දහසකුත් එකක් දුක් කම්කටොලු මැද 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි දූදරුවන්ගේ ප්‍රතිඵල නිකුත් විය. ඒ දරුවෝ කොයිතරම් දුක් වින්දාද, කොයි තරම් ප්‍රශ්නවලට මුහුණ දුන්නාද කියන කාරණය ගැන අපි, ඔබ හොඳින්ම දනිමු. මේ ශිෂ්ටාචාරයේ භයානකම වසංගත සමය ඔවුන්ට ගතකරන්නට සිදුවූයේ ජීවිතයේ තීන්දු වසර දෙකක් අතරය. ඒ නිසා ඒ දරුවෝ අවංකවම අපට වඩා බොහෝ සෙයින් වීරයෝය. අප එය එසේ විශ්වාස කළ යුතුය. එසේ විශ්වාස නොකරයි නම් එසේ නොඅදහයි නම් අප වැරැදිය. ඒ නිසා අප මේ වතාවේ මේ දරුවන් ගැන කතාව ආරම්භ කරන්නේම ඔවුන්ට හිස නමා ආචාර කරමිනි. ආදරණීය දුවේ පුතේ, ඔබ උසස් පෙළ කඩඉම මොන මට්ටමින් ජයගත්තද ඔබ අපට වීරයන්ය. ඒ නිසා ඔබේ ප්‍රතිඵලය ගැන ඔබ දුක් වේ නම්, කනගාටු වේ නම් මුලින්ම නතර කළ යුත්තේ එයයි. උසස් පෙළ විභාග සමය යනු දහසකුත් වේදනා මැද, නිදි නොලැබ, කුසට නිසි අහරක් නොමැතිව ගතකරන්නට සිදුවන සමයකි. නමුත් ඔබට ඒ සමය මේ සියලු ප්‍රශ්න ගැහැට මැද්දේ හිඳිමින් තවත් නොපෙනෙන වෛරසයක් සමග සටන් කරමින් ගතකරන්නට සිදුවූ වසර දෙකක් අතර හමුවිය.
2021 උසස් පෙළ ලියූ කොල්ලන්ට කෙල්ලන්ට විභාගය ආරම්භ කරන්නට සිදුවන්නේම බරපතළ අර්බුදයක් සමගය. ඒ, ඔවුන් පාසලට ආ හැටියේම රටේ සිදුවූ බරපතළ ව්‍යසනයක් හේතුවෙනි. පාස්කු ප්‍රහාරයත් සමග පාසල් වසා දමන්නට බොහෝ විට සිදුවිය. ඇතැම් විට පාසල් ඉලක්ක කරගනිමින් බරපතළ ප්‍රහාර එල්ල වන්නේ යැයි බොහෝ තැන්වල ප්‍රවෘත්ති පළ විය. ඒවා දේශපාලනික වාසි මත, දේශපාලනික කෝන්තර මත සහ දේශපාලනික කොන්ත්‍රාත් මත සිදුවූ ඒවා වුවද ඒවායින් මේ දරුවෝ පීඩා වින්දෝය. පාසල් නතර කරන්නට සිදුවිය. එවැනි අවස්ථාවලදීද මේ දරුවෝ බරපතළ අර්බුදයන්ට මුහුණ දුන්නෝය. හදිසියේ ආ ‘සූම් තාක්ෂණය’, දරුවන් පමණක් නොව ගුරුවරුන්ද අන්දමන්ද කරන සුලු විය. රට වසාදැමීමත් සමග මුළු රටම පමණක් නොව මුළු ලෝකයම අගුළු දැමීමත් සමග සම්පූර්ණයෙන්ම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ආකාරයෙන් සිදුකරන්නට සිදුවිය. සමහර විට මේ දරුවන් අත ස්මාර්ට් ජංගම දුරකතනයක්වත් තිබුණේ නැත. ඇතැම් විට මේ බොහෝ දරුවන්ට තමන්ගේ නමින් සමාජ ජාල ගිණුම් පවා අලුතෙන් හදාගන්නට සිදුව තිබිණි. වට්ස් ඇප් ගෲප් ආදිය ආවේත් ඒ අතරය. ඔන්ලයින් අධ්‍යාපනයට කිසිම සූදානමක් නොමැතිව සිටි රටක ඔන්ලයින් අධ්‍යාපනයට මුහුණ දීම යනු හිතාගන්නටවත් බැරි ප්‍රශ්නයකි. විශේෂයෙන්ම අගුළු දැමූ රටක එකිනෙකා මුණනොගැසෙනා රටක එවැන්නක් කරන්නට පටන් ගැනීම උභතෝකෝටිකයක් විය. ගුරුවරුන්ට පවා ඔන්ලයින් දැනුමක් තිබුණේම නැත. සූම් තාක්ෂණය යනු සුද්දන්ට ග්‍රීක් වැනි දෙයක් විය. එවැනි තත්ත්වයක් යටතේ පාසල් අධ්‍යාපනයත්, පෞද්ගලික පන්ති අධ්‍යාපනයත් සියල්ලම සිදුකරන්නට සිදුවූ දරුවෝ සිය ජීවිත කතාවේ ඉතාම තීන්දු ප්‍රකාශයක් ලබාගෙන සිටිති. ඒ නිසා දිනූ දරුවන්ටත්, ඔබට අනුව පැරැදුණේ යැයි සිතන දරුවන්ටත් අපි කියන්නේ ඔබ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දිනූ දරුවන් බවය. ඒ ජයග්‍රහණය ඔබට නොපෙනේ නම් අපට පෙනෙන වග පමණක් ඔබ විශ්වාස කළ යුතුය. විභාගයට පෙනී සිටීමමත් මේ කාලයේ විභාගය ලිවීමමත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකි.
එසේම විභාගය පැවැත්වෙන දවසක් නොදැන කොයි වෙලාවේ පවත්වාවි දැයි හිතාගන්නට බැරි තත්ත්වයක් යටතේ කල් යමින්, දින වෙනස් වෙමින්, සමහරුන්ගේ සිලබස් කවර් කරගන්නට නොහැකි වෙමින් සියල්ල සිදුවූ කාලයක ඔබ උසස් පෙළ ලියූ වග අපට කිසිදා අමතක නොවනු ඇත. ඒ නිසා ශිෂ්ටාචාරයේ තීරණාත්මකම සමයක ජීවිතයේ තීන්දු ප්‍රකාශය ලියන්නට සිදුවූ ආදරණීය දුවේ පුතේ, මේ දුෂ්කර කාලය ඔබට සැපවත්ව ගතකරන්නට තරම් පහසුකමක් ලබාදෙන්නට බැරි වූ ශ්‍රී ලාංකිකයකු ලෙස අප අපේ රටේ දේශපාලකයන් නොගන්නා සමාව ඔබෙන් ගන්නෙමු. එය එසේ නොකළහොත් අපේ හෘදය සාක්ෂියට ප්‍රශ්නයක් වනු ඇත.
කෙසේ වෙතත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය. කොළඹට ලැබුණේ ප්‍රථම ස්ථානවලින් දෙකක් පමණි. ඉන් එකක් කොළඹ රාජකීයයටය. අනෙක දේවිබාලිකාවටය. රාජකීයයට ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම වරට ගණිත අංශයේ ප්‍රථමයා බිහිකිරීමේ අභිමානයයි. ජෛව තාක්ෂණික අංශයේ ප්‍රථමයා බිහිකිරීමේ වාසනාව දේවිබාලිකාවට ලැබිණි. රාජකීයයෙනුත්, දේවිබාලිකාවෙනුත් නොවන්නට කොළඹට සිදුවන්නේ බරපතළ ලෙස ලැජ්ජාවට පත්වන්නටය. එය එසේ වන්නේ අනෙක් ප්‍රතිඵල තුනම කොළඹින් පිටතට මෙවර ගමන් කොට ඇති නිසාය. ඉතා තීරණාත්මක විෂය ක්ෂේත්‍රයක් වන වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය මෙවර දිනාගැනීමට සමත් වන්නේ ගම්පහ රත්නාවලී බාලිකාවයි. ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මඩකළපුවේ දරුවකු මෙවර දිනාගන්නා අතර, කලා අංශයේ ප්‍රතිඵලය බදුල්ලේ කැන්දගොල්ලට හිමිව තිබීම පුදුමසහගත සිදුවීමකි. එය ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු අවස්ථාවකි. ඒ අතර, තාක්ෂණික අංශයේ ප්‍රථම ස්ථානය මෙවර හිමිවන්නේ කුරුණෑගල මයුරපාද විද්‍යාලයටයි. මේ විද්‍යාලවල දරුවන්ටත්, ආදි ශිෂ්‍යයන්ටත්, ගුරුවරුන්ටත්, මේ විද්‍යාලවලට ආගිය, මේවා ගොඩනගන්නට වෙහෙසුණු සියලු දෙනාටම මේ ප්‍රතිඵලයෙන් පසු දැනෙන අභිමානය, සතුට අපට කියා ලියා විස්තර කළ නොහැකිය. එය දන්නේ ඔවුන්ම පමණි. ඒ නිසා මේ මොහොතේ අප විසින් මේ ප්‍රථමයන් බිහිකළ පාසල් පහටම අපේ ගෞරවාදරය උත්තමාචාරය පුද කරන්නෙමු. මේ තරම් දුෂ්කර කාලයක දරුවන් ඔසවා තබන්නට ගුරුවරුන් වෙහෙසුණු අයුරු බොහෝ විට මේ දරුවන්ගේ මුවෙන් පිටවනු අප අසා සිටියෙමු. විශේෂයෙන්ම මයුරපාදයේ දරුවාගේ කතන්දරය බොහෝ සොඳුරුය. ඒ කතාව අප වෙනමම කියවිය යුතු යැයි විශ්වාස කරමු. අසනීප වූ තාත්තාත් බලාකියාගෙන සියලු දුක් ගැහැට විඳිමින් ජීවිතයේ ජයග්‍රහණය ලැබූ මයුරපාදයේ කොල්ලා රටට ආඩම්බරයකි. ඔහු ගෞරවයකි. අභිමානනීය පුරවැසියෙකි.
මේ වතාවේ කලා අංශයේ පළමුවැනියා බිහි වන්නේ බදුල්ලේ කැන්දගොල්ලෙන්‍ය. ඔහු බදුල්ල කැන්දගොල්ලේ ඉෂාර ලක්මාල් හීන්කෙන්දය.
වාණිජ අංශයේ පළමු වැනියා වන්නේ ගම්පහ රත්නාවලියේ ඉෂිනි නේහා අමරරත්න ශිෂ්‍යාවයි.
ජීවවිද්‍යා අංශයේ පළමු තැන හිමිවන්නේ මඩකළපුවට වීම විශේෂ කාරණාවකි. ඔහු මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවරගේෂ් සිසුවාය.
තාක්ෂණ අංශයේ පළමු තැනට එන්නේ නාරම්මල මයුරපාදයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ ශිෂ්‍යයාය. කොළඹට මේ වතාවේ ලැබෙන්නේ ගණිත අංශයේ සහ ජෛව තාක්ෂණ අශයෙත් පළමු තැන් පමණි.
මේ ලියන්නේ කොළඹ දරුවන් අදක්ෂ බවක් නොවේ. මේ ගමේ කොල්ලො කෙල්ලෝද දක්ෂ බව කියනා උත්සාහයකි.
සියලු පහසුකම් කොළඹට තියෙද්දීත්, ජංගම දුරකතන සිග්නල් ටික අඩු නැතුව කොළඹට ලැබෙද්දීත්, ඔන්ලයින් කයි කතන්දර නොදන්නා ගම, සිග්නල් නැති ගම සියල්ල පරදා ඉදිරියට පැමිණීම මේ දුෂ්කරක්ක්‍රියා සමයේ විජයග්‍රහණයකි.
ජීවන පහන් තිළිණ