• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දු-චීන යුද ගින්නෙන් ලංකාවත් පිච්චිලා යයිද?

June 28, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
ඉන්දු-චීන යුද ගින්නෙන් ලංකාවත් පිච්චිලා යයිද?
Share on WhatsAppShare on Facebook

හිරු රැස් මිලානව ගොස් ගිරිදුර්ගය අඳුරෙහි ගිලෙමින් තිබුණේය. කඳුවැටිය මැදින් දිවෙන ඉතාමත් පටු කර්කශ මාර්ගය දෙපසම වසාගෙන ඇත්තේ බියකරු ගිරි හෙළකිනි. අඩි සිය ගණනාවක් ගැඹුරු මහා ප්‍රපාතයකින් දසඅත වසාගෙන තිබෙන හැටි ගත, සිත ලොමුදැහැ ගන්වයි. බැලූ බැලූ අත පෙනෙන්නේ කඩතොලු ඇති රළු බිම් පෙදෙසක් විනා සිත සනසන සුන්දර දසුනක් නොවේ. මඳ අඳුරෙන් ගිලගන්නා රළු මාවතෙහි ඉදිරියට ඇදෙන මිනිස් ඡායාවන් රැසකි.
ලෝකයේ මහා බලවතුන් දෙදෙනකුට අයත් බිම්කඩ දෙකක් එනිකෙන මුහුණට මුහුණ ගැටෙන මායිම ඇත්තේ මෙතැනය.
මේ ලෝක බලවතුන් දෙදෙනා දශක ගණනාවක් පුරා හිත් නෝක්කාඩුවෙන් සිටින උදවියය. අඳුර අතරින් ඉදිරියට ඇදී ආ දෙරටෙහි හමුදා බළඇණි ගිනි ගන්නට ඇත්තේ තවත් අල්ප මොහොතක් පමණි. ඒ මොහොත සැණෙන් ගෙවී ගොස් දෙපිරිස අතර මහා ගිනි ජාලාවක් ඇවිළී ගියේය.
පසුගියදා ලොවම තිගැස්සූ මේ ගිනි ජාලාව කුමක්ද? ඉන්දියාව සහ චීනය යන බලවතුන් දෙදෙනා එකට ඇවිළී ගිය මොහොතක සිදුවූ එම කතාන්දරය පසුගියදා අසන්නට ලැබුණේය. එනම් ඉන්දියාවට සහ චීනයට අයත් දේශසීමාවලදී එම දෙරටට අයත් හමුදා සාමාජිකයන් එකට ගැටීමේ සිදුවීම එය විය. මෙම දෙරටම ලෝකයේ ඉතාමත් විශිෂ්ට අවි බලයක් ඇති, එතැනින්ද නොනැවතී න්‍යෂ්ටික අවි බලයද ඇති ප්‍රබල දේශයන් දෙකකි. එහෙත් මෙම කඳු නිම්නයේදී පසුගියදා මෙම හමුදා දෙකෙහි සාමාජිකයන් ගැටුණේ එකදු ගිනි අවියක් හෝ අත නොමැතිවය. එනම් පොලුමුගුරු, ගල්ගෙඩි, යකඩ මුගුරු සහ අත් පාද භාවිතා කරමින් දෙරටෙහි හමුදා සාමාජිකයෝ 600ක පමණ පිරිසක් මහා බියකරු සටනක නිරත වූවෝය.

මෙම ද්වන්ධ සටන ලෙහෙසි පහසු එකක් නොවුණු අතර, එය සැබෑ ලෙසින්ම ම්ලේච්ඡ තත්ත්වයේ එකක් විය. මෙම සටන ආරම්භ වීමට හේතුව ගැන දෙරටම තම තමන්ට චෝදනා කර ගත්තද දෙරටම එම බියකරු තත්ත්වයට වගකිව යුතුය. මෙම මාරක සටන පැයකින්, දෙකකින් අවසාන වූයේ නැත. අවසානයේදී එය අවසාන වූයේ පැය 6කට ආසන්න දීර්ඝ කාලයකට පසුවය. එම කෙළවර මහා ශෝකාන්තයක් විය. ඉන්දීය සෙබළුන් 20 දෙනකු අමු අමුවේම ඝාතනය වී තිබුණු අතර, තවත් ඉන්දීය සෙබළුන් 100ක් පමණ දැඩි ලෙස තුවාල ලැබීය. චීන සෙබළුන් කොපමණ ප්‍රමාණයක් ඝාතනයට ලක්වූයේදැයි නිල තොරතුරක් චීනයෙන් නොලැබිණි. චීනය එම තත්ත්වය වසන් කළද ඉන්දියාව පවසා සිටියේ චීන සෙබළුන්ද 40ක් ඝාතනයට ලක්වූ බැව්ය. කෙසේ හෝ සැබෑ තත්ත්වය ලෙස ප්‍රකාශ වී තිබුණේ වඩාත් හානිය ඇතිවූයේ ඉන්දීය හමුදාවට බැව්ය. කෙසේ හෝ මෙම සෙබළුන් අත කිසිදු ගිනි අවියක් නොතිබීම එම දේශසීමා නීති රීතිවලට අනුකූල වීමක් වූ අතර එම තත්ත්වයෙන් ජීවිත හානිය අවම විය.
ඉන්දු – චීන අර්බුදය යනු ජන්මාන්තර අරගලයක් වූ අතර, එය පසු කාලයකදී පත්වූයේ ඉන්දු – චීන යුද්ධයක් ලෙසටය. එනම් 1962 වසරේදී ඉතා බියකරු ලෙස උද්ගතවූ ඉන්දු – චීන යුද්ධය 1962 ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ වී 1962 නොවැම්බර් 21 වැනිදා දක්වා පුරා මාසයක් අතිශය දරුණු ලෙස පැවැතිණි. එකල මෙම යුද්ධය හේතුවෙන් චීන හමුදා සාමාජිකයන් 722ක් මරණයට පත්වූ අතර, ඉන්දීය හමුදා සාමාජිකයන් 1983ක් මරණයට පත්විය. එයට අමතරව 2000ක පමණ සෙබළුන් අතුරුදන් වූ අතර, 5000කට ආසන්න හමුදා සාමාජිකයන් බරපතළ ලෙස තුවාල ලැබීය. එකල යුද්ධය සඳහා චීනයෙන් හමුදා සාමාජිකයන් 30,000ක් සහ ඉන්දියාවෙන් හමුදා සාමාජිකයන් 22,000ක්ද සහභාගි වූහ. මෙය අවි ආයුධ සන්නද්ධ යුද්ධයක් වූ අතර, යුද්ධයේ ප්‍රතිඵලය ලෙස වාර්තා වූයේ චීනයේ ජයග්‍රහණයයි. එය නිල ප්‍රකාශයක් විය.


මෙයට දශක 06කට පෙරදී එවැනි යුද්ධයක් පැවැත්වූයේ ඇයි? මෙය එදා ඇතිවන්නට හේතුවූයේ දේශසීමා අරගලයයි. එනම් 1910 වැනි කාලයක සිටම මෙම අර්බුදය දෙරට අතර පැවැති අතර, මෙය කලින් කලට අද දක්වාම පවතින ප්‍රබල ගැටුමකි. කිලෝමීටර් 3488ක් දිගින් යුත් ඉන්දීය – චීන දේශසීමාවේ ඇතැම් ප්‍රදේශවල අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ තත්‍ය පාලන රේඛාවක් නොමැති අතර, ඒ හෙයින් දෙපාර්ශ්වයම එම ප්‍රදේශ සඳහා තමන්ගේ අයිතිය ප්‍රකාශ කර ගනියි. මෙම දේශසීමාව වැටී ඇත්තේ හිමාල කඳුවැටිය හරහාය. පසුගියදා මාරක සටන් ඇතිවූයේ මෙම ප්‍රදේශ පුරා වැටී ඇති ගැල්වාන් නිම්නයේදීය. ඉන්දියාව සහ චීනය අතර ඇති මෙම සුවිශාල භූමි භාගය ලඩාක් ප්‍රාන්තය ලෙසින් හැඳින්වෙයි. 1962දී පැවැති ඉන්දු – චීන යුද්ධයේදී චීනය විසින් ඉන්දියාවට පහරදී මෙම ප්‍රාන්තය තුළ පිහිටි අක්සායි චින් නමැති ප්‍රදේශය අත්පත් කරගත්තේය.
මෙයට දින කිහිපයකට පෙර සිදුවූ ඉන්දු – චීන මාරක සටනේදී චීනය දෝෂාරෝපණය කර සිටියේ එම ගැල්වාන් නිම්නයේ තමන්ගේ රටට අයත් දේශසීමා ප්‍රදේශයට ඉන්දියානු හමුදා සෙබළුන් සිය ගණනක් හොර රහසේ ඇතුළු වී සිටි බැව්ය. ඒ බැව් දැනගත් චීන හමුදා සෙබළු සැඟවී සිට එක්වරම කඩාපැන ඉන්දියානු හමුදා පිරිස්වලට පහර දෙන්නට වූහ. ලී පොලු, ගල්ගෙඩි, යකඩ පොලු මෙන්ම අතින්, පයින්ද දිගට හරහට පහර දෙන්නට විය. එවිට ඉන්දියානු සෙබළුන්ද ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විය. න්‍යෂ්ටික යුද බලය තිබෙන රටවල් දෙකක හමුදාවන් මෙහිදී සටන් කර ඇත්තේ දරුණු මැර ප්‍රහාරකයන් මෙනි. මෙහිදී බොහෝ විට චීන සෙබළුන් වඩාත්ම ශක්තිමත් වූ බවට තොරතුරු වාර්තා වෙයි. එසේ වූයේ ඉන්දීය සෙබළුන්ට සැඟවී එක්වර කඩාපැන පහර දීම නිසාය. ඉන්දීය සෙබළුන් පිරිසක් චීන අත්අඩංගුවටද පත්වූ බැව් වාර්තා වූ අතර මෙම ලිපිය ලියන අතරවාරයේ ආරංචි වූයේ එම සෙබළුන් පිරිස චීනය විසින් නිදහස් කළ බැව්ය.
මෙම සටනේදී බොහෝ සෙබළුන් පහරකෑමෙන් මියගිය අතර, තවත් පිරිසක් සටන සිදුවන කඩතොලු ඇති රළු බිම් භාගයෙහි තිබෙන ප්‍රපාතයන්ට සහ ගැඹුරු හෙළට වැටී මියගොස් ඇත. හමුදා දෙකෙහිම අණදෙන නිලධාරීන් දෙදෙනකුද මියගොස් ඇති අතර, ඉන්දියානු අණදෙන නිලධාරියා මියගොස් ඇත්තේ දරුණු ගිරිදුර්ග හෙළකට ඇදවැටීමෙනි. මේ ආකාරයට මෙම සටන අතිශය බියකරු, ගත සිත කිලිපොලා යන ගැටුමක් බවට පත්වී ඇත. මෙම සටන සිදුවන විටදී එම යාබද ප්‍රදේශවලින් තවත් හමුදා දෙකෙහිම තවත් සාමාජිකයන් පිරිස් වහාම එම ස්ථානයට පැමිණ ඇත. ඒ හෙයින් සටන තව තවත් උග්‍ර වී ඇත. මේ ආකාරයට පැය 06ක් පුරා පැවැති සටනින් මහත් විනාශයක් සිදුවිය.

මෙම ගැටුමෙහි තොරතුරු දැනගත් වහාම චීනය සහ ඉන්දියාව වහා සාකච්ඡාවකට එක්වූ අතර ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජෙයිෂන්කර් සහ චීන විදේශ ඇමැති වැන්ග් යී දුරකතන සංවාද හරහා තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කළේය. ඉන්පසු තත්ත්වය වහා සමථයකට පත්කර ගත් බැව් ප්‍රකාශ කරමින් නිවේදන දෙකක්ද නිකුත් කළේය. තත්ත්වය එසේ වුවද චීනයට එරෙහිව ඉන්දියානු ජනතාව දැඩි උද්ඝෝෂණවලද නිරත වන්නට විය. චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ඡායාරූප සහ පඹයන් පුලුස්සමින් චීනයට එරෙහි උද්ඝෝෂණ පාඨ ශබ්ද නඟමින්ද එම උද්ඝෝෂණ පැවැත්විණි. චීන හමුදා අතින් කෲර ලෙස ඝාතනයට පත්වූ ඉන්දීය හමුදා සාමාජිකයන්ගේ අවමඟුල් උත්සව පැවැති නගරවලදී මෙම තත්ත්වය ඉතාමත් උත්සන්න විය. ඉන්දීය විදේශ ඇමැතිවරයා, චීන විදේශ ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ චීන හමුදා සාමාජිකයන් විසින් සිතා මතාම ඉන්දීය සෙබළුන්ට පහරදුන් බැව්ය. එසේම සැඟවී සිටිමින් එම කුරිරු ප්‍රහාරය එල්ල කළ බවටත් දෝෂාරෝපණය කර ඇත. එහෙත් එවිට චීන විදේශ ඇමැතිවරයා ඉන්දීය විදේශ ඇමැතිවරයාට පවසා ඇත්තේ ඉන්දියානු සෙබළුන් හොර රහසේම චීන දේශසීමාවට ඇතුළු වී ඇති බැව්ය. මෙයට පෙරදීද ඉන්දියානු සෙබළුන් මෙසේ හොර රහසේ චීන දේශ සීමාවට ඇතුළු වීමේ සිදුවීම් සිදුවී ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත්, චීන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ අවසානයේදී දෙරටම තම තමන් නිදොස් යැයි ප්‍රකාශ කර ගත්තේය.

කෙසේ හෝ මෙම ඉන්දු – චීන ‘මාරක නාඩගම’ අද ලෝකයේ අනෙකුත් රටවල්වලට වඩා බොහෝ වැදගත් වන්නේ අප කුඩා ශ්‍රී ලංකාවටය. එය අප සිතනවාට වඩා ගැඹුරු පැනයක් වනු ඇති අතර, එහෙත් මෙතෙක් ඒ ගැන නිසි අවධානයක් පෙනෙන්නට නැත. එම මාරක ගැටුමේ පිටු කිහිපයක් අප රට තුළදීද පෙරළනු ඇත්තේ ශ්‍රී ලංකාව යනු මෙම දෙරටෙහිම සමීප මිත්‍රයකු හෙයිනි. දශක 06ක් පුරා ඉන්දියාව සහ චීනය යුද ගැටුම්වලට සම්බන්ධ වුවත් එම දීර්ඝ කාලයක් පුරාම ඉන්දියාව සහ චීනය එක හා සමානව ශ්‍රී ලංකාව සමඟ මිතුරුකම් දරා සිටියි. එමෙන්ම ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියාය. මෙවැනි තත්ත්වයක් යටතේ වත්මන් ඉන්දු – චීන අරගලය, ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපාන්නේදැයි විමසීමට අපි බොහෝ ප්‍රකට දේශපාලනික සහ විදෙස් විශ්ලේෂක විද්වතකු හමුවන්නෙමු. ඔහු ආචාර්ය දයාන් ජයතිලකය. ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ උසස් තනතුරු මෙන්ම ප්‍රංශය සහ රුසියාව වැනි රටවල ශ්‍රී ලංකා තානාපති ධුරයන්ද හෙබවූ ආචාර්ය දයාන් ජයතිලක දෙස්, විදෙස් කීර්තිය හිමිකර ගත් විද්වතෙකි.

කළමනාකරණය කර නොගත්ත‌ොත් තත්ත්වය භයානකයි

ප්‍රශ්නය – දශක ගණනාවක් පුරා පවතින ඉන්දු – චීන අර්බුදය මෙවර ඉතාමත් බැරෑරුම් වුණා. මෙම රටවල් දෙක එකිනෙකා සතුරන් වුවත් ශ්‍රී ලංකාව මේ රටවල් දෙකම සමඟ සබඳකම් පවත්වන්නේ 3 – 4 වැනි සියවස් සමයක සිටයි. එම තත්ත්වය ඉතිහාසගතව පවා තිබෙනවා. එවැනි වටපිටාවකදී වත්මන් ඉන්දු – චීන අර්බුදය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
පිළිතුර – ඉන්දියාව සහ චීනය අතර ඇතිවෙලා තිබෙන පරස්පරයට පැහැදිලිවම ශ්‍රී ලංකාව මැදිවෙලා තියෙනවා. ඉන්දියාව ගත් විට අපේ එකම අසල්වැසියා. මෙම අසල්වැසියා සුළුපටු අසල්වැසියකු නොවෙයි. එය අර්ධද්වීපයක්. ලංකාවේ ශිෂ්ටාචාරයේ උල්පත කියලා කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවට ඍජු වශයෙන්ම බලපාන දේශය කියලා කියන්නත් පුළුවන්. අනෙක් අතට චීනය ශ්‍රී ලංකාවේ වඩාත්ම අචල සහ ප්‍රබල පොහොසත් මිත්‍රයා වෙනවා. එහෙත් චීනය ලංකාවේ අසල්වැසියෙක් නෙවෙයි. ඉතින් මේ පරස්පරය නිවැරැදි ආකාරයට අපි විසින් පරිපාලනය කරගත යුතුයි. එසේ නොමැති වුවහොත් මොවුන් දෙදෙනා අතර ඇතිවී තිබෙන ගැටුම සහ ඒ ගැටුම හරහා අනිවාර්යයෙන්ම ඇතිවන සීතල යුද්ධය ලංකාවට ඉතාමත් අහිතකර ආකාරයට බලපානවා.
ප්‍රශ්නය – ඔබ ප්‍රකාශ කරන ආකාරයට මෙම හානිකර තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රයන්ට සිදුකරන බලපෑම කෙසේද?
පිළිතුර – මේ බලපෑමට ඉතාමත්ම ඍජුව ලක්වෙනවා. ඒක මෙහෙමයි, ආගමික හෝ සංස්කෘතික යන තරමක් දුරින් තිබෙන ප්‍රශ්නවලට නෙවෙයි අපේ දෛවයට මේ ප්‍රශ්නය ඉතාමත් ඍජු ලෙස බලපානවා. ඒකට හේතුව තමයි දැන් ඉන්දියාව වගේ රටක්, චීනය වගේ රටක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගැටිලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර දේශ සීමාවේදී. ඒ නිසා ඉන්දියාව සහ චීනය අතර ඇතිවී තිබෙන පරස්පර විරෝධය සමස්ත ආසියාව පුරාම තීව්‍ර වෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මේ තීව්‍ර වීම සිදුවන්නේ තවත් මහා පරිමාණයේ ප්‍රතිවිරෝධයක් තුළදීයි. එනම් ඇමෙරිකාව සහ චීනය තුළ ඇතිවන ප්‍රතිවිරෝධතාව මතයි. දැන් බලන්න මෙම ප්‍රතිවිරෝධතාවන් සියල්ලම එක්තැන් වෙන්නේ දකුණු ආසියාවේදී. මෑතකදී සිදුවුණු ගැටුමෙන් එය හොඳින් පේනවා. විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපයේද මේ තත්ත්වය ඇතිවෙනවා. තමන්ගේ උත්තර දේශ සීමාවේ බරපතළ ප්‍රශ්නයක් ඇතිවී තිබෙන මොහොතක ඉදිරියට ඉන්දියාව තමන්ගේ රටේ තිබෙන සියලු දේශසීමාවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නටද පුළුවන්. එයට ශ්‍රී ලංකාවද අයත් වෙනවා.
ප්‍රශ්නය – ඔබ ඔය ප්‍රකාශ කරන තත්ත්වය යම් ආකාරයකින් තර්ජනාත්මක තත්ත්වයක්ද?
පිළිතුර – ඔව්. එය අවධානය යොමුකළ යුතු කරුණක් වෙනවා. ශ්‍රී ලංකාව පිහිටන්නේ ඉන්දියාවේ දකුණු දිග දේශ සීමාවේ. ඒ නිසා ශ්‍රී ලංකාව ගැන සුපරික්ෂාකාරී බැල්මක් හෙළන එක අපට වළක්වන්න බැහැ. එතැනදී ශ්‍රී ලංකාව ඉතාමත් පරිස්සම් වෙන්න ඕනෑ. මේ මොහොතේදී ඉන්දියාවේ තරගකරුවෙක් සහ එක්තරා දුරකට සතුරෙක් හැටියට අනිවාර්යයෙන්ම සලකනු ලබන චීනය විසින් ශ්‍රී ලංකාව තුළ ඕනෑ තරමට වඩා සිය බලපෑම ප්‍රසාරණය නොකරයි කියලා. එහෙම ප්‍රසාරණය කළොත් සහ එහෙම ප්‍රසාරණය කරනවා කියලා පෙනුණහොත් සහ ලංකාණ්ඩුව හා චීනය අතර සබඳතාවය ඕනෑ තරමට වඩා කැපී පෙනුණහොත් ඉන්දියාව අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා එම තත්ත්වය තමන්ගේ රටේ ආරක්ෂාවට බලපාන බැව්. 80 දශකයේදීත් මෙවැනි තත්ත්වයක් සිදුවුණා. ඒ අත්දැකීම් අපේ රටට තියෙනවා. එදා 80 දශකයේ සිදුවුණේ ඉන්දියාව සහ ඇමෙරිකාව අතර යම් පරස්පරයක් තිබුණා. එවකට ලංකාණ්ඩුව ඇමෙරිකාවට වඩාත් කිට්ටු වුණා. ඒ නිසා ඉන්දියාව යම්කිසි මැදිහත් වීමකට පෙලඹුණා. එදා එලෙස ඉන්දියාව සහ ඇමෙරිකාව අතර තිබුණු ප්‍රශ්නයට වඩා අද ඉන්දියාව සහ චීනය අතර තිබෙන ප්‍රශ්නය ඉතාමත් බැරෑරුම්. මේ නිසා වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව චීනය කෙරෙහි දැඩි හිතවත්කමක් දක්වන බවක් පෙනී ගියහොත් ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ප්‍රතිචාරය සුහදශීලී එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනෑ. අපි ඉන්නේ ඉන්දියාවේ එළිපත්ත උඩයි.
ප්‍රශ්නය – ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේදී ඉන්දියාවට වඩා චීනය ශ්‍රී ලංකාවට උදව් කළා. වත්මන් රජය ඉන්දියාවට වඩා චීනයට වඩාත් පාක්ෂික බවක් පෙන්නුම් කරනවා නේද? එසේ පක්ෂග්‍රාහී අයුරින් ඉදිරියටත් කටයුතු කළ හැකිද?
පිළිතුර – චීනය අපගේ අචලම, ප්‍රබලම මිත්‍රයෙක් තමයි. ඒත් චීනය අපෙන් බොහෝ ඈත තිබෙන රටක්. ඒ වුණාට ඉන්දියාව අපට කිලෝමීටර් 28ක් සමීපයෙන් ඉන්න රටක්. ඒ නිසා ශ්‍රී ලංකාව ඉතාමත්ම පරිස්සමින් සහ ප්‍රඥාගෝචරව කටයුතු කරන්න ඕනෑ. ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේදී චීනය අපට උදව් කළා වුණත් මේ වේලාවේ චීනයට පාක්ෂික වීම සුදුසු ක්‍රියාවක් නෙවෙයි.
ප්‍රශ්නය – මෙම අර්බුදය මෙතරම් උත්සන්න වෙලා තිබුණත් වත්මන් රජය කිසිදු නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුකරලා නැහැ නේද?
පිළිතුර – 1962 වසරේදී ඉන්දු – චීන යුද්ධයේදී එවකට ශ්‍රී ලංකාවේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දෙරට සමාදාන කිරීම සඳහා උත්සාහයක් ගත්තා. එහෙත් එවැනි මැදිහත්වීමක් අද අපේ රටට කරන්න බැහැ. කෙසේ වුවත් අපි ගොළුවත රකින්නට ඕනෑ නැහැ. සාමය ඉල්ලා යම් ප්‍රකාශයක් පමණක් සිදුකරන්නට පුළුවන්. වෙනත් කරන්නට දෙයක් නැහැ. ඒ තරමටම මෙම අර්බුදය බැරෑරැම් එකක්.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොලිසියේ රෙදි ගැලවෙයි: ‘නාකොටික්’ නිලධාරියාගේ වත්තේ කෝටි 3ක කුඩු සල්ලි වළලලා

Next Post

සෙලාන් බැංකුව ‘වෙබිනාර්’ සමග අත්වැල් බැඳ ගනී

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.