අපි මීට හරියටම වසරකට කලින් කාත්තන්කුඩි ගියා. ඒ පාස්කු ප්‍රහාරයෙන් සතියකට පස්සෙ. ඒක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන ගමනක්.
“බලාගෙන ඔය ගමන යන්නෙ…”
“බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බකාරයො හැම තැනම…”
“සෙල්ලං කරන්න එපා, යන්න පුළුවන් ගමනක්ද ඔය…”
කියලා අපිට හැමෝම කිව්වා. ඒ නිසා අපි වෙන දේකට මූණ දෙන්න හිතාගෙන මේ ගමන ආවා. මේ ඒ ආපු ගමනෙ ප්‍රතිඵලය. ලංකාවම බලාගෙන ඉන්න අලුත් ත්‍රස්තවාදය ඇස් අරිනවාය කියන කාන්තන්කුඩියට අපි ආවා. පොලිසියයි හමුදාවයි වැහි වැහැපු, අඩියෙන් අඩිය මාර්ග බාධක දාපු මිනිස්සු තමන්ම බෝම්බ පුපුරුවාගෙන මැරෙන කාන්තන්කුඩියෙ අපි නතර වුණා.

අපි මේ ගමන ආපු විදිය කියලම කතාවට බහින්නම්. මොකද මේ කතාවෙ බරපතළකම ඔබ තේරෙන්න නම් මේ ගමනෙ අසීරුව තේරුම් යන්න ඕන. අපි කාන්තන්කුඩි ආවෙ අපේ පුද්ගලික වාහනයක. කිසිම කැබ් සර්විස් එකක් මේ ගමන එන්න කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ඒ අභියෝගය අපිම බාරගත්තා.
“ත්‍රස්තවාදී ක්‍රියාවලින් වෙන හානිවලට ඉන්ෂුවරන්ස් එකක් දාගන්න…”
කියලයි අපිට දකුණෙ අය කිව්වේ. ඊළඟට වාහනයෙ මගෙ තනිනොතනියට එන්න, වාහනය එළවන්න කෙනෙක් හොයාගන්න බැරිවුණා. මේ ගමනෙදි මගේ ගමන් සගයා වුණේ ප්‍රකට කැමරා ශිල්පී කෝසල සුබසිංහ.
“අනේ මැරෙනවා නං මැරෙයි පහන්, කොහෙ හිටියත්. ඔන්න ඔහෙ යං…”
මේ ගමනට අවශ්‍ය කරන ශක්තිය හැදුණේ ඔහොම. කොහොම නමුත් අපි කාත්තන්කුඩියට ආවා. ඒ එදා තිබුණ තත්ත්වය අනුව අපි ඒ ගමන යන එක අතිශය අවදානම් බව කියවුණා. ඒත් ලංකාවෙ කිසිම පත්තර ආයතනයක් එදා ඒ ගමන නොයනකොට ‘මව්රට’ ගියා.
අපි එදා ඒ ගමන ගැන ලිව්වා. මෙහෙම, අපි මේ ගමන ආවෙ. කොළඹින් පිටත් වෙනකොට දවස තරුණයි. යාන්තමින් ඉර අවරට යන්න පටන් ගත්තා විතරයි. ඒත් මේක පුංචි ගමනක් නෙමෙයි. පත්තරකාරයෙක් විදියට ජීවිතේ හුරු පුරුදු පරණ යාපනේ ගමනට වඩා මේ ගමන දුෂ්කරයි. යාපනේ ගමන දුරයි. මේ ගමන ඊට වඩා ළඟයි. හැබැයි යාපනේ යන්නෙ හුරු පුරුදු තැනිතලා පාරෙ. ඒත් මේක එහෙම නෑ. මග දිගට තියෙන්නෙ කඳු පල්ලම්. කෑගල්ලෙන් පටන් ගන්න වාහන පෝලිම මාවනැල්ලෙන් පස්සෙ තවත් දිග් ගැහෙනවා. කඩුගන්නාව කන්ද නැඟලා මහනුවරට අපි එන කොට බහිරවගලට ඉහළින් හඳපායනවා. හැබැයි නුවර පාළුයි. අපි මිනිස්සු නැති නුවර දැකලා තිබ්බට සුද්දො නැති නුවරක් දැක්කෙ පළමුවැනි වතාවට. වැවරවුම අඳුරටම කලවං වෙලා. වෙනදා පාට පාට විදුලි බුබුළු පත්තුවුණු හෝටල්වල පාට මැකිලා. පාළු හෝටල් ආලින්දවල පාණ්ඩු පාට ලයිට් එළි අතරින් පතර මතුවෙනවා. අපි තැන්නෙකුඹුරෙන් පටන් අරන්න මහියංගනයට එනකල් ආවෙ පාරෙ ඉන්න අලින්ගෙන් බේරි බේරි. ඒ අතර පොලිසියයි හමුදාවයි කීපපළකදීම වැඩි විස්තර ඇහුවා. මේ විදියට අපි කාන්තන්කුඩිවලට එන කොට දවස ඉවරයි.

එදා ඒ රාත්‍රිය අපි බෝම්බ පිපිරුණ කාත්තන්කුඩියෙ ගත කළා. හැබැයි එදා ඒ ගමන යන්න අපිට මාධ්‍ය ආයතනයක් විදියට තිබුණ හයිය විතරයි තිබ්බෙ. අඩුම තරමෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරපු හැඳුනුම්පතවත් අපිට තිබුණෙ නෑ. ඒත් එහෙම නොගිහිල්ලා මේ වැඬේ කරන්න බෑ කියන එක අපි තීරණය කළා.
ඇත්තටම අපි යන කොට සියොන් පල්ලියෙ මළසිරුර කොටස් පවා තිබුණා. හැබැයි එදා ඒ වෙනකොටත් මඩකළපු බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වැඩ කරපු විදිය අපි ඇස් දෙකෙන් දැක්කා. විශේෂයෙන්ම මඩකළපු බුද්ධි අංශය කියපු දේ එදා ඒවෙලාවෙ 2015ට පෙර සහ පසු හිටපු රජයන් වෙත ගියානම් සහ ඊට අවශ්‍ය පිළියම් රාජ්‍ය මට්ටමින් ගත්තා නම් මෙහෙම දෙයක් නොවෙන්නත් තිබුණා. එදා ඒ වෙනකොට මඩකළපු ආරක්ෂක අංශ බොහෝ වැඩ කරලා තිබුණා. ඒත් පොලිසිය වරක් අත්අඩංගුවට ගත්ත සහරාන්ව නිදහස් කරගෙන ගිය දේශපාලකයෙක් ගැන අපිට අහන්න ලැබුණා. අදත් ඒ අයට එරෙහිව අරගත්ත පියවරක් ගැන දන්නෙ නෑ.
අපි ඔය අතරෙ සහරාන්ගෙ වනාතවිල්ලුවෙ වත්ත හොයාගෙන ගියා. ඒකත් පහසු දෙයක් වුණේ නෑ. ඒත් එදා සහරාන් මුලින්ම වැඩ පටන් ගත්ත බව කියපු වනාතවිල්ලුව වත්තට අපි යනකොට වත්තෙ කට්ටිය ඇවිල්ලා පොල් කඩනවා. ඒ කඩන්නෙත් අයිතිකාරයා නිසාම අත්අඩංගුවට පත්වුණ පුද්ගලයගෙ මාමා. සරලවම කිව්වොත් මේ අයිතිකාරයගෙ නෝනමහත්තයගෙ තාත්තා. මේ තරමට සංවේදි අවස්ථාවක් වෙලත් එහෙම තැනකට ආරක්ෂාව දාන්න බැරි වීම ගැන අපි කාගෙන්ද අහන්නෙ? මේ වත්තෙ තව මොනවා මොනවද තියෙන්නෙ කියලා කවුද හොයන්නෙ? වත්තෙ තැනක්වත් හරියට පරීක්ෂා කළාය කියන්න සාක්ෂි නෑ. ඇත්තටම සාක්ෂි නෑ නෙමෙයි, එහෙම හොයලා නෑ.
“එහෙම කොහෙද හොයන්නෙ..?”

කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් උතුරෙ අඟලෙන් අඟල හොයලා බිම්බෝම්බ ගොඩගත්ත හමුදාවක් ඉන්න රටකට මෙහෙම මේ අක්කර තිහක් හතළිහක් කජ්ජක්ද කියලා අපිට හිතුණා. ඒත් ඒ වත්ත දැක්කම අපිට හිතුණෙ ආයුධ හරි බෝම්බ හරි නෙමෙයි අරාබියෙන් ඔටුවෙක් ගෙනල්ලා හැංගුවත් ඔච්චර තමයි කියලා. දැනට ඒ වත්ත තියෙන විදියට එහෙම හැංගුවත් හොයන්න බෑ. ඒක ඒ තරම්ම කැලේ වැහිලා.
අපි ඔය වත්තට ගිය වෙලේ තව කතාවක් එළියට ආවා. දැන් ඔය වත්ත විදියට නීතිය සහ ඊට අදාළ බලධාරීන් විසින් හඳුනාගෙන තිබුණෙ අක්කර විසිපහයි. යම්කිසි සිදුවීමක් හේතුවෙන් මේ වත්ත පවරාගත්තොත් ඒ සඳහා පැවරෙන්නෙ අක්කර විස්සයි. හැබැයි පොල් කඩන්න ආපු අයට වැරදීමකින් කියවුණ විදියට මෙතන අක්කර හතළිහක් තියෙනවා. එහෙමනං මේ අය අවසාන මොහොතේ පවා අඩුම තරමෙ ඉඩමෙන් අක්කර පහළොවක්වත් බේරා ගන්න මාර ගේමක් ගහලා තියෙනවා. අන්න ඒ නිසයි ඔහු මේ බොරුවට ඉපදෙන්න දෙන්නෙ.
හැබැයි ඊළඟට මෙහෙම පටලැවිල්ලක් වෙනවා. දැන් ඔබ අපෙන් අහනවා,
“කෝ මෙතන එතන නෙමෙයි නේද?”
අපි,
“ඇයි එහෙම කියන්නෙ?…”
කිව්වම ඔබේ ළඟ තියෙනවා කදිම පිළිතුරක්.
“ඔය එෆ්.බී. එකේ ගිය ෆොටෝවල තිබුණ මොකොවත් මෙතන නෑනෙ…”
ඔව් ඔබ වගේම අපිත් දැක්කා වනාතවිල්ලුව වත්ත සම්පූර්ණයෙන්ම පුහුණු කඳවුරක් කරපු විදියෙ ඡායාරූප. ඒත් ඒ කිසිම දෙයක් අපිට දකින්න තිබුණෙ නෑ. එල්ලපු ටයර්, උඩ නගින්න හදපු තැන් මේවා මොනවවත්ම නෑ. එතන තියෙන්නෙ එකම එක මඩුවක් විතරයි. ඒක නිකම්ම බ්ලොක් ගලින් බැඳලා හදලා තියෙන්නෙ. එක කාමරයක් තියෙනවා දොරගුළු ලෑ හැකි එකක්. වතුර පුරවන්න හොඳින් හදපු ටැංකියක්. ඒ වගේම ඉහළම නිමාවකින් හදලා අවසන් කරපු වැසිකිළි වළක් පවා තියෙනවා. ඔබට සමහර විට හිතේවි,
“ඇයි මේවා ගැන හොයන්නෙ…”

කියලා. මේවා හරියටම තේරුම් අරගත්තම පැහැදිලි වෙනවා මේක මේ නිකම්ම නිකං හදපු ‘මුර මඩුවක්’ම නෙමෙයි කියලා. මේක හදන්න අවශ්‍ය මුදලට වඩා වැඩියෙන් මුදල් යොදවලා ඉහළම ප්‍රමිතියකින් අවසන් කරපු එකක්.
ඒ වගේම මේ මඩුව තුළ ආහාර පාන විශාල තොගයක් තිබිලා තියෙනවා. ඒවත් ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ඒවා කියලයි අපිට දැනගන්න ලැබුණෙ. ඒ වගේම මේ වත්තෙ විශාල ප්‍රමාණයකට නැවතෙන ඉඩක් නැතත්, එහෙම කෑම බීම තිබිලා තියෙනවා. මේ ගැන සමාජ මාධ්‍ය සහ සමහර විද්‍යුත් මාධ්‍ය පෙන්නලා තිබුණේ එක එක නාඩගම්. එහෙම නොකර අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවෙ ගත්තා නම් ප්‍රතිඵලය ඔය තරම් ශෝචනීය නොවෙන්න තිබුණා.
කොහොම නමුත් අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් වගේම පොලිසියෙ ඉහළ නිලධාරීන්ගෙ බරපතළ නොසැලකිල්ල රට මේ තැනට ගෙනාවා. රට පුරාම අහිංසක මිනිස්සු නොදන්නා මොහොතක ජීවිතෙන් ගියා.
කටුවපිටිය පල්ලිය අවට ඇවිදින ගමනෙ අපි තව දෙයක් දැක්කා. ඒ තමයි මේ කතෝලික ජනතාවගෙ තිබුණ සංයමය. ඒ පියතුමන්ලා සහෝදරවරු සහෝදරවරියො වැඩ කරන්නෙ මහ පුදුම සංයමයකින්. මේ අය හුඟ දෙනක් තරුණයි. ඒත් ඒ තරුණකම ආගමික සංයමය යටතේ පාලනය වෙලා. එහෙම නොවී මීගමුවෙ මාළු කපන මන්නවලට පණ ආවා නම් මේ ගින්නට අපි හැමෝම පිච්චෙනවා. ඒ අය දෙවියන් වහන්සේගෙ පණිවුඩය මේ වතාවෙත් ලෝකෙට කිව්වා. මේ තරම් විශාල ව්‍යසනයකදීත් ඒ මිනිස්සු මිනිස්සු විදියටම හිටියා.
හැබැයි සමහරු මේ රටට ගිනිතිබ්බා. ඒ ගින්නෙන් මිනුවන්ගොඩ, කුලියාපිටිය වගේ තැන් ඇවිළුණා. ඒ පිටිපස්සෙ හිටපු දේශපාලකයො අදත් නිරුපද්‍රිතව ඉන්නවා.

“මම මේ බොහෝම විශ්වාස කටයුතු ආරංචියක් කියන්නයි යන්නෙ. අපේ පන්සල ඉස්සරහ ඉස්කෝලෙ විදුහල්පතිට කොට්ඨාස අධ්‍යක්ෂ තමයි මේ කතාව කියලා තියෙන්නෙ.
දහතුන් වැනිදා ළමයි හැටදාහක් මරන්න සූදානමක් තියෙනවා ත්‍රස්තවාදීන්ගෙ. මේ කට්ටිය පිරිමි ළමයි මරලා ගෑනු ළමයි එයාලගෙ අඹුකමට ගන්නවා…” කියලා චීවරයක් වගේ එකක් පොරවගත්ත හාදයෙක් වීඩියෝවක් කරලා සමාජ ජාලාවලට දාලා තිබුණා. මේ වීඩියෝව සියලු සමාජජාලවලින් හෝ ගාලා ප්‍රචාරය වීමත් එක්කම මිනිස්සු දරුණු විදියට කලබල වුණා. මොකද ඒකට හේතුව වෙන්නෙ පාස්කු ප්‍රහාරය නිසා පමාවුණ පාසල් ආරම්භයේ එක කොටසක් සඳහා නියමිත දිනය විදියට දහතුන් වැනිදා යොදාගැනීම. ඒ විදියට පටන් ගන්න නියමිතව තිබුණෙ ප්‍රාථමික පන්ති.
මේ විදියට 13 වැනිදා ගැන පැතිරිච්ච එකම ආරංචිය ඔය වීඩියෝව නෙමෙයි. ඒ විදියට තවත් ලියුමක් සමාජජාල ගතවුණා. ඒ ලියුමෙ අකුරු කියවන්න පුළුවන් නොවුණට ඊට උඩින් කවුරු හෝ කෙනෙක් සාමාන්‍ය ජංගම දුරකතනයක් පාවිච්චි කරලා ටයිප්කරලා තිබුණා.
“ළමයි හැටදාහක් මරනවලු…”
කියලා. හැබැයි ඒ ලියුම එහෙම එකක් නෙමෙයි. ඒකෙ තිබුණෙ නගර කීපයකට ප්‍රහාර එල්ල වීම ගැන සැකයක් ඇතිබව. ඒකෙ ඉස්කෝලයක් ගැනවත් ළමයි ගැනවත් කිසිම සඳහනක් තිබුණෙ නෑ. නමුත් මේ ලියුම නොකියවා උඩින් ලියපු අකුරු ටිකට අපි රැවටුණා. කොච්චර රැවටුණාද කියනවා. නම් ලංකාවෙ කිසිම පාසලකට ළමයි ආවෙ නෑ. සමහර විට ළමයි සීයක් ආපු පාසල් එකක්වත් නැතිව ඇති. දෙමාපියො බය වුණේ කිසිම පිළිගන්න පුළුවන් සාක්ෂියක් නැතිව. ඒ ගැන කිව්වම දෙමාපියො කිව්වෙ,
“අපේ ළමයි පරිස්සමට තියාගන්න අපි දැන ගන්න ඕන…”
“ඕවා තේරෙන්න නං දෙමාපියො වෙන්න ඕන…”
“ළමයෙක් සතියක් ඉස්කෝලෙ නොගියට මොකොවත් වෙන්නෙ නෑ…”
කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු වගකිවයුත්තන් දිගින් දිගටම කියන කොටත් ලංකාවෙ මිනිස්සු අර ආරංචිය විශ්වාස කළා. මිනිස්සු ඒ තැනට ඇවිල්ලා හිටියා.
අර චීවරයක් වැනි යමක් පොරොවගෙන හිටපු පුද්ගයාගෙන් ප්‍රශ්න කරලා, ඔහුට ඒ ගැන කියපු විදුහල්පතිගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්න රජය සමත්වුණේ නෑ. එහෙම වුණා නම් ඔහුට ඒ කතාව කියපු අධ්‍යක්ෂ ගැන දැනගන්න තිබුණා. එහෙම වුණානම් ඔහුට මේ ගැන කියපු පුද්ගලයන්ව හොයාගෙන දඬුවමක් කරන්න හෝ මේ අසත්‍ය ආරංචි පැතිරවීමේ අගමුල හොයාගන්න තිබුණා. නමුත් ඒක එහෙම උණේ නෑ.
“13 මොනවම හරි වෙයි…”
කියලා හිතමින් මිනිස්සු ගෙවල් අස්සෙ හැංගුණා.
ඒ වගේම තවත් ප්‍රහාර හතරක් ගැන සඳහන් කරමින් යවපු ලියමනක් හැරෙන තැපෑලෙන්ම සමාජ ජාල ගතවුණා. වැදගත්ම කාරණය වෙන්නෙ මේ ලියමන් සමාජජාල ගත වීම වළක්වන්න කියලත් ඒ ලිපියේ සඳහන්ව තිබීම. එහෙම තිබිලත් මෙහෙම වුණ එක බරපතළ ප්‍රශ්නයක්. එදා ඒ වෙනුවෙන් වගකිවයුතු කවුරුවත් තවම අත්අඩංගුවට ගත්තද දන්නෙ නෑ. රාජ්‍ය බුද්ධි තොරතුරු එළියට එන එක ලොකු ප්‍රශ්නයක්.
මේ අතර ආරක්ෂාවට අදාළව කාදිනල්තුමා උන්වහන්සේගේ ලිපි ශීර්ෂය යටතේ පිටකළ ලියමන පවා සමාජජාලවල තියෙනවා. මේ හැම ලියමනක්ම ඒ මොහොතේම සමාජජාලවලට මුදාහරිනවා.
ඒක කරන්නෙ කවුද කියන එක හොයලා වහාම ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බැරිනම් රටේ ආරක්ෂාව ගැන හිතන්නවත් එපා කියලා අපි ඊට අදාළ බලධාරීන්ට එදා වගේම අදත් ඉතාම වගකීමෙන් මතක් කරනවා. එහෙම කියන්නෙ මේ සිදුවීම්වල බරපතළකම හොයන්න සීතල කාමරවලින් එළියට බැහැලා කාත්තන්කුඩියෙ රවුම් ගහපු ඇත්ත පත්තරකාරයො විදියට.
අපිට අවශ්‍ය නම් මේ රට බලධාරීන් කොච්චර වැරදි ද කියන එක දිගට විස්තර කරන්නත් පුළුවන්. හැබැයි අපිට අන්තිමට කියන්න තියෙන්න මෙච්චරයි. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ අමාරුව.
මොක ද තමන්ට එන නිල ලියවිල්ල පරිස්සම් කරගන්න බැරි අය කොහොමද රටක් පරිස්සම් කරන්නෙ. ඒ නිසා අපි අපිව රැකගමු. අදත් හෙටත් හැමදාමත් අපිට රටය කියන්න තියෙන්නෙ ඒක.
ඒත් වාසනාවකට අද වෙනතුරු ඊළඟ සිදුවීමක් නෑ. ඒකට එවක හිටපු රජයට ස්තූති කරන්න ඕන වගේම අර පෙරකී චීවරධාරියාගේ සිට පිරිසට දඬුවම් කරන්න ඕන.
අවසාන වශයෙන් අපිට පරිස්සම් කරගන්න බැරිවුණ ජීවිතවලින් අපිට අදත් රටක් විදියට සමාව ඉල්ලන්න වෙලා. ඒ අය වෙනුවෙන් දුක් විඳින මිනිසුන්ගෙනුත් අපිට සමාව ගන්න වෙනවා. එදා ඒ අහිංසක මිනිස්සු පාරට බැස්සෙ රටේ ආරක්ෂාව ගැන විශ්වාස තියලා. ඒ මිනිස්සුත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කීයක් හරි එකතු කරපු අය. අදත් මේ ප්‍රහාරය නිසා දුක් විඳින මිනිස්සු ඉස්පිරිතාලවල ඉන්නවා. අදටත් සමහර මිනිස්සු බලාගත්ත අත බලාන ඉන්නවා. පුංචි එවුන් විතරක් නෙමෙයි, මහ මිනිස්සු පවා හීනෙන් බය වෙනවා. ඒ නිසා මහත්තුරුනි පිං සිද්ධ වෙයි, මේ නපුරු හීනෙ ආයෙ ආයෙ පෙන්නන්න එපා. පාස්කු ප්‍රහාරය ස්ටේජ්වල විකුණන්න එපා. ඒ යට තියෙන්නෙ කඳුලු. ඇත්තටම ඒ මිනිස්සු ඇඬෙව්වා ඇති. මේ ලියන්නෙ ඒ කඳුළු ඇහින් දැකපු දෑසක අයිතිකාරයෙක් විදියට. මේක මීට වඩා සංවේදී නොකරන්නෙ පරිස්සමට. හැබැයි මේ මතකයෙන් මිදෙන්න නම්, තව අවුරුදු සිය ගානකට අපිට බැරි වේවි.
ජීවන පහන් තිළිණ











