් එතුමා චින්තනයෙන් ඒ හැමෝටම වඩා ඉතාම තරුණයි.
ඒත් අනෙක් පැත්තෙන් එතුමාට විරුද්ධව ලොකු ප්‍රචාරණයක් ගෙනයනවා. මේ වගේ රටක මඩ ගහගන්නේ නැතුව ඡන්ද ව්‍යාපාර කරන්න බැරිද? අපි දැක්කා එතුමාට ගොඩක් මඩ ගහන හැටි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සුදු වෑන් කියන මතය තමයි ඒ අය සමාජ ගත කරන්න හදන්නේ. ඔබතුමා කොහොමද ඒක දකින්නේ?
දැන් අපේ රටේ මිනිසුන්ව ඒව කියලා රවට්ටන්න පුළුවන් කියලනේ ඒ අය හිතන්නේ. ඔය සුදු වෑන් ගැන හොඳ කතාවක් තියෙනවා. සුදු වෑන් එකක ගිය මිනිස්සු ඔබට හම්බ වෙලා නැහැනේ. අපි දන්න අඳුනන කවුරුවත් ඒ කියන කාලේ සුදු වෑන් එකක ගියා කියලා ආරංචියක් නැහැනේ. නමුත් සුදු වෑන්වල ගිහින් ආපහු ආවේ නැති ගොඩක් දෙනෙක් අපේ පරම්පරාවේ හිටියා. ඒ කියන්නේ අපි තරුණ කාලේ. අපි කැම්පස් යන කාලේ ඒවා වහලා තිබුණේ. ගමේ හිටියොත් අපිව මරයි කියලා හිතාගෙන තමයි අපි කොළඹට ආවේ.
මොන කාලෙද මේ?
1988, 1989 කාලෙ ගැන මං මේ කතා කරන්නේ.
ඒ කියන්නේ ප්‍රේමදාස යුගය?
ප්‍රේමදාස දරුණු යුගය ගැන තමයි මම මේ කියන්නේ. ඒ කාලෙදී මගේ අයියා මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙකට් වෙනවා. මම ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙනවා. ඒ කාලේ අපේ අම්මා බොහොම බයෙන් හිටියේ. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පස්සේ තමයි මේ සුදු වෑන් ආවේ. එතකොට මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙක් විදියට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙලා හිටියා. නීති පීඨයේ සභාපති වෙන්න මම එක් අවස්ථාවක තරග කළා. අපේ තිබුණු කොලුකමටයි, ආවේගශීලීකමටයි අපි ඒ කාලෙත් ජාතික දේශපාලනය තමයි අපේ වේදිකාවේ කතා කළේ. එතකොට අපේ ප්‍රතිවාදියා ප්‍රේමදාසගේ ඉත්තෙක් විදියට තමයි අපි හැඳින්වූවේ. ඒ හරහා විශ්වවිද්‍යාලය ඇතුළේ ප්‍රේමදාසට තමයි ගැහුවේ. ඒක තමයි ඇතුළේ තිබුණු ස්ටයිල් එක. ඇත්තටම ඒ කාලේ ගැන කතා කරන එකත් හරිම අප්‍රසන්නයි. දැන් ඉන්න තරුණ පරපුර ඒවා ගැන දන්නේ නැති එකත් හොඳයි. අපිත් මේවා අමතක කරලනේ තියෙන්නේ. ඔයා ඇහුව හින්දා තමයි මම මේ කියන්නේ. මම ඔය කියන කාලේ වෙනකොට භීෂණ යුගය ඉවරයි. ඒත් ඒ යුගයේ සමහර දේවල් ඉතුරු වෙලා තිබුණා. ඒකෙන් එකක් තමයි සුදු වෑන්. ඒ කාලේ තිබුණු ඒ සුදු වෑන් එකක ගිය එක පුද්ගලයෙක් තමයි මම.
ඒ කියන්නේ ඔබව සුදු වෑන් එකක අරන් ගියා?
ඔව්. මාව සුදු වෑන් එකක දාගෙන ගියා. මම මේක කොහෙවත් මීට කලින් කියලා නැහැ. ඒක හරිම අප්‍රසන්නයි. ඒත් ඔයා ඇහුව හින්දා ඒක ගැන නොකියා ඉන්න ඕනකමකුත් නැහැ. ඒ කාලේ ඕකට සුදු වෑන් කියලා කියන්නත් හේතුවක් තිබුණා. මොකද ඒ දවස්වල ලංකාවේ තිබුණේ සුදු පාට වෑන් විතරයිනේ.
ඔබතුමාව වෑන් එකේ දාගෙන ගියාට පස්සේ මොකද වුණේ?
මට මතක විදියට දවස් තුනක් හරි හතරක් හරි මාව තියා ගෙන හිටියා. ඒත් ඒකට විරුද්ධව මුළු විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම දැවැන්ත විරෝධයක් ආණ්ඩුවට එල්ල වුණා. ඒ දවස්වල පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණෙත් ඒක.
කොහොමද ඒක සිද්ධ වුණේ. ඔබතුමාව කොහොමද අරගෙන ගියේ?
මට ඒ කාලේ බයික් එකක් තිබුණා. මම පීරිස් පාරේ යාළුවකුගේ බෝඩිමක ඉඳගෙන තමයි අපි දේශපාලන කටයුතු කළේ. ඒ වෙලාවේ තමයි මාව සුදු වෑන් එකක දාගෙන ගියේ. වාසනාවකට මට ආපහු එන්න පුළුවන් වුණා. හැබැයි එහෙම ගිහින් ආව නැති ගොඩක් අය හිටියා. එහෙම අරන් ගිය සුදු වෑන් මම ඇස් දෙකට දැකලා තියෙනවා. ආණ්ඩුවෙන් වගේම ජනතා විමුක්ති පෙරමුණෙනුත් ඒ කාලේ මරපු මිනිස්සු අපි දැක්කා. ඒක ඇත්තටම හරිම අප්‍රසන්න කාලයක්. මේ තාරුණ්‍යයට එවැනි අත්දැකීමකට කවදාවත් මුහුණ දෙන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
දැන් යුද්ධය ඉවර වුණාට පස්සේ අපේ රටේ ජාතිවාදය ඇවිස්සීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් සහෝදරත්වය සිංහල බෞද්ධ ජනතාවගෙන් අයින් කරනවා. ඔබ මොකක්ද ඒක ගැන හිතන්නේ? ඔබ කොහොමද ඒක දකින්නේ?
එකක් තමයි මේ ජාතිකවාදී රටට ආදරේ කඳවුර එතැනදී එක්තරා මට්ටමකට පරාජය වෙලා තියෙනවා. මොකද අපි කාටවත් ආදරේ කළාට වැඩක් නැහැ. ඒක දැනෙන මට්ටමට කරන්න ඕනේ. ඒ හින්දා අපේ පැත්තෙන් වගකීමක් තියෙනවා. මේ අනෙකුත් ජාතීන්ට සිංහල ජාතිය ලබා දෙන සෙනෙහස ඔවුන්ට දැනෙන්න සැලැස්සුවා මදි කියලා මට හිතෙනවා. හැබැයි ඒ සෙනෙහස නොලැබෙන තත්ත්වයට පරිසරය හදන්නේ මේ කූට දේශපාලකයෝ විසින්. මේ විජාතික දේශපාලන බලවේග විසින් අපි ජාතිවාදීන් කියලා අපිට ගහනවා. අපි ජාතිවාදීන් නෙවෙයි. අපේ මේ කඳවුරම ජාතිවාදීන් නෙවෙයි. අපි සෙනෙහෙවාදී කඳවුරක්. අපි තමයි මිනිසුන්ට භේදයකින් තොවර ආදරය කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කළේ ජාතියකට එරෙහිව නෙවෙයි. මේ සියලු ජාතීන් රැක ගන්න තමයි එතුමා යුද්ධ කළේ. එතුමා ඒක බොහොම විවෘතව කළා. නමුත් අර මම කලින් කිව්ව දේශපාලන ප්‍රවාහය කළේ මොකක්ද. අපිට ගහනවා ජාතිවාදීන් කියලා. දිගින් දිගටම ගහනවා. එතකොට මේ සැක සහිත අනාරක්ෂිත බව අනෙක් ජාතීන්ගේ හිත් ඇතුළට එනවා. සැක සහිත වුණාම ඔවුන් හැම තිස්සෙම සැකෙන් තමයි බලන්නේ. මුස්ලිම් ජාතීන්ට විතරක් නෙවෙයි. සිංහල බෞද්ධ නොවන හැම ජාතියකටම මේ තත්ත්වය බලපානවා. උදාහරණයකට සිංහල කතෝලික ජනතාව ගත්තොත්, මේක මේ සිංහල බෞද්ධ කඳවුරක් කියලා ඔවුන් තුළ අනපේක්ෂිත හැඟීමක් ඇති කරනවා. අපි සිංහල බෞද්ධ කඳවුරක් තමයි. හැබැයි අපි සිංහල බෞද්ධ වෙන්නේ චින්තනයෙන්. නමුත් අපි කාටවත් හානි කරන්නේ නැහැ. මම හිතන්නේ මේ රටේ මුස්ලිම් ජාතික නායකත්වය වෙනස් විය යුතුයි. ඒ දූෂිත මුස්ලිම් නායකත්වය දිගින් දිගටම මුස්ලිම් මිනිසුන්ව නොමඟ යවනවා. ඒ අර කිහිප දෙනකුගේ සුඛ විවරණය වෙනුවෙන්. ඒක අන්තිම බාල වැඩක්. සංඛ්‍යාලේඛන ගත්තම ලංකාවේ මුස්ලිම් මිනිසුන්ගේ බහුතරයක් ඉතාම දුෂ්කර, දුක්ඛිත තත්ත්වයක තමයි ඉන්නේ. අධ්‍යාපන මට්ටමින් ගත්තත්, ආර්ථිකය මට්ටමින් ගත්තත්, ඒ අය ගොඩක් පහත ඉන්නේ. ඉතින් ඒ අය මේ තත්ත්වයට පත් කරමින් ඔය ජාතික යැයි කියා ගන්නා සමහරක් දේශපාලනඥයෝ, අන්තවාදී දේශපාලනඥයෝ මේ ධාරාවෙන් ඉවත් කරන්නම ඕනේ.
දැන් ඊළඟ ජනාධිපතිවරණයෙන් ඔබේ මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා මේ කරන වැරැදිම කළොත්, රටේ ජනමතය ඊට විරුද්ධව පෙළ ගැහුණොත් ඔබතුමා කොතැනද ඉන්නේ?
මම එතැන එදා ඉඳන් හිටියා. මට ඒක ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රචාරණය දෙසැරයක් කළා කියලා මම කිව්වනේ. මම දැඩි තීරණවල ඉඳගෙන තමයි ඒ දෙස බැලුවේ. මම රාජපක්ෂ කඳවුරේ මිත්‍රයෙක් විදියට ඔවුන් කොයි අවස්ථාවෙදිවත් මා දිහා බැලුවේ නැහැ. මෙච්චර මිත්‍රයෙක් වගේ ඉන්න මා දිහා ඔබතුමාල හතුරෙක් වගේ බැලුවේ ඇයි කියලා එතුමා පරාජය වුණාට පස්සේ අවස්ථාවක මම එතුමාගෙන් ඇහුවා. එතකොට එතුමා කිව්වේ බලය තියෙනකොට ඕවා පේන්නේ නැහැ කියලයි. ඒක තමයි ඇත්ත. තීරණාත්මක මහින්ද රාජපක්ෂ යුගයේ කරන්නා වූ වැරැදි යැයි මට හිතෙන හැම අවස්ථාවකම මම ගිහින් අවංකවම එතුමාට මගේ අදහස කිව්වා. අපේ ව්‍යාපාර දේශපාලනඥයෝ සමඟ දැඩිව බැඳුණොත් අපේ නිදහස් මත දැරීමේ අවස්ථාව අපිට අහිමි වෙනවා. රාජපක්ෂ සමයේදී මම කළු සල්ලි සුදු කළා කියලා මට චෝදනාවක් ආවා. ඒ කඳවුර රැක ගන්න වෙන අයට වඩා ඉදිරියට ගිහින් පෙනී සිටීම තමයි ඒකට හේතු වුණේ. නමුත් මම ඒ කඳවුර ඇතුළේ සිදු වන දේවල් බොහෝ විට නිර්දය ලෙස විවේචනය කළා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ වෙනුවෙන් කටයුතු කළා. අපේ ප්‍රවේශය මොකක්ද කියන එක මා මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳටම දන්නවා. අපේ අනාගත මාධ්‍ය භාවිතාව සහ සමාජ භාවිතාව එතුමාගේ රජය ගෙනයන වැඩපිළිවෙළට සාපේක්ෂ වන බවත් එතුමා හොඳටම දන්නවා.
ජනාධිපති වුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට “සර්” කියලද කියන්නේ?
අනිවාර්යයෙන් ජනාධිපති කියන තනතුරට මම “සර්” කියලා ගරු කරලා කතා කරනවා.