“රක්තාක්ෂි යයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි. උනුන් රත් ඇස් බලා බිය වැද මනුෂ්‍යයෝ නසති.”
මේ මහාවංශයේ එක්තරා කොටසක සටහන. ඒ ලංකාවෙ බොහෝ ප්‍රශ්න ගැටලු තිබුණ කාලයක්. එදා ලංකාවෙ රජකම් කරමින් උන්නේ සිරිසඟබෝ මහරජතුමා. බුද්ධ වර්ෂ 794-796 අතර කාලෙ. එදා මේ රටේ පැතිරෙමින් තිබුණ භයානක රෝගයක් ගැනයි මේ කියන්නෙ. මේ ලෙස ඔවුන් හඳුන්වන්නේ ඇත්තටම යකෙක් නොවෙන්න පුළුවන්. මේ සමහර විට එදා ඔවුන්ට හම්බුණ පළමු රෝගියාගේ රෝග ලක්ෂණයද?
මේ මීට වසර 1750කට වඩා පෙර අතීතය.
මහාවංශ කතුවරයා කියන්නේ “රක්තාක්ෂි යැයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි” කියලා. මේ “යකාගේ” ලක්ෂණ දෙවෙනියට රෝගී වෙන පුද්ගලයාගේ ලක්ෂණ සමාන වෙනවා. ඒ කියන්නෙ එකම ලක්ෂණ මතුවෙනවා. හරියටම කොවිඞ් 19, සාර්ස්, ඉබෝලා වගේ රෝගයක් බෝවෙනවා වගේමයි. මේ තමයි ඒ ගැන මහා වංශයෙ තවදුරටත් තියෙන සඳහන.
“යක්ෂ තෙමේ ඒ මිනිසුන් සැක නැතිව කයි. රජ තෙමේ උන් උවදුරු අසා තැති ගත් සිත් ඇත්තේ හුදකලාව අටග පෙහෙවස් ඇතිව උපවස් ගෙය තුළ ඒ යකු නොදැක නොනැගිටින්නෙමි‘යි හොත්තේය. යක් තෙමේ රජහු දහම් තෙදින් රජහු වෙත ආය. රජු වෙතින් කවරෙද්දැයි පුලුවුස්නා ලද්දා වූ යක් තෙමේ මම (අසවලැයි) දැන්වීය. “කවර හෙයින් මාගේ ප්‍රජාව කයි ද නොකව”යි කියේය. යක් තෙමේ මට එක් දනව්වෙක මිනිසුන් දෙවයි කීය. නොහැක්කකැයි කී කල යක් තෙමේ ක්‍රමයෙන් ඉල්වා “එක් මිනිසෙක් දුන මැනව”යි කීය. රජ තෙමේ “අනිකෙක් දෙන්ට මට නොපිළිවන මා (මස්) කයි. “කීයේය. යක් තෙමේ නොහැක්කැයි කියා” ගමක් ගමක් පාසා බිලි දුන මැනව”යි රජහුගෙන් ඉල්වී. භූමීශ්වර තෙමේ මැනවැයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි (බත්) දෙවීය. සියලු සත්හු විසින් හටගත් මහාරෝග භය මේ උපායෙන් නසන ලදී.”
මහාවංශ කතුවරයා මේ කතාවෙ මේ කොටස මේ විදියට අවසන් කරනවා. මේ සාහිත්‍යමය කොටස් ඉවත් කළාට පස්සෙ පැහැදිලි වෙනවා මේ අර්බුදයේ ස්වභාවය.
“ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරෙයි”
කියන්නෙ මේ රෝගය තවත් අයට බෝ වෙලා තියෙනවා. ඒ කියන්නෙ මේක බැලූ පමණින් බෝ වෙන රෝගයක්. බැලූ පමණින් කියන්නෙ සමහර විට ඉස්සරහ හිටියම මිනිස්සු ලෙඩ වුණා වෙන්න පුළුවන්. එහෙම නං ඒ ඉතාම ඉක්මනින් පැතිරුණ නිසා අපි හදාගත් ස්වභාවයක් වෙන්න ඇති. කොහොම නමුත් මේක බෝ වෙන රෝගයක් වෙන්න පුළුවන්.
මේ ගැන අත්තනගලු වංශයේ සඳහන් වෙනවා.
“ජටර පිටර භාරක්ඛන්ත වන්කූරු ජානු
සජල ජලජ කූඨා ඛාර ඝෝරුරු කායෝ
කුටිල කටින දාඨා කෝටි සන්දට්ඨ ගන්ඩෝ
නව දිවසක රක්ඛෝ රක්ඛ සෝ දීපමාග”
මේ විස්තර වෙන්නෙ යකාගේ ලක්ෂණ ටික. හැබැයි මේ රෝගියාගේ ලක්ෂණ වෙන්න පුළුවන්. ඔහුගේ උදරය විශාලයි. කකුල් දෙකට දරාගන්න බෑ. ඒ නිසා කකුල් ඇදවෙලා. දත් එළියට ඇවිත්. විලිස්සාගෙන. ඇස් රතුයි. මේ සාහිත්‍යකරු ඒ ඇස්වල ස්වභාවය කියන්නෙ හරියට “දවල් කාලෙ ඉර වගේ” කියලා.
එහෙමනම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ රෝගියාගේ ලක්ෂණ ටික. ඔවුන්ගේ උදරය විශාල වෙනවා. ඒකට හේතුව බඩ ඉදිමීම. කකුල්වලටත් මේක බලපානවා. මුහුණේ හැඩය වෙනස් වෙනවා. අපහසුව නිසාම දත් විලිස්සෙනවා වෙන්න පුළුවන්. ඒකට හේතුව හුස්ම ගැනීමේ අපහසුවක් වෙන්න බැරි නෑ. හැබැයි මේ සාහිත්‍යයට අනුව මේ රෝගයේ ප්‍රධානතම ලක්ෂණය ඇස් රතු වීම. මේ තමයි පළවෙනි රෝගියා. අත්තනගලු වංශයට අනුව “රක්තාක්ෂියා” මෙහෙට එන කෙනෙක්. එහෙමනම් ඔහු එන්නෙ පිටරටක ඉඳලා. එහෙමනම් මේ රෝගයත් එන්නෙ පිටරටක ඉඳලා. එදා මේ රෝගයෙන් විශාල පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට ගං හතක් පාළු වෙලා තියෙනවා.
“සූරිය පාලුව
කැන්ද ලියද්ද පාලුව
නාරංගොඩ පාලුව
බටවල පාලුව”
මේ අතරින් කීපයක්. එහෙමනම් මේක විශාල පිරිසක් මරණයට පත්කරපු රෝගයක්.
එදත් මේ රෝගය මුළු රටටම බලපෑම් කරලා තියෙනවා. මේක රාජ්‍ය මට්ටමින් විසඳන තැනට එන්නෙ ඒ නිසයි. සන්නිවේදනය කිසිසේත්ම දියුණු නොවුණ කාලයට ප්‍රධාන රාජධානියෙන් කිලෝමීටර එකසිය පනහකට වඩා දුරගං හතක් පාළුවෙන කොට රජ්ජුරුවො සත්‍යග්‍රහයක් කරනවා කියන්නේම ඒ ගැටලුව දරුණු වෙන්න ඇති.
ඒ වගේම ඒ රෝගයට බෙහෙත් තිබිලා නෑ. ඒ නිසා රජු සත්‍යග්‍රහ කරනවා වෙන්න පුළුවන්.
“රජ තෙමේ උන් උවදුරු අසා තැති ගත් සිත් ඇත්තේ හුදකලාව අටග පෙහෙවස් ඇතිව උපවස් ගෙයැ තුළ ඒ යකු නොදැක නොනැගිටින්නෙමි‘යි හොත්තේය.”
මහාවංශ කතුවරයා මේ ගැන කියන්නේ එහෙම.
රජු මේ ප්‍රශ්නයත් එක්ක කලබල වෙනවා. රජ කෙනෙක්ව කලබල කරන්න තරම් මේ ලෙඬේ දරුණුයි. එහෙමනම් මේකත් ජාතික ව්‍යසනයක්. ඔවුන් මේකට පිළියම් හොයන්න බැරුව ඉන්නවා. රාජකීය පණිවුඩ එන්නෙ, රජුට යකා මුණ ගැහුණ බව.
“භූමීශ්වර තෙමේ මැනවැයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි (බත්) දෙවීය”
අවසන් විකල්පය ඒක. අදත් මේ වෙනකොට අපි ඉන්නෙ එතැන. ගමක් ගමක් පාසා ආහාර තියෙනවා.
සමහර විට එදා මේ විදියටම ගම් පිටින් වහලා දාන්න ඇති. ගොවිතැනක් බතක් කරගන්න බැරි අය ගම් පාමුල කෑම් බීම් තිබ්බා වෙන්න පුළුවන්. මේක පැහැදිලි කරන්න බැරි නිසා ඔවුන් “යකෙක් ලෙඩ කරනවා” කියන තැනට ආවා වෙන්න පුළුවන්. කොහොම වෙතත් එදත් මේ වගේම වසංගතයකට අපි මුහුණ දුන්නා වෙන්න පුළුවන්. රෝග සුව වෙන්නෙ නිරෝධනයෙන්. ඔවුන් යකාට බයේ ගෙවල්වල ඉන්නවා. රජු සත්‍යග්‍රහ කරනවා. එහෙමනම් එදා ඒ වසංගතයත් මේ වගේම එකක් වෙන්න බැරි නෑ.
සමහර විට ඒක එදා ලෝකයේ මතුවෙන කොරෝනා වර්ගයේ වසංගතයක් වෙන්න බැරි නෑ. මොකද සතුන්ගෙන් බෝ වෙන සෑම වසංගතයක්ම කොරෝනාවක් නිසා. මේක සමහර විට එදා සත්තුන්ගෙන් බෝ වෙලා මිනිස්සු අතර පැතිරුණා වෙන්න පුළුවන්.
ජීවන පහන් තිළිණ











