ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන අංශ අතරින් ඉදිරියේම ඇත්තේ සංචාරක ව්‍යාපාරයය. මේ වසර මුලදී රජය සැලසුම් කර තිබුණේ 2020 වසර තුළ මෙරටට විසි ලක්ෂයකට අධික සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටය. කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ඒ සැලසුම් සියල්ල කඩා වැටුණු නමුත් වෛරසය ඉක්මණින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ දැන් නැවතත් ලොව පුරා සංචාරකයන්ගේ අවධානය අපේ රට වෙත යොමු වෙමින් ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම සමස්ත ලෝකයම එක් තැනකට කොටු විය. එක් තැනකට සිරවී කල් ගත කිරීමට හුරුව නොතිබුණු බටහිර රටවල ජනතාව දැන් මඟ බලා සිටින්නේ හැකි ඉක්මණින් නැවත ලොව පුරා සංචාරයට අවස්ථාව ලැබෙන තෙක්ය. එම අවස්ථාව ලැබුණු සැනින් අපේ පුංචි ශ්‍රී ලංකාවද නැවත වරක් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා නොඅනුමානය.
එවැනි පසුබිමක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වගකිව යුතු බලධාරීන් මේ මොහොතේ කටයුතු කළ යුත්තේ ඉදිරිය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමය. නමුත් අවාසනාවට අපේ රටේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට සම්බන්ධ ප්‍රධාන ආයතනය පවා එම තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

එයට එක් උදාහරණයක් වන්නේ යාල පලටුපාන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදි කිරීම සම්බන්ධ සිදුවීමය. මේ පිළිබඳ අප මවුරට පුවත්පත සහ මවුරට වෙබ් අඩවිය හරහා දිගින් දිගටම කරුණු අනාවරණය කර ඇත. සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යාල පලටුපාන ප්‍රදේශයෙන් ලංකා රියැලටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය සහ කළමනාකාරීත්වය ගෙන ඇති තීන්දුවට එරෙහිව වාරණ තීන්දුවක් පැනවීමට අධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය. මෙම වාරණ නියෝගය පැනවීමට අධිකරණය තීන්දු කළේ අදාළ සමාගම විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
ලංකා රියැලටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් 99 අවුරුදු බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීන්දු කර තිබුණේ

පසුගිය වසරේ අග භාගයේදීය. ඊට හේතු වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියාට අයත් “වයිල්ඞ් කෝස්ට් ලොජ් ප්‍රයිවට් ලිමිටඞ්” නම් ආයතනයක් මඟින් යාල ප්‍රදේශයේම ඉදිකිරීමට සැලසුම් කර ඇති හෝටල් ව්‍යාපෘතියක් සඳහා අනියමින් සහාය දැක්වීම බවට කරුණු අප මීට පෙර අනාවරණය කර ඇත. ඒ බව සනාත වන තවත් කරුණු කිහිපයක් වාරණ නියෝගය පැනවීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දැක්වීමට කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියා වන මලික්. ජේ. ප්‍රනාන්දු මහතා කටයුතු කිරීමත් සමඟිනි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ලංකා රියැලටි ලෙෂර් සමාගමේ හාර්ඩි මුසම්මිල් මහතා තමන්ගේ පවුලේ කීර්ති නාමයට හානි කරමින් මාධ්‍ය මෙහෙයුමක් ගෙන යන බවය. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරිය එම තීන්දුව ගෙන ඇත්තේ තම බිරිඳ එහි සභාපති ධුරයට පත් වීමට පෙර බවය. සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා 2014 වසරේදී බදු දුන් අදාළ භූමියේ ඉදි කිරීම් ආරම්භ නොකිරීම මත 2017, 2018 වසරවල සිටම ඉඩම යළි පවරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබූ බවද ඒ සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිව ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
එම ෆේස්බුක් සටහනට පිළිතුරු දෙමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ලංකා රියැලටි ලෙෂර් ආයතනයේ හාර්ඩි ජමල්ඩීන් මුසම්මිල් මහතා එම සටහන ආරම්භ කර ඇත්තේ “මා මිතුරු මලික්. මා පෙනී සිටින්නේ මාගේ ආයතනය වෙනුවෙනි. නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරියෙක් නොවන ඔබ මාගේ සටහනට මෙතරම් කලබල වී ඇත්තේ ඇයි දැයි” යනුවෙනි. මලික් මහතා සඳහන් කරන ආකාරයෙන් තමන් කිසිම මාධ්‍ය මෙහෙයුමක් සිදු නොකළ බවද සඳහන් කර ඇති මුසම්මිල් මහතා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ලංකා රියැලටි ලෙෂර් සමාගමට පවරා දුන් ඉඩම නැවත පවරා ගැනීම සඳහා කිසිම අවස්ථාවක කැබිනට් අනුමැතියක් හිමි නොවූ බවය. නියමාකාරයෙන් බදු ලබා දුන් ඉඩමක් නැවත පවරා ගැනීම සඳහා බලයක් නොමැති බවද සඳහන් කර ඇති මුසම්මිල් මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ තම ආයතනය 2020 වසර අවසන් වන තෙක් නියමිත බදු මුදල්ද ගෙවා ඇති බවය. එමෙන්ම බදු ගිවිසුම අහෝසි කිරීමට අදාළ ලිඛිත කටයුතු සිදුවන කාල සීමාවේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කර ඇත්තේ කිමාලි ප්‍රනාන්දු මහත්මිය බවද එම සටහනේ තව දුරටත් දක්වා ඇත.

කෙසේ වෙතත් ලංකා රියැලටි ලෙෂර් සමාගමට පවරා දුන් ඉඩමේ බදු ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධව ඉදිරි තීරණ ගැනීමේ බලය ඇත්තේ අධිකරණය සතුවය. එතෙක් ඒ සම්බන්ධ සියළු සංවර්ධන කටයුතු ඇනහිටිනු ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සඳහා නිලධාරීන් පත් කරනු ලැබුවේ සංවර්ධනය පමා කිරීමට නොව එය වේගවත් කිරීමටය. ලක්ෂ 69කට වැඩි ජනතාවක් එතුමාට ඡන්දය ලබා දුන්නේ ඒ බලාපොරොත්තුව පෙරදැරිවය. සංචාරක සංවර්ධන අධිකාරියේ වගකීම විය යුත්තේ 2020දී කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය 2021 වසරේදී හෝ ගොඩ ගැනීමට සැලසුම් සකස් කිරීමය. නමුත් එහි බලධාරීන් මේ ආකාරයෙන් පෞද්ගලික වාසි තකා සංවර්ධන කටයුතු අඩාල කිරීමට කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජනතාව ජනාධිපතිවරයා පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වීමය.
චන්දන පොන්නම්පෙරුම











