• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරා ලංකා නීති විරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා I Sri Lanka Latest News

August 17, 2023
in Exclusive, News
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුරය, රාජාංගණය යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාකිරීමක් සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ ‘අවුරා ලංකා’ සමාගම සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහට ලක්වී තිබේ. පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ, කිසිදු නීතිමය අවසරයකින් හෝ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2021 අගෝස්තු මස 30 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි.(Sri Lanka Latest News)

අවුරා ලංකා සමාගමේ ඉතිහාසය

චන්දික විරංජිත් තාඹුගල විසින් හිමිකාරිත්වය දරනු ලබන ‘අවුරා ලංකා’ සමූහ ව්‍යාපාරය මාලඹේ, තලංගම උතුර, උඩවත්ත පාර යන ලිපිනයේ පිහිටා තිබේ. සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජුලි මස 26 වැනිදාය. මෙම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක් ඇතුළත් වේ.

අවුරා ලංකා හර්බල්ස්, අවුරා ලංකා ජෙම් ඇන්ඩ් මියුසියම්, අවුරා ලංකා සිකියුරිටි, අවුරා ලංකා එයාර්ලයින්ස්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්, අවුරා ලංකා ස්පෝර්ට්ස් සහ අවුරා ලංකා ඉවෙන්ට් මැනේජ්මන්ට් යන සමාගම් ඊට අයත්ය.

අවුරා ලංකා සමූහ ව්‍යාපාරය මෙරට තුළ බොහෝ කොටම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඊට අයත් අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට් විසින් සංවිධාන කරන සංගීත සංදර්ශන සහ සැණකෙළි හේතුවෙනි.

2022 වසරේ ජූනි මාසයේ අනුරාධපුරය, රාජාංගණය යාය – 18 ගම්මානයේ දී අවුරා ලංකා මියුසිකල් ෆෙස්ටිවල් සහ සැණකෙළියේ පළමු ප්‍රසංගය පැවැත්විණි. එහි නවවැනි ප්‍රසංගය ඉකුත් ජූලි මස 10 වැනිදා සිට 24 වැනිදා දක්වා එහිදීම පැවැත්විණි.

මෙම සංගීත ප්‍රදර්ශනයන්ට අමතරව අවුරා ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන සිටින අතර, ඊට මේ වන විට පරිසර ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් එල්ලකොට තිබේ.

කවුද මේ ‘ඩොක්ටර් තාඹුගල’ කියන්නේ?

1979 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනිදා වතුපිටිවල ප්‍රදේශයේ දී තාඹුගල අතුකෝරලාගේ විමලසිරි සහ ගෝනාපීනුවල විතානගේ නයනා විදර්ශනී යුවලට, තාඹුගල අතුකෝරලාගේ චන්දික විරංජිත් තාඹුගල උපත ලබන්නේය. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය පහ ශ්‍රේණිය දක්වා පමණක් ලබා ඉන් පසු පිරිවෙන් අධ්‍යාපනයට යොමුවූ බව චන්දික විරංජිත් තාඹුගල මීට පෙර සමාජ මාධ්‍ය නාලිකා සමග පැවති සම්මුඛ සාකච්ජාවල දී පවසා තිබේ.

එමෙන්ම ඔහු හෙළ වෛද්‍යවරයෙක් බවත්, ඔහුගේ මුල් ගුරුවරයා වන්නේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේ බවත්, ඉන් පසු ඔහුගේ බිරිඳගේ පියාගේ මඟපෙන්වීම මත අවුරුදු 14 සිට හෙළ වෙදකම හදාරා ඇති බවත් ඔහු විසින් පවසා තිබේ.

අවුරා ලංකා කෝමාරිකා වගාවට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් හඬ නගන්නේ ඇයි?

2021 වසරේ අගෝස්තු මස 30 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක ප්‍රමාණයක් කෝමාරිකා වගා කිරීම සඳහා අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබාදී තිබෙන බව, ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර පැවැසුවේය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 104,066ක් වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීම අනුමත කිරීමට පෙර කැබිනට් මණ්ඩලය අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් හෝ ශක්‍යතා වාර්තාවක් කැඳවීමට අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

‘නීති විරෝධීව ආරම්භ කරන්න හදපු කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතිය ජනගත කරන්න හදන්නේ ඔය සංගීත ප්‍රදර්ශනය හරහා. මේකෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අලි – මිනිස් ගැටුම් වැඩිවෙන එක, වැව්වල ජල පෝෂක නැතිව ගිහිල්ලා, කෘෂිකර්මාන්ත භූමි ප්‍රමාණය අඩුවෙනවා. ඒ කියන්නේ ආහාරවලට ලොකු බලපෑමක් එල්ල වෙනවා.’ ‘ඒ වගේම මේක ඇත්ත ව්‍යාපෘතියක් නෙමෙයි.

2020 දී හදල තිබ්බ ව්‍යාපෘති වාර්තාවේ තිබ්බේ ඩොලර් මිලියන 375ක් කියලා. නමුත් 2021 වසරේ කැබිනට් පේපර් එක දානකොට ඒක ඩොලර් මිලියන හත්සිය ගානකට වැඩි වෙනවා. එතකොට මේක කිසිදු සැලසුමකින් තොර ආයෝජනයක්. මේ වගේ පුද්ගලයකුට එහෙම ආයෝජනයක් කරන්න පුළුවන් ද කියන එක බලන්න ඕනෙ. ඔය වගේ සිදුවීම් ගණනාවක් එක්කයි අපි මේකට මැදිහත් වෙන්නේ…’ සජීව චාමිකර පැවැසුවේය.

‘එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා’

අවුරා ලංකා සමාගම අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට සැලසුම් කළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව එම සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළ අතුකෝරලාගේ දොන් විජයදාස පැවැසුවේය.

‘මම අවුරුදු හතරහමාරක් අවුරා ලංකා සමාගමේ හිමිකරු සමග බොහොම ළඟින් වැඩ කරපු කෙනෙක්. මම යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියාට පසු ඔහු මාව සමාගමේ අධ්‍යක්ෂවරයෙක් හැටියට සේවයට බඳවා ගත්තා 2018 ජනවාරි මාසයේ දී.

‘කෝමාරිකා හිටවනවා කියලා අපිත් එක්ක කියලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා මේ වැඩකටයුත්ත ආරම්භ කළේ. නමුත් මැද හරියේදී මට තේරුණා මේක සම්පූර්ණයෙන් බොරුවක් කියලා. ඔහු තමන්ගේ විදෙස් රාජ්‍ය නායකයන් සමග තියෙන සම්බන්ධකම් වගේම ඉන්දියාවේ අක්කර 25,000ක කෝමාරිකා වගා කරන්න යන බව කිව්වා. අපි ඒ කතා ගොවියට කිව්වා. එතකොට අපි ගොවියට බොරුකාරයෙක් වුණා’ ඔහු පැවැසීය.

‘2018 වසරේ දී අනුරාධපුරයේ පාම් ගාර්ඩ්න් හෝටලයට අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනා එකතු කළා. මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගන්න යන ගාන හැටියට කිව්වේ ඩොලර් මිලියන 370ක් කියලා. ව්‍යාපෘති වාර්තා හදලා, ඔක්කොම වාර්තා හදලා දැනුවත් කිරීම් කළා. ඒ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරුන් 22 දෙනාට අමතරව වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග අධ්‍යක්ෂලා සහ පුරාවිද්‍යා එකේ නිලධාරින් පවා හිටියා.

එතැනදී එයා මෙහෙම කතාවක් කිව්වා, ‘මගේ සල්ලි හින්දා තමයි මේ රට ඇදගෙන යන්නේ. මට කෝමාරිකා හිටවන්න අවසර නොදුන්නොත් මේ සල්ලි ටික මම හෙට උදේට වෙන රටකට ට්‍රාන්සර් කරනවා’ කියලා බය කළා. අපිත් හිතුවා මේක ඇත්තක් වෙන්න ඇති කියලා. මොකද ප්‍රාදේශීය ලේකම්වරුන් ඉස්සරහනේ මේක කිව්වේ…’ ඔහු පවසයි.

‘කොහොම හරි ඔය ව්‍යාපෘති වාර්තාවේ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඒ වාර්තාව අනුව ෆැක්ටරි එකක් ගහන්න ඕනෙ, තට්ටු 27ක බිල්ඩිමක් හදන්න ඕනෙ, ඉස්කෝල හදලා, ඩෑම් හදලා, ඉඩම් අක්කර 104,066ක් තියනවා. ඒකෙන් එක අක්කරයක් ලක්ෂ 20 ගානේ වියදම් කරලා හදන්න තියෙනවා. කිරි හරක් ලක්ෂ 10කුත් ඕකෙන් දෙනවා. ඔය ඔක්කොම කරන්න ව්‍යාපෘති වාර්තාවේ හැටියට තිබ්බේ ඩොලර් මිලියන 370යි.’

‘මට රාජකාරි පැවරුණේ මනුකවිලච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි. මම දවසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆයිල් එකක් අරන් ගියාම ප්‍රාදේශීය ලේකම් සේනාරත්න මහත්තයා කිව්වා ‘ඩොලර් මිලියන 370කින් කොහොමද මේක හදන්නේ? මම ගෙදර ඉද්දි කැල්කියුලේටර් එකෙන් ගණන් හදලා බැලුවා, ඒ ඩොලර් මිලියන 370න් කිරි හරක් ලක්ෂ 10වත් ගන්න බැහැනේ කියලා. ඊට පහුවැනිදා මම බෝර්ඩ් මීටින් එකේදී ඔය ගැන තාඹුගල මහත්තයට කිව්වා. එතැන දී ඔහු කිව්වා විජේදාස මහත්තයා ඔයාට කියන්න තිබ්බනේ මේක අපි අදියරෙන් අදියරේට කරන්න යන්නේ කියලා.’

’මම තර්ක කළා අපි මිනිස්සුන්ට කිව්වේ නැහැනේ අදියරෙන් අදියරේ මේක කරන්නේ කියලා. එහෙම කිව්වට පස්සේ එතැන හිටපු ව්‍යාපෘති කළමනාකාරවරයා එතුමා කොළඹ ගෙදර එක්කන් ගියා. ගිහිල්ලා අර ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් එක දවස් දෙකක් ඇතුළත ඩොලර් මිලියන 783කට හැදුවා. ඊට පස්සේ ගොවීන් සහ රජයේ නිලධාරීන් දැනුවත් කරන්න කියලා, අපිට දීලා තිබ්බ ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් ටික එයා එකතු කරන් අලුත් වාර්තා ටික අපිට දුන්නා. අර කිරි හරක් සිද්ධියෙන් තමයි ඕක එළියට ආවේ. එතකොට මට සැක හිතුණා මෙතන මොකක් හරි සිද්ධ වෙනවා කියලා. මොකද එක රැයෙන් ඩොලර් මිලියන 423ක් පැටවු ගැහුවා. දැන් අර මුලින් දුන්න ඩොලර් මිලියන 370 ප්‍රොජෙක්ට් රිපෝට් තවම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියනවා,…’ අවුරා ලංකා හිටපු අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

ගම්වැසියන්ගෙන් චෝදනා

අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගල විසින් කෝමාරිකා වගාකිරීමේ ව්‍යාපෘතිය සඳහා නිසි අවසරයක් ලබාගෙන නොමැති බව උතුරුමැද පළාතේ ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පළාත් සම්බන්ධීකාරක විමුක්ති ද සිල්වා චෝදනා කර සිටියි.

අවුරා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හෝ වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව ඔහුට අවශ්‍ය ලෙස ගමේ පිහිටි වැව පවා සංවර්ධනය කළ බවත්, එය පිහිටා ඇත්තේ වනජීවී අභිප්‍රේරණ කලාපයක බවත් ඇය කියා සිටියාය.

‘මෙම ව්‍යාපෘතිය පටන් ගන්නේ 2018 වසරේ ඉඳන්. මෙයා ගමේ හිටපු මනුස්සයෙක්. ගමේ රේඩියෝ ටීවී රෙපෙයාර් කරමින් හිටපු කෙනෙක්. 2018 අවුරුද්දට කලින් එක පාරටම ගමෙන් අතුරුදන් වෙලා ඉඳලා ආපහු එනවා. ඒ එන්නේ අවුරා ලංකා හර්බල් ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එකත් එක්ක. එහෙම තමයි ප්‍රවේශය ගන්නේ මේ ව්‍යාපෘතියට….’ ‘ඔහු ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට කිව්වා කෝමාරිකා වගා කළොත් අක්කරයකින් මාසෙකට රුපියල් 380,000ක ආදායමක් ලැබෙනවා කියලා. එහෙම කියලා මිනිස්සුන්ගේ ඉඩම් පවරා ගන්නවා ගිවිසුමකින් අවුරුදු 10කට කෝමාරිකා වගා කරන්න කියලා. එහෙම කියලා ඉඩම් අක්කර හැත්තෑ ගණනක් පවරා ගන්නවා. එහෙම පවර ගන්න ඉඩම් සුද්ද කරලා ඩෝසර් කරලා මූලික වශයෙන් පළවෙනි අදියරේ දී ඉඩමකට රුපියල් ලක්ෂය වගේ ගෙවලා තියෙනවා.’

‘ඒ අතරේ රාජාංගණය – යාය 18 ගමේ තියෙන කහඹිලිපිටියාව කියන වැව එයාට ඕනෙ විදිහට ගොවිජන සේවා එකේ අනුමැතියකින් තොරව සංවර්ධනය කර ගන්නවා. මේක තියෙන්නේ විල්පත්තුව දකුණු පැත්තේ ප්‍රේරණ කලාපයේ. එයාට ඕනෙ විදිහට මේක සංවර්ධනය කර ගන්න ගමන් ඔය හරියේ තියනවා ඇළක්, පනංකාඩු ඇල කියලා. ඔහු මේක හරහා වේල්ලක් බඳිනවා. ඒ නිසා වතුර බහින්නේ නැතුව බ්ලොක් වෙලා වනජීවී කාර්යාලය ඇතුළු සෑහෙන භූමි ප්‍රමාණයක් යටවෙනවා. ඊට පස්සේ වනජීවී එකෙන් අර වේල්ල කපලා ඉවත් කරලා මොහුට විරුද්ධව නඩු පවරනවා වනජීවී ප්‍රේරණ කලාපයේ අනවසරයෙන් ඉදිකිරීම් කරන්න බැහැ කියලා නොච්චියාගම අධිකරණයේ. ඒ නඩුව තවම විභාග වෙමින් පවතිනවා…’ ඇය පැවැසුවාය.

‘ගිය අවුරුද්දේ ජූනි මාසයේ දී යාය 18 ගමේ පොදු භූමිය භාවිත කරගෙන පළමු වතාවට අවුරා ලංකා මියුසික් ෆෙස්ටිවල් එක කරනවා. එතකොට කෝමාරිකා වගාකරන එක පටන් අරන් තිබුණේ නෑ. ප්‍රසංගය දවස් 20ක් තියනවා. ඒ වගේම හැමදාම දන්සල් දෙනවා. මේ සැණකෙළිය පවත්වන ඉඩම්වල හිමිකාරීත්වය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. මේ වගේ සැණකෙළියක් කරද්දී විනෝද බද්දක් අයකරනවා රජයෙන්. ගිය අවුරුද්දේ දවස් 20ට විනෝද බද්ද විදිහට ගෙවලා තියන්නේ රුපියල් 68,000ක මුදලක් විතරයි.’

‘ඒ වගේම ඔහුට සමාගම් හයක් තියෙනවා කියනවා. ඒවායේ ආදායම් ලැබෙන ක්‍රියාවලිය කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. මොකද කෝමාරිකා ව්‍යාපෘතිය තවම පටන් අරගෙන නැහැ. ඒකට හේතුව, ඕනෑම ව්‍යාපෘතියක් කරද්දී පරිසර ඇගයීම් වාර්තාවක් ගන්න ඕන. ඒක දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන්. 2018 වසරේ දී මේක පටන් ගන්න යද්දී ඇතිවන ගැටලුත් එක්ක මධ්‍යම පරිසර අධිකාරිය දනුම් දෙනවා විරංජිත් තාඹුගලට අදාළ ව්‍යාපෘති වාර්තාව ලබාදෙන්න කියලා. නමුත් මේ වෙනකම් කිසිම ව්‍යාපෘති වාර්තාවක් හෝ ලියවිල්ලක් මධ්‍යම පරිසර අධිකාරියට ලබාදීලා නැහැ….’

‘ඒ වගේම අවුරා ලංකා හර්බල් සමාගම විසින් කෝමාරිකා යොදාගෙන නිෂ්පාදනය කරනවා කියන ඖෂධය මෙරට හෝ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපි තවම දැකලත් නැහැ, ඒ ගැන අපට සාක්ෂියක්වත් නෑ…’ ඇය ප්‍රකාශ කරයි.

‘එහෙම තියෙද්දී තමයි නවවැනි වතාවට මියුසික් ෆෙස්ටිවල් එක රාජාංගණය යාය 18 අවුරා ලංකා භූමියේ දී පවත්වන්න සුදානම් වුණේ. මෙතැන දී අපි ඇත්තටම විරුද්ධ වුණේ මියුසික් ෆෙස්ටිවල් එකට නෙමෙයි. ඒ හරහා මහජනතාවගේ දේවල් අවභාවිත කරමින් ඉන්න එක සම්බන්ධවයි….’

‘වනජීවී ප්‍රේරණ කලාපය අනිසි ලෙස පාවිච්චි කරමින් සිටිනවා. කිලෝමීටර් 1.6ක් වෙනවා වනජීවී ප්‍රේරණ කලාපය තුළ ස්ටේජ් ගහගෙන මේ වගේ මියුසිකල් ෂෝ කරන්න කිසිම කෙනෙක්ට අවසර ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි, ඔහු ගමේ දී මුලින්ම ප්‍රසංගය පැවැත්වුවේ ප්‍රාදේශීය ලේකම්ට අයිති ඉඩම්වල. නමුත් මේ අවුරුද්දේ ප්‍රසංගය පවත්වන්නේ ඔහුගේම ඉඩමේ. ඒ ඉඩම් තියෙන්නේ වනජීවී ප්‍රේරණ කලාපය තුළයි…’ ඇය චෝදනා කළාය.

‘එයා මිනිස්සුන්ට පෙන්වන්න හදනවා එයා සාධාරණව වැඩකටයුතු කරන් යනකොට පරිසර සංවිධාන ක්‍රියාකාරීන්, විශේෂයෙන් ගොවින් මේකට විරුද්ධ වෙනවා කියලා….’ ‘රාජාංගණයේ ගොවිතැන් කරන මිනිස්සු බොහොම අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ. එයා කියනව මිනිස්සුන්ට සතුටු වෙන්න මේ ප්‍රසංගය කරන්නේ කියලා….’

‘සැණකෙළිය අතරේ බයිසිකල් නතර කළොත් රුපියල් 200ක් අයකරනවා, හෙල්මට් එකට රුපියල් 200ක් ගන්නවා. එක බයික් එකකින් එයා රුපියල් 600ක් හොයනවා. මිනිස්සුන්ට පෙන්නේ නැති විදිහට ඔහු මුදල් හම්බ කරන්නේ ඔය විදිහටයි.’

‘මේකෙන් මිනිස්සුන්ගේ ගමට ඇතුළු වෙන්න තියෙන පාර අවහිර වෙනවා. ඒක ගමේ ජනතාවට අවහිරයක් වෙනවා. මේ සංගීත ප්‍රසංගය නිසා පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේකට විරුද්ධ වුණා, මොකද අධික ශබ්දය නිසා වන සතුන්ට හිරිහැර වෙනවා කියලා. ඒ වගේම මේ අභිජනන කාලසීමාව නිසා සත්ත්වයන්ගේ බිත්තරවලට හානිවෙන්න පුළුවන් කියන කාරණාව පෙන්වා දී තිබෙනවා.’

‘ඒ වගේම රාජාංගණයේ සමස්ත ගොවි සමිති 64ක් එකාබද්ධව දිගින් දිගටම මොහුට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ කළා. හේතුව තමයි ගොවීන්ට තියෙන අයිතිය සූරාකමින් ඔහුට අවශ්‍ය විදිහට ගමේ වැව පාලනය කිරීම කියන කාරණාව. මේ ව්‍යාපෘතිය නිසා ගොවීන්ට විශාල බලපෑමක් එල්ල කරලා තියෙනවා. වැවෙන් ජලය නිදහස් කිරීම පවා සිදුකරන්නේ ඔහුගේ අභිමතය අනුවයි’ ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

‘දැන් ගම කාන්තාරයක් වෙලා’

මේ අතර, අවුරා ලංකා හර්බල් සමාගමට කෝමාරිකා වගාකිරීම සඳහා ඉඩම් ලබාදුන් කිහිප දෙනකු එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත ඔවුන්ගේ ඉඩම් ලබා නොදීමට තීරණය කළ බව, රාජාංගණය – යාය 18 ගම සුරැකීමේ සංවිධානයේ සංවිධායක කිත්සිරි ජයකොඩි පැවැසුවේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වගාබිම් කෝමාරිකා වගාවට බව පවසා බර වාහන යොදාගෙන ඩෝසර් කිරීම නිසා මේ වන විට ඒවා මුඩුබිම් බවට පත්ව ඇති බවය.

‘ඉඩම් කට්ටි 72ක් ලබාදීලා තිබ්බා මුලින්ම කෝමාරිකා වගාවට. පස්සේ පස් හයදෙනෙක් අයින් වුණා බොරුවක් කරන්නේ කියලා. මේක කරන්න රාජ්‍ය නිලධාරීන් කිසිදු අවසරයක් දීලා නැහැ’ ඔහු පවසයි.

‘කෝමාරිකා වගාකරන්න කියලා මෙයා මෙහෙමයි කරන්නේ. ඇවිල්ලා වතුර දෙන්න කියලා ගමේ ජනතාවගෙන් අස්සන් ගන්නවා ඇළවල් කපන්න කියලා. ඊට පස්සේ මගක් දුරට වැඩේ කරන් ඇවිල්ලා නතර කරනවා. දැන් ඉඩම් අරන් කෝමාරිකා වගා කරන්න කියලා තුන් පාරක් ඩෝසර් කරලා තියෙනවා. දැන් ඒවා හාරලා මුඩුබිමක් බවට පත් කරලා තියන්නේ. ඊට පස්සේ ඉන්ටර්ලොක් ගල් අක්කර භාගයෙන් භාගෙට වටේම අල්ලනවා. රජයෙන් වියදම් කරලා දාපු මායිම් කණු සියල්ලම ඉවත් කරලා තියෙනවා කිසිම අවසරයකින් තොරව.

‘කෝමාරිකා හිටවලා මාස තුනෙන් රුපියල් 365,000ක් ගානේ මාසිකව ඉඩම් හිමියන්ට දෙනවා කියලා පොරොන්දු වෙලා තිබ්බා. නමුත් දැන් අවුරුදු හතරහාමාරක් වෙනවා කිසිම කෝමාරිකා පැලයක් හිටවලා නැහැ. රට වටේට මියුසිකල් ෂෝ පවත්ව පවත්ව ඉන්නවා. නමුත් පස්සේ මේ ඉඩම්වල ගොවීන්ට වගාකරන්න ලැබෙන්නේ නැහැ. ඒවා මුඩුබිම් වෙලා’ ජයකොඩි චෝදනා කළේය. ‘ගම ඇතුළේ තිබ්බ එකමුතු බව පවා නැති කරලා දැන් ගම ඇතුළේ ලොකු ආරවුලක් ඇති කරලා තියෙන්නේ. මිනිස්සු මිනිස්සු තරහෙන් ඉන්නේ දැන්.

අවුරුදු එකහමාරක් අපි මේක ගැන බලාගෙන ඉඳලා ගම සුරැකීමේ සංවිධානය කියලා සංවිධානයක් පිහිටුවාගෙන මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමුකළා. ඒ වගේම මේ ගැන රටේ එවක හිටපු ජනාධිපතිතුමා සහ රාජ්‍ය සංවිධානවලට ලිපි යොමු කළා. ජනාධිපතිවරයාට යවපු ලිපියට පිළිතුරක් එවලා තිබ්බා, දින 14ක් ඇතුළත මේ ගැන සොයා බලා වාර්තාවක් එවන්න කියලා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීලා තිබ්බා. එවක හිටිය ප්‍රාදේශීය ලේකම්වරයා ගමට ආපු නැති විදිහට ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවා තිරසාර හා ගම සුරැකීමේ සංවිධාන දෙකෙන් කරුණු හොයලා බලලා කරුණු වාර්තා කරන්නම් කියලා.’

‘නමුත් අපි පැමිණිල්ල කළේ අවුරා ලංකා හර්බල් සමාගමට විරුද්ධවයි. එහෙම තියෙද්දී අපෙ ගමේ සමිති දෙකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න කියලා දැනුම් දුන්නා. අපි ගියේ නැහැ. හේතුව, ගියා නම් ප්‍රශ්නයක් වෙනවා…’

‘පස්සේ මානව හිමිකම් එකට යවපු ලියුමට සියලු රාජ්‍ය නිලධාරීන්ට ලිපි යවලා කරුණු විමසලා තියෙනවා. ඒ අනුව උතුරුමැද පළාත් මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට මධ්‍යම පරිසර අධිකාරිය, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා පරීක්ෂණයක් කළා පැමිණිල්ල සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී ඒ නිලධාරින් කිව්වා මේකට කිසිම අවසරයක් දීලා නැහැ කියලා මේ වෙද්දීත්. නමුත් ඒ වෙද්දී ඉඩම්වල තිබ්බ ගස් කපලා ඒවා වළ දමලා ලොකු විනාශයක් කරල ඉවරයි. දැන් මේ පැත්තම කාන්තාරයක් කරලා තියෙන්නේ…’ ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

විමර්ශන ක්‍රියාත්මකයි – පොලීසිය

අනුරාධපුර, රාජාංගණය – යාය 18 ගම්මානයේ දී අවුරා ලංකා සමාගම පැවැත්වූ දින 14ක සංගීත ප්‍රසංගය ජූනි 23 වැනිදායින් පසු තවත් දින කිහිපයක් පවත්වාගෙන යෑම සඳහා සිදුකළ ඉල්ලීමට අවසරය ලබා නොදීමට පොලිසිය තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමසීමේ දී, වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සංගීත ප්‍රදර්ශනය හේතුවෙන් ඇතිවන ශබ්දය නිසා සතුන්ට හිරිහැර සිදුවන බවට වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම මත අදාළ ප්‍රසංගය ඉදිරියට පවත්වාගෙන යෑමට කළ අවසරය පොලිසිය ප්‍රතික්ෂේප කළ බවයි. එමෙන්ම මෙම අවස්ථාවේ දී සංගීත ප්‍රසංගය පවත්වන සමාගමේ හිමිකරු රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ හිමිකරු මේ වන විට ඇප මත මුදාහැර ඇති බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

නියෝජ්‍ය පොලිස්පති ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවය.

අවුරා ලංකා වෙනුවෙන් පෙරට ආ කලාකරුවන් කියන දේ

අවුරා ලංකා සමාගම රාජාංගණය යාය 18 ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සංගීත ප්‍රසංග මාලාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට පොලිසිය අවසර නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඉකුත් ජුලි 26 දා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විණි. ඒ සඳහා මහේන්ද්‍ර පෙරේරා, ටී.එම්. ජයරත්න, දයාන් විතාරණ, රූපා ඉන්දුමතී, සුප්‍රියා අබේසේකර, කේ. සුජීවා, රුවන් හෙට්ටිආරච්චි ඇතුළු ගායක ගායිකාවන් සහ රංගන ශිල්පීන් එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සඳහන් කළේ මෙවන් අදහසකි. ‘අවුරා ලංකා ආයතනය තවත් ව්‍යපෘති ගණනාවක් කරන්න ප්ලෑන් කරගෙන යනවා. ඒවටත් අකුල් හෙළීමක් වෙන්න පුළුවන්. අවුරා ලංකා අධිපතිතුමා යෝජනාවක් ගෙනාවා රාජාංගණය ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන්ගේ දක්ෂතා ඔප්නංවලා කෙසේ හෝ සිනමා කේෂ්ත්‍රයට නළු නිළියන් හැටියට රංගන කාර්යයේ යෙදෙන්න ඒගොල්ලන්ගේ විෂය පථය දියුණු කරලා දැනුමෙන් පොහොසත් කරන්න කියලා.

ඒ අනුව අපි රාජංගණයේ තරුණ තරුණියන් 60ක් විතර ඉන්නවා ඒ වැඩමුළුවේ. විශාල ප්ලෑන්ස් තොගයක් තියෙනවා කරන්න. ඒ ළමයින්ට රංගනය ගැන අධ්‍යාපනයක් දීලා මේ කේෂ්ත්‍රයට යොමුකරන්න සහ ඔවුන් වෙනුවෙන් චිට්‍රපටයක් කරන්න, අධ්‍යක්ෂණය කරන්න විශාල බලපොරොත්තුවක් තිබුණා. ඒ එක ව්‍යාපෘතියක් විතරයි. මේ වැඩමුළුව සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ….’

‘ඒ වගේම කුඩා ළමුන්ව සෞන්දර්ය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාදෙන්න වැඩමුළුවක් පටන් ගන්න අපි සැලසුම් කළා. ඒකට ළමුන් 600ක් විතර ඇවිල්ලා හිටියා. ඒ අවස්ථාවේ දී අවුරා ලංකා සමාගමේ සභාපතිතුමා කිව්වා සෑම ළමයෙක්ම දහම් පාසල් යන්න ඕනෙ කියලා. මම ඒ ළමයි එක්ක සතුටින් වැඩකරනවා. මටත් යහපත් ගෙවීමක් සිදුකරනවා. මොකද පහුගිය කාලේ අපට ජීවත් වෙන්න විදිහක් නැතිව දඟල දඟලා හිටියේ…’ ඔහු පැවැසීය.

‘මේ සංගීත ප්‍රසංගය නීතියට අනුව කටයුතු කළා. රාත්‍රී 12.00ට නතර කරන්න කියද්දී ඒක ඒ විදිහටම කළා. මේ ප්‍රසංගය බලන්න ආපු හැමෝම සතුටු වුණා. නමුත් අවුරා ලංකා සමාගමේ සභාපතිතුමා මේ සියල්ල කළේ ලාභයක් බලාගෙන නෙමේ. සියල්ලම නොමිලේ කළේ. ඒක ගැන පොඩි වේදනාවක් තියෙනවා. ඒවා ගැන කතා කරලා තීරණය කරන්න තිබුණා එකවරම මේක නතර කරන්නේ නැතුව’ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේය.

‘මට තේරෙන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය කියලා’ – තාඹුගල

චන්දික විරංජිත් තාඹුගල පැවැසුවේ, ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා නැගීම සහ රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පැවැති අවුරා ලංකා සංගීත ප්‍රසංගය අතරමග නතර කිරීමට නියෝග කළේ ඇයි ද යන්න ඔහුට ද ගැටලුසහගත බවකි.

‘අපිටත් තියෙන ප්‍රශ්නය තමයි ප්‍රසංග නතර කරන්න කිව්වේ ඇයි කියන එක. සංචාරක කර්මාන්තය, මෙච්චර මිනිස්සුන්ට ආර්ථිකයක් එන වැඩපිළිවළක් යටතේ මේ කෙරෙන කාර්යයක් නතර කරන්න තියන වුවමනාව මොකක්ද කියන එක මටත් තියෙන ප්‍රශ්නයක්. මම ඒක ප්‍රශ්න කරන්න ගිය එක තමයි රාජාංගණය පොලිස් ස්ථානාධිපතිතුමා එක්ක බහින්බස් වීමක් ඇති වුණා කියලා මට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරලා තියෙන්නේ. මම නඩුවට පෙනී හිටියා, මට ඇප ලැබුණා….’

‘රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙක්ට මම බැණවැදුණා නම් ඔහුට මට විරුද්ධව රාජකාරිය කරන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒකෙන් පෙනී යනවා මාව අපහසුතාවට පත් කරන්න කරපු දෙයක් මේක, කීර්තියක් තියෙන නම නැති කරන්න. මම කොයිම වෙලාවකවත් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. රාජකාරි කරන ස්ථානාධිපතිවරයාට පුළුවන් ඕනෑම වෙලාවක එහෙම දෙයක් කළා නම් අත්අඩංගුවට ගන්න, පොලිස් බලතල තියෙනවා….’

‘මට තේරෙන්නේ නැහැ මොකක්ද ප්‍රශ්නය කියලා මෙච්චර මිනිස්සුන්ට ආර්ථිකයක් එන සැලැස්මක්, සංචාරක ආකර්ෂණය එන මේකට තියෙන බාධාව මොකක්ද කියලා. මගේ ප්ලෑන් එක ලෝකයේ ලොකුම ෆෙස්ටිවල් එක නිර්මාණය කරන එක…’ ඔහු පැවැසීය.

මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ පාර්ශ්ව වෙතින් කෝමාරිකා වගාවට අවසර ලබාදී තිබේදැයි විමසූ විට ඔහු මෙසේ පැවසීය.

‘ඇත්තටම එක් එක් ගොවියාගේ දේ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් අපි අවසර අරන් තමයි වැඩ කළේ. නමුත් මේ පරිසර සංවිධාන යැයි කියාගන්නා පිරිසක් කියා සිටිනවා මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකටම ශක්‍යතා වාර්තාවක් කරන්න ඕනෙ කියලා.’

‘අපි කම්පැනි එකක් වශයෙන් ඉඩම් අරන් නෙමෙයි කරන්නේ. වෙන වෙනම ගොවියට මම ආයෝජනය කරන්නේ. ඉතින් මේක ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමක් නෙමෙයි, මේක වගා කටයුත්තක්. මොකද බඩ ඉරිඟු වගා කරන්න වාර්තා ගන්නේ නැහැනේ. මම හිතන්නේ මේකත් මේ සංවිධානවලින් බොරුවට කරන චෝදනාවක්. ඒ නිසා මගේ කෝමාරිකා ව්‍යාපෘතියෙන් පරිසරයට කිසිම හානියක් සිදුවන්නේ නෑ.

මේ වෙනකොට කෝමාරිකා ව්‍යාපෘතිය බොහොම මන්දගාමීව සිදුකරන්නේ. නිත්‍යානුකූල ඉඩම්වල අයිතිය තවම ලැබිලා නෑ….’

‘පරිසර සංවිධානවලින් කියන්නේ සම්පූර්ණ අසත්‍යයක්. එයාලට ඕනෙ මිනිස්සු හැම තිස්සෙම ප්‍රශ්නවලින් ජීවත් වෙනවා දකින්නයි. එයාලා හරි පැත්තක් දකින්නේ නෑ….’ චන්දික විරංජිත් තාඹුගල පැවසීය.

කෝමාරිකා වගා ව්‍යාපෘතියට අදාළ වාර්තාවේ පෙර සඳහන් ඇස්තමේන්තු අගය වෙනස් කළ හේතුව ද අපි ඔහුගෙන් විමසීමු.

ඊට හේතු දක්වමින්, ව්‍යාපෘතියේ පළමු අදියර ඩොලර් මිලියන 370ක් බවත්, සමස්ත ව්‍යාපෘතිය සඳහා වූ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 786ක් බවත් ඔහු කියා සිටියේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

විග්නේෂ්වරන් ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශකද? VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 7ට විද්වතුන් 9,300ක් රැකියා සඳහා විදෙස්ගත වෙලා! Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.