අසූවේ දශකයේ මෙරට සිටි අභීතම පුවත්පත් කලාවේදියා වූ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන්(77) 23වන බදාදා රාත්‍රී තලංගම කොස්වත්ත රෝහලේදී දැයෙන් සමුගත්තේය.
මා දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස 1984 ජනවාරි පැමිණි විට දිවයින සමාරම්භකයෙකු වූ සුනිල් මාධව පාලන අධිකාරිය සමඟ ‘ගෝරියක්’ දාගෙන නික්ම ගොසිනි.
ඔහු යළි 1985 අවසානයේ යළි දිවයින කතෘ මණ්ඩලයට එක් විය.
දිවයින පුවත්පතේ ලියුම්කරු සේවය කල වසර ගණනාවක් තුළ සුනිල් අයියා සිටියේ මා වාඩිව සිටි මේසයේ සමීපතව පිහිටි දකුණු පස මේසයේ ය. වම් පස මේසයේ සිටියේ විමල් වීරසේකරය. ඉදිරිපස මේසයේ සිටියේ දයා ලංකාපුර සහ ගයරික පේරුසිංහය.
සුනිල් මාධව සමග එදා සිට අද දක්වාම දශක තුනකට අදික කාලයක් මා ඔහු සමග සමීපව ඇසුරු කලේය. සත්‍යය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ඔහු කල සේවය සදානුස්මරණීයයි.
මාධවයන් ජවිපෙ 2වැනි කැරළි සමයේ පෙනී සිටියේ ආණ්ඩු විරෝධී මතය නියෝජනය කල තරුණ පරපුර වෙනුවෙනි.
සුනිල් මාධව ප්‍රේමතිලක යනු කෘතහස්ත සාහිත්‍යධරයෙකු වන මීමන ප්‍රේමතිලක ගේ දෙටු පුත්‍රයාය. වසර 1943 උපන් කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලත් සුනිල් මාධව මෙරට ජන හදවත් තුළ ලැගුම්ගත් සොදුරු කවියෙකි. අදීන මාධ්‍යවේදියෙකි. සිළුමිණ පුවත්පතට 1963 ඔහු එක්වන විට එහි ප්‍රධාන කතුවරයා වූයේ මීමන ප්‍රේමතිලකය. ප්රවෘත්ති කලාව පිළිබදව ඩිප්ලෝමාවක් බටහිර ජර්මනියේ හැදෑරූ ඔහු වසර 19ක් ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු වශයෙන් දිවයින ඉරිදා සංග්‍රහයේ සමාරම්භක කර්තෘ මණ්ඩලයට එක්විය. වරෙක එහි විශේෂාංග කතුවරයා විය.මාධවයන් සංස්කරණය කල දිවයින සිකුරාදා පුවත්පතේ 8වැනි පිටුවේ ඔහු විසින් ලියනලද සත්යවාදියෙකු ගේ දිනපොත විටෙක වෙඩි උණ්ඩයක් සේ හිත් පසාරු කරගෙන යයි. ලක්මිණ, ලක්දිව, හිරු සහ ලක්ජන, ලක්දන පුවත්පත්වල කතුවරයා වූ සුනිල් මාධවයන් ආධුනිකයන්ට නොපැකිලිව අත දුන්නේය. ඔහු ගේ මඟපෙන්වීමෙන් ප්රගතිශීලි පුවත්පත් කලාවට අත්පොත් තැබූ පරපුරක ගමන් සඟයෝ බොහෝය.
මීමන ප්‍රේමතිලක විසින් 1965 වසරේ ලියූ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය“ නම් සිය ජීවිත කතාව කෘතියේ මෙසේ සඳහන් වෙයි.
“කිලිටි කලිසමක් සහ කෝට් එකක් හැඳ, ඉතා බාල ටයි පටියක් කරේ පැත්තකට යන ලෙස අවුල්ව බැඳ, කැන්වස් සපත්තු දෙකක් දෙපය ලාගත් මහාචාර්ය බරුවා දේශනය ආරම්භ කළේය. දිය ඇල්ලක් ඇද හැලෙන්නාක් මෙන් ඔහු අභිධර්මය ඇතුළත් කතාවක් පැවැත්වීය. ඇඳුමෙන් මිනිහකුගේ මොලය මැනිය නොහැකි ය. බාහිර පෙනීමෙන් මිනිහකුගේ දක්ෂතා මැනිය නොහැකි ය.බණී මාධව බරුවා ගැන මා කෙතරම් පැහැදුනේ ද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවකු ලදහොත් මේ වියතා සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට මම අදිටන් කර ගතිමි. මා සිතූ පරිදිම 1944 මැයි 22 වැනිදා ශල්‍යකර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙකි. පෑ ගණනක් යන තුරු ඔහුට පණ නො ආවේය. ඔහුට පණ දීම සඳහා අම්ල වායුව නහයට සම්බන්ධ කරන ලදී’.
මීමන ඉතා දුකින්, හඬමින්, වැළපෙමින් ද සොයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල සිටියේය. ඔහුට සුබ ආරංචියක් ලැබිණ. ඒ දරුවා නම්, අමාරුවෙන් මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක ය.
-ධර්මන් වික්‍රමරත්න











