ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) සහ හදිසි නීති රෙගුලාසි වැනි කෲර මෙන්ම මර්දනකාරී නීති අත්තනෝමතික ලෙස අවභාවිත කිරීම තමන් ඇතුළු පිරිසක් දිගින් දිගටම හෙළාදුටු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.Sri Lanka Latest News
රට තුළ වත්මන් ආරක්ෂක සහ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන පෙරළි කෙරෙහි අවධානය යොමුකරමින් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ, එදා මෙම මර්දනකාරී නීති ආරක්ෂා කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු වූ ඇතැම් පුද්ගලයන්ටම අද දවසේ එම නීතිවලින්ම බැටකෑමට සිදුව ඇති අපූර්ව දේශපාලන උඩුයටිකුරු වීමක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.
දේශපාලන සෙල්ලම් සහ ව්‍යවස්ථාපිත අයිතිය
කිසියම් පුද්ගලයෙකු රැඳවුම් භාරයේ තැබිය යුතුද නැද්ද යන්න තීරණය කිරීම ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, ලේකම්වරුන් හෝ පොලිස් නිලධාරීන් වැනි විධායකයේ බලධාරීන්ට පැවරිය නොයුතු බවත්, එය මුළුමනින්ම නීතියට අනුව කටයුතු කරන ස්වාධීන විනිසුරුවරුන් වෙත පැවරිය යුතු බවත් සාලිය පීරිස් පෙන්වා දෙයි.
මෙම මර්දනකාරී නීති අහෝසි කරන ලෙස ඉල්ලා සිටි ඇතැම් පාර්ශ්වයන් පවා පසුව බලයට පැමිණ ඒවා ක්‍රියාත්මක කිරීමට සහ ඒවා මත යැපීමට කටයුතු කළ ආකාරයද ඔහු සිහිපත් කරයි.
කෙසේ වුවද, අදාළ පුද්ගලයා කවුරුන් වුවද, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා කවරක් වුවද, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් සහතික කර ඇති මානුෂීය ගෞරවය, නීතියේ රැකවරණය සහ නිදහස ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බව ජනාධිපති නීතිඥවරයා සිහිපත් කරයි. ව්‍යවස්ථාවෙන් පිරිනමන එම ආරක්ෂාව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවතින දේශපාලන තත්ත්වයන් මත වෙනස් විය නොහැකි බවත්, පොලිස් හෝ බන්ධනාගාර රැඳවුම් භාරයේදී වධහිංසා පැමිණවීම, කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකීම්වලට ලක්කිරීම (Torture, cruel, inhuman and degrading treatment) කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
දේශපාලන කුමන්ත්‍රණ චෝදනා සහ නීතියේ ආධිපත්‍යය අතර දෝලනය වන වත්මන් ශ්‍රී ලාංකීය සමාජයට, නීතිය හැමදෙනාටම සමාන වියයුතු බවත්, මර්දනය කා දෙසට හැරුණත් එය මර්දනයක්ම බවත් පෙන්වා දෙන සාලිය පීරිස්ගේ මෙම ප්‍රකාශය දකුණේ දේශපාලන මෙන්ම නීතිමය ප්‍රජාව තුළ දැවැන්ත සංවාදයකට මග පාදා තිබේ.
TheLeader.lk










