පසෙක සුදෝ සුදු වැලි තලාවෙන් යුතු වෙරළ තීරයයි. තවත් පසෙක නිල්වන් දිය දහරාවන් නැගෙන නොගැඹුරු සයුරයි. උදෑසන නැගෙනහිර වෙරළට හිරු රැස් වැටීමෙන් වෙරළ තීරයේ වැලි කැට දිදුළන්නේ මිණි කැට මෙනි. නයාරු වෙරළ තීරයේ ඇති මනහර දර්ශනය දුටුවන් වෙරළ තීරය හැර යන්නේ මහත් ලොභකමකිනි.
නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ඉතිහාසය
එවන් සුන්දරත්වයක් ඇති නයාරු වෙරළ සීමාවේ පිහිටා ඇති නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය හා නයාරු නිරාවිය පිල්ලෙයාර් ගණදෙවි කෝවිල හේතුවෙන් මහත් අර්බුදයක් පසුගිය සමයේ හටගැනිණ. නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවෙන බැව් විහාරස්ථානයේ වැඩවිසු අපවත්වූ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් එවක පැවැසුවේ මෙලෙසය.
මේ නයාරු පන්සල තියෙන ස්ථානයට තමයි දළදා වහන්සේ වැඩම කරලා තියෙන්නේ. අපේ පන්සල තිබෙන කඳු ගැටයේ ඉඳලා බලනකොට නයාරු කළපුව පේනවා. අපේ පන්සලේ බුද්ධ වර්ෂ 244 කාලයේ ඉඳලා අතීත සටහන් තියෙනවා. ඉස්සර පන්සලේ චෛත්‍ය පහක් තිබිලා තියෙනවා. ඒත් යුද්දේ කාලයේ එව්වා විනාශ වෙලා.
නයාරු විහාරස්ථානය අසලින් දළදා වහන්සේ ගොඩබස්සවලා රුවන්මඩුව, රෑසේමඩුව, මාමඩුව, මඩුකන්ද ආදී රජමහා විහාරස්ථාන හරහා තමයි දළදා වහන්සේ අනුරාධපුර රාජධානියට වැඩම කළා කියලා අතීත කතාවේ සඳහන් වෙන්නේ.
මේ නයාරු ප්‍රදේශයට තමයි කොට්ටාරම් පත්තුව කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කොට්ටාරම් පත්තුව කියන්නේ කෝටියක් ආරාම තිබුණ ප්‍රදේශය කියන එකයි. ඒ තරම් වැදගත් ඉතිහාසයක් අපේ පන්සල ප්‍රදේශයට තිබෙනවා.
පුරාවිද්‍යාව පන්සල් සීමාවෙ අක්කර 93කින් යුතුව 2013 අගෝස්තු 16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා.
පන්සලේ හා කෝවිලේ අර්බුදය
අපවත්වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පන්සල හා කෝවිල සම්බන්ධයෙන් අර්බුදය හටගත් ආකාරය ලියුම්කරු වන මා හට එවක පැවසුවේ මෙලෙසය.

තමන් වහන්සේ ජනවාරි 14 වැනිදා උදැසන විහාරස්ථානයේ වැඩවසන වෙලාවේ ට්‍රැක්ටර දෙකක බඩුමුට්ටු පටවාගෙන දෙමළ ජනතාව පිරිසක් ආවා. ඇවිල්ලා මගෙන් අවසරයක්වත් ගන්නේ නැතුව එකවරම විහාර සීමාවට ඇවිල්ලා පොඩි ටකරන් මඩුවක් ඇටෙව්වා. මම ඇහැව්වා ඇයි කියලා. එතකොට එයාලා කිව්වා අපේ කෝවිලක් පන්සල ඇතුළේ තියෙනවා ඒකේ තෛපොංගල් සමරන්න ආවා කියලා.
මම කිව්වා එතකොට පන්සල ඇතුළේ මඩු ගහගෙන තෛපොංගල් සමරන්න බැහැනේ කියලා. එතකොට ඒ අය මන්ත්‍රීවරු කට්ටියකට කෝල් කළා. එහෙම කෙරුවට පස්සේ චාර්ල්ස් කියලා මහත්තයෙක්, ශාන්ති කියලා නෝනා කෙනෙක්, ශිවමෝහන් කියලා මහත්තයෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇවිල්ලා මහා ගාලගෝට්ටියක් කෙරුවා. පොලිසියෙනුත් ආවා. එයාලා ඇවිල්ලා උදේ පන්සලේ තිබුණු කොඩිවැල් කඩලා පන්සල් වත්තේ මඩුවක් ගහලා කිරිබත් හදලා පන්සලේ බිම හාරලා ගල් වගයක් දැම්මා. මම මොකවත් කිව්වේ නෑ. පොලිසියේ මහත්වරුත් බලාගෙන හිටියා.
මේක දැන් එයාලගේ බිමක් කියලා එයාලා කියනවා. රවිහරන් කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් ආවා. එයාට පන්සල්වලට කරදර කරන්න එපා කියලත් පොලිසිය කියලා තියෙනවා. ඒත් එයා මිනිස්සු කුලප්පු කරලා කටයුතු කරනවා. මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්. යුද්දේ ඉවර වුණාට පස්සේ. මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා. ඒකට තමයි ඔය කට්ටිය විරුද්ධවෙලා එක එක ප්‍රශ්න දාන්නේ. මම කියන්නේ ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය රැකගන්න ඕනේ. දළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොඳ නෑ. ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් දත කන්නේ.
යුද්දේ කාලයේ පන්සල ඉස්සරහා පොඩි දේවාලයක් හදලා යුධ හමුදාවේ කට්ටිය හා දෙමළ ජනතාව පූජා පවත්වලා තියෙනවා. ඒක අල්ලගෙන තමයි දැන් පන්සල් භූමිය එයාලගේ කියලා කියන්න උත්සාහ කරන්නේ. ඒත් මේ විහාරස්ථානය ගැන අතීත තොරතුර බුද්ධ වර්ෂ යුගය දක්වා විහිදෙනවා.
දැන් මේ පිරිසක් පන්සල අයිති භූමිය එයාලගේ කියලා මුලතිව් අධිකරණයේ නඩුවක් දාලා තිබ්බා. ඒ නඩුව පහුගිය පෙබරවාරි මාසයේ ඉඳලා කතා කෙරුවා. කතා කරලා පහුගිය මැයි මාසේ 06 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙමළ ජාතික සන්ධානයේ පිරිසකට නියෝගයක් දුන්නා පන්සල නිරාවිය පිල්ලයාර් කෝවිල කියලා නම් කරන්න කියලා. එතැන ඉදලා තමයි මේ පන්සලෙයි කෝවිලෙයි ගැටලුව උග්‍ර වුණේ. දැන් ඒකට විරුද්ධව වවුනියාව මහාධිකරණයෙත් නඩුවක් ගොනු කරලා තිබෙනවා. මම මේ විහාරය රැකගන්න ගන්න පුළුවන් හැම උත්සයහයක්ම දරනවා.”
විහාරාධිපති නාහිමිගේ අපවත්වීම
නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 20 වැනිදා රාත්‍රියේ අපවත්විණි. නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත ගෙන ඒමට විරුද්ධව විහාර භූමියේ පවතින කෝවිලේ පාලක සභාව මුලතිව් පොලිසියේ පැමිණිල්ලක් කරනු ලැබුවේ කෝවිල පවතින භූමිය වෙත මළ සිරුරක් ගෙන ඒමෙන් කෝවිලේ පාරිශුද්ධත්වයට ගැටලුවක් ඇතිවන බව සඳහන් කරමිනි.
අදාළ කාරණය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරුණු විමසීමේදී පසුගිය 22 වැනිදා මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ අධිකරණ නියෝගයකින් තොරව නාහිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය නොකළ යුතු බවයි. එලෙසම 23 වැනිදා උදෑසන විහාරස්ථානයේ විහාරාධිකාරි නාහිමියන් හා විහාරස්ථ දායක සභාවට අධිකරණයේ පෙනීසිටින ලෙසයි.
නාහිමියන්ගේ අදාහනය වෙනුවෙන් අධිකරණ නියෝග ලබාගැනීම

අපවත්වී වදාළ ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ ආදාහන කටයුතු විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබෙන ස්ථානයේ මුහුදු තීරයේ සිදුකරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව යමින් විහාරයේ අදාහන පූජෝත්සවයට වැඩම කළ සංඝ සභාව විහාරාධිපති හිමියන්ගේ ආදහන පූජෝත්සවය 23 වැනිදා විහාර භූමියේදී සිදුකළහ.
අපවත්වී වදාළ ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය පිළිබඳ පූජෝත්සවය එම විහාර භූමියේ සිදුනොකරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් සිදුවන බවට පවසා නයාරු නීරාවි පිල්ලෙයාර් කෝවිලේ පාලක සභාව සිදුකළ පැමිණිල්ලකට තීන්දුව ලබාදෙමින් මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ආදාහන පූජෝත්සවය විහාර භූමියෙන් පිටත මුහුදු තීරයේ පවත්වන ලෙස නියෝග කරනු ලැබීය.
තීන්දුව ලබාදීමෙන් අනතුරුව සංවේගයට පත් භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව පන්සල වටා රොක්ව නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විහාර භූමියේ සිදුකරන ලෙසට ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා සංඝසභාවේ තීරණය අනුව භික්ෂු සම්ප්‍රදායානුකූලව විහාරාධිපති හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු විහාර භූමියේ සිදුකළහ.
විහාර භූමියේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට එරෙහිව දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු දෙමළ ජනතාව විහාරය ඉදිරිපිටට පැමිණ තම විරෝධය පළකළ අතර එහිදී බෞද්ධ ජනතාව සහ දෙමළ ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණිනි. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මකවූ පොලිසිය සහ කැරලි මර්දන කණ්ඩායම් අදාළ ස්ථානයට පැමිණි අතර අධිපීඩන ජල ප්‍රහාරක බවුසරද එම ස්ථානයට රැගෙන ඒමට කටයුතු කළහ.
ඇතැම් දෙමළ හිතවාදීන් පිරිසක් පැමිණ සිටි භික්ෂුන් වහන්සේලාගේ මතය ගරු නොකරමින් කටයුතු කිරීමට උත්සාහ කළද පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කළහ. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානයේ විශාල ලෙස පොලිස් කණ්ඩායම් ගෙන්වා ආරක්ෂාව දැඩි කොට තිබිණි. පැමිණ සිටි භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා අවසන් කිරීමෙන් අනතුරුව ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය තැන්පත් කළ චිතකයට ගිනි දල්වනු ලැබීය.
ආදාහන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දමිළ නීතිඥ මහතුන් එක් පසෙක සිටි අතර, නඩු කටයුත්ත වෙනුවෙන් විහාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන් සිව් දෙනෙකු පමණක් විහාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.
විහාර පාර්ශ්වය වෙනුවෙන් නඩු විභාගයේදී අදහස් දැක්වු නීතිඥ මහතෙකු සිංහල භාෂාවෙන් අදහස් දැක්වීමට විරුද්ධව දමිළ නීතිඥවරුන් එහිදි ප්‍රකාශ කරනු ලැබුවේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව වන බැවින් සිංහලෙන් අදහස් දැක්වීම නොකරන ලෙසයි.
නඩුවේ විහාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන් පැවසුවේ ශ්‍රී ලංකාවේ සැමට පොදු නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ විධිවිධාන අනුව කටයුතු කිරීමට සියලුදෙනා බැදී සිටින බවයි.
කෝවිල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ ප්‍රාදේශීය සභා සුසාන භූමි ආඥා පනත අනුව මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව දේහය අදාහනය නොකළ යුතු බවයි.
නඩු කටයුත්ත උදෑසන 9.00ට ආරම්භ වූ අතර දෙපාර්ශ්වයේ නීතිඥවරුන් පැයක පමණ කාලයක් පළමු වාරයේ අදහස් දැක්වීම සිදුකළහ.
පළමු අදහස් දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විනාඩි 15ක කාලයක විවේකයක් ලබාදුන් අතර, අනතුරුව නඩු විභාගය දහවල් 12.30 දක්වා විවිධ අදහස් දැක්වීම සිදුකරමින් ගලාගෙන ගියේය.
නීතිඥ මහතුන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාව මත දේහය මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට එපිට වෙරළ සීමාවේ මිහිදන් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අදාළ නියෝගය විහාරස්ථානය වෙත රැගෙන යාමට පෙර සංඝ සභාව විහාරස්ථාන භූමියේම නාහිමියන්ගේ අවසන් කටයුතු කළ යුතු බවට තීරණය කොට විහාර භූමියේම දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරනු ලැබීය. අධිකරණ නියෝගයට විරුද්ධව දේහය විහාර භූමියේම ආදාහනය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥවරුන් සේවයෙන් බැහැරව කටයුතු කළහ.
ආදාහන පූජෝත්සවයට එක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ අවුරුදු 2500ක බෞද්ධ උරුමය රැකගත් පිරිස තවත් අවුරුදු 2500ක් බෞද්ධ උරුමය රැකගැනීමට කටයුතු කළ යුතු අතර, බෞද්ධ උරුමය රැකගැනීමට නම් සිංහල ජාතිය සිය අභිමානය රැකගත යුතු බවයි.
ඒ වෙනුවෙන් තමන් වහන්සේ ඇතුළු සංඝ සභාව නාහිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහන කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ එහිදි ප්‍රකාශ කළහ.
නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතාගේ මතය
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එපිටින් ගොස් හින්දු කෝවිලක් පවතින භූමිය තුළ දේහයක් අදාහනය කිරීම තුළින් අපේ කෝවිලේ පවිත්‍රත්වය අශුද්ධ වුණා.
සිංහල භික්ෂුන් වහන්සේලා හා සිංහල ජනතාව සිදුකළ අදාළ ක්‍රියාව අපි තරයේ ප්‍රතික්ෂේප කරන අතර හින්දු කෝවිලකට මස් මාළු කෑමෙන් පසුවත් හින්දු ජනතාව ගමන් නොකරන අතර එවැනි ශුද්ධ වූ ස්ථානයක මළ සිරුරක් ගිනි තැබීම තම සංස්කෘතියට සිදුකළ මහා කැළලක්. අධිකරණය කෝවිල් භූමියෙන් එපිට සිරුර මිහිදන් කරන ලෙසට අධිකරණ නියෝග කර තිබියදී මෙවැනි ක්‍රියාවක් සිදුකිරීම තමන් ඇතුළු සමස්ත දෙමළ ජනතාවම අනුමත කරන්නේ නෑ.
මෙම ක්‍රියාව දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව මහා අවමානයක් වන අතර දෙමළ ජනතාව පරම පවිත්‍ර කෝවිලක් පවතින ස්ථානයක මෙවැන්නක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බවට තමන් විශ්වාස කරනවා යනුවෙන් හෙතෙම පැවැසීය.
දෙමළ සන්ධානයේ හා නීතිඥවරුන්ගේ විරෝධතා

අධිකරණ නියෝගයට එපිටින් ගොස් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස හා මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන ලෙසට ඉල්ලීම් කරමින් සිවිල් සංවිධාන රැසක් ආරම්භ කළ විරෝධතා වැඩසටහන උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා මුලතිව් නගරයේදී පැවැත්විණ.
මුලතිව් පැරණි රෝහල ඉදිරිපසින් ආරම්භ කළ විරෝධතාව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ අතර, එහිදී දිස්ත්‍රික් ලේකම්වරිය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.
විරෝධතාවට එක්වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඇතුළු පිරිස නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතු අතර උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජ භූමිය තුළ නව සිංහල ජනාවාස බිහිකරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවයි. නීතියේ සාධාරණය කෝ? නීතියට විරුද්ධවූවන්ට සිදුකරන්නේ කුමක්ද? දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයන් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන්න ලෙසට විරෝධතාකරුවන් හා විරෝධතාවට එක්වූ නීතිඥවරුන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු පටි පැලඳගෙන විරෝධතාවයේ නිරතවිණි.
වව්නියාවේ එන්. ප්‍රියදර්ශනී











