පසුගිය සතියේදී සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන් පිරිසක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් බන්දුලට කියා සිටියේ තමන් විශාල වශයෙන් සීනි තොග ගෙනැවිත් ගබඩාගත කර තිබූ බවත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ආණ්ඩුව සීනි මිල විශාල වශයෙන් පහත හෙළීමට පියවර ගැනීමත් සමඟ තමන්ට කෝටි ප්‍රකෝටි ගණනින් මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්ය. මේ නිසා තමන්ට දැන් සීනි ව්‍යාපාරය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට කියමින් ඔවුහු බන්දුලට මැසිවිලි නඟන්නට කටයුතු කළහ. මෙහිදී බන්දුල ඔවුන්ට දුන්නේ අපූරු පිළිතුරකි.
මට කිසිම බලයක් නෑ
“මම දන්නව ඕගොල්ලන්ට දැන් විශාල ප්‍රශ්නයකට මුහුණපාන්න වෙලා තියෙනව කියලා. හැබැයි මම වෙළෙඳ ඇමැති වුණාට මට එහෙම තීන්දු තීරණ ගන්න විදිහක් නෑ. ඕගොල්ලන් ගිහිල්ල අගමැතිතුමා හම්බවුණත් මම හිතන්නෙ වැඩක් නෑ කියලයි. ඒ හින්ද මේකට කරන්න තියෙන හොඳම දේ තමයි ඕගොල්ලන් ගිහිල්ල ජනාධිපතිතුමා හම්බුවෙලා මේ ගැන සාකච්ඡා කරන එක. එතැනින් එහාට මට නම් කිසිම දෙයක් කරන්න විදිහක් නෑ.” යනුවෙන් බන්දුල දුන් මේ පිළිතුරෙන් සීනි ව්‍යාපාරිකයක් එකිනෙකාගේ මුහුණු බලාගන්නා ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මෙම ව්‍යාපාරිකයන් සාකච්ඡාව නිමාකොට එළියට පැමිණ ප්‍රසිද්ධියේම කියන්නට ගත්තේ බන්දුලට අද මුහුණදීමට සිදුව ඇති දේ පිළිබඳවය. විසිවැනි සංශෝධනය ඉදිරිපත් කරද්දීත් බන්දුල ඊට එරෙහිවද මේ විදිහටම අදහස් පළ කළ අයුරු පෙන්වා දුන් ඔවුන් පසුව අවසානයේදී විස්සට අත් එසවූ ආකාරය පිළිබඳව සිනාසෙමින් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
විස්සෙදිත් හිතාගන්න බැරි දෙයක්
“විස්ස ගේද්දි බන්දුලත් ඒකට විරුද්ධව කතා කළා. හෘදයසාක්ෂියට එකඟව ඒකට ඡන්දෙ දෙන්න බෑ කියල කිව්ව. ඒක එයා අගමැතිතුමාටත් කියලයි තිබ්බෙ. ඒක පාර්ලිමේන්තුවට දැම්මම එයා සංශෝධන ඉදිරිපත් කරනව කියල නෝට් එකකුත් දාලයි තිබ්බෙ. හැබැයි අන්තිමට කිසිම සද්දයක් නැතුව එතුමා විස්සට අත ඉස්සුව. මොකක්ද වුණේ කියල අපිටත් හිතාගන්න බෑ.” යනුවෙන් එක් ව්‍යාපාරිකයෙක් එහිදී කියා සිටියේය.
කපිල පුංචිමාන්නගේ