කොවිඞ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු ආකරය සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ලොව අනෙක් රටවල දහස් ගණන් පිරිස් වෛරසය හේතුවෙන් මිය යද්දී, ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී ඇත්තේ 11ක් තරම් වූ අවම මරණ ගණනකි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශය සිදු කළ කැපකිරීම් බොහෝය. ආරක්ෂක අංශය සිදු කළ කැප කිරීම් බොහෝය. ඒ සියල්ල සඳහා ජනධිපතිවරයා සහ රජය ලබා දුන් නිවැරැදි මඟ පෙන්වීම අති විශ්ෂ්ට බව බොහෝ දෙනාගේ විශ්වාසය.
කොවිඞ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු ආකරය සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ලොව අනෙක් රටවල දහස් ගණන් පිරිස් වෛරසය හේතුවෙන් මිය යද්දී, ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී ඇත්තේ 11ක් තරම් වූ අවම මරණ ගණනකි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශය සිදු කළ කැපකිරීම් බොහෝය. ආරක්ෂක අංශය සිදු කළ කැප කිරීම් බොහෝය. ඒ සියල්ල සඳහා ජනධිපතිවරයා සහ රජය ලබා දුන් නිවැරැදි මඟ පෙන්වීම අති විශ්ෂ්ට බව බොහෝ දෙනාගේ විශ්වාසය.
ශ්‍රී ලංකාවට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ මුල් දින සිටම එය කඩ කරන්නන් සොයා දිවයින පුරා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක විය. එම මෙහෙයුම් හරහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් සහ වාහන ගණනද අති විශාලය. නමුත් ශ්‍රී ලාංකේය පුරවැසියන් අතරින් බහුතරය නිරෝධායන නීතිය අකුරටම පිළිපැද්දේ තම වගකීම හොඳ හැටි තේරුම් ගෙනය.
ලෝකයේ සෙසු රාජ්‍යයන්ට කලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමට රජයට හැකි වූයේ ඒ සියළු කරුණු කාරණා නිසාය. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබුණද නිරෝධායන නීතිය රට පුරා තවමත් අකුරට ක්‍රියාත්මකය. නමුත් පසුගිය 27 වැනිදා සිට ඒ සියල්ල හදිසියේ වෙනස් වන බවක් දක්නට හැකි විය. ඒ නිරෝධායන නීති බිඳකට හෝ මායිම් නොකරමින් හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීමට එහි සංවිධායකයන් කටයුතු කිරීමත් සමඟය.

හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙලොවින් සමුගත්තේ පසුගිය මැයි 26 වැනිදාය. පසුගිය මාර්තු මස මැද භාගයේ සිටම මෙරට සිදු වූ සියලුම අවමංගල්‍යෝත්සව සිදු කරනු ලැබුවේ නිරෝධානය නීතියට යටත්වය. ඒ සඳහා වූ විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අධ්‍ය්ක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබුණි.
එහි සඳහන්ව ඇති ප්‍රධාන කාරණය වන්නේ හැකි ඉක්මණින් අවමංගල්‍ය කටයුත්ත අවසන් කළ යුතු බවය. එමෙන්ම පිරිස එක්රැස් වීම හැකි තාක් අවම කරන ලෙසටත්, කැරම් දාම් වැනි ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසටත් එහි සඳහන්ව ඇත. සැබවින්ම පසුගිය මාස කිහිපය පුරා ශ්‍රී ලංකාවේ පැවැති සෑම අවමංගල්‍ය උත්සවයකදීම එම කරුණු අකුරටම ක්‍රියාත්මක විය. එය අධීක්ෂණය සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද අවමංගල්‍ය පැවැත්වෙන නිවසට කිහිපවරක් පැමිණීම සාමාන්‍ය සිදුවීමක් විය.
නමුත් ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගලf්‍යා්ත්සවයට ඒ කිසිදු කරුණක් අදාළ නොවීම විශේෂත්වයක් විය. තොණ්ඩමන් මහතාගේ දේහය දින පහක් පුරා මහජන ගෞරවය පිණිස තබා ගත් අතර ඒ දින කිහිපය තුළ දේහය ප්‍රදේශ කිහිපයක් වෙත ගෙනයාමද කැපී පෙණුනු කරුණක් විය. ඒ මහතාගේ දේහය කොළඹ තැන්පත් කර තිබූ මුල් දින සිටම එයට සහභාගි වූ කිසිවකු සමාජ දුරස්ථ භාවය රැක ගන්නා ආකාරයක් දක්නට හැකි නොවීය. කොටින්ම තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා හැසිරුණේ සමාජ දුරස්ථභාවය පිළිබඳ කිසිවක් නොදන්නා අය ලෙසිනි. කොරෝනා අවදානමෙන් මිදීමට ගත යුතු ප්‍රධාන උපක්‍රමය ලෙස සැලකෙන්නේ සමාජ දුරස්ථභාවයය. පිරිසක් එක් රොක් වන සෑම අවස්ථාවකදීම එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගන්නා ලෙස සෞඛ්‍ය උපදෙස් ලබා දී ඇත්තේ එබැවිනි. නමුත් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යෝත්සවයේ දර්ශන මාධ්‍ය ඔස්සේ දුටු ජනතාව විමසන්නට වූයේ එම උපදෙස් රජයේ ඇමැතිවරයකු මිය ගිය විට අදාළ නොවන්නේදැයි යනුවෙනි. තම සිඟිති දියණියගේ අවමඟුලට සහභාගි නොවෙමින් පාළු නිවසක තනිවම නිරෝධායනය වූ මිනිසුන් පිළිබඳ කනගාටුදායක මතකයන්ගෙන් හිත් පුරවා ගෙන සිටි අපේ රටේ මිනිසුන්ට තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය විමතියට කරුණක් විය.

එම තත්ත්වය කොළඹදී පමණක් නොව දේහය ඉන් අනතුරුව රැගෙන ගිය ගම්පොළදීද දැක ගත හැකි විය. එහිදී ජනතාව අතර පරතරය මීටරයක් තබා සෙන්ටිමීටරයවත් නොවීය. එමෙන්ම තම පියාගේ අවසන් ගමන දැක ගැනීමට පැමිණෙන ජනතාවට ආචාර කිරීමට ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොන්ඩමන් මහතා වහලය රහිත වාහනයක නැඟ සිටියේ තම මුඛ ආවරණය කටිනුත් පහළට දමා ගෙනය. නමුත් එදිනම මුඛ ආවරණය නිසියාකරව නොපැළඳීමේ වරදට දිවයින පුරා පොලිස් ස්ථානවලදී අත්අඩංගුවට පත් සාමාන්‍ය පුද්ගලයන් ගණන විශාලය. ඒ අතරින් ඇතමුන් අවවාද කර නිදහස් කර ඇති නමුත් ඇතැමුන් නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයකට යටත් කිරීමෙන් පසුවය. මුව ආවරණය කටින් පහතට දමා ගමන් කිරීමේ වරදට අත්අඩංගුවට පත්වී ඇප ලබා දීමට කිසිවකු පැමිණෙන තුරු පොලිස් සිර මැදිරියේ කූරු ගණන් කළ අහිංසක මිනිසුන් නිවසට ගිය පසු මාධ්‍ය ඔස්සේ දුටුවේ ජීවන් තොණ්ඩමන් ඒ අයුරින්ම මුව ආවරණය පහතට හෙළා ප්‍රසිද්ධියේ හැසිරෙන අන්දමය. එකම රටක් නීති දෙකක් දැයි තමන්ගෙන්ම අසා ගන්නවා විනා වෙන කළ හැකි දෙයක් ඔවුනට නොවීය.
කෙසේ නමුත් මේ සියලු කරුණු ඔස්සේ තොණ්ඩමන් මහතාගේ අවමංගලෝත්සවය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට තුළින් ගොඩ නැගෙන්නට විය. ඒ අතර ඉදිරියේම සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සමාජික වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කර සිටියේ ඒ හරහා බලවත්කම මත නීතිය වෙනස් වනව දැයි සැකයක් ජනතාව තුළ ඇති විය හැකි බවය. එම තත්ත්වය මත ජනතාව නිරෝධායන නීතිකඩ කිරීමට පෙළඹුණහොත් එය බරපතළ තත්ත්වයක් වනු ඇති බවද සොයිසා මහතාගේ අදහස විය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට තොණ්ඩමන් මහතාගේ පාර්ශවයෙන් තර්ජන කර ඇති බවට ආරංචියක් පැතිර යන්නට වූයේ ඒ අතරතුරේය. ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපතිවරයාද මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීය. එහිදී තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය සිදු කළ ආකාරය දැඩිව විවේචනය කළ ඔහු මේ ආකාරයෙන් නිරෝධානය නීති කඩ කිරීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් කරන බවද සඳහන් කළේය.
අවමංගලෝත්සවය සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ පාර්ශවයන්ගෙන්දැඩි විවේචන එල්ල වද්දී රජයට ඒ සඳහා යම් පියවරක් නොගෙන සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. සුපුරුදු පරිදි 31 වැනි ඉරිදා දිනය දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනයක් ලෙස නම් කර තිබියදී, 30 වැනි සෙනසුරාදා දිනය පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ ඒ අනුවය. නමුත් 30 සහ 31 දින දෙක තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්ක වූ ආකාරය සම්බන්ධයෙන්ද යම් විවේචන එල්ල වෙමින් ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දින දෙක තුළ තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර තිබූ ස්ථානය වෙත යෑමට සාමාන්‍ය ජනතාවට අවසර නොතිබුණද, දේහය රැගෙන යන අවස්ථාවේදී මඟ දෙපස සිට ආචාර කිරීමේ අවස්ථාවඔවුනට හිමි වී තිබුණි. නමුත් ඒ සඳහාද සාමන්‍ය ජනතාව එක් රැස් වී තිබුණේ බොහෝ විට මීටරයේ පරතරය නොතකමිනි. තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි විශාල පිරිසක් නැවත හරවා යවන ආකාරයද දක්නට ලැබුණි.
ආරුමුගම් තොණ්ඩමන් යනු වසර ගණනාවක් පුර වතු කම් කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ජනතා නායකයෙකි. එබැවින් ඔහුට අවසන් ගෞරව දැක්වීමට වතුකරය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සැදී පැහැදී සිටීම අරුමයක් නොවේ. එමෙන්ම තම නායකයාට අවසන් ගෞරව දැක්වීමට අයිතියක් එම ජනතාවට හිමි විය යුතු බවටද විවාදයක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ තොණ්ඩමන් මහතා අවාසනාවන්ත ලෙස දැයෙන් සමු ගත්තේ ඒ කිසිවකට සුදුසු නොවන මොහොතකදී වීමය. තොණ්ඩමන් මහතාගේ අවමංගලෝත්සවය දැඩි ආන්දෝලනයකට ලක් වන්නේත්, ඒ හරහා රජය අප්‍රසාදයට පත් වන්නේත් ඉහත කාරණය අවමංගලෝත්සවයේ සංවිධායකයන් නොසලකා හැරි නිසාය.
මේ අතර ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගලෝත්සවය සමබන්ධව වාර්තා වූ සංවේදී කාරණයක්ද සඳහන් කළ යුතුය. ඒ තොණ්ඩමන් මහතාගේ දියණිය සම්බන්ධවය. ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ වෛද්‍යවරියක ලෙස මැද පෙරදිග කලාපයේ සේවයේ නියුතුව සිටි තොණ්ඩමන් මහතාගේ දියණිය නිරෝධායන නීති නොතකමින් අවමංගලෝත්සවයට සහභාගි වීඇති බවය. නමුත් එය සාවද්‍ය පුවතකි. තම පියාගේ හදිසි වියෝව සැලවී ශ්‍රී ලංකාවට පැමිණි නචියා තොන්ඩමන් මහත්මිය මේවන විට පසු වන්නේද නිරෝධායන මධ්‍යස්ථානයකය. තම පියා රජයේ ප්‍රබල ඇමැතිවරයකු වූවද, නිරෝධායන නීතියට පිටින් රටට ඇතුලු වීමේ අවස්ථාව ඇයට හිමි වූයේ නැත. දහස් ගණන් පිරිස් තම පියාගේ දේහයට අවසන් ගෞරව දක්වද්දී ඇයට සිදු වූයේ නිරෝධායන මධ්‍යස්ථානයකට වී තනිව කඳුලු සැලීමටය. තම පියාට අවසන් ගෞරව දක්වමින් ඇය එවා තිබූ ශෝක පණිවිඩය අවමංගල සභාවේදී කියවනු ලැබුවේ ඇයගේ සොහොයුරා විසිනි.
කතා කිරීමට බොහෝ දේ සහ සිතා බැලීමට බොහෝ දේ ඉතිරි කරමින් ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයෙන් සමු ගෙන ගියේය. කෙසේ වෙතත් ඒ මහතාගේ අවමංගලෝත්සවය හරහා නිරෝධායන නීති කඩ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම රජයේ වගකීමය. එය ඉදිරිය සඳහා යහපත් පූර්වාදර්ශයක් වනවා නොඅනුමානය. එමෙන්ම තොණ්ඩමන් මහතා ඇතුලු පසුගිය සමයේ මියගිය සියලුම දෙනාගේ ගෞරවය රැක ගත හැක්කේ ඒ හරහා පමණක් බවද සඳහන් කළ යුතුය.
නීති කැඩුවා -සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

“දැනට උද්ගත වෙලා තියෙන කොරෝනා වෛරස තත්ත්වය නිසා පැය 24ක් තුළ ඒ අවමඟුල කරන්න කියලයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තියෙන්නෙ. ඒකට හේතුව මිනිසුන් අනවශ්‍ය ලෙස එකතු වෙන නිසයි. ඒක මේ අවස්ථාවේ අවදානම්. දරුවන්ට, දෙමව්පියන්ට විතරක් මළ සිරුර පෙන්වන්න ඉඩ දෙන්නෙ ඒ නිසයි. මේ අවමඟුල ඡන්දදායකයන්ට පෙන්වීමට දින පහක් විතර තබා ගැනීමෙන් ඡන්ද දායකයන්ගෙන් ජීවිතවලට අවදානමක් ඇති වෙනවා.
ඒවා පාලනය කරන්න තමයි සෞඛ්‍ය බලධාරීන් සීමා පැනවීම් නිවේදන පවා නිකුත් කළේ. ඇඳිරි නීතිය පවා දමා තිබුණෙ. ඒ වෙලාවේ මියගිය අමාත්‍ය තොණ්ඩමාන් මහත්තයගෙ පුතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට තර්ජනය කර ඇති බවක්ද දැනගන්නට ලැබුණා.
ඒ ගැන අපේ සංගමය අප්‍රසාදය පළ කරනවා. මෙවැනි අන්දමට සෞඛ්‍ය නීති රීති කඩ කිරීම් නිසා යම් විදියකට ඒ පළාතෙන් එක් කොරෝනා ආසාදිතයෙක් හෝ වාර්තා වුණොත් අදාළ සංවිධායකයන්ට විරුද්ධවත් නීතිමය පියවර ගන්නවා. මෙවැනි දේවල් අනෙක් අයත් පූර්වාදර්ශ ලෙස ගන්න පුළුවන්.
ජාසිංහ-අජිත් රෝහණ කතා නෑ

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දින දෙකක් තිස්සේ අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය අසාර්ථක විණි.
දේශපාලන වාසියකට හරවගන්න එපා – ලංකා කම්කරු කොංග්‍රසය
දිවංගත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු වු ආකාරය දේශපාලන වාසියකට හරවා නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ උප ලේකම් සහ මානව වැවිලි භාරයේ සභාපති භාරත් ආරුල්සාමි මහතා ඉල්ලා සිටියි.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් භාරත් අරුල්සාමි මහතා කියා සිටියේ විපක්ෂය දිවංගත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතුවලදි නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉන්දියානු ධජය ප්‍රදර්ශනය කරමින් අවසන් කටයුතු සිදු කළ බවත්, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු වත්මන් රජය දේශපාලන වාසියක් බවට පත් කරගත් බව පැවසු බවයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ පක්ෂ ධජය සහ ඉන්දියානු ධජය පිළිබඳව විපක්ෂයට අවබෝධයක් නොමැති විම කනගාටුවට කරුණක් බවත්, එවැනි අවබෝධයක් නොමැති විපක්ෂයක් පිළිබඳ තමන් පුදුමයට පත්වන බවත් භාරත් අරුල්සාමි මහතා කියා සිටියේය.
තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසිවලට අනුකුලව උපරිම අයුරින් සිදු කළ බවත්, ඒ පිළිබඳව අධික්ෂණය කිරිමට සෞඛ්‍යය අංශ නිලධාරින්ද විශාල පිරිසක් අවසන් කටයුතු සිදු වු නොර්වුඞ් ක්‍රිඩාංගණයට පැමිණ සිටි බවත් හෙතෙම කීය. දේශපාලන වාසි ලබා ගැනීමට තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු පිළිබඳව හෝ තොණ්ඩමන් මහතාගේ පවුලේ සමාජිකයන් එක්කර නොගන්නා ලෙස භාරත් අරුල්සාමි මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කළා -නුවරඑළිය හිටපු පොහොට්ටු මන්ත්‍රි සී.බී. රත්නායක

තොණ්ඩමාන් අමාත්‍යවරයාගේ අවමඟුල සිදුකිරීමට වතුකරයට රැගෙන යෑමේදී සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවයි එය සිදුවුණේ. ඔහු වෘත්තීය සමිති නායකයෙක් වුණත් දේහය රැගෙන යද්දී තැන් තැන්වල නතර කරන්න නැතිවයි ගෙනගියේ. ඇඳිරි නීතියත් පනවල ඒව පාලනය කරල තිබුණා. ඔහුගේ ලොකු දියණිය තවමත් නිරෝධායනය වෙමිනුයි ඉන්නෙ. එයා දේහය බලන්න ආවෙ නැහැ. දෙවැනි දුවයි, පුතයි තමයි ඒ සඳහා ඉදිරිපත් වුණේ. පොලිසියයි හමුදාවයි ආරක්ෂාකාරීව එය සිදුකළා.
මහජන විශ්වාසය බිද වැටුණා -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා.
“මේ සිද්ධිය නිසා කොරෝනා සඳහා පනවා තිබූ නීති රීති සම්බන්ධව මහජන විශ්වාසය බිඳවැටුණා. අපි මේ ගැන වෛද්‍යවරුන්ගෙන් සංගමය නිවේදනයක්ද නිකුත් කළා. කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් ගැන කියැවෙද්දී මෙවැනි අන්දමට කටයුතු කිරීමෙන් එය වසංගතය පාලනයට නරක විදියට බලපානවා.”
දුරස්ථභාවය ගැන අවධානය යොමු කළා -නුවරඑළිය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල
“අවමඟුලට සහභාගි වූවන් සඳහා නිරෝධායන නීති දුරස්ථභාවය යන කරුණු ගැන විශේෂ අවධානයකට යොමුකළා. මුඛ ආවරණ, විෂබීජ නාශක ක්‍රියාවලියද සිදුකළා. ඒවා සිදුවෙනවද කියල සොයා බැලුවා.
මම උත්තර දෙන්නෙ නෑ -මහජන සෞඛ්‍ය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන
“තොණ්ඩමාන් ඇමැතිවරයාගෙ මරණ ගෙදර ගැන මට කිසිවක් කියන්න බැහැ. ඒ ගැන පී.එච්.අයි.ලගෙන් අහන්න. ඔය සමාජ වෙබ් අඩවිවල යන දේවල්වලට උත්තර දෙන්න මම සූදානම් නැහැ.
නීතිය හැමෝටම එකක් විය යුතුයි -වලපනේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිරණ්‍යා හේරත්

“ඒ අවමඟුල් උත්සව අවස්ථාවෙ කොච්චර නිරෝධායන වුණාද නැද්ද කියල අපි දැක්කෙ මාධ්‍ය තුළින්. රටේ නීතිය සෑම කෙනකුටම එක හා සමාන වෙන්න ඕනෑ. එතකොටයි පුළුවන් වෙන්නෙ කාටත් සාධාරණය ඉටුවුණා කියන්න. රජය ඇඳිරි නීතිය පැනෙව්වා. නමුත් ඒ ගැන නොතකා ගොඩාක් දෙනෙක් ආවා දැක්කා. නීතිය ගැන කතා කළත් අපටත් දෙන්න උත්තර නැහැ. කොරෝනා නිසා සැරෙන් ඇඳිරි නීතිය පනවලා ඒවා කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුවුණා. මෙයත් සංකීර්ණ ප්‍රශ්නයක්. රටේ ආරක්ෂාව, සෞඛ්‍ය දෙක ගැනම බලන්න ඕනෑ. නමුත් රජය ගත්ත පියවර අසාර්ථකයි.
ප්‍රේමලාල් විජේරත්න – චන්දන පොන්නම්පෙරුම











