“මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. මට මේක ගෙදර ඉඳන් බලන් ඉන්න බැහැ. ඇඟේ කටු ඇනෙනවා වගේ. ඒකයි මම මෙතැනට ආවේ.” මේ වදන් පෙළ අපට අසන්නට ලැබුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආබාධිත රණවිරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදීය. රට වෙනුවෙන් තම දිවිය කැප කළ ආබාධිත රණවිරුවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් තමන්ට රජයෙන් ලැබිය යුතු වැටුප් සහ සහන ඉල්ලා දින කිහිපයක් පුරා සිදුකළ එම උද්ඝෝෂණය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. එයට සහාය ලබාදීම සඳහා දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණුනු අතර ඒ අසලින් ආ ගිය බොහෝ දෙනකුද මඳ වේලාවක් එම රණවිරුවන් අසල නතර වී තම සහාය පළ කිරීමට අමතක නොකළ ආකාරයද දක්නට හැකි විය.
එලෙස පැමිණි බොහෝදෙනකු රූපවාහිනී මාධ්‍යවේදීන් සමඟ තම අදහස් පළ කළේය. මුලින් සඳහන් කළ තරුණිය රූපවාහිනිය ඔස්සේ තම අදහස් දක්වන්නේද එවිටය. ඇයගේ ප්‍රකාශය ඉන් අනතුරුවද රූපවාහිනී මාධ්‍ය ඔස්සේ කිහිප වරක්ම ප්‍රචාරය වූ අතර සමාජ මාධ්‍ය හරහාද එයට විශාල ජනප්‍රියත්වයක් හිමි විය. රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම බේරා ගත් වීරෝදාර රණවිරුවන් ආබාධිතව, අසරණව සිටින අවස්ථාවක ඔවුන්ට සහාය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඇයට බොහෝ දෙනාගේ පැසසුම් ලැබෙන්නට විය.
පසුගිය රජය ආබාධිත රණවිරුවන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා බොහෝය. තමන් කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කිරීමට රජය නොයෙක් හේතු ප්‍රකාශ කළ නමුත් ඒවා පිළිගැනීමට ජනතාව සූදානම් වූයේ නැත. අවසන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වූයේද පසුගිය රජය රණවිරුවන්ට සැලකූ අන්දමය. ඒ හරහා ගොඩ නැඟුණු ජනමතය පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට පැහැදිලි බලපෑමක් එල්ල කළ බවද අමුතුවෙන් පැවසිය යුතු නැත. එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණියගේ ප්‍රකාශයද ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අනියම් අන්දමින් භාවිතා කෙරුණු ආකාරය දක්නට හැකි විය. දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූවකුගේ ප්‍රකාශයකට වඩා ස්වාධීන, උගත් තරුණියකගේ ප්‍රකාශයක් හරහා රටේ ජන මතයට එල්ල කළ හැකි බලපෑම අති විශාලය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදු වූයේ එයය.
තම සිතේ ඇති වූ හැඟීම වෙනුවෙන් රණවිරුවන් අසලට පැමිණි තරුණියකගේ ප්‍රකාශයක් කිසියම් දේශපාලන පක්ෂයක් තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් භාවිතා කළේ නම් එය එම පක්ෂයේ වරදක් මිස අදාළ තරුණියගේ වරදක් නොවේ. නමුත් අදාළ තරුණියද එම අවස්ථාවට සහභාගි වී ඇත්තේ පෙර සැලසුමක කොටසක් ලෙසින් නම් එහි වරදක් නැත්තේද නොවේ.
රණවිරුවන් වෙනුවෙන් තමාගේ ඇඟේ කටු ඇනෙන බව පැවසූ තරුණිය සම්බන්ධයෙන් සමාජය තුළ එවැනි මතයක් ඇති වීම ආරම්භ වූයේ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් හරහාය. එහි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු එය සැමරීම සඳහා තරුණ තරුණියන් පිරිසක් එක්ව කේක් කපන අවස්ථාවකි. එම තරුණ පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ විද්‍යුත් කාර්යභාරය බාරව සිටි අය බවද සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණිය පිළිබඳ කතාබහ නැවත අලුත් වන්නේ ඇයද එම වීඩියෝවේ කේක් කපමින් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වෙමින් සිටි නිසාය. ඇය ආබාධිත රණවිරුවන් අසලට පැමිණියේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙසින් බවද, එහිදී ඇය සිදුකර ඇත්තේ මුලිමනින්ම රඟපෑමක් බවද බොහෝදෙනකු පවසන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. ඒ හරහා ඇය නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වන චරිතයක් බවට පත් වී ඇත. නමුත් පෙරදී එල්ල වූ ප්‍රශංසා වෙනුවට වර්තමානයේ ඇයට එල්ල වන්නේ දැඩි විවේචනයන්ය.

මැතිවරණ ව්‍යාපාරය හේතුවෙන් නිර්දය විවේචනයට ලක් වූ කාන්තාවක් මීට පෙර අපට හමු වූයේ 2015 මහ මැතිවරණය අතරතුරදීය. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පුංචි කාර් එකක් ගැනීමේ බලාපොරොත්තුව ජනතාව තුළ ඇති කරමින් දැන්වීමක පෙනී සිටි කාන්තාවය. එම දැන්වීම හරහා 2015 මහ මැතිවරණයේ ජනමතය වෙනස් කිරීමට සිදු වූ බලපෑම සුළුපටු නැත. නමුත් ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව වාහන මිල පෙරටත් වඩා ඉහළ යන්නට විය. ඉන් පසු ජනතාව ආණ්ඩුවට එරෙහි විරෝධය පිටකර හැරියේ එම කාන්තාව හරහාය. ඇය සමාජ මාධ්‍යය ඔස්සේ නිර්දය විවේචනයට ලක් විය. වාහන මිල වැඩි කිරීම සාධාරණය කිරීම සඳහා ඉන් අනතුරුව ඇය නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමට ඉදිරිපත් වූ නමුත් එහිදීද ඇයට බොහෝ විවේචන එල්ල වන්නට විය. එම හේතුව නිසාමදෝ පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇය පෙනී සිටිනු දක්නට හැකි නොවීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූවා යැයි කියන රණවිරුවන් වෙනුවෙන් කඳුළු සැලූ කැලණි විශ්වවිද්‍යාලයේ තරුණියට අද අත්වී ඇත්තේද එම ඉරණමය. නව ආණ්ඩුව පත් වූවද, තවමත් ආබාධිත රණවිරුවන්ගේ ගැටලු අවසන් වී නැත. නව ආණ්ඩුව පත්වීමෙන් පසු ඔවුන් නැවත වරක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ උපවාස කරන ආකාරය දක්නට හැකි විය. කොරෝනා හේතුවෙන් මඳක් සමනය වී තිබුණද, තව ටික කලෙකින් එම ගැටලු නැවත වරක් මතුවන බව නොඅනුමානය. එහිදී ආණ්ඩුවට පෙර ජනතාවගෙන් බැණුම් අසන්නට සිදු වන්නේ කාටදැයි සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ සුළු වැටහීමක් හෝ ඇති ඕනෑම කෙනකුට දැන් සිටම නිගමනය කළ හැක.
චන්දන පොන්නම්පෙරුම











