මෙදා ඡන්දයේදී ප්‍රධාන පක්ෂ කොටස්වලට කැඩීගොස්ය. සමහර තැනක අලුත් පක්ෂ හැදී තිබේ. මෙවර සටනට එන පොහොට්ටුව පවා මහ ඡන්දයකට තනිව එන්නේ මෙදාපාරය. ඒ නිසා මේ ඡන්දය පොහොට්ටුවටත් තීරණාත්මකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙදා මැතිවරණයට එන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක කීපයකින් පමණි. ඒ කීපය හැරුණුකොට ඔවුන් ඉන්නේ පොහොටටුව ඇතුළේය. එජාපය කෑලි කැඩී ගොස්ය.
සමඟි ජන බලවේගය අලුත් පක්ෂයක් ලෙස පළමු ඡන්දයට මුහුණදෙයි. පැරැණි පක්ෂයක් ලෙස පරණ ලකුණෙන්ම එන්නේ අලියාගෙන් එන එක්සත් ජාතික පක්ෂයයි. ජවිපෙ එන්නේ මාලිමාව ලකුණෙන්, ජාතික ජන බලවේගය නමින්ය. රතන හාමුදුරුවන්ගේ අලුත් පිලක් මෙදා ඡන්දයට එයි. ඒ අපේ ජනබල පක්ෂයයි. මේ සියල්ලටම අවශ්‍ය ආසනයක් දිනාගන්නටය. වෙනදා ප්‍රධාන පිල් දෙකක් වටා පැතිරුණ බලය දැන් හේදී ගොස්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුලිනුත්, එජාපයට ඊළඟටත් ඒ ඉරණමට මුහුණදෙන්නට සිදුවිය. ඒ අනුව මෙවර ආසන පොරය ද්වි පක්ෂ හැඩයට වඩා බහු පක්ෂ හැඩයක් ගෙන තිබේ.
ඒ අනුව ආසනයක් ලබා ගැනීමට ගහන ඕනෑම තුරුම්පුවක් ගහන්නට මේ අය සූදානම්ය. බොහෝ පක්ෂ ‘කොටයක්’ ගැන හිතන්නේ ඒ නිසාය. අපි මේ ‘කොටය’ ගැන හොයන්නට ගත්තෙමු.
මේ ඒ මනාප කොටයේ කතාවයි.
මැතිවරණ දිස්ත්‍රික්කයකට අදාළ ආසන සංඛ්‍යාව ප්‍රසාද ආසනයත් සමඟ එකොළහක් යැයි සිතමු. එවිට ආසන ප්‍රමාණය දහයකි. එසේම එම ආසනයේ වලංගු ඡන්ද ප්‍රමාණය අටලක්ෂයක් යැයිද අනුමාන කරමු.
වලංගු ඡන්ද ප්‍රමාණය – 800,000
මන්ත්‍රි ආසන ප්‍රමාණය – 10
එක මන්ත්‍රි ධුරයකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය 80,000කි. මේ සාමාන්‍ය අගය අනුව ගත් විට එක් මන්ත්‍රි ධුරයක් ලැබෙන්නට නම් 80,000ක් මනාප ලබාගත යුතුය. එය අපි මෙසේ උපකල්පනය කරමු.
A පක්ෂය ලබාගත් මනාප 3,25,354
B පක්ෂය ලබාගත් මනාප 2,44,646
C පක්ෂය ලබාගත් මනාප 1,69,324
D පක්ෂය ලබාගත් මනාප 50,576
E පක්ෂය ලබාගත් මනාප 10,100
මේ අනුව A පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ලැබෙන ආසන ප්‍රමාණය මෙසේ ගණනය කළ හැක.
මනාප ප්‍රමාණය – 3,25,354
එක ආසනයක් සඳහා මනාප 80,000
එය ගණනය කිරීම මෙසේය.
325,354ට 80,000 ඒවා හතරකි. ඒ අනුව මන්ත්‍රි ආසන ගණන 4කි. එයට ප්‍රසාද ආසනයත් එකතු වීමෙන් ආසන ප්‍රමාණය 5ක් බවට පත්වේ. ආසන 4 අදාළ ඡන්ද ප්‍රමාණය 3,20,000කි. ඉතිරිය 5354කි.
B පක්ෂයට ලැබෙන මනාප ප්‍රමාණය 2,44,646කි. ඒ අනුව එහි මනාප ඡන්ද අගය 2,40,000කි. C පක්ෂය ලබාගන්නා ආසන ප්‍රමාණය 3කි. ඉතිරි වෙන මනාප ප්‍රමාණය 4646කි.
C පක්ෂයටද මේ ගණනය අනුව ආසන ලැබෙනු ඇත. ඒ ඔවුන් ලබාගන්නා මනාප 1,69,324ට අනුවය. එහි මනාපවල ආසන සඳහා වැයවෙන අගය 1,60,000කි. ඒ අනුව C පිලට ආසන දෙකක් ලැබෙන්නට නියමිතය.
මින් එපිට D හෝ E පක්ෂ ආසනයක් සඳහා ලබාගත යුතු උපරිම මනාප ප්‍රමාණය ලබාගෙන නැත. නමුත් දැන් ප්‍රශ්නයක් තිබේ. මනාප ප්‍රමාණයන්ට අනුව ලැබුණ ආසන සංඛ්‍යාවල් මෙසේය.
A – 4 + (ප්‍රසාද ආසනය)
B – 3
C – 2
ප්‍රසාද ආසනය හැරුණු විට ආසනවල එකතුව 9කි.
තව එක ආසනයක් ඉතිරිව තිබේ. ඒ ආසනය මේ ‘කොටය’ කියන කතාවට අදාළය. මෙයට දේශපාලන විද්‍යාත්මකව කියන්නේ ‘උපරිම ශේෂය’ කියාය. මෙය ගණනය කරන්නේ ශේෂයන් අනුවය.
A – 5354
B – 4646
C – 9324
D – 50576
E – 10100
ඒ අනුව උපරිම ශේෂය D පක්ෂයටය. ඉතිරි ආසනය D පක්ෂයට ලැබෙනු ඇත. අවසාන වශයෙන්,
A – 5
B – 3
C – 2
D – 1
ලෙස ආසන ලැබෙන්නේ D පක්ෂයටත් ආසනයක් ලැබෙමිනි.
නමුත් මේ කතාව සමහර පක්ෂ හිතනා ‘සීයට පහේ’ කතාව නොවේ. පක්ෂයක් සිය ආසනයක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සීයට පහක් ලබාගත යුතුය. නමුත් සීයට පහක් ලබාගැනීමෙන්ම පමණක් ආසනයක් ලැබෙන්නේ නැත. නමුත් සීයට පහක් ලබාගැනීම මත ආසනයක් ලැබීමේ යම් ප්‍රවණතාවක් තිබිය හැක. මේ උපරිම ශේෂය බොහෝ විට ආසනයක් නොලද පක්ෂයකට ලැබෙන්නට ඉඩ තිබෙනා මුත් එසේ නොවන්නටද ඉඩකඩක් නැත්තේම නොවේ. ඒ නිසා ‘කොටෙන්’ ගොඩයන්නට බලා හිඳීම හිතනා තරම් හොඳ දෙයක් නොවන බව නම් හොඳටෝම පැහැදිලිය.
ජීවන පහන් තිලිණ











