මහානනීය වූ කඨින පින්කම හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් රට පුරාම සිදුවෙමින් පවතින බව මේ වන විට දැකගන්නට ලැබේ. කඨින චීවරය විවිධ නිවෙස්වලට වැඩම කරවා, ඊට මුදල් ආධාර ලබාගැනීම මෙම සිදුවීමයි. කඨින චීවරයට වන්දනා කිරීමට පැමිණෙන පිරිසට මුදල් ආධාර ලබාදීමට පින් කැටයක් හෝ වට්ටියක් කඨින චීවරය ආසන්නයේ තැබීමටද එය සංවිධාන කරන පිරිස සිදුකරනු ලබයි.(Sri Lanka Latest News)
උතුම් අරමුණක් වෙනුවෙන් සකස් කළ කඨින චීවරය උදෙසා කාසි නෝට්ටු හිඟමන් යැදීමක් හා සමාන මේ ක්‍රියාව අනුමත නොකරන පිරිස බොහෝය. එහෙත් ඇතැම් විහාරස්ථානවලින් එම කටයුත්තට අනුබල දෙන බවක් දැකගන්නට ලැබෙන නිසාම මුදල් එකතු කරගැනීමේ අපේක්ෂාවෙන් කඨින චීවරය ගෙයක් ගෙයක් ගානේ රැගෙන ගොස් තැබීම බොහෝ ගම්මානවල සුලබව දක්නට ලැබෙයි.
මේ අතර, කඨින පින්කමට කිසිසේත්ම නොගැළපෙන තවත් ක්‍රියාවක් පිළිබඳ ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ පසුගිය දිනෙක හෙළිකර සිටියහ. කඨින චීවරය නිවෙසකට වැඩම කිරීම සඳහා ඇතැම් විහාරස්ථානවලින් රුපියල් ලක්ෂයක මුදලක් අයකරන බවත්, දුර්ලභ පින්කමක් නිසා එම මුදල ගෙවා කඨින චීවරය තම නිවෙසට වැඩමකරවීමට බොහෝ පිරිස් පෙලඹී සිටින බවත් උන්වහන්සේ එහිදී පවසා සිටියහ. බුදු දහමට කිසිසේත් එකඟ නොවන මෙවැනි ක්‍රියා හේතුවෙන් නුදුරේදීම අප රටේ ‘කඨින පින්කම’ යන සංකල්පය මුළුමනින්ම විනාශ වී යනු ඇති බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.
මෙම කනගාටුදායක තත්ත්වය පිළිබඳ ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්ධිය ස්වාමින්වහන්සේ පළකළ අදහස් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් පහත පළ කරමු.
‘මට දායකයෙක් කතා කරලා කිව්වා හාමුදුරුවනේ පැය 24ක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න ඕනේ කියලා. ලැජ්ජා නැද්ද? මොකක්ද මේ? ගෙවල් 10කට කඨින සිවුර යවලා ලක්ෂෙ ලක්ෂෙ හොයන්න? මොකටද? අපි එච්චර පහත් තත්ත්වෙට වැටිලද? පන්සලට ආධාරයක් කවුරු හරි ගෙනල්ලා දෙනවා නම්, පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනවා නම්, බෝධි ප්‍රාකාරෙ හුණු පිරියම් කරලා දෙනවා නම්, ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේ සිවුර අරගෙන ගිහිල්ලා ගෙදර තියාගෙන ඒකට ලක්ෂයක් ගෙවලා බිස්නස් එකක්ද මේක? මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ කරන්න යන්නේ කියලා.
ඇයි අපි එච්චර පහත් තත්ත්වෙට මේ උදාර පින්කමක් ඇදලා දාන්නේ? ඔය ඇත්තන්ට කවුරු හරි කතා කරලා එහෙම කිව්වොත්, ඒ කතා කරන කෙනා ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් කමක් නෑ කියන්න, අනේ අපිට නම් ඒ වගේ බිස්නස් එකකට සම්බන්ධ වෙන්න ඕනෙ නෑ කියලා. කොන්ද කෙළින් තියාගෙන එහෙම කියන්න. එච්චරයි. අපේ පැරැණි සමාජයෙ කළේ මොකක්ද? මුළු ගමේම මිනිස්සු සිවුරු කාසි කියලා රුපියලක්, රුපියල් 5ක්, රුපියල් 10ක් ඒ කාලේ හැටියට මුළු ගමේම මිනිස්සු එකතු කරලා තමයි ඔය වස්ත්‍රය ගත්තේ. ඊට පස්සේ කළේ ගමේ වැඩිහිටියෝ කිහිප දෙනෙක් මුළු ගමේ හැම ගෙයක් ගානෙම ඔය සිවුර අරගෙන හේවිසි ගහ ගහා ගියා. ඊට පස්සේ ගෙවල්වල ඉන්න අය එළියට ඇවිල්ලා සිවුරට අත ගහලා අනුමෝදන් වුණා. එච්චරයි.
එහෙම නැතුව මේක ලක්ෂෙට විසිපන් දාහට පැය ගානට විකුණන එකක් නෙවෙයි. මිනිස්සු හිතාගන්නවා හරි අවුලක් නෑනෙ. ලක්ෂෙන් කඨිනයක් කරගත්තනෙ අපිත්, ලක්ෂයයි නෙ ගියේ කියලා. මේ වැඩේ නවත්තන්න ඕනේ. මේ වැඩේට අපි කිසිසේත්ම අනුබල දෙන්න හොඳ නෑ මේක කවුරු කළත්. සමාවෙන්න ඕනෙ ස්වාමින් වහන්සේලා මට මේකට දොස් නැගුවත් ප්‍රශ්නයක් නෑ. හැම හාමුදුරුකෙනෙක්ම මේකට එකඟ නෑ. ඉතාම ශ්‍රේෂ්ඨ වැදගත්, කොන්දක් තියෙන හාමුදුරුවරු ඉන්නවා මේකට කැමැති නැති. මේ වෙන වැඩේ ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ. අසතුටකින් ඉන්නේ. මෙහෙම ගියොත් අපි ඉවරයි කියන එක වෙනවා.
මම දෙයක් කියන්නම්. මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙච්ච දේ. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්‍ය තරම් වාණිජ වැඩක් බවට වෙළෙඳ වැඩක් බවට සූදුකාරයන්ගේ වැඩක් බවට, ගේම්කාරයන්ගේ වැඩක් බවට පත්කරලා, ඒගොල්ලන්ට වෙනම රැකවරණයක් ඒක ඇතුළේ හොයාගන්න, ඒගොල්ලන්ගේ සුරපුර ජීවිතේ හදාගන්න මේක පාවිච්චි කරන්න ගියා.
ඒ නිසා ක්‍රිකට් ඉවර වුණා. මේ ක්‍රමය වෙනස් නොකළොත් කඨිනෙටත් ඒ ටිකම වෙන බව මම ජීවතුන් අතර හිටියා නැතා තව අවුරුදු 10ක් යන්න කලින් එළිවෙයි. කඨිනෙ කිව්වම මිනිස්සු පැත්ත බලන්නෙ නැති යුගයක් මෙහෙම ගියොත් උදාවෙනවා. අද මේක කියන්නම ඕනෙ. මේක නොකියා බෑ. මේක බලාගෙන ඉන්න ඉන්න අවුරුද්දෙන් අවුරුද්දට නරක් වෙනවා. හොඳ වෙනවා නෙවෙයි. මේක ගුණාත්මක වෙනවා නෙවෙයි පේන්න තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට මේක ඇතුළේ විශාල නරකවල් නිර්මාණය වෙනවා.
මේ උතුම් පින්කම ගැන අපට අසීමාන්තික ගෞරවයක් තියෙනවා. ඒ කඨින පින්කමක් කරන දායකයගෙ හිත ඒ උතුම් පින්කම එක්ක නූපන් කුසල් උපදවමින්, උපන් කුසල් වැඩිදියුණු කරමින්, නූපන් අකුසල් වළක්වමින්, තියෙන අකුසල් දුරුකර ගන්න මඟ පෙන්වමින් ඒ වස් තුන් මාසෙ පුරාම අපේ සේනාසනවල අපි කටයුතු කරනවා. ලංකාවේ උතුම් ස්වාමින්වහන්සේලා ගොඩක් ඒ විදියට කටයුතු කරනවා.
මේක ස්වාමින්වහන්සේලා බහුතරයකගේ ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ඉතා අනුවණව වැඩකරන සුළු පිරිසක් නිසා මේක සමාජගත වෙමින් තියෙනවා. මේක වෙන්න දෙන්න බෑ. මේක නම් වෙනස් විය යුතුමයි. කැමැති වුණත් අකැමැති වුණත් වෙනස් විය යුතුමයි. මැච් බලන අයට මේ කතාව හොඳටම තේරෙනවා, මොකක්ද අනාගතේ පින්කම්වලට වෙන්නේ කියලා.