‘ලොව සිටින ධනවත් පුද්ගලයන්ගේ රහසිගත මුද්ල ගනුදෙනු ගැන පසුගිය 2023 වසරේදී ජාත්‍යන්තර පැන්ඩෝරා පත්‍රිකා මගින් කරුණු රැසක් අනාවරණ කළා. එහිදී මැලේසියාවේ හිටපු මුදල් ඇමැති වන ඩේම් සයිනුදීන් ගැනත් එම ලේඛන මගින් හෙළිකර තිබුණා. ඔහු සතු ධනය පවුම් මිලියන 25කට අධික මුදලක් රහසිගත ආකාරයෙන් විදේශ රටවල ගිණුම්වල තැන්පත් කර ඇති බව පැන්ඩෝරා නිල ලේඛන හෙළිකර සිටියා.(Sri Lanka Latest News)
මෙම ලැයිස්තුවේ ලෝකයේ තවත් ධනකුවේරයන් රැසකගේ නම්ගම් තිබුණා. ඒ අතරේ තමයි මැලේසියාවේ හිටපු මුදල් ඇමැති ඩේම් සයිනුදීන්ගේ නමත් තිබුණේ. මෙලෙස ධනය තැන්පත් කිරීම නිසා ඔහු මුදල් විශුද්ධිකරණ චෝදනාවලට යටත් වෙනවා. ඒ අතරේම ඔහු පසුගිය වසර ගණනාවක් තුළ තමන්ට මැලේසියාව තුළ අයත්ව තිබුණු වත්කම් සහ දේපළ ගැන නිල ප්‍රකාශයක් ලබාදී නැහැ. ඔහු සතුව ඩොලර් මිලියන සිය ගණන් වත්කම් තිබෙනවා. මෙම බොහෝ ධනය වංචනිකව, දූෂිත ආකාරයෙන් උපයාගත් ඒවා යැයි අප විශ්වාස කරනවා. ඔහුට විරුද්ධව අප අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඒ නිසයි….’
කුමක්ද මෙලෙස ඇසෙන කතන්දරය? මෙම සුවිශේෂ වගතුග ගලා එන්නේ අපගේ ආසියානු යාබද දේශයක් වන මැලේසියාවෙනි. මෙම භාරදූර ප්‍රකාශය සිදුකරනු ලබන්නේ මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසම (Malaysian Anti-Corruption Commission) යන රාජ්‍ය ආයතන විසිනි. මැලේසියාවේ වංචා, දූෂණ, අල්ලස් සහ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන සිදුකරන රාජ්‍ය ආයතනය වන්නේ මෙයයි. මෙයට දින කිහිපයකට ඉහතදී ඔවුන් එම නිල ප්‍රකාශය සිදුකරනු ලැබීය.
මේ අනුව මැලේසියාවේ හිටපු මුදල් ඇමැතිවරයකු වන ඩේම් සයිනුදීන් (Daim Zainuddin)ට එරෙහිව ඉහත චෝදනාවලිය ඉදිරිපත් වෙයි. එහිදී පසුගියදා මෙම හිටපු මුදල් ඇමැතිවරයා අපරාධ විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ජාත්‍යන්තර පැන්ඩෝරා පත්‍රිකාවලට අදාළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට අමතරව තවත් චෝදනා රැසක් ඔහුට එරෙහිව ගොනුකර ඇත. මැලේසියාවේ සිටින මහා ධනකුවේරයකු ලෙසද සැලකෙන දැනට 85 හැවිරිදි ඩේම් සයිනුදීන් සතුව තිබෙන තට්ටු 60කින් යුත් අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක්ද මේ වන විට රාජ්‍ය භාරයට අත්පත් කරගෙන ඇත.
එනම් එහි කටයුතු තාවකාලිකව තහනම් කරමින් රාජ්‍ය විමර්ශන නිලධාරීහු එහි කටයුතු අධීක්ෂණයකට ලක්කරමින් සිටිති. මැලේසියානු දූෂණ විරෝධී කොමිසම ප්‍රකාශ කර ඇත්තේ යටකී හිටපු මුදල් ඇමැතිවරයා තමන්ගේ රාජ්‍ය කාලය තුළදී බලය අනිසි ලෙස භාවිත කරමින් මෙලෙස මහා ධනයක් උපයාගත් බවය. එහෙයින් තම විමර්ශනය පුළුල් අයුරින් සිදුකිරීමටත්, අධිකරණ ක්‍රියාවලියට යොමුවීමටත් කොමිසම තීරණය කර ඇති බැව් ප්‍රකාශ විය. මේ අනුව පසුගියදා ප්‍රථම වතාවට මෙම හිටපු මුදල් ඇමැතිවරයා මැලේසියානු මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේය.
පසුගියදා ඇතිවුණු මෙම සිදුවීම මුළුමහත් මැලේසියාවත්, ලොව බොහෝ රටවලුත් දැඩි ආන්දෝලනයකට පත් කළේය. එසේ වූයේ පැන්ඩෝරා පත්‍රිකාවලට අදාළව හෙළිව ඇති චෝදනාවන් මුල්කරගෙනය. ලෝකයේ රටවල් රැසක්ම මේ වන විට මෙවැනි ආකාරයේ පැන්ඩෝරා පත්‍රිකා මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට ලක්වූවන්ට එම අදාළ රටවල් තුළදී සහ ජාත්‍යන්තර අධිකරණයක් තුළදීද නඩු ගොනුකර ඇත. එසේම යම් දඬුවම් පැනවුණු අවස්ථා ගැනද අසන්නට ලැබී ඇත.
මැලේසියානු හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහිව මෙම විමර්ශනයන් සිදුකෙරෙන්නේ පසුගිය 2023 වසරේ මැදභාගයේ සිටය. එහෙත් මහාධිකරණ නඩුව පැවරුණේ 2024 ආරම්භයේදීය. මෙහිදී මැලේසියානු දූෂණ විරෝධී කොමිසම විසින් ගොනුකර ඇති චෝදනාවලට අනුව ඩේම් සයිනුදීන් හිටපු මුදල් ඇමැතිවරයා සතුව විවිධ සමාගම් 38ක් සහ තවත් දේපළ වර්ග 25ක් ඇතැයි ප්‍රකාශ වෙයි. මෙම දේපළ අතර සුපිරි ගොඩනැගිලි, ඉඩකඩම් මෙන්ම හෝටල්ද ඇතැයි පැවසෙයි.
මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් නගර මධ්‍යයේ ඇති තට්ටු 60කින් යුත් අති සුපිරි ගොඩනැගිල්ල ඔහු සතු දේපළ අතර ප්‍රමුඛස්ථානයක් ගනියි. මේ වන විට එම සුවිශාල ගොඩනැගිල්ල රජයට පවරාගෙන විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම දේපළවලට අමතරව ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතු ලෝකයේ ඉතා මිල අධික රථ වාහන ලෙස සැලකෙන රෝල්ස් රොයිස්, ජගුවාර්, මර්සිඩීස් වැනි මෝටර් රථද රාශියක් ඇතැයි විමර්ශන අංශ සොයාගෙන ඇත. මේ ආකාරයෙන් තමන් පසුගිය වසර ගණනාව තුළ උරුම කරගත් වත්කම් පිළිබඳ ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම නිසා රාජ්‍ය විමර්ශන අංශ ඔහුට එරෙහිව නඩු පැවරුවේය.
ඩේම් සයිනුදීන් යනු කවරෙක්දැයි පැහැදිලිව හඳුනා ගනිමු. මොහුගේ සම්පූර්ණ නාමය වන්නේ ආචාර්ය අබ්දුල් ඩේම් බින් සයිනුදීන් වෙයි. ඔහුට හිමිව ඇත්තේ ගරු දර්ශනවේදී උපාධියක් බව පැවැසෙයි. 85 හැවිරිදි මොහු මැලේසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ අතර, පරිණත දේශපාලකයකුද විය. මැලේසියාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට මහත් කැපකිරීමක් සිදුකළ ‘මැලේසියාවේ පියා’ වශයෙන් සැලකෙන හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහොමඩ්ගේ රාජ්‍ය පාලනයන් දෙක යටතේ ඩේම් සයිනුදීන් කැබිනට් මුදල් අමාත්‍ය ධුරයන් දරා ඇත.
එනම් 1984 සිට 1991 දක්වා නොකඩවා වසර 7ක්ද, 1999 සිට 2001 දක්වා පවසර 02ක්ද මුදල් අමාත්‍ය ධුරය දැරීය. මොහු හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ ඉතා හිතවත් සමීපතමයකු ලෙසද සැලකෙයි. මොහු එරට දේශපාලනයට පිවිසීමට පෙර සිටම ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කර ඇති බවද පැවැසෙයි. මුලින් ඔහුගේ ව්‍යාපාරය වශයෙන් සැලකෙන්නේ ලුණු ලේවායක් පවත්වාගෙන යෑමය. පසු කාලයකදී එම ව්‍යාපාරය අසාර්ථක වන්නට පටන්ගෙන ඇත. ඒ අතරම ඔහු තවත් ක්ෂේත්‍ර කිහිපයකද ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇත. එහෙත් මෙම ව්‍යාපාර කිසිවක් එතරම් සාර්ථක වී නැති බවද පැවැසෙයි. එවැනි වටපිටාවකදී ඔහු මුලින්ම 1982 වසරේදී දේශපාලනයට පිවිසෙමින් පාර්ලිමේන්තු අසුනක් දිනාගනියි.
ඒ අනුව ඉතා කෙටි කාලයකදී එනම් ඔහුට 1984 වසරේදී මුදල් ඇමැති ධුරයද හිමිවෙයි. ඔහු වසර 09කට අධික කාලයක් මුදල් අමාත්‍ය ලෙස කටයුතු කිරීමේදී ඔහු නැවත තම පුද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රය අතින් බොහෝ සරුසාර තත්ත්වයකට පත්විය. ඒ අනුව ඔහු මැලේසියාවේ මහා ධනකුවේරයකු බවටද පත්විය. මෙම වටපිටාවේදී ඔහු දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්වන්නට වූයේ තම බලය අයුතු අයුරින් භාවිත කරමින් දූෂණ වංචාවන් හරහා මහා ධනයක් ඉපයූ බවටය. විවිධ පාර්ශ්ව ඔහුට එරෙහිව චෝදනා නගන්නට විය.
2004 වසරේදී ඩේම් සයිනුදීන් ප්‍රධාන දේශපාලනික අමාත්‍ය ධුර සහ මන්ත්‍රී ධුරවලින් ඉවත් වුවද ඔහු ඉන් පසුව තිබුණු රජයන් කිහිපයකටද 2018 වසර දක්වාම උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. එනම් තමන්ට වසර 80ක් වන තෙක්ම ඔහු දේශපාලනයෙහි නිරතව සිටියේය. ඔහු දේශපාලනයෙන් ඉවත්ව සිට ඇත්තේ පසුගිය අවුරුදු 05 තුළදී පමණය. මෙලෙස ඔහු වසර 40කට අධික කාලයක් මැලේසියාවේ දේශපාලනයෙහි රැඳී සිට ඇත. ඩේම් සයිනුදීන්ට එරෙහිව ප්‍රධානතම චෝදනාවන් ගොඩනැගෙන්නේ පසුගිය 2023 වසරේදී පැන්ඩෝරා පත්‍රිකා මගින් ඔහු රහසිගතව තැන්පත් කර ඇති ධනය ගැන කරුණු හෙළිකිරීමෙන් පසුවය.
මේ අනුව එම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් පවුම් මිලියන 25ක මුදලට අමතරව තවත් අතිවිශාල ධනස්කන්ධයක් ඔහු තම දේශපාලනික කාලය තුළ උපයාගෙන ඇතැයි පැවැසෙයි. දැනට රාජ්‍ය විමර්ශන පාර්ශ්වයන් ප්‍රකාශ කරන ආකාරයට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට (මැලේසියානු රින්ගිට් බිලියන 2.3ක්) අධික යැයි පැවැසෙයි. සත්‍ය ලෙසම මොහු මෙතරම් මුදල් උපයාගෙන ඇත්තේ දූෂණ වංචාවන් හරහා යැයි රාජ්‍ය පාර්ශ්ව කියයි. මේ අක්‍රමිකතා සඳහා ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සම්බන්ධ බවට දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙයි.
මේ අනුව දැනට රාජ්‍ය විමර්ශන අංශ (මැලේසියානු දූෂණ විරෝධී කොමිසම) මෙම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ අනෙකුත් මූල්‍ය කටයුතු විමර්ශනය කරන අතර, සමහර ගිණුම් තහනම් කිරීමටද කටයුතු කර ඇත. එම පාර්ශ්වය නඩුවට පෙර ගත් තදබල පියවරක් වූයේ ඩේම් සයිනුදීන්ට සහ පවුලේ සාමාජිකයන්ට අයත් තට්ටු 60කින් යුත් ක්වාලාලම්පූර් නගරයේ පිහිටි ‘ඉල්හාම් ටවර්ස්’ නමැති අතිසුපිරි ගොඩනැගිල්ල රාජ්‍ය භාරයට ගෙන වාරණයක් පැනවීමය. එම පියවර 2023 දෙසැම්බර් 21 වැනිදා ගනු ලැබිණි.
පසුගියදා මැලේසියානු මහාධිකරණයේදී මෙම හිටපු මුදල් ඇමැතිවරයාට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණය සහ බලය අවභාවිත කිරීමට අදාළ වූ නඩු විභාගය සඳහා පෙනීසිටීමට ඔහු පැමිණ ඇත්තේ රෝද පුටුවක ආධාරයෙනි. ඊට පෙර නඩුව ගොනුකළ බව දැනගත් වහාම ඔහු වකුගඩු රෝගී තත්ත්වයක් යැයි ප්‍රකාශ කරමින් සුපිරි රෝහලකට ඇතුළත්ව එහි ගතකරන්නට විය. මෙම උපක්‍රමය බොහෝ විට ලෝකයේ ප්‍රබල සහ ධනවත් පුද්ගලයන් විසින් ගනු ලබන පියවරකි.
ඔහුද එලෙස රෝහල්ගතවී නඩුව සඳහා රෝද පුටුවක නැගී පැමිණ ඇත්තේ මැලේසියාවේ සිටින ඉතා ප්‍රකට සහ අධික මුදලක් අයකරනු ලබන නීතිඥ කණ්ඩායමක් සමගිනි. එහිදී දැඩි ලෙස සැකයට බඳුන් වී ඇත්තේ හිටපු මුදල් ඇමැතිවරයා විනිසුරු නියෝගය මත රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ඇතිය යන්නය. එහෙත් නීතිඥ කණ්ඩායම විනිසුරුවරයාට බොහෝ ආයාචනාත්මකව ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, එහෙයින් ඇප ලබාදෙන ලෙසත්ය.
මෙවැනි තත්ත්වයක් යටතේ විනිසුරුවරයා විසින් ඇප ලබාදීම සිදුකරනු ලැබිණි. නඩු වාරය කල් තැබිණි. මේ ආකාරයට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත වීමෙන් ගැළවුණේය. ඉදිරි නඩු වාරයන්හිදී හිටපු මුදල් ඇමැතිවරයා මෙම චෝදනාවලට වැරැදිකරු වුවහොත් වසර 05ක සිර දඬුවමක් සහ අධික දඩ මුදලක් නියම කෙරෙනු ඇත. නඩු විභාගයෙන් පසුව හිටපු අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ වත්මන් මැලේසියානු රාජ්‍ය නායකයා තමන්ගෙන් පුද්ගලිකව පලිගැනීම උදෙසා මෙම චෝදනා ගෙනැවිත් ඇති බවය.
ඔහු එසේ කුමන කතාන්දර පැවැසුවත් ලෝකයේ ඇති විශ්වසනීය විමර්ශන ලේඛනයක් වන පැන්ඩෝරා පේපර්ස් සඳහා බොරු කළ නොහැක. මැලේසියානු හිටපු මුදල් අමාත්‍යවරයාගේ සැබෑ චිත්‍රය පෙන්වා දී ඇත්තේ පැන්ඩෝරා පත්‍රිකා ලේඛන හරහාය. එහෙත් අපේ රටේ පැන්ඩෝරා පේපර්ස් චූදිතයන්ට ලැබුණු දඬුවමක් නම් නැත.
ප්‍රියන්ත හෙට්ටිගේ