රට වටේ තාප්ප ලස්සන චිත්‍රවලින් සරසන එක රැල්ලක් වගේ අපේ රට ඇතුළේ පැතිරිලා ගියා. දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල කොළඹ, මහනුවර, කුරුණෑගල වගේ ලංකාවේ ප්‍රධාන නගරවලට විතරක් නෙවෙයි යාපනය ඇතුළු ලංකාවේ හතර දිග්භාගයටම පැතිරිලා ගියා. මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක් කියලයි මේ වැඬේට සම්බන්ධ වුණු තරුණයන්ගේ අදහස වුණේ. මේ වෙද්දී ගොඩක් නගර වල චිත්‍ර ඇඳීම් අවසන් කරලයි තියෙන්නේ. ඒ ඇඳපු චිත්‍ර විවෘත කරන එකත් උත්සවාකාරයෙන් සිද්ධ වුණා. මේ අතරේ මෙහෙම ඇඳපු චිත්‍රයක් මකා දැමීම සම්බන්ධ සිදුවීමකුත් පසුගිය දවසක වාර්තා වුණා.
මිරිහානෙ පොලිසිය දන්නෙත් නෑ: ඇදපු කොල්ලො දන්නෙත් නෑ: නගරාධිපති සද්දයක්වත් නෑ
මේ චිත්‍රය ඇඳලා තිබුණේ පිටකෝට්ටේ නගර සීමාව ඇතුළේ. හරියටම කියනවනම් පිටකෝට්ටේ ඉඳන් තලවතුගොඩ යන පාරේ තාප්පයක තමයි මේ ඇඳලා තිබුණේ. ඇමෙරිකන් කොඩිය සහිත පසුබිමක ඉන්න මකරෙක් ලංකාව දෙසට ගිනි පිඹින අයුරුත් එම ගිනි නිවීම සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක් වතුර විදින ආකාරයත් තමයි ඒ චිත්‍රයේ දක්නට ලැබුණේ. තේරෙන විදියට කිව්වොත් රට ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙන එම්. සී. සී. ගිවිසුම තමයි ඒ චිත්‍රයෙන් නිරූපණය කරලා තිබුණේ. ඒ වගේ මතභේදාත්මක අදහසක් නිරූපණය කරපු චිත්‍රය මකා දැමීමත් රට ඇතුළේ ලොකු කතාබහක් ඇති කළා.
මේ චිත්‍රය ඇඳලා තිබුණේ කීල්ස් සුපර් වෙළෙඳසලක් ඉදිරියේ. ඒ තාප්පය අයිතිය හිමි වෙන්නෙත් කීල්ස් සුපර් ආයතනයට. ඒ හින්දා කීල්ස් සුපර් ආයතනය විසින් මේ චිත්‍රය මකා දැම්ම කියන එක වගේම කිසියම් ප්‍රබලයෙකුගේ නියෝගයක් හින්දා මේ චිත්‍රය මකා දැම්මා කියන මතයත් සමාජ ජාල ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වුණා. ඇමෙරිකානු කොඩිය සහිත ඒ වගේ චිත්‍රයක් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය වෙන එක හොඳ නෑ කියන මතය දරන පිරිසකුත් හිටියා. ඒ වගේම මේ චිත්‍රය මැකුව එකට විරුද්ධ මත දරන බොහෝ දෙනකුත් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරලා තිබුණා.
මේ චිත්‍රය අඳින්න දායක වුණු තරුණයෝ කියන විදියට මේකේ වැඩ කටයුතු අවසන් වෙන්න මාසයකට අධික කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ කාලය පුරාවට මේ වැඬේට කීල්ස් ආයතනයෙන් කිසිම විරෝධයක් පළ වෙලා නැහැ. ඒත් දැඩි පරිශ්‍රමයක් දරමින් සියලු වැඩ කටයුතු අවසන් කළාට පස්සේ තමන්ගේ උත්සාහය විනාඩි ගණනකින් මකලා දැම්ම එක ගැන ඒ තරුණයෝ ඉන්නේ දැඩි කනස්සල්ලකින්. ඒකට හේතු වුණු කාරණය ඒ තරුණයන්ටත් තවම හිතා ගන්න බැහැ.
ඇමෙරිකාව සමඟ අස්සන් කිරීමට නියමිතව තිබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම් හෙවත් එම්. සී. සී. ගිවිසුම මකරෙක් කියන එක රටට ඒත්තු ගන්වන්න පසුගිය මැතිවරණ කාලයේදී එවකට විපක්ෂයේ හිටිය දේශපාලන නායකයෝ ලොකු උත්සාහයක් දැරුවා. හැබැයි එම්. සී. සී. ගිවිසුමට දැඩි සේ විරුද්ධ වුණු ඒ නායකයොම ආණ්ඩු බලය ගත්තට පස්සේ එම්. සී. සී. ගිවිසුමේ කොටසක් හොඳයි වගේ කතා කියනවත් පසුගිය දවස්වල දකින්න ලැබුණා. කොහොම වුණත් ඉදිරියේදී රැස්වන නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරන්න ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නෙත් මේ ගිවිසුම ඉරා දාන්න ඕනේ කියලා. මේ අතරේ පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වපු බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහත්තයා එම්. සී. සී. ගිවිසුමේ ප්‍රවාහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුම බව දැඩිසේ අවධාරණය කෙරුවා. හැබැයි තාමත් මේ ගැන කිසිම දෙයක් රජය නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
මෙහෙම තත්ත්වයක පිටකෝට්ටේ තාප්පයක ඇන්ද ඇමෙරිකානු මකරා මකලා දැම්මේ කාගේ වුවමනාවකටද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රදේශය අයත් වෙන්නේ මිරිහාන පොලිස් වසමට. ඒ හින්දා මේ ගැන තොරතුරු දැන ගන්න අපි මිරිහාන පොලිස් ස්ථානයට කතා කළා. “මේ ගැන අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට මේ ගැන කිසිම පැමිණිල්ලක් ලැබිලත් නැහැ. ඒ හින්දා මේ ගැන මොකුත් කියන්න අපි දන්නේ නැහැ.” මිරිහාන පොලිසියෙන් අපිට උත්තර ලැබුණේ එහෙමයි. ඊට පස්සේ අපි මේ ගැන දැන ගන්න කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහත්තයා සම්බන්ධ කර ගන්න කිහිපවරක්ම උත්සාහ දැරුවා. කොහොම වුණත් මාධ්‍යයට අදහස් දක්වන්න නගරාධිපතිතුමාගේ වැඩි කැමැත්තක් නැති බව තමයි අපිට පේන්න තිබුණේ.
මේ චිත්‍රය මැකුව හේතුව සහ ඒකට මුල් වුණේ කවුද කියන එක සමහරවිට හැමදාටම හොයා ගන්න බැරි රහසක් වේවි. ඒත් එම්. සී. සී. ගිවිසුමට මොකද වෙන්නේ කියන එක නම් තව ටික දවසකින් රටටම එළි වේවි. ඒකෙයි මේකෙයි තියෙන සම්බන්ධය මොකක්ද කියන එකත් තීරණය කර ගන්න එදාට හැමෝටම හැකියාව ලැබේවි.
චන්දන පොන්නම්පෙරුම