2020 මහ මැතිවරණයට තව තිබෙන්නේ දින කිහිපයයි. ඇත්තටම මේ සැරේ මොනව වෙයිද? මේක ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්රශ්නය බවට පත්වෙලා. මෙයට ප්‍රථම තිබුණු මහ මැතිවරණවලදී පමණක් නොවේ ජනාධිපතිවරණය, පළාත් පාලන මේ ආදී ඕනෑම මැතිවරණයකදී ඡන්දදායකයට ඇහැට පෙනෙන පක්ෂ විපක්ෂ තිබුණා. ඒ නිසා ජනතාව ඡන්දයට කලින් යම් තීන්දුවකට ආවා. එහෙම තීන්දුවකට එන්න තවත් විවිධ කරුණු කාරණාත් උපයෝගි කරගත්තා. ඒ අතරේ මැතිවරණ ප්රචාරක රැලි සඳහා පැමිණෙන ජනතාවගෙනුත් යම් ඉඟියක් ලැබුණා. විවිධ තැන්වල ජනතාව රැස්වුණාම කියන කරන දේවල්වලිනුත් යම් ඉඟියක් ලැබුණා. හැබැයි මේ මැතිවරණයේදී ඒ තත්ත්වයත් වෙනස්. ඒකට හේතුව කොරෝනා වසංගතය. එනිසා මැතිවරණ ප්රචාරක රැලි සම්බන්ධවත්, ජනතාව එක්රැස් වීම සම්බන්ධවත් ගැටලු තිබෙනවා.
ඊළඟට මේ මැතිවරණය තවත් පැත්තකින් විශේෂ වෙලා. ඒ ලංකා ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ කියලා හඳුන්වපු පක්ෂ දෙකට බෙදිලා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා.
ආණ්ඩුව පිහිටුවන්නේ කවුද කියනවට වඩා ඒ ඒ පක්ෂ භාග කොයි තරම් ඡන්ද ගනීවිද කොයි තරම් මන්ත්‍රි ආසන ගනීවිද කියලත් ජනතාව බලාගෙන ඉන්නවා. හරියට හිතලා බැලුවොත් 2020 මහ මැතිවරණය කියන්නේ ඡන්දදායකයාව කරකවලා අතහැරපු මැතිවරණයක් වගේ. එනිසා අගෝස්තු 05 වැනිදා අවසන් වෙනකම් හැමෝම ඉන්නේ ටිකක් කුතුහලයෙන් කියලත් පේනවා.
මේ හේතු නිසාම මැතිවරණය සම්බන්ධයෙන් යම් නිශ්චිත තොරතුරක් ජ්‍යොතිෂය පැත්තෙන් ලබාගෙන ඔබට ඉදිරිපත් කරන්න අප තීරණය කළා. ඒ සඳහා අපි විශේෂිත පුද්ගලයකුට මේ කාරණාව ඉදිරිපත් කළා. ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නිසැකවම ජය ගන්නා බවට ‘මව්රට’ පුවත්පත හරහා නොවරදින අනාවැකියක් කියූ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි මහතා.
ඉතින් මෙවර මහ මැතිවරණයට විවිධ කණ්ඩායම්වලින් ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක ආදී ඉදිරියෙන්ම කියැවෙන අයගේ නම් අනුව නම්වල ගණ පිහිටීම් අනුවත් අගෝස්තු 05 වැනිදාට ලංකා කේන්දරයේ පිහිටීම අනුවත් වාසනාව සහ ග්‍රහ ශක්තිය අනුවත් බලය ලැබෙන්නෙ කාටද කියලා වීරක්කොඩි මහතා පැහැදිලි විග්‍රහයක් කළේ මේ විදිහට.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනකු තෝරා ගැනීම සඳහා මහ මැතිවරණය 2020 අගෝස්තු මස 5 වැනි දින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ. මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දැනට නාමයෝජනා භාරදී ඇත. මැතිවරණ තරග බිමේ වඩාත් කැපී පෙනෙන පිළිගත් දේශපාලන පක්ෂවල නායකයන්ගේ නම් පදනම් කරගෙන 2020 අගෝස්තු 05 දින ශ්‍රී ලංකා කුම්භ ලග්න කුණ්ඩලියේ ග්‍රහ ගමන් රටාද සැලකිල්ලට ගෙන කෙරෙන ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට උත්සාහයක් දැරුවා.
නමකින් කෙරෙන්නේ කිසියම් පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් අන් අයගෙන් වෙන්කර හඳුනා ගැනීම බව සැබෑය. නමුත් ඉපැරැණි ජ්‍යොතිෂ විද්‍යාවේ එන ශාබ්දික ශාස්ත්රයේ සඳහන් වන පරිදි කෙනකුගේ නම උච්චාරණය වන සෑම වාරයක් පාසාම ඔහුගේ පැවැත්මට ප්‍රසිද්ධියට හා දියුණුවට උපකාරි වන විශේෂ ශබ්ද තරංගයක් විශ්වයට එකතු වෙයි. එමෙන්ම නමක් ශබ්දනඟා කියැවීමෙන් පිටවන ශබ්ද තරංගවලට අදාළ පුද්ගලයාගේ හෝ දේශපාලන පක්ෂයේ ශබ්ද තරංග කිසියම් අවස්ථාවක (2020 අගෝස්තු 5) විශ්වයේ පවතින දෛවමය ගුප්ත බලවේග හා ප්‍රතිවිරුද්ධ නම් එම නම ශබ්ද නගා කියැවීම පරාජය අත්විඳීමටද හේතුවනු ඇත.
2020 අගෝස්තු 05 දින ශ්‍රී ලංකා කුම්භ ලග්න කුණ්ඩලියේ ග්‍රහයන්ගේ ගෝචර ගමන් අපි පහත කේන්දර සටහනින් හඳුනා ගනිමු.
මේ දිනවල කාහටත් තිබෙන ප්රශ්නය ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ කවුද යන්නයි.
ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉතාමත්ම සාර්ථක ක්‍රමය වන්නේ ජ්‍යොතිෂ තත්කාල ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගනිමින් මැතිවරණය ආරම්භ වන වේලාව වන 2020 අගෝස්තු 05 බුධ දින පෙරවරු 7.00ට ග්‍රහ තත්ත්වය අධ්‍යයනය කිරීමයි. අගෝස්තු 05 බුධ දින පෙරවරු 7.00ට උදා ලග්නය වන්නේ සිංහ ලග්නයයි. එහි අධිපති රවිය. සිංහ ලග්නය පදනම් කරගෙන නිර්මාණය කරන තත්කාල කේන්දරයේ රවි 12 වැන්නේ මිශ්‍රව සිටී. 2020 අගෝස්තු 05 බදාදා දිනයේ දින අධිපති බුධ ග්‍රහයාද රවි සමඟ 12 වැන්නේය.
අපි දැන් ශාබ්දික ශාස්ත්‍රයට අනුව මැතිවරණ තරග බිමේ ඉදිරියෙන් සිටින මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ යන නම් ගැන අවධානය යොමුකරමු.
ශ්‍රී ලංකා කුම්භ ලග්න කුම්භ ලග්නය හා සීහෙන අතර ලෙස ප, ඵ, බ, භ, ම යන අක්ෂර ජ්‍යොතිෂයේද හඳුන්වා දී ඇත. ඒ අනුව ඉහත නම් අතුරින් ‘ම’ අක්ෂරයෙන් ආරම්භ වන නම් වශයෙන් අපට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන් සිටින බව පෙනේ. ඊට අමතරව මෛත්‍රිපාලගේ නමත් තියෙනවා.
ඡන්දය පැවැත්වීම ආරම්භ වන අවස්ථාවේ පවතින සිංහ ලග්න හා සීහෙන අක්ෂර වන්නේ ඓ, ඔ, ඖ, ළ යන අක්ෂරයි. අගෝස්තු 05 බුධ දිනය හා සීහෙන අක්ෂර වන්නේ ට, ඨ, ඩ, ඪ, ණ යන අක්ෂරයි.
2020 අගෝස්තු 05 පෙරවරු 7.00ට පවතින්නේ දෙනට නැකැතය. දෙනට නැකැත හා සීහෙන අක්ෂර වන්නේ ග, ගි, ගු, ගෙ යන අක්ෂරවල එකම අක්ෂරයත් සමඟවත් සීහෙන නමක් අපට ඉහත නම් 5 අතරින් හමුනොවේ.
සිංහල භාෂාවේ දැක්වෙන අක්ෂර 52 පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන අක්ෂරවලට බෙදා දැක්වෙන ආකාරය සඳහන් පංචභූත චක්‍රය සම්බන්ධ කරගෙන කරන පරීක්ෂණය අනුවද, පංච පක්ෂි ශාස්ත්රයේදී පක්ෂීන්ට හිමි අක්ෂර සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණය අනුවද කරන ලද ගැඹුරු ජ්‍යොතීර් විද්‍යාත්මක විශ්ලේෂණවල ප්‍රතිඵලය වන්නේ 2020 අගෝස්තු 05 දින පවත්වන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන් තිබෙන බවය.
මෙම ජ්‍යොතිෂ විද්‍යාත්මක විශ්ලේෂණය හුදෙක්ම ජ්‍යොතිෂ ශාස්ත්රයේ එන ඉතා වටිනා අංශයන් වන ශාබ්දික ශාස්ත්‍රය සහ තත්කාල ශාස්ත්‍රය පදනම් කරගෙන කරන ලද අනාවැකියකි.ජනපතිවරණය ගැන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගලවත්තේ
චන්දන වීරක්කොඩි











