වසර 35ක යුද හමුදා දිවියට සමුදී සිටින කීර්තිමත් හමුදා නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ස්වකීය මතක සටහන් ඇතුළත් කොට රචනා කළ ‘රණමග දිගේ නන්දිකඩාල්’ ග්‍රන්ථය පසුගියදා ඔහුගේ පාසල් මව් වන කොළඹ ආනන්ද විදුහලේදී 2016 වසරේදී දොරට වැඩිණි. එම අවස්ථාවට පෙර ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඔහු මෙරට දේශපාලනඥයන් අමතමින් ඉතා වෙහෙසව දිනාගත් සාමය ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දිවියේ අවසන් විනාඩි 45 සනිටුහන් වූ නන්දිකඩාල් සටනට මහත් දායකත්වයක් ලබාදුන් යුද හමුදා 53 වැනි සේනාංකයට නායකත්වය ලබාදීමේ ගෞරවය හිමි ඔහුටය.

එල්.ටී.ටී.ඊ.ය පරාජය කර වසර හතක් ගතව තිබෙනවා. ඇයි ඔබ රෝඞ්ටු නන්දිකඩාල් රචනා කරන්න මේ කාලයම තෝරාගත්තේ?
එල්.ටී.ටී.ඊ.ය පරාජය කරන එක ආරක්ෂක අංශවලට කොහෙත්ම පහසු දෙයක් වුණේ නැහැ. අවසන් ඊළාම් යුද්ධයේදී අපට ගොඩාක් කැප කිරීම් කරන්න සිදුවුණා. 2009 මැයි මාසයේ 19 වැනිදා වෙනකන් ගෙවුණු අවුරුදු දෙකකුත් මාස දහයකට ආසන්න මේ කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාවට පමණක් අහිමි වුණු නිලධාරීන් සංඛ්‍යාව 5000කට අධිකයි. තවත් 25,000ක් පමණ තුවාල ලැබුවා. මේ අතරින් දහස් ගණනක් නිලධාරීන් තවමත් ඉන්නේ ලෙඩ ඇඳේ. අද ශ්‍රී ලංකාවේ ජනතාව ජීවත් වෙන්නේ අපේ නිලධාරීන් කරපු ඒ කැපකිරීම් නිසා. බෝම්බ පිපිරෙන්නේ නැති, ලේ වැගිරෙන්නේ නැති අනාගතයක් රටට දිනා දෙන්නයි ඔවුන් ඒ කැප කිරීම් කළේ. කාර්යබහුල ජීවිතයත් එක්ක ජනතාවට මේ ලේ වැගිරුණු අතීතය අමතක වෙනවා. එල්.ටී.ටී.ඊ.යේ සහ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩත්වය ඔවුන්ට අමතකයි. ඒ වගේම යුද්ධය පැවැති කාලයේ කොහොමද ජීවිතය ගත කළේ කියන එකත්, ඔවුන් වෙනුවෙන් රට සුරක්ෂිත කරන්න 30 වසරක යුද්ධය නිමා කරන්න, හමුදා සෙබළුන් ඇතුළු සියලු ආරක්ෂක අංශ නිලධාරීන් වෙහෙස වුණේ කැප කිරීම් කළේ කියන එකත් ඔවුන්ට අමතක වෙලා තිබීම ඇත්තෙන්ම අවාසනාවක්.
රචකයෙක් හැටියට මට ඇති අත්දැකීම් අවමයි. නමුත් මම 1983 සිට 2009 මැයි දක්වා සටන් පෙරමුණේ සේනාංකයක සටන් වැදුණු සොල්දාදුවෙක්. මම කමල් ගුණරත්න හැටියට මොනවාද කළේ කියන්න වචන වැය කරන්නේ නැතිව, අපි ආරක්ෂක අංශ හැටියට මොනවාද කළේ කියන්නයි මම මේ ග්‍රන්ථය රචනා කළේ. මොකද අපි හමුවේ තිබුණේ මහා විශාල කර්තව්‍යයක්. එල්.ටී.ටී.ඊ.යේ නිය පඳුරුවලින් රට ගලවාගෙන, සාමය උදා කරන එක කිසිසේත්ම පහසු දෙයක් වුණේ නැහැ.
පිටු 800ක පොතක් ලියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. හමුදා නිලධාරියෙක් හැටියට කොහොමද ඔබ ඔබේ අත්දැකීම් සටහන් තබන්න කාලය සොයාගත්තේ?
ඔව්. ඇත්තටම ඒක හරිම අමාරු දෙයක් වුණා. මම මගේ අමතර කාලය සමපූර්ණයෙන්ම වැය කළේ මේ වෙනුවෙන්. යුද්ධය ගැන ලියවිලා තියෙන ග්‍රන්ථ බොහොමයක් ලියලා තිබෙන්නේ යුද්ධයට කිසිම සම්බන්ධයක් නොතිබුණු අය. එහෙම නොමැතිව, යුද්ධයක් එක්කම බැඳී හිටපු අය ලියා තිබෙන පොත් ගණනින් අල්පයි. ඉතින් මටත් යුද්ධය සමඟ ඍජු සම්බන්ධයක් තිබුණ නිසා 1983 – 2009 අතර කාලයේ අපි මුහුණ දුන් අභියෝග ගැනත්, අන්තිමට අපි යුද්ධය ජයගත්තේ කොහොමද කියන එක ගැනත් සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. පටන් ගනිද්දී නම් මේක බොහොම ලෙහෙසි වැඩක් වෙයි කියලා හිතුණත් පිටුවෙන් පිටුව යනකොට මට අවබෝධ වුණා හිතුවාට වඩා වැඬේ අමාරු බව. නමුත් මම මෙහෙයුම අත්හැරියේ නැහැ. සිත ඒකාග්‍ර කරගැනීම, ඉවසීම සහ දරාගැනීම කියන්නේ මම හිතන හැටියට නිර්මාණයක් සාර්ථක කරගන්න නම් රචකයෙක්ට තිබෙන්නෙම වුවමනා ගුණාංග. එහෙම නැතිවුණොත් වැඬේ මග නවතිනවාට සැකයක් නැහැ.
දෙවැනි හා තෙවැනි ඊළාම් යුද්ධයේ ගෙවුණු දවස් මතකයට නඟන්නට පිළිවන්ද?
කියන්න කනගාටුයි. ඒ දවස්වල එල්.ටී.ටී.ඊ.ය හමුදා සාමාජිකයන් 50ක් මරා දැමුවත් රටේ ජනතාවට කිසිම ගානක් වුණේ නැහැ. ඒ වුණත් මුල් ශ්‍රී ලංකා ජාතියම කම්පා වුණා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියොත්. මෙහෙම වෙන්න හේතුව වුණේ යුද පිටියේදී ආරක්ෂක අංශ දිගින් දිගටම පරාජය වෙමින් සිටීම. අපේ හමුදාවල ශක්තිය ගැන විශ්වාසයක් නොතිබුණු ජනතාවගේ හිත්වලට එල්.ටී.ටී.ඊ.ය අපට වඩා බලවත් කියන අදහස කාවැදිලා තිබුණා. අලිමංකඩ බේරාගත් බලවේගය, යාපනය කොටුව බේරාගත් ත්‍රිවිධ බලය යන මෙහෙයුම් හැරෙන්නට ආරක්ෂක අංශ දියත් කළ අනෙකුත් සියලු මෙහෙයුම් අසාර්ථක වීමත් මෙයට ප්‍රධාන හේතුවක්.
ජයසිකුරු මෙහෙයුම උදාහරණයකට ගනිමු. වසර දෙකහමාරකට ආසන්න කාලයක් අප එහි මෙහෙයුම් කටයුතුවල නිරත වුණා. ගැටුම්වලට මැදිව අපේ භටයන් බොහෝදෙනෙක් මරණයට පත්වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. අපි මාන්කුලම් අත්පත් කරගත්තත් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රහාරක බලය හමුවේ අපට තන්ඩිකුලම් දක්වා පසුබහින්න සිදුවුණා. වසර දෙකහමාරක මෙහෙයුම් අත්පත් කරගත් දේවල් දින දෙකහමාරක් වගේ කාලයකින් අපෙන් ගිලිහුණා. හේතුව වුණේ අත්පත් කරගත් ප්‍රදේශවල බලය රඳවාගෙන තබාගන්න තරම් පිරිස් බලයක් අපට නොතිබුණ එක. කර්නල් රොෂාන් ද සිල්වාට ස්තුති වෙන්න අපට ඕමන්තෙයිහි කඳවුරු බඳින්න පුළුවන් වුණා.
ඒ කාලයේ අපි ‘දුවන’ හමුදාවක්. මම මගේ ග්‍රන්ථයෙන් කියන්න උත්සාහ කරන්නේ ඒ දුවන හමුදාව, සිවුවැනි ඊළාම් යුද්ධයේදී ජයග්‍රාහී හමුදාවක් වුණේ කොහොමද කියන එක.
හමුදාවට ඔබ සඳහන් කළ පරාජයන් අත්වෙන්න හේතුවුණේ මොන වගේ කරුණුද?
එම කරුණු මගේ ග්‍රන්ථයේ හොඳින් විස්තර කර තිබෙනවා. 1983 – 2005 කාලය සැලකුවොත් හමුදාවේ පරාජයන්වලට ප්‍රධානම හේතුව වුණේ පැහැදිලි දේශපාලන දැක්මක් සහ ත්‍රස්තවාදය පරාජය කිරීමට ස්ථිර අරමුණක් නොතිබීම. දෙවැනි එක තමයි එල්.ටී.ටී.ඊ. පරාජය කිරීමට මූලෝපායක් නොතිබීම. තෙවැන්න තමයි යුද හමුදාවේ ප්‍රහාරක ශක්තිය වර්ධනය කිරීමටත්, අඛණ්ඩව අවි හා උණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමටත් නිසි සැලැසුමක් නොතිබීම.
මේ හේතු පැහැදිලි කරන්න ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි වඩමාරච්චි මෙහෙයුම. දේශපාලනමය වුවමනාවක් නොතිබුණු නිසා එය අතරමග නතර කර දැමුණා. ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාතික මට්ටමින් මූලෝපායක් නොතිබුණු නිසා පැවැති රජයන් කළේ එල්.ටී.ටී.ඊ.ය අපට දිගින් දිගටම පහර එල්ල කරමින් සිටියදීම ඔවුන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීම. සාම සාකච්ඡා බිඳවැටුණායින් පස්සේ ඔවුන්ට වුවමනා වුණා යුද්ධ කරන්න. නමුත් ඒ වෙනකොට අපිට ප්‍රමාණවත් පිරිස් බලයක් තිබුණේ නැහැ. අපේ භටයින් මියයන එක, බරපතළ තුවාල ලබන එක, ඔවුන්ට ගණනක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ අපි යුද්ධ කරනවා දකින්න විතරයි. අපේ පරාජයන්ට තවත් හේතුවක් වුණේ ආරක්ෂක අංශවල එක් එක් මට්ටම්වලට නායකයින් පත් කළේ යුද පිටියේ ජයග්‍රහණය මතවත්, ඔවුන්ගේ හැකියාවන් මතවත් පදනම් නොවී හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් වීම. ඔබේ හැකියාවන් ගැන සොයා බැලීමක් සිදුවන්නේ නැහැ. නමුත් ඔබ ජ්‍යෙෂ්ඨයෙක් නම් සේනාංක අණදෙන නිලධාරයෙක් ලෙස පත්වන්නට එය ප්‍රමාණවත්. හමුදා භටයන්ට අණදීමේ සමත්, දක්ෂ නිලධාරීන්ට මේ නිසා නිසි තැන් හිමිවූයේ නැහැ. ඉතින් අපට අත්වුණේ පරාජය.
තවත් සඳහන් කළොත් නොගැළපෙන භට කණ්ඩායම් සටන්වලට අනුයුක්ත කිරීම අප ලැබූ පරාජයන්ට හේතුවක්. මේ තත්ත්වයට වැඩි වශයෙන්ම මුහුණ දුන්නේ කොමාන්ඩෝ සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම්වල භටයන්. අවිගත් භට කණ්ඩායම් සාර්ථකව යෙදවිය හැකි මෙහෙයුම්වලට මෙම භට කණ්ඩායම් යෙදවීමෙන් අපට දිගින් දිගටම අවාසිසහගත තත්ත්වයක් උදාවූවා. කොමාන්ඩෝ හෝ විශේෂ කාර්ය බළකා භටයෙක් පුහුණු කරන්නට වසර එකහමාරක පමණ කාලයක් ගතවෙනවා. ජයසිකුරු මෙහෙයුමේ එක් අදියරකදී ආරක්ෂාව ඉතාම දැඩිව තරකර තිබූ මාන්කුලම්හි පිහිටි ගම්මානයක් අත්පත් කරගැනීමට යෙදවූ භටයින් 90 දෙනකුගෙන් යුත් සමස්ත දෙවැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවම අපට අහිමි වුණා. මේ ගම්මානයට අවිගත් භට පිරිස් මගින් ප්‍රහාර එල්ල කර යටත් කරගැනීමට හැකියාව තිබියදීයි ඔවුන් වෙනුවට කොමාන්ඩෝ භටයින් යෙදවීම සිදුවූයේ. දුර්වල මට්ටමේ හමුදා නායකත්වයක් යටතේ අපට අත්විඳින්නට සිදුවූයේ මෙවැනි දේ.
දුවන හමුදාවක ඉඳගෙන සටන් කරපු ඔබට ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන තිබුණු අදහස මොකක්ද?
දුවපු හමුදාවක් කියන එක තිත්ත ඇත්ත වුණත් මම දන්නවා මගේ මේ කියමන නිසා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝමයක් අමනාප වේවි යන වග. නමුත් අපි මාන්කුලම් ඉඳන් තන්ඩිකුලම් දක්වා දවස් දෙකහමාරකින් ආවේ දුවගෙන ආපු නිසා. ඒ නිසයි මම දුවපු හමුදාවක් ලෙස හැඳින්වීමක් කළේ. මම සමාව අයැද සිටිනවා එදා සටන් කළ ආකාරය ගැන හැඳින්වීමක් කිරීමට මම යොදාගත්තු වචනවලින් අපහසුතාවක් ඇතිවුණා නම්. විශ්‍රාමික හමුදාපති ලුතිනන් ජෙනරාල් සිසිල් විද්‍යාරත්න කියපු දෙයක් තමයි ඔහුට පරාජය වෙමින් සිටි හමුදාවකට නායකත්වය දීමට වුවමනාවක් නැහැ කියන එක. ඔහු උපරිමයෙන් උත්සාහ කළා ශ්‍රී ලංකා යුද හමුදාව නඟාසිටුවන්නට. නමුත් පලක් වුණේ නැහැ.
අන්තිම ඊළාම් යුද්ධය වෙනකම්ම ජනතාව විශ්වාස කළේ නැහැ අපේ හමුදාව ජයග්‍රාහකයෝ වේවි යන වග. පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් වරක් මා සමඟ සංවාදයක යෙදුණා. ඔහු මට කීවා ඔබට එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් කර දිනන්නට නොහැකි කියා. අපට පුළුවන් යැයි මම ඔහුට උත්තර දුන් පසු ඔහු නැවැත කියා සිටියා මෙහෙම. කර්නල් ඔයාගේ මිනිස්සු එල්.ටී.ටී.ඊ. එක්ක දීර්ඝ කාලයක් තිස්සේ සටන් වැදිලා ඉඳලත් තවම කිසිම ජයග්‍රහණයක් ලබලා නැහැ. ඒ හින්දයි අපට සාම සාකච්ඡාවලට යොමුවෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම මේ ගැන මගේ ග්‍රන්ථයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ රටේ ජනතාව, දේශපාලකයෝ, වෙනකක් තියා අපේම හමුදා භටයෝ පවා එල්.ටී.ටී.ඊ.ය කියන්නේ කිසිදා පරාජය කළ නොහැකි බලවේගයක් බවට විශ්වාසයක එල්බගෙන සිටියා. නමුත් 2009 මැයි මාසයේදී අපි එල්.ටී.ටී.ඊ.ය මතවාදයක් පමණක් වන තැනටම තල්ලු කර දැමුවා. මම නම් කිසිසේත්ම හිතන්නේ නැහැ එල්.ටී.ටී.ඊ.යට එදා තිබූ ශක්තියෙන් නැවැත නැඟිටින්නට පුළුවන් වේවි කියා. කැපවීමෙන්, විනයානුකූලව, ප්‍රචණ්ඩත්වයෙන් එල්.ටී.ටී.ඊ.යට නායකත්වය දුන් ප්‍රභාකරන් අද නැහැ. ඔහු නැතිව එල්.ටී.ටී.ඊ.යට පරණ ප්‍රචණ්ඩත්වයෙන් නැඟී සිටින්නට කොහෙත්ම හැකියාවක් නැහැ.
2005 – 2009 අතර කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව ජයග්‍රාහක හමුදාවක් බවට පරිවර්තනය වූ බව ඔබ පැවැසුවා. මේ වෙනසට හේතුවුණේ මොනවාද?
උගත් පාඩම් හැටියට මට ඒවා ලැයිස්තුගත කරන්න පුළුවන්. එදා පැවැති රජයයි, හමුදාපති සරත් ෆොන්සේකා මහතායි කටයුතු කළේ ත්‍රස්තවාදය පරාජය කරන්න පැහැදිලි කිරීමක් ඇතිව. අත්දැකීම් බහුල හමුදාපතිවරයකු වූ එතුමා ත්‍රස්තවාදය විනාශ කර දමන්න සම්පූර්ණයෙන්ම කැප වෙලා සිටියා. ඒ වගේම එතුමා කිව්වා යුද්ධය තමන්ගෙන් පසු එන හමුදාපතිවරයාට ඉතුරු කරන්නේ නැතිය කියා. ඔහු ඒ පොරොන්දු වූ ආකාරයට කටයුතු කළා. නමුත් එදා තිබූ රජයේ සහාය නිසා නොවන්නට ඔහුට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ. නව සාමාජිකයන් බඳවා ගැනීමට නොයෙක් වැඩසටහන් දියත් කිරීමට අවසර දෙමින් එදා රජය යුද්ධය අවසන් කරන්න විශාල සහායක් ලබාදුන්නා. ඒ හමුවේ යුද හමුදාවේ පිරිස් බලය 1,20,000 අගයේ සිට 2,30,000 දක්වා ඉහළ ගියා.
ඔබ යුද්ධය අවසන් කරන්න. අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපට කිව්වා. උණ්ඩ ඉඳන් මිසයිල වෙනකල් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන්න අවශ්‍ය වුණු සියලුම දේ රජය අපට ලබාදුන්නා. මේ කාලයේ මෙහෙයුම්වලට නායකත්වය දුන් පුද්ගලයන් තෝරාගත්තේ හිටපු හමුදාපතිවරයා. එම මෙහෙයුම්වලට තෝරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු හොඳින් දැන සිටියා. ඔහු ජ්‍යෙෂ්ඨත්වය සලකා වගකීම් භාරදුන්නේ නැහැ.











