1987 වසරේදී මුල්වරට හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාව තුළ වැඩිම ආන්දෝලනයක් ඇතිකළ ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්විය හැකිය. එය මේ වන විට යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, පසුගිය ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයෙන් පසුවය. එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි. එම ප්‍රකාශයෙන් පසුව ත්‍රෛනිකායික මහානාහිමිවරුන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් එම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව හඬ නැගීමට මේ වන විට පියවර ගෙන ඇත. මෙවන් පසුබිමක 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මීට වසර 35කට පමණ ඉහතදී රජය උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පෑ විශේෂ පුද්ගලයකු ද සිය විරෝධය ඒ සම්බන්ධයෙන් පළකර තිබිණි. විජිත රෝහණ විජේමුණි නම් වූ ඔහු, එදා ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් තැබීමට දිවයිනට පැමිණි රජිව් ගාන්ධි මහතාට සිය බයිනෙත්තුවෙන් පහරදුන් අවස්ථාව අදද බොහෝ දෙනකුගේ මතකයේ තිබේ. එම සිදුවීම සම්බන්ධයෙන් සහ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් රටට සිදුවිය දේ පැහැදිලි කරමින් විජිත රෝහණ විජේමුණි මහතා සිය ෆේස්බුක් පිටුවට මුදාහැර තිබූ වීඩියෝවක් මෙසේය.
13 වැනි සංශෝධනයෙන් ගෙනාපු පළාත් සභා ක්‍රමය යටතේ පොලිස් බලතල සහ ඉඩම් බලතල බෙදා දෙනවා කියලා රනිල් වික්‍රමසිංහ කරපු ප්‍රකාශය නිසා මේ රටේ සඟ වෙද ගුරු ගොවි කම්කරු තරුණ ශිෂ්‍ය සප්ත මහා බලවේගය රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මිහින්තලේ ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් එම උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා විද්‍යුත් මාධ්‍යවලින්. ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා මේ වෙනකොට අවුරුදු 35ක් සම්පූර්ණ වෙලා තියෙනවා. අවුරුදු 35 සම්පූර්ණ වුණේ 2022 ජූලි මාසේ 29 වැනිදාට. එදා ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න මූලික හේතුව වුණේ කුමක්ද? ඒක තමයි මේ රටේ ප්රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලි කිහිපයක් රට බෙදා වෙන් කරගන්න ඊළාම් රාජ්‍යයක් ලබාගැනීමේ චේතනාවෙන් බලය පවතින ආණ්ඩුවට විරුද්ධව කැරැලි ගැසීම. මේ කැරැල්ල පටන්ගත්තේ 83 හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් ඝාතනය කරලා. ජේ.ආර්. ජයවර්ධනගේ එදා විවෘත ආර්ථිකය තමයි මේකට මූලිකව බලපෑවේ කියන එක මගේ පෞද්ගලික මතය.
එදා 70-77 මැතිනිගේ ආණ්ඩුවේ ආර්ථිකය අනුව ආනයනය සීමා කරපු නිසා යාපනේ ලූනු දුම්කොළ වගේ සියලු වගාවන්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම තිබීම 77 මහ මැතිවරණයෙන් සමගි පෙරමුණ ආණ්ඩුව පරාජය වෙනවත් එක්කම වෙනස් වුණා. ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකය හඳුන්වා දීම නිසා යාපනේ ජනතාවට ජීවත් වෙන්න මාර්ගයක් නැතුව ගියා. ඒ අනුව ප්රභාකරන්ගේ කැරැල්ලට බොහොම ලේසියෙන් ඒ ගොවීන්ව බිලීබාගන්න හැකියාව ලැබුණා. මේ ආකාරයට තමයි එදා මේ රටේ එල්.ටී.ටී.ඊ. ඇතුළු අනෙක් සංවිධාන පෝෂණය වුණේ. ඒකට හේතුව විවෘත ආර්ථිකය කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ජේ.ආර්. ජයවර්ධන මේ කැරැල්ල මැඩපවත්වන්න අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් ඒක අසාර්ථක වුණා. පසුව ජනරාල් සිරිල් රණතුංග මැතිතුමාගේ නායකත්වයෙන් වඩමාරච්චි කියලා සංග්‍රාමයක් ආරම්භ කළා. පේදුරුතුඩුවේ ඉඳලා ඒ මෙහෙයුම දිගටම කරගෙන ආවා. වඩමාරච්චි අත්පත් කරගන්න පැය 24ක් තියෙද්දී ප්රභාකරන්ගේ හිතවතෙක් වෙච්ච තමිල්නාඩුවේ ජාතිවාදී මහ ඇමැතිවරයා එම්.ජී.ආර්. රාමචන්ද්‍රන්, රජිව් ගාන්ධිට බලහත්කාරයෙන් පෙරැත්ත කරලා මේ රටේ ජාත්‍යන්තර ගුවන් සීමා උල්ලංඝනය කරලා ගුවනින් පරිප්පු හෙළන්න සූදානම් කරලා ජේ.ආර්. බියගැන්නුවා. ප්රභාකරන් ඒ වෙලාවේ අපේ හමුදාවට කොටුවෙලා හිටියේ. මේ අවස්ථාවේ ජේ.ආර්.ට රජිව් ගාන්ධි කතා කරලා බලහත්කාරයෙන් මේ ප්රශ්නය විසඳන්න ගිවිසුමක් ඉදිරිපත් කළා. මේ ගිවිසුම ඉදිරිපත් කරපු වෙලාවේ ඉන්දියාව පැත්තෙන් ආපු ප්‍රධාන කොන්දේසියක් තිබුණා. ත්රස්තවාදීන් සතු සියලු අවි පැය 72ක් ඇතුළත භාරදෙනවා කියලා. ලංකා ආණ්ඩුව පළාත් 9කට කඩලා ඉන්දියාවේ ප්‍රාන්තයක තිබෙන ආකාරයේ පොලිස්, ඉඩම් බලතල දෙන්න තමයි ලෑස්ති කරලා තිබුණේ. ඒ වෙනකොට මේ රටේ සමස්ත ජනතාව සුජාත දූදරුවෝ මේ අස්සන් කරන්න යන රට පාවාදෙන ඊනියා සාම ගිවිසුමේ හවුල්කරුවෝ වෙන්න බෑ කියලා පෙළපාළි යනවා අපි දැක්කා. පෙළපාළි යනකොට එදා දවසේ විතරක් අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය 169 දෙනෙක් ඝාතනය කළා. මේ අස්සේ ජනතා විමුක්ති පෙරමුණ බස් ගිනිතියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා මේ රටේ දේපළවලට හානි පමුණුවන ආකාරය අපි දුටුවා. දැන් වඩමාරච්චි මෙහෙයුමෙන් අල්ලගෙන ආපු ඒ ත්රස්තවාදීන් ගාල්ල වරායේ තාවකාලිකව රඳවා සිටියා. මේ අතර ගිවිසුම අස්සන් කරන්න ජේ.ආර්. එක්ක රජිව් ගාන්ධි ලෑස්ති වෙන මොහොතේ රජිව් ගාන්ධි නියෝග කළා වහාම යුද්ධය නතර කරන්න කියලා. ජේ.ආර්. අසරණ වුණා. එවක ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. ජේ.ආර්. එතුමාව යැව්වා ඇමෙරිකාවෙන් ආධාර ඉල්ලලා. මොකද ජේ.ආර්. ඇමෙරිකන් ගැත්තෙක්. එතකොට ඇමෙරිකාවේ ජනාධිපති ප්‍රසිද්ධ නළුවෙක් වුණු රොනල්ඩ් රේගන්. ඇතුලත්මුදලිගෙ සාකච්ඡා අසාර්ථක වෙලා හිස් අතින් ආපහු එන්න සිද්ධ වුණා. ජේ.ආර්.ට මේ ගිවිසුම අවසානේ අස්සන් කරන්න වුණා. ජේ.ආර්.ට තිබුණේ ඒ වෙලාවේ යුද්ධය නතර කරලා ගිවිසුමක් අස්සන් නොකර ඉන්න. නමුත් ජේ.ආර්.ගෙ වයසත් එක්ක ඔහු බොහොම දුර්වල තත්ත්වයෙන් පසුවුණේ. ඉතින් ඔහු මේකට එකඟ වුණා. එකඟ වෙලා මේ රටම ගිනිබත් කරමින් දුම් ජාලා අහසට යනවා අපි දුටුවා. ඒ එක්කම ඉන්දියන් හමුදාව ගොඩබැස්සා. සියලු ත්රස්තවාදීන් නිදහස් කරන්න කිව්වා නැවත. ගිවිසුම අස්සන් කරන්න කලින්. ඒක ගිවිසුමේ එක කොන්දේසියක්. මේ ත්රස්තවාදීන් ආපසු යාපනේට ගේන්න නාවික හමුදාවේ විදුලි කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කළ මටත් යන්න සිද්ධ වුණා. බොහොම කලකිරීමක් ඇතිවුණා. ඇයි මම එහෙම කියන්නේ ? මෙච්චර දැවැන්ත මෙහෙයුමක් කරලා වඩමාරච්චි සංග්‍රාමයේදී අපේ සොල්දාදුවෝ මැරුණේ 21 දෙනයි. එතකොට ජොනී බට්ටෝ තිබුණේ නෑ කොටින්ට. අද ජොනී බට්ටන් පෑගිලා අතපය තුවාල වෙච්ච කී දෙනෙක් ඉන්නවද? කාලතුවක්කු තිබුණේ නෑ. පුනරින් කඳවුර, මුලතිව් කඳවුරට ගහලා චන්ද්‍රිකා සාමදූතිකාව කාලේ වෙච්ච දේවල් වත්මන් පරපුර දන්නේ නෑ. අවුරුදු 36ක් වෙනවා මේ ගිවිසුම අස්සන් කරලා. වත්මන් පරපුර වල්මත් වෙලා ඉන්නේ. කොණ්ඩෙ බැඳගෙන, පච්ච කොටාගෙන. මේ අයට මේක තේරුම් කරලා දෙන්න මම හිතුවේ ඒකයි. අද දවස හොඳටම ගැළපෙනවා ඒකට. අවුරුදු 36ක් ගතවෙන මොහොතේ එදා අතීතය මතක් කරන්න. එදා මේ රටේ සමස්ත ජනතාව මේකට විරෝධය පානකොට වෙඩිතියනකොට මම කල්පනා කළා මමත් මේ සම්මාන මුරයේ ‘ගාඩ් ඔෆ් ඔනර්’ එකට සොල්දාදුවෝ 72ක් සමග මේකට සහභාගි වෙනවා. රාජ්‍ය නායකයා එනකොටයි යනකොටයි සම්මාන මුර දෙකක් පැවැත්වෙනවා. එන දවසේ ගුවන් තොටුපළේදී යුද හමුදාවටත්, යන දවසේ නාවික හමුදාවටත් මේ සම්මාන මුර පිරිනමන්න සිදුවුණා. මේ වෙනකොට මම දැක්කා මේ රටේ මහාචාර්ය සරච්චන්ද්‍ර, මාදුළුවාවේ සෝභිත ඇතුළු සප්ත මහා බලවේගය පාරට බැහැලා විරෝධය පළකරන ආකාරය. ඒ විරෝධය පළකළේ රටෙන් තුනෙන් එකක් ප්රභාකරන්ට ලියවිල්ලකින් ලියලා දෙන්න යනවට විරුද්ධව. එවැනි පදනමක් මත විරෝධය පාපු තරුණයන් 169ක් ජේ.ආර්. එදා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ලව්වා ඇඳිරිනීතිය දාලා මරලා ඒ ජනතාවගේ රුහිරු මතය තමයි එදා ඉන්දු-ලංකා සාම ගිවිසුම අස්සන් කළේ. වත්මන් පරපුර මේවා දන්නෙ නෑ. මම කල්පනා කළා නාවික හමුදාවේ සම්මාන මුරයට මට යන්න ලැබිලා තියෙනවා, මමත් මට පුළුවන් දේ කරනවා කියලා හිතාගත්තා. දකුණේ උපන් සුජාත දරුවෙක් වශයෙන් අපේ රටෙන් තුනෙන් එකක් ප්රභාකරන්ට ලියවිල්ලකින් ලියලා දෙන්න තමයි රජිව් ගාන්ධි එදා ආවේ. මම දැනගෙන හිටියේ නෑ සම්මාන මුරය පිළිගන්න එක නාවික හමුදාවට ලැබෙයිද, යුද හමුදාවට ලැබෙයිද කියලා. මම එදත් කිව්වා, අදත් කියනවා රටේ අවාසනාවට ගුවන් හමුදාවට තමයි ලැබුණේ ගිවිසුම අස්සන් කරන දවසේ සම්මාන මුරය. ආපහු සියරට බලා යන දවසේ සම්මාන මුරය තමයි නාවික හමුදාවට ලැබුණේ. එදා දවසේ ගිවිසුම අස්සන් කරනකොට මේ රටේ ලංගමක් නෑ. ලංගමේ තිබුණු සියලු බස් රථ ගිනිබත් කළා ජනතා විමුක්ති පෙරමුණ. එයාලා නමක් දාගෙන තිබුණා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා. තමන්ගෙ කුණු වහගන්න. එතකොට හරිනේ. අද නම් ජනතා විමුක්ති පෙරමුණෙ කියන නමෙන් නෙවෙයි යන්නේ වෙන නමකින්. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන නම ජනතාවට පිළිකුල්නේ එදා ජනතාවට. එදා දවස තුළ 169ක් මරලා මේක අස්සන් කරලා මාසෙකට ආසන්න කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන්න සිදුවුණා. ඒ තරම් ජනතාවගේ පීඩනය මේකට ආවා. ගිවිසුම අස්සන් කරලා ඉවරයි දැන්. දොන් ජුවන් ධර්මපාලගෙන් පස්සේ මේ රට පාවා දීපු ඓතිහාසික අවස්ථාවක් හැටියට තමයි එදා මම මේක දුටුවේ. ඒ වෙනකොට මම තීරණයක් අරගෙන තිබුණා සම්මාන මුරයට දවස් 3කට කලින් රජිව් ගාන්ධිව මරලා හරි මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධය පාලා මේ ගිවිසුම අස්සන් කරන්න දෙන්නේ නෑ කියලා. මම දේශද්‍රෝහියෙක් වෙන්නේ නෑ කියලා මම අදිටන් කරගෙන හිටියා. නමුත් මම ඉහත සඳහන් කළා වගේ යුද හමුදාවේ කවුරුවත් මේකට විරෝධය පෑවේ නෑ. දෙවැනි දවසේ හරි මම හිතුවා 30 වැනිදා රජිව් ගාන්ධි මරලා දැම්මොත් මේ ගිවිසුම අහෝසි වේවි කියලා. එදා මේ රටේ සමස්ත සප්ත මහා බලවේගයන්ගේ විරෝධය මගේ රයිෆල් එක ඔසවලා රජිව් ගාන්ධිගෙ ඔළුවට ගැහුවේ ඔහුව මරන්න. මරණ චේතනාවෙන් මම ගැහුවේ. යුද්ධාධිකරණයේ කෝට් මාර්ෂල් අහපු නඩුවේදී මම නීති උපදෙස් මත සාක්ෂි දුන්නේ මට දඬුවම අඩුවෙන ආකාරයට. නමුත් මම එදා ජීවිතේ පුදන්න බලාගෙන තමයි රජිව් ගාන්ධිට මගේ විරෝධය පළ කළේ. විජය විමලරත්න ඇතුළු තුන්කට්ටුවක් තමයි එදා කෝර්ට් මාර්ෂල් නඩුව විභාග කළේ. ඒ අය අද ජීවතුන් අතර නෑ. ජේ.ආරුත් නෑ. රජිව් ගාන්ධිත් නෑ. අවුරුදු 35කට පස්සේ නැවත දොන් ජුවන් ධර්මපාලගෙ මල්ලි රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවගේ කිසිම ඡන්ද පදනමක් නැතුව අද මේ පොලිස් බලතල සහ ඉඩම් බලතල දෙනවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකට විරෝධය පළකරලා තමයි මහා සංඝරත්නය පෙරට ඇවිත් අද මේ විරෝධය පළ කරන්නේ. එදා ගිවිසුම අස්සන් කළාට පස්සේ මම රජිව් ගාන්ධිට පහර දීම නිසා මාව අවුරුදු 6ක් සිරගෙට යැව්වා අපේ ත්‍රිවිධ හමුදාවේ තුන්දෙනෙක් එකතු වෙලා. මේ තුන්දෙනත් ජීවතුන් අතර නෑනේ. ඒ කියන්නේ මේ සිද්ධියට මූලික වෙච්ච මම විතරයි අද ජීවතුන් අතර ඉන්නේ. එදා මම දකුණේ උපන් සිංහල තරුණයෙක් වශයෙන් මම දුටුවා මේකෙ බරපතළකම. ලෝකෙ රාජ්‍යයන් කොටස් කරලා පාලනය කරලා තියෙන්නේ ඒ රටවල් විශාලත්වයෙන් වැඩි නිසා. ඇමෙරිකාව විශාල රටක් නිසා ප්‍රාන්ත 50කට වෙන්කරනවා. ඒ වගේ තමයි ඉන්දියාවේ ප්‍රාන්ත එදා 25ක් තිබුණා. 26 වැනි ප්‍රාන්තය ලංකාව කරගන්න යනවා කියලනේ කිව්වේ. අද වෙනකොට ඉන්දියාවේ ප්‍රාන්ත 29ක් තියෙනවා. ප්රභාකරන්ට මේ රටෙන් තුනෙන් එකක් ලියවිල්ලකින් ලියලා දෙන්න රජිව් ගාන්ධි ආපු වෙලාවේ ඒ ගිවිසුමට මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධය පළකරන්න මම ඉදිරිපත් වුණේ මගේ ජීවිතය පූජා කරන්නත් බලාගෙන. නමුත් එදා මට ඇඟිල්ල දික්කරපු බොහොම සුළු පිරිසක් හිටියා. ඒ වගේම ඒක අගය කරපු අයත් හිටියා. ඒ වගේම මගේ කොර්ට් මාර්ෂල් නඩු වාර්තාව ලේක්හවුස් පත්තරවල රජිව් ගාන්ධිට පක්ෂපාතීව වාර්තා කළා. මම නිදහස් වෙලා එන දවසේ මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් නොකළේ ඒ නිසා. ඉතින් මේ රටේ පළාත් සභා ඇතිකරලා මේ රට 09කට කඩලා වර්ධරාජා පෙරුමාල් මහ ඇමැති වුණා. ඔහු මහ ඇමැති වෙලා මාස 03ක් ගතවෙන්න කලින් ඔහු ඊළාම් කොඩිය ඔසවලා ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළා එදා. ඒ වන විට මට මතක හැටියට කැනඩාව සහ ස්විට්සර්ලන්තය ඒක පිළිගත්තා. ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු බලවත් රටවල් කිහිපයක් එදා ඒ ඊළාම් රාජ්‍යය පිළිගත්තා නම් ලංකාවට මොකද වෙන්නේ? තමිල්නාඩුවෙන් 4/1යි ලංකාව කියන්නේ. අපේ ජනගහනය දෙකෝටි විසිපන් ලක්ෂයයි. තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාව හයකෝටි ගානක් ඉන්නවා. අපට වඩා විශාල රාජ්‍යයක්. එහෙනම් ඉස්සෙල්ලා තමිල්නාඩුව බෙදලා නේ එන්න ඕනෙ ලංකාව බෙදන්න. නමුත් මේ රටේ 87 ඉඳලා පත්වෙච්ච රාජ්‍ය පාලකයෙකුටවත් කොන්ද පණ තිබ්බේ නෑ මේ ගිවිසුම අහෝසි කරන්න. මම එදා ටී.එන්.එල්. එකේ ‘ජනහඬ’ට ගිහිල්ලා මේ ගිවිසුම ඉරලා දැම්මා. මේ රටේ ඒකීයභාවය, ස්වාධීනත්වය වෙනුවෙන් මම එහෙමයි පෙනී සිටියේ. එදා මේ රටේ දුටුගැමුණු මහරජතුමා, වළගම්බා, පළමු විජයබාහු, හයවැනි පැරකුම්බා මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළා. වළගම්බා රජතුමා තරම් යුද්ධ කරපු වෙනත් රජෙක් නෑනේ. දුර්භික්ෂය ආපු නිසා තමයි එතුමාට දුෂ්කරතා පැනනැඟුණේ. පළමු විජයබාහු කැලේ හැංගිලා අවුරුදු හයක් සටන් කරලා මේ රට සොලීන්ගෙන් බේරලා දුන්නේ. පොළොන්නරුව පළමු වතාවට අගනුවර කරන්නේ ඔහු. මේ රටේ පහළ වෙච්ච ඉතාම උපායශීලී රජෙක් ඔහු. ඔහු ඉන්දියාවේ බලවත් රාජ්‍යයට තමන්ගේ නැගණිය විවාහ කර දීලා, පොඩි සම්බන්ධතාවක් හදාගත්තා. සොලීන් මේ රට ආක්‍රමණය කරන්න හදනකොට ඉන්දියාවෙන් තර්ජනයක් එයි කියලා අර විවාහයෙන් ඒ පැත්ත බ්ලොක් කරගත්තා. ඉන්දියාවෙන් එන්න තියෙන විරෝධය. මොකද එහෙම විරෝධයක් ආවා නම් සොලීන් මෙල්ල කරන්න ලැබෙන්නේ නෑ. බොහොම උපක්රමශීලීව මේ රට එක්සේසත් කරපු රජෙක් තමයි පළමු විජයබාහු කියන්නේ. අවුරුදු 55ක් එළාර කියලා රජෙක් මේ රට පාලනය කළා. කාවන්තිස්සගෙ පුතා දුටුගැමුණු රජතුමා තමයි මේක විජිත පුරේ මහ සටන දක්වා ගිහිල්ලා රට එක්සේසත් කරන්නේ. යාපනේ කැරැල්ල මැඬපවත්වලා සපුමල් කුමාරයා යවලා හයවැනි විජයබාහු රජතුමත් මේ රට එක්සේසත් කරපු රජෙක් හැටියට නම්දරලා තියෙනවා. පළමු විජයබාහු, දුටුගැමුණු, හයවැනි පැරකුම්බා කියන රජවරු තමයි මේ රට එක්සේසත් කළේ. වළගම්බා රජතුමාට රට එක්සේත් කරන්න බැරිවුණාට ඒ තුන්දෙනාටම වඩා වළගම්බා රජ්ජුරුවෝ සොලීන්ගෙන් මේ රට බේරගන්න සටන් වැදුණා. 21ක් වතාවක් මේ රටට ඉන්දියාවෙන් ඇවිල්ලා යටත් කරගන්න හදලා තියෙනවා. කාලිංග මාඝ කියලා දෙන්නෙක් ඇවිල්ලා මේ රටේ විහාරස්ථාන විනාශ කරලා තිබ්බා. රුවන්වැලි සෑය තිබුණේ මැටි කන්දක් වගේනේ. සේන ගුත්තික කියලා වෙළෙඳාමේ ආපු වෙළෙන්දෝ දෙන්නෙකුත් මේ රට පාලනය කළා. මෙහෙම දුර්වල පාලකයෝ පහළ වුණාම මේ රටට මේ වගේ ව්‍යසනයන් ඇවිල්ලා තියෙනවා.
එදා මම ඒ දැක්ක දේ, මේ රටේ ඇතිවෙන්න තියෙන හානිය. මුලින් ඉල්ලන්නේ බලතල පොඩ්ඩයි. ඊට පස්සේ තමයි ඉතුරු ටික ඉල්ලන්නේ. මේ රටේ ද්‍රවිඩ දේශපාලනඥයෝ ලෑස්ති වෙලා ඉන්නේ ඊළම ගන්න. ඊළම අරන් නිකන් ඉන්නේ නෑනේ. ඊට පස්සේ අනෙක් රටවලින් ආධාර අරන් මුළු රටම අල්ලනවා. ඕක හිතන්නේ නෑ අනිත් අය. එදා රොනී ද මැල්ලා, ගාමිණී දිසානායකලා තමයි ඉන්දු-ලංකා ගිවිසුමේ කපුකම කළේ. ගාමිණී දිසානායක තමයි පළමු කපුවා. ඒක තමයි නුවරඑළියේ ජනතාව ඔහුව ගෙදර ඇරියේ. දැන් මේ රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට කවදාවත් ජනාධිපති වෙන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට බෙදන්න ලෑස්ති වෙනවා. ඊළාම් රාජ්‍යයට අඩු පොලිස් බලතලයි, ඉඩම් බලතලයි විතරයි. ඒකත් දුන්නොත් මොකෙන් මොකක් වෙයිද? දැන් රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියෙක් කියලා මම එදා පටන් කියලා තියෙනවා. නමුත් කරුමේ කියන්නේ බන්දේසියේ තබලා වාසනාව පුදකරන ‘මාලවී පංචමහා රාජ යෝගය’ තියෙනවා මෙයාගේ කේන්දරේ. ඔය රාජ යෝගෙ නිසා තමයි මිනිහට මේක බන්දේසියේ තියලා ලැබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගන්න බැරිවෙච්ච එජාපයේ, ජාතික ලැයිස්තුවට පිරිනැමෙන මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැති වෙලා අද ජනාධිපති වුණා පොහොට්ටුවේ රාජපක්ෂලාට පින් සිද්ධ වෙන්න. මේක අපට සාධාරණීකරණය කරන්න පුළුවන්ද? මේක යුක්තිසහගතද? හදවතට තට්ටු කරලා බලන්න ඕනෙ. අද ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන වචනයක් කතා කරන්නේ නෑ. අනුර කුමාරලා හැමදාම කියන්නේ ස්වයං පාලන අයිතිය අපි පිළිගන්නවා කියලා. නැත්නම් අනුර කුමාරගේ පෙළපාළිවල කොහොමද සුමන්තිරන් යන්නේ? අන්න එහෙම අපි ආවම දෙන්නම් ඊළම කියලා තමයි කියන්නේ. නමුත් මේ රටේ වත්මන් පරපුර මේ ගැන කිසිවක් දන්නේ නෑ. කොණ්ඩේ බැඳගෙන පච්ච කොටාගෙන මුං කඩේ යනවා ජනතා විමුක්ති පෙරමුණට. නමුත් එදා මම මගේ ජීවිතේ ගැන හිතුවේ නෑ. මම නැවත ජීවත් වෙයි කියලා හිතුවේ නෑ. එහෙම කරලත් මේ රටේ ජනතාව කළගුණ දැක්වුවේ නෑ. ඒක කියන්න ඕනෙ. මේ රටේ ජනතාව, සිංහලයා අවස්ථාවාදී. බලය තියෙන දේශපාලන පක්ෂයේ පැත්තට තමයි ඡන්දෙ දෙන්නේ. මම දේශපාලනයට එන්න බලාගෙන රජිව් ගාන්ධිට ගැහුවේ නෑ. මේ රටේ ඒකීයභාවය, ස්වාධීනත්වය වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියලා තමයි මම එදා ක්‍රියාත්මක වුණේ. සමහරු කියනවා ඕක දීලා දැම්මම ඉවරයි නේ කියලා. එහෙම නූගත් එවුනුත් ඉන්නවා. මේ රට 1948 ඉඳලා පාලනය කරලා තියෙන්නේ ප්‍රඥාවන්ත, බුද්ධිමත්, උසස් විඤ්ඤාණයක් තියෙන නායකයෝ නෙවෙයි. මන්ද බුද්ධික නායකයෝ තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ. ගරුතර මහා සංඝරත්නය අද දක්වන මේ විරෝධය එදත් පළකළා. එදා ප්‍රධාන විරුද්ධ පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක කොටුවේ බෝධිය ළඟදී මේ ගිවිසුම කටින් ඉරලා දැම්මා. අපි ඒවා දැක්කා. එදා පළමු පළාත් සභාවට ශ්රීලනිපය තරග කළේ නෑ. ඒකට විරෝධය ප්‍රකාශ කළා. මේකයි එදා තත්ත්වය. වත්මන් පරපුර ඒක දන්නේ නෑ. මේ වෙනුවෙන් මේ රටේ නියම සුජාත අයිතිය තියෙනවා මට තමුන්නාන්සේලාගෙන් ඡන්දෙ ඉල්ලන්න. මම තමයි මේ රටට වැඩියෙන්ම ආදරේ කළේ. ඔය වේදිකාවල කෑගහන පොල්පිති වීරයෝ නෙවෙයි. ජීවත් වෙන්න බලාගෙන නෙවෙයි මම එදා ඒ කාර්යය කළේ. මේ මන්දබුද්ධික නායකයන්ට රට දියුණු කරන්න සැලැස්මක් තිබුණේ නෑ. මට චින්තනයක් සහ සැලැස්මක් තියෙනවා අපේ ලංකා ජනතා පක්ෂයට. වගන්ති 192කින් මේ රට දියුණු කිරීමේ ප්‍රතිපත්තිය මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තියෙනවා මගේ ෆේස්බුක් පිටුව හරහා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සෑම දිස්ත්‍රික්කයකින්ම අපි තරග කරනවා. තමුන්නාන්සේලාට දියුණු රටක් ලබාදෙන්න අපේ පක්ෂය සූදානම්. ඒ පිළිබඳ දැක්මක්, චින්තනයක් අපේ ලංකා ජනතා පක්ෂයට තියෙනවා. මේ රටේ හෙදියන් පුහුණු කරලා, විදෙස්ගත කරලා අපි මේ රටට ඩොලර් ගේනවා. ඒ වගේම මම කියලා තියෙනවා අපි මේ රටට වෛද්‍ය පීඨ හඳුන්වා දීලා විදෙස් ශිෂ්‍යයන්ට අවස්ථාව දීලා මේ රටට ඩොලර් ගලාගෙන එන්න සලස්වනවා කියලා. අපේ ආනයන වියදම අඩුකරලා, අපනයන ආදායම වැඩිකරනවා කියලා මම කියලා තියෙනවා.