රටේ ඉදිරි ගමන වසර 5කට තීරණය කළ තීරණාත්මක ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් ගනිමින් ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ තමන්ගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ 15කට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි. ජනාධිපතිවරණය පැවැති 16 වැනිදා වන තෙක්ම ගෝඨාත්, සජිතුත් අතර කරට කර සටනක් දිස්වුවද ප්‍රතිඵල ගණනය කරනු ලැබූ 17 වැනිදා අලුයම් කාලය වන විට දකුණේ අතිබහුතර ඡන්ද ප්‍රමාණයකින් ගෝඨා ජයග්‍රහණය කර ඇති බවට ඉඟි පලවෙමින් තිබිණ. රාත්‍රි 12 පසුවද්දීම ගෝඨාටද ඒ තොරතුරු වාර්තා වෙමින් පැවැති අතර, එජාප ප්‍රබලයන්ටද තැන් තැන්වලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් පැවැතිණ. කෙසේ වෙතත් එදින රාත්‍රි 12.12ට තමන් ජයගන්නා බවට නිල නොවන තොරතුරු වාර්තා වීමත් සමඟ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ගෝඨාභය කියා සිටියේ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩ කළ සියලුම දෙනාට ස්තුති කරනවා යැයි කියාය.
මලික් අකිලට කියපු කතාව
ඒ වන විට රනිල් ඇතුළු එජාප ප්‍රබලයන් සිටියේ අරලියගහ මන්දිරයේ පිහිටුවා තිබූ මැතිවරණ මෙහෙයුම් මැදිරියට වී ප්‍රතිඵල පිළිබඳව විමසමින්ය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල් ළඟම සිට පසුව සජිත්ට එකතු වූ රනිල්ගේ පාසල් සගයා වන මලික් සමරවික්‍රමද අරලියගහ මන්දිරයේ රැඳී සිටීමය. අලුයම 1.00 පමණ වන විට ගෝඨාභය දිනන ලකුණු වාර්තා වීමත් සමඟ එහි සිටි පක්ෂ මහලේකම් අකිල විරාජ්ට මලික් කියා සිටියේ අපූරු කතාවකි.
“ඔන්න අපි මේ පාරත් නායකතුමාව බේරගත්තා. දැන් අයෙමත් රනිල්ට දිගටම මේක අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි නිකන්වත් රනිල් ඉල්ලුව නම් මෙහෙම නෙමෙයි අපි පරදින්නෙ” යනුවෙන් අකිලට කී මලික් එසැණින් අරලියගහ මැදුරෙන් නික්ම යනු දැකගන්නට ලැබිණ.
මහින්දගෙන් පාන්දරම රනිල්ට කෝල් එකක්
මේ අතර ගෝඨාගේ ජයග්‍රහණය තහවුරු වෙමින් පැවැති ඉරිදා දහවල් වන විට මහින්දගෙන් රනිල්ට දුරකතන ඇමැතුමක් ලැබිණ. එහිදී මහින්ද රනිල්ට කියා සිටියේ ගෝඨා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයකට යෑම සඳහා ආණ්ඩුව විසින් යෝජනාවක් රැගෙන ආ යුතු බවත්, එසේ නොමැති වුවහොත් එජාපය ආණ්ඩුවෙන් ඉවත් වී මාර්තු දක්වා ආණ්ඩුව රැගෙන යෑමට තම කණ්ඩායමට ආණ්ඩුව භාරදිය යුතු බවත්ය. එහිදී රනිල් මහින්දට පෙරළා දැනුම්දී සිටියේ තමන්ට තනිවම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි බවත්, පක්ෂයෙන් සහ එජාප පෙරමුණේ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉකිමණින්ම ඒ පිළිබඳව තීන්දුවක් ලබාදිය හැකි බවත්ය. ඒ අනුව ඉරිදා දිනයේම එජාප ප්‍රබලයන්ගේ රැස්වීමක් කැඳවූ අතර ඒ වන විටත් කබීර්, මංගල, මලික්, හරීන් ඇතුළු කැබිනට් ඇමැතිවරුන් කිහිදෙනෙකුම ඉල්ලා අස්වී තිබූ නිසා බොහෝ දෙනා සිතුවේ රනිල්ද අගමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව මහින්දලාට භාරදනු ඇතැයි කියාය.
රනිල් ආණ්ඩුව තියා ගැනීමේ උත්සාහයක
නමුත් පළාත් කිහිපයකින්ම එජාප පාක්ෂිකයන්ට එරෙහිව සිදුවීම් කීපයක්ම වාර්තා වී තිබීම නිසා රනිල්ගේ ස්ථාවරය වූයේ බහුතරය පෙන්වා ආණ්ඩුව මාර්තු මාසය තෙක්ම රැගෙන යෑමටය. ඒ බව රනිල් එම රැස්වීමේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටද දැනුම්දීමට කටයුතු කළේය.
“මහින්ද කතා කරල මට දැනුම්දීමක් කළා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සහයෝගය දෙන්න කියල. අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ. මොකද අලුත් ජනවරමට අපි ඉඩදෙන්න ඕනෙ. හැබැයි ආණ්ඩුව විසුරුවනකම් අපේ ආණ්ඩුව තියාගෙන යන්න පුළුවන් නම් ඒකෙ අපිට වාසියක් තියෙනවා. මං මේ ගැන කතානායකතුමත් එක්කත් කතා කරන්න ඕනෙ. අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා…” යනුවෙන් කියා සිටි රනිල් එදිනම කතානායකවරයා මුණගැසී ඒ සම්බන්යෙන් සාකච්ඡා කිරීමට කටයුතු කළේය.
කරු එකහෙළාම විරුද්ධ වෙයි
ඒ අනුව කතානායකවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී රනිල් තවදුරටත් ආණ්ඩුව තබාගත යුතු බවට කියද්දී කරුගෙන් ඊට පලවූයේ කිසියම් ප්‍රතිවිරෝධ අදහසකි. කරු කියා සිටියේ තමන් එය කිසිසේත්ම අනුමත කරන්නේ නැතැයි කියාය. නව ජනාධිපතිවරයකු පත්ව ඇති මේ මොහොතේ ඔවුනට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩ සලසා ඉවත් නොවුනහොත් ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනු ඇති බවට කරු එහිදී රනිල්ට පෙන්වා දුන් අතර, කරුගේ ස්ථාවරය වී තිබුණේ ජනවරමට ඉඩදී එජාපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි කියාය. නමුත් සිය තර්කය නැවැතත් කරුට පැහැදිලි කළ රනිල් බහුතර බලය තමන් සතුව ඇති නිසා මහ මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව ගෙනයා හැකි බවද කරුට කියා සිටියේය. නමුත් කරුගෙන් සාකච්ඡාව පුරාවටම ඊට එකඟතාවක් පලවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
නායකත්වය කරුට දෙන්න යනවාද
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව නිමා වීමත් සමඟ ඇතැම් වෙබ් අඩවිවල පලවූ පුවත්වලින් කියැවුණේ එම සාකච්ඡාවේදී පක්ෂ නායකත්වය කරුට භාරගන්නා ලෙසට රනිල් විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇතැයි කියාය. මහ මැතිවරණයෙන් පසුව පක්ෂයට නව නායකයෙක් පත්කරන තෙක් අන්තර්කාලීන නායකත්වය කරුට ලබාගන්නා ලෙසට රනිල් එහිදී කියා සිටි බවක්ද මෙම වෙබ් අඩවි වාර්තා කර තිබිණ. ඒ අනුව මෙම පුවත වෙබ් අඩවවලින් වාර්තා කිරීමත් සමඟ බොහෝ දෙනෙක් කරුට කතා කොට මෙම පුවතේ ඇත්ත නැත්ත විමසා සිටීමට කටයුතු කළහ. එසේ කතා කළ සියලු දෙනාටම කරු කියා සිටියේ එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, එවැනි මාතෘකාවක් පිළිබඳව කිසිදු සාකච්ඡාවක් තමන් හා රනිල් අතර සිදුනොවුණු බවත්ය. කෙසේ වෙතත් දෙදෙනා අතර කතාබහට ලක්වූ කිසිවක් හෙළි කළ නොහැකි බවද මෙහිදී කරු තමන්ට කතා කළ සියල්ලන්ටම කියා සිටියේය.
අමරවීරගේ ගෙදර රැස්වීමක්
මේ අතර ඉරිදා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අමරවීරගේ නිවෙසේ රැස්වී ඉදිරියට කළ යුතු කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වන ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී වැඩි වශයෙන් සාකච්ඡා වූයේ ආණ්ඩුව විසුරුවා හැරීමකට සහාය දෙනවාද, එසේත් නැතිනම් නව ආණ්ඩුවක් පිහිටුවා එහි ඇමැති තනතුරු දරනවාද යන්න සම්බන්ධයෙනි. එහිදී අදහස් දැක්වූ සියලුම දෙනා සඳහන් කර සිටියේ පොහොට්ටුවත් ගෝඨාභයත් අතර අස්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කටයුතු කළයුතු බවත්, ඉන් මෙපිට කිසිදු කටයුත්තකට සහාය ලබා නොදිය යුතු බවත්ය.
සජිත්ගෙන් ලියුම් 2ක්
මේ අතරවාරයේ සියලුදෙනාම සොයා බලන්නට වූයේ පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කරන්නේ කුමක්දැයි යන්න කියාය. ජයග්‍රහණය පිළිබඳ බොහෝ අපේක්ෂා තබා සිටි ප්‍රේමදාස මහතා ලැබුණු අනපේක්ෂිත ප්‍රතිඵලයත් සමඟ බොහෝ මානසික කඩාවැටීමට ලක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඇත්තම කියනවා නම් සජිත් සිටියේ මෙම ප්‍රතිඵලය දරාගත නොහැකි තත්ත්වයකය. එසේ නැතිනම් දේශපාලනය සම්පූර්ණයෙන් එපාවූ තත්ත්වයකය. ඒ අනුව සඳුදා දිනයේදීම නිවේදනයක් නිකුත් කළ සජිත් කියා සිටියේ තමන් පරාජය භාරගෙන වහාම එජාප නියෝජ්‍ය නායක තනතුරින් ඉවත් වන බවත්, සිය දේශපාලන ජීවිතයට සමුදීමට කටයුතු කරන බවත්ය. ඒ වන විටත් බොහෝ කැබිනට් ඇමැතිවරුන් සිය ඇමැති තනතුරුවලින් ඉවත්වන බවට ලිපි යොමුකර තිබීම නිසා බොහෝ දෙනා සිතා සිටියේ සජිත්ගේ ලිපියේද එවැන්නක් සඳහන්ව ඇතැයි කියාය. නමුත් ඇමැතිකම්වලින් නොව දේශපාලන ජීවිතයෙන්ම සමුගන්නා බවට එම ලිපියේ සඳහන්ව තිබීම නිසා එජාපයේ බොහෝ දෙනකු දැඩි කලබලයට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සජිත්ට සමීප සියලු දෙනාම පාහේ සජිත්ට ඇමැතුම් ලබාදෙමින් ඔහු විසින් ඉදිරිපත් කර ඇති ලිපියේ ඇත්ත නැත්ත ඔහුගෙන් විමසීමටත්, ඔහුගේ මානසික තත්ත්වය යළි සකස් කිරීමටත් පියවර ගත්හ. ඒ අනුව පැය ගණනාවක මෙහෙයුමකින් පසු සජිත්ගේ මානසික තත්ත්වය කිසියම් ශක්තිමත් තැනකට රැගෙන ඒමට පිරිසට හැකියාව ලැබිණි. ඒ අනුව ඔවුන් පෙන්වා දුන්නේ වහාම තවත් නිවේදනයක් නිකුත් කොට කලින් සඳහන් කළ කරුණු නිවැරැදි කරන්න යැයි කියාය. ඒ අනුව සජිත්ගෙන් තවත් නිවේදනයක් මාධ්‍යයට නිකුත් වුණු අතර ඉන් කියැවුණේ නියෝජ්‍ය නායකත්වයෙන් පමණක් සමුගැනීමට තමන් තීන්දු කර ඇතැයි කියාය.
මෛත්‍රී ගහන්න යන අලුත් ගේම
මේ අතරවාරයේ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයද සඳුදා (18දා) රැස් කිරීමට මෛත්‍රි පියවර ගෙන තිබිණ. ඒ ගෝඨාභයගේ ජයග්‍රහණයත් සමඟ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී පළමුවෙන්ම සිදුවූ විශේෂම සිදුවීම වූයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා තිබූ ශ්‍රීලනිපයේ තාවකාලික සභාපති ධුරය නැවත වතාවක් මෛත්‍රි විසින් පවරා ගැනීමය. එමෙන්ම මෛත්‍රි විසින් පිරිසට පැහැදිලි කර සිටියේ මැතිවරණයට පෙර දෙපාර්ශ්වය ඇතිකරගත් අවබෝධතා ගිවිසුම්වලට අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 30%ක ඇමැති ධුර සංඛ්‍යාවක් ශ්‍රීලනිපයට ලබාගත යුතු බවත්, එසේ නොමැතිව හදිසි මැතිවරණයකට යෑමට කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාර්තු දක්වා ආණ්ඩුව පවත්වාගෙන යා යුතු අතර රාජපක්ෂවරුන් එජාපයද එකඟ කරවාගෙන ආණ්ඩුව විසුරුවන යෝජනාවක් රැගෙන ආවොත් ඊට සහාය නොදැක්වීමටද මෙහිදී ශ්‍රීලනිපය තීන්දු කළේය. මේ සම්බන්ධයෙන් තවදුරටත් පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීන්දුවක් ගනු ලැබිණ.
මහින්දගේ යෝජනාවට ගෝඨා එකග නොවෙයි
මේ සියල්ල අතරවාරයේ රනිල් තවදුරටත් තමාගේ අගමැති ධුරය යටතේ ආණ්ඩුව ලබන මාර්තු මාසය දක්වා රැගෙන යෑමට විශාල වෙහෙසක් දරන ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම මහින්ද සමඟ අවස්ථා කිහිපයකදීම පැවැති දුරකතන සාකච්ඡාවලදී පවා එම මතයට මහින්දව එකඟ කරවා ගැනීමටද රනිල් සමත්වී තිබිණ. නමුත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණේ රනිල්ගේ එම ස්ථාවරය මහින්ද විසින් ගෝඨාභයට දැනුම්දීමත් සමඟය. එහිදී මහින්ද කියා සිටියේ තුනෙන් දෙකේ බහුතරය ගෙන ආණ්ඩුව විසුරුවා හරින තෙක් රනිල්ගේ ආණ්ඩුවට අන්තර්වාර රජයක් ලෙස ගෙන යෑමට ඉඩදිය යුතු යැයි කියාය. නමුත් මහින්දගේ මේ යෝජනාවට ගෝඨාගෙන් දැල්වුණේ රතු එළියකි. ගෝඨා දැඩිව කියා සිටියේ රනිල් සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි කියාය. ඔවුන්ගේ ප්‍රතිපත්ති සමඟ තමන්ට විශාල ගැටලු පවතින බවද ගෝඨා එහිදී මහින්දට දැනුම්දී සිටියේය.
ජී.එල්.ගේ ගෙදර මහ රෑ රැස්වීමක්
ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ගෝඨාත්, මහින්දත් තීරණය කළ අතර, ඒ සඳහා තෝරාගත්තේ පොහොට්ටුවේ සභාපතිවරයා මෙන්ම නීති විශාරදයකුද වන ජී.එල්. පීරිස් මහතාගේ නිවසය. ඒ අනුව සඳුදා රාත්‍රියේ මේ තිදෙනා පමණක් සහභාගි වූ ඉතා රහසිගත රැස්වීමක් ජී.එල්.ගේ නිවෙසේ පැවැත්විණ. මහ රෑ වන තෙක් පැය දෙකක් පුරා පැවැති මෙම රහසිගත සාකච්ඡාවේ අභ්‍යන්තරය පිළිබඳව නිශ්චිත තීන්දු තීරණ දැනගන්නට නැතත්, අලුත් ආණ්ඩුව පිහිටුවන ආකාරය, එහි ඇමැති ධුර සංඛ්‍යාව, පොහොට්ටුවේ සාමාජික පක්ෂ අතර ඇමැතිකම් බෙදී යා යුතු ආකාරය පිළිබඳව මෙන්ම ආණ්ඩුව ගෙන යා යුතු ආකාරය පිළිබඳවද එහිදී තිදෙනා අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ආරංචිය. එසේම මෙහිදී ගත් ප්‍රධානම තීන්දුව වූයේ වහාම අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසට රනිල්ට දැනුම්දීමය. ඊට අමතරව නව ආණ්ඩුවක් පිහිටුවීමටත්, එහි ඇමැති ධුර සංඛ්‍යාව 15කට සීමා කිරීමටත් තීන්දු කෙරුණ අතර, මෙම ඇමැති ධුර 15න් 7ක් පොහොට්ටුවටත්, 5ක් පොහොට්ටුවේ සාමාජික දේශපාලන පක්ෂවලටත්, ඉතිරි 3 ශ්‍රීලනිපයටත් ලබාදීමටත් තීන්දු කෙරිණ. මෙම නව කැබිනට් මණ්ඩලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ලබන මාර්තු මාසය දක්වා ආණ්ඩුව රැගෙන යෑමටත්, ඒ අතරතුර පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය වුවහොත් පමණක් රනිල්ගේ සහාය ඉල්ලා සිටීමටත් තීන්දු විය.
කතානායක කරුද-වාසුද
ඉන් අනතුරුව පැනනැඟුණු ප්‍රශ්නය වූයේ අලුත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ය. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව කතානායකවරයා වෙනස් කිරීමට උත්සාහ කළහොත් එය අනවශ්‍ය අර්බුදයක් මතුකරන්නක් වනු ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් තවදුරටත් කතානායක කරු ජයසූරිය මහතා යටතේම පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමටත් එහිදී තීන්දු විය. නමුත් සිකුරාදා වනවිට කතානායක තනතුර සදහා වාසුගේ නමද ආන්ඩුව ඇතුළේ යෝජනා වී තිබිණ.
ශ්‍රීලනිපයත් හදිසියේ රැස්වී තීන්දු ගනී
මේ ආකාරයට අඟහරුවාදා දිනයද පිරී තිබුණේ අලුත් ආණ්ඩු පිහිටුවීම මුල්කරගත් දේශපාලන සාකච්ඡාවලිනි. විශේෂයෙන්ම ගෝඨාභය එදින සවස 5ට සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් මහින්දගේ විජේරාමයේ පිහිටි නිල නිවෙසට කැඳවා තිබුණේ අලුත් ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. ඒ නිසාම මෙම හමුව පැවැත්වීමට කලින් ශ්‍රීලනිපයද සවස 2ට මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ එම රැස්වීමේදී ඉදිරිපත් කළ යුතු ස්ථාවරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහාය. ඒ අනුව එහිදීද තීන්දු වූයේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර ඇතිකරගෙන තිබූ අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරියට යෑමටත්, හදිසි මැතිවරණයක් සඳහා කිසිසේත්ම සහාය නොදීමටත්ය.
ගෝඨා-රනිල් මුහුණට මුහුණ හමුවක්
ශ්‍රීලනිපය මේ ආකාරයට රැස්වුවද සවස 5ට ගෝඨාභය විසින් කැඳවා තිබූ හදිසි පක්ෂ නායක රැස්වීම අවලංගු කළ බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලුම පක්ෂ නායකයන් හට දැනුම්දීමට කටයුතු කර තිබිණ. ඊට හේතු වූයේ ගෝඨාභය හා රනිල් අතර ඒ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම නිසාය. මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකර තිබුණේ මහින්දය. ඒ අනුව සවස 4ට පමණ රනිල්ට කතා කළ මහින්ද ගෝඨාභය රනිල්ව හමුවීමට සූදානමින් සිටින බවත්, හැකි ඉක්මණින් ගොස් ඔහු සමඟ සාකච්ඡා කරන ලෙසත් රනිල්ට දැනුම්දී සිටියේය. ඒ අනුව රනිල්ද වහාම ගෝඨාභය මුණගැසීමට ගියේ ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණ ඔළුවේ තබාගෙනය.
මෙහිදී දෙදෙනා අතර පමණක් පැවැති සාකච්ඡාවේදී ගෝඨා කෙළින්ම රනිල්ට කියා සිටියේ තමන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැලැසුම් කර ඇති බවත්, ඒ සඳහා තමන්ට සහයෝගය ලබාදෙන ලෙසත්ය. එහිදී ව්‍යවස්ථා අර්බුදයකින් තොරව එම කටයුතු සිදුකර ගැනීම සඳහා අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසටද මෙහිදී ගෝඨා රනිල්ට දැනුම්දී සිටියේය. ඒ අනුව රනිල්ද ගෝඨාගේ ඉල්ලීමට එකඟ වෙමින් අගමැති ධුරයෙන් ඉවත් වන බව දැනුම්දී සිටියේය. ඉන් අනතුරුව දෙදෙනා අතර පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ගෝඨා කියා සිටියේ මහ මැතිවරණයක් පවත්වන තෙක් කතානායක ධුරය තවදුරටත් කරු ජයසූරිය මහතා යටතේම තබාගැනීමට තමන් තීන්දු කර ඇති බවකි. ඊට රනිල්ද එකඟතාවය පළ කළේය. එමෙන්ම අවසානයේදී තවත් එක් ඉල්ලීමක් රනිල්ගෙන් ඉල්ලා සිටීමට ගෝඨා කටයුතු කළේය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මහ මැතිවරණයකට ගොස් මේ ප්‍රශ්නය අවසන් කරගත යුතු බවත්, එම නිසා ඉක්මන් මහ මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙසත්ය. නමුත් එහිදී කෙළින් උත්තරයක් නොදුන් රනිල් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව තනිවම තීන්දුවක් ගත නොහැකි බවත්, එජාප පෙරමුණේ නායකයන් සමඟද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ලබාදිය හැකි බවත්ය.
රනිල් ආණ්ඩුව බාරදෙන්න තීන්දු කරයි
ඒ අනුව ගෝඨාභය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එදින රාත්‍රියේම එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කැඳවූ රනිල් තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව පිරිසට දැනුම්දීමට පියවර ගත්තේය. එය බ්‍රහස්පතින්දා දිනයේදී සිදුකරන බවත්, ඉන් අනතුරුව ආණ්ඩුව නිල වශයෙන් පිහිටුවීම ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙන බවත් රනිල් එහිදී පිරිසට දැනුම්දී සිටියේය.
සජිත්ගෙන් මන්ත්‍රීවරුන්ට කෑමක්
ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සඳුදා (18දා) දින තමන්ට සහයෝගය දැක්වූ එජාපයේ සියලුම මන්ත්‍රිවරුන් හට කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමට පියවර ගෙන තිබිණ. මෙය ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් එළියට පැමිණි පළමු අවස්ථාව මෙන්ම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාවද විය. මෙහිදී සජිත් පැයකට අධික කාලයක් ඉතා සංවේදී කතාවක් සිදුකරනු දැකගත හැකි විය. සජිත්ගේ මෙම කතාව කෙතරම් සංවේදී වූවාද කියනවා නම් එය අසා සිටි ඇතැම් මන්ත්‍රිවරුන්ද ඉතා සංවේදී වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කකුලෙන් ඇද්ද හැටි කියයි
සිය කතාවේදී සජිත් සියල්ලන්ට පෙන්වා දුන්නේ සිය ඡන්ද ව්‍යාපාරය අතරතුරදී තමන්ට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයන්ය. ඇතැමුන්ගේ කකුලෙන් ඇදීම්ය. තවත් සමහරුන්ගේ කෙණෙහිලිකම්ය. උදාහරණයක් ලෙස තමන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට මාසයකට පමණ කලින් සිට සිය ප්‍රතිවාදියා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබූ බවත්, තමන්ගේ නම ප්‍රකාශයට පත්කළේ සති කිහිපයක් තිස්සේ කල්මැරීමෙන් පසුව බවත් සජිත් කියා සිටියේය. මීට අමතරව අපේක්ෂකත්වය ලබාගැනීමට අවශ්‍ය නම් එක් එක්කෙනාගේ සහාය ලබාගන්නා ලෙසට සඳහන් කරමින් තමන්ව කඬේ යැවූ බවත් සජිත් මෙහිදී කියා සිටියේය. පසුව ජනාධිපතිවරණයට දින කිහිපයක් තියා ඇමෙරිකානු ගිවිසුමක් වූ එම්.සී.සී. ගිවිසුම අස්සන් කරන බව ප්‍රකාශ කිරීම හරහා තමන් බරපතළ අර්බුදයකට මුහුණ දුන් බවත්, ඡන්ද කටේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් අගමැති බව ප්‍රකාශ කිරීමෙන් විශාල අවාසියක් සිය මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ බවත් සජිත් මෙහිදී කියා සිටියේය.
එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සඳහා තමන්ට පක්ෂයෙන් මුදල් නොලැබුණු බවත්, ජනාධිපතිවරණය හේතුවෙන් අවසානයේදී සිදුවූයේ තමන් මිලියන ගණනක ණයකාරයෙක් වීම පමණක් බවත් කියා සිටි සජිත් තමන්ට එය දරාගත නොහැකි වේදනාවක් බවත්, දේශපාලනයෙන් සමුගැනීමට තමන්ට සිතී ඇති බවත් පිරිසට කියා සිටියේ ඉතා සංවේදී ස්වරූපයකිනි. ඒ අනුව තවදුරටත් මෙසේ දේශපාලනය කළ නොහැකි බව අවධාරණය කර සිටි සජිත් තවත් එක් වැදගත් කාරණාවක් පිරිස හමුවේ කියා සිටීමට කටයුතු කළේය. ඒ මේ දිනවල තමන් මුල්කරගෙන ඇතැම් එජාප මන්ත්‍රිවරුන් ගෙනයන ප්‍රචාරයක් සම්බන්ධයෙන්ය.
අලුත් පක්ෂය ගැන කතා කරයි
“දැන් මේ හැම තැනම කතාවක් යනවා මම වෙන පක්ෂයක් හදාගෙන ඡන්දයට එන්න යනව කියලා. හැබැයි මම මේ ඔක්කොටම එකක් කියන්නම්. මේක මගේ තාත්තා හිටපු පක්ෂය. මහින්දත් තමන්ට පක්ෂයෙන් වැඩක් නෑ කියලා් අලුත් පක්ෂයක් හදාගෙන ගියා. නමුත් මම නම් එහෙම වෙන පක්ෂෙකට යන්නෙ නෑ. ඒ හින්ද මම ඔබතුමාලගෙන් ඉල්ලනව ඒ වගේ යෝජනාවක් මට ගේන්නවත් එපා කියල. මොකද මම කීයටවත් වෙන පක්ෂවලට නම් යන්නෙ නැහැ…” යනුවෙන් සජිත් දැඩිව කියද්දී ඇතැම් මන්ත්‍රිවරුන් කියා සිටියේ දේශපාලනයෙන් සමුගැනීමක් පිළිබඳව කිසිසේත්ම නොසිතන ලෙසත්, පක්ෂය ඇතුළේ තවත් අලුත් සටනක් දියත් කර විපක්ෂ නායක ධුරය ලබාගැනීමට කටයුතු කළයුතු බවත්ය.
දෙනවා නම් ඔක්කොම දෙන්න
ඊට සජිත් දුන්නේ අපූරු පිළිතුරකි.
“මට මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මැද්දෙ කරපු අරියාදු, කැම්පේන් එක කඩාකප්පල් කරපුව මම එළියෙ කියන්න යන්නෙ නෑ. හැබැයි මම ඉස්සරහට තවදුරටත් දේශපාලනය කරනව නම් ඒකට මට සම්පූර්ණ නිදහස තියෙන්න ඕනෙ. ඩීල් නැතුව පාර්ලිමේන්තු කණ්ඩායමයි පක්ෂයයි එකට තියාගෙන යන්න ඕනෙ. හැබැයි මම ඔය කිසි සටනකට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒක ඔබතුමන්ලට භාරයි. ඒක නිසා මම හිතන විදිහට මේක කරන්න ඉඩ ලැබුණොත් මම කරනවා. එහෙම නැත්නම් මම වෙනත් තීන්දුවක් ගන්නවා.” යනුවෙන් කියමින් සජිත් නොකියා කීවේ තමන්ට පක්ෂ නායකත්වයත්, විපක්ෂ නායක ධුරයත් ලැබුණහොත් පමණක් මෙම සටන ඉදිරියට රැගෙන යෑමට තමන් කටයුතු කරන බවකි.
විපක්ෂනායකකමට ලියුම් පොරයක්
සජිත්ගේ මේ ප්‍රකාශයට අනුව පසුගිය බදාදා වන විට එජාපය ඇතුළේ තවත් එක් මෙහෙයුමක් දියත් වෙමින් තිබිණ. ඒ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවට සඳහන් ලිපියකට අස්සන් ගැනීමේ මෙහෙයුමකි. බ්‍රහස්පතින්දා වන විට ඊට පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරුන් 45 දෙනකු අස්සන් යොදා තිබුණු නමුත්, එම ලිපිය කාට භාරදුන්නාද, කා අතේ තිබෙනවදා යන්න පිළිබඳව කිසිවක් දැනගැනීමට හැකියාව ලැබී තිබුණේ නැත. නමුත් එම ලිපිය පළමුවරට එළියට ආවේ බ්‍රහස්පතින්දා (21දා) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම පක්ෂ නායක රැස්වීමට එජාපය නියෝජනය කරමින් ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරා, රවි කරුණානායක යන මන්ත්‍රිවරුන් සහභාගි වී සිටිනු දැකගන්නට ලැබිණ. මෙහිදී රැස්වීම අතරවාරයේදී විපක්ෂ නායක කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මාතෘකාව ඇදී ආ අවස්ථාවේ කතානායකවරයා එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තමන්ට එවා තිබූ නිල ලිපියක් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහි සඳහන්ව තිබුණේ විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට එජාපය තීන්දු කර ඇතැයි කියාය. ඒ අනුව සම්පූර්ණ ලියුම කරු කියවා නිම කරනවාත් සමඟම එහි සිටි අජිත් පෙරේරා එක්වරම තම ලිපිගොනුවේ තිබූ එක්තරා ලිපියක් පිටතට ගෙන එය කතානායකවරයාට ලබාදීමට පියවර ගත්තේය. ඒ ලිපිය අන් කිසිවක් නොව සජිත්ට විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බව කියමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 45 දෙනකු අස්සන් තැබූ ලිපියය. එම ලිපිය කරුට භාරදෙමින් අජිත් කියා සිටියේ රනිල්ව විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීමට එජාපය ඇතුළේ හෝ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඇතුළේ හෝ සාකච්ඡා වූ බවක් තමන් නොදන්නා බවත්, මන්ත්‍රිවරුන් 45 දෙනකු සජිත්ව විපක්ෂ නායක කරන ලෙස ඉල්ලා අස්සන් තැබූ ලිපියක් තමන් විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලබන බවත්ය.
අජිත්ගේ ලියුමට කරු කරපු දේ
අජිත් එසේ කියද්ද දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සෙසු පක්ෂ නායකයන් වූ රවුෆ් හකීමුත්, එම්.ඒ. සුමන්තිරනුත් කිසිවක් නොකියා ඉවත බලාගැනීමය. ඒ අනුව කතානායකවරයා අජිත්ගේ ලියුම නොකියාම ඉවතලමින් කියා සිටියේ එසේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන අස්සන් සහිත ලිපි නිල ලේඛන ලෙස පිළිගැනීමේ සම්ප්‍රදායක් නැතැයි කියාය. පාර්ලිමේන්තුවේ තනතුරු තේරීමේදී පක්ෂයේ මහලේකම්වරයකුගෙන් ලැබෙන ලේඛන පමණක් නිල තත්ත්වයේ ලා සැලකෙන බව එහිදී අජිත් පෙරේරාට පෙන්වා දුන් කරු, ඒ අනුව යමින් තමන්ට පිළිගැනීමට හැකි වන්නේ එජාප මහලේකම්වරයා තමන් වෙත එවා ඇති නිල ලිපිය පමණක් බවත්, ඒ අනුව විපක්ෂ නායකවරයා වශයෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් කියා සිටියේය.
මෙහිදී එක් උදාහරණයක්ද කතානායකවරයා විසින් අජිත් පෙරේරාට පෙන්වා දුන්නේය. ඒ දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේදී මහින්දගේ මන්ත්‍රි ධුරය අභියෝගයට ලක්වූ අවස්ථාවේ අමරවීර විසින් තමන් වෙත එවා තිබූ ලිපියක් පිළිබඳවය.
‘දින 52 ආණ්ඩු කාලයේ ඔබතුමාට මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්තයට මන්ත්‍රි ධුරය පිළිබඳව නීතිමය ප්‍රශ්නයක් ආවා. ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විදිහට මහින්ද අමරවීර මැතිතුමා මට ලිපියක් එව්වා මහින්ද තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයෙක් කියලා. එතුමා ඒක නිල වශයෙන් පක්ෂයේ මහලේකම්වරයා විදිහට එවල තිබුණ හින්ද මම ඒක පිළිගත්තා. එහෙම අමරවීර ඇමැතිතුමා නිල ලිපියක් එව්වෙ නැත්නම් මහින්දගේ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න තිබ්බා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රමයක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. මට ඒකෙන් පිට යන්න බැහැ. අනෙක මේ ප්‍රශ්නය ඔබතුමාලගෙ පක්ෂය ඇතුළෙ ප්‍රශ්නයක්. ඒ හින්ද ඔබතුමාල පක්ෂය ඇතුළෙ ඒ ප්‍රශ්නය විසඳගෙන මහලේකම්වරයා හරහා මට ලියුමක් එව්වොත් මම ඒක පිළිගන්නම්.. .” යනුවෙන් කියමින් කරු අජිත් පෙරේරා විසින් ඉදිරිපත් කළ ලිපිය ඉවත දැමීමට කටයුතු කළේය.
දිනේෂ්ගේ අගමැතිකම ගැස්සුණු හැටි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලාවල මුලින්ම කියැවුණේ අලුත් ආණ්ඩුවේ අගමැති තනතුර දිනේෂ් ගුණවර්ධන විසින් දරනු ඇතැයි කියාය. මහ මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලබන ආණ්ඩුවේ අගමැති ධුරය මහින්ද විසින් දරනු ඇති බවත්, ඒ කාලය දක්වා නිර්මාණය කරන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති තනතුර දිනේෂ්ට ලබාදීමට රාජපක්ෂවරුන් තීන්දු කර ඇති බවත් එමඟින් වැඩිදුරටත් කියැවිණි. මෙම පුවත කොතැනින් නිර්මාණය වුණාද? කවුරු විසින් සමාජ මාධ්‍ය ජාලවලට ඇතුළු කළාද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු නැතත් බොහෝ දෙනා සිතා සිටියේ ඇත්ත වශයෙන්ම අලුත් ආණ්ඩුවේ අගමැති ධුරය දිනේෂ් විසින් දරනු ඇතැයි කියාය.
කෙසේ වෙතත් අලුත් ආණ්ඩුවේ ඇමැති ධුර බෙදාදීම සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට ශ්‍රීලනිපය සිටියේ එතරම් පැහැදීමකින් නම් නොවේ. ඊට හේතු වී තිබුණේ කැබිනට් ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයෙන් තිදෙනකු පමණක් ශ්‍රීලනිපයට ලබාදීමට ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් තීන්දු කර තිබීමය. මුල් අවස්ථාවේදී එම ප්‍රමාණය කිසිසේත්ම මදි බව ශ්‍රීලනිපය ඇතුළේ කතාබහට ලක්වුණත් පහු පහු වන විට මෙම ඇමැති තනතරු ලබාගන්නා තුන්දෙනා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ඇතුළේ විශාල යුද්ධයක් හටගෙන ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ඒ වන විටත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු වෙන් වෙන් වශයෙන් ගෝඨාවත්, මහින්දවත්, බැසිල්වත් මුණගැසී ඇමැතිකම් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් පින්සෙණ්ඩු වීම නිසා ශ්‍රී ලනිපය ඇතුළේ විශාල ඇමැති පොරයක් නිර්මාණය වී තිබිිණ.
මෛත්‍රීව දැන් ගණන් ගන්නෙත් නැතිලු
මේ තත්ත්වය යටතේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ්‍යන් කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේද මෛත්‍රිව මුණගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එම මන්ත්‍රිවරුන් පිරිස තමන්ට ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් මෛත්‍රිව දැනුවත් කිරීමට ගියත්, අවසානයේදී ඔවුන්ට සිදුවූයේ මෛත්‍රිගේ දුක්ගැනවිලිවලට සාවදානව සවන් ද සිටීමටය. ඊට හේතු වූයේ තමන් මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශාල දුක් අඳෝනාවක් මෛත්‍රි විසින් එසේ පැමිණ සිටි අයට සිදුකිරීමය. මේ වන විට තමන් කිසිදු බලයක් නොමැති පුද්ගලයකු බවට පත්ව සිටින බවත්, ආණ්ඩුවේ ඇතැමුන් තමන් ලබාදෙන දුරකතන ඇමැතුම්වලට පවා පිළිතුරු ලබාදෙන්නේ නැති බවත්, ඒ ප්‍රබල පුද්ගලයන් හමුවීමට තමන්ට පවා නොහැකි වී ඇති බවත් එහිදී මෛත්‍රි පිරිසට දැනුම්දී සිටියේය. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු මෛත්‍රි අමරවීරට දුරකතන ඇමැතුමක් ලබාදී කියා සිටියේ ශ්‍රීලනිපයට ලබාදෙන්නේ ඇමැති ධුර 3ක් පමණක් නම් ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත්, පක්ෂ දෙක විසින් අස්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කටයුතු සැලැසුම් කිරීමට වගබලාගත යුතු බවත්ය. එසේ කිරීමට අපහසු නම් කිසිදු ඇමැති ධුරයක් ලබා නොගෙන විපක්ෂයට ගොස් සිටිය යුතු බවද මෛත්‍රි එහිදී අමරවීරට දැනුම්දී සිටියේය.
රනිල් විශාල හෙළිදරව්වකට සැරසෙයි
පසුගිය බදාදා රාත්‍රියේදී තමන් අගමැති ධුරයට සමුදෙන බව ප්‍රකාශ කිරීමෙන් පසුව රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී තමන් අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීන්දුව නිල වශයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දුන් රනිල් ඊළඟට කළේ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමය. එහිදී රනිල්ගේ අදහස වී තිබුණේ ලබන මාර්තු මස මහ මැතිවරණයට යෑමට ප්‍රථමයෙන් පක්ෂය ඇතුළේ විශාල ප්‍රතිසංවිධානයක් සිදුකොට අලුත් නායකයන්ට පක්ෂයේ වගකීම් භාරදිය යුතු යැයි කියාය. එමෙන්ම එදින දහවල් තමන් හා මහින්ද අතර සිදුවූ සාකච්ඡාවේ තොරතුරුත්, පසුව ගෝඨාභය සමඟ පැවැති හමුවේ තොරතුරුත් එහිදී රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත්ගේ කකුලෙන් ඇද්ද බවට එම පාර්ශ්වයේ ඇතැමුන් විසින් පසුගිය දිනවල ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට රනිල් කටයුතු කිරීමය. එහිදී එම පරාජයට ඍජුවම බලපෑ ඇතැම් කටයුතු පිළිබඳවත්, ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් තමන් ඉදිරියේදී සාක්ෂි සහිතව හෙළිදරව් කරන බවද රනිල් මෙහිදී පිරිසට දැනුම්දී සිටියේය.
“සජිත් ප්‍රේමදාසව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියල ඕගොල්ලො බහුතරයක් ඇවිල්ල මට කියද්දි මම සජිත්ව පක්ෂයේ අපේක්ෂකයා විදිහට නම් කළා. හැබැයි එතුම පැරදුනා. දැන් ඒක මගේ පිටින් දාන්න එනවා. මම දැක්ක සමහරු ඒ චෝදනාව ප්‍රසිද්ධියේම මට එල්ලකරලා තිබ්බ. හැබැයි දැන් මම තීන්දු කරල තියෙනවා මේක ඇත්ත මොකක්ද කියල රටට හෙළි කරන්න. ඒකට මගේ ළඟ ලිඛිත සාක්ෂි තියෙනවා. මේ පරාජයට වගකිවයුත්තො කවුරුන්ද කියල මම ඒ සාක්ෂිත් එක්කම ඉස්සරහට එළියට දානවා. මම මේවා කවදාවත් කතා කරන්න නෙමෙයි හිටියෙ. ඒ වගේම මේ චෝදනාවල සැබෑ තත්ත්වය, මේ පැරදුණු විදිහ ගැන සියල්ල මම එදාට එළියට දානවා. එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් මේ කතාවල ඇත්ත නැත්ත මොකක්ද කියල. ඒ අයග නම්, ගම් එක්කම තමයි මන් මේ තොරතුරු රටට කියන්නෙ…’ යනුවෙන් කියමින් රනිල් ළඟදීම තමන් විශාල හෙළිදරව්වක් කරන බවට වූ ඉඟිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ලබාදීමට කටයුතු කළේය.
සමාජ ජාලාවල හිට් වුණු හිච්චි ගෝඨාභය
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මෙතෙක් කල් ඔහු සමඟ එකට සිටිනු දක්නට නොලැබුණු චරිත දෙකක් දිවුරුම් දුන් මොහොතේ සිට වැඩ භාරගත් මොහොත දක්වා ඔහු අසලම සිටිනු දැකගන්නට ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව ගෝඨාගේ එකම පුත්‍රයා වූ දුමින්ද මනෝජ් රාජපක්ෂත්, ඔහුගේ බිරියත්ය. මුල් අවස්ථාවේදී මේ දෙදෙනා කවුරුන්ද යන්න කිසිවකුටත් හඳුනා ගැනීමට නොහැකි වුවත් පසුව පවුලේ ඡායාරූපවලින් දැනගන්නට ලැබුණේ එසේ සිටිනුයේ ගෝඨාගේ පුතාත්, ලේලියත් යන්න කියාය. ඒ අනුව බොහෝ දෙනා පසු ගිය සතිය වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ගේ ඡායාරූප විමර්ශනය කර තිබූ අතර මේ පලවෙන්නේ එසේ සොයාගත් ඒ දෙදෙනාගේ ඡායාරූප කිහිපයකි. එමෙන්ම පසුගිය සතිය වන විට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධානම මාතෘකාව හෙවත් ‘හිට් එක‘ බවට පත්ව තිබුණේද මේ යුවලය.
ගෝඨාගේ දිනුමේ නොපෙනුනු අය
මෙවර ජනාධිපතිවරණය ජයගත් ගෝඨාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව වූයේ “සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්” යන තේමාවය. ගෝඨාගේ සමස්ත මැතිවරණ යාන්ත්‍රණයම දියත් වූයේ මේ තේමාව මත පිහිටාය. එළියේ කුමක් කතා කළද, වෙළෙඳ දැන්වීම්වල කුමක් ප්‍රකාශ කළද මෙම තේමාව ගෝඨාභය සමඟ බද්ධ කළ කණ්ඩායම පිළිබඳව අදටත් කිසිවකුත් දන්නේ නැත. බොහෝ දෙනා සිතන්නේ එම තේමාව ගෝඨාට සමීප දේශපාලනඥයන් විසින් ලබාදුන්නා යැයි කියාය. නමුත් මේ පිටුපස සිටින්නේ එවැනි දේශපාලන කණ්ඩායමක් නොව, අලුතින් සිතන තරුණයන් කිහිපදෙනෙක්ය. නම් වශයෙන් ගත්තොත් එම ප්‍රචාරක ව්‍යාපාරයට මූලිකත්වය ගෙන තිබුණේ ජගන ක්‍රිෂ්ණකුමාර් සහ මෙවන් ලියනගේ යන දෙදෙනාය. ඔවුන් ගෝඨාට සම්බන්ධ කර තිබුණේ මහින්දලේ බාල පුත්‍රයා වූ රෝහිත රාජපක්ෂ හෙවත් චිචීය. ඉන් අනතුරුව මෙවන් විසින් තවත් කිහිපදෙනකු එම කණ්ඩායමට එක්කරගෙන තිබූ අතර සනිඳු ෆොන්සේකා, පසන් ලියනගේ, වත්සල රුබේරු ඉන් කිහිප දෙනෙකි. ගෝඨාගේ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයේ සමස්ත යාන්ත්‍රණයම දියත් වී තිබුණේ මේ තරුණයන් කිහිපදෙනා හරහාය.
කපිල පුංචිමාන්නගේ