පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධියේම ගැටුම් හටගත් ආකාරයක් දැකගන්නට තිබිණ. ඉන් එක් සිදුවීමක් වූයේ ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය සහ පුත්තලමේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇතිවූ මතගැටුමය. ඉන් අනතුරුව මීට සති දෙකකට ඉහතදී දේවානි, ප්‍රසන්න රණවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සමඟ මතගැටුමක් ඇතිකර ගන්නා ආකාරයක්ද මාධ්‍යවල ප්‍රචාරය විය. මෙහි ආසන්නතම සිදුවීම සිදුවූයේ පුත්තලමේ තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන අරුන්දික ප්‍රනාන්දු සහ වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා අතර සිදුවූ මතගැටුමය. මේ සෑම අවස්ථාවකදීම පොදු සමාජයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලද විරෝධය එල්ලවූයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටය.
ආණ්ඩුවෙන් නිලධාරීන්ට ප්‍රහාරයක්…
නමුත් මේ සෑම අවස්ථාවකදීම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටද කියන්නට කතාවක් තිබිණ. ඔවුන්ට ඔවුන්ගේ කතාව කියන්නට පසුගිය කාලය පුරාම හරිහමන් තැනක් ලැබී තිබුණේ නැත. ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ පසුගිය සඳුදා දින පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. කොටින්ම කියනවා නම් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම රාජ්‍ය සේවයේ නිලධාරීන්ට එරෙහිව කරුණු කියන්නට මැති ඇමැතිවරුන් ලැබුණු කදිම අවස්ථාවක් බඳු එකක් විය. මේ නිසාම ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන් රජයේ ඇතැම් නිලධාරීන් සමඟ තම තමන්ට මුහුණ දෙන්නට සිදුවූ පෞද්ගලික අපහසුතා ප්‍රසිද්ධියේම ඉදිරිපත් කරන්නට පියවර ගෙන තිබිණ.
පළමුව කතා කළේ මොහාන් එල්ලාවය. එහිදී මොහාන් පසුගිය දිනකදී ආණ්ඩුවේ නිලධාරීන් කළ ක්‍රියාවක් හේතුකොටගෙන තමන්ට සිදුවූ අපහසුතාව මන්ත්‍රි කණ්ඩායම හමුවේ තැබීය.
මොහාන් ටී.ආර්.සී.යට දෙහි කපයි…
“ජනාධිපතිතුමා රත්නපුරේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට ආවහම ඒ ප්‍රදේශයේ ජනතාවට අන්තර්ජාල පහසුකම් ලබාදෙන්නම් කිව්වා. පස්සෙ මේකට එයාර්ටෙල් සමාගම එකඟතාව පළකරල රත්නපුරේ කුළුණු හදන්න පටන් ගත්තා. ඒකට ලොකු උත්සවයකුත් තිබ්බා. හැබැයි ඒකට අපිට ආරාධනා කරල තිබ්බෙ නෑ. අපිට ආරාධනා කරන්න හදද්දි ටී.ආර්.සී. එකේ (විදුලි සන්දේශ නියාමන කොමිසම) නිලධාරියෙක් කියල තියෙනව මේ උත්සවයට දේශපාලකයන්ට ආරාධනා කරන්න ඕනෙ නැහැ කියලා. ඒ නිසා ඒ උත්සවය අපිට තහනම් කලාපයක් වුණා. මේක මාර වැඩක්. අපි හදපු ආණ්ඩුවෙන් අපිම කතා කරල ජනතාවට පහසුකම් අරගෙන දෙද්දි නිලධාරීන් කියනව ඒ උත්සවවලට අපිව ගෙන්නගන්න එපා කියලා. මෙහෙම කොහොමද අපි දේශපාලනය කරන්නෙ. මේ නිලධාරීන් කරන වැඩවලින් අපිට දේශපාලනය එපා වෙනවා…” යැයි මොහාන් දීර්ඝව කියාගෙන යද්දී අමාත්‍ය බන්දුල ගුණවර්ධනද තමන්ට පෞද්ගලිකව අත්විඳින්නට සිදුවූ සිදුවීමක් මන්ත්‍රි කණ්ඩායම හමුවේ තැබුවේය.
බන්දුලගෙන් පාරිභෝගික අධිකාරියට දොස්
“මටත් පහුගිය දවසක ඔය වගේ වැඩක් වුණා. පහුගිය දවසක මම පාරිභෝගික අධිකාරියෙ උත්සවයක් ලෑස්ති කළා. අපිට සල්ලි නැති නිසා තේ එකක් විතරක් එන අයට දෙමු කියල තමයි අපි කතා වුණේ. ඉතින් අපි දේශපාලකයන්ට ආරාධනා කරමු කිව්වම එතන හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ එක්කෙනෙක් කතා කරල කිව්ව දේශපාලකයන්ට ආරාධනා කරන්න ඕනෙ නැහැ කියලා…” යනුවෙන් බන්දුල සිනාසෙමින් කියද්දී ඇමැති මහින්දානන්ද කෝපයට පත්ව, “එලවන්න එපැයි ඇමැතිතුමා ඕකව ඒ වෙලාවෙම. එහෙම කොහොමද කරන්නෙ” යනුවෙන් කියමින් අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
සුසිල් සිද්ධිකාට බනී
ඉන් අනතුරුව අදහස් දැක්වූයේ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තය. සුසිල් පෙන්වා දුන්නේ පසුගිය දිනෙක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන සිද්ධිකා සේනාරත්න පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය ගැන කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳවය. එහිදී ඇය කියා තිබුණේ රට පුරා ඇති බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක ඇති බවත්, අදාළ සමාගම්වල ව්‍යාපාර කඩාවැටීමට ඉඩ ඇති නිසා තමන් ඒවා පිළිබඳව ප්‍රකාශ නොකරන බවත්ය. සිද්ධිකාගේ මෙම ප්‍රකාශයත් සමඟ රට තුළ ආණ්ඩුවද මෙම සිදුවීම පසුපස සිටින බවට මතයක් පැතිර ගොස් ඇති බව සුසිල් පිරිසට පෙන්වා දුන්නේය.
“මමත් පහුගිය කාලෙ මේ නිලධාරිනිය සමඟ වතාවක් වැඩ කළා. එතුමිය මේ කරල තියෙන්නෙ ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපි මේකට එරෙහිව දැඩි තීන්දුවක් ගන්න ඕනෙ. මොකද ජනතාව කියන්නෙ මේ නිලධාරිතුමිය කිව්වෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය කියලයි. ඒ නිසා මම කියන්නෙ වහාම මේකට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගතයුතුයි කියලයි…” යන්න සුසිල්ගේ අදහස විය.
කැටගොඩ එස්.බී.ගේ පලු යවයි
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ ජයන්ත කැටගොඩය. කැටගොඩගේ ප්‍රහාරය එල්ල වුණේ රාජ්‍ය නිලධාරීන්ට නොව ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකුටය. ඒ වෙන කවුරුවත් නොව එස්.බී. දිසානායකටය. කැටගොඩගේගේ මෙම දෝස්මුරයට හේතුවී තිබුණේ පසුගිය දිනෙක එස්.බී. ගැටඹේ පන්සලට ගොස් මහනාහිමියන් හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කිරීමය.
“ගෝඨාභය කියන කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. පහුගිය දවසක මමත් හිටපු රැස්වීමක ජනාධිපතිතුමා මේක කිව්වා. ඉතින් මමත් කිව්ව ඒක ඇත්ත කියල. අධ්‍යාපන ලේකම් ඉන්නව එතුමගෙන් අහන්න ජනාධිපතිතුමා ජාතික පාසල් දාහක් හදන්න කිව්වට දැන් කීයක් කරල තියෙනවද කියල. ජී.එල්. අධ්‍යාපනයට මේ ලෝකෙ දෙයක් කරන්නෙ නැහැ…” යනුවෙන් එස්.බී. මහ නාහිමියන් හමුවේ කර තිබූ ප්‍රකාශය මෙහිදී දැඩි ලෙස හෙළා දුටු කැටගොඩ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ සභාපතිවරයා වූ ජී.එල්. පීරිස් ඇමැතිවරයා විවේචනය කිරීම දැඩි කෝපයෙන් යුතුව අදහස් පළකරනු දැකගත හැකි විය.
“මේක දේශපාලන කුමන්ත්‍රණයක්. 2015 දීත් වුණේ මේකමයි. අපිත් එක්ක එකට ඉඳල ඇතුළෙන්ම ගහන්න පටන් ගත්තා. මේ සෙල්ලමට ආයිත් ඉඩ දෙන්න බැහැ. එතුම අපේ පක්ෂයෙ සභාපතිවරයටයි ප්‍රසිද්ධියෙ පහර දුන්නෙ. අපිට මේව තවදුරටත් ඉවසන්න බෑ. මොකද අපේ ඉවසීමේ සීමාවක් තියෙනවා…” යනුවෙන් කැටගොඩ උස් හඬින් යුතුව අදහස් පළ කරද්දි මන්ත්‍රී කණ්ඩායමේ මුලසුන දැරූ දිනේෂ් ගුණවර්ධන මහතා කැටගොඩව පාලනය කරමින් කියා සිටියේ තවදුරටත් ඉවසන්න යැයි කියාය.
තව ඉවසන්න
“එස්.බී. දිසානායක මන්ත්‍රිතුමා අද රැස්වීමේ නැහැ. ඒක හින්ද අපි එතුමා ඉන්න වෙලාවක මේක කතා කරමු. ඒක හින්ද ඔබතුමා ටිකක් ඉවසන්න. මොකද ඔයිට වඩා ඉවසන්න වෙන තැන් අපිට ඉස්සරහට හමුවෙන්න පුළුවන්.” යනුවෙන් කියමින් දිනේෂ් කැටගොඩ පාලනය කර ගැනීමට සමත් විය.
අරුන්ධිකගෙන් එරික් ගැන කියද්දී ආණ්ඩුවෙන් අත්පොළසන්
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළේ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ සිදුවීම මුල්කරගෙන මේ දිනවල ආන්දෝලනයට තුඩුදී සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුය. මෙහිදී එදින හරියයටම සිදුවූ සිද්ධිය පිළිබඳව අරුන්දික මන්ත්‍රි කණ්ඩායමට පැහැදිලි කර දුන්නේය.
“මේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ඉස්සර ජනතාවට විවෘත වුණේ නෑ. මමයි ඒක ජනතාවට විවෘත කරල මාධ්‍යයට ඒ අවස්ථාව ලබාදුන්නෙ. මම එතැනදි කිව්වෙ මගේ ආසනයේ උළු, ගඩොල් හදන කම්කරු සේවකයො ඉන්නවා. ඒ අය කසිප්පු බොනවා. ඒ අයට වෙන ස්වයං රැකියාවක් හදල මොකක් හරි පිළිවෙළක් කරනකම් ඒ ගැන සලකා බලන්න කියල විතරයි. හැබැයි ඒක සමහර මාධ්‍ය්‍යයි, සෝෂල් මීඩියයි වාර්තා කළේ වැරැදි විදිහට. ඒ අය පෙන්නුවේ මගේ ආසනයේ ජනතාවට කසිප්පු බොන්න ඕනෙ නිසා මේ නිලධාරියව මාරුකළා කියලයි. මම එහෙම දෙයක් කිව්වෙ නෑ.
අනික මේ නිලධාරියට විරුද්ධව ගොඩක් චෝදනා තියෙනවා. එයාට ෆේස්බුක් එකවුන්ට් තුනක් තියෙනවා. එයා ඒව දාල තමයි මට විරුද්ධව මේ කැම්පේන් එක කළේ. අපි මේ නිලධාරියට ගොඩක් උදව් කරල තියෙනවා. එක පාරක් එයාගෙ ඉස්කෝලෙට උදව් කරන්න කිව්වහම මම අගමැතිතුමාට කතා කරල සියලු දේවල් කරල දුන්නා. හැබැයි මෙයාගෙ හැසිරීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක මම පහුගිය කාලෙ අපේ ඇමැතිතුමාටත් කතා කරල පැමිණිලි කළා. ඇමැතිතුමයි මට කිව්වෙ ඔය චෝදනා සඳහන් කරල එතුමට ලියුමක් එවන්න කියලා. මම ඒ ලියුම එව්වෙ ඒ විදිහට. හැබැයි මාධ්‍ය පස්සෙ පෙන්නුවෙ මම දීපු ලියුම හින්ද මේ පොලිස් නිලධාරියා ඉවත් කළා කියල. මේ විදිහට මේ නිලධාරීන්ට හැසිරෙන්න දෙන්න බැහැ. ඒ අයට ඕන විදිහට අපිට යට වෙන්නත් බැහැ. ඒ නිසා මේක ගැන වහාම තීන්දුවක් ගන්න.” යනුවෙන් කී අරුන්දික මෙම ප්‍රශ්නයේදී මුළු ආණ්ඩුවම තමන් සමඟ එකට සිට ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රි කණ්ඩායමට විශේෂ ස්තුතියක්ද පළ කළේය.
“හැබැයි මට මෙතැනදි එකක් ගැන සතුටුයි. මට මේ ප්‍රශින ආපුවහම අපේ මුළු මන්ත්‍රී කණ්ඩායමම මගෙත් එක්ක එකට හිටගත්තා. ඒක මට ලොකු හයියක්.” යනුවෙන් අරුන්දික කියද්දී මුළු මන්ත්‍රි කණ්ඩායමම විශාල අත්පොලසන් නාදයක් අරුන්දිකට ලබාදෙනු දැකගත හැකි විය.
පළාත් සභාවෙන් කැඩෙන ආණ්ඩුව
පසුගිය කාලයේ නිවී තිබුණු දේශපාලනය යළිත් වතාවක් රත් වෙමින් තිබෙන ආකාරයක් මේ වන විට සිදුවන සිදුවීම් හරහා දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්ව කල්ලි කණ්ඩායම් ලෙස හදාගෙන විවිධ ප්‍රකාශ නිකුත් කිරීමත්, කැලෑ කැපිල්ල ඇතුළු දේශපාලන ගැටුම් ගණනාවක් එළිපිට සිදුවීමත් හරහා ජනතාව තුළ දේශපාලනය කෙරෙහි තිබූ උනන්දුව යළිත් වතාවක් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. එමෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන බවට පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුවෙමින් පැවතීමද මෙම උණුසුමට හේතුවී තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මීට සති දෙකකට ඉහතදී කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය. නමුත් ඊට ආණ්ඩුවේ සුලු පක්ෂවලින් දැඩි ප්‍රහාරයක් එල්ලවූ බව රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අනාවරණය කර සිටියෙමු. පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකින් පක්ෂයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැකි බවට යෝජනාවක් ඇතුළත් කොට තිබීම මෙම විරෝධයට හේතුව බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. කෙසේ වෙතත් මෙම විරෝධය හේතුකොටගෙන පක්ෂ නායක රැස්වීමකදී එය විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී සිටියද පසුව පැවැති පක්ෂ නායක රැස්වීමේදී පවා එම ගැටලුව විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකි විය. ඒ අනුව තවත් පක්ෂ නායක රැස්වීමක් අලුත් අවුරුද්දෙන් පසුව පවත්වා ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ආණ්ඩුව මේ වන විට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් රාජ්‍ය රහස් තීරයට වාර්තා වන තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවත් කල් මරමින් සිටින බවකි. මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් ගම් මට්ටමේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොතිබීමත්, පළාත් සභා මැතිවරණයට එරෙහිව ආණ්ඩුවට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් දැඩි විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබීමත් ඒ සඳහා බලපා ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ආණ්ඩුවේ 2024 අපේක්ෂකයා කව්ද?
කෙසේ වෙතත් මේ සියලු දේශපාලන මාතෘකා මැද තව අලුත් මාතෘකාවක්ද මේ වන විට කරළියට පැමිණ තිබේ. ඒ, ආණ්ඩුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ය. මීට සති කිහිපයකට ඉහතදී පැවැති ආණ්ඩුවේ අභ්‍යන්තර රැස්වීමකදී ජනාධිපතිවරයා තමන් ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකරන බව කියා ඇති බවත්, සුළු ජාතික ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයකු සොයාගන්නා ලෙසට එහිදී දැනුම්දී තිබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ. ඒ නිසා ආණ්ඩුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ බවටද පසුගිය සති කිහිපය පුරාවටම ආණ්ඩුව ඇතුළේ ගිය කතාවලින් කියැවිණ.
ජනපතිගෙන් නාමල්ට සහතිකයක්
නමුත් මේ වන විට දේශපාලන කරළියේ කතා වන අලුත්ම දේශපාලන කතාව වන්නේ ජනාධිපතිවරයා හා නාමල් රාජපක්ෂ මහතා අතරද 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් සිදුව ඇති බවකි. මෙහි ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳව තහවුරු කරගත් තොරතුරු නැතත් දේශපාලන ක්ෂේත්‍රයේ යන එම කතාවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා නාමල්ව කැඳවා ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදුකර ඇතැයි කියාය. එම සාකච්ඡාවේදී තමන් බොහෝ දුරට ඊළඟ ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත්, එම නිසා නාමල්ට ඒ සඳහා සූදානම් වන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවක්ද කියැවේ. එම සටන ජයග්‍රහණය කිරීම සඳහා තමන්ගේ පැත්තෙන් අවශ්‍ය සහයෝගය ලබාදිය හැකි බවට සහතිකයක්ද ජනාධිපතිවරයා විසින් නාමල්ට ලබාදී ඇති බව මෙම කතාවලින් වැඩිදුරටත් කියැවේ. පෙර කී පරිදිම මෙම දේශපාලන කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳව තහවුරු නැතත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල ලෙස මෙම කතාව තැන් තැන්වල කතාවෙන බවක්ද දැකගත හැක. මීට අමතරව ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන ගමනේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ගම සමග පිළසදරක් වැඩසටහනේ විශේෂ කොටසක්ද නාමල්ට බාර දීමට පසුගිය සතියේ පියවර ගත්තේය. ඒ ගම සමග පිළිසරදක් පිළිබද සොයා බැලීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරමින් එහි සභාපතීත්වය නාමල්ට බාර දීමය. ඊට මැති ඇමැතිවරුන් 15 දෙනෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
අලුත් ව්‍යවස්ථාවෙන් ජනපතිකම හැලෙයිද?
මීට අමතරව තවත් දේශපාලන කතාවක්ද මේ හා සමගාමීව ආණඩුව ඇතුළේ තැන් තැන්වල සාකච්ඡා වෙමින් තිබේ. එම දේශපාලන කතාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව හඳුන්වාදීමට නියමිත අලුත් ව්‍යවස්ථාව හරහා ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීම සඳහා සාකච්ඡා වෙමින් පවතින බවකි. එසේ වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන බවත්, නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සහයෝගය පවා ලබාගත හැකි බවත් එම සාකච්ඡාවලදී කතාවී ඇති බවක්ද දැනගන්නට ඇත.
විමල් ගෝනිබිල්ලන් මවයි
මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව ඇතුළේ මේ දිනවල දේශපාලන බිල්ලන් මවන චරිතයක්ද නිර්මාණය වී තිබේ. ඒ වෙන කවුරුවත් නොව විමල් වීරවංශය. පහුගිය කාලයේදී ආණ්ඩුව සමඟ එකට කටයුතු කළ විමල් මේ වන විට ආණ්ඩුවට එරෙහිව වරින්වර බිල්ලන් එළියට දමා නැවැත වතාවක් තිරය පිටුපසට වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එසේ විමල් පළමුවරට එළියට දැමූ දේශපාලන බිල්ලා වූයේ 20 වැනි සංශෝධනයට එරෙහිව මතුකළ විරෝධයය. නමුත් පසුව විමල් තිරය පිටුපස සැඟව ගියේය. ඉන් අනතුරුව විමල් නැඟෙනහිර වරාය ප්‍රශ්නයේදී තවත් වතාවක් දේශපාලන බිල්ලෙක් එළියට දැමුවේය. ඉන්පසු නැවත වතාවක් තිරය පිටුපස සැඟවීමට විමල් පියවර ගත්තේය. එමෙන්ම තවත් අවස්ථාවක විමල් පළාත් සභා මැතිවරණයට විරුද්ධව දේශපාලන බිල්ලෙක් ආණ්ඩුව එරෙහිව මවාපෑවේය. ඉන්පසු නැවත වතාවක් නිහඬව තිරය පිටුපසට වී සිටියේය.
මේ ආකාරයට වරින්වර දේශපාලන බිල්ලන් මවාපාන විමල් පසුගිය සතියේ එවැනිම ආකාරයේ තවත් බිල්ලෙක් මවාපෙන්වීමට කටයුතු කළේය. ඒ පසුගිය බදාදා එක්තරා පුවත්පතක දැවැන්ත දැන්වීමක් පළකිරීම හරහාය. මෙම දැන්වීමේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විමල් සිනාමුසුව සිටින ඡායාරූපයක් පළව තිබීමය. එමෙන්ම එම දැන්වීමට භාවිතා කර තිබූ වචන විලාසය දුටු ආණ්ඩුවේ බොහෝ දෙනකු කියා සිටියේ විමල්ම මෙම වචන ලියා ඇතැයි කියාය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රශ්නය වී තිබුණේ විමල් එම දැන්වීමට ජනාධිපතිවරයාගේ මුහුණ යොදා නොගත්තේ කුමන හේතුවක් මතද කියාය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ලොබියේ පවා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මුණගැසුණු විට මෙම දැන්වීම පිළිබඳව කතාබහ කළ ආකාරය දැකගත හැකි විය. එහිදී බොහෝ මැති ඇමැතිවරුන් කියා සිටියේ මේ වන විට විමල්ද ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සැලැසුම් කොට ඇතැයි කියාය. එහි පළමු පියවර ලෙස මෙම දැන්වීම ඉදිරිපත් කරන්නට ඇති බවද එහිදී බොහෝ දෙනකු අදහස් පළ කරමින් කියා තිබිණ.
මැයි දිනේට ආණ්ඩුවේ පක්ෂ 11ක් වෙනම
මේ දිනවල ප්‍රධාන පෙලේ සියලුම පක්ෂ මැයි 01 වැනිදා පැවැත්වීමට නියමිත කම්කරු දින රැස්වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු වතාවට මෙවර මැයි දිනයේදී ආණ්ඩුව දෙකට බෙදී මැයි රැලි දෙකක් පැවැත්වීමට සැලැසුම් කර තිබීමය. ඉන් එක් මැයි රැලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ප්‍රධාන කොටගෙන පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කොට ඇත. මේ වන විට එහි වැඩකටයුතු කරට ගෙන සිටින්නේ බැසිල්ය. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන විමල් ඇතුළු පක්ෂ 11ක නියෝජිතයන් වෙනම මැයි රැලියක් පැවැත්වීමටද මේ වන විට තීන්දු කොට ඇත. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එකඟතාව පළකොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයේදී බැසිල් සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් දයාසිරි, අමරවීර සහ ලසන්ත අලගියවන්න සහභාගිව සිට ඇති බවත්, පොහොට්ටුව පැත්තෙන් බැසිල් සමඟ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සහභාගි වී ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. මෙහිදී ශ්‍රීලනිපයේ නියෝජිතයන් වටින් ගොඩින් වෙනම මැයි රැලියක් පැවැත්වීම පිළිබඳව කරුණු දක්වා ඇති අතර එහිදී බැසිල් පැහැදිලිවම අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කරන ලෙසත්, දැනටමත් ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක් වෙනම කටයුතු කිරීමට තීන්දු කර ඇති බවට වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බවත් ඔවුන්ට දැනුම්දී ඇති බව ආරංචිය. ඒ අනුව මෙවර ආණ්ඩුව පැත්තෙන් පොහොට්ටුව වෙනමමත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්ෂ 11ක් වෙනමමත් කොළඹ මැයි රැලි පැවැත්වීමට සැලැසුම් කර ඇත.
මීට අමතරව සමඟි ජන බලවේගය බොරැල්ල කැම්බල් පිටියේ සිය මැයි රැලිය පැවැත්වීමට සැලැසුම් කර ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. මෙවර මැයි රැලිය සමඟි ජන බලවේගයේ පළමු මැයි රැලිය වන හෙයින් එය ඉතාමත් උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීම සඳහා මේ දිනවල සමඟි ජන බලවේගය සැලැසුම් සකස් කරමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
කාදිනල් හිමිගේ කතාවෙන් ශ්‍රීලනිපය කැළඹේ
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරීමට තවත් ඇත්තේ හරියටම සතියකට මදක් වැඩි කාලසීමාවකි. මෙම වසර දෙක ඇතුළත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක්ම සිදුවුවද ඒ කිසිවකින් ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළිදරව් කිරීමට කටයුතු කර නොමැති බව විපක්ෂයේ චෝදනාව වී තිබිණ. ඉකුත් සතියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නිකුත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් සිදුකළ වාද විවාදවලදීද මේ කරුණ අඩු වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, වරෙක රවුෆ් හකීම් අදහස් දක්වමින් කියා සිටියේ මෙහි නළු නිළියන් සහ තිර පිටපත් රචකයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතත් මෙම ඛේදවාචකයෙහි අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් සොයා ගැනීමට මෙම වාර්තාව අසමත්ව ඇතැයි කියාය.
මේ අතරවාරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණන් පසුගිය සතියේ බරපතළ ප්‍රකාශයක්ද සිදුකළේය. කාදිනල් හිමි සිය ප්‍රකාශයෙන් ඉලක්ක කළේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල නැවත වතාවක් තරග කිරීමට සූදානමින් සිටින බවත්, ප්‍රහාරයේදී වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මෛත්‍රිපාල වැන්නකු නැවත ඡන්දයට ඉදිරිපත් වන්නේ රෙදි ඇඳගෙනද යනුවෙන් මෙහිදී කාදිනල් හිමි ප්‍රශ්න කර තිබිණ.
කාදිනල් හිමිගේ මෙම ප්‍රකාශය සැබවින්ම දෙබරයට ගැසූ ගලක් මෙන් ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට හැකි විය. ඒ අනුව වහාම කාදිනල් හිමිගේ මෙම ප්‍රකාශය ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිප ප්‍රධානීන් මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. එහිදී තීන්දු වූයේ යම් හෙයකින් මෛත්‍රි ඉලක්ක කර නඩු පැවරීමක් සිදුවුවහොත් ආණ්ඩුව සමඟ ගනුදෙනුවකට නොගොස් එය නීතිමය පැත්තෙන් ඍජුව මුහුණදී අධිකරණමය ක්‍රියාමාර්ගයක් හරහා විසඳා ගැනීමටය. එමෙන්ම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සමඟ සාකච්ඡා කිරීමටද ශ්‍රීලනිපය මේ වන විට තීන්දු කොට තිබේ. එපමණක් නොව මෙම සාකච්ඡාවේදී සියලු දෙනාගේම අදහස වූයේ කාදිනල් හිමි මෙම ප්‍රකාශය වෙනත් පුද්ගලයකුගේ උවමනාවට අනුව සිදුකළ එකක් බවය. ශ්‍රීලනිපය වෙනම ගමනක් යෑමට සූදානම් වන මේ මොහොතේ එය කඩාකප්පල් කිරීමේ අරමුණින් කාදිනල් හිමි ලවා මෙම ප්‍රකාශය යමකු විසින් සිදුකරවා ගත් බවටද එහිදී චෝදනා එල්ල විය. ඒ පිළිබඳව රැස්වීම අවසානයේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රසිද්ධියේම දයාසිරි “කාදිනල් හිමියන්ගේ මෙම කතාවට වඩා එම කතාව කිරීමට කාදිනල් හිමි මෙහෙයවූ පුද්ගලයා සොයාගන්න ඕනෙ” යැයි කියා සිටියේ ඒ නිසා විය යුතුය.
වතිකානුවෙන් විශේෂ නියෝජිතයෙක් එයි
මීට අමතරව මින් කිසි දිනෙක සිදු නොවූ පරිදි ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රබල ප්‍රහාරයක්ද කාදිනල් හිමි ඉලක්ක කරගෙන සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ උලපනේ සුමංගල හිමිය. මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් උලපනේ හිමි කියා සිටියේ කාදිනල් හිමි දේශපාලන ප්‍රකාශයක් සිදුකොට ඇති බවත්, ඒ හරහා අනවශ්‍ය ආගමික නායකයකු විසින් සිදුනොකළ යුතු ප්‍රකාශයක් සිදුකොට ඇති බවත්ය.
මේ අතරවාරයේ වතිකානුවේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන විශේෂ පියතුමකු පසුගිය සතියේ ලංකාවට පැමිණියේය. ජේ. ඇන්තනී පියතුමා වශයෙන් හඳුන්වන මෙම විශේෂ නියෝජිතයා ලංකාවට පැමිණ කතෝලික සභාව සමඟ පැවැති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද දීර්ඝව කරුණු විමසා ඇති බවක් ආරංචිය. එහිදී දැනට සිදුකරෙන විමර්ශන සම්බන්ධයෙන් සහ සොයාගෙන ඇති කරුණු සම්බන්ධයෙන් මෙම පියතුමා එතරම් ප්‍රසාදයකින් යුතුව අදහස් දක්වා නැති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ආණ්ඩුව ආණ්ඩුව පස්සේ පන්නයි!
මේ දිනවල පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තේ පමණක් නොව විපක්ෂය පැත්තේද ලොබියේද විවිධ දේශපාලන කරුණු කාරණා සහ මාතෘකා සාකච්ඡා වෙමින් තිබෙන බවක් දැකගන්නට තිබේ. ඉන් එක් මාතෘකාවක් වී ඇත්තේ ආණ්ඩුව හොර රහසේම අන්‍යයන්ගේ කතාබස් ඇසීම සඳහා ලංකාවට රහස් මෘදුකාංගයක් ගෙනැවිත් ඇති බවට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කළ අනාවරණයය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රිවරුන්ද මේ පිළිබඳව සිනාසෙමින් කරුණු දක්වන ආකාරයක් දැකගත හැකි විය. එහිදී විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට විහිළුවෙන් විහිළුවෙන් සිනාසෙමින් යුතුව කියා සිටියේ ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රිවරුන් පසුපස විවිධ පිරිස් තොරතුරු සෙවීම සඳහා මේ වන විට පන්නමින් සිටින බවය. ඔවුන් යන එන තැන්, කතාබහ කරන දේවල් පවා එම පිරිස් විසින් සොයමින් සිටින බවද විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට කියා සිටින ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කියා සිටියේ අපි විපක්ෂයේ සිටි කාලයේ නම් එවැනි සිදුවීමක් සිදුවද්දී නිහඬව නොසිටි බවය.
“අපි දන්නෑ ඇත්තටම ඔහොම දෙයක් වෙනවද නැද්ද කියල. හැබැයි ඉතින් අපි විපක්ෂයේ ඉන්න කාලෙ නම් ඔය වගේ දෙයක් ආරංචි වුණොත් අපි නම් ප්‍රසිද්ධියේ කියනවා. ඕගොල්ලොත් ඔය කතාව ඇත්තක් නම් පාර්ලිමේන්තුවෙ කියන්න..” යනුවෙන් කියමින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ද විහිළුවෙන් විහිළුවෙන් විපක්ෂ මන්ත්‍රිවරුන්ට කියන ආකාරයක් දැකගත හැකි විය.
පළිගැනීම් කතා කරන්න ගැටුම් මැද විපක්ෂයට දින දෙකක්
2010 – 2015 සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට භාරදී තිබේ. ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක්ම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇත්තේ මේ හරහා ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමට සැලැසුම් කර ඇති බවත්, විපක්ෂයේ ප්‍රධානීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඒ හරහා ආණ්ඩුව සැලැසුම් කර ඇති බවත් කියමිනි. ඒ අනුව විපක්ෂය මෙම කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි අතර, ආණ්ඩුවද මුලින් මේ සඳහා දින දෙකක විවාදයක් ලබාදීමට සැලැසුම් කර තිබිණ.
ආණ්ඩුව එම තීන්දුව ගත්තේ පසුගිය සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂය මෙම ඉල්ලීම ඉදිරිපත් කළ අතර, ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දැනුම්දී තිබුණේ පාස්කු විවාදය අවසන් කිරීමෙන් පසු දින දෙකක කාලයක් ඒ සඳහා ලබාදිය හැකි යැයි කියාය. කෙසේ වෙතත් ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මෙහිදී තර්කයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ වාර්තාව අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය නොහැකි යැයි කියාය. සබ්‍රි ඉදිරිපත් කළ මෙම තර්කයට කිරිඇල්ල, සුමන්තිරන්, අනුර එකඟ වූයේ නැත. විශේෂයෙන් කිරිඇල්ල පෙන්වා දුන්නේ නඩුවක් පවරා ඇති මොහොතක විවාදයක් පැවැත්විය හැකි බවකි. තවමත් නඩුව විභාගයට ගෙන නොමැති නිසා ඊට බාධාවක් නොමැති බවද කිරිඇල්ල පෙන්වා දුන්නේය. මෙම තර්කය මුල්කරගෙන ආණ්ඩුව කිසියම් හිරවීමකට ලක්වූ ආකාරයක් එහිදී දැකගත හැකි විය. ඒ අනුව නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගතයුතු බවද ආණ්ඩුව එහිදී සඳහන් කර සිටියේය.
එම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනය. මෙම පක්ෂ නායක රැස්වීමට වෙනදා මෙන් නොව සජිත් ඇතුලු විපක්ෂයේ සියලුම ප්‍රධානීන් සූදානම්ව සහභාගි වූ ආකාරයක් දැකගත හැකි විය. ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගිව සිටියහ. මෙහිදී රැස්වීම ඉතා උණුසුම් වූයේ විපක්ෂය ආණ්ඩුවේ මෙම වාර්තාවට එරෙහිව කරුණු දක්වද්දී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගිව සිටි දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊට එරෙහිව කරුණු දැක්වීමත් සමගය. කෙසේවෙතත් පසුව කතානායකවරයා විපක්ෂයේ තර්කය පිළිගනිමින් විවාදයක් ලබා දිය හැකි බව ප්‍රකාශ කළ අතර චමල් කියා සිටියේ 21-22 යන දෙදින ඒ සඳහා ලබා දිය හැකි යැයි කියාය.