ම්ලේච්ඡ දමිළ කොටි ත්‍රස්තවාදීන් සමඟ වසර 30ක් පුරාවට පැවැති කුරිරු යුද්ධය 2009 වසරේදී ජයග්‍රහණය කිරීමෙන් පසු එම යුද්ධයට එඩිතර නායකත්වය ලබාදුන් එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ප්‍රථම වතාවට සිදුකළ විදෙස් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ, ලොව ප්‍රකට රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වන ‘අල් ජසීරා’ රූපවාහිනිය සමඟය. එම සාකච්ඡාව යුද්ධයේ පළමු වැනි සංවත්සර දිනයේදී පැවැත්වූ අතර, මේ එම සුවිශේෂී සාකච්ඡාවේ සිංහල අනුවාදයයි. මෙම විදෙස් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශිත ප්‍රශ්න සහ පිළිතුරු බොහෝ ආන්දෝලනාත්මක ඒවා විය.

ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කර දැන් එම යුද්ධය දිනපු අවුරුද්දත් ගතවෙලා. අද එහි වර්ෂ පූර්ණය සමරනවා. වසර 30ක මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාවත්, රටත් අද තිබෙන්නේ කුමන ස්ථානයකද?
දැන් ජනතාව ඉන්නේ බොහොම නිදහසෙන්. මිනිස්සු දකුණෙන් උතුරට යනවා. උතුරෙන් මිනිස්සු දකුණට එනවා. මේ නිසා දැන් ජනතාව එකට සම්බන්ධ වෙනවා. මිශ්‍ර වෙනවා. ඒ වගේම ජනතාව එකිනෙකාට විශ්වාස කරන්නට පටන්ගෙන තියෙනවා. ඒ ඒ අයගේ එදිනෙදා රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යනවා. මේක තමයි අපි බලාපොරොත්තු වුණු, ඒ වගේම විශ්වාසය තැබුණු එකම ක්‍රියාවලිය.
යුද්ධය දිනලා අවුරුද්දක් ගතවුණා වෙන්න පුළුවන්. ඒත් සමහර පාර්ශ්ව ප්‍රකාශ කරනවා ඔබගේ රජය දමිළ ජනතාවගේ දුක්ගැනවිලි. මැසිවිලි ගැන අවධානය යොමුකරන්නේ නැහැ කියලා. ඔබ මේ තත්ත්වය තේරුම් කර දෙන්නේ කෙසේද?
නැහැ. නැහැ. මම ඒ කතාව සමඟ කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. මෙම අහේතුක කතා වෙන්නේ සමහර දේශපාලකයන්, එහෙමත් නැත්නම් සමහර භගඨගධග සංවිධාන විසින්. ඔබ අද අවතැන් කඳවුරකට යන්න. ගිහිල්ලා ඒ මිනිසුන්ගෙන් අහන්න ඒ අයට මොනවද ඕනෑ කියලා. ඒ අය කියාවි පළමුවෙන්ම අපට අපේ නිවාස නැවැත ඕනෑ, ඊට පස්සේ කියාවි රැකියාවක් ඕනෑ කියලා. තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕනෑ කියලා කියාවි. ඒ අය ඊට වඩා දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා දැන් පළමුව අප කළ යුත්තේ මෙම අවතැන් ජනතාව නැවත පදිංචි කරන එකයි. ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනෑ. දකුණේ ජනතාව භුක්ති විඳින පහසුකම් ඒ අයටත් ලබා දෙන්න ඕනෑ. ඇයි අපට එහෙම කරන්න බැරි. අපි ඒ මිනිසුන්ටත් එක සමානව සලකනවා.
හොඳයි, ඔබ එහෙම ප්‍රකාශ කළත් විදෙස් රටවල සිටින දමිළ ඩයස්පෝරාව චෝදනා කරනවා ඔබ දමිළ ජනයා වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ කියලා. එහෙම නැත්තේ ඇයි?
ඉතාමත් අවාසනාවන්ත ලෙස මේ තත්ත්වය ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔය ඩයස්පෝරාවේ අය ඒ රටවල හොඳට සැප සම්පත් විඳින අයයි. ඒ අයට ශ්‍රී ලංකාවට එන්න වුවමනාවක් නැහැ. ඒ අය කිසි දිනෙක යාපනයට ගිය මිනිස්සු නෙවෙයි. ශ්‍රී ලංකාවට ආවත් ඔය දමිළ ඩයස්පෝරාවේ පිරිස් කොළඹින් පිටතට යාමටවත් යන්නේ නැහැ. ඒ අය නෙවෙයි ඒ වගේම ඒ අයට උතුරේ ජනතාව හම්බ වෙන්න වුවමනාවකුත් නැහැ. උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන ඩයස්පෝරාවේ අය ඒ දමිළ මිනිසුන් සමඟ කතා කරලවත් තිබෙනවද? මම හැමදාම පොදු මිනිසා සමඟ ගනුදෙනු කළ මිනිසෙක්. යාපනය, ත්‍රිකුණාමලය, වේවා, මඩකළපුව හෝ වේවා මම ඒ පොදු මිනිසා සමඟ ගනුදෙනු කළ මිනිසෙක්. ඔබම අහලා බලන්න ඔය ඩයස්පෝරාවේ අයගෙන් ඒ අය යාපනයටවත් ගිහිල්ලා තියෙනවාද කියලා. කිලිනොච්චියට ගිහිල්ලා තියෙනවද කියලා. සත්‍ය තත්ත්වය ඒකයි.
ඔබගේ රටේ දමිළ දේශපාලකයන් රැසක් සිටිනවා. මේ අය කියනවා දේශපාලනික කටයුතුවලදී ඒ අයට වැඩි නියෝජනයක් අවශ්‍යයයි කියලා. ඔබ ඒ පිරිස් විශ්වාස කරන්නේ කෙසේද?
ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම හැමවිටම ඒ අය විශ්වාස කරනවා. ඒ අයත් අප විශ්වාස කළ යුතුයි. ඒ නිසා තමයි මම බොහෝ අවස්ථාවල ඒ අයට සාකච්ඡාවට කතා කරන්නේ. මෙම දමිළ දේශපාලකයන්ගෙන් බොහෝ දෙනෙක්ම කොටි ත්‍රස්තවාදී සංවිධානයට සහයෝගය දුන්නා. ඒ අය ත්‍රස්තවාදීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව පවා නියෝජනය කළා. අපි ඒ අයට කතා කරලා තියෙනවා සාකච්ඡාවට. ඒ අයගේ යුතුකමක් තමයි සහභාගි වන එක. ඒ අය අපගේ බාධක, අවහිරකම් ගැනත් අවබෝධයක් ඇතිකර ගන්න ඕනෑ. ඊට පසු අප සමඟ එකඟතාවකට එන්න පුළුවන්. අප හැම විටම කැමැතියි සම්මුතියකට ඒමට.
කාලයක් පුරාම උරුම වී තිබුණු මෙම යුද්ධය ඔබ අවසානයකට පත් කළා. මේ යුද්ධය අවසානයේදී සිවිල් මිනිසුන්ගේ ජීවිත රාශියක් විනාශයට පත්වුණා කියලා මතයක් තිබෙනවා. ඔබට ඒ තත්ත්වය වළක්වා ගැනීමට නොහැකි වුණාද?
මම ඔය මතය ප්‍රතික්‍ෂේප කරනවා. අප මේ යුද්ධයේදී කිසිම සිවිල් ජනතාවක් මරණයට පත්කළේ නැහැ.
ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනතාව ඉලක්ක කළේ නැහැ කියලා ඔබට ඒකාන්තයෙන්, විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ හැකිද?
නැහැ, කෙසේවත් නැහැ.
ඔබ ඔය තරම්ම විශ්වාසයෙන් කියන්නේ කොහොමද? මේක යුද්ධයක්.
ඔව්. මට පැහැදිලියි. මේක යුද්ධයක් තමයි. යුද්ධය අවසාන වෙලාවේ දමිළ සිවිල් ජනතාව විශාල වශයෙන් හමුදා පාලන ප්‍රදේශවලට එන්නට ගත්තා. මේ වෙලාවේ යම් හෙයකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිවිල් ජනතාවට එරෙහිව කටයුතු කළා නම් ඒ අය අපව විශ්වාස කරන්නේ නැහැ. එහෙම නම් ඒ අය අපේ ප්‍රදේශවලට ඇවිදගෙන එන්නේ නැහැ. මේ විදියට ලක්‍ෂ 3ක විශාල ජනතාවක් අප කරා පැමිණියා. එයින් පෙනෙන්නේ ඒ ජනයා අපේ හමුදාව විශ්වාස කළ බවයි. සත්‍ය ඒකයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිසිදු යුද අපරාදයක් සිදුකළේ නැහැ කියලා ඔබ දැඩි විශ්වාසයකින් කියා සිටිනවා. එසේ නම් ඇයි ස්වාධීන පාර්ශ්වයකට ශ්‍රී ලංකාවට පැමිණ පරීක්‍ෂණයක් කිරීමට ඉඩ නොදෙන්නේ?
නැහැ, නැහැ. මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒවා ගැන පරීක්‍ෂණ කරන්න වෙනත් රටකට අවසර නැහැ. භගඨගධග වලටත් අවසර නැහැ. අපි අපේ ප්‍රශ්නය ගැන බලාගන්නම්. ඒකයි අපි දැන් කොමිසමක් පත්කරලා තියෙන්නේ. යම් කරුණක් උල්ලංඝනය කළාද කියලා. එහිදී සොයා ගන්නට පුළුවන්.
ඔබ ඒ කියන්නේ මේ පත්කරන ලද කොමිසම යුද අපරාධ ගැන පරීක්‍ෂණ කරනවා කියන එකද?
ඔව්. එහෙම ප්‍රශ්න තියෙනවා නම් මේ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. ඊට පසු අපට ඒ ගැන පරීක්‍ෂණ කරන්න පුළුවන්.
ඉන්පසුව යමෙක් වැරැදිකරුවකු වුණොත් ඔබ ඔවුන්ට විරුද්ධව පියවර ගන්නවාද?
ඔව්. සහතික වශයෙන්ම.
එම වැරැදිකරුවන් ඔබගේ පාර්ශ්වයන්ට සම්බන්ධ අය වුණත් ඔබ ඒ පියවර ගන්නවාද?
ඔව්. අපරාධයක් නම් එය කාටත් එකයි. මම හෝ මගේ හමුදාපති හෝ එලෙස වෙනසක් වන්නේ නැහැ. අපරාධයක් කියන්නේ අපරාධයක්. ඒක කළ අයට දඬුවම් දෙන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒත් මේ කරුණ ගැන සිතාගන්න. ත්‍රස්තවාදය පරාජය කරපු කෙනකුට අපිට දඬුවම් කරන්න බැහැ. අපි ත්‍රස්තවාදය පරාජය කළ කාර්යයට, ජාත්‍යන්තරයට අවශ්‍ය නම් අපිට දඬුවම් දෙන්න. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ.
යුද අපරාධ ගැන රට ඇතුළතින්ම ස්වාධීන කොමිසමක් පත්කර කටයුතු කිරීමේදී එහි විශ්වාසයක් නැහැ නේද?
ඔබ එවැනි ප්‍රශ්නයක් ගිහින් ඇමෙරිකාවෙන් අහන්නේ නැහැ නේද? එහෙම නැත්නම් මහා බි්‍රතාන්‍යයෙන්, ඉරානයෙන්, ඇෆ්ගනිස්ථානයෙන් ඔය කිසි තැනකින් අහන්නේ නැහැ නේද? මෙවැනි ප්‍රශ්න අහන කොට සාධාරණ වෙන්න. අපි ගැනත් සාධාරණ වෙන්න. අපි ත්‍රස්තවාදය පරාජය කළ රටක්. අද ත්‍රස්තවාදය බලපෑ රටවලටත් ත්‍රස්තවාදය විනාශ කරන්න බැරි රටවල් තියෙනවා. ඒත් ශ්‍රී ලංකාව ඒක කළා.
ඔබගේ රජයේ ප්‍රධානතම තනතුරු ගණනාවක්ම ඔබගේ සහෝදරයන්ට ලබාදී තිබෙනවා. ඔබගේ ඥාතීන් 300කට පමණ මෙසේ තනතුරු ලබා දීලා කියලාත් ප්‍රකාශ කරනවා.
(සිනාසෙමින්) මගේ ඥාතීන් 300කට තනතුරු දීලා, කවුද ඔබට ඔය විස්තර දුන්නේ? මගේ රටේ ඔක්කොම ජනතාව මගේ ඥාතීන් තමයි ජනතාව තමයි අපිව තෝරා ගන්නේ. ඔබ ඔය කියන 300ක ඥාතීන් පිරිස කවුද කියලා මට කියන්න. ප්‍රධාන තනතුරු කිහිපයකට විශ්වාසවන්තකම නිසා සහෝදරයන් පත්කළා. ගෝඨාභය ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කෙළ්ත් ඒ නිසයි. ඔහු එම රාජකාරිය හරියට කිරීමට ඉතාම දක්‍ෂයෙක්.
ඔබ ‘රාජපක්‍ෂ රජ වශයෙන්’ බිහි කරන්න කටයුතු කළා නේද?
නැහැ. ජනතාවයි අපිව තෝරා ගත්තේ. අපිව එපාවුණු වෙලාවට ජනතාව අපිව පයින් ගහලා එළවලා දමාවි.
ඔබගේ ජනාධිපති ධුර කාලය වෙනස්කර ගැනීම සඳහා ඔබ ව්‍යවස්ථාව සංශෝධනය කරනවාද?
මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක පාර්ලිමේන්තුවේ වැඩක්. මම නැවැත ජයග්‍රහණය කරනවා කියලා මට විශ්වාසයි. ජනතාව මා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඔවුන් ඉන්නේ මා සමඟයි.
පරිවර්තනය ප්‍රියන්ත හෙට්ටිගේ











