• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

දිග්ගැස්සුණු යූ.එන්.පී. අවුල

August 23, 2019
in Rajya Rahas
Reading Time: 23 mins read
A A
දිග්ගැස්සුණු යූ.එන්.පී. අවුල
Share on WhatsAppShare on Facebook

එජාපයේ ‌කෝටියක් වතුරේ

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය අප අවසන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නව පෙරමුණ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳුදා (05දා) දිනයේ පිහිටුවන බවට එජාපය තුළ වූ එකඟතාවය සඳහන් කරමිනි. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණා පමණක් නොව සෑම ආසනයක්ම නියෝජනය කරමින් පැමිණීමට පාක්ෂිකයන්ට බස් පවා වෙන්කර තිබූ අතර, ස්වාමීන් වහන්සේලාටද, සම්භාවනීය අමුත්තන්ටද ආරාධනා කිරීමද අවසන් කර තිබිණි. එමෙන්ම ඒ වෙනුවෙන් එජාපය රුපියල් කෝටියකට අධික වියදමක්ද දරා තිබිණ.
කෙසේ වෙතත් අවසන් වරට පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත්ව ඉල්ලා විශාල ගාලගෝට්ටයක් සිදුකිරීමට මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු කටයුතු කිරීම නිසා සජිත් එක්වරම පක්ෂය ඇතුළේ ඉදිරියට පැමිණියත් ඉන් අනතුරුව පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවැති ඡන්ද විමසීමත් සමඟ සජිත් විශාල කඩාවැටීමකට ලක්වූ ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ හරහා පක්ෂය ඇතුළේ රනිල් ශක්තිමත් වූ ආකාරයක්ද පෙනෙන්නට තිබිණ. එතැන් සිට දිගින් දිගටම සජිත්ට වෙනත් පාර්ශවයන්ගෙන් විශාල ලෙස බලපෑම් එල්ල වූ අතර එම බලපෑම්වලින් කියැවුණේ කෙසේ හෝ සඳුදා දිනට අස්සන් තැබීමට නියමිතව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ වැඩකටයුතු කඩාකප්පල් කරන ලෙසටය. එම බලපෑමත් සමඟ සජිත්ගේ පාර්ශ්වයෙන් සුගතදාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සන්ධානය බිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කිරීමේ විශාල මෙහෙයුමක්ද තිරය පිටුපස දියත්වන්නට විය. මෙය කෙතරම් දුරට, අතිශය පෞද්ගලික ලෙස සිදුවූවාද කියනවා නම් සන්ධානයට එක්වීමට නියමිතව සිටි රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන සුළු ජාතික පක්ෂවල ප්‍රධාන නායකයන් මුණගැසී සාකච්ඡා කිරීමට පවා සජිත් ඇතුළු ඔහුට සහාය දක්වන කණ්ඩායම පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් එම සුළු ජාතික පක්ෂ නායකයන්ව බියවද්දමින් කියා සිටියේ මේ අවස්ථාවේදී සන්ධානය මුල්කරගෙන එජාපය ඇතුළේ විශාල අර්බුදයක් මතුවී ඇති බවත්, එවැනි තත්ත්වයක් යටතේ සන්ධානය අස්සන් කළහොත් ඊට දිගුකල් පැවැත්මක් නොමැති වනු ඇති බවත්ය.

සන්ධාන නායකයන්ගේ විරෝධය

සජිත් පාර්ශ්වයෙන් මෙම ප්‍රකාශවලින් සන්ධාන නායකයන් කෙතරම් කලබල වූවාද කියනවා නම් වහාම රනිල්ට කතා කළ එම සන්ධාන නායකයන් කියා සිටියේ සන්ධානය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇත්නම් ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු යැයි කියාය. ඒ අනුව සිකුරාදා (02දා) දිනයේ හදිසි රැස්වීමක් පැවැත්වීමටද සන්ධාන නායකයෝ කටයුතු කළහ.
මෙම රැස්වීමේදී කිසිවකුත් නොසිතූ ආකාරයට සියලුම සන්ධාන නායකයන් රනිල්ට දැනුම් දී සිටියේ එජාපය තුළ සන්ධානය සම්බන්ධයෙන් අර්බුද මතුවී ඇති අවස්ථාවක ඊට අස්සන් තැබීමට නුසුදුසු යැයි කියාය. එම නිසා සන්ධානය අස්සන් තැබීම කල් දැමිය යුතු බවටද සුළු ජාතික පක්ෂ නියෝජිතයෝ රනිල්ට පෙන්වා දුන්හ. කෙසේ වෙතත් අනෙක් පැත්තෙන් චම්පික, රාජිත වැනි සන්ධාන නායකයන් කියා සිටියේ මේ මොහොතේ සන්ධානය කඩාබිඳ දැමුවහොත් එහි වාසිය රාජපක්ෂ කඳවුර විසින් අත්පත් කරගනු ඇති බවකි. 11 වැනිදා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට නියමිත බව එහිදී පෙන්වා දුන් චම්පිකත්, රාජිතත් නියත වශයෙන්ම සන්ධානය ගොඩනැංවිය යුතු බවද අවධාරණය කර සිටියහ. යම් හෙයකින් සන්ධානය කඩාවැටුණොත් එය මානසික සහ දේශපාලනික පසුබෑමක් වනු ඇති බවත්, ඒ හරහා එජාපයේ ජයග්‍රහණය වැළකී යනු ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

සජිත් ‌ගෙවල්වලටම යයි


නමුත් අනෙකුත් පාර්ශ්වයේ අදහස වූයේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස වැන්නකු සන්ධානය අස්සන් නොකරන ලෙසට බලපෑම් කරද්දී සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ මන්ත්‍රිවරුන් එම මතයම දරද්දී ඊට අස්සන් තබන්නේ කෙලෙසකද යන්න කියාය. අවසානයේදී රනිල්ද කියා සිටියේ පක්ෂයත් සමඟ තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට කටයුතු කළ යුතු බවකි. ඒ අනුව සිකුරාදා පැවැති එම රැස්වීම අවසන් වූයේ කිසිදු එකඟතාවයකින් තොරවය. එමෙන්ම සෙනසුරාදා යළිත් වතාවක් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද රනිල් තීන්දු කළේය.
මෙම රැස්වීමෙන් පසුවද සන්ධානයේ පක්ෂ නායකයන් හට සජිත් පාර්ශ්වයෙන් එල්ල වූ බලපෑමේ අඩුවක් දැකගන්නට ලැබුණේ නැත. සජිත් පෞද්ගලිකවම හකීම් සහ රිෂාඞ්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. මීට අමතරව ඇතැමුන් සඳුදා දිනයේදී සන්ධානයට අස්සන් නොකරන ලෙසට රිෂාඞ් හා හකීම්ට යෝජනා කිරීමටද කටයුතු කළේය.
ඒ අතරවාරයේ රනිල් බලා සිටියේ බ්‍රහස්පතින්දා දිනයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එකඟ වූ පරිදි කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම නව සන්ධානයේ ව්‍යවස්ථාවට සිදුකළ යුතු සංශෝධන රැගෙන එන තෙක්ය. නමුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටම ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා අගමැති කාර්යාලයෙන් මලික් හා කබීර් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. ඊට හේතුව වූයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටම ඔවුන් දෙදෙනාගේ ජංගම දුරකතන ක්‍රියා විරහිත කොට තිබීමය. එක් අවස්ථාවකදී රනිල්ද පෞද්ගලිකවම එම දුරකතන අංකවල ඇමැතීමට උත්සාහ කළත් එයද සාර්ථක වූයේ නැත. විවිධ පාර්ශ්වයන් හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයද අවසානයේදී සාර්ථක වූයේ නැත.

හම්බන්තොටින් බස් ‌ගෙන්නයි

සෙනසුරාදා දිනයේ උදේ වරුවම රනිල් වෙන්කර තිබුණේ එජාපයේ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරුන් මුණගැසීමටය. ඔවුන් පක්ෂ මහලේකම් අකිලගෙන් කර තිබූ ඉල්ලීමට අනුව රනිල් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් තුනකට බෙදා ඔවුන්ව මුණගැසීමට පියවර ගත්තේය. එහිදී එජාප මන්ත්‍රිවරුන්ද රනිල්ගෙන් ඉල්ලා සිටියේ සන්ධානය අස්සන් තැබීමේ කටයුතු ටික දිනකට පමා කරන ලෙසටය. තවත් සමහරුන් කියා සිටියේ නැවැත වතාවත් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා ලෙසය. තවත් සමහරුන් කියා සිටියේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමෙන් අනතුරුව මෙම සන්ධානය අස්සන් තැබීමට පියවර ගන්නා ලෙසය. කෙසේ වෙතත් සමස්තයක් ලෙස සියල්ලන්ගේම අදහස වූයේ සන්ධානය පිහිටුවීම නවතා දමන ලෙසය.
මේ අතරවායේ අකිලට පැති කිහිපයකින්ම තොරතුරු වාර්තා වූයේ පවතින විරෝධය නොතකා සන්ධානය අස්සන් තැබීමට සඳුදා දිනයේදී පියවර ගතහොත් එය කඩාකප්පල් කිරීම සඳහා සජිත් කිසියම් වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවය. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද, තවත් දිස්ත්‍රික්ක කිහිපයකින්ද ජනතාව පුරවා බස් රථ කිහිපයක්ම කොළඹට ගෙන්වීමට සැලැසුම් කොට ඇති බව අකිලට දැනගන්නට ලැබිණ. ඒ අනුව වහාම අකිල ඒ පිළිබඳව රනිල් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

සන්ධානය වැටෙයි – ‌පොහොට්ටුව චූන් ‌වෙයි

ඒ අනුව අවසානයේදී රනිල් සෙනසුරාදා දිනයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවීමටද පියවර ගත්තේය. එහිදී සියලුම පක්ෂ නායකයන්ට රනිල් කියා සිටියේ මතුව ඇති තත්ත්වය මත සන්ධානය අස්සන් කිරීමේ උත්සවය තාවකාලිකව කල් දැමීමට සිදුව ඇතැයි කියාය. ඒ අනුව පක්ෂ මහලේකම් අකිලටද මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කරන ලෙසටද රනිල් දැනුම්දී සිටියේය. ඇත්තවශයෙන්ම සන්ධානය ගොඩනඟා ඒ ලබාගන්නා දේශපාලන සහ මානසික හයියෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විශාල පිම්මක් පැනීමට එජාපය සූදානමින් සිටියද මේ ආකාරයට සන්ධානය අස්සන් තැබීම කඩාවැටීම එජාපය පැත්තෙන් ඉතාම අවාසනාවන්ත සිදුවීමක් විය. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරණයේදී මෙය විශාල හානියක් බවට පත්වීමට නියමිත වුවත් කළ හැකි කිසිවක් නොමැති නිසා අවසානයේදී රනිල්ටද එතැනට තල්ලු නොවී සිටීමට නොහැකි විය.
මේ තීන්දුවෙන් එජාපය ජනාධිපතිවරණ සටනේ ආරම්භයේදීම පියවර කිහිපයක් පසුපසට වැටුණද එජාපයේ මේ තීන්දුවෙන් තවත් කොටසක් මහත් උද්දාමයට පත්ව තිබිණ. ඒ වෙන කවුරුවත් නොව රාජපක්ෂ කඳවුරය. මෙම ආරංචිය ලැබීමත් සමඟ රාජපක්ෂ කඳවුර සතුටින් ඉපිලගොස් තිබුණේ සෙනසුරාදා, ඉරිදා දින දෙක ඉලක්ක කරගෙන ඒ වන විටත් පොහොට්ටුව මුළු රටම ඉලක්ක කරගනිමින් “වී-කැන්” නමින් ගෙන් ගෙට යෑමේ වැඩසටහනක් සැලැසුම් කර තිබූ නිසාය. බැසිල් එය සැලැසුම් කර තිබුණේ සෙනසුරාදා උදෑසන 7.54ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කිරීමටය.

පෝස්ටර්වලින් ‌කොළඹ නාවයි


මේ ආකාරයට එජාප සන්ධානය කඩාවැටුණු තීන්දුවෙන් රාජපක්ෂලා උද්දීපනය වෙද්දී සජිත් කඳවුර සතිඅන්තයේ කළ තවත් වැඩක් නිසා එජාපය තවත් අවුලෙන් අවුලට පත්වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඒ අනුව එජාපය ඇතුළේ අර්බුදය තවත් උත්සන්න වූයේ සජිත් සෑම දිස්ත්‍රික්කයක්ම ඉලක්ක කරගෙන “2020ට අපෙන් සජිත්’ සහ ‘සජිත් එනවා” යනුවෙන් පෝස්ටරයක් ඇලවීමට කටයුතු කිරීමත්, සජිත් ජනපති අපේක්ෂකත්වයට නම් කළ යුතු බව කියමින් අස්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමඟය. මීට අමතරව කොළඹ නමක් ගමක් නොමැතිව තවත් පෝස්ටරයක් ඇලවී තිබුණු අතර ඉන් කියැවුණේ “ජනපති මරා රජ වෙන්න හැදව මිනීමරු රනිල් එලවා දමමු” යැයි කියාය. ඒ හරහා පක්ෂය ඇතුළට පමණක් සීමා වී තිබූ අර්බුදය මහපාරේ දෝරේගලන තත්ත්වයට පත්ව තිබූ ආකාරයක් පසුගිය සතිඅන්තය වන විට දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් මේ ආකාරයට විරෝධය මතම සන්ධානය අත්හිටුවා ගැනීම විශාල ජයග්‍රහණයක් ලෙස සජිත් පිල සිතුවද ඉරිදා සවස් වන විටම එය එජාපයේ විශාල පසුබෑමක් බව මෙම කණ්ඩායමට වැටහී ගියේ පොහොට්ටුවේ ගෙන් ගෙට යන ව්‍යාපාරය අතිශය සාර්ථක එකක් බවට පත්ව තිබීමත් සමඟය. විපක්ෂයේ අපේක්ෂකයා යැයි කියන ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේම සහාය පළ කරන හිරු, දෙරණ යන නාලිකා එජාපයේ අර්බුදය තලුමරමින් සතිඅන්තයේ විවිධ ආකාරයේ පුවත් පලකරන ආකාරයක් දැකගත හැකි විය. අනෙක් පසින් පසුගිය කාලසීමාව පුරාම රනිල්ට දිගට හරහට පහරදුන් සිරස නාළිකාව මෙම සන්ධානය අස්සන් තැබීම අත්හිටුවීම සජිත්ගේ ජයක් ලෙස රටට පෙන්වීමට පියවර ගත්තේය. ඒ අනුව විද්‍යුත් මාධ්‍යවලින් තරගයකට මෙන් එජාපයේ අර්බුදය විවිධ කෝණවලින් රටට ඉදිරිපත් කිරීම නිසා එජාපය රට ඇතුළේ විශාල කඩාවැටීමකට ලක්වෙමින් පවතින බවක් මෙම සතිය ආරම්භ වන විටම පෙනෙන්නට තිබිණ. එය වටහාගත් නිසාදෝ සජිත්ව ඉල්ලා කණ්ඩායම් රැස්වීමේදී පරසක්වල ගැසූ අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ, එරාන් වැන්නවුන් සඳුදා වනවිට තම කටවල්වල සද්දය ටිකක් අඩුකර ගැනීමට කටයුතු කළහ. ඊට හේතු වූයේ එජාපයට විශාල දේශපාලන ශක්තියක් ගෙන ඒමට තිබූ සන්ධානය කඩාකප්පල් කිරීමේ චෝදනාව ඔවුන්ගේ හිස මතට වැටෙන ආකාරයක් දැකගැනීමට තිබූ නිසාය.

නවීන්ගෙන් කබීර්ට-සාගලට ‌දොස්


සඳුදා දිනයේදී නැවත වතාවක් කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ මෙවැනි පසුබිමක් මැද්දේය. මතුවෙමින් තිබූ තත්ත්වය තුළ එම රැස්වීමේදී විශාල මතගැටුම් සහ ගාලගෝට්ටි සිදුවනු ඇති බවට බොහෝ දෙනා කල්තියා මත පලකර සිටියද එදින සිදුවූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. එනම් එදින සුජීව, අජිත් පෙරේරා, හර්ෂ, එරාන් වැනි සජිත්වාදීන් සියල්ලම වචනයකුදු නොකියා නිහඬව සිටීම විශේෂ සිදුවීමක් විය. අවම වශයෙන් සජිත් හෝ කිසිවක් නොකියා නිහඬව සිටිනු දැකගත හැකි විය.
නමුත් රැස්වීම උණුසුම් වූයේ මාතෘකාව වෙනස් කරමින් නවීන් දිසානායක සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක හෙළිදරව්වත් සමඟය. නවීන් මෙම හෙළිදරව්ව සිදුකළේ එජාපයේ ප්‍රබලයන් දෙදෙනකු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සැලකෙන ගෝඨාභයගේ නිවෙසට ගොස් ඔහුව හමුවීමක් පිළිබඳවය. මෙම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ පක්ෂයේ සභාපති මෙන්ම සජිත් පිලේ ප්‍රබලයකුද වන කබීර් හෂීම්ය. අනෙකා වන්නේ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම රනිල් පාර්ශ්වයේ ප්‍රබලයකු වන සාගල රත්නායකය. මේ දෙදෙනාම පසුගිය දිනෙක එකම මොහොතේ ගෝඨාගේ නිවසට ගොස් ඇති බව මෙහිදී හෙළි කළ නවීන් ජනාධිපතිවරණයක් කටමුල තියා මෙවැනි දේ කිරීමෙන් පක්ෂය ඇතුළේ පමණක් නොව එළියේ පවා බරපතළ අර්බුදයක් මතුකරන බව පෙන්වා දුන්නේය.
“දැන් ජනාධිපතිවරණයක් කට ළඟ එනවා. ඒ පැත්තෙන් ඉල්ලන්නෙ ගෝඨා කියල කියනවා. එහෙම තියෙද්දි අපේ පැත්තෙ වගකිවයුතු ජ්‍යෙෂ්ඨයො දෙන්නෙක් හොර රහසෙම ගිහිල්ල ගෝඨාභයව හම්බුවෙනවා. එක්කෙනෙක් පක්ෂයේ සභාපතිතුමා. අනෙක් කෙනා අගමැතිතුමාගෙ කාර්ය මණ්ඩල ප්‍රධානියා. මේක මේ දවස්වල සෝෂල් මීඩියාවල උඩ දාගෙන ගහනව. එක එක අර්ථකථන දෙනවා. ගිහින් ඒ අයත් එක්ක ඩීල් දානවා කියනවා. එහෙම එක එක්කෙනාව හම්බවුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොරෙන් ගිහිල්ල ඒ අයත් එක්ක කතා කරද්දි යූ.ඇන්.පී. එකේ මොරාල් එක වැටෙනවා. අපි අපි අතරම සැක මතුවෙනවා. මේ වගේ දවල් මිගෙල්, රෑ දැනියෙල් විදිහට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයො හැසිරෙද්දි අපි කොහොමද කැම්පේන් එකක් කරන්නෙ.” යනුවෙන් නවීන් දැඩි ලෙස දොස් පවරද්දී පළමුවෙන්ම ඊට පිළිතුරු දුන්නේ සාගලය. “මම දවල් ගෝඨාභය හම්බුවෙන්න ගිය නිසා මම දවල් මිගෙල් වෙන්න ඇති” යනුවෙන් විහිළුවක් කරමින් කතාව පටන්ගත් සාගල කියා සිටියේ තමන් ගියේ ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව සොයාබැලීමට බවත්, ඒ බව අගමැතිවරයාට දන්වා ගිය බවත්ය. නමුත් සාගලගේ උත්තරය කිසිවකුත් ගණන් ගන්නා බවක් පෙනෙන්නට නොතිබිණ. ඉන් අනතුරුව තමා ගිය හේතුව කබීර් මන්ත්‍රි කණ්ඩායමට පැහැදිලි කර සිටියේය.

චම්පිකගෙනුත් කබීර්ට ප්‍රහාරයක්


“මම අසනීප වෙලා ඉඳිද්දි දිලිත් ජයවීරත් එක්ක ගෝඨාභය ආව මාව බලන්න. එතුමා බයිපාස් එකක් කරල සිංගප්පූරුවෙ ඉඳන් දැන් ගෙදර ඇවිත් ඉන්න නිසායි මම එතුමව බලන්න ගියේ. ඒ ගියේ මනුස්සකමට” යනුවෙන් කබීර් කියද්දී නැවැතත් ඊට බාධා කළේ නවීන්ය.
“ඔබතුමා කියන එක හරි වෙන්න පුළුවන්. මමත් දන්නව දේශපාලනයේ සදාකාලික හතුරොත් නෑ, සදාකාලික මිතුරොත් නෑ කියලා. මගේ අම්ම අසනීප වෙලා ඉන්නකොටත් රාජපක්ෂවරුන් ආව අපේ අම්මව බලන්න. නමුත් එහෙම වුණා කියලා මේ වගේ තීරණාත්මක වෙලාවක එහෙම ගියාම එළියට එන්නෙ වෙන කතාවක්. දේශපාලනයේදී එහෙම දෙයක් තේරුම් ගන්නවත් බැරිනම් දේශපාලනය කරන එකේ තේරුමකුත් නෑ.” යනුවෙන් කියමින් නවීන් දිගටම කබීර් සහ සාගල විවේචනය කරමින් අදහස් දක්වන්නට විය.
ඉන් අනතුරුව කතා කළේ චම්පිකය. දින දෙක තුනක් තිස්සේම එජාපයේ ඇතැම් මැති ඇමැතිවරුන් චම්පික, රාජිත ඉලක්ක කරගෙන ත්‍රීවීල් පක්ෂ යැයි කියමින් සිදුකර තිබූ විවේචන හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි චම්පික ඔවුන්ගේ එම ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් ඉතා උද්වේගකර කතාවක් එහිදී කිරීමට කටයුතු කළේය. එපමණක් නොව සිය කතාවේදී චම්පික මෙම සන්ධානය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ, 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ආකාරය, යූ.ඇන්.පී.යට අද රට ඇතුළේ ඇති තත්ත්වය පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්ම දීර්ඝ විස්තරයක්ද කළේය. එජාපයෙන් කවුරු ඉදිරිපත් වුවද එම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට නම් සියලු පක්ෂ එක්කර සන්ධානයක් බිහිකිරීම අනිවාර්ය සාධකයක් බවද චම්පික එහිදී කියා සිටියේය. එමෙන්ම කාටත් හොර රහසේ කබීර්ලා, සාගලලා ගොස් ගෝඨාභය හමුවීමද චම්පිකගේ දැඩි විවේචනයට ලක්විය.

පොන්සේකාගෙනුත් ‌ෂොට් එකක්


“දැන් බලන්න නවීන් ඇමැතිතුමා කිව්වා පක්ෂයේ සභාපතිවරයම ගිහිල්ලා විපක්ෂයේ අපේකෂකයා හොර රහසේම හමුවෙලා තියෙනවා කියලා. ඒ වගේ දෙයක් කරන වෙලාවක්ද මේක? අපි දැක්ක සහරාන්ගෙ බෝම්බයෙන් පස්සෙ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් ඇමැතිවරුන් ඒකමතික තීන්දුවක් අරගෙන ඇමැතිකම්වලින් අයින් වෙනව. හැබැයි අන්තිමේ අගමැති දන්නෙත් නෑ එතුමගෙ පක්ෂෙ සභාපති හොරෙන්ම ගිහිල්ල ජනාධිපතිවරයා ඉස්සරහ දිවුරුම් දෙනවා. අගමැතිතුමා දන්නෙ නිවුස් ඇලර්ට් එක ආපුවහම. අපිට මේ විදිහට ගිහින් ජනාධිපතිවරණයට මුහුණදෙන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලාම ඔබතුමාල පක්ෂය ඇතුළෙ ප්‍රශ්න විසඳගන්න. ඊට පස්සෙ ඔබතුමාල තීන්දු කරන්න සන්ධානෙකට යනවද නැද්ද කියල. හැබැයි ඔබතුමාල මොන තීන්දුව ගත්තත් නැතත් අපි අපේ දේශපාලන ගමන ඉස්සරහට යනවා…” යනුවෙන් චම්පික කියද්දී රනිල්ද කියා සිටියේ මින් ඉදිරියට කිසිවකුත් අනෙකුත් පක්ෂ විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි කියාය. එමෙන්ම එළියේ ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකිය යුතු බවද රනිල් මෙහිදී මන්ත්‍රිවරුන්ට තදින් දැනුම් දී සිටියේය.
චම්පිකගෙන් පසුව අදහස් දැක්වීමට පටන්ගත්තේ සරත් ෆොන්සේකාය. සන්ධානය අස්සන් තැබීම කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ෆොන්සේකා දැඩිව සිය විරෝධය එහිදී පළ කළේය.
“සන්ධානයක් හදන්නෙ නැතිව යූ.ඇන්.පී. එක හිතනව නම් තනියෙන් ගිහිල්ලා දිනන්න පුළුවන් කියල ඒක හීනයක් විතරයි. 2015දි අපි කොච්චර අමාරු කැම්පේන් එකක් කරලත් අන්තිමේ දින්නෙ පොඩි ඡන්ද ගාණකින්. අපි රට වටේම ගිහිල්ල රාජපක්ෂවරුන්ට විරුද්ධව එදා විශාල හඬක් නැඟුව. අපිට කොච්චර ගැහුවත්, අපිව හිරේ දැම්මත් අපි රාජපක්ෂවරුන්ට යටවුණේ නෑ. බය වුණෙත් නෑ. ඒ වගේ අපි රට වටේ යද්දි සමහර කට්ටිය තිස්සමහරාමෙට විතරක් වෙලා වැඩ කළා. ඒ අය හිතුවෙ මහින්ද දිනයි කියල. සමහරු එහෙමයි වැඩ කළේ. මෙතැන ඉන්න පක්ෂවල නායකයො එකතු වෙලා තමයි එහෙම වැඩ කරල යූ.ඇන්.පී. එකට එදා බලය අරන් දුන්නෙ. ඒ නිසා කකුලෙන් ඇදල සන්ධාන හදන එක කඩල කාටවත් දිනන්න බෑ…” යනුවෙන් ෆොන්සේකා කියද්දී රාජිතද අදහස් දක්වමින් ෆොන්සේකාගේ කතාව තවත් ඉදිරියට රැගෙන ගියේය.

රාජිතගේ සටන රාජපක්ෂලා එක්ක


“මෙතැන ඉන්න රාජ්‍ය, නියෝජ්‍ය මන්ත්‍රිවරු ටිකක් මම දැක්ක ටීවීවලට ගිහිල්ල අපිට ත්‍රීවීල් පක්ෂ කියල පහර දෙනවා. මන් දැක්ක සුජීව ඇමැතිතුමත් ප්‍රෙස් එකක් තියල අපිට අපහාස වෙන විදිහට කතා කළා. තව මන්ත්‍රිවරු ඇවිල්ල කිව්ව සන්ධාන ගහන්න ඕනෙ නෑ කියලා. මම නම් මේ කිසිදේකට උත්තර දෙන්න යන්නෙ නෑ. මොකද මගේ සටන තියෙන්නෙ යූ.ඇන්.පී. එකත් එක්ක නෙමෙයි. මගේ සටන තියෙන්නෙ රාජපක්ෂලත් එක්ක. මේ සිල්ලර කතාවලට ඒක නිසා මම උත්තර දෙන්නෙ නෑ. හැබැයි මම එකක් කියන්නම්. ජනාධිපතිවරණය දිනන්න නම් මේ සියලු පාර්ශ්ව එක්වෙන්න ඕනෙ. දැන් සන්ධානෙ ගහන්න බැරි හින්ද අපිත් එක්ක එන්න හිටපු සමහර පක්ෂ, සමහර මන්ත්‍රිවරු දැන් රාජපක්ෂලත් එක්ක සාකච්ඡා කරන්න පටන් අරන්. ඒ අයටත් දැන් විශ්වාසයක් නෑ මේ විදිහට ගිහිල්ල අපි දිනයිද කියලා. සන්ධානයක් හැදෙන එකක් නැද්ද කියලා. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙන්න ඕනෙ. සන්ධානයක් ගොඩනඟන්න ඕනෙ. එහෙම නැත්නම් වෙන්නෙ ඔක්කොටම විනාශ වෙන්න තමයි…” යනුවෙන් රාජිත කියද්දී රාජිත පුත් චතුරද අදහස් දැක්වීමට පටන් ගත්තේය. චතුරද කියා සිටියේ අනෙක් සුළු පක්ෂවලට පහර ගැසීම වැරැදි ක්‍රියාවක් බවත්, පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එම පක්ෂ ගෙයින් ගෙට යමින් විශාල මතවාදයක් ගොඩනැඟූ බවත්ය. එම නිසා මේ ආකාරයට තවදුරටත් අවලාද නඟන්නේ නම් තුන්වන අපේකෂකයකු ඉදිරිපත් කිරීමට තම පාර්ශ්වයන් සූදානම් බවද චතුර එහිදී දැඩිව කියා සිටියේය.

මයන්තගෙන් ආ අලුත් ‌යෝජනාව


මේ ආකාරයට මන්ත්‍රී කණ්ඩායම තුළ සන්ධානයක අවශ්‍යතාව මතුවෙද්දී කිසිවකු ඊට එරෙහිව අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් පසුගිය මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බොහෝ දෙනකු සජිත්ගේ නම ජනපති අපේක්ෂකත්වය සඳහා යෝජනා කළද මෙවර කිසිවකුත් නොසිතූ පරිදි මයන්ත දිසානායක කතා කරමින් කියා සිටියේ පක්ෂ නායකයා වශයෙන් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කියාය.
“අපි බෙදිල වෙන් වෙලා ගිහිල්ල වැඩක් නෑ. ඔක්කොම එකතු වෙලා ඡන්දෙට යන්න ඕනෙ. අනෙක ඇයි ජනාධිපතිවරණයට පක්ෂ නායකයා විදිහට ඔබතුමා ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ. ඒකයි පක්ෂයේ සම්ප්‍රදාය. ඉස්සෙල්ලාම ඔබතුමා අපිට කියන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා…” යනුවෙන් මයන්ත කියද්දී රනිල් කියා සිටියේ පක්ෂය ඇතුළේ සාකච්ඡා කිරීමෙන් පසුව ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගතයුතු යැයි කියාය. එවිට මන්ත්‍රිවරුන් බොහෝදෙනකුම කියා සිටියේ සජිත් හා රනිල් මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගතයුතු යැයි කියාය. ඊට රනිල්ගේද, සජිත්ගේද එකඟතාවය හිමිවූ බැවින් ඉක්මණින්ම ඒ සඳහා දිනයක් යොදාගැනීමටද තීන්දු විය.

සජිත්ට බරපතළ ‌චෝදනාවක්…


ඒ අනුව කිසිදු තුන්වැනි පාර්ශ්වයක් නොමැතිව රනිල් හා සජිත් අතර පසුගිය සතියේදී අවස්ථා දෙකකදීම රහසිගත සාකච්ඡා පැවැත්විණ. මුල් සාකච්ඡාවේදී දෙදෙනා අතර සාකච්ඡා වූයේ සන්ධානය ගොඩනැඟීම පිළිබඳවය. මෙම සාකච්ඡා ඉතා රහසිගතව පැවැති නිසා එහි වැඩිදුර තොරතුරු දැනගන්නට නැතත් නියත වශයෙන්ම එහිදී සන්ධානය ගොඩනැඟීමට දෙදෙනා අතර එකඟතාවයක් ඇති විය. රනිල් දැඩිව කියා සිටියේ එය කඩාකප්පල් කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවකි. සජිත්ද ඊට අනුකූලතාව දක්වමින් පසුපෙළ මන්ත්‍රිවරුන් ඊට දක්වන විරෝධය අවසන් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය. එමෙන්ම පක්ෂයේ ඇතැමුන් කී කතා නිසා සන්ධාන නායකයන්ගේ සිත් රිදී ඇත්නම් තමන් පෞද්ගලිකවම ඔවුන් සමඟ සාකච්ඡා කරන බව සජිත් රනිල්ට දැනුම්දී සිටියේය.
දෙදෙනා අතර දෙවැනි සාකච්ඡාව පැවතියේ අඟහරුවාදා රාත්‍රියේය. එහිද සාකච්ඡා වූයේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳවය. එහිදී සජිත් කෙළින්ම රනිල්ගෙන් විමසා සිටියේ ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද කියාය. රනිල් ඊට දුන්නේ කෙටි පිළිතුරකි. “ඔව් මම එනවා. මම දැනටමත් ඒකෙ කැම්පේන් එක පටන් අරන් තියෙන්නෙ” යන්න රනිල්ගේ පිළිතුර විය. නමුත් රනිල්ගේ මේ උත්තරයට සජිත්ගේ එකඟතාව පළවූයේ නැත. සජිත් කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ටද ජනතාවගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙනවා යැයි කියාය. නමුත් රනිල් කියා සිටියේ පක්ෂ නායකයා ලෙස තමන්ටද ඊට ඉදිරිපත්වන ලෙස පාක්ෂිකයන්ගෙන්, මන්ත්‍රීවරුන්ගෙන්, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බවකි. නමුත් තමන්ට නැවත හැරීමට නොහැකි බව මෙහිදී කියා සිටි සජිත් පක්ෂය ඇතුළේ මෙය සුබවාදී ලෙස අවසන් කරගත යුතු බවත්, ඉන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත් පෙන්වා දුන්නේය.
පසුව මෙහිදී රනිල්ගෙන් සජිත්ට බරපතළ චෝදනාවක් එල්ල විය. ඒ, සන්ධානය අස්සන් තැබීම කඩාකප්පල් කිරීම ගැනය.
“අපි තීන්දු කරල තිබ්බේ සන්ධානය හදලා පොහොට්ටුවට කලින් විශාල ගැම්මක් අරගෙන කැම්පේන් එක පටන්ගන්න. හැබැයි ඕගොල්ලො ඒක කඩාකප්පල් කළා. දැන් සන්ධානය කඩාකප්පල් කරපු එකෙන් පොහොට්ටුව ගෝඨාභය නම් කරලා ඒගොල්ලො ලොකු ගැම්මක් ගන්නවා. අපි අඩි කිහිපයක් පස්සට වැටුණා. අපට ඒ ගැම්ම ගන්න තිබුණු අවස්ථාව තමයි ඕගොල්ලො නැති කළේ” යනුවෙන් රනිල් සජිත්ට චෝදනා කරද්දී සජිත් කියා සිටියේ තමන් ඊට සම්බන්ධ නැතැයි කියාය.

අලුතෙන් එන සන්ධානය


“ඔයා ඒකට සම්බන්ධ වෙන්න නැතුව ඇති. හැබැයි ඔයා වටේ හිටපු අය තමයි ඒක කඩාකප්පල් කළේ. ඒක කාගෙ න්‍යායපත්‍රයකට අනුව කළාද කියලා ඔයාම හොයලා බලන්න. දැන් ආයෙ සන්ධානය හදන්න තව සති දෙකක් විතර යනවා. අපට කැම්පේන් එක පටන්ගන්න වෙන්නේ පොහොට්ටුවට අඩි කිහිපයක් පස්සෙ ඉඳන්” යනුවෙන් රනිල් කියා සිටිද්දී සජිත් නැවත විමසා සිටියේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් යැයි කියාය. නමුත් ඊට රනිල් පිළිතුරු දුන්නේ පළමු වතාවට කතානායක කරු ජයසූරිය මහතාගේ නමද ඈඳා ගනිමිනි.
“ඒක අපි තීන්දු කරන්නෙ කොහොමද? ඔයා කියනවා ඔයා එනව කියලා. මම කියනවා මමත් සූදානම් කියලා. දැන් අලුත්ම එක තමයි කරු ජයසූරිය මැතිතුමත් මේ සටනට ඇවිත් ඉන්නවා. මොකද හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් එතුමාව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීම් කරල තියෙනවා. එතකොට දැන් තුන්දෙනෙක් ඉන්න නිසා එක්කෙනෙක් ගැන විතරක් අපට තීන්දු කරන්න බැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම සන්ධානය හදමු. ඊට පස්සේ යූ.එන්.පී. එකයි, සන්ධානයයි ඔක්කොම එකට එකතු වෙලා ඔයාද, මමද, කරුද කියලා තීන්දු කරමු. අනෙක ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා රට වටේම පෝස්ටර් කටවුට් ගහලා පක්ෂය ඇතුළෙ බෙදීමක් ඇතිකළා. මට ආරංචියි පොහොට්ටුව ඇතුළෙත් අපේක්ෂකයා ගැන ලොකු අර්බුදයක් තියෙනවා. හැබැයි ඒ අය ඒක එළියට අරන් ආවේ නෑ. ඒ හින්දා එළියෙ අය මේක දැනගත්තෙත් නෑ. ඔයා මේ ප්‍රශ්නය එළියට අරන් ඇවිල්ලා මුළු රටටම දැනගන්න සැලැස්සුවා විතරක් නෙවෙයි පක්ෂය ඇතුළේ ප්‍රශ්නයකුත් හැදුවා” යනුවෙන් රනිල් කියද්දී සජිත් අවසානයේ සන්ධානය ගොඩනඟන වැඩපිළිවෙළට එකඟතාව පළකිරීමට කටයුතු කළේය.
මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ එජාප -සන්ධාන නායකයන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. ඊට සජිත් පාර්ශ්වය නියෝජනය කරමින් කබීර් හෂීම් සහභාගි වී සිටි අතර, චම්පික, රාජිත, රිෂාඞ්, දිගම්බරන් ඇතුළු පිරිසද ඊට එක්ව සිටියහ. විදෙස්ගතව සිටි නිසා හකීම් ඊට සම්බන්ධ වූයේ නැත. ඒ අනුව මෙහිදී කලින් ඇතිකර ගත් එකඟතාවකට අනුව සන්ධාන ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට පියවර ගැනිණි. එම සංශෝධනයන්ට අනුව අර්බුදයට මූලිකත්වය ගත් සන්ධානයේ මහලේකම්කම එජාපයට ලබාදීමට එකඟතාව පළ විය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර, එකඟතාවක් ඇතිකර ගැනීමට පිරිසට හැකි විය.
එමෙන්ම සන්ධානයේ නම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳා ගැනීමටද මෙහිදී පිරිස අතර එකඟතාවක් ඇති විය. ඒ අනුව සතියක් ඇතුළත ව්‍යවස්ථාව යළි සකස් කොට සන්ධානයේ නම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටද පිරිස මෙහිදී එකඟ වූහ.
ඒ අනුව මේ වන විට නව සන්ධානය ගොඩනැඟීමේ කටයුත්තට එජාපයේ සියලු පාර්ශ්වවල අනුමැතිය හිමිව තිබේ. නමුත් පක්ෂයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවමත් පක්ෂය ඇතුළේ ඇත්තේ විශාල අර්බුදයකි.

කබීර්ගේ පරණ ඩීල්


මේ සියල්ල අතරමැද්දේ මේ වන විට එජාපයේ ඇතැමුන් හා රාජපක්ෂවරුන් අතර ඇති රහස් ගනුදෙනුද පක්ෂය ඇතුළේ මාතෘකාවක් බවට පත්ව තිබේ. එය මුලින්ම එළියට පැන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නවීන් කළ හෙළිදරව්වත් සමඟය. ඒ අනුව අපිද නවීන් කළ මේ හෙළිදරව්වේ ඇත්ත නැත්ත සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ කබීර් ප්‍රසිද්ධියේ ගෝඨාට එරෙහිව පෙනී සිටින බව පෙන්නුවද, සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බවට පක්ෂයට පෙන්වා සිටියද හොර රහසේම රාජපක්ෂලා සමඟ රහස් ගනුදෙනු සිදුකරමින් සිටින බවය. කබීර් මේ ආකාරයට රාජපක්ෂලා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූයේ අද, ඊයේ පමණක් නොවේ. 2005 දී මහින්දට එරෙහිව හෙල්පින් හම්බන්තොට නඩුවේදීද කබීර් මේ ආකාරයටම රාජපක්ෂලා සමඟ රහස් ගනුදෙනුවක් සිදුකළේය. එහිදී මහින්දට එරෙහිව නඩුව පැවරුවේ කබීර් විසින් වුවද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහින්ද හෙල්පින් හම්බන්තොට නඩුවද ජයග්‍රහණය කළේය. පසුව මහින්ද තමන්ට අසත්‍ය පැමිණීලි කළ බවට කියමින් කබීර්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරද්දී කබීර් හොර රහසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟ අරලියගහ මන්දිරයට ගොස් මහින්ද මුණගැසී නඩු නොපවරන ලෙස ඉල්ලා මහින්දගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.
එදා වගේම මේ අවස්ථාවේදීද කබීර් කළේ පළමුව ගෝඨාට දුරකතන ඇමැතුමක් ලබාදී ඉන් අනතුරුව දෙරණ හිමිකරුවා වන දිලිත් ජයවීරටද ඇමැතුමක් ලබාදී ඔහුත් සමග ගෝඨාගේ නිවෙසට ගොස් හොර රහසේම සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කිරීමය. මෙසේ කබීර් හොරෙන්ම ගෝඨාගේ නිවෙසට ගොස් සාකච්ඡා පැවැත්වූ බවක් එම කතාව එළියට එන තෙක්ම කිසිවකුත් දැන සිටියේද නැත. ඒ අනුව කබීර් හා ගෝඨා අතර තිබූ රහස් ගනුදෙනුව කුමක්ද? දෙදෙනා හොර රහසේම සාකච්ඡා කිරීමට කටයුතු කළේ මොනවා ගැනද යන්න අදටද බරපතළ ගැටලුවකි.

මුලින් ආවේ කබීර්ද සාගලද?


කෙසේ වෙතත් මෙම සාකච්ඡාව එළියට පැමිණීම පසුපස ඇත්තේද තවත් අපූරු කතාන්දරයකි. එනම් මෙසේ කබීර් හා ගෝඨාභය අතර නිවස ඇතුළේ සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ගෝඨාගේ ආරක්ෂක නිලධාරීන් කලබලයෙන් පැමිණ සිදුකළ දැනුම්දීමක් ඊට හේතුවී තිබිණ. එහිදී ගෝඨාගේ ආරක්ෂක නිලධාරීන් කලබලයෙන් මෙන් පැමිණ කියා සිටියේ ගෝඨාභය හමුවීම සඳහා සාගල රත්නායක මහතාද පැමිණ සිටින බවකි. මෙහිදී කබීර් පමණක් නොව ගෝඨාභයද මුහුණදුන්නේ බරපතළ අසීරු තත්ත්වයකටය. ඒ අනුව ගෝඨාභය ආරක්ෂක අංශ වෙතින් විමසා සිටියේ මෙසේ හදිසියේම සාගල නොදන්වාම පැමිණීමේ හේතුව කුමක්ද කියාත්, ඉකුත් සතියේත් මේ අයුරින්ම සාගල පැමිණ තමන් සමඟ සාකච්ඡා කළ බවත්ය. සාගලව මගහැර කබීර්ටද පිටතට යෑමට හැකි මගක් නොවූ නිසා අවසානයේදී ගෝඨාභය කීවේ එසේ නම් සාගලට ඇතුළට එන්න යැයි කියන ලෙසය. ඒ අනුව සාගල නිවෙස තුළට පැමිණෙනවාත් සමඟම එහි ගෝඨාභයද සිටිනු දැකීමෙන් දෙදෙනාගේම ඇස් මොහොතක් විශාල වනු දැකගන්නට ලැබිණ. දෙදෙනාම පුදුමයෙන් මෙන්ම දෙදෙනා දෙස ඇහි පිල්ලම් නොගසා බලා සිටින ආකාරයක් දැකගන්නට හැකි විය. සාගලගේ අතෙහි ඒ වන විට ලිපිගොනු කිහිපයක්ද පැවැති අතර ඒවායේ තිබුණේ කුමක්ද යන්න අදටත් ඇත්තේ විශාල සැකයකි.
ඒ අනුව සාගල පැමිණෙන විට තමා ගෝඨාභයගේ නිවසේ සිටි බව නියත වශයෙන්ම එළියට යන ආකාරයක් කබීර්ට වැටහිණ. ඒ අනුව තවත් වැඩි වේලා එහි රැඳී නොසිට ගෝඨාගෙන්ද, සාගලගෙන්ද සමුගෙන වහා ඉවතට පැමිණි කබීර් සිද්ධිය වසා ගැනීම සඳහා වහාම කළේ කතාව අනෙක් පැත්ත ගසා තමා ගෝඨාභයගේ නිවෙසට යන විට සාගල එහි සිටි බවට කියමින් විවිධ අයට පණීවුඩ දීමය. නමුත් ඇත්තටම සිදුවූයේ සාගල පැමිණෙන විට කබීර් ගෝඨාභය සමඟ රහසිගත සාකච්ඡාවක නිරතව සිටීමය.
කෙසේ වෙතත් පෙර කී පරිදිම කබීර් යනු සජිත් පිල නියෝජනය කරන ප්‍රබලයෙකි. සාගල යනු රනිල් පිල නියෝජනය කරන ප්‍රබලයෙකි. දෙපාර්ශ්වයම නියෝජනය කරමින් මේ දෙදෙනා ගෝඨාභයගේ නිවෙසට පැමිණියේ කුමකටද, එහිදී කතා කළේ මොනවාද, සාගලගේ ලිපිගොනු තුළ තිබ්බේ මොනවාද, ඔවුනොවුන් අතර සිදුවූ ගනුදෙනු මොනවාද යන්න අදටද ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි.

හරීන් පැත්ත මාරු කළාද?


මීළඟට අප හෙළි කරන්නට යන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වජිර අබේවර්ධන හා ගෝඨාභය අතර පැවැති රහස් ගනුදෙනුවකි. පසුගිය සතියේදී අප මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ගෝඨාභයට මෙරට විදේශ ගමන් බලපත්‍රය ලබාදීම සඳහා වජිර පෞද්ගලිකවම මැදිහත් වූ බවකි. මේ සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනකුටම දුරකතන ඇමැතුම් ලබාදුන් බවකි. මෙහිදී අප හෙළි කරන්නට යන්නේ එම කතාවේම තවත් දිගුවකි. එනම් නිල නොවන ආරංචිමාර්ග අනුව අපට වාර්තා වී ඇත්තේ ගෝඨාගේ විදේශ ගමන් බලපත්‍රය සකස් කිරීමෙන් අනතුරුව වජිර විසින්ම එය ගෝඨාගේ නිවසට ගොස් ඔහුගේ අතටම ලබාදී ඇති බවකි. අප වජිර ගැන කළ මෙම හෙළිදරව්ව සමබන්ධයෙන් වජිර නිහඬව සිටියා විනා කිසිදු ප්‍රකාශයක් නිකුත් කළේ නැත. එමෙන්ම ආගමන විගමන පාලකවරයා සිටින්නේ නිහඬවය. නමුත් බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් වජිර කියා සිටියේ තවමත් ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි කිරීමේ ලියැවිල්ලක් තමන් වෙත ලැබී නොමැති බවකි.
ඊළඟ ගනුදෙනුව සිදුව ඇත්තේ කවුරුත් නොසිතන පුද්ගලයකු සමඟය. ඒ වෙන කවුරුවත් නොව හරීන් ප්‍රනාන්දුය. හරීන් එළියේ පෙනී සිටින්නේ ප්‍රබල යූ.ඇන්.පී.කාරයකු ලෙසටය. සජිත් වෙනුවෙන් එළිපිටම වැඩකරන්නකු ලෙසටය. සජිත් නැතිනම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද හරීන් පසුගියදා කීවේය. නමුත් අද අපි කියන්නට යන්නේ මෙසේ කියන හරීන්ව කවුරුන් හෝ මෙහෙයවනවාද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවකි.
පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති මහාපරිමාණ වංචා, දූෂණ සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවක්ද රැගෙන හරීන් පසුගිය සතියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මුණගැසීමට ඉන්දියාව බලා ගිය බවක් ඉකුත් සතියේ අපි වාර්තා කළෙමු. පසුගිය කාලයේදී තිලංග ඇතුළු නඩය ක්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත තැනක් බවට පත්කළ බව මුළු රටම මේ වන විට පිළිගන්නා සත්‍යයකි. එමෙන්ම තිලංග සහ ඔහුගේ හෙන්චයියන් විසින් පාලනය කරනු ලබන ක්‍රිකට් පාලක මණ්ඩලය එළිපිටම එජාපය විනාශ කරමින් පොහොට්ටුව වර්ධනය කරන ආකාරයේ වැඩපිළිවෙළක් ගෙනයන බව ඕනෑම යූ.ඇන්.පී.කාරයකු දන්නා කාරණයකි. පසුගිය කාලයේ පැමිණි ක්‍රීඩා අමාත්‍යවරුන් බොහෝ දෙනකු කටින් බතල කොළ සිටුවුවද තිලංගගේ මේ ක්‍රිකට් මාෆියාවට අත තැබීමට ඔවුහු බිය වූහ. නමුත් තරුණ සටන්කාමී මන්ත්‍රිවරයකු වූ හරීන් ක්‍රීඩා ඇමැතිකම භාර ගනිද්දී බොහෝ දෙනා සිතුවේ දූෂණයෙන් පිරි ක්‍රිකට් ආයතනය පිරිසුදු කර විනිවිද පෙනෙනසුළු ක්‍රිකට් ආයතනයක් නිර්මාණය කරනු ඇතැයි කියාය. පසුගිය සතියේදී රනිල්, අර්ජුන, නවීන් සමඟ පැවැති සාකච්ඡාවකදී පවා හරීන් කියා සිටියේ තමන් ඉන්දියාවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරනවා කියාය. නමුත් අතුරු කමිටුවක් පිහිටුවීමට සභාපතිවරයා එකඟතාවය පළකරයිද යන්න සම්බන්ධයෙන් සැක සහිත බවද මෙහිදී හරීන් පිරිසට දැනුම්දී සිටියේය.

හරීන්ට ‌බොස්ගෙන් ‌කෝල් එකක්


කෙසේ වෙතත් හරීන් ඉන්දියාවේ සිට නැවත ලංකාවට පැමිණ කටුනායකින් ගොඩබැස්ස වහා සිදුකළේ අමුතුම ආකාරයේ ප්‍රකාශයකි. එහිදී හරීන් කියා සිටියේ ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වැඩිම වෙහෙසක් ගෙන කටයුතු කළේ ප්‍රේමදාසත්, මහින්දත් යන ජනපතිවරුන් පමණක් යැයි කියාය. එසේ කියමින් මහින්දගේ ගුණ වර්ණනා කිරීමටද එහිදී හරීන් කටයුතු කළේය. නමුත් මෙහිදී හරීන්ට අමතක වූ කාරණය නම් මේ කටින්ම හරීන් සූරියවැව ක්‍රීඩාංගණයේ හරක් සිටිනවා යැයි කියමින් මහින්දව විවේචනය කිරීමට එවකදී කටයුතු කිරීමය. මහින්දගේ සමයේදී හැදූ දියගම ක්‍රීඩාංගණයේ විශාල වංචාවන් සිදුව ඇතැයි කියමින් එකල රාජපක්ෂවරුන්ට හරීන් පහර ගැහුවේද මේ කටින්මය. නමුත් කනගාටුවට කරුණ වන්නේ ජනාධිපතිවරණයක් කටමුල තියා හරීන් දැන හෝ නොදැන මෙලෙස රාජපක්ෂවරුන්ට කඬේ යද්දී ක්‍රිකට් ක්‍රීඩාවට අනූපමේය සේවයක් කළ සහ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය බිහි කළ ගාමිණී දිසානායක මහතාගේ නම හරීන්ට අමතකව තිබීමය.
මීට අමතරව හරීන් තවත් රහස් ගනුදෙනුවක නිරතව සිටින බවට සැකසංකා මතුවන තවත් සිදුවීමක් පසුගිය සතියේදී ක්‍රීඩා අමාත්‍යාංශය තුළ සිදුවිය. ජනාධිපතිවරණය මුල්කරගෙන එජාපය ඇතුළේ අර්බුද මතුව ඇති වාතාවරණයක පැවැති එම සාකච්ඡාවට හරීන්, තිලංග ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයට ආරාධනා කර තිබිණ. ඒ අනුව පැමිණි තිලංග අසුන්ගත්තේද හරීන්ගේ දකුණුපසින් වූ ඊළඟ ආසනයේය. එහිදී දෙදෙනා හැසිරුණු ආකාරයත්, සිනාසුණු ආකාරයත්, කතාබහ කළ ආකාරයත් දුටු සියලුදෙනාට සිතුනේ පසුගිය කාලයේ නයි, මුගටි මෙන් සිටි මේ දෙදෙනා අතර හදිසියේම වාගේ විශාල මිත්‍රත්වයක් ගොඩනැඟී ඇති ආකාරයකි. එය වඩාත් පැහැදිලි වූයේ පසුගිය කාලයේදී බරපතළ චෝදනාවට ලක්වූ තිලංග ඇතුළු කණ්ඩායමට හරීන් කළ ප්‍රකාශයත් සමඟය.
“මං මේ ඊයෙ පෙර්දා අයි.සී.සී. එකට ගියා. මම යන්න කලින් මුන් ඇවිත් මට කිව්ව මේ මේ ඒව අහන්න කියලා. මම ගිහින් උන්ට ඕන ඕන දේවල් කතා කරන්න ගියේ නෑ. මේගොල්ලන්ට ඕන වුණේ පරිපාලනය විසුරුවා හරින ඒවයි, දූෂණ හොයන හැටියි කතා කරන්න. මම ගිහින් කතා කළේ ව්‍යවස්ථාව ගැන. ඒ හින්ද මං ඉන්නකන් ආයෙ අතුරු කමිටු දාන්නෙ නෑ. අනෙක මට ආරංචි වුණා අයි.සී.සී. එකේ සභාපතිතුමා මාව හමුවුණත් එහෙම හමුවක් සිද්ධ වුණේ නෑ කියල මෙහෙ කටකතාවක් යවල තිබ්බ කියල. ඒ හින්ද මං ආයෙම ගිහින් සභාපතිතුමාව හම්බවෙලා ෆොටෝ එකකුත් අරන් එෆ්.බී. එකේ දැම්මා.” යනුවෙන් හරීන් මහ හයියෙන් සිනාසෙමින් කියද්දී ඔහුගේ ජංගම දුරකතනය නාදවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව එහි අංකය දෙස බැලූ හරීන් වහාම එම අංකය බලාගත හැකි වන පරිදි තිලංගට පෙන්වීමට කටයුතු කළේය.

මෛත්‍රි ගහන ‌ගේම…


“මේ කතා කරන්නෙ ඕගොල්ලන්ගෙ බොස්. මොකක් හරි ලොකු වැඩකට වෙන්න ඇති” යැයි කියමින් සාකච්ඡා මේසයෙන් නැඟිට වහාම ඉන් පිටතට යන්නට හරීන් කටයුතු කළේය. එසේ ගිය හරීන් නැවත සාකච්ඡා මේසයට පැමිණියේ විනාඩි 15කට පමණ පසුව බොහෝ සිනාමුසු මුහුණින් යුතුවය. ඒ හරහා හරීන් තිලංගට නොකියා පෙන්වූයේ මෛත්‍රිත් ඉන්නේ දැන් අපිත් එක්ක යැයි කියාය.
“මම හෙට බදුල්ලෙ යනවා. ඊට පස්සෙ කොළඹට ආවට පස්සෙ සජිත්ගෙ කැම්පේන් එක මමයි පටන් ගන්නෙ” යන්න එහිදී හරීන් කී කතාව විය. ඒ අනුව සියල්ලන්ටම වැටහී ගිය කාරණයක් වූයේ එකත් එකටම ජනාධිපතිවරයා දුරකතනයෙන් හරීන් සමඟ සජිත් සම්බන්ධව කතා කළ බවකි. එමෙන්ම හරීන්ට කතා කිරීමට පෙර මෛත්‍රි තමන්ට හිතවත් එජාපයේ තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමග සජිත් පිළිබඳ කතා කොට ඇති බවද හරීන්ගේ මේ ප්‍රකාශයෙන් එහි සිටියවුන්ට වැටහී ගියේය.
මේ අතර පසුගිය සතියේදී මෛත්‍රි තවත් දේශපාලන ගැට කිහිපයක් පිළිබඳවම තම හිතවතුන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. මේ වන විට එජාපය නිර්මාණය කිරීමට තිබුණු සන්ධානය කඩාබිඳවැටී ඇති තත්ත්වයක එහි වාසිය ශ්‍රී ලනිපයට ගත හැකි ආකාරයන් පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලවලට අනුව මේ වන විට ශ්‍රී ලනිපයට ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයක් ඇති බවත්, ජනාධිපතිවරණයේදී එය ලක්ෂ 20 දක්වා ඉහළ නංවාගත හැකි බවත් මෙහිදී කියා ඇති ජනාධිපතිවරයා, එය සජිත් පාර්ශ්වයට පෙන්වා ජනාධිපතිවරණ සටනේ ශ්‍රීලනිපය බලවත් තැනක සිටින බව ඒත්තුගැන්විය යුතු බව මෙහිදී සඳහන් කර තිබේ. ඒ හරහා කොන්දේසි සහිතව අගමැතිකම ලබාගත යුතු බවද එහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා මේ වන විට එජාපය ඇතුළේ පවතින අර්බුදය තව තවත් වැඩිකරලීම සඳහා එළියේ සිටිමින් විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට ඇති ඉඩකඩ බොහෝය. ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටියදී හරීන්ගේ දුරකතනයට ජනාධිපතිවරයාගෙන් ඇමැතුමක් ලැබුණේ එහි එක් පියවරක් වශයෙන්ද කියන්න දන්නේ නැත.

දෙපැත්තෙන්ම ‌හොද ප්‍රතිචාර


කෙසේ වෙතත් ජනාධිපතිවරයා යනු උදේ කී දේ සවසට වෙනස් කරන සවස කී දේ යළිත් උදේ වෙනස් කරන තාලයේ පුද්ගලයකු බව මේ වන විට ඔහුත් සමග දේශපාලන ගනුදෙනුවේ යෙදුණු සියලුදෙනාම වටහාගෙන ඇති කාරණයකි. ඒ බව නැවත වතාවක් සනාථ කරමින්දෝ පසුගිය සතිය වන විට ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද සමඟ සාකච්ඡා කිරීමට විශාල උනන්දුවකින් පසුවන ආකාරයක් දැකගන්නට තිබිණි. තමන්ට මහින්ද සමග තනිවම සාකච්ඡා කළ යුතු බවට දැනුම්දෙමින් ජනාධිපතිවරයා මහින්දගේ පාර්ශ්වයට පණිවුඩ පිට පණීවුඩ තබන ආකාරයක්ද මෙහිදී දක්නට ලැබිණි. එම සාකච්ඡා ඉක්මණින් ආරම්භ කළ යුතු බවද එම පණිවුඩවලින් වැඩිදුරටත් කියැවිණ.
ඒ අනුව පසුගිය සතියේදී මෛත්‍රිගේ මෙම පණිවුඩවලට මහින්දගේ පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණ. ඒ අනුව පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ නිවසේදී මහින්ද සමග පැය එකහමාරක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර පැවැත්විණ. මෙහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු එළියට නොපැමිණියද ඒ සම්බන්ධයෙන් මෛත්‍රිගෙන් මෙන්ම මහින්දගෙන්ද මන්ත්‍රිවරුන්ට පලවූයේ කිසියම් ධනාත්මක ඉඟියකි. ඒ අනුව පසු දින උදෑසනම මෛත්‍රි එදින සවසට පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවන ලෙසට අමරවීරට දැනුම්දී සිටියේය. මීට අමතරව මහින්ද එදින පාර්ලිමේන්තුවට පැමිණෙද්දී මුලින්ම මුණගැසුනේද අමරවීරය. ඒ අනුව අමරවීර මහින්දගෙන් සිනාවෙවී ඇසුවේ ‘කොහොමද සර් ඊයේ සාකච්ඡාව’ යැයි කියාය. ඊට සිනාසෙමින්ම පිළිතුරු දුන් මහින්ද කිව්වේ ‘ඒක ඉතාම සාර්ථක සාකච්ඡාවක්’ යැයි කියාය. එවිට අමරවීරද “එහෙනම් හොඳයි සර්. අපි දෙගොල්ලන්ටම එකතු වෙලා ඉස්සරහට යන්න පුළුවන්” යනුවෙන් පිළිතුරු දෙද්දී මහින්දද සිනහවකින් ඊට පිළිතුරු දී පාර්ලිමේන්තුවට යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව අමරවීර තමන්ට හිතවත් මන්ත්‍රිවරුන්ටත්, ජනාධිපතිවරයාටත් දුරකතන ඇමැතුම් ලබාදෙමින් මහින්දගේ මේ ධනාත්මක ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැනුම්දී සිටියේය. මෛත්‍රිද එහිදී අමරවීරට කියා සිටියේ ඇත්තටම ඉතා හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා යැයි කියාය. සවස මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු යැයිද මෛත්‍රි අමරවීරට කියා සිටියේය.

පො‌හොට්ටුව කාපු පරිප්පුව


ඒ අනුව සවස පැවැති කණ්ඩායම් රැස්වීමේදීද මෛත්‍රි මහින්ද සමඟ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව පිරිසට දැනුම් දී සිටියේය. පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය බව මෙහිදී මහින්ද තමන්ට දැනුම්දුන් බව කියා සිටි මෛත්‍රි ඉදිරියේදී දෙපාර්ශ්වයටම එක්ව කටයුතු කිරීමේ අවස්ථාවක් උදාවනු ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී පොහොට්ටුව සමඟ සන්ධානගතවීම ඉතා පරිස්සමින් කළ යුතු බව කී මෛත්‍රි ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ ගෝඨාගේ පාර්ශ්වයත්, මහින්දලාගේ පාර්ශ්වයත් වෙන වෙනම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති දෙකක් ආරම්භ කර තිබීමය. ඒ හරහා රාජපක්ෂ පාර්ශ්වය අතර කිසියම් මතගැටුමක් පවතින බවක් පෙනෙන්නට ඇතැයි ඉඟිකළ මෛත්‍රි, දෙපාර්ශ්වය අතර සාකච්ඡා නැවත පටන්ගත යුතු බවත්, ඉකුත් වත්වන්හිදී මෙන් නොව මෙවර එය ඉහළ මට්ටමින් සිදුවිය යුතු බවත්, එහිදී ඉතා උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බවත් පිරිසට කියා සිටියේය. එමෙන්ම සන්ධානගතවීමේදී පොහොට්ටුව සමගත් ජනාධිපති අපේක්ෂකයා සමඟත් ගිවිසුම් දෙකක් ඇතිකරගත යුතු බව මෛත්‍රිගේ ස්ථාවරය විය. එමෙන්ම තමන්ගේ අනාගතයට වඩා තමන් වෙනුවෙන් ශ්‍රීලනිපයේ සිට පෙනී සිටි පිරිසගේ අනාගතය ගැන බැලිය යුතු බවත්, ඔවුන්ට අසාධාරණයක් නොකළ යුතු බවත් තමන් මහින්දට කී බව කී මෛත්‍රි මහින්දද ඊට එකඟ වූ බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර පියවර ගත හැකි බවත් තමන්ට කී බවද සඳහන් කර සිටියේය.
එහිදී පිරිස මෛත්‍රිගෙන් ප්‍රශ්න කළේ යම් හෙයකින් 11 වැනිදා පැවැත්වීමට නියමිත පොහොට්ටුවේ සමුළුවට ආරාධනා කළහොත් කුමක් කරන්නේද යන්න කියාය. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රි කෙළින්ම කියා සිටියේ “නෑ අපි ඒකට යන්න ඕනෙ නෑ. එතැන පොඩි නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ සමුළුව තියන්න දෙන්න. ඊට පස්සෙ අපි ආයෙමත් සාකච්ඡා ආරම්භ කරමු” යන්න කියාය. ඒ අනුව පිරිසට වැටහී ගියේ මෛත්‍රි මේ වන විට නැවැත වතාවක් පොහොට්ටුව සමග සන්ධානගත වීමට හිත හදාගෙන ඇති බවකි. කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී ජනාධිපතිවරයා සමඟ ආගිය තොරතුරු කතාබස් කරමින් සිටියදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් එජාප අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය විමසා සිටියේය.

දෙරණෙ දිලිත් රට ගියේ ඇයි?


“ඒගොල්ලන්ට සන්ධානය හදාගන්න බැරිවෙච්ච හින්දා දැන් ලොකු අර්බුදයකයි ඉන්නෙ. දැන් නම් සජිත් ආවත් දිනන්න බෑ. ඒ පැත්ත විතරක් නෙමෙයි රාජපක්ෂලගෙ පැත්තෙත් මේ වෙද්දි අර්බුද…’ යැයි ජනාධිපතිවරයා කියද්දී එක් මන්ත්‍රීවරයක් කීවේ ‘මට ආරංචියි ටික දවසකට ඉස්සෙල්ල ගෝඨගෙ ගෙදර කට්ටියක් කැම්පේන් එක ගැන කතා කරද්දි දිලිත් ජයවීර කියල තියෙනවා ගෝඨාභයට එයාගෙ පවුලත් එක්ක යන්නෙ නැතිව තනියම ගිහින් ප්‍රතිරූපය හදාගන්න කියලා. පවුලත් එක්ක ඉස්සරහට ගියොත් ඒක අවාසියක් වෙනව කියල තමයි දිලිත් කියල තියෙන්නෙ. කොහොමහරි ඒක එතැන හිටපු කවුරුහරි මහින්දගෙ කනේ තියල තියෙනවා. පස්සෙ මහින්ද දිලිත්ට කතා කරල හොඳටම කෑගහල. එදාම දිලිත් රට ගිහිල්ල කියලත් ආරංචියි” යනුවෙන් කියද්දී ජනාධිපතිවරයා කියා සිටියේ “මටත් ඒක ආරංචියි. ඒ හින්දම තමයි මම කියන්නේ අපේක්ෂකයා එක්කත්, පොහොට්ටුව එක්කත් වෙන වෙනම ගිවිසුම් ගහන්න ඕනෙ කියලා” යැයි කියාය. කෙසේවෙතත් මෙය ජනාධිපතිවරයාගේ තවත් එක් ගුණ්ඩුවක්ද යන්න කීමට තවම කල් වැඩිය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සියලුම දෙනාට මෙය එක්තරා ආකාරයක පාඩමකි. අප පසුගිය කලාපවල නිරතුරුවම කියා සිටියේ ජනාධිපතිවරයා තමන් සහ තම කණ්ඩායම ආරක්ෂා කරගැනීම සඳහා සෑම පාර්ශ්වයකම අර්බුද නිර්මාණය කරමින් සිටින බවකි. ගැටලුව ඇත්තේ ජනාධිපතිවරයා ගසන මේ ගේම්වලට එජාපය සහ පොහොට්ටුව වෙනසක් නැතිව හසුවීමය. එහි හොඳම පරිප්පුව කෑවේ පොහොට්ටුවය. ඒ, මෛත්‍රිගේ තනි කීමට අනුව ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් හදන්නට ගොස්ය. එහිදී මහින්දලා, බැසිල්ලා තමන්ට රට ඇතුළත තිබූ ජනප්‍රියත්වය නැතිකර ගත්තා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද විශාල අපවාදයකට ලක්විය. ඒ කළු පැල්ලම මකාගැනීමට බැසිල්ට පසුගිය කාලයේදී විශාල වෙහෙසක් දරන්නට සිදුවිය.

සාලින්දගේ පුටුවට ‌මෛත්‍රි දාපු බැල්ම

කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තිබියදීම පසුගියදා මහින්ද හා මෛත්‍රි එක්ව සාකච්ඡා කොට එකඟතාවකට පැමිණි බව දෙපාර්ශ්වයම දැනුම් දුන්නත් ඒ එකඟතාව පැවැතියේ පැය කිහිපයක් පමණි. ඊට හේතු වූයේ හදිසියේම සිදුවූ සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ අභාවයය. සාලින්ද යනු රාජපක්ෂ ආණ්ඩුව පෙරළුණු දා සිටම පොහොට්ටුවේ දේශපාලනය කළ මහින්ද සමඟ සිටි දේශපාලනඥයෙකි. සාලින්දගේ අභාවය හේතුවෙන් එම පුරප්පාඩුවට පත්වීමට නියමිතව තිබුණේ කුරුණෑගල සන්ධාන ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ගත් තැනැත්තා වූ ශාන්ත බණ්ඩාරය. නමුත් ශාන්ත ඒ වන විටත් හිස්බුල්ලාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මෛත්‍රිගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගොස් තිබුණු නිසා ඊළඟට ලැයිස්තුවේ සිටියේ ඩී.බී. හේරත්ය. නමුත් ඩී.බී. හේරත්ද උග්‍ර මහින්දවාදියෙකි. එම නිසා ඩී.බී. පාර්ලිමේන්තුවට පැමිණියහොත් තවත් මන්ත්‍රීවරයකු පොහොට්ටුවට එකතු වන නිසා මෛත්‍රි පසුගිය සතියේදී තවත් දේශපාලන ගේමක් ගැසීමට කටයුතු කළේය. ඒ අනුව වහාම ශාන්ත බණ්ඩාරට නියෝග ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙසටය. එසේ ඉවත් වී සාලින්දගෙන් හිස්වූ ආසනය වෙනුවෙන් සාමාන්‍ය ආකාරයට මනාප ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසටය. එසේ ශාන්තගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කිරීමට මෛත්‍රි තීන්දු කර ඇත්තේ ඔහුගේ තවත් හිතවතකු වූ මොනරාගල ජගත් පුෂ්පකුමාරය.
මේ ආකාරයට පොහොට්ටුවට කොළ එළි දල්වා නැවත වතාවක් සාලින්දගේ පාර්ලිමේන්තු පුටුව සමඟ ඔට්ටු සෙල්ලම් කිරීමට මෛත්‍රි කටයුතු කිරීමත් සමඟ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ද පසුගිය සතියේ සිටියේ දැඩි කෝපයෙනි. ඒ අනුව වහාම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් කැඳවූ බැසිල් මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට යෑමට තීන්දු කළේය. බැසිල්ගේ තර්කය වී ඇත්තේ සාලින්ද මියගිය දිනට පසුදින පැවැති පාර්ලිමේන්තු රැස්වීමට පවා පැමිණ ඇති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු පොතේ අස්සන් තබා ඇති බවය. නමුත් මෛත්‍රි පාර්ශ්වයේ තර්කය වී ඇත්තේ සාලින්දගේ අසුන හිස්ව ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරන විට ශාන්ත බණ්ඩාර සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බවය. ඒ අනුව මේ වන විට සාලින්දගේ පාර්ලිමේන්තු අසුන දෙපාර්ශ්වය අතර අභිමානය තීන්දු කෙරෙන නීතිමය ගැටලුවක් බවට පත්වී හමාරය.

කිරිඇල්ල බලෙන්ම ඇතුලු ‌වෙයි

ඉකුත් ඔක්තෝබර් 26 සිදුවූ දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළියෙන් පසු යළිත් එජාප ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එහිදී වැඩිම අසාධාරණයට ලක්වූයේ ලක්ෂ්මන් කිරිඇල්ලය. කලින් ආණ්ඩුවේ මහාමාර්ග අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය බැංකු භාර අමාත්‍යවරයා වශයෙන් කිරිඇල්ල කටයුතු කළද පසුව බිහිකෙරුණු ආණ්ඩුවේදී කිරිඇල්ලගෙන් ඒ සියලු අමාත්‍යාංශ සහ ආයතන ඉවත් කෙරිණි. ඒ වෙනුවට ඔහුට හිමිවූයේ ඇඟට දැනෙන වැඩක් කළ නොහැකි ආයතන කිහිපයක් සහිත දෙවැනි පෙළ අමාත්‍යාංශයකි. මේ නිසාම කිරිඇල්ල කාලාන්තරයක් තිස්සේම ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් තමන්ට වැඩ කළ හැකි අමාත්‍යාංශයක් හෝ විෂයයන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ඒ සෑම අවස්ථාවකම අගමැතිවරයා කිරිඇල්ලට කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව ගොඩින් බේරාගත යුතු බවකි. එහිදී රනිල් කිරිඇල්ලට නොකියා කීවේ තමන් කිරිඇල්ලව නිර්දේශ කළද ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් මත කිරිඇල්ලට ප්‍රබල අමාත්‍යාංශයක් නොලැබෙනවා යැයි කියාය. මේ නිසාම කිරිඇල්ලද සිටියේ රනිල් සහ මෛත්‍රි එකට සිටින තැනක දී මේ ප්‍රශ්නය කතා කර විසඳා ගැනීමටය. කිරිඇල්ලට එම අවස්ථාව උදා වූයේ පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුවය.
එදින කැබිනට් රැස්වීම නිමා වූ පසු රනිල් ජනාධිපතිවරයාගේ නිල කාමරයට ගොස් ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටියදී බලෙන්ම වාගේ කිරිඇල්ලද එම කාමරයට පැමිණීමට පියවර ගත්තේය. එසේ ගිය කිරිඇල්ල ජනාධිපතිවරයාගෙන් කෙළින්ම සිය ප්‍රශ්නය විමසා සිටීමට කටයුතු කළේය.

හ‌ොරේ අතටම අල්ලා ගනී


“මම මේ ප්‍රශ්නය කතා කරන්න ඔබතුමාලා දෙන්නම එක තැන ඉන්න වෙලාවක් බල බලා තමයි හිටියේ. අද තමයි ඒකට අවස්ථාව උදා වුණේ. ඔබතුමාට මොකක්ද මගෙන් මේ විදියට පළිගන්න තරම් තියෙන ප්‍රශ්නය. ගිය ජනාධිපතිවරණයේදී අනෙක් දිස්ත්‍රික්ක පරදිද්දී මම මගේ දිස්ත්‍රික්කයෙන් ඔබතුමාව දිනෙව්වේ වැඩි ඡන්ද 95,000කින්. ඒ වගේම පහුගිය අවුරුදු හතරහමාරෙදි මෙම සභානායකවරයා විදියට ආණ්ඩුවට ආපු හැම ප්‍රශ්නයක්ම පාර්ලිමේන්තුවෙදි බේරගත්තා. රෑ දවල් බලන්නෙ නැතිව මම ඒ කටයුත්ත කළා. එහෙම කරපු හින්දද ඔබතුමා මට මෙහෙම සලකන්නෙ? ඇයි මට වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක් හරි මගේ තිබුණු අමාත්‍යාංශය හරි දෙන්නෙ නැත්තෙ” යනුවෙන් කිරිඇල්ල කියද්දී ජනාධිපතිවරයා කෙළින්ම මෙම චෝදනාව අගමැතිවරයාගේ පිටට දැමීමට කටයුතු කළේ කිරිඇල්ලද පුදුම කරවමිනි.
“ඇයි ඔබතුමා මේ ගැන මගෙත් එක්ක මේ ළඟදිත් කතා කරපු වෙලාවෙ මම කිව්වනෙ අගමැතිතුමා හරහා ඔය යෝජනාව එවන්න කියලා. මට දෙන්න බෑ කියලා හරි, මම දෙන්නෙ නෑ කියල හරි මම කොහෙවත් කියල නෑ. මට ඒක අගමැතිතුමා හරහා ආවට පස්සෙයි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතුව මම කොහොමද ඔබතුමාට අමාත්‍යාංශ දෙන්නේ?” යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටිද්දී කිරිඇල්ල ඉන් එපිටට ඒ පිළිබඳ වචනයක් හෝ කතාකිරීමට ගියේ නැත.

රනිල් දුන් උත්තරය


නමුත් ජනාධිපතිවරයාගේ කාමරයෙන් පිටතට පැමිණි වහා කිරිඇල්ල මේ සම්බන්ධයෙන් රනිල්ගෙන් උස් හඬින් විමසා සිටීමට අමතක කළේ නැත.
“මම දන්නෙ නෑනෙ ඔබතුමා මේක යවන්නෙ නැතුව මෙච්චර කල් තියාගෙන හිටියා කියලා. ඇයි එක ඔබතුමා යවන්නෙ නැත්තෙ? ඔබතුමා මට කිව්වේ ජනාධිපතිතුමාගෙ ප්‍රශ්නයක් හින්දා මට අමාත්‍යාංශය හම්බවෙන්නෙ නෑ කියලනෙ” යනුවෙන් කිරිඇල්ල තරමක කෝපයෙන් විමසද්දී රනිල් කියා සිටියේ, “නෑ මේක මේ වෙලාවෙ යවන්න බැහැ. එහෙම කළොත් ඉන්න අය තරහ වෙනවා. අපි ඉස්සරහට බලමු” යැයි කියාය. රනිල්ගේ මේ කතාවෙන් කිරිඇල්ලගේ කෝපය දෙගුණ තෙගුණ විය.
“කවුද තව ඔබතුමත් එක්ක තරහ වෙන්න ඉන්නේ? මගේ අමාත්‍යාංශය බාර දුන්න කබීර් දැන් ඉන්නේ සජිත් එක්ක. ඔබතුමත් එක්ක යන්න බෑ කියලයි කබීර් කියන්නේ. මගේ යටතේ තිබ්බ බැංකු ටික දුන්න මංගලත් දැන් ඉන්නේ සජිත් එක්ක. මංගලත් කියන්නේ ඔබතුමත් එක්ක බෑ කියලයි. මම තාමත් ඉන්නේ ඔබතුමත් එක්ක. ඒ නිසා මම ඉල්ලන්නේ මගෙන් ගත්තු ඒවා මට දෙන්න කියලා. එක්කො මට මහාමාර්ග දෙන්න. එහෙම නැත්නම් පෙට්‍රෝලියම් එක දෙන්න. දැන් තියෙන විදියට ඔබතුමානෙ මට ලොකුම අසාධාරණය කරල තියෙන්නේ” යනුවෙන් කිරිඇල්ල කියද්දී රනිල් ඉන් එහාට වචනයක් හෝ කියන්න ගියේ නැත.

සේනක ‌ගෙනා ‌යෝජනාව

පසුගිය අඟහරුවාදා රනිල්ව මුණගැසීමට විශේෂ පුද්ගලයන් දෙදෙනකු එකට පැමිණියේය. මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු වූයේ සේනක ද සිල්වාය. අනෙක් පුද්ගලයා වූයේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. සේනක හා ෆොන්සේකා යනු කාලයක් තිස්සේම ඉතා හිතවත්ව එකට කටයුතු කළ දෙදෙනෙකි. මේ දෙදෙනාගේ හිතවත්කම කොපමණද යන්න කියනවා නම් ෆොන්සේකා යුද හමුදාපති ධුරයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර රාජපක්ෂවරුන්ගෙන් හිරිහැර එල්ල වූ අවස්ථාවේ සිට ෆොන්සේකා ළඟ සිටියේ සේනකය. එහිදි රනිල් හා ෆොන්සේකා අතර හිතවත්කමක් ඇතිකිරීමට පාලම සකස් කළේද සේනකය. එමෙන්ම ෆොන්සේකා පොදු අපේක්ෂකයා බවට පත්කිරීමේ තිරය පිටුපස සියලු මෙහෙයුම් සකස් කළේද සේනකය. මීට අමතරව 2010 ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩි බරක් ඇද්දේද සේනකය. මේ නිසාම ඒ කාලයේ සිටම සේනක හා රනිල් අතරද ඉතා සමීප හිතවත්කමක් පැවැතිණි.
ඒ අනුව සේනක පසුගිය අඟහරුවාදා සවස ෆොන්සේකා සමඟ රනිල්ව මුණගැසීමට අරලියගහ මන්දිරයට ගියේය. ඒ යන විට ෆොන්සේකාගේ අතේ කිසියම් කොළයක්ද තිබෙනු දැකගන්නට හැකි විය. ඒ කොළය වෙන මොකක්වත් නොව පොහොට්ටුව විසින් සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ගෙන් ගෙට යමින් සිදුකළ ප්‍රචාරක වැඩසටහනේදී බෙදාදුන් අත් පත්‍රිකාවය. එහි පළමු සහ අවසන් කරුණු දෙකම ඉරි ගසා හුවාදක්වා තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ කරුණු දෙකෙන්ම අවධාරණය කර තිබුණේ රටේ ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවය.
ඒ අනුව සාකච්ඡාවට වාඩිවූ සැණින් සේනක මේ කොළය රනිල්ට ලබාදීමට කටයුතු කළේය. එසේ දුන් සේනක තමන් පැමිණි කාරණය රනිල්ට දැනුම් දීමට කටයුතු කළේය.

පොන්සේකා ස්ථිර කරයි

“අපි මේ ආවේ විශේෂ කාරණාවකට. දැන් තහවුරු වෙලා තියෙනවා ගෝඨාභය තමයි පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්නේ කියලා. එයාගේ කැම්පේන් එක සම්පූර්ණයෙන්ම බේස් වෙලා තියෙන්නේ ආරක්ෂිත රටක් කියන එක මත. යූ.ඇන්.පී. එකේ තියෙන නෙගටිව් පැත්තත් ඒකමයි. ගෝඨා එනවා නම් මේ පැත්තෙන් රටේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න පුළුවන් එකම එක්කෙනයි ඉන්නේ. ඒ, ෆොන්සේකා විතරයි. ඒක ඔබතුමත් පිළිගන්නවා ඇති. ගෝඨාභය පරද්දන්න ෆොන්සේකත් එන්න ලෑස්තියි. අනෙක දැනට අපේක්ෂකයෙක් ගැන යූ.ඇන්.පී. එක ඇතුළේ තියෙන ප්‍රශ්නත් එක්ක ෆොන්සේකට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නෑ. එතුමා 2010ත් තරග කළා. අනෙක දැන් එතුමා යූ.ඇන්.පී. සාමාජිකයෙක්. ආසන සංවිධායකවරයෙක්” යනුවෙන් සේනක දීර්ඝ විස්තරයක් කරද්දී ෆොන්සේකාද ඊට එකඟතාව පළ කරමින් කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය ලේසි නැති වුවත් තමන් ඊට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට සූදානම් බවකි.
හිටි හැටියේම පැමිණ සේනකත්, ෆොන්සේකාත් කළ මේ ප්‍රකාශයෙන් රනිල් තුෂ්නිම්භූත වන ආකාරයක් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට තිබිණි. ඒ අවස්ථාවේදී යළිත් සේනක කියා සිටියේ එජාපයේ ප්‍රධානත්වයෙන් බිහිකිරීමට නියමිත සන්ධානයේ සෙසු නායකයන් පවා ෆොන්සේකාට එකඟකරවා ගත හැකි බවකි.
කෙසේ වෙතත් ටික වේලාවක් නිහඬව සිටි රනිල් අවසානයේදී කියා සිටියේ, “ඔක්කොටම ඉස්සෙල්ලා අපි සන්ධානය හදලා ඉන්න ඕනේ. සන්ධානය අස්සන් කරන එක කල් ගිය එකෙන් දැන් හැමෝම වැටිලා ඉන්නේ. මම මේ කාරණාව සජිත් එක්කත් කතා කළා. එයත් එකඟ වුණා ඉස්සෙල්ලාම සන්ධානය හදලා ඉමු” යන්න රනිල්ගේ පිළිතුර විය.

කරුගෙන් යතින්ද්‍ර පූජා

ජනපතිවරණය වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් කඳවුරු බඳිමින් සිටියදී පසුගිය බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වැඩමකළ දහසකට ආසන්න ත්‍රෛනිකායික භික්ෂුන්වහන්සේ ලබාදුන්නේ එයටම අදාළ ඉඟියක්දැයි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර විශාල කසුකුසුවක් නිර්මාණය විය.
කතානායක කරු ජයසූරිය මහතාට ත්‍රෛනිකායෙන්ම ගෞරව සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් වැඩමකළ මේ භික්ෂුන් වහන්සේ අතරට මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ විශේෂ පණිවුඩය රැගෙන මල්වතු පාර්ශ්ව අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නායක හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හිමියන් මෙන්ම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නාහිමි ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ සම්භාවනීය නායක හිමිවරුන් සියලු දෙනාම පාහේ වැඩමකර සිටීම විශේෂත්වයක් විය.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම චම්පික රණවක, රාජිත සේනාරත්න වැනි රජයේ මැති ඇමැතිවරු සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන චරිත රැසක්ම මෙම උත්සව සභාව සඳහා එක්ව සිටියහ. එමෙන්ම සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරන වියත් ආචාර්ය, මහාචාර්යවරු දෙසීයකට ආසන්න පිරිසක්ද මේ අතර වූහ.

නාහිමිවරු කළ ඉල්ලීම


මෙහිදී කතානායකවරයා වෙනුවෙන් විශේෂිත අගැයීමක් සියලු මහා නාහිමිවරු නියෝජනය කරමින් සිදුකළේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හිමියන් විසිනි.
“සුදු ඇඳුම අඳින පුද්ගලයන් සියලු දෙනා පිරිසුදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්, සිය චරිතය කිළිටි කරගත් බොහෝ දෙනකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත්, එවන් සමාජයක වත්මන් කතානායක කරු ජයසූරිය මහතා දුර්ලභ ගනයේ උතුම් චරිත ලක්ෂණ වලින් හෙබි සැබෑ ලෙසම මනුෂ්‍යත්වය අර්ථවත් කළ නායකයකු” බවත් උන්වහන්සේ පැවැසූහ. විශේෂයෙන්ම කතානායකවරයා මීළඟ රාජ්‍ය නායකත්වයට සුදුසු බවට අනුනාහිමියෝ පළ කළ අදහස කාගේත් අවධානයට ලක්විය. මෙහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ “දෙවියන් කොට්ඨාශ 03ක් ඇති බවත්, බුදුන්වහන්සේ සහ මහරහතන් වහන්සේලා වැනි උතුමන් විශුද්ධි දේව යන කොටසට අයත් බවත්, විෂ්ණු, කතරගම වැනි දෙවිවරු උත්පත්ති දේව යන කොටසට අයත් බවත්, තුන්වැනි කොටස මිනිසුන් අතර ජීවත්වන දුර්ලභ ගනයේ දෙවියන් වැනි මිනිසුන් බවත්ය.
කරු ජයසූරිය මහතා මෙම මිනිසුන් අතර ජීවත් වන දෙවියන් වැනි උතුම් මිනිසුන්ගේ කොටසට අයත් මහා පරමාදර්ශී මනුෂ්‍යයෙක් බවද අස්ගිරි නාහිමියෝ පැහැදිලි කළහ.
මහා සංඝරත්නය තමා කෙරෙහි තැබූ විශ්වාසය දිවි හිමියෙන් සුරකින බවට ප්‍රතිඥා දුන් කතානායකවරයා සිය කතාව නිමා කළේ මෙලෙසය. කුඩා කල පාසලේදී උගත් මේ පද පෙළ මාගේ හදවතේ පතුළේ රැඳී තිබෙනවා. එස්. මහින්ද හිමි රචනා කළ මෙය ආනන්දයේ උගත් කාලයේදී මගේ හදවතේ තැන්පත්වී, මාගේ ජීවිතයට මඟ කියනවා.
“නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටුකළ යුතු වේ” යන්න එම කවියය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ තීරණයක් දැනුම්දුන් කතානායකවරයා පැවැසුවේ කෝප් කමිටුවේ සියලු රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමට තමා තීරණය කර ඇති බවයි.

SendShareShare
Previous Post

මහින්දලා බය යූ.ඇන්.පී. අපේක්ෂකයා කවුද?

Next Post

සජිත් රාජිත‌ගේ ‌ගෙදර ගිහින්

MORE NEWS

Exclusive

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.