ඇල්ෆටොක්සින් අවුල ආයෙත් එළියට බැස තිබේ. ඒ වෙන කවර දාටත් වඩා භයානක මුහුණුවරකින්ය.
මේ කතාව රටට කිව්වෙ පී.ච්.අයි. මහත්තුරුන්ගේ මුල් පුටුවේ ඉන්නා කෙනාය. ඒ නිසාම මේ කතාව විශ්වාස කරන්න ලොකු වුවමනාවක් තිබේ. ඒ කතාවේ තාක්ෂණික කාරණා අපි දන්නේ නැත. නමුත් අන්තිමට අපිට තේරුණේ මේකය.
‘ත්‍රී පෝෂවල වහ’
මේ කතාවේ ඇත්ත නැත්ත විසඳීම වහාම සිදුවිය යුතුමය. සත්‍ය වශයෙන්ම මේ කාරණාව සිදුව ඇත්තේ ඒ විදියටම නම් දැන් කළ යුත්තේ ත්‍රිපෝෂ පැකට් එකතු කිරීමද කියන එක බරපතළ කාරණාවකි. එහෙම එකතු කළාය කියා දරුවන්ගේ බඩේ තියෙන ත්‍රිපෝෂ ටික එකතු කරගත නොහැක. දරුවන්ට වධ කර කැවූයේ වසක් බව දැනගත් පසු මිනිසුන්ට වහ කන්න හිතෙන එක නතර කළ නොහැක. මේ තරම් භයානක කතාවක් ඔය තරම් සරලව අවසන් කළ නොහැක.
ඒ වගේම, දරුවන්ට දුන් ත්‍රිපෝෂවල වස විස ඇති බව කෙළින්ම කියන්නට මේ නිලධාරීන්ට ලැබුණු බලය ගැනද විමසිය යුතුය. මේ ප්‍රකාශය ඒ තරම්ම අවදානම්සහගත එකකි. මවුපියන් විසින් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කිරි දරුවන්ට බලහත්කාරයෙන් වහ කැවූ බව කියන එක සෙල්ලමක් නොවිය යුතුය. කටේ දිවේ නොගෑවෙන තරමට ඔව්වැ කියා නිම කළ නොහැක. වරදවා වටහා නොගන්න. මේ උපුල් මහත්තයාට චෝදනා කිරිල්ලක් නොවේ. මේ අතිශය සංකීර්ණ මාතෘකාවකි. රටේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් මේ වගේ දේකට මීට වඩා වගකීම්සහගතව මැදිහත් වෙන්නට ක්‍රමයක් තිබිය යුතුය.
ඒ අතර මේ වෙලාවෙ මේවා ගැන ඔව් නෑ බෑ තරග තියා වැඩක් නැත. වෙන්නට ඕනෑ වහාම පියවර ගැනිල්ලකි. පියවර ගැනීම යනු පැකට් එකතු කිරිල්ල නොවේ. වගකිව යුත්තෝ ඇත්නම් උන් අල්ලා කටු ඉඹුලේ එල්ලිය යුතුය. උන් කර ඇත්තේ ආත්ම හතක් දඬුවම් ලැබිය යුතු තරම් වරදකි. මේවා සෙල්ලම්
නොවන බව බලධාරීන් දැන සිටිය යුතුය. මේ වෙලාවෙ කවුරුන් හෝ විශාල වරදක් කරමින් හිඳී. ඒ කවුරු වුවත්, ඔහුට හැකි උපරිමයෙන්ම දඬුවම් දිය යුතුය.
එක්කෝ උපුල් රෝහණ මහත්තයා කියන්නේ බොරුවකි. අපි එහෙම කියන්නේ කෙහෙලිය ඇමැතිගෙ කතා ඇසීමෙන් පසුවය. නැත්නම් කෙහෙලිය ඇමැති කියන්නේ බොරුවකි. එහෙම හිතෙන්නේ උපුල් රෝහණගේ කතාව අසූ පසුවය. කිසි සේත්ම දෙදෙනාම එක විට සත්‍ය කියනවා විය නොහැක. එක්කෙනෙක් වස ඇති බව කියයි. අනෙකා නැති බව කියයි. ඇති බව ඇත්ත නම් නැතැයි කීම මිනීමැරුමට අනුබල දීමක් හා සමාන වැඩකි. වස නැත්නම් ඇතැයි කීම ජනතාව අතිශය භයානක ලෙස ප්‍රකෝප කිරීමකි. මේ දෙකම දැඩි දඬුවම් ලබාදිය යුතු පන්නයේ වැරදිය.
අපිට වැරදී ඇත්තේම මෙතැනය. දරුවන්ට වහ දුන් බව කියනමුත් වහ දුන් එකෙක් නැත. එහෙම දුන්නා නම් ඒ කාගෙ කාගේ මල්ල පුරවා ගන්නටද කියනා එකවත් හොයාගත යුතුය. ඒ ගොඩේ ඉන්නා හැම එකාම ගෝල්ෆේස් එක ඉස්සරහට ගෙනල්ලා රෙදි ගැලවිය යුතුය. මවුපියෝ දරුවන් වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන්නේ උන් රැකගන්නටය.කොයි තරමට නැති බැරිකම් තිබුණ ද මදුරුවෙක් වහන්නට නොදී දරුවෝ රැකගන්නා එක අපේ සිරිතයි. එහෙම දරුවන්ට වහ දුන්නේ කොයි එකාද කියන එක ඒ මවුපියන්ට වහාම දැනුම්දිය යුතුය. දරුවන් රකී යැයි හිතන උන්ම වහදුන් පසු එය විශ්වාස කිරීම වරදය. ත්‍රිපෝෂ පැකට් එක කන්ට බෑ කී දරුවාට බලෙන්ම කැව්වේ උන්ව ලොකු කරගන්නටය. බිත්තරය කඩෙන් ගෙනැවිත් දෙන්නට බැරි තැනට අපිව ඇද දැමූ උන්ම මේ වරදත් කළ බව දැනගන්නට තිබේ.
මේ වෙලාවෙ මේ වගේ ඒවාට ක්‍රියාත්මක වෙන්නට තරමට අපේ නීතිය සවිමත්ද යන්න බලා සිටිය යුතුය.
එහෙම නැත්නම් හැකි ඉක්මනින්ම දෙයියන්ට බුදුන්ට මේ අවනඩුව භාරදිය යුතුය. ඒත් දැන් නම් අපට එහෙම දෙයියෝ බුදුන් ගැනවත් විශ්වාසයක් නැත. මේ මිනිස්සු ඒ අයටද අල්ලස්දී තමන්ගේ පැත්තට නමා ගන්නට බැරිකමක් නැත.
ජීවන පහන් තිළිණ