ශ්‍රී ලංකාව අද වන විට වැටී ඇත්තේ අදහාගත නොහැකි තරම් බරපතළ ආර්ථික අර්බුදයකටය. ඒ හා සමාන දේශපාලන අර්බුදයකටය. මේ වැටුණු ප්‍රපාතයෙන් රට ගොඩගන්නේ කෙසේදැයි කියා බොහෝ දෙනා කල්පනා කරමින් සිටී. මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව මුලින්ම හෙළිදරව් කළ දෙදෙනකු සිටියේය. එක් අයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. අනෙක් කෙනා විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාය. ඒ දෙදෙනාම මේ අවදානම මුලින්ම රටට කීවේ මීට වසර දෙකකට පමණ පෙර සිටය. එදා විපක්ෂ නායක සජිත් ඒවා කියන විට ඇතැමුන් උපහාසයෙන් සිනාසුණහ. ඔවුන් කීවේ සජිත් දන්නා ආර්ථික විද්‍යාව කියලාය. හර්ෂ ද සිල්වා මේ අනතුර ගැන කියන විට සමහරු ඔහුට ද සිනාසුණහ. එහෙත්, සිනාසුණු සියලු දෙනාට අඬන්නට වෙමින් ඉතිහාසයේ පළමු වතාවට රට බංකොලොත් විය.
‘මේ රට ගොඩගන්නේ කෙසේද?’
සියලු දෙනාම පෙලූ ප්‍රශ්නය එය විය. රටේ අධ්‍යාපනයට උත්තර නැත. ආර්ථික කඩාවැටීමට උත්තර නැත. දේශපාලන කඩාවැටීමට උත්තර නැත. කොටින්ම රටටම කටඋත්තර නැත.
කයිවාරු ගැසීමෙන් පලක් නැත. ඒවායෙන් ලැබෙන ප්‍රතිඵලයක් ද නැත. විසඳුමක් පේනතෙක් මානයක නැති රටට උත්තරයක් අවශ්‍ය බව සමගි ජන බලවේගය තේරුම් ගත්හ. ඒ උත්තරය රැගෙන පසුගියදා සමගි ජන බලවේගය සුවිශේෂ වැඩසටහනක් එළිදැක්වීය. එය, blueprint නම් විය. “THE BLUE PRINT” ආර්ථික සමුළුව නමින් එය හැඳින්විය. ආර්ථික සමාජ දේශපාලනික වශයෙන් සෑම අතින්ම බැටකන සියලු ප්‍රජාව මේ පිළිබඳ විශාල උනන්දුවක් දැක්වීය.
“THE BLUE PRINT” ආර්ථික සමුළුව පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආර්ථික විශේෂඥයන්, විද්වතුන් දහසක පිරිසක් ඊට සහභාගි වෙතැයි අපේක්ෂා කළ ද 1500කට අධික පිරිසක් පැමිණීම හේතුකොටගෙන හිල්ටන් හෝටලයේ යාබද ශාලාවක්ද ආර්ථික සමුළුවට විවෘත කිරීමට සිදුවිය. මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසර සංවර්ධනය වෙනුවෙන් වෙන සැලැස්ම එළිදැක්වීමද සිදුවිය.
සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ උපසභාපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පළමු අදහස් දැක්වීම සිදුකළ අතර වර්තමානයේ තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට පසුබිම් වූ හේතු කාරණා සියල්ල ඔහු එකිනෙක පැහැදිලි කළේය.
2004 දී තීරණාත්මක ලෙස අගාධයකට යන්නට පටන්ගත් රටේ ආර්ථිකය මහින්ද රාජපක්ෂ යුගය තුළ අධික ණය බරත් සමග ඛේදවාචකයකට තල්ලු වී ගිය හැටි ඔහු එකිනෙක විස්තර කළේය.
රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මේ රට ගොඩනැගීමට ඉදිරිපත් කරන ආර්ථික දැක්ම පිළිබඳ අවධානය යොමු නොකොට කිසිවකුට මග හරින්නට නොහැකි විය. ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කිරීමටත් එම ධනය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික වශයෙන් ගොඩනැගීමටත් මෙම සැලසුම මගින් අපේක්ෂා කරයි.
කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුණයක වෙළෙඳපොළවල් ලංකාවට ඔබ්බෙන් පවතී. එම වෙළෙඳපොළවල අතිමහත් ධනයක් ඒකරාශී වී ඇත. මහා සාගරයෙන් දිය දෝතක් ගන්නා සේ මේ ගෝලීය වෙළෙඳපොළෙන් අපගේ කොටස තරග කර ලබාගැනීම මෙම සැලසුමේ මූලික හරයයි. ඒ වෙනුවෙන් අපගේ අධ්‍යාපනය, ශ්‍රම බළකාය, යටිතල පහසුකම්, රාජ්‍ය සේවය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමටත් වැඩි වශයෙන් විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා ලෝකය සමග එකතුවීමටත් මෙම සැලසුමෙන් අපේක්ෂා කර තිබේ.
මේ ආකාරයෙන් උත්පාදනය කරගන්නා ධනයෙන් සැලකිය යුතු කොටසක් මෙරට දුප්පත් ජනතාවට නිසි ලෙස ගලායන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙම සැලසුමෙන් අනාවරණය කර තිබේ.
‘අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන් අපේක්ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ තරගකාරීත්වයෙන් යුතු තාක්ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි ක්‍රමානුකූලව ආයෙත් ලබාගන්නවා.
ඒ වගේම, මේ විදිහට උපයා ගන්නා ධනයෙන් කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදා හරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත්කමින් ගලවා ගැනීමටත් මෙමගින් සැලසුම් කර තිබෙනවා….’
මෙම සැලසුම විනිවිදභාවය සහ වගවීම, ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය කිරීම, බලශක්තිය සහ මහජන උපයෝගිතා, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ පොදු යටිතල පහසුකම් යන අංශ 10 යටතේ ඉදිරිපත් කර ඇත. මෙම අංශ යටතේ එම ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන් එකින් එක සවිස්තරාත්මකව මෙම සැලසුම මගින් හෙළිකර තිබේ.
මෙම ආර්ථික ඉදිරි දැක්ම මගින් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් පිළිබඳ විශ්වාසය තබා තිබෙන අතර එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික ලිබරල්වාදය හා සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුහුවකි. දීර්ඝ කාලීන තිරසාර සංවර්ධනය ළඟා කරගැනීමට සෑම පුරවැසියකුටම ඒ සඳහා අවස්ථාව ලබාදීම මෙමගින් අපේක්ෂා කරයි.
මෙම ආර්ථික සැලැස්ම ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් හඳුනා ගනිමින් සකස් කර තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ණය අර්බුදය කළමනාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගිතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මෙම අංශ අතරට ඇතුළත් වේ.
වර්තමානයේ අපේ රටේ අර්බුදය මූල්‍ය අර්බුදයක් විතරක් නොවන බවත් දේශපාලන, සමාජීය විශාල අර්බුදයක් කරා ගමන්කර ඇති බවත් “THE BLUE PRINT” ආර්ථික සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේය. මේ වන විට ලෙබනනය ආර්ථික වශයෙන් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පැමිණ සෞඛ්‍ය පහසුකම් නොමැතිව ආහාර හිඟ තත්ත්වයකට පත්ව ඇති බවත්, ලංකාව එවැනි තත්ත්වයකට පත්විය යුතු නැති බවත් හර්ෂ ද සිල්වා පැවැසීය.
‘රට ගොඩනැගීමට අපි වැඩපිළිවළක් දුන්නා. එම වැඩපිළිවෙළ අදටත් වලංගුයි. අපේ සැලැස්ම පිළිවෙළක් සහිතව ක්‍රමවත්ව ඉදිරිපත් කළා…’
සියල්ලටම පෙර දූෂණය නැවැත්වීමට සමගි ජන බලවේගය විදියට හඬ නැඟූ බව හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ව්‍යාපාරිකයන් බදු ගෙවනවා. ශ්‍රී ලංකාවේ ආදායමෙන් සියයට 75ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන තුනකින්ය. මුදල් අමාත්‍යාංශයේ බලයේ සිටියදී පවා රුපියලක් හෝ ඩොලරයක් හෝ සොරකම් කළා යැයි ඔබ කිසිවෙක් මංගල සමරවීර මහතාට හෝ මට චෝදනා කරනු ඇතැයි මම විශ්වාස කරන්නේ නැත. නමුත් ඒ දෙපාර්තමේන්තුවල දූෂණ මට්ටම අඩු වුණේ නැහැ. ඒ නිසා අපට පුද්ගලයන් මත විශ්වාසය තියන්න බැහැ, ක්‍රමයේ වෙනස්කම් කරන්න වෙනවා. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ ආදායම් එකතු කිරීමේ අධිකාරියක් ඇතිකරන්න යන්නේ.
‘ව්‍යාපාරිකයෙක් විදියට බඩු ගෙන්වනකොට බැංකුවට ගිහින් LC එකක් ඇරලා භාණ්ඩ නිෂ්කාශනය කරගන්නට රේගුවට යනවා. කතාවේ ඉතුරු ටික කියන්න ඕනෙ නෑ. රේගුව නිෂ්කාශන මධ්‍යස්ථානය බවට පත්වෙනවා පමණයි. සුරාබදු සහ දේශීය ආදායම් ඒ හා සමානයි, ඒවාට තාක්ෂණය භාවිත කළ හැකිය, මේවා අලුත් අදහස් නොවේ, වෙනත් රටවල් මේවා කර තියෙනවා. තක්සේරු කිරීම එක් ස්ථානයකදී සිදුකර ගෙවීම් සිදු කරනු ලබන්නේ මධ්‍යගත ක්‍රමය මගිනි. එවිට නිලධාරීන් සමග අන්තර්ක්‍රියාව අවම වේ. ගෙවීම් මධ්‍යගතව සිදු කිරීමෙන් පසුව රේගුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කළ හැකි උපදෙස් රේගුවට නිකුත් කරනවා…’
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.
ඉන් අනතුරුව අදහස් දැක්වූයේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාසය.
විධිමත් සහ විප්ලවීය ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගත හැකි බවත්, ඊට නායකත්වය දිය හැකි කණ්ඩායමක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඔහුගේ අදහස් දැක්වීම නිරවුල් විය. තර්කානුකූල විය. ප්‍රායෝගික සහ යථාර්ථවාදී විය.
‘අපි සතුව තිබෙන්නේ මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසුකොට ගත් නිවැරැදි තුන්වෙනි මාවතයි.
හොඳම කණ්ඩායම ඉන්නේ අපි එක්ක.
මේ පණිවුඩය රටටම ගෙනියන්න.
අපි එක්ව රට හදමු.
ආර්ථීක ප්‍රශ්නයට පමණක් නොව දූෂණයට ද තිත තියමු.
කොන්ෆියුසියස් කියන දාර්ශනිකයා එක අවස්ථාවක දී මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරනවා.
එනම්, අපගේ විශිෂ්ටතම මහිමය පවතින්නේ කිසිදින නොවැටී සිටීම තුළ නොව, වැටෙන සෑම අවස්ථාවකම නැගීසිටීම තුළය.
ඔබ අප සියලු දෙනාම අවබෝධ කරගත් යථාර්ථය නම් අද අපේ රට වැටිලා. අද අපේ රට බංකොලොත් වෙලා. අද අපේ රට සහ එහි ජීවත් වන සමස්ත ජනයා අතිශය පෝසත් සුළුතරයක් හැරුණු කොට ඉතාමත්ම අන්ත පීඩනයකට අන්ත අසරණ භාවයකට පත් වෙලා. අපි විශ්වාස කරනවා මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ එන්න පුළුවන් වැඩපිළිවෙළ වඩා ප්‍රශස්තව වඩාත් ප්‍රබුද්ධව කාර්යශූරව හා කාර්යක්ෂමව ඉටුකළ හැක්කේ සමගි ජන බලවේගයත් විශේෂයෙන්ම අප පක්ෂයේ ආර්ථික කවුන්සිලයටත් එයට අනුබද්ධව එකතු වී සිටින දහස් ගණනක් විශේෂඥයන්ට සහ ප්‍රවීණයන්ට කියන කාරණාව.
අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම සුපුරුදු දැක්මෙන් ඔබ්බට ගොස් අප මුහුණ දෙන බරපතළ ප්‍රශ්නය අලුත් විග්‍රහයකට ලක් කරන්න. බොහෝ දෙනෙක් කියනවා මේ හැම දේකටම මුල මේ ආර්ථික ගැටලුව කියලා. මට මතකයි බුෂ් හා ක්ලින්ටන් යන ජනාධිපති අපේක්ෂකවරුන් එක්තරා කාලයක ජනාධිපතිවරණයකට තරග කරන අවස්ථාවේ එදා ප්‍රධාන මාතෘකාව වුණේ ආර්ථිකය. මට මතකයි ඒ කාලේ කිව්වා Its the economy stupid දැන් සමහරෙක් උත්සාහ කරන්න පුළුවන් ඒ දේම අපේ රටෙත් වෙලා කියලා. ඔව් අපේ රටට ආර්ථික ප්‍රශ්න තිබෙනවා. සමාජීය ගැටලු තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේක ආර්ථිකමය ප්‍රශ්නෙන් ඔබ්බට ගිය රට පාලනය කිරීමේ ගැටලුවක් කියලා.
පාලකයන්ගේ අවධානය පමණක් නොව පුරවැසියන් ලක්ෂ 220ක් මේ කාරණාව අවබෝධ කරගත යුතුයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වුණොත් අපි විශ්වාස කරනවා සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න නිවැරැදි ආකාරයට විසඳන දිශානතියට යොමුවෙන එක සත්‍යයක් බවට පත්වෙනවා.
එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා නිර්මාණය කළ යුතු නව ක්‍රමෝපායන් නව යහපත් ආයතන පාරදෘශ්‍යභාවය ඔප්පු කරන ක්‍රියාදාමවලට අපි මුල්තැන ලබාදෙනවා.
ඒ වගේම යහපත් රාජ්‍ය පාලනයකට යොමු වෙනවා සේම මේ රටේ පිළිකාවක්ව පැවැතෙන දූෂණය වංචාව හොරකම වැළැක්වීමේ දැවැන්ත ජාතික ව්‍යායාමයකට අපි රජයක් ලෙස යොමු වෙනවා.
විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සිදුවන දූෂණ වංචා හොරකම් සම්පූර්ණයෙන්ම නැතිවූ ක්‍රමවේදයට යොමුවීමට අලුත් නීතිරීති අණ පනත් රාජ්‍ය පාලනයේ වෙනස්කම් ක්‍රියාත්මක කරන්න.
අපි අදහස් කරනවා අල්ලස දූෂණය වංචාව තුළින් රටට අහිමි වූ සම්පත් නැවත ලබාගැනීම උදෙසා අලුත් අණ පනත් ඒ වගේම කළමනාකරණ අධිකාරියක් ඇතිකර අහිමිවූ සම්පත් රටට ලබාගැනීමේ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න.
විශේෂයෙන්ම යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම තුළ මා විශ්වාස කරනවා මෙතෙක් ඉදිරිපත් වුණු ඒ සාධනීය ඒ වැදගත් ආර්ථික සමාජීය ප්‍රතිසංස්කරණ ඒ දැක්ම අපිට වඩාත් හොඳින් ඵලදායී ආකාරයට රටේ ක්‍රියාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙයි කියලා. ඒ නිසා අපි අනිත් අයට වඩා වෙනස්. ඒ නිසා අපි මෙය හුදෙක් දකින්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් ලෙස නොව රාජ්‍ය පාලන ක්‍රමයේ ව්‍යූහයේ ක්‍රමයේ පරිවර්තනාත්මක වෙනසක්.
ඒ වගේම මම කියන්න කැමැතියි මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගන්න වැදගත් මොහොත කිසිම කෙනකුට අත්හදා බලන්න අවස්ථාවක් නොවේ. ඔබ අප සියලු දෙනාම දන්නවා 2019 අත්හදා බැලීමක් කළා. ඒ අත්හදා බැලීම තුළ අද අපේ රට ප්‍රජාතන්ත්‍ර ඉතිහාසයේ ප්‍රථම වතාව තුළ බංකොලොත් රටක් බවට පත්වෙලා.
පුළුල් වශයෙන් ගත් කල ඔබ අපේ රටේ දැක තිබෙනවා අන්තවාදී ධනවාදය. ධනවාදී අන්තවාදය පසුකාලීනව ගජමිතුරු ධනවාදයට ක්‍රියාත්මක වුණා. අනික් විකල්පය වන අන්ත සමාජවාදය වැසුණු රටක් සංවෘත රටක් හැමදේම තනියම කරන්න පුළුවන් කියන දුර්වල මානසිකත්ව තුළ නිර්මාණය වුණු අන්ත සමාජවාදයත් ක්‍රියාත්ම කරන්නේ නැහැ. අපි සතුව තිබෙන්නේ මානුෂීය ධනවාදය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුසුකොට ගත් නිවැරැදි තුන්වැනි මාවතයි.
ඒ වගේම සාර්ව ආර්ථිකයේ සහ ශුද්ධ ආර්ථිකයේ සාධනීය රටට මෙන්ම ජනතාවට වැදගත් වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි. මේ හැම දෙයක් ක්‍රියාත්මක කිරීමේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මුල්තැනට ගෙන ධනවාදය තුළින් ධනය උත්පාදනය කරගෙන එය ජන සමාජයේ සමසේ බෙදී යායුතුයි.
ජයග්‍රහී පුද්ගලයා ඔක්කොම පොදිය පිටින් ලබාගන්නා වැඩපිළිවෙළක අපි නැහැ. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා සුබසාධන රාජ්‍ය පිළිබඳ. ධනවාදී එංගලන්තයට පුළුවන් නම් නිදහස් අධ්‍යාපනයක් සෞඛ්‍යයක් ක්‍රියාත්මක කළ හැකි නම් පුංචි අපේ රටටත් හැකි විය යුතුයි. එය නිවැරදි විය යුතුයි. වර්තමාන අධ්‍යාපන ක්‍රමයට වැඩපිළිවෙළට දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිම මුදලක් වෙන් කරලත් හරි යන්නෑ. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට පරිගණක, ඩිජිටල් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට මුල්තැන දිය යුතුයි. ඒ තුළින් බොහෝ දෙනා කතාකරන දැනුම මත පදනම් තොරතුරු මත දත්ත මත පදනම් ආර්ථිකයට කෘත්‍රිම බුද්ධිය ජාන විද්‍යාව වැනි දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුයි. පුදුම විදියේ විප්ලවීය වෙනසක් ලොව තුළ ඇතිවන විට රටක් ලෙස අපි එකම මඩ වගුරක එබිලා එකම තැන පල් වෙවී ඉන්නවා. මේක වෙනස් විය යුතුයි.
අවසාන වශයෙන් මම කියන්න කැමැතියි වෙනස්කම් සිදුවන විට ඒවා පිළිගැනීමට සූදානම් විය යුතුයි. බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් විශේෂයෙන්ම ලෝකයේ අධිරාජ්‍යවාදයට යටත් වී සිටි රටවල් නිදහස් පිළිබඳ කතා කරන විට නිදහස් සටන් ක්‍රියාත්මක කරන විට ඔහු සුප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළා. එය හැදින්වූයේ වින්ඩ් ඔෆ් චේන්ජ් යනුවෙනි.
“The wind of change is blowing through this continent and whether we like it or not” this growth of national consciousness is a political fact’ We must all accept it as a fact” and our national policies must take account of it,
වෙනසක් සඳහා වූ සුළඟ මහද්වීපය හරහා හමායන අතර අප එයට කැමැති වුවද අකැමැති වුවද ජාතික හැඟීම හා සම්බන්ධ මෙම වර්ධනය වූ මෙම දේශපාලනය සත්‍යයක් යථාර්ථයක්. අප සියලු දෙනා එය සත්‍යයක් සේ පිළිගත යුතු වන අතර අපගේ ජාතික ප්‍රතිපත්ති තුළ ඒ කරුණ අවධාරණයට ලක් කළ යුතුයි.
මම මේ කතාව කිව්වේ අපේ රටෙත් දැන් මහ සුළඟක් හමාගෙන යනවා. ඒ සුළඟ තමයි රට ශක්තිමත් කරන රටේ ලක්ෂ 220ක් ජීවත් කරවන වෙනසක් ඇති කළ යුතු මහා සුළඟ. ඒ නිසා අපට තවදුරටත් සම්ප්‍රදායික ගතානුගතික රාමුවට කොටුව රටක් ලෙස සිටිය නොහැකියි. රාමුවෙන් පිට පැන අලුතින් සිතිය යුතුයි. මම තරයේ විශ්වාස කරනවා. රාමුවෙන් පිටපැන අපේ රට සෞභාග්‍ය කරා ගෙන යන්න හොඳම කණ්ඩායමක් ඉන්නවා.
අපේ ආර්ථික කවුන්සිලයේ ත්‍රිත්වය වන ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා හා කබීර් හෂීම් මැතිතුමා. එතුමන්ලාගේ අත්දැකීම් පළපුරුදුද කළපුරුද්ද දැකපුරුද්ද ආදී සියලු දේ මුසු කරගෙන රට ගොඩනගන ප්‍රගතිශීලී ඉදිරි ගමනක් යන අනාගතවාදී නූතනවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වැදගත් ප්‍රබුද්ධ උගත් කණ්ඩායමක් අප සතුව සිටිනවා. එවන් කණ්ඩායමක් සතු එකම පක්ෂය සමගි ජන බලවේගයයි.
ඒ වගේම මම විශ්වාස කරනවා මේ අර්ථික කවුන්සිලය සමග බද්ධව කටයුතු කරන අපිට තිබෙනවා විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්ය, කථිකාචාර්යවරුන් 1,100කට වැඩි ප්‍රමාණයක බුද්ධි මණ්ඩපයක්. ඔවුන්ගේ දායකත්වයත් අපිට ලැබෙනවා.
ඒ වගේම ජාතික වෘත්තීයවේදීන්ගේ සභාවෙත් දහසකට වැඩි වෘත්තීයවේදීන් ප්‍රමාණයක් අපේ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රතිපත්ති නිර්මාණය කරමින් රජයට ආව දවසක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉන්නවා.
අපි දකින අඩුපාඩුවක් නම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණාට මදි ප්‍රතිපත්ති අධීක්ෂණය කරන්න ඕනෙ. ඒ සඳහා මම සඳහන් කළ මේ කණ්ඩායමට අමතරව තරුණ වෘත්තීයවේදීන් දහස් ගණනක් ඉන්නවා.
මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය පාලන ගැටලුවක්. ඒ ප්‍රතිසංස්කරණවලට සූදානම්. අපි අනුගමනය කරන්නේ නිදහසෙන් පසු පක්ෂ ක්‍රියාත්මක කළ සුපුරුදු ගමන් මාර්ගය නොව මැද මාවතක්.
අවසාන වශයෙන් මේ කතාකරන සියලුම දේ කතාවට පමණක් සීමා වුවහොත් මෙය තවත් එක් කතාවක් විතරයි. කතාව ක්‍රියාවට නැංවීමට අප සතුව වඩාත් ශක්තිමත් උගත් බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා….’
ඔහු දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
එම අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදියෙක් අවසානයේදී විපක්ෂ නායක සජිත්ගෙන් මෙහෙම ඇසුවේය.
‘අවුරුදු හැත්තෑහතරක් තිස්සේ රට අගාධයට යනවා. මෑතකදී ගත්තොත් මහින්දටත්, ගෝඨාභයටත්, රනිල්ටත් මේ අර්බුදය ජයගන්න බැරි වුණා. එහෙම එකේ ඔබ කොහොමද මේ අර්බුදය ජය ගන්නේ?’
ඊටත් සජිත් දුන්නේ ඉතාම කෙටි නිරවුල් උත්තරයකි.
‘එයාලට හිටියේ එයාලා පමණයි. ඒ හැමෝම තනි තනියම උත්සාහ කළා.
කාටවත් තනියම කිසිවක් කරන්න බැහැ. මට කණ්ඩායමක් ඉන්නවා. එක් කණ්ඩායමක් සමග මේ රට ගොඩදාන්න පුළුවන්…’
ඔහු කීවේය.
ක්‍රිෂාන්ති පෙරේරා