ලංකාවේ සමාජ මාධ්‍යවලින් බොහෝ විට සිදුවන්නේ කාගේ හෝ ඕපාදූපයක්, එහෙමත් නැත්නම් කමකට නැති යමක් සමාජගත කරවීමය. මෙතැනදී කුමක් හෝ සිදුවීමක් වරින් වර සංසරණය කරවීමද එහි තවත් එක් විකාරරූපී දෙයක් ලෙස පෙන්වා දීමට පුළුවන. මෑතක සිට සිදුවන එවන් විකාරයක් වූ සංසිද්ධියක් ලෙස ‘රිසෙප්ෂන් හෝල්වල කසාද බැඳපු ජෝඩුව සහ ඒ දෙපළගේ නෑයන් ලවක් දෙවක් නැතුව එකසිය ගානට නටන සීන් එක පෙන්වා දිය හැකිය. සත්තකින්ම කියනවා නම් සුවිශේෂීව මනමාලියි මනමාලයයි නටන වීඩියෝ පට මුහුණු පොත හරහා මෙන්ම යූටියුබ් හරහාද සීමාවක් නැතිව ප්‍රදර්ශනය කරන එක අද ටේරන්ඩ් එකක් වී ඇත. මතකය වැරැදි නැත්නම් එය ආරම්භ වූයේ ‘බික’ කෑම කඩවලින් යූටියුබ් හරහාම ෆේමස් වූ යූටියුබර් කෙනකු වන අශේන් සේනාරත්න සහ ඔහුගේ ලස්සන බිරියගේ ඉල ඇදෙන නන්ස්ටොප් ඩාන්ස් එක හරහාය. (Sri Lanka Latest News)
ඒක මාර නැටුමකි. ඒ නැටුම කොයිතරම් මාරයිද කියනවා නම් එයට පසු මනමාලි සහ මනමාලයා ඇති පදමට නටන එක වසංගතයක් තරමට සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වන්නට විය.
ලස්සනට ඇඳගත්ත මනමාලි සහ මනමාලයා නටන එක වසංගතයක් වුණේ ඇයි?
එයට හේතුව වූයේ එම වීඩියෝ දර්ශනයන් විවිධ වූ කෝණ හරහා එකසිය ගානට වරින් වර එපාම වන තරමට සංසරණය වීමය. පසුගිය දවස්වලද වෙඩින් කපල් එකක් නටන සීන් එකක් සමාජ මාධ්‍ය ඔස්සේ තත්පරයෙන් තත්පරයට සංසරණය විය. පසුගියදා කීවාට මෙය ලියන මොහොතේ වාගෙම ඊයේ පෙරේදාද ඒ කපල් එක සින්දුවකට නටන වීඩියෝව මුහුණු පොත හරහා සිය ගණනක් අතරේ ෂෙයාර් වෙමින් තිබිණි.
‘රටම ආදරය කරන ජෝඩුව’
‘රටම හොයන ජෝඩුව’
‘හැමෝගෙම හිත දිනාගත් ජෝඩුව’ යන සිරස්තල යටතේ ඒ දෙන්නා නටන වීඩියෝව සීමාවක් නැතුව ප්‍රදර්ශනය විය. කතන්දරයේ හැටියට මනමාලිය හෂිනි ගයනිකාය. මනාලයා අවන්ත ශාමන්ය. ඔවුන්ගේ ප්‍රේමයට වයස අවුරුදු 16කි. ඇය ඉතාලියේ ඉඳලාත්, ඔහු කොරියාවේ ඉඳලාත් ආවේ ඔවුන්ගේ ප්‍රේමය මල්ඵල ගන්වා ගැනීමටය. විවාහ වූ දවසේ රිසෙප්ෂන් එකේදී දෙන්නාටම රැග් එකක් විදියට මනමාලයාගේ අඹ යාළුවෙක් ඒ දෙන්නා රෑට රෑට ෆෝන් එකෙන් තම ආදරය බෙදාගන්නකොට කියැවුණු සින්දුවක් ගැන ඒ මොහොතේ ප්‍රසිද්ධියේ කියන්නේ මනාල යුවලව බලහත්කාරයෙන්ම වාගේ ඩාන්ස් ෆ්ලෝ එක මැද්දට ඩාන්ස් කරන්නට තල්ලු කරමින්ය. දෙදෙනා ඩාන්ස් කරන්නේ අජිත් මුතුකුමාරණගේ ‘ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි’ නමැති ජනප්‍රිය සින්දුවටය.
සින්දුව ලස්සනය. මනමාලි සුන්දරය. මනමාලයත් කඩවසම්ය. ඩාන්ස් එකත් ටොප් එකට තිබිණි. ඒ නිසා ඔවුන්ගේ විවාහය අරබයා සිදුවූ ඒ කිසිවක වරදක් නැතිය. වරද ඇත්තේ ඒ සරල සිදුවීම විකාරයක් කරගත් සමාජ මාධ්‍ය තුළය.
සදාචාරයක් කියන එක බොහෝ විට නැති නිසා ඒ සමාජ මාධ්‍යවල හැටි යැයි කියා හිත සනසා ගත්තාය කිව්වත්, ප්‍රමිතියක් වැදගත්කමක් තිබිය යුතු අපේ රූපවාහිනී මාධ්‍යයන්ද අර කවුද කින්ද මන්ද කියා දන්නෙවත් නැති, රටට සුවිශේෂය කියන හරිහමන් කාරණයක්වත් නැති අර වෙඩින් කපල් එක සොයා ඔවුන්ගේ ගෙවල්වලට යෑම මොන තරම් නම් විහිළුවක්ද? අහවල් රූපවාහිනී නාලිකාව මුහුණු පොතේ සිය ඩාන්ස් එක වයිරල් කළ මේ හෂිනි සහ අවන්ත සොයා ඔවුන්ගේ නිවෙසට ගියේ මොනවාටද? ඒ ගිය ගමන තුළ සිදුවූයේ පවුලේ හැමෝවම එකට ඉන්දවා ඡායාරූප ගැනීමය. කසාද බැඳපු දෙන්නා රට යන්න ඇඳුම් නමන ආකාරය සහ වෙඩින් එකේදී යාළුවා දුන්න ‘රැග්’ එක නිසා ඔවුන් රට පුරා මුහුණු පොත නිසා ප්‍රසිද්ධියට පත්වූ ආකාරය ගැන මනමාලයා කරන ස්තුති කතාවද ශ්‍රී ලංාවේ පළමු පෙළට සිටිනවාය කියන එකී පුද්ගලික රූපවාහිනී නාලිකාවේ සුවිශේෂ පුවතක් ලෙස විකාශය විය.
‘අනේ දෙවියනේ මේවත් නිවුස්ද?’
මෙවැනි රටට සුවිශේෂ නොවූ ඉතා සාමාන්‍ය සිදුවීමක් නිවුස් එකක් ලෙස තෝරාගෙන කැමරා ආම්පන්නත් අටවාගෙන එම රූපවාහිනී නාලිකාව එතරම් දුර බැහැරකට ගියේ ඔවුන්ට දාන්න තරම් වැදගත් නිවුස් නැති නිසාද? එහෙමත් නැත්නම් රූපවාහිනී නිවුස්වල කොලිටි එක ඒ තරමටම පහළට වැටිලාද? සමාජ මාධ්‍යවල නම් දැන් ගන්නම දෙයක් නැත. ‘චීප්’ යන වචනයත් ඊට හොඳ වැඩි තරම්ය. අපේ නළු නිළියන්ගේ රැඟිල්ලද ඊට දෙවැනි නැත. තමන් ගැම්ගත්තාය කියන සලකුණක් අපේ නිළියෝ මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරති. එයට පසු ඇගේ ගර්භණී සමය ගැන විවිධ ඡායාරූපද, දරු ගැබ සහිතව කළ ‘ප්‍රෙග්නන්ට් ප්‍රී ෂූට්’ එකේ ඡායාරූපද සමාජ මාධ්‍ය හරහා බෙදාහරියි.
මෑතකදී අපේ අද්විතීය රංගන ශිල්පියකු සහ නිර්මාණකරුවකුගේ පුතෙකු තම බිරිය දෙවැනි වර ගැබ්ගත් මොහොතේ ඇයට ඇතිව තිබෙන දොළදුක ගැනත්, සමහර කෑම දැක්කාම ඇයට අප්පිරියාව දැනෙන අන්දමත් ගැන වීඩියෝ දසුන් මුහුණු පොතට මුදාහැර තිබිණි. පසුව ගැබිනි සමයේ විවිධ අවස්ථාවන් සිට දරුවා ලැබී ගෙදරට ගෙන එන ආකාරයද එලෙස මුදාහැර තිබිණි.
තවත් සමහර නළු නිළියෝ ගෙදර කෑම හදන හැටිද, ඒවා කන හැටිද, මේක්-අප් කරන සහ ෂොපිං කරන හැටිද, අර ගමන, මේ ගමන යන හැටි සහ පිටරටක යන හැටිද සමාජ මාධ්‍යයට මුදාහරිති. ඒ අතර නළු සැමියා සහ නිළි බිරිය තම තමන් වෙනුවෙන් සර්ප්‍රයිස් කරන හැටි පෙන්වයි. ඒ අතර තවත් ජනප්‍රිය ටෙලි නළුවන් ජනප්‍රිය නළු සම්මානය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ මුවාවෙන් තමාට ීඵී කරන ලෙස මුහුණු පොත හරහා අයැද සිටියි. අනේ ඉතින් 60-70 සහ 80-90 දශකවල අපේ සිනමා නළු නිළියන් ජනප්‍රිය සම්මානය තමාටය කියන කාරණය දන්නෙවත් නැතිව සම්මාන උළෙලවලට පැමිණි වැදගත් තාලය සහ ගැම්ම අද කාලේ එළු නළුවන්ට කියා දෙන්නට කවුරුවත් නැති එක දුකය.
ඒ නළු නිළියන් ප්‍රමුඛ සමාජ මාධ්‍ය කලාවය.
අපේ සාමාන්‍ය මිනිස්සුද සමාජ මාධ්‍ය සමග විකාර නටති. පිනට දහමට දෙන්නෙත්, සමාජ මාධ්‍යයට පේන්නය. ගෙදර කවුරු හෝ රට ගිහින් එන එකයි, ස්පෙෂල් කෑමක් හදන එකයි, වයසක අම්මට තාත්තට ආවතේව කරන එකයි ඇතුළුව තව තව අප්‍රමාණ දෑ ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වයි. කාර් එකක් අලුතෙන් ගෙනාවත් බලු සුරතලකු වැඩි මිලකට ගත්තත් ඒ සියලු දේ මුහුණු පොතට මුදාහරිති.
කාන්තා නිරුවතද අද මුහුණු පොතට අලුත් දෙයක් නොවේය. තරුණ නිළියන් මෙන්ම නිළියන් නොවන සාමාන්‍ය යොවුන් කෙල්ලන්ද අඩ නිරුවතින් එහි රිසි සේ දඟලති. මොන මට්ටමේ පහත් කමෙන්ට්ස් ඒ පාමුලින් සටහන් වුවද මුහුණු පොත මත තම පුද්ගලිකත්වය උකස් කරති. කොටින්ම කියනවා නම් සමාජ මාධ්‍ය අද හෑල්ලුවම ලක්ව අවසානය.
සමාජ මාධ්‍ය යනු කුමක්ද?
සමාජ මාධ්‍යය යනු සමාජයට දැනුම බෙදන යම් පණිවුඩයක් දිය යුතු මාධ්‍ය මෙහෙවරකි. නමුත් අද එහි වැඩිහරියක්ම සිදුවන්නේ කමකට නැති විලම්බීත බෙදාහැරීමේ පහත් සේවාවකි. පුදුමය කියන්නේ මීට ඇඟිල්ල දිගුකරන අයකුද සොයාගැනීම අපහසු වීමය. වැදගැම්මක් නැති විලම්බීත පෝස්ට්වලට වීඩියෝ දසුන්වලට වාගෙම චාරයක් නැති අසික්කිත දේටද තව තවත් ගැම්ම දෙන කමෙන්ට්ස් මිසක, ‘අයියෝ මේ මොන විකාරද? මේවත් නිවුස්ද?’ කියා හෝ ‘දෙවියනේ මේවට වාරණ දාන්න කෙනෙක් නැද්ද?’ කියා කමෙන්ට් කරන පිරිස හොයාගන්නට අපහසුය. ඇත්තෙන්ම වයස් භේදයක් නැතිව පොඩි දරුවන් පවා බලන සමාජ මාධ්‍යවලට වාරණයක් අවැසි කාලයකට නොවේද අප මේ පැමිණ සිටින්නේ?
වගකිව යුත්තන් කොහිද? ඔවුන් නිහඬව සිටින්නේ මන්ද? අඩුම තරමේ සමාජ මාධ්‍යවල සංසරණය වන සදාචාරයක් හෝ වැදගත්කමක් නැති මේ මාධ්‍ය කලාව ගැන වගකිව යුතු අයකු ප්‍රසිද්ධියේ කතා කළ අවස්ථාවක් නැත. ඉදිරියට හෙට දවසේවත් මේ ගැන කවුරුන් හෝ කතා කළ යුතු නොවේද? අනිවාර්යයෙන්ම එය කතාකළ යුතුම කාරණයකි. සිතට ගත යුතු බරපතළ කාරණයකි.
ඒ නිසාම, නිහඬව නොපෙනෙන නෑසෙන පරිදි නොසිට විනාශයට පත්වෙමි් තිබෙන මේ සමාජ මාධ්‍ය කලාව ගැන කතා කරන්නට එයට යම් වාරණයක් දමන්නට වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා කියා ‘මව්රට’ අපි මෙලෙස හඬ නගා කියන්නෙමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු