ඇෆ්ගනිස්ථානයේ තිබූ වසර එක්දහස් හත් සියයකට (1700) වඩා පැරණි ඓතිහාසික මහා වටිනාකමකින් යුත් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තලෙයිබාන් කාරයින් විසින් විනාශ කරනු ලැබීම මහ පොළොව නොඋසුලන අපරාධයක් සේම තුච්ඡ නින්දිත පාහර ක්‍රියාවක් බව අන්තගාමීන් හැර සමත්ත ලෝකවාසීහුම එක හඬින් කීහ. ඒ අධම චිරස්ථීන ක්‍රියාවම යළිදු සිහිපත් කිරීමේ සිද්ධි මාලාවක් නැවත පෙළ ගැසෙමින් තිබේ.
ඒ පාකිස්තානයේ පාලන බල ප්‍රදේශයේ ජම්මු සහ කාශ්මීර් දෙපළාතට අයත් ගිල්ගිට්-බැල්ටිස්ටන් ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමා සහ ශිලා ලේඛන තිස් දහසකට (30,000)වැඩි සංඛ්‍යාවක් විනාශ කර දැමීමේ සූදානමය.
ඉන්දුස් ගංඟාව හරස්කර ඩයමර් බාෂා වේල්ල ඉදිකිරීමෙන් මේ විනාශය සිදුවේ. එහෙත් මේ සුද්ධ වස්තූන් ආරක්‍ෂා වෙතැයි යන්න පිළිබඳව අංශු මාත්‍රයක අබපියැල්ලක තරමේ අපේක්‍ෂාවක් තබා ගත හැකි වෙතැයි සිතිය හැක්කේ ඉදිකිරීම් කර්මාන්තයට චීනයේ කොමියුනිසට් ආණ්ඩුව අරමුදල් යෙදවුවහොත් පමණක් යැයිද අනුමාන කෙරේ. එසේ නොවී ඉදිකිරීම් ව්‍යාපෘතියට පාකිස්ථානය මුදල් ආයෝජනය කළහොත් ලොවේ සිටින්නේ තම දෙවියන් පමණක් යැයි උග්‍ර අන්තවාදී මතයක එල්බ ගෙන සිටින පාකිස්ථානුවන්ගෙන් බුදු පිළිම ඇතුළු බෞද්ධ ඓතිහාසික ලේඛන ඉතුරු වෙතැයි කිසිදු විශ්වාසයක් තැබිය නොහේ.
එතකුදු වුවත් චීන කොමියුනිස්ට් රජයද නුදුරු අතීතයේදී බෞද්ධ ප්‍රතිමා අට සියයකට (800) වැඩි සංඛ්‍යාවක් පෙළොවටම සමතලා කෙළේය. පාකිස්තානයද ඒ ක්‍රියාවට නොදෙවැනිව කයිබර් පක්තුන්කාවා පළාතේ තිබූ වසර එක දහස් හත්සියයක් (1700) තරම් පැරණි බුද්ධ ප්‍රතිමාවක් පසුගියදා විනාශ කෙළේය.
පුරාවිදා්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයකු වන පාකිස්ථානු ජාතික මුහමඞ් සාහිර් පවසන්නේ ගිල්ගිට්-බැල්ටිස්ටන් කලාපයේ පුරාවස්තූන් ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් බවය. ඒවා තක්‍ෂිලාවට සහ ගාන්ධාරයේ පිළිම සහ කලාශිල්ප ආදියට නෑකම් කියන බවය.
යෝජිත වේල්ල සහ ජලවිදුලි බලාගාරය ඇතුළු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරනකොට ගෙන ඓතිහාසික වැදගත්කමින් යුතු ශුද්ධ වස්තූන් ජලාශයට යටවනවා පමණක් නොව, පෞරාණික ශිෂ්ඨාචාරයට සහ සංස්කෘතියට අයත් සම්පත් රැසක් විනාශ වන බවය.
මේ අතරතුරේ පෞරාණික සම්පත් විනාශ කිරීමටද පිරිසක් කටයුතු කරන බව වාර්තා වේ. බෞද්ධ කැටයම් සහිත පර්වත, ස්ථම්භ සහ විශාල ලේඛන සහිත ශිලා ලිපි ආදියේ මේ වන විට තාර වැනි දේ ආලේප කර මකා විනාශ කර ඇති අතර ඇතැම් ඒවා මත්තෙහි පාකිස්ථානු ජාතික කොඩිය පින්තාරු කර ඇත.
චීන, ජපන් සහ කොරියානු ජාතිකයෝ සෑම වර්ෂයකම පාහේ මේ බෞද්ධාගමික සිද්ධස්ථාන නැරඹීමට පැමිණෙන්නාහ.
බෞද්ධ කලා ශිල්ප, කැටයම් කෙටූ ස්ථම්භ, ශිලාලේඛන සහ බුදුපිළිම පිහිටා ඇති ප්‍රදේශයේ වපසරිය කිලෝ මීටර් එකසිය තිස් පහක් (135) බවද එහි ගම්මාන පනහකට (50) වැඩි සංඛ්‍යාවක් ඇති බවද, ඒ සියල්ල යෝජිත වේල්ල නිසා ජලාශයට යටවන බවද පාකිස්තානු රජයෙන් පැවැත් වූ පුරාවිදා්‍යාත්මක සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.
සිදුවන්නට යන මහා විනාශය වළක්වා ගැනීමේ අරමුණින් පාකිස්ථානයේ වෙසෙන බුද්ධිමත් එමෙන්ම මධ්‍යස්ථ මතධාරී විශාල පිරිසක් උද්ඝෝෂණ ගණනාවක්ද පවත්වා ඇත්තාහ.
වේල්ල සහ ජලවිදුලි ව්‍යාපෘතියේ සම්පූර්ණ අයිතිය ඉල්ලමින් ඉදිකිරීමේ කර්මාන්තයට චීනය අත ගසනවාට විරුද්ධ වූ පාකිස්ථානය ඒ කටයුත්ත තමන්ම කිරීමට උත්සාහ දරා තිබේ. එහෙත් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් සොයා ගැනීමට පාකිස්ථානයට හැකිවී නැත. පාකිස්ථානයේ උත්තමාධිකරණය ඉන් පසු රටේ ධනවත් පිරිසට ව්‍යාපෘතිය ඇරඹීම සඳහා දේශප්‍රේමී අරමුදලක් ආරම්භ කරන ලෙසටද ඉල්ලීමක් කර තිබේ. එහෙත් ඒ ඉල්ලීමද ඉෂ්ට සිද්ධවී නැත. අවශ්‍ය තරම් අරමුදල් සොයා ගැනිමේ දුෂ්කරතාව නිසා පාකිස්තානය වේල්ල ඉදිකිරීමේ අදහස අත්හැර දැමිණි.
ඉන් අනතුරුව පාකිස්ථානයට සිදුවූවේ පොල්කටුව අතින් ගෙන චීනයෙන් හිඟමන් ඉල්ලීමටය.
මේ වන විට ජල විදුලිබල ව්‍යාපෘතිය චීනයේ කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් ඔෆ් චයිනා සමග පාකිස්තානු යුද හමුදාවේ ෆ්‍රන්ටියර් වර්ක්ස් ඕර්ගනයිසේෂන් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ. ඒ පිළිබඳ ගිවිසුමට අනුව ව්‍යාපෘතියෙන් සියයට හැත්තෑවක් (70%) චීනයට අයත් වේ. එය පාකිස්තානයේ ස්වාධිපත්‍යයට බරපතළ හානියකි. එපමණක් නොව ව්‍යාපෘතියෙන් යථෝක්ත බෞද්ධ ඓතිහාසික සම්පත් සම්භාරයට අත්විය හැකි ඉරණමද ඉතාමත් බරපතළය.
බෞද්ධයන්ගේ ආගමික ස්වාධීනත්වයට හානි කෙරෙන අන්දමින් චීන කොමියුනිස්ට් රජය තහනම් නීති පනවමින් බෞද්ධ සම්පත් (බුද්ධ ප්‍රතිමා කැටයම් සහිත පර්වත ස්ථම්භ සහ විශාල ශිලා ලේඛන) විනාශ කිරීමට මේ වන විට නියෝගද නිකුත් කර ඇත. මේ නියෝගය අන්තවාදීන්ට අඬන්න සිටින එකාගේ ඇහේ කෝටුවක් ඇණුනා සේය.
ජිලියන් :න්‍සකසබ* පළාතට නිරිතදිග කඳුමුදුනක තිබූ මීටර් විසි නමයක් (29) උස බුද්ධ ප්‍රතිමාවක් මේ අනුව පසුගියදා කඩා බිඳ විනාශ කර දැමිණි. බුද්ධ ප්‍රතිමාව විනාශ කිරීමට හේතුව වශයෙන් ඉදිරිපත් කෙරුණේ එය උස වැඩිය යන කරුණය.
ලොංයූන් විහාර භූමිය ආසන්නයේ කඳු මුදුනක පිහිටා තිබූ අඩි සියයකට (100) වැඩි(මීටර් තිහක්) උසකින් යුත් ගුවන් ප්‍රතිමාව ඇතුළු ප්‍රතිමා රැසක්ද පසුගියදා විනශ කෙරිණි.
බෞද්ධ උරුමයන් විනාශ කර දැමීමේ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ අභිප්‍රාය බෞද්ධාගම යටපත් කර රටවාසීන් කොමියුනිස්ට් නැඹුරුවට ගෙන ඒමය.
ගුවනි බුද්ධ ප්‍රතිමාව විනාශ තිරීමේ සත්‍ය කරුණ නම් බෞද්ධ බැතිමතුන් බුදුගුණ ගයමින් නිති පතා බුදුන් වැඳීම රජයට ඉවැසිය නොහැකි වීමයි. චීන ආණ්ඩු ප්‍රතිපත්තිය අනුව බුදුන් වැඳීම තහනම්ය.
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු කීවේ ප්‍රතිමා විනාශ කිරීමට එරෙහිව සටනක් ආරම්භ කරන බවයි.
බෞද්ධ පිළිම විනාශ කෙරමින් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පාකිස්ථානුවන්ගේ සහ විශේෂයෙන් ජිල්ජිත් වාසීන්ගේ ජීවිතවලට වගවීමට චීනයට සිදුවේ.
වේල්ල ඉදි කෙරෙන ප්‍රදේශය පාරිසරික වශයෙන් මහත් විපත්තිදායක එකකි. පිහිටා තිබෙන්නේ මධ්‍යම ආසියානු භූමි ස්ථරයේය. හඳුනාගනු ලැබ ඇති අන්දමට මේ ප්‍රදේශයේ සෑම මාසයකදීම සිදුවන භූකම්පන සංඛ්‍යාව තුන් සියයකට(300) අධිකය.
එසේ වුවත් ඩයමර් බාෂා වේල්ල හා බැඳුණු ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පැවැති ඉකුත් ජූලි මාසයේ (2020.07) දී පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ රට සංවර්ධනයේ ඉතිහාසගත වන අවස්ථාවක් උදාවූ බවයි.
එහෙත් එරට ජාතික ජල සම්පත් සංවර්ධන කවුන්සලයේ කැඳවුම්කරු වන සුලේමන් නජිබ් ඛාන්පැවසුවේ ඩයමර් බාෂා වේල්ල පුපුරා යාමට ආසන්න ජලකර බෝම්බයක් බවයි. එසේම අඩි නමසිය අටක් (908) උස වේල්ල යම් හෙයකින් බිඳුණහොත් ඇතිවන තත්ත්වයට මුහුණදිය හැකි අන්දමේ බලවත් වේල්ලක් රෝලර් කොම්පැක්ටඞ් කොන්ක්‍රීට් ක්‍රමයට හෝ මෙතෙක් ලෝකයේ ඉදිකෙරී නැති බවයි.
යෝජිත අඩි නමසිය අටක් උසට ඉදිවූ වේල්ල පුපුරා ගියහොත් අක්කර අඩි අසූ ලක්‍ෂයක් (80,00,000) හෙවත් ගැලුම් කෝටි දෙලක්‍ෂ හැට දහස් අට සියයක් (26,08,00,00,00,000) එක මොහාතින් විදාරණය වීමෙන් ජනිතවන ශක්තිය ජලකර බෝම්බයක් පුපුරා යාමේන් ඇතිවන ශක්තියට සමාන බවය. එසේ වුවහොත් පාකිස්ථානයේ සිට සුක්කූර් දක්වා ඉන්දු ගංඟාවේ දෙපස සම්පූර්ණයෙන්ම මුහුදට සෝදායන බවය.
පරිවර්තනය මාර පුත්‍ර