ඈත යුගයේ සතුන්ටත් කතා කිරීමේ හැකියාව තිබුණා යැයි කියන කලෙක ඇමේසන් වනාන්තරයේ එක්තරා ජලාශයක අරුම පුදුම කිඹුලෙක් උන්නේය. ඒ අසල ජීවත් වූවෝ ගෝත්‍රික ජනයාය. සද්දන්ත කිඹුලා දරුණු එකකු වුවත් මිනිසුන් මරා කෑවේ නැත. ඌ කඩා කෑවේ ජලයට බසින පිරිමින්ගේ “බීජකෝෂය” පමණකි. එසේ කඩා කෑවේත් ජලයට බසින තැනැත්තා ඉණ මත්තක් (ඉණ දක්වා) ගැඹුරට ගියහොත් පමණි. කිසියම් අයකු ඒ උපද්‍රවයට මුහුණපෑවේ නම් ඒ මොහොතේම ඔහුගේ කටහඬ කාන්තාවකගේ බැරැන්ඩි කටහඬකට සමානව වෙනස් වූවා මිස වෙනත් ආපදාවක් සිදු නොවූවේය. මේ නිසා ඒ අවට ගෝත්‍රිකයන් වැඩි දෙනකුට තිබුණේ කාන්තාවන්ගේ බැරැණ්ඩි කටහඬකි. කිඹුලා මරාදමන්නකුට වටිනා මැණිකක් පිරිනමන බවටද නිවේදනයක් ඒ වන විටත් නිකුත් කැර තිබිණි. (ඒ ප්‍රදේශය මැණික් බහුල ප්‍රදේශයක් බවද කිව යුතුය)
රටේ හොඳ වැඩකාරයන් කිඹුලා මරාදමා තෑග්ග ගැනීමට ආවත් ජලයට බැස කිමිදී යළි උඩට මතු වූවේ කටහඬ වෙනස් කරගෙනය. ඔය අතරේ ඒ ගමට පැමිණි විදේශීය සංචාරක පිරිසකට ද ඒ පුවත දැනගන්නට ලැබීමෙන් එතැන සිටි දලකාරයන් (හොඳට සවිශක්තිය ඇති තරුණයන්) කීපදෙනකු මැණික ගැනීමට ලොල්ව (ගිජුව) කිමිදුනත් යළි මතුවූවේ බැරැන්ඩි කටහඬක් ඇතිවය.
ඒ කණ්ඩායමේ අපේ ලංකාවේ වැඩකාරයෙක්ද සිටියේය. සියලු ධෛර්ය දමා ඔහුත් ජලාශයට පැන්නේය. දිය යට ගියේය. හෙතෙම අනිත් පිරිස උඩට පැමිණි වෙලාවටත් වැඩි වෙලාවක් දිය යට සිටියත් මතු වූයේ නැත. සියල්ලෝම අන්දුන්කුන්දුන්ව දෙනෙත් දල්වා බලා උන්හ. අනතුරුව උඩට මතු වූවේය. එහෙත් ඒ අපේ මිනිහා නොවේ. කිඹුලාය.
“කවුද අර අන්තිමට බැස්ස එකා?” කිඹුලා බැරැන්ඩි ගෑනු කටහඬකින් ඇසුවේය.
සතුන්ට කතාකිරීමට හැකි එම සමයේම මිනිසුන් හා සතුන් අතර ද “ඇයිහොඳයිය” (හිතවත්කම) තදින්ම පැවැත්තේය. ඔය කාලයේ විශාල වනාන්තරයක් ආසිරාවේම (අසල) පිහිටි ගමක ගමරාළ ද (ගම් ප්‍රධානියා) ඒ වනය අද්දරම පදිංචිව සිටියේය. දවසක් දවල් ආහාරය ගත් හෙතෙම ආලින්දයේ හාන්සිපුටුවේ දිගඇදී හොඳට පළල් කරගත් (මුහුණ වැසෙන පරිදි) පුවත්පතක් කියමින් සිටින විට කිසියම් සතකු කාටදෝ බැණවදිමින් දුවන හඬක් ඔහුට ඇසුණේය. ඒ ගැන වැඩි තැකීමක් නොකර පුවත්පත කියවන්නට වූ ඔහුට ඒ අතරේ “හැතිංමුනිංදාගෙන” (දාඩිය පෙරාගෙන වේගයෙන් හුස්ම ගනිමින්) පැමිණි කොටියෙක් ඉස්තෝප්පුවට (ආලින්දයට) ගොඩවුණු බවක් දුටුවෙන් පුවත්පතින් හිස මෑත් කර බැලුවේය.
“මෙහෙන් නරියෙක් දිව්වද?” කොටි රාළහාමි ඇසුවේය.
“නරියෙක් ද කියන්න නම් දැක්කෙ නෑ ඒත් පිරිමි සතෙක් දුවපු බව නම් ඇහුණා” ගමරාළ කීවේය.
“පිරිමි සතෙක් කියල කොහොමද දැනගත්තෙ?” කොටියා ඇසුවේය.
“ඌ අල්ලයි මගෙ අහවල් දෙක කියාගෙන තමයි දීවෙ” ගමරාළ උත්තර දුන්නේය.
කාන්තාවන් පුරුෂ පක්‍ෂයට මොන අවලාද තිබ්බත් කුප්පමේනියා පැළයක් දුටු බිඩාල (බළල්) නෝනලා සේ අපේ කාන්තා පක්‍ෂය සරෙන්ඩර් කිරීමට මහබඹා විසින් (මැවුම්කාර දෙවියන්) පුරුෂ පක්‍ෂයම සෝල් ඒජන්ට්ස්ලා (Sole Agents) කරනු ලැබ පිරිනමන ලද ටූල් (Toolkit) කිට් එකේ (ආයුධ මල්ල) වටිනාම මෙවලම් දෙක ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් දීමට ඔය කතා දෙක කීවෙම්හ.
ශිව භක්තිකයන් ඔය වස්තුවට වන්දනාමාන කරන්නේ ද එහි ඇති වටිනාකම නිසාය. වන්දනයේ හරය “ෆුල් සෙට්” එකම වුවද පෙනෙන්නට ඇත්තේ එක් කොටසක් පමණි.
යථෝක්ත දෙකට “කුට්ටම” යන්නද පර්යාය වචනයකි. ගැමි වහරේදී “අස්ති” යන්නට සමාන පදයක් කටේ දිවේ නොගෑවෙන අන්දමට (ඉතා පහසුවෙන්) වහරති. ඉංගිරිසියෙන් ජෙනිටේලියාය. (Genitalia) ඇතැම්හු පහසුවට බෝල්ස් (Balls)ද කියති. දෙමළෙන් “කොට්ටේ”ය. එය සිංහල “කෝෂය” යන පදයෙන් දෙමළට බිඳගත් පදයක් ද, එම බසින් සිංහලයට බිඳගත් “තත්සම” පදයක් ද යන්න තෝරා දීම “වෛයාකරණයන්ගේ” රාජකාරියකි.
කෙසේ වෙතත් ඉස්සර අපට අසල් ගමක කාන්තාවන් අතර ප්‍රසිද්ධ “ඔත්ත කොට්ට” මුදලාලි නමින් පතළ තැනැත්තෙක් ද සිටියේය. (ඔත්ත යන පදය තනි සහ එක යන අරුත දේ)
පුරුෂ (ලිංගික) ශක්තිය පවත්නේ ඔය කියන “කාරණාවේ” බලමහිමයෙන් බව වෛද්‍ය විද්‍යාවේ ද ඉගැන්වෙන්නකි. ඒ ශක්තිය නැත්තෝ නපුංශකයෝය.
රජවරුන් තම අන්තහඃ (අන්තහ්) පුර රැකවලුන් ලෙස යෙදුවේ ඔවුන්ය. උපතින්ම ඒ තත්ත්වය නොලද පුද්ගලයන්ගේ ඌනතාව නිසා එවන් සේවකයන් සපයාගනුවස් රජවරුන් ගත් ක්‍රියාමාර්ගය වූයේ නාඹර තරුණයන්ගේ බීජකෝෂ තළා “පුස්සන්” කිරීමය.
එසේ පුස්සන් කිරීම බීජෝධරණය ලෙසින් පැරණි පොතපතෙහි සඳහන්ය. ඇඹීම, කරඈඹීම, වැඩකම්කිරීම යන පදද ඊට සමාන අරුත් දේ. ඒ වචනය (බීජෝද්ධරණය) මේ ලියුම්කරුට පළමුවෙන්ම හමුවූවේ පූජාවලිය කියැවීමේදීය.
බෝසතාණන් වහන්සේ වෘෂභයකුව උපන් ආත්මයකදී එසේ බීජෝද්ධරණය කළ බව සඳහන්ව තිබිණි. උන්වහන්සේ පෙර ආත්මභාවයක පරදාරසේවනයේ යෙදීමේ පාපකර්මයට එසේ වන්දි ගෙවන්නට සිදුවූ බව එහි සඳහන් වූයේය. තවත් වරක් වඳුරු යෝනියේ උපන් මොහොතේම තම වඳුරු පියා බීජකෝෂය කඩා කෑ බව සඳහනි. ඒ පාප කර්මය නිසා ආත්ම ගණනාවක් ස්ත්‍රී යෝනියේ උපන්නේය.
පිරිමි වඳුරු දරුවන් උපන් හැටියේම පියා විසින් උන්ගේ බීජකෝෂය කඩා කනු ලැබීම සිරිතකි. (එය සිය පරපුර වැඩිවීම පාලනය කිරීමට ද විය හැකිය. (මීට වසර තුනකට පමණ පෙර තම පළාතේ fදාළොස් ලක්‍ෂයක් පමණ වූ වානර සංඛ්‍යාව මේ වන විට තවත් වැඩිවී වගා පාළු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “ගොයියා” පසුගිය දා (2022.12.06) පාර්ලිමේන්තුවේ දී කීවේය). ගොනුන් (වෘෂභයන්) සහ මීවස්සන් (නාම්බන්) විශේෂයෙන්ම කරඇඹීමට (බීජෝද්ධරණය) පාත්‍රවන සත්වයන්ය. එසේ කෙරෙන්නේ ගොවිතැන් කටයුතුවලදී මෙහෙ ගැනීම සඳහා ශක්තිය හීන නොවී තබා ගැනීමටය.
පහුගිය කාලයේ රුපියල් පන්සියයක් අතට දී මේ රටේ ප්‍රධාන ජාතිය ගොනුන්ට අන්දවා “වාසෙක්තම් කරණය” කිරීමෙන් රජය කළේ ද ඔය ටිකමය. එහි විපාක අනාවරණ වෙතැයි යන භීතියෙන් මේ රටේ “ජනසංගණනයක්” පවත්වන්නේ ද නැත. (අනේ අපේ රට)
සියලු ගම්මුන් ගොවිතැනින් ජීවත් වූ අපේ ගම්වල මා කුඩා කාලයේ ගවයන් කරඇඹීම සඳහාම වෙන් වූ කෙනෙක් සිටියේය. (ඒ අවධියේ ට්‍රැක්ටර් තිබුණේ නැත.)
“ඔපරේෂන්” එකට යොදාගත්තේ “තිරිංගය” නමැති උපකරණයකි. එය රියනක් (අඩි එකහමාරක්) පමණ දිග ශක්තිමත් පොලුකෑලි දෙකක එක් කෙලවරක් එකට බැඳ සාදාගත් උපකරණයකි. පළමුවෙන්ම ඒ සත්වයාගේ සතර පය බැඳ බිම පෙරළා ගනී. අනතුරුව අර මෙවලමෙන් සතාගේ අණ්ඩකෝෂය කිටිකිටියේ තළා දමයි. (ආත්ම ගණනාවක් තිස්සේ පඩි (පටි)සන් දෙන මහා පාපකර්මයකි.)
එසේ මුගුරු (පොලු) දෙකකින් කිටි කිටියේ මිරිකා තැළීම ගැන පූජාවලියේම හෝ සද්ධර්මරත්නාවලියේ හෝ හමුවූ බවක් ද ලියුම්කරුට මතකය. ඒ කිසියම් කුමාරිකාවකගේ රූප ලක්‍ෂණ වැනීමේ (වර්ණනා) දී ඇගේ වටොර (කලවා) ගැන කීමටය.
පුරුෂයන්ගේ පුරුෂ ශක්තිය මඬනා තිරිඟි කඳන් යුවලක් සේ…ආදි වශයෙන් එහි සඳහන් වූවේය.
ඔය වටිනා “කුට්ටම” ගැන වැලගිය මුලගිය තැන් නොව කෙටි විස්තරයක් සඳහන් කරන්නට යෙදුණේ රනිල් රාජපක්‍ෂගේ ආණ්ඩුවට හේත්තු වී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ සහ පොහොට්ටුවේ දේශපාලනඥයන් ටික ළඟදීම රටේ කාන්තාවන්ගෙන් ගුටිකා මැරුම්කෑමට සිදුවෙතැයි යන පූර්ව අනතුර ඇඟවීම උදෙසා පණිවුඩය දීමටය.
එසේ එළැඹිය හැකි මාරක අනතුර පිළිබඳ මීට ඉස්සර සිදුවී යැයි කියන පූර්වාදර්ශයක් ද පළමු කොටම සඳහන් කිරීම වටනා හෙයින් ඒ මෙසේ දක්වමු.
මේ අතීත සිද්ධිය ඇති වූයේ යැයි කියන්නේ කළුතර පළාතේ පිහිටි “පයාගල” (පයියාගල) යන දුම්රියපොළේ නම සම්බන්ධයෙනි. මේ නම අශෝභන යැයි එවක පළාතේ පාලන අධිකාරියේ (ගම් සභාවේ හෝ නගර සභාවේ හෝ විය හැකිය) මතය විය. ඒ නිසා එහි මුල් අකුරු තුන (පයිය) කපා ඉවත්කර ඒ වෙනුවට “ලුණු” යන පදය එක්කර “ලුණුගල” යන නම යෙදීම සුදුසු යැයි පාලක පක්‍ෂය යෝජනා කළහයි කියත්. එහෙත් ඒ ඓතිහාසික නම වෙනස් කරනවාට විරුද්ධ පක්‍ෂය තරයේ විරුද්ධ වූහ. වාද විවාද මධ්‍යයේ අන්තිමට තීරණය වූයේ ඒ සඳහා මහජන මතය විමසා බැලිය යුතු බවටය. ඒ වෙනුවෙන් බල ප්‍රදේශයේ සියලු ඡන්දදායකයන්ගේ මතය උරගා බැලීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවය. ඒ සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළකර තම කණ්ඩායම දිනවීමට අති දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් ආරම්භ කර බලප්‍රදේශය පුරා “කැන්වසිං” යන්නට වූහ.
“මේ නම කැතයි, ශිෂ්ට සමාජයට ඔබින්නෙ නෑ, ඒ නිසා අපි ලුණුගල කියල නම දාන්න යනවා” මහජනයා දැනුවත් කිරීමේදී පාලක පක්‍ෂයේ මුඛ්‍ය වාක්‍ය විය.
එහෙත් විරුද්ධ පක්‍ෂය කීවේ ආණ්ඩු පක්‍ෂය (පුරුෂ පක්‍ෂයේ) අහවල් එක කපා ලුණු දාන්න යන බවය.
විපක්‍ෂය ගෙනගිය ප්‍රචාරක මතය පැයක් දෙකක් ඇතුළත ලැව් ගින්නක් සේ පළාතේ කාන්තාවන් අතර පැතිර ගියේය. ඒ ඇසූ කාන්තාවන්ට “නප්පියටම” තදවුණේය. “මියෙම්වා, රැකෙම්වා” යැයි කියමින් ඔවුහු මාරක සංග්‍රාමයක් ඇරඹූහ. පාලක පක්‍ෂයට පමණක් නොව ඔවුනගේ ආධාරකරුවන්ටද දුටු දුටු තැන නොව සොය සොයා එළව එළවා පහර දෙන්නට වූහ.
ගැලවීමට අන් මඟක් නොවූ තැන “මහින්දලා, ගෝඨලා, බැසිල්ලා” සේම පළාතෙන් පලාගිය ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම පමණක් නොව ඔවුනගේ ආධාරකරුවන්ද යළි පළාතට ආවේ වසර ගණනාවකට පස්සේ බව කියති. ඇතැම්හු කිසිදා යළි ගමට නොපැමිණි බවද පැවසේ. ඉදිරියට රටේ (මහා සංඝරත්නයේම වචනයෙන්ම කියනවානම්) “ඉෂ්ට සිද්ධවන්නට” යන්නේ ඔන්න ඔය අන්දමේ “අභාග්‍ය” අවාසනාවන්ත බිහිසුණු කාල පරිච්ඡේදයක් විය හැකිය. මන්ද යැයි කියනවා නම්, දැන් රටේ මහජනයාට ජීවත්වෙන්නට හැටියක් නැත. රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව විකුණන්න තියෙන සෑම සබ්බ සකලමනාවම විකුණා දමන්නට තීරණය කර අහවරය.
මහවැලි කලාපයේ ගොවි ඉඩම් ටිකද විදේශිකයන්ට දෙන්නට යාමට එරෙහිව ගොවියෝ පාරට බැස ඇත්තාහ. වරාය චීනාටත් ඉන්දියාවටත් දී තිබේ. තවත් දෙන්නට අරඅඳී. ඒවායේ රජකරන්නේ චීන්නු සහ ඉන්දියානුවන්ය. අදානි බදාගෙනය.
තිරිකුණාමලේ ටැංකි ඉන්දියාවට දුන්නේය. විකුණන්න තියෙන හැම දේම විකුණන්න යයි. පාඩු ලබන පමණක් නොව ලාබ ලබන ඒවා පවා දැන් විකුණන්න යයි. ටෙලිකොම්, රක්‍ෂණ විදුලිබල මණ්ඩලය ඒවාත් කුණු කොල්ලයට දෙන්න යයි.
කොමිස් කුට්ටි කවර ආකාරයකට බෙදේ දැයි කිව නොහැකිය. පසුගියදා අපේ “සක්කරයගෙ පුතා වයිමා” කීවේ “රටේ මොන මඟුලක් හෝ විකුණා විදේශ සංචිතය ඩොලර් බිලියන 3.5ක් නොකොළොත්” රටට පමණක් නොව එතුමාගේ මවු දේවින්නාන්සේටත් “හික්” (ඉක්කා) ගැහෙන්නට බැරිකමක් නැති බවය. (කියන්න අමතක වෙන්න ගිය තවත් දෙයක්ද ඇත. වර්තමානයේ මිහිබට සුරපුර හෙවත් ඉංගිරිසියෙන් ෂැංග්‍රිලා (Shangri-La) කියන සුපිරි හෝටලය පිහිටි භූමිය මීට ටික කලකට පෙර විකුණා දැමූ කතාව ඔබට මතක ඇතැයි සිතමු. ඒ ගනුදෙනුවෙන් ලැබුණු මුදල් යා යුත්තේ (තැන්පත් කළ) මහා භාණ්ඩාගාරයට වුවත් ඒ මුදල් ආරක්‍ෂක අමාත්‍යාංශයේ මොනයම් ගිණුමකට හෝ දමා ටික කලක් තිබූ බවක් විගණකාධිපති පෙන්නා දුන්නා මතකය. අනෙක් අතට ඒ හෝටලයේ පාලන අධිකාරියේ කෙනකු සීනි කේස් එකේ ප්‍රබලයෙක්ලු. රනිල් රාජපක්‍ෂ නීතිඥයකු වශයෙන් (අප පොඩිකාලේ දිවුරුවේ අම්මා පල්ල, තාත්තා පල්ල, බුදුන් පල්ල කියමිනි) දිවුරුම් දී පනස් වසරක් පිරීමේ “බජව්ව” දැම්මේත් ඔය හෝටලයේය.
රටට තවත් වෙන්න යන නස්පැත්තිය ඔච්චර නම් මදෑ, ඩයනා නෝනා බය නෑ කියමින් ගංජා රට පටවන්න යන්නීය. ලෝකයේ පෞරාණිකම වෘත්තිය නීතිගත කිරීමට යන කතාවක්ද ඇසේ.
මේ රටේ එවුන්ට දැන් වේලක් කනවා යැයි කියන්නේ “හාවා හඳ දකිනවා වාගේ” වැඩකි. ආණ්ඩුවට කිරිපල්ල අතගා හෝ මොනව මොනවා හෝ විකුණන්න ඇතත් නැති බැරි එකාට විකිණීමට ඇත්තේ අහවල් දේ පමණි.
බත්තරමුල්ල පැත්තේ රෝහලක වකුගඩු දඬුඅඬු පමණක් නොව වඩුමඩුද ගලවා විකිණෙන බව ප්‍රසිද්ධය. එහි අලුත්ම කතාව එක තරුණයකු සිය අණ්ඩ කෝෂ දෙකෙන් එකක් රුපියල් කෝටි එක හමාරකට විකුණා හෝ විකිණීමේ ගනුදෙනුව අවසන් කර ඇති බවය.
ආණ්ඩුවට රටේ ඉතුරු මහජන දේපොළ ටිකත් විකිණිය හැකිය. දුප්පත් එකා තම දරුමල්ලන් රැක ගැනීමට කුමක් විකුණන්නද?
සිරුරේ අවයව විකුණන්නේ ඉන්න බැරි “රුදාවට” නොවේ. නැතිබැරිකමටය. දැන් උන්ට අන්තිමට විකුණන්න තියෙන්නේ “ඇට කුට්ටම” පමණි. දැන් එහි ආරම්භය පටන් ගෙන තිබේ. තව දින දෙක තුනකින් ගෑස්, තෙල් පෝලිම් පරදා “කුට්ටං” පෝලිම් දැකිය හැකිවේ.
අපේ ආණ්ඩුව ඩොලර් ඉපැයීමට කාන්තාවන් රට යවනවා සේම “ඩයනක්කා” ගංජා යවන්නට සූදානම් සේම ආණ්ඩුව පිරිමින්ගේ කුට්ටං ටික ගලවා අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කරනු ඇත.
මුන් ගැහැනුන්ගෙන් නහින්නේ ඔතැනදීය.
(මේ යන හැටියට හෙට අනිද්දා වන විට ආණ්ඩුව ඇටකුට්ටං පමණක් නොව “කක්කුට්ටං”ද අපනයනය කිරීමට බැරි නැත.)
(සාධු ජනයිනේ, මේ අන්දමට නොසරුප්ව ලිවීම ගැන සමාවුව මැනැවි. රටේ මහජන දේපොළ හොරා කා රට නැතිභංගස්තාන කර අපේ දරුවන් හුවගාතේ (හාමතේ) තැබූ මේ පරයන්ට කතා කළ යුත්තේ මේ භාෂාවෙන් යැයි සිතමි)

චන්ද්‍රසේන මාරසිංහ










