එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව නතර කරගන්නවා.
‘එක්ස්කියුස් මී සර්, පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?’ Sri Lanka Latest News
ඔබ කාර්යබහුල නැති නිසා, නැත්නම් ඔබට ඔහු ප්‍රියමනාප බව අනුව ඔහුගේ ඉල්ලීමට එකඟ නොවී බැරි නිසා, ඔබ ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න පටන් අරගන්නවා. ඔහු මෙහෙම කියනවා.
‘සර්, සර් කැමැතිද සර් මේ වල්ලපට්ටා වගාව පටන් අරගන්න? මෙහෙමයි සර්, අපේ ඉඩමක සර් ඉන්වෙස්ට් කරනවා. එතකොට අපි වල්ලපට්ටා ගස් ටික හිටවලා, අපිම ඒ ටික කපාගන්නවා. සර්ට තියෙන්නෙ සර් දැන් මුලින් ලක්ෂ 50ක් විතර…’
මේ මිල වෙනස් වෙයි ගොඩක් වෙලාවට මේ කතන්දරේ. ලක්ෂ 50ක්, ලක්ෂ 40ක්, ලක්ෂ 20ක්, මේ වගේ ගානක් කියලා ඔහු කියනවා. මේ මූලික යොදවන එක විතරයි. ඉඩමත් අපේ, ගසුත් අපේ, අපි ගස් හිටවන්නේ, සර් තමයි වියදම් කරන්නේ. අපි අවුරුදු 10කින් ගස් කපා ගන්නවා, සර්ගේ ආදායම හතර ගුණයකින් වැඩි වෙනවා.
ඔන්න ඔබට දාඩිය දානවා. තරු එකින් එක ඔබේ ඔළුවෙන් මතුවෙන්න පටන් අරගන්නවා. ඊට පිටිපස්සෙන් තියෙන අං දෙක එළියට එනවා. නැට්ට පිටිපස්සෙන් ටික ටික එන්න පටන් අරගන්නවා. ඔබ ‘උම්බෑ’ කියන්න ගන්නවා. අර ආපු ප්‍රියමනාප තරුණයා හෝ තරුණිය කලින් සූදානම් කරපු පුන්නක්කු බාල්දියක් දීලා ඔබව එක්කගෙන යනවා ඔවුන්ගේ කාර්යාලයට. ඔන්න අපි එනවා, ඔන්න මහත්තයලා, අනාගත ආයෝජනයක් වෙනුවෙන් හිටවනවා වල්ලපට්ටා.
මේ කතන්දරේ වෙනස් වෙන්න පුළුවන්. වල්ලපට්ටා, නයි මිරිස්, කිලෝ පේර, අරවා මේවා කියලා දැන් මේ කතන්දරේ එක එක තාලයට යනවා. ප්‍රශ්නයක් තියෙනවා, මම මෙවැනි කෙනෙක්ගෙන් අහපු.
‘ඉඩමකුත් තියෙනවා නම්, පැළත් තියෙනවා නම්, ඔයාලාම ගන්නවා නම්, ඇයි ඔය මගේ ලක්ෂ 20ක්? අනාගත ආයෝජනයක් ඇස්පනාපිට පේන්න තියෙද්දී, නිකන් වළක් කපලා පැළ ටික හිටව ගන්න විතරනෙ තියෙන්නේ. එහෙම තියෙද්දී මොකටද මාව මේකට අතරමැදියෙක් කරලා, මට කෝටි ගානක් හොයලා දෙන්න ඔයාලා මහන්සි වෙන්නේ?’
තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ඒක. හැබැයි ඉතින් ඕකට කොහෙන් හරි ගැටයක් ගහලා, අමුණලා, මොනවා හරි කරලා කතන්දර ටිකක් කියනවා. ඔබ වැඩේට එකඟ නැත්නම්, ඔබට වැඩේ එපා නම්, බෑ වගේ නම්, ඔබ වැඩිය කතාබහ කර කර ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ටක් ගාලා ඔබව නිදහස් කරලා යවනවා. ‘හොඳයි සර්, තෑන්ක් යූ සර්’ කියලා, ඔබට තියෙන්නේ ‘බුදු සරණයි’ කියලා ආපහු එන්න.
දැන් මේක වුණා කියමුකෝ. සල්ලි දුන්නා, ඔබව එක්කගෙන යනවා, වත්ත පෙන්නනවා, පැළ ටික තියෙනවා. ‘ඔන්න සර්, සර්ගේ පැළ ටික අපි හිටවලා තියෙන්නේ. පැළ සර් ගණන් කරලා බලන්න, 124ක් තියෙනවා.’
අපි පැළ 124 වටේ ඇවිදලා, නිකන් අභිමානයෙන් බලලා, ඉඩම් අහිමි වැවිලිකරුවෙක් විදිහට සාඩම්බරෙන් ගෙදර එනවා. ඇයි අවුරුදු දහයකින් වල්ලපට්ටා ටික විකුණලා කරන දේවල් ටික ඔළුවේ තියාගෙන. හැබැයි කතන්දරේ නිකන් ‘රතු හැට්ටකාරි’ වගේ, මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි කියලා අපිට මතක නැතුව යනවා.
මතක තියාගන්න, ඔබ ඉඩමට ගිහිල්ලා බලලා ආවා මිසක, ඔබ ඉඩම ගෙදර ගෙනාවේ නැහැ. ඔබ ඉඩමේ පැලක් හදාගත්තේ නැහැ. ඔබ ඉඩමේ නතර වුණේ නැහැ. ඔන්න මෙවැනි වැඩක් කළා නම් ඊළඟ වැඩේ කරන්න ඕනේ මොකක්ද?
‘හරි බොහොම ස්තුතියි, මම මේ ඉඩමේ ඉන්නවා. මම ගෙදර යන්නේ නැහැ. මේක මගේ ඉඩමනේ?’
‘නෑ සර්, සර් මේකට ආයෝජනය කරලා විතරනේ තියෙන්නේ. මේ ඉඩම අයිතිය අපිටනේ.’
අපි කියනවා ඉතින්, ‘ලක්ෂ ගානක් ආයෝජනය කරලනේ තියෙන්නේ, ප්‍රශ්නයක් නෑ. මට ඉඩම ලියලා දෙන්න එපා, මම ගස් ටික බලාගෙන ඉන්නවා ඉඩමේ’ කියලා.
එහෙම කතාවක් මිනිහෙක් කියන්නේ නැහැ කියලා මේ නෝනලා මහත්තයලා දන්නවා. ඔන්න ඔබේ කියපු වල්ලපට්ටා, නයි මිරිස්, ඔබේ කියපු පේර… මේ ඉඩම ඔයා දන්නවද මේ විදිහට පෙන්න පෙන්න තව කී දාහකගෙන් සල්ලි ගන්නවද කියලා? මෙවැනි විදිහට විශාල වශයෙන් එකම ඉඩම තවත් අයට පෙන්නමින් කූට ලෙස ව්‍යාපාරිකයෝ ලාභ ලබනවා. මේක තක්කඩි ව්‍යාපාරයක්. මේක තහනම් ව්‍යාපාරයක්. මේක නොකළ යුත්තක් සහ මෙවැනි දේවල්වලට ආයෝජනය නොකර ඉන්න ඔබට මොළේ කල්පනාව තියෙන්න ඕනේ.
අවාසනාවකට ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ මිනිස්සු මී හරක් වගේ හැමදාම මේ ගස් කේස්වලටයි, පිරමීඩවලටයි, අරවටයි මේවටයි අහුවෙනවා. අපේ මිනිස්සුන්ට ඕනේ ඉක්මනට සල්ලි. ෂෝට්කට්වලින් ගොඩ යන්න. මුදලක් යොදවලා, ආයෝජනය කරලා, කීයක් හරි හොයාගෙන එහෙම ගේමක් ගහගන්න නෙවෙයි.
මම ඔබට මෙහෙම දෙයක් කියන්නම්. පහුගිය දවසක මට මෙවැනි දෙයක් යෝජනා කරපුවාම මම ඔවුන්ට කියපු දේ තමයි ‘මගේ ඉඩමක් තියෙනවා, අපි අපේ ඉඩමේ හිටවමු. ප්‍රශ්නයක් නැහැ, ඔබ වැඩ ටික ඔක්කොම කරලා දෙන්න. අපේ ඉඩමේ හිටවමු. මට ලැබෙන ලාභයෙන් 50%ක් ඔයාලා ගන්න, ඉතුරු 50% විතරක් මට දුන්නම ඇති. කැමැතිද?’ කියලා.
ඒගොල්ලෝ එකඟ නෑ. එහෙම කැමැති වෙන්නේ නැහැ. විවිධ යෝජනාවල් ඔවුන්ට ඉදිරිපත් කළා. එක එක පන්නයේ යෝජනාවල් මම ඉදිරිපත් කළා. මිලියන ගානක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ මගේ ඉඩම දුන්නම. ඒගොල්ලෝ පැළ ටික හිටවනවා, අපි නීතිඥවරයෙක් ඉදිරියේ ගිහිල්ලා අස්සන් කරනවා ලියවිල්ලක්. මගේ ඉඩමේ ඔවුන් පැළ ටික බලාගන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, ඔක්කොම ටික කරන්න ඕනේ. පැළ ටික නඩත්තු කරගන්න බැරුව ගියොත් පාඩුව දෙගොල්ලන්ටම, ඒක වෙනම කතාවක්. මගේ බිම දෙනවා, ඔවුන් පැළ ටික හිටවනවා, ඔවුන් වත්ත නඩත්තු කරනවා, මට ලැබෙන ලාභයෙන් 50%ක් අපි ඒගොල්ලන්ට දෙනවා.
එහෙම දේකට එකඟ වුණේ නැහැ. ඉතින් මේවට එකඟ වෙන්න අවශ්‍ය නැහැ. මෙවැනි දේවල්වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා ලියවිලි නැතුව, අස්සන් කරන්න බැරුව, පොත්පත්වල ලියන්න නැතුව මේ වගේ දේවල් කරන්න ගියාම අපිත් පැටලෙනවා, ඒගොල්ලොත් පැටලෙනවා. ඒගොල්ලොත් අමාරුවේ වැටෙනවා, අපිත් අමාරුවේ වැටෙනවා.
සමහරවිට ඔබට ඔය කතා කරන තරුණයා හෝ තරුණිය මෙහි අගමුලක් දන්නේ නෑ. ඒ මනුස්සයා දන්නේ ඒ මනුස්සයාගේ ලොක්කා දවසකට කීයක් හරි ගෙවලා කියන්න කියපු කුණුහරුප ටික විතරයි. හරස් ප්‍රශ්න ඇහුවම දෙන්න උත්තර නැතුව යන්නේ ඒ මනුස්සයාට ඔය ගැන අවබෝධයක් නැති නිසා. ඇත්තටම ඒ කතාකරන මිනිහා හොරෙක් නෙවෙයි. කතාකරන මිනිහා හරි සාධාරණ, අහිංසක, අවංක මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒත් අවාසනාවක මහත, මේක පිටිපස්සේ ඉන්නේ අපි දන්නේ නැති කූට තක්කඩි ව්‍යාපාරිකයෙක්.
මතක තියාගන්න මෙහෙම ලිපිය ලිව්වා කියලා මේක නතර වෙන්නේ නෑ. මේක තව මුහුණකින් එනවා, වෙන විදිහකින් එනවා. ඔබ තේරුම් ගත යුතු කාරණය වෙන්නේ විශාල ලාභ, විශාල වශයෙන් හම්බෙන මුදල්, විශාල වශයෙන් ඔබට ලබාදෙන්න උත්සාහ කරන උදව්, ඔබව ගොඩදාන්න හදන සමහර කූට ව්‍යාපාරිකයන්ට ඔබ අහුවෙන්න එපා. කවුරු කොහොම මොනවා කිව්වත් සිහිබුද්ධියෙන් අහලා, විශ්වාස කරනවද නැද්ද කියන එක ගැන හිතන්නයි ඔබට තියෙන වගකීම.

ජීවන පහන් තිළිණ










