උදාවෙන්නෙ වෙසක් මාසෙ. ඒක ලස්සන කාලයක්. ඒත් නිකමට බලමු මැයි මාසෙ දිහා නතර වෙලා. අපේ නත්තල, පාස්කුව, අවුරුද්ද වගේම මැයි මාසෙ මතක ඇති කාලෙක ගෙදර ආවෙ නරක ආරංචි එක්ක.
2019 මැයි මාසෙ උදාවෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක. මිනිහෙක්ට එළියට බහින්න බැරි විදියට රට අඳුරු වුණා. ප්‍රශ්න ඇති වුණා. ඇති කළා. ඒ ගැන සවිස්තර ලිපියක් අපි ලියන නිසා මේ වෙලාවෙ ඒ ගැන කතා කරන්නෙ නෑ.

2017 අපිට අමතක නොවුණෙ මීතොටමුල්ලෙ කුණු කන්ද හින්දා. රජයයන් කීපයකටම තමන්ගෙ දුක කියලා අහිංසක මිනිස්සු බේරගන්න කාටවත් බැරි වුණා. සිංහල අවුරුදු නැකැතට වැඩ අල්ලපු මිනිස්සු යටකරගෙන කුණුකන්ද කඩාගෙන වැටුණා.
මිනිස්සු මැරුණා. බොහෝ කතා ඉතිරි කරලා ඔවුන් යන්න ගියා. එකින් එක විස්තර කරනවා නම් කියන්න දේවල් ඕන තරම්. 2017 මැයි මාසෙ උදා වුණේ මේ කඳුලුත් පුරෝගෙන.

ඊළඟට, මේ සිදුවීම වුණේ දෙදහස් දාහතේ මැයි දහඅට වැනිදා. බ්‍රහස්පතින්දා. ඒ සිදුවීම වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයේ වැස්සක්වත් වැල්ලවත්තට වැටිලා තිබුණේ නෑ. ඉතාම අනපේක්ෂිත වෙලාවක තමයි මේ ගොඩනැගිල්ල කඩා වැටුණේ. ඇත්තටම මේක කාටවත් විශ්වාස කරන්න තියා හිතාගන්නවත් බැරි විදියෙ දෙයක්.
තට්ටු හතක ගොඩනැගිල්ලක් කොහොමද එහෙම කඩා වැටෙන්නේ?
විශ්වාස කරන්න බැරි වුණත් පුළුවන් වුණත් ඒක ඒ විදියටම වුණා.
මේ සිදුවීම ඇහින් දැකපු, ඊට එහා පැත්තේ ගොඩනැගිල්ලක සේවය කරපු අය ඒ ගැන කිව්වේ මෙහෙම.
“වැස්සක් තිබ්බෙත් නෑ. අපි බලාගෙන ඉන්දැද්දි තමයි ගොඩනැගිල්ල කඩාගෙන වැටුණෙ. විනාඩි පහක් විතර තිස්සේ කඩාගෙන වැටුණා. ඒ කඩාවැටුණු ගොඩනැගිල්ලත් එක්ක තවත් එකක් තියෙනවා. ඒකත් එයාලගෙම එකක්. කොහොම හරි මෙහා පැත්ත බිල්ඩිම කඩන් වැටුණා කියලා එහා පැත්තේ කට්ටිය දන්නෙ නෑ. අපි තමයි කෑ ගහලා කිව්වෙ. ඔන්න එහා පැත්තෙ කැඩිලා කියලා. එතකොට ඒ ගොල්ලො කඩවලින් එළියට බැස්සා.
මේ විදියට කඩා වැටුණෙ The Excellence කියන උත්සව ශාලාව. වාසනාවකට ඒ වෙලාවේ මේ ශාලාවෙ උත්සවයක් පැවැත්වුණේ නෑ. පැවැත්වුණා නම් මේක විශාල ඛේදවාචකයක් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ ශාලාවේ රැඳී හිටපු කීපදෙනෙකු ශාලාවට යට වුණා. ඒ අතුරින් දාහතර දෙනකු කළුබෝවිල රෝහලටත්, නවදෙනකු ජාතික රෝහලටත් ඇතුළත් කරපු බවයි දැනගන්න ලැබුණේ.

2017 මැයි මාසය ඉවර වෙන්නෙම කඳුළු කතාවකින්. කොහෙන් පටන් ගන්නද? මොනවා ලියන්නද කියලාවත් හිතාගන්න බැරි තරමට මේ රට තැළිලා පොඩිවෙලා ගියා. අපිට අපේම මිනිස්සු අඬන දිහා ඔහේ බලාගෙන ඉන්න වුණා. මිනිස්සු ඉල්ලුවෙ කන්න බොන්න නෙමෙයි. තෑගි බෝග නෙමෙයි. මිනිස්සු ඉල්ලුවෙ ජීවිතේ. තමන්ගේ ජීවිතේ නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ මල් වගේ හදපු, මැස්සෙකුට මදුරුවෙකුට වහන්න නොදී පරිස්සම් කරපු දරු පැටවුන්ගේ ජීවිත. ජීවිත කතාවෙ මොන තරම් දුක් ගැහැට තිබ්බත් හැම සැපක්ම දීපු දරුවො පස් අස්සේ හංගලා කඳු කඩාගෙන වැටුණම ඒ මිනිස්සු මොන දෙයියන්ටද කියන්නේ? බලාගෙන ඉද්දි අම්මලා තාත්තලා ගංවතුර අරගෙන ගියා. අම්මලා සැඩ දිය රැලිත් පොර බදලා පරාද වෙන දිහා, අත දරුවන්ට බලා ඉන්න සිද්ධ වුණා.
අම්මලාට තාත්තලට දරුවො, දරුවන්ට අම්මලා තාත්තලා, මහත්තයට නෝනා, නෝනට මහත්තයා අහිමි කරපු, මිනිස්සු මරලා දාපු , වැහි හීතලේ ගෙවල් ඇතුළේ ගුළිවෙලා බත් ඩිංගක් උයාගෙන කන්න හදපු මිනිසුන්ව එහෙම්ම අතුරුදන් කරපු මහ වැස්සක් ඇවිත් ගියා. අපි තාම පස් අස්සේ මැරුණ මිනිස්සු හොයනවා. ඒ අයගේ අයිතිකාරයො අදත් ඒ පස් කඳු දිහා බලාගෙන “අනේ කොහොම හරි ජීවත් වෙලා හිටියොත්” කියලා දෙයියන්ට කියනවා. “මේ අහිංසක මිනිස්සුන්ගෙන් අවුරුදු ගානක් වැඳුම් පිදුම් ලබපු දෙවිවරු දේවාලවලට වෙලා ඔහේ බලාගෙන ඉද්දී මේ තරම් විනාශයක් වෙන්නෙ.”

ඒත් එක්කම 2016 මැයි මාසය. ඒ මැයි මාසෙ දහසය වැනිදා හැන්දෑව අපේ රටේ මිනිස්සුන්ට කවදාවත්ම අමතක නොවෙන තරම් අමිහිරි එකක්. එදා අරණායක සාමසර කන්ද නායගියා. මේක වුණේ වෙසක් පෝයට.
ගම්බිම් යටකරගෙන කඩාගෙන වැටුණ ඒ පවුල් පිටින් අදටත් අතුරුදන් වෙලා. සමහර ගෙදරක ඉතිරි වුණේ එක්කෙනයි. එදත් මිනිස්සු අද වගේම තම තමන්ගේ ආදරණීයයන් හොයන්න පස් කඳු පහුරු ගෑවා. දරු පැටව් තුරුළු කරගත්ත අම්මලා එහෙමම මැරිලා හිටියා. මුණ ගැහෙන්න මගතොටේ, බස්පොළේ, ස්ටේසමේ බලා උන්න ආදරවන්තයෝ විවාහ වෙලා දරු මල්ලො හම්බවෙලා සාමසර කන්දෙ පදිංචි වෙලා හිටපු ආදරවන්තයො ආයෙමත් බලා ඉන්න පටන් ගත්තා. ඉස්සර වගේ මුණගැහෙන්න. පස් කඳු අස්සෙන් ඒ මූණ මතුකර ගන්නකල් බලාගෙන හිටියා. ඊට පස්සේ කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිය මළ සිරුරු බදාගෙන හැඬුවා. ලොකු ගාණක් මරලා දාලා, අතුරුදහන් වුණ ගාණ හිතන්නවත් බැරි තරම් කරලා ඒ විපත ඉවර වුණා.
ඒ මැයි මාසෙම ලක්ෂ ගානකට ඉතිරි වුණේ ඇඳිවත විතරයි. ගම්බිම් වැව් වගේ වුණා. කන්ඩ බොන්ඩ නැති වුණා. බෝට්ටුවකින් හරි හෙලිකොප්ටරේකින් හරි වතුර බෝතල් ගේනකල් පිපාසෙ ඉවසන්න සිදධ වුණා. ඒ වෙලාවෙත් මිනිස්සු මැරුණා.

ඒ වගේම 2003 මැයි මාසෙ. එක්දහස් නවසිය පනස් අටට පස්සේ ඒ වෙනකොට ආපු ලොකුම ගංවතුරට රත්නපුරය ප්‍රධාන කරගෙන වටපිටාවම යටවුණා. වෙසක් පෝයට ඔන්න මෙන්න කියලා වෙච්ච ඒ විපතෙනුත් ජීවිත ගණනක් නැති වුණා. වෙසක් කූඩුත් එක්ක ගෙවල් වැස්සට යට වෙද්දි මිනිස්සු තමන්ගෙ කූඩු දාලා පැටව් එක්ක තැන් තැන්වල කොටු වුණා.
මේ විදියට බලනකොට මැයි මාසෙ විපත් වැඩියි. දෙදහස් දහඅටෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ එක පැත්තක් ඒ කියන්නේ කැලණිය, බියගම ආසන වතුරට යට වෙනකොට ඒ දිස්ත්‍රික්කෙම දිවුලපිටියට බොන්නවත් වතුර නැති වුණා. එකම දිස්ත්‍රික්කෙ ආපදා කළමනාකරණ අංශ එහෙ ජීවිත බේරාගන්න කොට මෙහෙ වතුර බෙදන්න වුණා. මේ රටට වෙන්නේ මොනවද වග කියන්න ඕනෑ කවුද කියන එකටත් උත්තර දෙන්න කෙනෙක් සාමාන්‍යයෙන් නෑ.
ඒත් දැන් අපි මැයි මාසෙට බයයි. දවස් කීපයකින් මැයි මාසෙ උදාවෙන්න නියමිතයි. ඒ නිසා දෙදහස් විස්සේ මැයි මාසෙ වෙනකොට අපි තිරිසන් වෙස් අතෑරලා මිනිස් වෙස් ගමු. රටක් විදියට කාකොටා නොවැටී, තම තමන්ගේ මඩි තරකර ගන්නෙ නැතුව රට ආරක්ෂා කරමුද? නැත්තං හැමදාම මැයි මාසෙට බය වෙමුද? උත්තරය තියෙන්නේ ඔබ අතේ. හැබැයි මේ වෙනකොට අපිට විපතක් පේන මානෙ තියෙන්නෙ. ඒ තමයි කොරෝනා.මේක සෙල්ලමක් කරගන්න හදන මිනිස්සුත් එක්ක අපි මැතිවරණයකට ලෑස්ති වෙනවා. මේ ලියන මොහොත වෙන කොට කොරෝනා රෝගීන් අහු වෙන්නෙ පොකුරු පිටින්. මේ මැයි මාසෙ උදාවෙන්නෙ ලෝකෙම බරපතළ අනතුරකට ඇදලා දාලා. ඒ නිසා මේ මැයි මාසෙත් එන්නෙ විපතක් එක්ක. හැබැයි අපි මේ ගැන කාගෙන්වත් අහන්න යන්නෙ නෑ. විශේෂයෙන්ම ජ්‍යොතිෂයෙන් මේ ගැන අහලා වැඩක් නෑ. එයාලට මේ වෙලාවෙ කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ඒ වගේම නවීන තාක්ෂණයත් එහෙම්ම තමයි. කවුරුත් ඉන්නෙ උත්තර නැති වෙලා. ඒ නිසා පරිස්සමට ඉමු. මේ එන්නෙත් මැයි.
ජීවන පහන් තිලිණ










