‘ශ්‍රී ලංකාවේදී වසර 60කට ආසන්න කාලයක් පුරා වැනසීමට ලක්වුණු 146,000ක පමණ දමිළ ජනතාව වෙනුවෙන් පුද කරන වගකීමක් සහ ගරු සත්කාරයක් උදෙසායි අද අප මේ උත්සවය පවත්වනු ලබන්නේ. 2009 වසරේ මැයි 18 වැනිදා අවසන් වුණු යුද්ධයේදී වින්දිත්වයට පත්වුණු දමිළ වැසියන්ගේ දුක් අඳෝනා අපට කෙදිනකවත් අමතක කරන්න බැහැ. ඔවුන්ගේ යුක්තිය සහ ස්වයං අභිලාෂය උදෙසා අපගේ සාධාරණත්වය ඉටු කරන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් මට හොඳට මතකයි. මම ඇසින් දුටු සහ මගේ සවනට වැටුණු දමිළ ජනතාවගේ වේදනාවන් හරිම දරුණුයි. එසේම යුද්ධයෙන් බේරුණු ජනයාගේ කතාව හරිම සංවේදියි.’
කාලයෙන් කාලයට ඇසෙන එක්තරා වගතුගයන්ට අදාළව මෙවරද මේ කතාව ඇසෙන්නට විය. වසර 30ක කුරිරු වර්ගවාදී යුද්ධය නිමවී පසුගියදා 11 වැනි සංවත්සරය සැමරුවේය. ශ්‍රී ලංකා රජය එක් පැතිකඩක් සමරන විට තවත් කණ්ඩායමක් එහි අනෙක් පැතිකඩ සමරයි. ඒ පිරිස මේ එල්.ටී.ටී.ඊ. කොටි හිතවාදි දමිළ ජාතික කණ්ඩායමය. මෙම බොහෝ පිරිස විදෙස් රටවල සිටින අය වන අතර, ශ්‍රී ලංකාවේද තවත් පිරිසක් සිටිති. මෙවර යුද සංවත්සරයේදී ඉහත කතාව කියා සිටියේ කොටි සංවිධානය යනු තමන්ගේම බූදලයක කොටසක් යැයි සිතූ කාන්තාවක විසිනි. මුළු ලොව හොඳින් හඳුනාගත් දමිළ ජාතික කාන්තාවක වන ඇය එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේය. ලොව බොහෝ උසස් තනතුරක් හෙබවූ ඇය දකුණු අප්‍රිකානු ජාතික දමිළ කාන්තාවකි. නවී පිල්ලේ යැයි කෙටි නාමයෙන් බොහෝදෙනකු හඳුනන ඇය අතිශය උග්‍ර කොටි ත්‍රස්ත හිතවාදී ගැහැනියක්ද වෙයි.
පසුගියදා ඇය ඉහත කතාන්දරය කියා සිටියේ ඇමෙරිකාවේදී පැවැති ‘ටැමිල් සංගම්’ නමැති දමිළ සංවිධානය විසින් සංවිධානය කරන ලද එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ 11 වැනි යුද සැමරුම සහ එම යුද්ධයේදී මියගිය දමිළ ජනයා සිහි කිරීමේ සැමරුම් උත්සවයේදීය. මෙය වෙනත් වසරවලදී දමිළ ඩයස්පෝරාවේ විශාල පිරිසක් සහභාගී වන උත්සවයක් වුවද, මෙවර කොවිඞ්-19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරිණි. එනම් ඇමෙරිකාව කේන්ද්‍ර කරගෙන ලෝකයේ තවත් රටවල් කිහිපයකම කථිකයන් සහ සාමාජිකයන් රැසක් සම්බන්ධ කරගන්නා ලදී. ලොව උසස් තනතුරක් හෙබවූ නවනීදන් පිල්ලේට මෙහිදී සුවිශේෂී ගරුත්වයක් හිමිවූ අතර, උත්සවයේ විශේෂ කතාව පැවැත්වූයේ ඇය විසිනි. ඇය තම කතාව පැවැත්වීමට වීඩියෝ කැමරා ඉදිරියෙහි සිටගත් විට දක්නට ලැබුණේ අරුම පුදුම දසුනකි. එනම් ඇය පැලඳ සිටි සාරිය සම්පූර්ණයෙන්ම වර්ණ ගන්වා හැඩකර තිබුණේ දමිළ ඊළාම් කොඩියේ වර්ණවලිනි.
මෙම දසුන දුටු විටම විවිධ පාර්ශ්ව එයට හිතවත්ව සහ විරුද්ධවද අදහස් දක්වන්නට විය. ඇය එම සාරිය ගැනද තම විශේෂ කතාව කරන අයුරු දසුනක් මෙම ලිපිය සමඟ පළවී ඇත. එක් මාධ්‍ය වාර්තාවක මෙම සේයාරුව හඳුන්වා දී තිබුණේ, ‘කොටි වස්ත්‍ර පොරවාගත් බැටළුවා’ යන ආකාරයකිනි. කෙසේ හෝ නවනීදන් පිල්ලේ විසින් සිදු කළ එම කතාව බොහෝ තදබල ප්‍රශ්නකාරි එකක් විය. එහි ඉතිරි පෙළගැස්ම මෙසේය.
‘මගේ ඇසින් දුටු උතුරේ යුද්ධයේ අනගි දසුන් කිසි දිනක අමතක කරන්න බැහැ. අත්හැර දමන ලද කිසිදු සඳහනක් නැති කඳවුරු, මිනී වළවල් රාශියක් මම දැකලා තියෙනවා. ඒවායින් එළියට පේන්න තිබුණේ මියගිය අයගේ අත්, පා සහ රෙදිපිළි විතරයි. මේ මිනී වළවල් තිබුණේ පල්ලේ, මට දැනගන්නට ලැබුණු විදියට මේ මැරිලා ඉන්නේ අහසේ සිට වෙඩි තැබීමට ලක්වුණු සිවිල් දමිළ වැසියන්. මේ අතරේ මම වීඩියෝ දර්ශන දැකලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම නිරුවත් කළ දමිළ කාන්තාවන්ගේ මියගිය සිරුරු තැන තැන වැටිලා තිබෙන ආකාරය. ප්‍රදේශ ගණනාවක මේ වගේ නොදත් මියගිය කාන්තාවන්ගේ සිරුරු තිබුණා. මේවා සිදුවුණේ කෙසේද, දමිළ ජනතාවගේ අයිතීන් ඉතාමත් සුවිශාල ලෙස උල්ලංඝනය කරපු, කිසිම හේතුවක් නැතිව දමිළ ජනතාව දසදහස් ගණනකගේ ප්‍රාණය නිරුද්ධ කරපු. මේකට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි ඔවුන් දමිළ ජාතිකයන් වීම. දමිළ ජනතාව හැමදාම මේ අසාධාරණයට ලක්වුණා.’
‘පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය විසින් ජාතික ගීය දමිළ බසින් ගායනය කිරීම ප්‍රතික්‍ෂේප කළා. එහෙත් ඊට පෙර වසරවලදී ජාතික ගීය දමිළ බසින් ගායනය කළා. 2019 වසරේදී එසේ සිදුකිරීම තහනම් කරනු ලැබුවා. මෙය දමිළ ජනතාවගේ සත්‍ය අනන්‍යතාව හෙළා දැකීමට සිදුකළ ක්‍රියාවක්. එසේම මේ මඟින් දමිළ ජනතාව පවා ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි සිදුවීම් සිදුවන අතරවාරයේදීම මට දැනගන්න ලැබී තිබෙනවා ත්‍රස්තවාදය වැළකීමේ පනත යටතේ මේ වන විට දමිළ ජාතීකයන් 200ක් පමණ පිරිසක් රැඳවුම් භාරයේ තබාගෙන සිටින බැව්. මෙම ස්ථාන සම්පූර්ණයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කරනවා. මෙම පනත ගැන විශ්ලේෂණයක යෙදෙනු ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා හමුදාව විසින් ලබාගත් දමිළ ජනතාවගේ සාම්ප්‍රදායික ඉඩම් නැවැත ලබා දීම සිදුවී ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයක් පමණයි. තවද මෙම ඉඩම් ඉතා විශාල වපසරියක් තවම එම ජනයාට ලබා දී නැහැ. එලෙස තාමත් දමිළ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන පැමිණිලි මානව හිමිකම් මහා කොමසාරිස්වරයා වෙත ලැබෙමින් තිබෙනවා.’

‘2020 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මේ තත්ත්වය ගැන අවධානය යොමු කර තිබෙනවා. යුක්තිය සහ වගවීම ගැන ශ්‍රී ලංකා රජය ලබාදී තිබෙන පොරොන්දු කෙරෙහි නැවැත ප්‍රතිවර්තනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය උනන්දුවන බැව් පෙනෙන්නට තිබෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සම්පූර්ණ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකා රජය අලස ආකාරයක්ද පෙන්නුම් කරනවා. පසුගිය සමයේ මානව හිමිකම් කඩකළ අපරාධකරුවන් ගැන රජය ක්‍රියා කරන ආකාරය ඉතාමත් උදාසීනයි. මේතාක් දක්වා එම පිරිස් ගැන නිසි පරීක්‍ෂණයක් හෝ විශ්වාසනීය අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නැහැ. එසේ සිදුකොට ක්‍රියාවට රජය සිදුකරන්නේ අධිකරණයට සහ යුක්තියට එරෙහිව පියවර ගැනීමයි. පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා විසින් එවිට සිරගතව සිටි යුද්ධ හමුදා සැරයන්වරයකු විශේෂ ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කර ගත්තා. 200 වසරේදී සිවිල් වැසියන් 8 දෙනකු සහ දරුවකු ඝාතනය කිරීමට එරෙහිව ඔහුට චෝදනා එල්ලවූ අතර, 2015 වසරේදී ඔහුට සිරදඬුවම් පමුණුවනු ලැබුවා. ඔහුට එරෙහිව පමුණුවනු ලැබූ දඬුවම 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කරනු ලැබුවා.’
‘මෙසේ අධිකරණය විසින් දඬුවම් නියම කරනු ලැබූ අපරාධකරුවකු නිදහස් කර ගැනීම අතිශය බලවත් වැරැදි ක්‍රියාවක් වන අතර, මෙම ක්‍රියාව දමිළ ජනයා මහත් අවමානයකට ලක් කිරීමක් වෙනවා. දරුණු අපරාධ කෙරෙහි ඇති සැණින් තත්ත්වයෙන් මිදීම සඳහා සිදුකෙරුණු ලබන කටයුතුවල ප්‍රගතිය මේ මගින් දැඩි අවතක්සේරුවකට ලක්වෙනවා. මේ තත්ත්වය නිසා තමයි ජාත්‍යන්තර ප්‍රජාව මේ සිදුවීම් ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නට අවශ්‍ය වෙන්නේ. දමිළ ජනයාගේ විමුක්තිය සහ යුක්තිය උදෙසා එසේ සිදුවීම අත්‍යවශ්‍ය වෙනවා.’ යැයි නවනීදන් පිල්ලේ මෙම යුද අනුස්මරණ සමරු උත්සවය අමතා ප්‍රකාශ කර ඇත.
නවනීදන් පිල්ලේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරිය තම කතාව සිදුකර ඇත්තේ ඉංග්‍රීසි බසින් වුවත්, ලොව වටා අනෙකුත් බොහෝ දමිළ නියෝජිතයන් තම කතා පවත්වා ඇත්තේ දමිළ බසිනි. කෙසේ හෝ නවනීදන් පිල්ලේ මෙසේ සිදුකළ කතාවේ සමහර කරුණු අතිශය සත්‍යයෙන් තොර යැයි මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත. එයට ප්‍රධාන නිදසුනක් ලෙස ලබාදී ඇත්තේ රජය අත්පත් කරගත් දමිළ ජනතාවගේ ඉඩම් ගැන සිදුකර ඇති ප්‍රකාශයයි. ‘ඉඩම් ප්‍රශ්නය ගැන ඇය වැළපෙමින් කියා සිටියේ තවම රජය දමිළ ජනතාවට ලබාදී ඇත්තේ ඉතාමත් සුළු ඉඩම් ප්‍රමාණයක් වෙයි. එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්, ද්‍රවිඩ ජාතික සන්ධානය පවා ප්‍රකාශ කර තිබෙනවා. එසේම පිළිගෙන තිබෙනවා. යුද හමුදාව අත්පත් කරගත් ඉඩම්වලින් 90%ක ප්‍රමාණයක්ම නැවැත දමිළ ජනයා වෙත ආපසු ලබාදී ඇති බැව්’ යැයි එක් මාධ්‍ය ප්‍රකාශයක සඳහන් වී ඇත. එසේම නවනීදන් පිල්ලේ විසින් ප්‍රකාශ කළ, දමිළ ජනයා 1,46,000ක් ඝාතනය කළේ යැයි කියන පුවත මෙන්ම, ඇය 2013දී ශ්‍රී ලංකාවට පැමිණි විට මියගිය මිනිසුන්ගේ ශරීර ඇති නොගැඹුරු මිනී වළවල් දැකගැනීමේ ප්‍රකාශය ද ඇයගේ විශ්වාසනීයභාවය ගැන විශාල ප්‍රශ්නයක් මතු කරන බැව්ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙවැනි පුවත්පත් මගින් පෙනී යන්නේ ඇය තවද එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයට පක්‍ෂපාතී ලෙස ප්‍රචාරණයක් ගෙනයෑම පමණක් බැව් එම වාර්තා කියා සිටියි.
ඇමෙරිකාවෙන් ලොව පුරා විකාශය කෙරුණු සහ දමිළ නියෝජිතයන් සහභාගි වූ මෙම 11 වැනි එල්.ටී.ටී.ඊ. යුද සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සහභාගිවී ඇත්තේ හිටපු මන්ත්‍රීවරියක් වන ආනන්දී ශෂිධරන්ය. ඇයගේ සැමියා වන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රිකුණාමලයේ දේශපාලන අංශ නායක වේලායුදන් ශෂිදරන්ය.
කව්ද මේ පිල්ලෙයි
දැනට 78 වැනි වියෙහි පසුවන නවනීදන් පිල්ලේ යනු දකුණු අප්‍රිකාවේ උපත ලද ඉන්දියානු දමිළ සම්භවයක් ඇති කාන්තාවකි. ඇය ලොව අතිශය ගෞරවනීය තනතුරක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මානව හිමිකම් මහා කොමසාරිස්වරිය වශයෙන් නොකඩවා වසර 6ක් කටයුතු කළාය. ශ්‍රී ලංකාවේ පෙර සහ පසු යුද සමයන් ආශ්‍රිත කරගත් එම කාලය 2008 – 2014 වීම විශේෂත්වයකි. එල්.ටී.ටී.ඊ. දමිළ කොටි ත්‍රස්ත සංවිධානය නිසා ඇයගේ ඇත්තේ ඉතා දැඩි බැඳීමකි. ඇය එකල රාජපක්‍ෂ රජය වෙත එල්ල කරන ලද ප්‍රහාර බොහෝ විය. ඇය වෘත්තියෙන් නීතිඥවරියක් සහ මහාධිකරණ විනිසුරුවරියකි. ලොව ප්‍රකට, ජනතා හදවත් රඳවාගත් ජන නායකයකු වන, හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් ඇය වරක් දකුණු අප්‍රිකානු මහාධිකරණයට විනිසුරුවරියක් ලෙසද පත්කරන ලදී. ලොව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නවනීදන් පිල්ලේ වතාවන් කිහිපයකදී ජගත් සම්මානයටද හසුව ඇත. 2009 වසරේදී ලොව ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව ඇය නම්කර තිබුණේ 64 ස්ථානයට ලොව බලවත්ම කාන්තාව ලෙසය.
ප්‍රියන්ත හෙට්ටිගේ











